"මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබ තමයි මගේ ස්වාමියා."
"අම්මට සිරි!" උපාලිට කියවිණි.
"ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය.
"නෑ නෑ. සිරි කියන්නෙ ශ්‍රී කියන එක. ආශීර්වාද කරන්ඩ කියන වචනයක්." උපාලි වැරැද්ද හදාගන්නට තැත් කළේය.
"ඒ කිව්වෙ බොරුවක්ද?" භූතයා තවත් ප්‍රශ්නයක් නැගීය.
"කාසියෙම ඉඳල මහන්සි ඇති." උපාලි මාතෘකාව වෙනතකට හැරවීය. "ඉතින් මොනවද බූතයෙක් හැටියට කරන්ඩ පුළුවන් වැඩ?"
"භූතයෙක්- මහප්‍රාණ භ යන්න." භූතයා නිවැරදි කළේය. "තමුන්ට මොනවද කෙරෙන්න ඕනෙ?"
උපාලි මඳක් කල්පනා කළේය.
"මාව මේ ලෝකෙ ඉන්න ලොකුම පෝසතා කරනවකො එහෙනම්."
"එහෙම ඒවනම් කරන්න අමාරුයි." භූතයා කණගාටුවෙන් පැවසීය. "මං ඉතින් නිකං සිල්ලර කාසියක භූතයෙක්නෙ. සිල්ලර වැඩ තමයි පුළුවං."
"මූත් මටම හරියන එකෙක් වගේ."උපාලිට සිතිණි. ඔහු සිල්ලර අවශ්‍යතාවයක් මතක් කළේය.
"ආ, එහෙනම් කන්ඩ මොනව හරි ගේනවකො."
"එහෙම බෑ. ඕන කරන දේ හරියටම ඉල්ලන්න ඕන."
"බත් පිඟානක්."
"එච්චරනං අමාරුයි..."
පැයක් දෙකක් යනවිට උපාලි භූතයාගේ තරම වටහා ගත්තේය: අතුරුදහන් වීමත් සදාචාරය කතා කිරීමත් හැර ඌට මෙලෝ වැඩක් බැරිය.
****************************
වැව් කණ්ඩිය ඔස්සේ භූතයා සමග ගමන් ගන්නා උපාලි, උගෙන් වැඩක් ගැනීම සඳහා සැලසුම සකසන්නට විය.
"තමුසෙ මටම හම්බුණු එක හොඳයි. මේක ඔය යක්කුන්ට බූතයන්ට තියා දෙය්යන්ටවත් තනියම ඉන්ඩ හොඳ කාලයක් නෙවෙයි. අන්න බලනවා." උපාලි පත්තර ලෑල්ලකට අත දිගු කළේය.පත්තරේ සිරැසිය දුටු භූතයාට කියන්නට ගිය දෙය අමතක විය.
"මගෙත් එක්කම ඉන්නවා. මං කියන හැටියට හිටියොත් මොණර කොළේක බූතයෙක් වුණත් වෙන්ඩ පුළුවන් ඉස්සරහට."
"භූතයෙක්, මහප්‍රාණ භ යන්න." භූතයා පිළිතුරු දුන්නේය. "කාසිය තියෙන කෙනා දාලා මං යන්නෙ නෑ."
"වැඩේ හරි සරලයි. කිසිම හොරයක් බොරුවක් වංචාවක් නෑ." හන්දියට පැමිණි උපාලි පචගහට හේත්තුවක් දාගෙන පැහැදිලි කළේය. "තමුසෙට තියෙන්නෙ, ඔය මට කිව්ව හරියම අනික් මිනිස්සුන්ටත් කියන්ඩ."
"ඒත්.." භූතයා අදිමදි කළේය. "අර පත්තරවල තිබ්බ හැටියට...."
"මම ඉන්නකං බය වෙන්ඩ දෙයක් නෑ." උපාලි වැඩට බැස්සේය.
