Sunday, May 31, 2015

පොතේ හැටියට...

ඉස්සර මගේ යාළුවන්ගෙ පුරුද්දක් තිබුණා ළමයි හැදීම පිළිබඳව මගෙන් විශේෂඥ උපදෙස් ඉල්ලා සිටින. මේක තරමක විහිළු සහගත තත්වයක් වුණත්, ඒකට හේතු වුණේ මම මනෝවිද්‍යා පාඨමාලා හදාරා තිබීම. ඒ හින්දා, පොතේ හැටියට ළමයින් හැදීම පිළිබඳ උපදෙස් දීමට මට පුළුවන් වුණා.

ඉතින් පොතේ හැටියට ළමයි හැදීමට හැකියාවක් නැත්තෙත් නෑ. මනෝ විද්‍යා පොත්වල තිබුණෙ, නොයෙක් පර්යේෂණ මගින් සාක්ෂාත් කරගත්තු ක්‍රම ගැන. ළමයි හදන්න වගේම, ළමයි කරන සමහර අමුතු වැඩ ගැන අවබෝධ කරගන්නත් මේ සමහර අධ්‍යයනයන් උදව් වුණා.

උදාහරණයක් විදිහට:

මට සුළු පරිමාණයේ ගෘහස්ත පුස්තකාලයක් තියෙනවා. ඕකෙ කොටසක් තියෙන්නෙ අම්මලාගෙ ගෙදර අල්මාරියක.
අක්කගෙ පුංචි දුව ගෙදර ආව දවසට මෙතන තියෙන ළමා කතා පොත් අදිනවා. රාක්ක තිබුණෙ, එයාට පහසුවෙන් පොත් ගැනීමට හැකි සීමාවෙන් එපිට. ඒ හින්දා වරින් වර වැඩිහිටියන්ගෙ කතාබහට බාධා කරමින් "තව පොතක් අරන් දෙන්න; අර හාවගෙ කතාව තියන පොත අරන් දෙන්න; ඒ දුන්නු කතාව නෙවෙයි, අනික් හා රංචුව ගැන තියන කතාව හොයා දෙන්න"යැයි ඉල්ලීම් කළ යුතු වුණා. ආපහු පොත් පිළිවෙලකට අරන් තියන්න හුරුවක් ආවෙත් නෑ. අක්කා යන්න කලින් කඩිමුඩියෙ පොත් ගොඩ එකතු කරලා, රාක්කෙ පොත් උඩින් දාන එක තමා සිද්ධ වුණේ. පුංචි කෙල්ල පොත් කියවීම ගැන සතුටු වුණත්, පොත් අපිළිවෙල වීම ගැන, අරෙහෙම පොත් ගොඩක් කෙළින් අතට තබා ඇති පොත් උඩින් තිබ්බහම ඒ පොත් නාස්ති වීම ගැන, මට පොඩි මෙව්ව එකක් තිබුණා. තරහක්මත් නෙවෙයි. පොත් ගැන දුකක් වගේ පොඩි මෙව්ව එකක්.

ඒ හින්දා ගෙදර ගිය දවසක මම තීරණය කළා ළමා පොත්, වෙනම කුඩා අල්මාරියක අසුරන්නට.
ඒක තට්ටු දෙකක අල්මාරියක්. පහළ රාක්කෙ, බිම ඉඳන් අඟල් හයක් විතර උඩින් තිබුණෙ. අක්කගෙ පුංචි දුවට බොහොම පහසුවෙන් පොත් හොයාගන්නට පුළුවනි. ඒ එක්කම කියෙව්ව පොත් ආපහු තිබ්බ තැනින් අරන් තියන එකත් එයාටම කරන්න පුළුවනි. පොත් කියවන ළමයි ඒ වැඩෙත් කිරීමට ඉගෙනගත යුතුයයි මම කල්පනා කළා.
අල්මාරියෙ එක තට්ටුවක සිංහල කතා පොතුත්, අනික් තට්ටුවෙ ඉංග්‍රීසි කතා පොතුත් ඇසිරුවා. මේ එක් එක් පොත් ගොනුව, රචකයාගෙ රට අනුව වර්ග කරලා, ලාංකික රචකයන්ගෙ පොත් එක තැනක, එංගලන්තෙ පොත් එක තැනක, රුසියානු පොත් එක තැනක, චීන/ ජපන් පොත් එක තැනක, ඉන්දියානු පොත් තව තැනක ආදී වශයෙන් ඇසිරුවා. කතන්දර පොත් නොවන, වෙනත් පොත් එක් මුල්ලක. ඒ එක්කම පොත්වල ප්‍රමාණය අනුව ලොකු පොත් යටින්ද, පොඩි පොත් ඉහළින්ද තියෙන විදිහට ඇසිරුවා.  දැන් ඕනෑම පොතක් බොහොම පහසුවෙන් හොයාගන්නත්, ආයෙම තිබුණු තැනට දාන්නත් පුළුවනි.
ඊට පස්සෙ, බොහෝම සන්තෝසෙන් මං කොළඹ ආවා.

