Monday, April 16, 2012

බ්ලිට්ස්

ජීවිතේ චෙස් වගේ.

අපට අයත් හැම ඉත්තෙක්ම එහා මෙහා කරන වාරයක් පාසා අපි අවදානමක් ගන්නවා. හරි යන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්.

හැම පියවරක් පාසාම කල්පනා කරලා, හොඳ නොහොඳ, ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙ හැකියාව ආදිය කිරා මැන ඉත්තන් අදින්නට හැම වෙලේම හැකියාවක් නැහැ. සමහරවිට අපේ දැනුම මදි. පුහුණුව මදි. එහෙමත් නැත්නම් අපට කම්මැළි වන්නටත් පුළුවනි. හැන්දෑ වෙලා නිසා ඉක්මණට තරගවාරය අවසන් කරන්නට හිතුණා වෙන්නට පුළුවනි.
එහෙමත් නැත්නම් නියමිත කාල සීමාවක් ඇතුළත තරගය අවසන් කළයුතු බවට තීරකයන් දැනුම් දුන්නා විය හැකියි.

ඔන්න එතකොට අපි කලබල වෙනවා.
වැඩිදුර නොහිතා ඉත්තන් එහා මෙහා අදිනවා. හරියට බ්ලිට්ස් වගේ.
සමහරවිට දිනන්නට ඉඩ ඇත.
පරාජය වුණොත් අපි නිවී හැනහිල්ලෙ පසු තැවෙනවා: අපරාදෙ...

ඉස්සර සමහර දවසට ඉස්කෝලෙ යන්නට පෙර මම අම්මලට වඳින්නෙත් බ්ලිට්ස් ක්‍රමයට:
"අම්ම සාදු, අප්පච්චි සාදු."
දේශපාලකයෙක් වගේ අත් දෙක උස්සලා මම දුවනවා.
"කෑම එක ගත්තද?" අම්මා කෑ ගහනවා.
"දුවන්ඩ විතරක් බලාගෙන ඉන්නෙ, ටිකක් උදෙන් නැගිටලා ගෙදර වැඩකට උදව් වෙන්ඩ." අප්පච්චි කෑ ගහනවා.

දැන් ගෙදර යන්නෙ කලාතුරකින්. ගියත් හෙට වැඩනම් අද හවසින් ආපහු එනවා. අන්තිම මොහොත වෙනකම් ඉන්නෙ නැහැ.
අම්මලත් විශ්‍රාමිකයි; හදිසියක් නැහැ.
අම්මට වැන්දහම අම්මා බොහොම වෙලා හිස අතගානවා. වැඳලා නැගිට්ටට පස්සෙත් අම්මා බොහොම වෙලා හිස අතගානවා.
අම්මා හිස අතගානවට මම කැමතියි. මුකුත් කිව්වත් නොකිව්වත්, ඒ ස්පර්ශයෙ හදවතට දැනෙන ආදරයක්, කරුණාවක් තියෙනවා; ආශීර්වාදයක් තියෙනවා.

යාළුවො, නෑදෑයො, ගුරුවරු ආදීනුත් වෙලාවකට හිස අතගානවා. එක්කො වෙන් වෙද්දි. එක්කො මම හිත අමාරුවෙන් ඉද්දි. එහෙම නැත්නම් හිතවත්කමට. කතාවට කිව්වට කවුරුත් හිස අතගාලා ටොකු ඇනලා නැහැ. හමුවීමකදි වෙන් වීමකදි බදාගෙන ඉඹලා වෙන්වන යාළුවන්ට වඩා අරෙහෙම හිස පිරිමදින යාළුවන් ළඟ මොකක්දෝ ලෙංගතුබවක් දැනෙනවා.

ඉස්සර දවසක අම්මා සැත්කමකට භාජනය වීමෙන් පසු මම ඈ ළඟ හිටියා. අම්මට විරුද්ධ පස ඇඳේ හිටියෙ ඒ සැත්කමටම ලක් වුණු තවත් අම්මා කෙනෙක්. ඇගේ දියණියත් ළඟ හිටියා. ඈ මට වඩා මේරූ කෙනෙක්. අපි දෙන්නගෙම අම්මලාට හොඳින් සිහිය තිබුණෙ නැහැ. දෙන්නම තද නිද්‍රාවක.
මම අම්මගෙ දෙපා පිරිමදින්නට වුණා. අම්මා ජීවිත කාලයක් පුරා කොයිතරම් වෙහෙසුණාද? දෙපා පිරිමදිනකොට සිහිය නැති වුණත් පහසුවක් තියේවියයි මම කල්පනා කළා.

ඉදිරි ඇඳ අසල හිටිය කාන්තාව මට ටිකක් තදින් කතා කළා:

"මොකක්ද ඔය ඔයා කරන වැඩේ තේරුම? එයාට ඕක දැනෙන්නෙ නෑනෙ. ඔයා ඔය කරන්නෙ බොරු වැඩක්. නිකං ඔයාගෙ හිත රවට්ට ගන්න විතරක් කරන වැඩක්."

