Monday, June 27, 2011

අගක් මුලක් නැති කතාවක්

තිස් පස් හැවිරිදි දම්මි මළාණික මුහුණින් යුතුව බලා සිටිනුයේ හෙදිය රුධිර කාන්දුකරන යන්ත්‍රයට සම්බන්ධ කරන අයුරුය. අනතුරුව ඇය නෙත් පියා ගනී. ඇගේ මුහුණේ ඇති ප්ලාස්ටර් ලකුණු ඇය ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කොට දින ගණනාවක් සිටි බව පෙන්වයි.
"බබා හම්බෙන්න ගිහින් ගර්භාෂය පුපුරලා. කොලොස්ටොමි එකකුත් දාලා ඉන්නෙ." හෙදිය බඩවැල පිටතට විවර කෙරෙන සිදුර පෙන්වමින් පැහැදිලි කරයි.
නෙත් විවර කර බලන දම්මි නැවත පියා ගනී.

මල්ලකුත් රැගෙන පැමිණෙන මැදිවියේ පසුවන අබේ යාබද අසුනේ හිඳගනී.
"පුටුව කමක් නැද්ද?" හෙදිය විමසයි. බොහෝ රෝගීහු රුධිරය පෙරෙන පැය තුන හෝ හතර ඇඳකට වී පෙරවාගෙන සිටිති.
"කමක් නෑ. මගෙ වැඩේ කරගන්ඩනෙ ඕන."

"මෙයා පොළොන්නරුවෙ." හෙදිය කියයි. රෝගීහුද කාර්ය මඬුල්ලද එකිනෙකා හොඳින් හඳුනති. රෝගීහුද කාර්ය මඬුල්ල තරම්ම රෝහල් උපකරණ හඳුනති.
"මේක කෑ ගහයිද දන්නෙ නෑ." අබේ  උපකරණය දක්වයි. "ගිය පාර එක දිගට කෑ ගැහුවා. අරකනම් එහෙම නෑ. දෙපාරයි කෑ ගැහුවෙ."
"එතනට යනවද?" හෙදිය විමසයි. අනතුරුව විහිළු කරයි. "මැෂින් එක නෙවෙයි ඔයාගෙ ප්‍රශ්නෙ. හොඳට ලේ එන්නෙ නෑ."
අබේ සිනාසෙයි. 

"හොඳම එක අර එහා කෙළවරේ 13 පුටුව. කිසි ලෙඩක් නෑ. මම හැමදාම යන්නෙ ඒකට. ඒක නැති දවසට තමයි මේ අනික් ඒවට එන්නෙ."
"දැන් කී සැරයක් ආවද?"
"ම්ම්ම්, 14-15 සැරයක් විතර."
නිතර හදිසියේ රෝගී වන ඔහු ඉදිරි දින කිහිපය තුළ සෑම දින තුනකටම වරක් රුධිර පෙරීමට බඳුන් විය යුතුය. ඒ සඳහා ඔහු පොළොන්නරුවේ සිට තනිවම පැමිණෙයි.
"වකුගඩුවක් හම්බුණාද?" හෙදිය විමසයි.
"අර පොරොන්දු වුණු එක්කෙනා පැනලා ගියානෙ සල්ලිත් අරන්." අබේ කියයි.
"ඇයි ඉතින් ඔයා කලින් සල්ලි දුන්නෙ?" හෙදිය විමසයි.
වකුගඩුවක් දෙන බවට පොරොන්දු වූ මැදිරිගිරියේ මිනිසෙකු ඔහුගේ සියළුම පරීක්ෂාවන්ද අබේගේ වියදමින් කරගෙන, තවත් නොයෙක් අතමාරු ලෙසින් රුපියල් 35000ක්ද ගෙන මගහැර ගොසිනි. වකුගඩු බද්ධය සඳහා රෝහල අවට පදිංචිය පහසු හෙයින් අබේ මාස කිහිපයක්ම රුපියල් 15000ක් බැගින් ගෙවමින් කාමරයක්ද ගෙන ඇත. ඔහු එහි පදිංචිව නොසිටියි- බද්ධය කෙරුණොත් නැවතීම සඳහා වෙන් කරවාගෙන පමණකි. දින තුනකට වරක් රෝහලට පැමිණිය යුතුව තිබියදීත් එහි නතර නොවන්නේ,  වකුගඩුවක් දීමට දෙවනුව පොරොන්දු වූ  පුද්ගලයාත් පැන යනු වළකනු පිණිසත්, පරීක්ෂණවලට බඳුන් කරවනු පිණිසත් ඔහු පොළොන්නරුවේ සිටිය යුතු හෙයිනි. විවාහ වූ සොයුරු සොයුරියන්ගේ පවුල් ආරාවුල් ඇති වීම වළකනු පිණිස ඔහු පවුලෙන් උදව් නොඉල්ලයි.