සති දෙකකට පස්සෙ මං ගෙදර ගිය ගමන්, අම්මා ටිකක් හිත කරදරෙන් මගෙ ළඟට ආවා.
"අනේ චූටි දුව, තරහ ගන්න එපා. චූටි හුඟාක් සන්තෝස වුණා එයා කියවන පොත් වෙනම තිබ්බ එක ගැන. එයා ඒ පොත් ටික ආයෙම "පිළිවෙලට" අස් කළා- එයාට තේරෙන පිළිවෙලට!"

මං අල්මාරිය ඇරලා බැලුහම, වනසලා!!
මට ටිකක් තරහ යන්න වගෙත් ආවා.

චූටිගෙ "පිළිවෙල" මට තේරුණෙ ඊට පස්සෙ. ඒ වෙද්දි එයාගෙ වයසෙ හැටියට, එයාට යමක් ගොනු කළ හැක්කෙ, එක් නිර්ණායකයකට අනුව විතරයි. ඒ කියන්නෙ, එක්කො ප්‍රමාණය අනුව; එහෙම නැත්නම් වර්ණය අනුව; එහෙම නැත්නම් හැඩය අනුව; එහෙම නැත්නම් භාෂාව අනුව. නිර්ණායක දෙකකට හෝ වැඩි ගණනකට අනුව ගොනු කිරීමේ හැකියාව එන්නෙ, තව අවුරුද්දක් දෙකක් තුනක් යද්දි.
ඒ හින්දා කෙල්ල, පොත් සේරම එළියට අරන්- චූටම්මා ඉතාම අපිළිවෙලටනෙ පොත් අහුරලා තිබ්බෙ.
ඊට පස්සෙ, සේරම පොත් 'පිළිවෙලට' ප්‍රමාණය අනුව ආපහු අහුරලා!

කෙල්ල කියවන පොත් හින්දා, කෙල්ල කැමති තාලෙකටම පොත් තියාගත්තාවෙ කියලා, මම ඒක එහෙමම තියෙන්න ඇරියා. ඕක මම මගෙ ක්‍රමේට ආයෙ හරි ගස්සන්න ගියානම්, එක්කො ආරාවුලක්; එහෙමත් නැත්නම් කෙල්ල ඒ වයසෙදි ඉගෙනගත යුතු පාඩමක් ඉගෙන නොගෙන යනවා- චූටි, ඒ පුංචි වයසෙදිත්, තමන් ගත් දෙයක් ආපහු තිබ්බ තැනින් තිබ්බ හැටියට තැබිය යුතුයි කියන කාරණාව ප්‍රායෝගිකව ඉටු කළා.
ඕක අදාල කාලෙදි ඉගෙන නොගත් අය නිසා තමයි මට මගෙ පොත්වලින් වැඩි හරිය අහිමි වුණේ!