අම්මට ඒක නොදැනෙන්නට ඉඩ ඇති බව වගේම, එහෙම දැනුණත් ඒ මා බව නොදැනීමට හොඳටම ඉඩ ඇති බවත් මම දැන හිටියා. ඒත් එහෙම කිරීමෙන් අම්මට පහසුවක් ලැබේවියයි යන සිතුවිල්ල හින්දා මගෙ හිතටත් සහනයක් ඇතිවුණා.
අර කාන්තාව දිගින් දිගටම කියවන්නට වුණා:
"තේරුමක් නෑනෙ. එයා දන්නෙත් නෑ. පිස්සු..."

එහෙම දැනගන්නට ඕනද? 

එහෙම අවශ්‍ය නැතැයි එදා මම හිතුවා. අම්මට පහසුවක් දැනෙනවනම් ඒ ඇති.

ඊට ගොඩක් කාලෙකට පස්සෙ, මම අලුත් තැනක රැකියාවට ගියා. මුල් දින කිහිපයෙදි මම අනෙක් අය කටයුතු කරන හැටි බලා ඉඳලා, ඔවුන්ට අත් උදව් දීලා, ඔවුන්ගෙ උපදෙස් පරිදි කටයුතු කරලා පුහුණු වුණා.

එතන බරපතල සැත්කම් කරන ශල්‍යාගාරයක්. උදෑසන හත වෙනවිට රෝගීන් එහි ගෙන එනවා; ඒ බොහෝවිට ගිලන්රියෙන්. සැත්කම් සඳහා ගතවන කාලය දිගයි. හැකි තරම් උදයෙන් ඇරඹුවොත් තමයි දිනකට සැත්කම් දෙකක් කරගන්නට ලැබෙන්නෙ. එහෙම නොවුණොත් බරපතල රෝගවලින් පෙළෙන මේ රෝගීන්ගෙ ජීවිත අනතුරේ. ඉඳහිට කෙනෙක් සැත්කම් කරනතුරු බලා සිටිද්දි වාට්ටුවෙදි මියයන අවස්ථාත් තිබුණා.

එක දවසක් උදෑසන අට වන තුරුත් රෝගියා ගෙනත් නැහැ. සැත්කමට නියමිතව හිටියෙ තරුණ ගැහැණු ළමයෙක්. ගිලන් රියෙන් ගෙන එන්නෙ රෝගියා පමණක් නිසා ඥාතීනුත්, ඇගේ සහෘදයාත් වේලාසනින්ම ශල්‍යාගාරයට ඇවිත්. ඒ සැත්කමට පෙර අවසන් වතාවට ඇයට ආශීර්වාද කිරීමට. ශල්‍ය වෛද්‍යවරුනුත් ඇවිත්. හැමෝම කලබල වෙලා. ඇයි මේ පරක්කුව?
දුරකථන ඇමතුම් හැම අතටම. "ඉක්මණට එවන්න; ඉක්මණට එවන්න."

නියමිත වෙලාවට වඩා පැයකටත් පසුව රෝගියාව යන්තම් ගෙන ආවා. ඇය හිටියෙ ට්‍රොලියක සැතපිලා. ගිලන් රියෙන් කෙලින්ම විදුලි සෝපානයට; සෝපානයෙන් එළියට ගන්නවත් එක්කම කෙළින්ම ශල්‍යාගාරයට. එළියෙ බලා සිටි ඥාතීන් දුවගෙන ආවට කතා කරන්නට තබා කිට්ටු වෙන්නටවත් වෙලාවක් තිබුණෙ නැහැ. ඇගේ සහෘදයා ඈත හිඳ අත දිගු කර යන්තමින් ඇගෙ හිස අතගෑවා. හිස අත ගෑවෙ කවුරුන්ද කියා හෝ ඒ අත ගෑවාද නැත්නම් කාගෙ හරි අතක් වැරදිලා වැදුණාද කියන එක හෝ ඇයට දැනුණෙ නැහැ. හැම තැනම ලොකු කලබලයක්.

එදා සැත්කම රෑ අටත් පසු වෙනතුරු කෙරුණා. එතරම් වෙලා සිටින්නට නියමයක් මට නැතුවත්, අවසානයක් දැකීමට වුවමනා නිසා මම හිටියා. සැත්කම අවසන් වෙන ලකුණකුදු නැති නිසා මම අවසානයේ ගෙදර ගියා.

ඒ තරුණියව බේරා ගන්නට බැරි වුණා. සිහි නොලබාම ඈ මිය ගියා.


අවසන් පලයට එයින් වෙනසක් නොවුණත්, ශල්‍යාගාරයට යන්නට මොහොතකට පෙර ඇගේ සහෘදයා හිස අත ගෑ බව ඇය දැන ගත්තානම්....

එහෙම වුණානම් ඒ සිද්ධිය මට මීට වඩා පහසුවෙන් අමතක කරන්නට තිබුණා.

Thursday, April 12, 2012

අවුරුදු

හැන්දෑවෙ මුණුපුරන් එන හින්දා අම්මා කොකිස් බදිනවා.
"රෑ වෙලා කොන්දෙ කැක්කුම කියයි!" මම හොරෙන් හිතනවා.