"මොකද මේ හැමදාම පරක්කු වෙලා එන්නෙ?" උදෑසන නියමිත වේලාවට නොපැමිණි රෝගියකුගෙන් වෛද්‍යවරයා විමසයි. වේලාවන් වෙන් කරනුයේ අසීරුවෙනි. කිසිවෙකු හදිසියේ නොපැමිණියහොත් වෙන කෙනෙකුට හෝ ප්‍රතිකාර ගැනීමට තිබූ අවස්ථාව මගහැරේ.
දින තුනකට වරක්වත් ප්‍රතිකාර ගත යුතු ඔහුට වෙනත් දිනයක් ලබාදීමට වෛද්‍යවරයා පොත පෙරළා බලයි.
"හෙටනම් එපා සර්." රෝගියා ඇඹරෙයි. "හෙට අපි පුංචි දඹදිව යන්ඩ ඉන්නෙ."
"කොහෙ?"
"පුංචි දඹදිව. මේ රත්නපුර පැත්තෙ."
"මේක කරන්ඩ බෑනෙ. අනිද්දා වෙනකොට.."
"අනිද්දත් බෑ සර්. සෙනසුරාදා දෙන්ඩ."
"සෙනසුරාදා?? එතකොට දවස් දහයක් විතර ගිහින්. දඹදිව නෙවෙයි, මැරිලා ඉඳී. අර එක්කෙනෙක් ඔහොම දඹුළු ගිහින් බඩේ අමාරුවක් හදාගෙන මැරුණා."

රෝගියා ලැජ්ජාශීලීව සිනාසෙයි. මරණයට ඔහුගේ ජීවිතයේ ලොකු තේරුමක් නැත.
"ඔන්න ඕක අතෑරලා මේක කරගන්ඩ. අපේද පණ, ඔයාගෙද?"
"මටනම් යන්ඩ වුවමනාවක් නෑ සර්. මේ ගෙදර අයව එක්ක යන්ඩ ඕන හින්දා..."
 "හා හා යන්ඩ. දඹදිවත් යන්ඩ, කතරගමත් යන්ඩ, සමන් දේවාලෙත් යන්ඩ."
"සෙනසුරාදා අනිවාර්යෙන් එන්නම් සර්."

Saturday, June 18, 2011

මා බාල කාලේ

ලෝකෙ පටං ගත්තු දවස්වල මෙච්චර රවුම් නෑ; හුඟක් පැතළියි. ටිකක් හතරැස් ගතියකුත් තිබුණා. විශේෂයෙන් මුළුවලට වෙන්ඩ.

ඒ කාලෙ අපේ මල්ලි දණ ගාන අතරෙ, අහු වෙන දෙයක් අල්ලගෙන හිට ගන්ඩ දඟලන වයස. දවසක් මට හිතුණා ලෝකෙ කෙළවරට යනකම් යන්ඩ. මොකද, ලෝකෙ මුළුවල වැදිලා මල්ලිගෙ ඔළුව තුවාල වෙන්ඩ පුළුවන් හින්දා, ඒ මුළුවල කඩදාසි ගුලි කරලා අලවන්ඩ. නිතරම සූදානමෙන් සිටීම බාලදක්ෂිකා ගුණයක්නෙ.

ඉතින් අම්මලගෙං ඇහුවොත් ඕකට එපා කියන හින්දා, මම අවසර ගත්තෙ අල්ලපු ගෙදර ඇන්ටිලාගෙන්. ඒගොල්ලො අපේ අම්මලත් එක්ක තරහ හින්දා ටක් ගාලා අවසර දුන්නා. ඒ විතරක් නෙවෙයි, මගට කන්ඩ බත් මුලකුත්, අග්ගලා පොට්ටනියකුත් බැඳලා දුන්නා.

