Monday, October 21, 2013

කුමාර

කුමාර. මට මතක විදිහට, ඒක තමයි නම.

කුමාරව හම්බුණේ කේ. ජයතිලකයන්ගෙ කතන්දර පොතින්. ඔව්, ඒ කතන්දර පොතේ නම "කතන්දර පොත".

කුමාරගෙ තාත්තා වඩුවෙක්. අම්මා පැදුරු වියන්නියක්. තමන් විඳින දුකින් දරුවටවත් ගොඩ එන්නට හිතාගෙන, ඔවුන් කුමාරව ගුරුතුමා ගාවට යවනවා.
කුමාර දක්ෂ දරුවෙක්. ඔහු හොඳින් ඉගෙනගන්නවා.

දවසක්දා ගුරුතුමා ළමයින්ට කියනවා කතන්දරයක් ඉගෙනගෙන එන්නටයයි කියලා. කුමාර ගෙදර ඇවිත් අම්මටයි තාත්තටයි කියනවා කතන්දරයක් කියලා දෙන්නටයයි කියලා.

ඒත් ඔහුගෙ අම්මලා කතන්දර දන්නෙ නැහැ. ජීවිත කාලයම මහන්සි වී වැඩ කළා මිස, ඔවුන් කතන්දර ඉගෙනගෙන නැහැ.

කුමාර අඬලා නිදිය ගන්නවා. රාත්‍රියෙදි, කුමාරගෙ පන්හිඳත් පුස්කොළ පොතත් යනවා කතන්දරයක් හොයාගෙන එන්නට. ඔවුන්ට හමුවෙනවා සාහිත්‍යයට අධිපති සරස්වතී දෙවඟනව.
සරස්වතී දෙවඟන කල්පනා කරනවා, ළමයින්ට කියවීමට කතන්දර තිබිය යුතුයි කියලා. එහෙම හිතලා, ලොව පුරා පඬිවරුන්ව කැඳවලා කියනවා, ළමයින් උදෙසා කතන්දර ලියන්නටයයි කියලා.

එහෙමයි කතන්දර පොත් බිහි වෙන්නෙ.

කුමාර. ඒක තමයි නම.

කුමාරව හම්බුණේ හමුදා රෝහලේ සැත්කම් මේසයක් උඩදි. මම එහෙ හිටිය මාසය ඇතුළත තුන් හතරවතාවක්ම ඔහුව හම්බුණා. යුද්ධයට හසු වී ඔහුගෙ අත් දෙකම හා පාදයක් අහිමිව තිබුණා.

කුමාර බොහොම කඩවසම්, ළමා පෙණුමක් ඇති, විසි වියැති සොල්දාදුවෙක්.

"මටනම් අඩු ගානෙ ඇස් පෙනෙනවා. සමහර අයගෙ ඇස් තුවාල වෙලා, අන්ධ වෙලා." ඔහු දවසක් කිව්වා.
"ඇඟිලි එහෙම වැඩ කරන්න පුළුවන් කෘතිම අතක් හම්බෙනවනම්... එහෙම අත් තියෙනවා.  මට පුළුවනි මහන්සි වෙලා වැඩ කරන්න, කාගෙන්වත් යැපෙන්නෙ නැතුව." තවත් දවසක කිව්වා.
හුඟක් වෙලා කතා කර කර හිටිය දවසක කුමාර ටිකක් බැරෑරුම් විදිහට මෙහෙමත් එකතු කළා: "අනික් දේවල්නම් කමක් නැහැ. වැසිකිළි ගිහින් අම්මට කියන්න බෑනෙ."

එහෙම අත් තියනවද කියලා හොයා බලන්නට උදව් වුණේ සුජීව සහ කුමාරි. ඒ දෙන්නා හමුදාවෙ නිසා මේ දේවල් ගැන දැන හිටියා.
ඒ විදිහෙ අත් තියෙනවා. නමුත් විද්‍යුත් කෝෂ මගින් ක්‍රියා කරන නිසා, නඩත්තුව අපහසුයි. හුඟක් දෙනා, ඒ අත් ගලවලා පැත්තකට දානවා.
අතක් දැමීම, එච්චර පහසු දෙයක් නෙවෙයි. මුළින්ම අත්වල තුවාල සුව වෙන්නට ඕන; ඉදිමුම් බහින්නට ඕන. ඉන් පස්සෙයි නියම මිණුම් ගන්නට පුළුවන් වෙන්නෙ. ඊලඟට අත ව්‍යායාම කරවමින් හුරු කරවන්නට ඕන මාස කීපයක්.
ඊට කලින් සොයා බැලිය යුතු දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට, බිම වාඩි වන වැසිකිළි වෙනුවට, පුටුවක පරිදි වාඩි විය හැකි වැසිකිළි පෝච්චි ලබා දෙන්නට ඕන; නළ ජලය ලබා දෙන්නට ඕන.
එහෙම දේවල් ලබා දෙන්නටනම්, ඒ ගෙදර සොල්දාදුවාට ජීවත් වීමට සුදුසු, ඔහුව බලා ගන්නට නිසි කෙනෙක් සිටින තැනක් වෙන්නට ඕන.