"මගෙ කොන්දේසි දෙකයි තියෙන්නෙ.
එක- මොනම හේතුවක් නිසාවත් ප්‍රසිද්ධියෙ අතුරුදහන් වෙන්ඩ බෑ.
දෙක- මාව දාලා යන්ඩ බෑ."
*********************************
පචගහ යට සරුවාලයක් හැඳ, ජටාවක් බැඳි පුද්ගලයෙක්, යන එන්නන් නවතා මෙසේ කියයි:
"ඒයි, මේ, දන්නවද, මම භූතයෙක්!"
මිනිස්සු අවඥාවෙන් බලති; ඇතැමෙක් සැකෙන් බලා පය ඉක්මණ් කරති..
අසරණ වූ විලාශයෙන් දර්ශනයට පිවිසෙන උපාලි භූතයාව වත්තන් කර ගනී.
"අනේ මහත්තයො, සමා වෙන්ඩ. මේ මගෙ එකම මල්ලි. මිනිහට පිස්සු. අපේ දෙමවුපියො නෑ. මටත් රස්සාවක් කරගන්ඩ විදිහක් නෑ, මෙයාව බලාගන්ඩ කෙනෙක් නැති හින්දා. පින් සළකලා කීයක් හරි...."
භූතයා විශ්මයෙන් උපාලි දෙස බලයි. "මං කොහොමද ඔයාගෙ මල්ලි වෙන්නෙ? මං භූතයෙක්."
උපාලිගේ දෙනෙතින් කඳුලක් එළියට පනී.
"එක දිගට බෙහෙත් කරානං තවමත් සනීප කරන්ඩ පුළුවන් මට්ටමේ කියල දොස්තරලා කියනවා. ඒත් කන්ඩවත් සල්ලි නැති අපට...."
"මොනවා සනීප කරන්නද?" භූතයා අසයි. "ඉතින් මං භූතයෙක් තමයිනෙ?"
මිනිස්සු අතට අසුවෙන මුදලක් පින් තකා විසි කරති.
උපාලිගේ සාක්කු පිරීගෙන එනවිට පොලිසිය පැන්නේය. ප්‍රතිපත්තිමය කරුණු මත සල්ලි ටික මුළින්ම අත් අඩංගුවට ගනු ලැබිණි. උපාලිට හැරෙන්නටවත් වෙලාවක් නැති විය.
"තමුන් දන්නවද මානසික රෝගියෙක්ව මෙහෙම විකුණගෙන හම්බ කිරීම නීතිවිරෝධී බව?"
රාළහාමි සැරය.
භූතයා කට දැම්මේය.
"මං භූතයෙක්..."
"හරි හරි. ඒ ගැන අපි බලා ගන්නං. දෙන්නම නගිනවා ජීප් එකට."
"අනේ මහත්තයො, මේ පිස්සෙක් නෙවේ..."
උපාලි පින්සෙණ්ඩු විය.
"ජීප් එකට!"
"නගින්නද?" භූතයා උපාලිගෙන් විමසීය.
"නගිමු." උපාලි නැමුණු ස්වරයෙන් කීය.
භූතයා ඊට අවනතව රියට නැග්ගේය. නගින්නට මෙන් සැරසුණු උපාලි ඉවතට පැන කඩාබිඳගෙන දුවන්නට විය.
භූතයා පත් වූයේ අනපේක්ෂිත තත්වයකටය: ඌ උපාලි සමග සිටිය යුතුය; එසේ වුවද නිලධාරීන් ඌව රියෙහි ලා වසා ඇත. උපාලි ළඟට යනු පිණිස ඌට ඇත්තේ එක් මගක් පමණි. ඒ අතුරුදහන් වී කාසිය තුළට යාමය. එහෙත් එසේ අතුරුදහන් වීම උපාලි තහනම් කර ඇත.
කොන්දේසි දෙකකට ඌ සිරව ඇත.
එකක් ඉටු කරනුවස් අනෙක බිඳිය යුතුය.