මට මතක ඇති කාලෙ ගෙදර ලොකු භාජන කිහිපයක් තිබුණා. අවුරුදු කාලෙට අම්මා රෑ මැදියම වෙනතෙක් වැඩ කරනවා. මුං කැවුම්, මුංගුලි, කොකිස්, උඳුවැල්, වැලි තලප ආදිය හදලා භාජන පුරවනවා.
වත්තෙ නොයෙක් වර්ගවල කෙසෙල් තිබුණා. අප්පච්චි මේ කෙසෙල් කැන් කපනවා. මිදුලෙ කොණක වලක් හාරනවා. වලේ එක් පැත්තක බටයක් සවි කරලා. අප්පච්චි වළලන කෙසෙල් නොඉදෙන හින්දා, අය්යට කියලා කෙසෙල් ඇවරි අඩුක් කරවනවා. අපි හැමෝම දුං ගැහිල්ලට හවුල් වෙන්නෙ ආසාවෙන්.

ඒ කාලෙ අපි පොඩියි.
අවුරුද්දට ගේ මැද්දෙ ටකරමක් තියලා, ඒ උඩ ලිපක් බැඳලයි කිරි ඉතිරෙව්වෙ. අපි හොඳ ඇඳුම් ඇඳගෙන, වටේ ඉඳගෙන කිරි උතුරන තෙක් බලා හිටියා.
කිරිබත් කන වෙලාව ආවෙ ඊටත් සෑහෙන වෙලාවකට පස්සෙ.

නොනගතයට නොකා ඉන්නවාය කියන එක ඒ කාලෙ වීරකමක්. අය්යා බලාගෙන ඉන්නෙ අපි බඩගිනි ඉවසගන්නට බැරුව කයිද කියලා. එහෙම කන එක ලැජ්ජාවට කාරණයක්. ඉඳහිට කෙනෙක් හොරෙන් කන වෙලාවල් තිබුණා.

ඒ අපි පුංචි හින්දා.

ටික ටික ලොකු වෙනකොට එහෙම නොකා ඉන්න එක අපිට කරදරයක් වුණා. "අය්යෝ, තව වෙලා තියෙනවද?" අපි ටිකක් නහයෙන් අඬන්නට වුණා.

නැකැත් වෙලාවට කන්නට බලා හිටියත්, එහෙම එක පාරටම කන්නට ලැබුණෙ නැහැ. නැකතට අම්මත් අප්පච්චිත් කිරි ගහකට කොටන්නට ගියා; ළිඳත් එක්ක ගනුදෙනු කරන්නට ගියා. අපිට පාඩම් පොතක් කියැවිය යුතුව තිබුණා.

කිරිබත් පෙනි පෙනී!

අවුරුදු ගෙවී යනකොට අපි වැඩිහිටියන් වුණා; හිතුවක්කාර වුණා; ගොඩක් දේවල් ඉගෙනගත්තා; සම්මතයන්, චාරිත්‍රයන් ප්‍රශ්න කරන්නට වුණා:
"දැන් හැමදාම නැකතට වැඩ පටන්ගෙන හරි ගියාද?"
"නොනගතේට කෑවට මොකද වෙන්නෙ?"
"එහෙම වැඩ අතාරින්නට බැහැ; අනිද්දා මට විභාගෙ. මුකුත්ම කියවලා නැහැ."
"මේ පාන්දර නැගිටගෙන කිරිබත් කන්න? මට නිදිමතයි."

හුඟක්ම පාන්දරට ලිප මොළවන නැකත යෙදී තිබුණොත්, කන නැකත යෙදී තිබුණොත්, ඒක ගණන් නොගෙන සමහරු නිදාගත්තා.
නොනගතය මැද ඇවිත් හැළි වළං අදිමින් සමහරු කෑම හෙව්වා.
තෙල් වැඩියයි, පැණිරස වැඩියයි කැවිලි වර්ග ප්‍රතික්ෂේප කරන්නට වුණා.
නොනගතයට කන එක, නැකතට නොනැගිටින එක වීරකමක් විදිහට සළකන්නට වුණා.

පුරුද්දක් විදිහට වැඩ අල්ලන නැකතට අප්පච්චි අපට කතා කළා. නොඑන අය ගැන කියලා ආව අයට සැර කළා. නොනගතය මැද කන ළමයින් දිහා නොරිස්සුමෙන් බැලුවා.
අම්මා වෙනස්. දාච්ච හේන් උඩින් පුරාහඳ පායනවා වගේ අපේ රළු හැසිරීම් මත්තෙදි අම්මා වඩාත් සෞම්‍ය වුණා. නොනගතය මැද කෑම හොයන ළමයින් වෙනුවෙන් උයා පිහා තියන්නට අම්මා හුරු වුණා. රස කැවිලි වර්ග අඩුවෙන් පිළියෙල කළා. මිරිස් සැරට හුරු කැවිලි වර්ග පිළියෙල කළා.

පුංචි කාලෙදිට වඩා හරි ඉක්මණින් කාලය ගත වුණා.

අපි ගෙදරින් ගියා.
අම්මලා හින්දා අවුරුද්දට ගෙදර එන්නට මම හුරු වුණා- අවුරුද්දනම් මොකක්ද, තවත් එක දවසක්...

අම්මලා වයස්ගත වෙලා, ලෙඩ වෙලා. ඉස්සර වගේ හුඟක් කැවිලි පෙවිලි හදන්නට අපහසුයි.