"ගමේ කෙල්ලො එහෙම ඇවිත් ඔලුව අත ගාලා යනවා ඇති නේද? කෙල්ලො කී දෙනෙක් කැමැතිද දැනට?" කාර්ය මණ්ඩලය අත පය අහිමි සොල්දාදුවන්ගෙන් ප්‍රශ්න කරනවා. එහෙම හිත ධෛර්යමත් ගෑණු ළමයි ගම්වල ඉන්නවා.
කුමාරට පොඩි කාලෙ ඉඳන්ම තාත්තා නැහැ. අම්මා වෙන කසාදයක් බැඳලයි ඉන්නෙ. කුමාර හැදුණෙ අත්තම්මා ගාව. ඒ ගෙදර කුමාරත් එක්ක හැදුණු පුංචි අම්මා දැන් විවාහ වෙලා.

දෑතම හා පාදයක් අහිමි කුමාරව තව අවුරුදු තිහ හතළිහක් නැතිනම් ඊටත් වැඩියෙන් කල් බලාගන්නෙ කවුද?
හමුදා නිවහන වඩාත් සුදුසුයි.

කුමාර කාටවත් පෙනෙන්නට ඇඬුවෙ නැහැ. ඒ හින්දා, ඒ කතන්දරය, එතැනින් ඉවරයි.

Saturday, October 5, 2013

අයිස්ලන්තෙන් ආව අය

පුංචි දරුවන්ට සිරුරේ උෂ්ණත්වය පවත්වා ගැනීම වැඩිහිටියෙකුට වඩා අමාරුයි. ඒ හින්දා, විශේෂයෙන්ම අලුත උපන් දරුවන් ඉන්න තැන්වල, විදුලි පංකා හා වායු සමීකරණ යන්ත්‍ර පාවිච්චි කරන්නට ඕන පරිස්සමෙන්. සමහරවිට මේ ගැන වැඩිය නොහිතන සෞඛ්‍ය සේවකයින් තමන්ගෙ පහසුව ගැන හිතලා, පංකාවෙ වේගය වැඩි කරන අවස්ථා, වායු සමීකරණයෙ උෂ්ණත්වය බොහොම අඩු කරන අවස්ථා තියෙනවා.
සමහර වෙලාවට අංශක 16-17ට පවා.

"අයිස්ලන්තෙන් ආව අයද මෙතන ඉන්නෙ?" කියලා අමනාපෙන් අහපු වෙලාවල් තියෙනවා. එහෙම අහනකොට ඒ අය හිත අමාරු කරගන්නට ඇති.

චම්පික රණවක මහතා විසින් විදුලි බල අමාත්‍යවරයා විදිහට පළ කළ විදුලිය අරපිරිමැසීම පිළිබඳ අත් පත්‍රිකාවක් මට හමු වුණේ අහම්බෙන්. විදුලිය පිරිමැහීම ගැන දැන සිටි කරුණු වගේම, නොදන්න කරුණුත් සෑහෙන්න එතන තිබුණා.

ඒ කියන විදිහට, දැනට ලංකාවෙ මුළු විදුලි සැපයුමෙන් හරි අඩකට වඩා ලබා ගන්නෙ ඛණිජ තෙල් දහනය කිරීමෙන් විදුලිය නිපදවන තාප බලාගාරවලින්. (පත්‍රිකාව ලියල තියෙන්නෙ 2012දි) ඒ සඳහා දිනකට වැයවන මුදල රුපියල් මිලියන 168ක්. කර්මාන්ත හා වෙළඳ අංශයෙ දිනකට විදුලි නාස්තිය රුපියල් මිලියන 20ක්. (අර මාළු විකුණන තැන්වල ලයිට් ගොඩක් දාගෙන මාළු දිලිසවන්න එහෙමත් එක්ක, මං හිතන්නෙ. එතකොට ඇඳුම් කඩවල, ස්වර්ණාභරන සාප්පුවල එහෙම...) ගෘහස්ථ අංශයෙ විදුලි නාස්තිය දිනකට රුපියල් මිලියන 15ක්.
ටිකක් නෙවෙයි හොඳටම වැඩි වගේ.