ස්වාමියාගේ අණට අකීකරු වන භූතයෙකුට පැවැත්මක් නැත.
ඈත් විය නොහැක; අතුරුදන් විය නොහැක; දෙකෙන් කෝක කළත් පැවැත්මක් නැත...
භූඌඌඌඌඌඌඌඌඌ
පොලිස් ජීප් රියෙන් අතුරුදහන් වූයේ නිකම්ම භූතයෙක් නොව, පිස්සු හැදුණු අභූතයෙකි.
**************************
උපාලි වැව් බැම්ම උඩ හිඳගෙන වැවේ නටන මාළුන් දෙස හිස් බැල්මෙන් බලා සිටී. පිස්සු හැදුණු අභූතයා ඔහු අසළ හිඳගෙන ගොරහැඩි ස්වරයෙන් ගී ගයයි:
"කාසි නැතෝ... ස්වාමියෙක් නැතෝ....
මං කවුදෝ....
මමෙක් නැතෝ... මගෙ දෙයක් නැතෝ...
මං කවුදෝ..."
"කට වහපං."
"මං භූතයෙක්ද? නැත්තං ඔයාගෙ පිස්සු හැදුණු මල්ලිද?"
"තෝද? තෝ මහ කාලකණ්ණියෙක්!"
අභූතයාට ඇඬුම් එයි.
"මාව හම්බුණු හම්බුණු මිනිහා කිව්වෙ ඔහොමයි. කොන්දොස්තර මට සල්ලි හොරකම් කරන්න කිව්වා. මං බෑ කිව්වහම මං කාලකණ්ණියෙක්ය කිව්වා. ඊට කලින් මාව අයිති වෙලා හිටපු මුදලාලිත්..."
"මුදලාලියෙක් ළඟත් හිටියද?"
"කී තැනක හිටියද? දේශපාලකයො; කන්තෝරුකාරයො; සමිතිසමාගම්කාරයො, නීතිඥයො; දුප්පත් මිනිස්සු; පෝසත් මිනිස්සු...
ඒ කාටත් මාව එපා වුණා.
මං මුකුත් බැරි එකා.
හොරයක් වංචාවක් කරන්න අකමැති එකා.
කාටවත් රිදවන්න අකමැති එකා.
කාටවත් ප්‍රයෝජනයක් නැති එකා.
දැන් මං අඩුම ගානෙ භූතයෙක්වත් නෙවෙයි."
අභූතයා වැළපෙයි. ඌ පිස්සෙක් වූයේ තමන්ගේ වරදිනැයි යන හැඟුම උපාලිව වෙළාගනී.
"උඹ පිස්සෙක්වත්, කාලකණ්ණියෙක්වත් නෙවෙයි බං. උඹ හොඳ එකෙක්." උපාලි සුසුමක් හෙළා, අභූතයාගේ පිටට තට්ටුවක් දැම්මේය.
"උඹ මගෙ මල්ලි. ඉතිං අඬන්නෙ නැතුව හිටපං."
අභූතයා කඳුළු පිස ගත්තේය.
"හැබැයි පුතෝ! එකක් මතක තියාගනිං. බූත කාලෙ ගියා; මනුස්සයෙක් විදිහට මේ පොළොවෙ පය ගහල ඉන්ඩනම්, මහප්‍රාණ බෑ!"
බුව හහ් හා...
ReplyDeleteආ මෙන්න කෙටි කතා තරඟෙ පළවෙනි ස්ථානය .. මන් කීප වතාවක් එතනදිත් කියෙව්ව.. ඕන් දැන් ආයිමත් සැරයක් කියෙව්වා..
ReplyDeleteකෙකර ගාන්නෙත් නැතුව දැම්මොත් දමන්නෙ ම රත්තරන් බිත්තරයක්ම තමයි ! මට බය කවුරුහරි ලෝබයෙක් සේරම බිත්තර එක සැරේ ගන්න උත්සාහ කරයිද කියලයි !