හුඟ දෙනෙක්ට අදාල කාලෙදි අදාල දේවල් ඉගෙන ගන්න නොලැබෙන්නෙ, වැඩිහිටියන් ඊට ඉඩ නොදෙන නිසා. මොකද, ළමයි වනසගන්න දේවල් අස් කරනවට වඩා, ළමයි හෙමිහෙමින් ඒ දේවල් කරනකං ඉවසීමෙන් බලා ඉන්නවට වඩා, "හා, හා, ඒක මං කරන්නං" කියලා වැඩිහිටියම ඒක කරන එක ගොඩක් පහසුයි. කෙටි කාලීනව ඒක පහසුවක් වුණාට, ළමයගෙ පැත්තෙන්, එයාගෙ වර්ධනයට බාධාවක්.

මට මතකයි, වරක් මගෙ යාළුවෙක් දරුවෙක් හදාගන්න ගත්තා. වයස අවුරුද්දයි මාස දෙකක් විතර වෙනතුරු ළමා නිවාසෙක හැදුණු පුංචි කෙල්ල, එයාගෙ ඉස්සරහින් බත් පිඟානක් තිබ්බහම, ඒක තනියෙන් කෑමට දැනගෙන හිටියා. ඒ පළවෙනි දවසෙ.
ඊට දවස් දෙකකට විතර පස්සෙ මම යද්දි, දරුවව තාත්තා වඩාගෙන. අම්මා කෝප්පෙකට බත් දාගෙන, පුංචි හැන්දකින් කවනවා. කවන ගමන් කියනවා,
"මේ වැඩේ හොඳයි; අහක යන්නෙත් නෑ."
ඇත්ත. ළමයා තනියෙන් කද්දි, වටේම බත් විසුරුවලා.
හැබැයි ළමයා ස්වාධීනයි. ඒ එක්කම, අතේ ඇඟිලි හැසිරවීමට ඇයට හුරුවකුත් ලැබෙනවා. දෙමව්පියො එකතු වෙලා, ආදරේට නැති කරලා දාන්නෙ ඒක.
ඒක ඉතින් 'පොතේ හැටියට' එහෙම කියන්න පහසු වුණාට, කවන්න පුරුදු වුණාට පස්සෙ, යම් යම් හේතු නිසා ඒ විදිහ ලේසි වෙනවා. අස් කරන එකටත් වඩා, කෑමවල මිළ වගෙ දේවල් එක්ක බලද්දි!

ඒත් ළමයින්ගෙ වයසට උචිත පරිදි, ළමයගෙ වැඩ තනියම කරගන්න හුරු කරන්න වගේම, ගෙදර නොයෙකුත් වැඩවලට ළමයින්ව දායක කරගන්නත් ඕනෙ. ඒක ළමයගෙ වර්ධනයට රුකුලක්. චූටි මගෙ පොත් අස් කළා වගෙ වැඩ වෙන්න පුළුවන්, එයාලා හිතන විදිහ වැඩිහිටියන්ට වඩා වෙනස් නිසා. ඉතින් ටිකක් ඉවසීමත් ඕන.

ළඟදි දැක්කා මගෙ යාළුවෙක් වත්පොතේ බෙදාගෙන තිබුණු සටහනක්- මරියා මොන්ටිසෝරි නමින් කෙරෙන පිටුවකින් ගත් මේ සටහනෙහි, එක් එක් වයසෙදි ළමයින්ව දායක කරගත හැක්කෙ කොයි වගෙ වැඩවලටද කියලා සඳහන් වුණා. මේ වගෙ සටහන් බොහොමයක් අන්තර්ජාලයෙන් සොයා ගත හැකියි.

උදාහරණයක් විදිහට:

අවුරුදු  2-3
1. ඇඳ ඇතිරිලි සැකසීමට උපකාරී වීම
2. සෙල්ලම් බඩු එකතු කර, ආපසු තිබුණු තැන්වල තැබීම
3. තමන්ගෙ කිලිටි රෙදි, ඒ සඳහා ඇති බඳුනකට ගෙන ගොස් දැමීම
4. සුරතල් සතුන්ට කෑම/ වතුර දැමීම
5. ඉහිරුණු වතුර, ඉඳුල් ආදිය පිස දැමීම
6. ලේන්සු වැනි රෙදි නැමීම
7. තමන්ගෙ හෝ බාල දරුවෙකුගෙ ඇඳුම් ගෙනැවිත් දීම
8. රාක්කයක පොත් තැබීම