ලංකාවෙ දිනකට විදුලිය නිෂ්පාදනයෙදි පරිසරයට කාබන් ඩයොක්සයිඩ් ටොන් 11500ක් එකතු වෙනවා. පරිසර උෂ්ණත්වය වැඩි වීමට, මුහුදු මට්ටම ඉහළ යාමට අපි දායක වෙන්නෙ එහෙමයි. කියනකොට මතක් වුණේ, දන්න කෙනෙකුගෙ ගාල්ල/මාතර පැත්තෙ තිබුණු මුල් ඉඩම්, අක්කර හතරක පොල් වත්තක් දැන් මුහුදට යට වෙලාලු. මේ මතක ඇති කාලයෙ, අවුරුදු 30ක් විතර ඇතුළත. ඒ කියන විදිහට ඒ හරියෙ මුහුදු සීමාව, දැන් කිලෝමීටරයකින් විතර ගොඩබිම කාලා.

අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න කිව්වට මදි වගේ.

ආලෝකකරණයේදී:
CFLහෝ  LED බල්බ භාවිතා කරන්න.
විදුලි බල්බ දූවිලි පිස දමා පිරිසිදු කරන්න.
නිවාස සැලසුම් කිරීමේදී ස්වභාවික ආලෝකය හැකි පමණ ලැබෙන විදිහට දොර ජනෙල් ස්ථානගත කරන්න.
බිත්ති, සිවිලිම්, තිර රෙදි ආදිය සඳහා ලා වර්ණ භාවිතා කරන්න.

ශීතකරණ:
ගෙදරක මුළු විදුලි පරිභෝජනයෙන් 30%-50%ක් යන්නෙ ශීතකරණයට.
ශීතකරණයෙ දොර නිසි පරිදි වසා තබන්න.
එය අරින වහන වාර ගණන හැකි පමණ අඩු කරන්න.
එහි පිටුපස කොටස කෙළින්ම සූර්යාලෝකයට හෝ උණුසුම් පරිසරයකට නිරාවරණය නොවන පරිදිද, බිත්තියෙන් අඟල් 10කවත් පරතරයක් ඇතිවද තබන්න.
ශීතකරණය තුළ උණුසුම් ආහාර තැබීමෙන් වළකින්න. (මමනම් මේ වැඩේ කරලා තියෙනවා- කෑම ඉක්මණින් නිවා ගන්න රස්නෙ පිටින් ශීතකරණයට දාන එක. ආයෙ නොකරමි.)
ඊලඟට පිසීමට නියමිත, අධිශීතකරණ කුටිය තුළ ඇති ආහාර, පැය 10-12කට පමණ පෙර ඉන් පිටතට ගෙන, සාමාන්‍ය ශීතකරණ කුටියේ තැබීමෙන් වැයවන විදුලිය අඩු වේ. (ඒ කියන්නෙ, හෙට උදේට මාළු එහෙම උයන්න ඉන්නවනම්, අද රෑ ඒවා සාමාන්‍ය කුටියට මාරු කරන්න පුළුවනි.)
එළවළු, පලතුරු ආදිය පොලිතින්වල ඔතා අසුරන්න; දියර වර්ග වසන ලද බඳුන්වල තබන්න. එවිට තෙතමනය මුදාහැරීමා සීමා වන නිසා විදුලි පරිභෝජනය අඩු වේ.
අවශ්‍යම දේ පමණක් ශීතකරණයේ තබන්න.( ඒ කිව්වෙ, කූඹි වහන හින්දා සීනි බෝතලේ ෆ්‍රිජ් එකේ තැබීම වගෙ වැඩ කරන්න එපා. මමනං ඉස්සර එහෙම කළා. පස්සෙ, හොඳට සීල් වෙන බෝතලයක් ගත්තා, නැත්නම් තේ එක හදන්න කලින් නිවෙන නිසා. ඒත් විදුලිය ගැනනං කල්පනා වුණේ නෑ.)

ශීතකරණයක් ගන්නකොට, තමන්ගෙ අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයෙන් මිස, අනවශ්‍ය තරම් විශාල එකක් ගන්න එපා කියලත් පත්‍රිකාවෙ තිබුණා. ඊට අමතරව, ඉන්දික කියනවා වගේ ඉන්වර්ටර් තාක්ෂණය භාවිතා කරන ශීතකරණයක් මිළට ගන්නට පුළුවන්නම්, විදුලි පරිභෝජනයෙන් 30-50% පමණ ඉතිරියක් වෙන බවත් පැවසෙනවා.
http://www.bijlibachao.com/Refrigerators/refrigerators-with-inverter-technology-can-help-save-electricity.html