ඕං අබූතයා මුලින්ම සිනා නඟලා...
ReplyDelete"උඹ මගෙ මල්ලි... ඉතිං කෑගහන්නේ නැතුව හිටපං."
සිත් ආර ට ගොඩ වැදුනේ නම් ඔන්න අද පලවෙනි වතාවට.... ඇත්තටම ඒ අය ලග මුකුත් කරන්න බැරි විදිහට ඉන්න එකත් හොදයි තමා
ReplyDeleteමේකට කොමෙන්ට් එකක් නොදා කොහොමද..
ReplyDeleteඅති විශිෂ්ඨයි, සුපිරියි.....දැනට එපමණයි.
මෙදා පොටේ නං මොනවා කියන්ඩද හිතා ගන්ඩ බෑ.
ReplyDeleteමේක මහ භූත ලෝකයක්!
තව සැරයක් දෙසැරයක් කියවල බලමු.
ෂොරි වෙන්න ඕන අහනවට...අර උඩින්ම කොමෙන්ට් කරල තියන (අ )බූතයා දැකලද මේ කතාව ලිව්වෙ...ඌටනම් මහප්‍රාණ බැරිය.
ReplyDeleteඅපූරු කතාවක් අක්කේ.. ඇත්ත අවංක, සාධාරන, නීතිගරුක මනුසයා සමහරුන්ට වැදගත් නෑ.. අක්කා ලස්සනට ලියලා තියෙනවා...
ReplyDeleteමමම් එදා එතනදිත් කිව්වා.මෙතනදිත් කියනවා.... නලිනි... ඔබ නම් සැබෑ හපනියක්...
ReplyDeleteකාන්තාවාදී දෑසකින් නොබලා මිනිසත්කමෙන් ඔබ සැබෑ හපනියක් කිව්වත්, අක්කේ ඔබ කාන්තාවක් නිසාත් මම හරියට ආඩම්බර වෙනවා....
ජයෙන් ජය.. තව තවත් ලියන්න. අපි එන අවුරුද්දෙ එක්සිබිශන් කාලෙට ඔයාගෙන් කෙටිකතා පොතක් බලාපොරොත්තු වුනාට කමක් නැද්ද ? ඔන්න ඔයාට ඇරයුම් කරනව.
බ්‍රැන්ඩි හා අබූත කෙටිකතා දෙක ඔබේ හැකියාව මොනවට පෙන්නුම් කලා. ජය !
හය්යෝ...ගිම්හානි ලින්ක් එක එවලත්, කෙටි කතා තරඟේ බලන්න යන්න වෙලාවක් නැති වුනානෙ. බෝම ස්තුතිය් පෝස්ට් එකක් හැටියට පල කලාට. දැන්වත් ගිහින් ඊළඟ ස්ථාන වලට ආපු ඒවත් කියවන්න ඕනෙ.
ReplyDeleteනියමය් කෙටි කතාව, තරු 10/10 ය් මගෙන්
නැවතත් දොස්තර නෝනෙට සුභ පැතුම්.... ලැබෙන්න සුදුසු කෙනෙක්ට යමක් ලැබීට සතුටට කාරණයක්...
ReplyDeleteහැමදාමත් වගේ එක හුස්මට කියවීම තමයි කලේ... කොහෙන් ඔය බුත අදහස් (සමාවෙන්න මයප්රාණ "භ" යන්න) හිතට එනවද මන්දා...මං කැමතිම තැන...
කී තැනක හිටියද? දේශපාලකයො; කන්තෝරුකාරයො; සමිතිසමාගම්කාරයො, නීතිඥයො; දුප්පත් මිනිස්සු; පෝසත් මිනිස්සු...
ඒ කාටත් මාව එපා වුණා.
මං මුකුත් බැරි එකා.
හොරයක් වංචාවක් කරන්න අකමැති එකා.
කාටවත් රිදවන්න අකමැති එකා.
කාටවත් ප්‍රයෝජනයක් නැති එකා.