අවුරුදු 4-5
1. මල් පැලවලට වතුර දැමීම
2. මේස, දොරගුළු ආදිය පිස දැමීම
3.තනිවම හැඳගැනීම
4. තනිව ඇඳ අස් කර ගැනීම
5. සේදූ රෙදිවලින් එකිනෙකට ගැලපෙන මේස් තෝරා එක්තැන් කිරීම
6. ආහාර සැකසීමට උදව් වීම

වයස 6-7
1. තනිව දත් මැදීම, හිස පීරා ගැනීම, අඳින ඇඳුම තෝරාගෙන ඇඳගැනීම
2. ගෙතුළ බිම පිරිසිදු කිරීම, අතු ගෑම
3. සේදූ රෙදිපිළි නැවීම
4. තමන්ගෙ රෙදිපිළි අස් කරගැනීම
5. ආහාර සැකසීමට උදව් වීම
6. දුරකථනයට පිළිතුරු දීම

වයස 8-11
1. ඉස්කෝලෙන් දුන් ගෙදර වැඩ සඳහා වගකීම ගැනීම
2. තමන්ගෙ උපකරණ ආදිය පරිස්සම් කරගැනීම ගැන වගකීම දැරීම
3. කාමරය පිරිසිදුව තබා ගැනීම
4. එලාම් ඔර්ලෝසුවක් භාවිතා කර වෙලාවට අවදි වීම
5. පිඟන් කෝප්ප, සාස්පාන් ආදිය සේදීම
6. සරල ආහාර වර්ග තනිවම සැකසීම
7. නානකාමරය පිරිසිදු කිරීම
8. මිදුල අතු ගෑම, බිම වැටී ඇති කොළ ආදිය රේක්කයකින්/ කරුවකින් ඉවත් කිරීම
9. කුණු බක්කි අස් කිරීම



ඒවා කියෙව්වහම තේරෙනවා, අපේ වර්ධනය නතර වුණේ කොයි වයසෙදිද කියලා!


Thursday, May 21, 2015

ප්‍රගීත්

ඉස්සර මම හිතං හිටියෙ සෙබළා කියන්නෙ හමුදාවක ඉන්න ඕනම කෙනෙකුට කියල. ඒ කියන්නෙ රජෙක් වුණත් තමන්ගෙ හමුදාවත් එක්ක එකතු වෙලා හතුරු හමුදා එක්ක කඩු ෆයිට් කරනවනං, එයත් සෙබළෙක් කියලා. හමුදා නිලධාරියා කියන වචනෙ, සෙබළා ගැන ගෞරව සම්ප්‍රයුක්තව සඳහන් කිරීමේදී යොදා ගන්න වචනයක් කියලා හිතුවා. හරියට නිකං හෙදිය කියන එකයි, හෙද නිලධාරිනිය කියන එකයි අතරෙ වෙනස වගෙ. නැත්තං තමුසෙයි තමුන්නාන්සෙයි වගෙ.

එහෙම නෙවෙයි කියන එක තේරුණේ පස්සෙ කාලෙක. ඊට අමතරව සෙබළු ඇතුළෙත් තවත් උස්මිටිකම් තියෙන බව තේරුණේ දවසක් ප්‍රගීත් කිව්ව කතාවක් නිසා.

ප්‍රගීත්.

බොහොම ඉස්සර මේ රටේ යුද්ධයක් තිබුණු කාලෙක, නැගෙනහිර පළාතෙ ගමනක් යාමට ලැබුණා. අප සමග ගමන් කළ හමුදා සොහොයුරන් අතර එක් නිලධාරියෙකුත්, සෙබළුන් කිහිපදෙනෙකුත් හිටියා. ප්‍රගීත් ඉන් එක්කෙනෙක්.
නිලධාරියා බොහොම ප්‍රසන්න නමුත්, අවශ්‍ය විටක අවශ්‍ය ප්‍රමාණයට කතාබහ කරන කෙනෙක්. සෙබළුන් අපට නෑසෙන පරිදි හෙමින් මුණු මුණු ගා එකිනෙකා අතර කතාබහ කළා විනා, ඇහෙන්නට කතා කළේ ගමන් මග ගැන යමක් දැනගන්නට ඕන කළ විට පමණයි.