රෙදි මැදීමේදී:
තෙත රෙදි මදින්න එපා. (මම ඉස්සර මේ වැඩෙත් කළා. විශේෂයෙන් වහින දවස්වලට, රෙදි වේළෙන්නත් කල් යන නිසා, සමහර වෙලාවට අයන් කරලම තමා වේලෙන්න දැම්මෙ.)
රෙදි මදින ලෑල්ලට යටින් තුනී ඇලුමිනියම් කොළයක් තබන්න. එමගින් උෂ්ණත්වය පරාවර්තනය වන බැවින් දෙපැත්තෙන් එකවර මැදේ.
රෙදි මැදීම අතරතුර ඉස්තිරික්කය පසෙකින් තබනවිට එහි පතුළ සිරස්ව තබන්න.
දින කීපයක රෙදි එකවර මැදගන්න. මුළින් ගනකම රෙදිද, අන්තිමට සිනිදු රෙදිද මැදගන්න. එවිට ඉස්තිරික්කය නිවා, එහි ඉතිරිව ඇති රස්නයෙන් මැදගත හැක.

විදුලි පංකා:

හැකි පමණ ස්වභාවික වාතාශ්‍රය ලැබෙන පරිදි දොර ජනෙල්, තිර රෙදි සකසාගන්න.
සිවිලිං පංකා වෙනුවට අඩු බලශක්තියක වැයවන මේස පංකා හෝ සිටුවා තබන පංකා භාවිතා කරන්න.
කිසිවෙක් කාමරයේ නැතිවිට පංකාව නිවා තබන්න. (මේකනම් රැකියා ස්ථානවලදි හොඳින් සිහිපත් කළ යුතු දෙයක්.)

රෙදි සෝදන යන්ත්‍ර භාවිතය:

අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයේ යන්ත්‍රයක් මිළට ගන්න. පුද්ගලයින් 4-6ක් සහිත පවුලකට කි.ග්‍රෑ. 5ක ධාරිතාවයක් සෑහේ.
අනවශ්‍ය ලෙස වැඩි වාර ගණනක් භාවිතා කිරීමෙන් වැළකිය යුතු සේම, අතිශයින් අඩු හෝ වැඩි බරක් රෙදි යන්ත්‍රයට පැටවීමෙනුත් වළකින්න. කාර්යක්ෂමතාවය අඩු වීම නිසා විදුලි පරිභෝජනය වැඩි වේ.
වියළීමේ යන්ත්‍රය භාවිතය සීමා කර, හැකි සෑමවිටම හිරු එළියෙන් වියළා ගන්න.
හැකිනම්, ඉදිරිපසින් රෙදි ඇතුළු කරන යන්ත්‍රයක් මිළට ගන්න. ඒවා වඩා කාර්යක්ෂමය.

වායු සමීකරණ යන්ත්‍ර:
හැකි සැමවිටම මේ වෙනුවට විදුලි පංකා භාවිතා කරන්න.
දොර ජනෙල් තුළින් වාතය පිට නොවන සේ හොඳින් වසා තබන්න.
කාමරය තුළට කෙළින්ම හිරු රැස් වැටේනම්, තිර රෙදි දැමීමෙන් හෝ තුරුලතා වැවීමෙන් එය මග හරවන්න.

උෂ්ණත්ව පාලකය අංශක 26ට පිහිටවන්න. අංශක එකක අඩු වීමක් සඳහා වියදම 40%කින් වැඩි වේ. (සෙල්ලම් නෙවෙයි. මං ගණන් හදල බැලුවෙ, අපේ සමහර අය කරනවා වගේ අංශක 16-17ට අඩු කළහම වියදම කොහොමද කියලා. තව මේ නිතරම ඇරෙන දොරවල් සහිත අංශවල.)

රූපවාහිනී යන්ත්‍ර:
නරඹා අවසන, දුරස්ථ පාලකයෙන් පමණක් නොව, ස්විචයෙන්ම නිවා දමන්න. දුරස්ථ පාලකයෙන් පමණක් නිවූවිට ස්ටෑන්ඩ් බයි තත්වයේ ඇති නිසා, වර්ණ රූපවාහිනියක් සඳහා වොට් 18-25 අතර විදුලිය වැය වීමක් සිදු වේ.
රූපවාහිනිය නරඹනවිට, නිවසේ අනෙක් ස්ථානවල විදුලි පහන් නිවා දමන්න.

මේ පත්‍රිකාව දැකලා ටික දවසක් වුණත්, ආයෙම මතක් වුණේ, කාබන් විමෝචනය හා ගෝලීය උෂ්ණත්වය ගැන මය්යා පළ කළ ලිපිය දැකලා.
http://maiyyagelokaya.blogspot.com/2013_10_01_archive.html
http://maiyyagelokaya.blogspot.com/2013/03/blog-post.html