මං ගෙදර එන හින්දා අම්මා පුංචි භාජනයකට උඳුවැල් ටිකක් බැදලා දෙනවා. රටතොට ඇවිදලා එන මම අම්මට උපදෙස් දෙනවා: මේවට සීනි දාන්නට එපා; එතකොට රස නැහැ. කිතුල් පැණි දාන්නට ඕන!
අම්මා එකට එක කියන්නෙ නැහැ. මෙච්චර කල් මම හැදුව කෑම රස නැතිද කියලා අහන්නෙත් නැහැ. කිතුල් පැණි දාලා කැවිලි හදලා දෙනවා.

කාලයත් එක්ක අම්මලා ආගමට දහමට හුඟක් නැඹුරු වුණා.
ආමිස දේවලට නැඹුරුව අඩු වෙලා නිරාමිස දේවලට නැඹුරුව වැඩි වුණා. හැම පෝයටම සිල් ගන්නට පටන් ගත්තා. තේරුමක් නැති දේවල් බැහැර කළා.
අවුරුද්දට උදේ කෑමට කිරිබත් හැදුවා. නැකත කීයටද කියලා ගණන් ගත්තෙ නැහැ. අක්කා පරණ අවුරුද්දට ගෙනා කැවිලි පෙවිලි කිහිපයක් කෑම මේසෙ උඩට ආවා.


මට මතක විදිහට ගිය අවුරුද්දෙ....

පුරුදු පරිදි අම්මලා වෙනුවෙන් අවුරුද්දට ගෙදර ආව මම හිතේ හැටියට නිදා ගත්තා. දවල් වෙලා නැගිටලා, අතපය හිරි ඇරලා කුස්සියට ගියා. මම නොනැගිට්ටට අම්මලා උදේට කිරිබත් හදලා ඇතැයි බලාපොරොත්තු වුණා.
ඒත් ලිප උඩ තිබුණෙ බත් මාළු.

මම ටිකක් එහෙ මෙහෙ විපරම් කළා. වහලා තියෙන භාජන ඇර බැලුවා.
කොටින්ම බල්ලන්ගෙ කෑම භාජනත් විපරම් කළා: අම්මලා කාලා ඉතුරු කිරිබත් සේරම බල්ලන්ට දාලද දන්නෙ නැහැනෙ.

අම්මලා කිරිබත් ඉව්ව පාටක් නැහැ.


"ඇයි දුව?"
"කිරිබත් ඉව්වෙ නැද්ද?" මම ඇහුවා.
"නෑ. ඇයි ඔයාට කිරිබත් ඕනෙද?"
"නෑ, කමක් නෑ."
"ඕනෙනම් කිරිබතක් උයලා දෙන්නම්. වැඩිය වෙලා යන්නෙ නෑ."
"නෑ, කමක් නෑ."

ගෙදර කිරිබත් තියෙන දවසට මම උදේ ඉඳන් රෑ වෙනතුරු, එහෙම නැත්නම් කිරිබත් හැලිය ඉවර වෙනතුරු, වරින් වර කිරිබත් කනවා. පිඟානකට බෙදාගෙන නෙවෙයි. එතනින් යන එන ගමන්, වරකට කෑල්ලක් දෙකක්...
මට නිකං සාංකාව වගෙ.

අම්මා මේ සැරේ කිරිබත් උයයි, මං හිතන්නෙ.
මං අහන්නෙ නෑ අම්මගෙන්. ඒත් අම්මා උයයි මං හිතන්නෙ...

Monday, April 2, 2012

මාෂ්මෙලෝස්

ඒ කාලෙ අපි පොඩි උන්. බාලදක්ෂිකා නිල ඇඳුම තමයි ඕනෑම රස්තියාදු ගමනකට ඇන්දෙ. මොකද, එතකොට ගෙවල්වල මිනිස්සු වගේම පාරතොටේ ඉන්න මිනිස්සුත් හිතන්නෙ අපි බාලදක්ෂ වැඩකට යනවා කියලා. එදා අපි ගියෙ රස්තියාදු ගමනක්ම නෙවෙයි, හොර ගමනක්. හිතේ තිබුණෙ බයක් සැකක් නෙවෙයි, දුකක්.

අපි ගියෙ බාරයක් ඔප්පු කරන්නට! බාර වුණේ මධුරි. බාර ගැන මට කිසිම අදහසක් තිබුණෙ නැහැ.  කුමුදුනිත් ඒ ගැන විශ්වාස කළා. මමත් නිලුත් එකතු වුණේ, ඒගොල්ලන්ට එහෙම බාරයක් වෙන තැනට වැඩ සිද්ද කළේ අපි දෙන්නා හින්දා.
********************


කඳවුර සංවිධානය කිරීමේ වගකීම පැවරිලා තිබුණෙ මධුරිටත් කුමුදුනිටත්. ඒත් ඒකෙ ලොකු බරක් මමත් කැමැත්තෙන්ම බාර ගත්තා. ආහාර වට්ටෝරු සැකසීම, නොයෙක් ක්‍රියාකාරකම් සංවිධානය කිරීම, පත්‍රිකා ආදිය සඳහා චිත්‍ර ඇඳිම වගේම, අපිට හිතවත්, අපේ ජාතියෙ බාලදක්ෂිකාවන් රංචුවක් එකතු කරගන්නත් මම දායක වුණා.
අපි සේරම දාහතර දෙනෙක්.