දැන් මං අඩුම ගානෙ භූතයෙක්වත් නෙවෙයි."
හැමෝම බලන්නේ අයුතු ප්‍රයෝජන ගන්නම තමයි...
කියලා වැඩක් නෑ අක්කේ උපරිමයි!
ReplyDeleteජීවිතේ මල් අක්කණ්ඩි කිව්වා වගේ ලබන අවුරුද්දේ එක්සිබිෂන් එකෙන් ගන්න අක්කාගේ කෙටි කතා පොතක් තියේවි නේද?
මේ වගේ අපූරු නිර්මාණ සයිබරයට විතරක් සීමා කරනවනම් ඒක මහා අපරාධයක්!
අය්යෝ කෙටිකතා තරගේ වෙලාවේ බලන්න බැරි වුනා . පස්සේ තමයි දැක්කේ . ඒ මොනවා වුනත් මේ පසුබිමේ කියවද්දී තමයි හිතට වදින්නේ .
ReplyDeleteඅවංක භූතයා ....මේක නම් මාරයි නලිනි. කාලෙකට පස්සේ කියවපු හොඳම කෙටි කතාව . පුදුමයක් නැහැ මේක එක වුනෙක.ඔන්න ඔය ලෙඩ්ඩු බැලිල්ල ටික කලකට අත ඇරලා පොතක් දෙකක් කියන්න . අපේ බනිලගේ තාත්ත කිව්වා සිත් ආර හොඳට ලියනවනේ කියල . මට මුලින් ඇහුනේ සිතාර කියල . ඒත් බැලුව කව්ද බොලේ සිතාර කියල
මොකක්ද ඔය කෙටි කතා තරඟ කේස් එක. දැන් එහෙන් මෙහෙන් කියවන නිසා සමහර ඒවා මිස් වෙන්වා. නොනට සම්මානයක් ලැබුනා කියන එක පුදුමයක් නෙමෙයි. මගේ අදහස අනුව නිර්මාන කියන්නේ මේ වගේ දේවල් වලට. ඒ කියන්නේ වෙන්න බැරි අබව්ය සිඳුවීමක් තුලින් සමාජයේ ප්‍රශ්න සාකච්චාවට භාජනය කිරීම. මම හිතන්නේ මම මේක කලිනුත් කිව්වා. ලේඛකයන්ට ලියන්න තහන්චි වැටෙන කොට. ලියන සාර්ථක ක්‍රමයක් ඔබ අනුගමනය කරන්නේ. වදින්න ඕන හැම තැනටම වදින්න ලියල තියෙනව. (කොහොමෙයි මගේ විචාරේ. සම්බහියයි නේ...?)
ReplyDeleteදැං තියන ආර්ථිකයත් එක්ක බූතයෙකුටවත් පවතින්න බෑ. ආ..වැරදුනා භූතයා.
ReplyDelete"අබූත" කෙටිකථා තරඟෙදි කියවද්දි මම හිතුවේ කවුරු හරි පිස්සු කොල්ලෙකුගේ වැඩක් කියලා. පස්සේ දැන ගත්තේ ඒක නලිනි චන්දිමා ලියපු එකක් කියලා. සැහෙන කාලෙකින් කියවපු නිර්මාණශීලී කථාවක්.
ReplyDeleteඇත්තටම පොතක් ලිව්වොත් නරකද?
ඊයෙ කමෙන්ටුව දාපු වෙලාවෙ මොකක්දෝ වෙලා :( මම කිව්වේ වෙනස් කල දරුවාට වඩා මේ දරුවා හොඳයි කියලා.
ReplyDeleteසුභ පැතුම් සොයුරිය !!!!
@තිස්ස නාරංපොඩ්ඩ...
ReplyDeleteහරි හරි අයියා..:D
@ලකී...
ආන්න තේරුණා...