මගේ නිල් පාට බෑග් එක කට්ටිය දැකලා ඇතිනෙ? අර අපේ මල්ලි පළවෙනි පඩියෙන් මට ගෙනත් දුන්නු එක? ඕක තමයි අරන් ගියෙ. මොකද, ඒකෙ ඉඩත් තියෙනවා; එල්ලන් යන්ඩ ලේසියි. අනික මගෙ යාළුවො කියනවා වගේ ඒකට විශේෂ හැකියාවක් තියෙනවා කෙනෙක්ගෙ සිහි නැති කරන්ඩ. ආරක්ෂාවට හොඳයි.

ඉතින් මම හුඟක් දුර පයින් ගිහිං ඊට පස්සෙ කෝච්චියෙත් ටිකක් දුර ගියා. ලෝකෙ කෙළවරට යනකොට, කෝච්චියකට එක දිගට යන්ඩ තරමට ඉඩ මදි හින්දා, මැදිරි වෙන් කරලා, එක් එක් මැදිරිය බස් එකක් බවට පත් කරලා තමයි යවන්නෙ.

කොහොම හරි මුල්ලටම ගියා කියමුකො. මම දැන් ලෝකෙ අයිනෙ ඉඳගෙන, ගෙදරින් අරන් ගිය කඩදාසි ටික පොඟවලා පල්පයක් සකසගෙන, ගුලි හදනවා.

ඔය අතරෙ ටිකක් වයසක මහත්තයෙක් මොන මොනවද විද්‍යාත්මක උපකරණ ටිකකුත් අරන් ඇවිත්, ලෝකෙ මුල්ලෙම හයි කරගෙන, මොකක්දෝ පරීක්ෂණයක්. මමත් බැලුවා මොකද කියලා. බලනකොට පුරා හඳ පායලා.

ඒ කාලෙ හඳ පෘථිවියෙන් බිඳිලා ගිය ගමන්නෙ. ඉතින් පොළොවට හුඟක් ළඟයි. හඳේ හාවව දැන් ඔය පොඩියට පේන්නෙ ඈත හින්දනෙ. නමුත් ඌ ඇත්තටම හුඟක් විසාලයි. ඔය කාලෙ වෙනකොට ඩයිනොසෝර්ලා හිටියෙත් නැති හින්දා, හඳ හාවා තමයි අපි දැකලා තිබුණු ලොකුම සතා. අපි දන්නෑ හාවෙක් කියලා. අපි කිව්වෙ හායිනෝසෝරස් කියලා. ඩයිනොසෝර්ලා වගේ සද්ද වෙන හින්දා ඉතින් හාවටත් මිනිස්සු බයයි. ඒකයි එහෙම නම දැම්මෙ.

අර ඇවිත් හිටිය මහත්තයා හායිනෝසෝරස්ගෙ චලනය අධ්‍යයනය කරන විද්‍යාඥයෙක්. මනුස්සයා දාඩිය පෙරාගෙන වැඩ. හඳ දිහා බලනවා; ගණන් හදනවා; ආයෙත් හඳ දිහා බලනවා; ආයෙත් ගණන් හදනවා. ඔහොම ගණන් හද හද ඉඳලා එක පාරටම මනුස්සයා උඩ පැන්නා. උඩ පැනලා කෙළින්ම ඇවිත් වැටුණෙ මගෙ කඩදාසි පල්ප ගොඩට.