අපිට යම් මග පෙන්වීමක් අවශ්‍යයි කියලා අපේ බාලදක්ෂිකා ආචාර්යවරිය හිතුවා. එහෙම අනවශ්‍යයි කියලා අපි හිතුවා. ඒත් මේ ලෝකය හුඟක් කුරිරුයි. මග පෙන්වීම සඳහා අපට පෙන්නන්නට බැරි කෙල්ලන් දෙන්නෙක්ව ආචාර්යවරිය තෝරාගත්තා. එක් කෙල්ලෙක් ඒ වසරෙ විභාගය සඳහා සූදානම් වෙමින් හිටියෙ. අනෙක් කෙල්ල අපේ වයසෙම වුණත්, අපට වඩා බොහොම මෝරලා!

ඉතින් අපි කඳවුරු බැඳගත්තා. ඒ අපේ ආචාර්යවරියගෙම වත්තෙ.

එතන බොහොම ලස්සන තැනක්. ඇගේ නිවස පිහිටා තිබුණෙ කඳුකරයේ රක්ෂිත වනයකට මායිම්ව. භූමියේ බෑවුමට සරිලන පරිදි මට්ටම් කිහිපයකින් යුත් නිවසෙහි හැම මට්ටමකින්ම පිටතට දොරවල් තිබුණා. පහළම මට්ටමෙහි තිබුණේ කාමර දෙකකින් හා කුස්සියකින් සමන්විත කුඩා ඇනෙක්සියක්. එහි වාසය කළේ සුදු ජාතික කාන්තාවක්.

ඇනෙක්සියේ මිදුලේ ඉදිවුණු අපේ කඳවුරු භූමිය ප්‍රධාන නිවෙසට පහසුවෙන් පෙනෙන්නෙ නැහැ. අපව දැක ගැනීමටනම්, එක්කෝ නිවසේ ප්‍රධාන මිදුලෙහි කෙළවරට පැමිණ පහත බැලිය යුතුයි. එහෙමත් නැත්නම්, දෙවන මට්ටමෙහි ඇති කාමරවල කවුළුවෙන් බැලිය යුතුයි.
මේ කාමරවල සිටියේ අපේ ආචාර්යවරියගෙ පුත්‍රයා සහ ඔහුගේ මිතුරා. ඔවුන් වරින් වර කවුළුවෙන් පහළට එබුණා. සුදු ජාතික කාන්තාව සිය අත දරුවා රැගෙන දොරකඩට පැමිණියා; අපව පෙන්වා දරුවා නැළවූවා. අපිත්  වැඩ අතරතුරම දරුවා සුරතල් කළා: "කැරපොතු පැටියෝ...."

අපට මග පෙන්වීම සඳහා පැමිණි කෙල්ලන් දෙදෙනා කඳවුරට පැමිණියේ ආහාර සඳහා පමණයි. මග පෙන්වීමට ආවානම් පහසු නොවන බව උන් දෙන්නා කලින්ම තේරුම් ගන්නට ඇති.
ආහාර සඳහා පැමිණෙනවිට උන්ගේ පිඟන්වලට කැඩුණු බිත්තර, හොදි ගංගා ආදිය බෙදා තැබීමට අප උත්සුක වුණත්, අනුනට මග පෙන්වීමට තමන් හොඳටම දක්ෂ බව පෙන්වමින් මේ කෙල්ලන් හිඳ ගත්තේ, හොඳ බිත්තර සහ යහමින් මාළු පිණි බෙදා තිබූ අනුන්ගේ පිඟන් ඉදිරියෙනුයි!

ඒ පළමු දිනයේ දිවා ආහාරය.
මධුරි කිසියම් කරුණක් නිසා ප්‍රධාන නිවස තුළට කිහිප වරක්ම දිව්වා. ගෘහපාලිකාව හා කිහිපවරක් මුණු මුණු ගෑවා. ආහාර වෙලාවෙ එකට හිඳ ආහාර නොගෙන එහෙ මෙහෙ කලබලයෙන් දුවන මධුරි දිහා ආචාර්යවරිය බැලුවෙ නොසතුටින්.

මමත් හිටියෙ නොසතුටින්. මොකද, අර හතුරු කෙල්ලන් සඳහා බෙදුව කැඩුණු බිත්තරයක් මට හම්බෙලා තිබුණ හින්දා...

මධුරි මට ඇහෙන් කතා කළා. ආහාර සපයන කණ්ඩායමේ නිසා, නැගිට එහෙ මෙහෙ යාමට මට නිදහස තිබුණා.

"හරි වැඩේ තමයි. අද දවල් අතුරුපසට ගෙනත් තිබුණු මාෂ්මෙලෝස් ටික අර වල් කොල්ලො දෙන්නා කාලා!"

ඒක මට එතරම් නරක ආරංචියක් වුණේ නෑ; මොකද මම මාෂ්මෙලෝස් කන්නෙ නැති හින්දා.

"කොහොමද උන් අතට ඒ ටික ගියෙ?"
"මෙහෙ තිබිලා කූඹි වැහුවොත් කියලා, මම ඒක ගේ ඇතුළෙන් අරන් තිබ්බා. ප්‍රේමා තමයි කිව්වෙ, පුංචි මහත්තයා ඒ ටික සේරම කෑවා කියලා."

කොල්ලාට පාඩමක් ඉගැන්විය යුතුයි. ඒත් ඊට ඉස්සර අතුරුපසට යමක් දිය යුතුයි. අපි කඩිනමින් කතා බහ කරගෙන, රාත්‍රී ආහාරය සඳහා ගෙනත් තිබුණු කෙසෙල් ඒ සඳහා ගත්තා.