කී තැනක හිටියද? දේශපාලකයො; කන්තෝරුකාරයො; සමිතිසමාගම්කාරයො, නීතිඥයො; දුප්පත් මිනිස්සු; පෝසත් මිනිස්සු...
ReplyDeleteඒ කාටත් මාව එපා වුණා.
මං මුකුත් බැරි එකා.
හොරයක් වංචාවක් කරන්න අකමැති එකා.
කාටවත් රිදවන්න අකමැති එකා.
කාටවත් ප්‍රයෝජනයක් නැති එකා.
ඇත්තමයි භූතයෙක් නේන්නම්.
මේ කතාව කොහෙන් හරි කලින් කියෙව්වා කියලා මතකයි.
ReplyDeleteමටත් ඕනේ භුතයෙක් වෙන්න නමක් ගමක් නැති.
සුපිරි කථාවක් දොස්තර නෝනා.. ජය පතනවා...
ReplyDeleteනියමයි ඈ . . . .
ReplyDeleteසිල්ලර කාසියයි, භූතයයි....
ReplyDeleteදෙකක් නෙමෙයි එකක්.
නාලිනි, ඔයානම් හැබෑ දක්ෂයෙක්
මටත් භූතයෙක් ඕනි ... මයප්රාණ "භූ" තියන එකෙක්....
ReplyDeleteකාසි යනු භූතයෙක්මය.... ඌ ඇතුවත් බැරිය.. නැතුවත් බැරිය....
ReplyDeleteවෙනී කීව වගේ එහෙදිත් කිහිප වරක් කියවා මෙහෙදිත් දෙවරක් කියෙව්වෙමි....
කෙටිකතා තරඟෙ තිබ්බ එකට වඩා පොඩ්ඩක් වෙනස් නේද? වචන සීමාව නිසා හැල්ලිච්ච ඒවත් එකතුවෙලා වගේ. ඒකටත් වඩා මේක මරු... !
ReplyDeleteමු නම් sure එකට සත පානහේ බූතයද? කොහෙද?
ReplyDeleteසුබ පැතුම්!
ReplyDeleteඅබූත ඇහැ ගැටුණේ අඹගස් සෙවණට ගිය වෙලාවක, එතැනින් පොඩ්ඩක් කියෙව්වත් ඉන් එහා කියවන්න ඉඩක් ලැබුණේ නැහැ. ඡන්ද පොළට ගියෙත් නැහැ.
මේ මල්ටිබැරලය බොහෝ අගේය.
කටිකතා තරඟේ දී තිබ්බට වඩා මේකේ දිගයිද?
ReplyDeleteඑදා පලවෙනි පාර කියවද්දී ට වඩා අද කියවද්දී වෙනස්ම විදිහකට දැනුනා . . .
සුපිරි.
හැමෝටම බොහොම ස්තුතියි.
ReplyDeleteමුහුණු පොතේ කණ්ඩායමක් විසින් පැවැත්වුණු කෙටිකතා තරගය සඳහා මේ කතාව මුළින්ම ලියා අවසන් වුණේ මේ විදිහට- ඇත්තටමනම් තවත් සංවාදයක් තිබුණා; ඒ කොටස පසුව අයින් කළා කතාවට කෙළින්ම සම්බන්ධයක් නැති නිසා. ලියන්න පටන් ගත්තෙ කොහොම ගොඩ නැගෙනවද, කොහොම අවසන් වෙනවද කියන එක ගැන අදහසක් නැතුව හිතට එන එන විදිහටනෙ. ඒ නිසා අගට යනකොට, මුල් කොටසෙ තියෙන සමහර කොටස් අදාල නෑ වගේ.
තරගයෙ වචන සීමාව 500ක් වුණු නිසා, ඊට සරිලන ලෙස වචන 400කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කරන්නට සිදු වුණා. මම සාමාන්‍යයෙන් වචන ගණන ගැන නොහිතා ලියන නිසා, අදහසක් තිබුණෙ නෑ සීමාව ගැන. නමුත් ඒ සීමාවට වඩාත් උචිත මෙච්චර දිගට ඇදෙන්නෙ නැති කතාවක්.