ඒ සියල්ලන්ටම සරිලන තරම් ප්‍රගීත් කතා කළා!

ඒකට හේතුත් තිබුණා. එකක් ඔහු ඒ පළාතෙම වැසියෙක් වීම. ඒ නිසා, පළාතෙ ගහකොළ ගැන, කුඩා අතු පාරවල් ගැන, පාරවල් වගේ පේන ඒවා ගැන, මිනිසුන් ගැන ඔහුට කියන්නට අනන්තවත් දේ තිබුණා. ඒ හැම දෙයක් එක්කම බැඳුණු එක් කතාවක් හෝ ඔහු සතුව තිබුණා. ඒ වගේම ඔහුට අපූරු මතකයකුත් තිබුණා. නොයෙක් සිද්ධීන් ගැන, දින වකවානු සහිතව, පැහැදිලිව විස්තර කිරීමට ඔහුට හැකියාව තිබුණා. ඊටත් අමතරව, හිතට එන ඕනම දෙයක්, එය කීමෙන් සිදු වෙන පල විපාක නොසළකා කියන/ අසන පුරුද්දකුත් ඔහුට තිබුණා.

ප්‍රගීත්ගෙ කතාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තෙ මගේ ගමන් සගයා. පළාතෙ සිතියමකුත් දිගෑරගෙන, මග දිගට දකින හැම පොඩි පාරක්ම ඒ පැරණි සිතියමේ කොතනට අයත්ද කියලා ඒ දෙන්නා සාකච්ඡා කළා.  (නෑ, ඒ කාලෙ ජීපීඑස්, ස්මාට් ෆෝන්ස් වගෙ දේවල් තිබුණෙ නෑ. අපි දෙන්නටම තිබුණෙ බලං ඉද්දි බැට්‍රි බහින එක ෆෝන් කබලක් විතරයි.) අප ගිය මාර්ගයෙන් වැඩි හරියක් නිශ්චිත පාරක් නොතිබුණු තැන් නිසා, වාහනය ගමන් ගත්තේ ඉතාම රළු විදිහට; ඝෝෂාකාරීව. ඒ නිසා, ඔවුන් දෙදෙනාගෙ සාකච්ඡාවෙ වැඩි කොටසක් මට ඇහුණෙ නැහැ. මම අහගෙන හිටියෙත් නැහැ.

ඔය අතරෙ, අහම්බෙන් එහෙන් මෙහෙන් ඇහුණු විදිහට, ප්‍රගීත් අර සෙබළු අතරෙ යම් ඉහළ තනතුරක් දරන කෙනෙක් බව මට තේරුණා. නිකං පන්ති නායකයෙක් වගෙ. ඒ ඒ අයට අයත් පහසුකම් පිළිබඳ කතාබහක් ඔය අස්සෙ ඇදුණා. එතරම් වෙලා වැඩිය සද්ද නැතුව හිටිය එක් සෙබළෙක් ඔවුන්ගෙ නිවස්නයේ ඇති යම් ගැටළුවක් පැවසුවා. එහෙම ගැටළුවක් ඇති බව, තමන් නොදැන සිටි බව නිලධාරියා පැවසුවා. ප්‍රගීත් ගත් කටටම කිව්වා:
"මම දැනගෙන හිටියෙත් නෑ. සර්ලා, අපේ ප්‍රශ්න ගැන බලන්නෙ නෑ; අපි මේගොල්ලොන්ගෙ ප්‍රශ්න ගැන බලන්නෙත් නෑ. අපි හැමෝම තමතමන්ගෙ පහසුව ගැන විතරයි හිතන්නෙ."