දිවා ආහාරයෙන් ඉක්බිති ආචාර්යවරියත්, මග පෙන්වන කෙල්ලන් දෙදෙනාත් ප්‍රධාන නිවසට ගියා.

ඒ දිනවල අප අතේ අමතර මුදල් ගැවසුණේ නැහැ. ඒ හින්දා රාත්‍රී ආහාරය සඳහා අතුරුපස සපයා ගැනීම අපට ගැටළුවක් වුණා. ආහාරය සඳහා ආචාර්යවරිය පැමිණෙන නිසාත්, පදක්කමක් ලබා ගැනීම පිණිස සංවිධානය කෙරුණක් නිසාත්, අඩුපාඩු තබා ගැනීමට මධුරි කැමති වුණේ නැහැ. ඉතින් අපි රාත්‍රී ආහාරය සඳහා භාවිතා කළ කිරි මිරිකන ලද පොල් වලින් පොල් ටොෆී හදන්නට තීරණය කළා. අමතර සීනි නොතිබුණෙන්, අපේ තේ සඳහා වූ සීනි ඒ සඳහා භාවිතා කරන්නට වුණා.

සිද්ධිය දැනගත් අපේ කෙල්ලන් දාහතරම සීනි පරිත්‍යාගයට එකඟ වුණත්, අපි කවුරුත් නොසන්සුන්. අර කොල්ලාට පාඩමක් උගන්වන්නේ කොහොමද?
අපට පෙනෙන්නට බැරි කෙල්ලන් දෙන්නාත් මීට හවුල්යැයි අපි සැක කළා. එහෙම සැක හිතෙන්නට හේතුව කඳවුරේ කිසිම ක්‍රියාවකට සහභාගි නොවුණු උන් දෙන්නා ගෙතුළට වී අර කොල්ලන් සමග පාඩම් කිරීමයි.

අපේ කෙල්ලන් එකිනෙකා නොයෙක් වැඩ කටයුතුවල මුවාවෙන් වරින් වර ගෙතුළට රිංගුවා; ඔත්තු බැලුවා:
"අර සුදු කොල්ලගෙ නම නලින්."
"අනිකා රජීව."
"ඌනම් එච්චරම නරක පාටක් නැහැ."
"මම ශීතකරණෙ අරිනකොට නලින් හැරිලා බැලුවා. ඌ මොනවද කකා හිටියෙ..."
"අපේ මාෂ්මෙලෝස්!"
"මම යනකොට නලින් මේසෙ අස්සෙන් අනුෂ්කගෙ කකුල පාගනවා."
"ඊඊඊඊඊඊඊයා!"
"අනුෂ්කත් අනික් පැත්තට පයින් ගැහුවා!!"
"ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයාආ!!"
"අර මිදුලෙ තියෙන චොපර් එක නලින්ගෙ. ඌ ඒකෙ නැගලා කොහෙද ගියා."

ඉතින් එදා හැන්දෑව වෙනවිට අපි බොහොම තොරතුරු එක්‍ රැස් කරගෙන හිටියා:
ඒ කොල්ලන් දෙන්නා ඉතා වල්ය;
උන් දෙන්නා අපට පෙන්නන්නට බැරි කෙල්ලන් සමග මොකක්දෝ මොකක්දෝ එකක් ඇත;
නිවසේ සුළු සුළු වුවමනාවන් සඳහා නලින් බයිසිකලෙන් නගරයට යන්නේය;
අපේ ආචාර්යවරිය නිදන්නේ ඉහළම මාලයේ වන අතර ඇය ළමයින් පාඩම් කරන කාමර පැත්තට නොඑන්නීය;
ගෘහ පාලිකාව වන ප්‍රේමා අපේ පැත්තේය....

ඔය වගෙ.

ඒ අතරට අපි තවත් දෙයක් සැලසුම් කළා. අපේ මාෂ්මෙලෝස් කෑව එකට ඒ කොල්ලන්ට ලැජ්ජා කරවීමට.

එදා රාත්‍රියේ ආහාරයෙන් පසු ආචාර්යවරිය යම්කිසි අවශ්‍යතාවයක් හින්දා ඉක්මණින් ගියා. ඈ ගිය පසු කඳවුරු ගිණි මැලය වටා හිඳගෙන අපි ගී කිව්වා. ඉන් එක් අංගයක් කෑම කෝච්චිය:

"කිරි-බත්, කිරි-බත්, කිරි-බත්" එක් කණ්ඩායමක් ගයනවා;
"කැවුම්- කොකිස්, කැවුම්-කොකිස්, කැවුම්-කොකිස්" ඊලඟ කණ්ඩායම ගයනවා; 

"උඳු-වැල්, උඳු-වැල්, උඳු-වැල්" අන්තිම කණ්ඩායම ගයනවා.
වෙලාව බලලා, අපි සේරම එක හඬින් කෝච්චියේ හූව නැගුවා:
 

"මාෂ් මෙලෝ.....ස්!"

ටිකක් සද්දෙ අඩුවෙන් දෙවන මාලයෙන් හඬක් නැගුණා: 


"අපි තමයි කෑවේඒඒඒ!!"