මේ දිනවල ටිකක් වැඩ වැඩි නිසා වෙන වෙනම පිළිතුරු ලිවීමට කාල වේලාව ඉඩ දෙන්නෙ නැහැ. හැමෝටම බොහොම ස්තුතියි කියවා අගය කළාටත් සහායටත්.
නියමයි නියමයි නියමයි නියමයි නියමායි..
ReplyDeleteපොලීසියට ගිය බුතයෙක්වත් ඉතින් සිහි මොලේ ඇතුව ආපහු එලියට ඒවිය.. ඔයින් ගියා ඇති.. කෙහෙල් පඳුරක් අස්සේ හංගලා තිබ්බ ආයුද හොයන්න ගිහින් ඒ අතරේ පහර දෙන්න ගිහින් අකාලේ මියැදෙයි කියල බයෙන් මන් කතාව අන්තිම වෙනකන් කියෙවුවෙ.. වෙච්ච දේ වල හැටියට ඔයින් ගියා මදැයි ? (මට ගොගොල්ගේ කතා මතක් උනා)
ඔබ එක එක කමෙන්ට් වලට උත්තර ලියන්න ගන්න වෙලාව තව හොඳ නිර්මානයකට යොදවන්න කියල මම ඉල්ලුවොත්..අපේ ඉන්න අනිත් කමෙන්ට් ලියන අය එකඟ වෙයි කියල මම හිතනව ! මොකද ඔබ අපි හැමෝටම වඩා ජීවිත ගොඩදැමීමේ මහා බැරෑරුම් රාජකාරි අධික තත්වයක ඉන්න නිසා .
ReplyDeleteසුභ පැතුම් අක්කේ!ඔය භුතයත් හරියට අපේ දේශපාලන භුතයෝ වගේ මං හිතන්නේ!
ReplyDeleteනියමයි අක්කා ! කාලෙකින් කියවන්න ඉඩක් ලැබුනේ
ReplyDeleteතනි වචනෙකින් කිව්වොත් "විශිෂ්ඨයි"
ReplyDeleteලොල්... සිරා කතාව.. සරල කතාවට යටින් කියවෙන දේ නියමයි. :) දිගටම ලියන්න..
ReplyDeleteකාසියකට බූතයෙකුට ෆැන්ටසි කතාවක් ගොතලා සමාජයේ දැවැන්ත පැතිකඩක් නිරූපණය කිරීම ලෙහෙසි නැහැ. නිර්මාණයට ෆැන්ටසියක් යොදාගත යුත්තේ කොහොමද කියන ප්‍රශ්නේ සැහෙන්න වැදගත් දෙයක්.
ReplyDeleteෆැන්ටසිය මෙටෆෝර් එකක් විදිහට අරගෙන යන කතාව අපහසුයි. කම්බියක ඇවිදිනවා වගේ. ඒක පැත්තකින් සැබෑව අනවශ්‍ය විදිහට ප්‍රති නිර්මාණය කරන්න ගියොත් කියවන හිත් වල කතාව බිඳ වැටිලා බිම සත්‍යය විතරක් ගොඩ නැගෙනවා. අනික් අතට ෆැන්ටසිය ඕනවට වඩා නිර්මාණය කරන්න ගිහිල්ල කතාව ෆැන්ටසියට යටපත් වෙනවා. සංකේත නිරූපන වැඩිවෙලා සම්භාව්‍ය පස්වන මණ්ඩලේ සිංහල චිත්‍රපටියක් හැදෙන එක තවත් අභාග්‍යයක්. කම්බියේ යනකොට දෙපැත්ත බැලන්ස් කරන්න ඕනේ ඒකයි.
අබුතයා මේ කම්බිය දිගේ හොඳින් ඇවිදින බවයි මගේ මතය. ඔබ දෙන්න තියෙන පණිවුඩය දීලා තියෙනවා, කියවන්නාට හොඳවයින් කතාවකුත් දීල තියනවා වැඩිත් නැහැ අඩුත් නැහැ.