සුළු මොහොතකට හැමෝම නිශ්ශබ්ද වුණා. හරියට හැමෝම තම තමන් අතින් වුණු අඩුපාඩු ගැන මෙනෙහි කරනවා වගෙ. අපි හැම කෙනෙක්ම වගෙ වැඩියෙන්ම දකින්නෙ, තමන්ගෙම පෞද්ගලික ප්‍රශ්න; පොදු ප්‍රශ්න දකිනවා කියලා කියන වෙලාවලදිත්, වැඩියෙන් දකින්නෙ තමතමන්ගෙ තරාතිරමට අයත් ප්‍රශ්න.

වාහනයෙ ඝෝෂාවත් එක්ක මට හැම දෙයක්ම නෑසුණත්, වරින් වර ප්‍රගීත් ඒ වගෙ හිතන්නට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කළා. මගේ ගමන් සගයා සෑහෙන කලක් යනතුරු ඔහු ගැන ඉතා ඉහළින් කතා කරන්නට එය හේතු වෙන්නට ඇති. මට ඇහුණෙ එහෙම ප්‍රකාශ දෙකතුනක් විතරයි. ඒ ප්‍රකාශවල චෝදනා ස්වරූපයක්වත්, අනුකම්පාව යදින ස්වරූපයක්වත්, ආත්මානුකම්පාවක්වත් තිබුණෙ නැහැ. හුදෙක් සත්‍යයක් ප්‍රකාශ කිරීමක් පමණයි.

ඔය වගෙ එක් කාරණාවක් අධ්‍යාපනය ගැන.

'අකුරු කියවීමට, ගණන් සෑදීමටවත් නොදත් සෙබළුත් ඉන්නවාය' යනුවෙන් පරිභවයක් 'ඇහෙන' බව කතාබහට ලක් වුණා.

"එහෙම ඉන්නවා තමයි." ප්‍රගීත් කිව්වා. "අපිට ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. ජීවත් වුණෙත් කැලේ හැංගි හැංගි, කොයි වෙලේ කොටින්ගෙන් මැරුම් කන්න වෙයිද නොදැන. ගුරුවරු ආවෙත් නෑ මේ පළාත්වලට. ඉස්කෝලෙකට හුඟක් දුර යන්නත් ඕන. ඒ නිසා අපිට ඉගෙනගන්න බැරි වුණා. හැබැයි අපිට දැන් උගන්නනවනම්, අපිට ඉගෙන ගන්න පුළුවන්. අපිට උගන්නන එකයි කරන්න ඕන."

ප්‍රගීත්ට පසු කාලෙක හෝ ඉගෙනගන්නට අවස්ථාවක් ලැබෙන්නට ඇතැයි මම හිතනවා. එහෙම ලැබුණානම්, ඔහු මහන්සි නොබලා ඉගෙනගනු ඇති.

ඇත්තටම ප්‍රගීත් මහන්සිය පෙන්වන කෙනෙක් නොවේ. එදා උදෑසන හතරහමාරට පමණ ඇරඹුණු අපේ ගමන, අවසාන වුණේ හොඳටම රෑ වෙලා. සල්ලඩයක හෙළවෙන්නාක් මෙන් කෙරුණු ගමනෙ අවසන් භාගයට එද්දි අපි හොඳටම හෙම්බත් වෙලා. දෙසරයක් උණ ගැනිලා වගේ මුළු ඇඟම රිදෙනවා. මාවිල් ආරු සොරොව්ව බලලා, සිත්තාරු පාළම ඔස්සේ ආපහු එද්දි, පාං කියා ගන්නට බැරිව අපි හිටියෙ. නමුත් ගමන පුරාවටම එක දිගට කතා කළ ප්‍රගීත්, ඒ වෙද්දිත් අපේ වෙහෙස නිවන්නට මෙන්, නොයෙක් දේවල් කතා කළා. ඒ එද්දි ප්‍රගීත් කිව් අවසන් කතාව තමයි කාලෙකට උඩදි සිත්තාරු පාළම නමින් ලිව්වෙ. එහෙම මිය ගිහින් තිබුණෙ ප්‍රගීත්ගෙ මල්ලි.