අපිට යක්ෂ කේන්තියි. කෑවා මදිවට තව ලැජ්ජාවක් නැතුව එකට එක කියන්නටත් ඉදිරිපත් වෙලා. මුන්ව තියන්නට වටිනවද? ඒ මදිවට අපට පෙන්නන්නට බැරි කෙල්ලන් දෙන්නටත් ඒක හරිම හුරතලයක්. උනුත් හිනා වෙනවා.

බොහෝ දෙනා පිඹින කල්හි අළු ඉවත්ව ගින්න වඩා හොඳින් ඇවිළේ.

සිද්ධිය ගැන කතා කරන්නට කරන්නට අපේ තරහ තව තවත් ඇවිස්සුණා.
"මුන්ට පාඩමක් උගන්නන්නට ඕන." නිලූ අවසාන තීරණය දුන්නා.
"ඔව්, ඔව්."
"ආයෙ හොරා නොකන්නම පාඩමක්."

එදා රාත්‍රියේ අපි පලි ගැනීමේ නියම සැලසුම හැදුවා.
කූඩාරම් තුනක් තිබුණට, අපි දාහතර දෙනාම එදා නිදා ගත්තෙ එකම කූඩාරමක. තුන් හතර දෙනෙකුට පමණක් සෑහෙන ඒ කූඩාරමේ අපි වටේට හිස් දාලා, මැද්දෙන් කකුල් එක උඩ එක දාගෙනයි හිටියෙ. හෙල්ලෙන්නටවත් බැහැ. ඒ මදිවට අර වල් කොල්ලන් ගැන අනියත බියකින් මධුරි වප්පිහියකුත් උස්සන් ඇවිත් කූඩාරම තුළ තියන් හිටියා. වැඩිහිටියන් ගන්නා තීරණයකට එකඟ වන කුඩාවුන් මහන්සිය නිසාම ඉක්මණින් නින්දට වැටුණා. මමත්, මධුරිත්, කුමුදුනිත්, නිලුත් කුටු කුටු ගාමින් සාකච්ඡා කළා.

පහුවදාට එළි වුණා. සාමාන්‍ය කඳවුරු ජීවිතය ඇරඹුණා.

ඔත්තු බැලීම සඳහා වරින් වර එකා දෙන්නා ප්‍රධාන නිවසට ගියා. ශීතකරණයට යමක් දැමීමට, ඉන් යමක් ගැනීමට, හැලියකට පියනක් ප්‍රේමාගෙන් ඉල්ලාගැනීමට වැනි නොයෙක් හේතු දක්වමින් කුස්සිය පැත්තෙන් පිරිසක් ගියා.

එදිනට සැලසුම් කර තිබූ කඳවුරෙහි හදිසි ක්‍රියාදාමයට සූදානම් වීමේ මුහුණුවරින් තවත් පිරිසක් ප්‍රධාන මිදුල පැත්තෙන් පාරට ගියා. පාරෙහි සිට පහත බලනවිට ඒ නිවසේ විශාල කොටසක ඔත්තු බැලිය හැකියි.

දහවල් අපේ ආචාර්යවරිය නගරයට ගියා. ප්‍රේමා කුස්සියේ වැඩ. අපේ හතුරන් පිරිස දෙවන මහලේ පාඩම් කරමින් සිටියා.

මමත් නිලුත් පිහියකුත් රැගෙන, ප්‍රධාන මිදුල හරහා ඉස්තෝප්පුවට ගොඩ වුණා. එහි කෙළවරක නවතා තිබුණේ නලීන්ගෙ චොපර් බයිසිකලය. ගෙතුළින් යමෙක් එතිදැයි මම ඔත්තු බලන අතරතුර නිලූ බයිසිකලයට "සාත්තු" කළා.

දිගු විනාඩි කිහිපයක් ගෙවුණා.
"හරි." නිලූ කිව්වෙ ඇහෙන්.

එදා මුළු හැන්දෑ වරුවම අපි හිටියෙ උනන්දුවෙන්, ප්‍රවෘත්ති අපේක්ෂාවෙන්. වරින් වර එකිනෙකා ගෙතුළට රිංගා බැලුවා ඇයි නලින් කොහෙවත් නොයන්නෙ කියලා. හෙට උදෑසනින් කඳවුර ඉවරයි. අපේ ඇස් පනාපිටම "සාධාරනය" දැකීමට අපි පුල පුලා බලා සිටියා. නිලූ කිව් පරිදි, බයිසිකලය පැදගෙන මීටර සියයක් යන්නට ලැබෙන්නෙ නැහැ....

සවස් වුණා.

අපි හිටියේ තේ සාදමින්. හදිසියෙම කෑ ගසන හඬක් ඇසුණා. රිලවුන් රංචුවක් කඳවුරු භූමිය ආක්‍රමණය කරලා. සෝදා වේලෙන්නට නවා තිබුණු හැලියක් එකෙක් උස්සගෙන ගිහිල්ලා. තවත් කිහිපදෙනෙක් කූඩාරම් තුළට රිංගන්නට වෑයම් කරනවා. බියට පත් කෙල්ලන් හූ තියනවා. ඒ අතර අපේ යකා අවුස්සමින් අර වල් කොල්ලන් කවුළුවෙන් අප දෙස බලමින් විනෝද වෙනවා.
සුදු ජාතික කාන්තාව දරුවත් වඩාගෙන පිටතට අවුත් ඔහුට රිලවුන් පෙන්වනවා.