මෙන්න ලස්සන තැන කිහිපයක්. කොමෙන්ට් ස්ටයිල් ඒක ගැන කියන කතා වලට මගෙන් උත්තර නොලැබේ.
-------------
"මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබ තමයි මගේ ස්වාමියා."
"අම්මට සිරි!" උපාලිට කියවිණි.
/* ෆැන්ටසි චරිතයක් ගහෙන් ගෙඩි එන්නා සේ බිමට පැන්නම කියවන්නාට ඇතිවන විශ්මය. ලේඛිකාවද කියවන්නියක්. ඇයටමත් මේ හැඟීම ආවා වෙන්න පුළුවන් */
----------------
"කාසියෙම ඉඳල මහන්සි ඇති." උපාලි මාතෘකාව වෙනතකට හැරවීය. "ඉතින් මොනවද බූතයෙක් හැටියට කරන්ඩ පුළුවන් වැඩ?"
"භූතයෙක්- මහප්‍රාණ භ යන්න." භූතයා නිවැරදි කළේය.
/* කතාව තුල නිර්මාණය වෙන පුංචි තීම්. ලේඛිකාව අනාගතය ගැන හිතා කල ආයෝජනයක් වෙන්නත් බැරි නැහැ */
-------------
"මං ඉතින් නිකං සිල්ලර කාසියක භූතයෙක්නෙ. සිල්ලර වැඩ තමයි පුළුවං."
"මූත් මටම හරියන එකෙක් වගේ."උපාලිට සිතිණි.
/* වචන ඉක්මවා යන උත්ප්රසයක් */
----------------
"අනේ මහත්තයො, සමා වෙන්ඩ. මේ මගෙ එකම මල්ලි...
/* අදහසේ නිර්මානාත්මක බව හා ක්ෂණික ඉදිරිපත් කිරීම */
-----------------
"කී තැනක හිටියද? දේශපාලකයො; කන්තෝරුකාරයො; ...
/* කතාවේ යට අනිත් කතාව ලස්සනට එලියට අරන් */
---------------
පන්ච් ලයින්
/* විශිෂ්ටයි */
---------------
ලස්සනම නිර්මානයක් නලිනි. මේක කෙටි වර්ෂන් එකට වඩා හොඳයි. කෑලි කපලා කොහෙද කතා ලස්සන වෙන්නේ. ඔබේ ජය ගැන මගේ සුබ පැතුම්.
මටත් අද හම්බු වුනා භූත කම නැති වෙලා නිකම් බූත වෙච්ච රුපිඅලේ එවුන දෙන්නෙක්ම. ඒ මදිවට දෙන්නගෙම ලේත් ගාලා [ඉන්නෝ ඉන්න අය හිතනවා එහෙම ලේ ගෑවාම ඒවා සනීප වෙනවා කියලා - බැලුවම මුන් ඔක්කොම භූතයෝ]. වැඩිය පිරිමදින්නේ නැතුව කොන්දොස්තර මල්ලිටම දුන්නා.
කමෙන්ට්ස්වලට උත්තර නොලීමට හිතන් හිටියට, සුජීවගෙ කමෙන්ට් එක දැක්කහම අත නලියනවා වගෙයි.
ReplyDeleteවිභාගෙට භූතොලොජි ලැබේවායි පතමි. :D
ඔන්න ඉතිං බූතයොයි කුම්භාණ්ඩයොයි පිසාචයොයි අවුස්සගන්න හදන්නේ...
ReplyDeleteනොවැම්බර්..නොවැම්බර්...
මේක නම් හරිම බලවත් ලේඛනයක්නෙ...! මම එන්න පරක්කු වුණා. ඒකයි කණගාටුව. දැන් පරණ ඒවත් එක්කම කියවන්නම්!! ජය!!!
ReplyDelete