මිනිහට ඒ ගානකුත් නෑ. මිනිහට හරි සතුටුයි වගේ. හිනා වෙවී මොකක්ද මතක් කරනවා.
"ළමයො, මොකක්ද අර වචනෙ?"
"මොන වචනෙද?" මම ඇහුවා.
"ඇයි ළමයො අර වචනෙ? අර ආකිමිඩිස් කිව්ව එක?"
"යුරේකද?" මම සැකේට වගේ ඇහුවා.
"අන්න හරි! යුරේකා තමයි."
"අංකල්." මම ඉතින් ඕනෙම නොදන්නා මනුස්සයෙක්ට ලංකාවෙ අපි කියන ආමන්ත්‍රණ පදයෙන් එයාට කතා කරා. "අංකල් මොනවද හොයා ගත්තෙ? ආකිමිඩිස් නියමෙද? බොයිල් නියමෙද? නිව්ටන් නියමෙද? අනේ කියන්ඩකො."
"ඊට වඩා වැදගත් දෙයක් ළමයො." විද්‍යාඥයා කියනවා. "මම හොයා ගත්තා අර හායිනෝසෝරස්ගෙ චලිතය අනුව, ඔය නියමවලට වඩා බොහොම වැදගත් දෙයක්."
"මොකක්ද?" මම ඇහුවා.
"හාවො ටික ටික ලොකු වෙනකොට උන් උඩ පනින තරම වැඩියි කියලා ඔය ළමයා දන්නවනෙ."
මම ඒක දැනං හිටියෙ නෑ. මොකද, ඩයිනෝසෝර්ලත් නැති එකේ ඒ කාලෙ ලෝකෙ මොන හාවොද?
"එහෙම තමයි." විද්‍යාඥයා කිව්වා. "හායිනෝසෝරසුත් ඇත්තටම හාවෙක්. ඉතින් ඌ දැන් උඩ පනින තරම බලලා මම ගණන් වගයක් හැදුවා."
"ඉතින්?"
" ඒ අනුව, තව හරියටම දවස් පහළොවකින් ඔය හායිනෝසෝරස් හඳේ මුළු උසම පනිනවා."
"ඉතින්?"
"ඉචිං ඉචිං නෙවෙයි." ඔන්න විද්‍යාඥයාට තරහ ගිහින්. "තේරෙන්නෙ නැද්ද එතකොට වෙන දේ?"
"නෑ."
"ඇයි මෝඩයො, එතකොට හඳේ වායුගෝලයෙ සීමාව එක්ක ගැටිලා මහා පිපිරුමක් ඇති වෙනවා. ඇයි අහලා නැද්ද අභ්‍යවකාශ යානා පොළොවෙන් පිට වෙනකොටත් එහෙම වෙනවා? එක පාරටම ගිනි අරගෙන කඩා වැටෙන්නෙ හිටි ගමන්?"
එහෙම දෙයක්නම් මටත් ලාවට වගේ මතකයි.
"ඉතින්?"
"ඉතින් එහෙම පිපිරුණාම විශාල තාපයක් පිට වෙනවා."
"ඉතින්?"
"දැන් හඳ තියෙන්නෙ පොළොවට හුඟක් කිට්ටුවෙන් නිසා, ඒ තාපය පොළොවටත් තදින් දැනෙනවා."
"ෂා, එතකොට බඩ ඉරිඟු යායවල් පිටින් පොප් කෝන් වෙයි නේද?" මම සන්තෝසෙන් ඇහුවා.
"මගුලක් කතා කරනවා." විද්‍යාඥයා තරහෙන් කිව්වා.
"එහෙනම්?"
"ළමයෝ ඒක විශාල තාපයක්. ඒ තාපයට මුළු ලෝකෙම විනාශ වෙනවා! අළු ටිකක්වත් ඉතුරු වෙන්නෙ නෑ."
"මළා!" මට කියවුණා.
"එහෙම කියන්ඩ එපා." විද්‍යාඥයා සන්තෝසෙන් කියනවා. "මම දැන්මම ඇමරිකාවට ගිහින්  කියනවා මේ ගැන. හරියටම තව දවස් පහළොවකින් ලෝක විනාශය වුණාට පස්සෙ, ඒක මුළින්ම හෙළි කළ විද්‍යාඥයා හැටියට මම ලෝක ප්‍රසිද්ධ වෙනවා."

ඇත්ත තමයි. මටත් හිතුණා. ඒ හින්දා මම ඒ වෙනකොට පොඟවලා නොතිබුණු කඩදාසියක විද්‍යාඥයාගෙ අත්සනකුත් ගත්තා සමරුවක් විදිහට. එතකොට ලෝක විනාසෙ වුණාට පස්සෙ මට ඉස්කෝලෙ ගිහින් යාළුවන්ට පෙන්නන්ඩ පුළුවන්නෙ.

ඊට පස්සෙ ඉතින් මම හැරිලා ගෙදර ආවා. මොකද, දවස් පහළොවකින් ලෝක විනාශය වෙනවනම්, අපේ මල්ලිට ලෝකෙ කෙළවරට යනකම් දණ ගාන්ඩ කාලයක් නෑනෙ.

ඇවිත් හිටියා, හිටියා, හිටියා.
දවස් ගියා.
පහළොස්වෙනි දවසත් ආවා.
අපි බලාගෙන හිටියා ලෝක විනාශය වෙනකම්.
ඒත්...

ඒත්...


මුකුත් වුණේ නෑ.


බලනකොට, එදා අමාවක.
හඳ නෑ.
උඩ පනිනවා තියා හායිනෝසෝරස් පේන්ඩවත් නෑ.
හඳවත් හායිනෝසෝරස්වත් නැතුව මොන පිපිරිල්ලක්ද?