මේ කෝලාහලය අතරතුර, පිටතට ගොස් සිටි අපේ ආචාර්යවරියත් පැමිණුනා. ඇය කඳවුරු භූමියට ආවෙ රතිඤ්ඤා කරල් කිහිපයක් රැගත් ප්‍රේමාත් සමග. ප්‍රේමා රතිඤ්ඤා කරලක් දැල්වූවා.

"ඩෝං!"

රිලවුන් මොහොතකට වැඩ නතර කරලා බැලුවා.

 සුදු ජාතික කාන්තාව අපේ ආචාර්යවරිය සමග මොකක්දෝ කතාවක්. ඇය දරුවා ආචාර්යවරිය අතට දෙනවත් එක්කම ප්‍රේමා දෙවන රතිඤ්ඤා කරලත් දැල්වූවා.
"ඩෝං!"

රිලවුන් ළමයින් විතර ගැස්සුණේ නැහැ. උන් ටිකක් ඈතට පැනලා, ඒ අවටම ගස්වලට නැග ගත්තා. අනතුර පහ වූ වහාම, නැවත පහළට බසින සූදානමෙන් ඉවසීමෙන් බලා සිටියා.

ඇතැමෙක් කම්මැළිකමට වගේ තමන් හිටිය රඹුටන් ගහේ ගෙඩි ටික සූරා දාන්නට වුණා.

"ෂිහ්! ෂිහ්!!" ප්‍රේමා කෑ ගැහුවා. ඇය එක දිගට තමන් අතේ තිබුණු රතිඤ්ඤා දල්වමින් ගස් උඩට විසි කරන්නට උත්සාහ ගත්තා. රිලවුන් වඩාත් ඉහළට නැගගෙන ඉවසීමෙන් බලා සිටියා.

"එපා ප්‍රේමා. වැඩක් නැහැ." ආචාර්යවරිය කිව්වා. "අහස් කූරු යවන්නට ඕන."
"අහස් කූරු එහෙනම් කඩෙන් ගේන්ටය කියලා පුංචි මහත්තයට කියන්නට ඕන." ප්‍රේමා කිව්වා. "ගෙදර තිබුණු ඒවා ඉවරයි."

අපි පස්වණක් ප්‍රීතියෙන් පිනා ගියා. මේ තමයි අපි බලාපොරොත්තුව සිටි ඒ සුන්දර මොහොත.

තව ටිකකින් නලීන් බයිසිකලයේ නැගී කඩේට යනු ඇති; තව ටිකකින් සලබලාං යනුවෙන් සද්දයක් එනු ඇති; තව ටිකකින්....

"එහෙනම් දැන් ඉතින් කරන්නට දෙයක් නැහැ." ආචාර්යවරිය දරුවාව ගෙට ගෙනයන්නට හැරුණා. 

"කේට් බයිසිකලෙත් අරන් ටවුමට යනවා කියලා ගියා!"

සලබලාං සද්දෙ ඇහුණෙ ඒත් එක්කමයි.
**************************

එදා හොඳටම රෑ වෙනතුරු අපි කේට්ගෙ දරුවා බලා ගත්තා. ආචාර්යවරිය අපේ තරහකාර කෙල්ලනුත් සමග කේට් රැගෙන රෝහලට ගිහින්. ප්‍රේමා දරුවාට කිරි හදා පහළට එව්වා. අපි කඳවුරෙහි කෑම ඉව්වෙ නැහැ. මධුරි දෙවියන්ට කන්නලව් කරන්නට වුණා:
"මෙහෙම දෙයක් වෙයි කියලා අපි හිතුවෙ නැහැ දෙය්යනේ. අනේ ඉක්මණට කේට්ව සනීප කරලා දෙන්න. අපි බුමුතුරුණක් පූජා කරන්නම්, මාළිගාවට...."

ඉන් පස්සෙ ඇයත් කුමුදුනිත් එකතු වෙලා නිලූටත් මටත් දොස් කියන්නට වුණා.
"තරහ ගිය පලියටම ඔහොමත් වැඩ කරනවද?"
නිලූ හොර පූසෙක් මෙන් බිම බලාගෙන හිටියා.

මම දරුවාගේ හිස අත ගෑවා.

නලීන් හා රජීව පහළට ආවෙ ඒ අතරතුර.
"ප්‍රේමා කට්ටියටම කෑම ඉව්වා. ඇවිත් කන්න."
"අපිට බඩගිනි නැහැ."
"එන්න. උයලා තියෙන්නෙ."
"අපි අරගොල්ලො එනකම් ඉන්නම්."
"නැහැ, අම්මා කිව්වා කට්ටියට කන්න කියන්න කියලා."
"අපි ගිහින් කමු නේද? නැත්නම් හරි නැහැ." කුමුදුනි කිව්වා.

අපි අදිමදි කරමින් නැගිට්ටා. රංචුවම එක ගුලියට වත්තෙ පඩිපෙළ ඔස්සේ මිදුලට නැගලා ඉස්තෝප්පුවට ගොඩ වුණා. දොර ළඟදි නලීන් ආපසු හැරිලා බිම බලාගෙන මිමිණුවා,

"අපි හිතුවෙ මාෂ්මෙලෝස් ප්‍රේමා හැදුව ඒවා කියලා. තරහ වෙන්න එපා."