පව් අර අංකල්. මිනිහට කවදාවත් ලෝක ප්‍රසිද්ධ වෙන්ඩ බැරි වෙන්ඩ ඇති.

Wednesday, June 15, 2011

දානය

කවුදෝ ගේට්ටුවට තඩි බානු ඇසේ. මේ වේලාවට ගෙදරට එන්නට කිසිවෙකුත් නැත. රෝගී අත්තම්මා වකුටුව නිදයි.

මම හොරෙන් හොරෙන් එබෙමි. ගේට්ටුවට ඉහළින් බලා සිටින කාන්තාවට එවැනි හොරෙන් බැලිලි හුරු නිසාදෝ ඇය වහා මා දකියි.

"අනේ චූටි."

උසස් පෙළ ලියා කාලය කමින් සිටින මට මතක ඇති කාලයකට කවුරුත් 'චූටි' කියා ආමන්ත්‍රණය කර නැත. මගේ හද මෙළෙක් වෙයි. මම ගේට්ටුව දෙසට යමි.

"අනේ චූටි, මම කරදරේක වැටිලා. මට උදව්වක් කරන්ඩ."

කිළිටි සාරියක් පටළවාගෙන, දහදියෙන් පෙඟී සිටින කාන්තාව කෙට්ටු, කළුවට හුරු, මැදිවියේ සිටින්නියකි. පටියකින් බැඳි වැරහැළි කොණ්ඩය පිට දිගේ එල්ලෙයි. අතෙහි කුඩයකි. ඇය කරදරයක පැටළී ඇති බව මුහුණෙන්ම පෙනේ.

"මට බස් එකේදි නින්ද ගියා. ඇහැරෙනකොට පර්ස් එක නෑ; හොරකම් කරලා. අනේ චූටි, මට ගෙදර යන්ඩ බස් එකට රුපියල් දහයක් දෙන්ඩ."

Saturday, June 11, 2011

පරිස්සමෙන් හිටු!

ඉතින්,
එපානම් මාව
නුඹේ දිවියට...


හිටුකො!

ඇස් ලොකු මීයෙක් වෙලා
නුඹේ වහළය දිගේ විත්
යට ලීය උඩ හිඳගෙන
විරිත්තන්නම් මම නුඹට.

එතකොට
කොස්සක් අතින් ගෙන
පන්නාවි නුඹ මාව.

සැඟව, පැන, පෙනී, නොපෙනී
කුටිය පුරාවට
ඔට්ටු සෙල්ලම් කරමු
අපි දෙදෙන.
නුඹට හති වැටුණු කල
හිඳගෙන යට ලීය මත

විරිත්තන්නම් නුඹට මම.

එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.


හිටුකො!

නුඹ ආදරෙන් කියවන
පොත් ඉරා කැබලිකොට
නුඹේ නිල් පාට කමිසයේ
උණුසුමට
කූඩුවක් හදාගෙන
ගුලි වී නිදන්නම් මම.

මම දන්නවා

එතකොට
නුඹට අනුකම්පා හිතේවි
මා ගැන.

මට නිදන්නට ඉඩ හැර
පා තුඩින්, නිහඬව
අඩි තබා ඇවිදීවි නුඹ
සොරෙකු සේ
නුඹේම කුටිය තුළ.

පසුව
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.


හිටුකො!

මියැදෙන්ට කල ආ විට
නුඹට දුක නොහිතෙන්ට
ඈතකට ගොස් මැරෙන්නම් මම.

නොදැන මා මළ බව
නුඹ බලාවි යට ලීය දෙස.
නුඹ හොයාවි කාමරය පෙරළගෙන
මාව.
නුඹට හමු වේවි නුඹේ සීතල කමිසය.
පාළුවක් හිතේවි නුඹට
මා නැතිව.

එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.

හිටුකො...

වැරදි ගෑණිව
තරහ කර ගත්තෙ නුඹ.

Monday, June 6, 2011

නිර්මලා

තිස් වසරක යුද්ධය නිමා වීම නිසා බලාපොරොත්තු කඩවූයේ කාගේද?
ත්‍රස්ත ඒජන්තයින්ගේ...
යුද අවි ව්‍යාපාරිකයන්ගේ...
යුද්ධය විකුණාගෙන කෑ දේශපාලකයන්ගේ...
ඇයි, රාජ්‍ය නොවන සංවිධානවල?
.....
ඔබ කියනු ඇත.

**************