Thursday, April 21, 2011

ඉස්පිරිතාල කතා

ඉස්පිරිතාලෙ වැඩ කරන එක හරි ෂෝක් වැඩේ. කොච්චර වැඩ වැඩියි කියල නහකුණු ගෑවත්, නිදි මරන්න වෙනකොට කෙඳිරි ගෑවත්, දවස් දෙකක් ගෙදරට වෙලා ඉන්නකොට ආපහු වැඩට යන්න හදිස්සියි. ගෙදර ඇවිත් ආපහු ඉස්පිරිතාලෙට කතා කර කර ලෙඩ්ඩු ගැන හොයන පුරුද්ද නවත්තගන්න මට අවුරුදු ගානක් ගියා. යාළුවෙක් කතා කරත් අර ලෙඩා ගැන නැත්නම් මේ ලෙඩා ගැනම තමයි කියවන්නෙ- කාට හරි බැන්නත් ලෙඩෙක්ගෙ විස්තරයක් සම්බන්ධවම තමයි. රෑ මැද ඉස්පිරිතාලෙ කොරිඩෝරයක් දිගේ යනකොට හිතට දැනෙන සාමකාමී හැඟීම වෙන කොහෙදිවත් දැනෙන්නෙ නෑ. ඒ වගේම ඉස්පිරිතාලෙ සිද්ද වෙන හිනා යන වැඩත් කෙළවරක් නැහැ. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ, ඒ දේවල් බොහොමයක් කිව්වට තේරුම් යන්නෙත්, හිනා යන්නෙත්, එතන වැඩ කරන අයට විතරක් වීම.

මම තුන්වන වසරෙ ඉද්දි කෑගල්ලෙ ඉස්පිරිතාලෙ මාස හතරක් හිටියා. එහෙ ඒ දවස්වල හිටිය කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා චන්ද්‍රසේකර මහතායි. ඔහුනම් ඇත්තටම හොඳ ගුරුවරයෙක්- අපි ඉගෙන ගත්තෙ නැතුවට. වැඩි උස මහතක් නැහැ; සුදුයි; උපැස් යුවලක් පළඳලා; බොහොම පිළිවෙලට පිරිසිදුවට ඇඳුම් පැළඳුම් කරලා; නැවතිල්ලෙ කතාබහ..

Monday, April 18, 2011

කොල්ලො බල්ලො

බූලා අණ්ඩක් එල්ලාගෙන කාලකණ්ණියෙකු සේ සිටී.

"අනේ පව්, මට හරියට දුක හිතුණ." මල්ලී කියයි. පිට බල්ලෙක් ගෙදරටම අවුත් බූලාට හපනවිට, රෑ පානේ දිවගොස් ඌව බේරාගෙන ඇත්තේ මල්ලීය.
"ඉස්සර අපිටත් ඔහොමයි. පිට පන්තිවල එවුං ඇවිත් ගහල යනව."
"නැහ්! ගොඩක් ගුටි කෑවද?"
"ගොඩක්මත් නෑ."
"කවුද? යාපලද?" යාපා මල්ලිට ඉහළ පන්තියේ සිටි කොල්ලෙකි. පසු කලෙක මල්ලී හා මිතුරු වූ ඔහු  අපේ නිවසට නිතර එන යන පුරුද්දක් විය. මල්ලිගේ මිතුරන් හා කාඩ් ගැසීමෙන් අපේ බොහෝ සන්ධ්‍යාවන් ගෙවිණි.
"උඹලගෙ පන්තියෙ බත්මුල් හොඳ කාගෙද දන්නවද?" දිනක් යාපා ඇසීය. ඊට පිළිතුරක් බලාපොරොත්තු නොවූ ඔහු දිගටම කියවාගෙන යන්නට විය.
"උඹලගෙ, ගුලියගෙ, එතකොට දසයගෙ..."
"අපෝ....උඹලගෙං තිබුණු වදයක්." මල්ලි කීවේය.
පන්තියට ඇවිත් ගහල යන කතාවත් සමග මට මේ බත් කතාවත් සිහි වෙයි.

Saturday, April 2, 2011

ගොදුර

බණ්ඩා රාළහාමි වංගුවට ඉහළින් පඳුරු අතර සැඟව රැක සිටී. බෑවුම් මග ඔස්සේ පණ ඇද ඇද කන්ද නගින ලොරියක් හෝ බසයක් දකින ඔහුගේ සිත සතුටින් ඉල්පෙයි. වංගුවෙහි වාහන හතරක් වුවද එක පෙළට ගමන් කිරීමට තරම් ඉඩ තිබුණද එහි ද්විත්ව ඉරි ඇඳ ඇත. බණ්ඩා රාළහාමි බලා සිටින්නේ කවුරුන් හෝ වාහනයකට ඉස්සර කරනතුරුය. 
පලපුරුදු රියදුරෝ මේ අඩවියේ පොලිසියෙන් සිටින බව දන්නා නිසා ප්‍රවේශමෙන් යති. එවන් වාහන දෙස බලන බණ්ඩා රාළහාමි අවඥාවෙන් කෙළ ගසයි: 
"තුඃ, නොදකිං!"


සිකුරාදා රාත්‍රී සිට සෙනසුරාදා උදෑසන දක්වාත්, ඉරිදා රාත්‍රී සිට සඳුදා උදෑසන දක්වාත් රාජකාරි කිරීමට බණ්ඩා රාළහාමි ඉතා ප්‍රිය කරයි. දුර බැහැර නැවතී සේවය කරන හදිසිකාරයන් නිවෙස් බලා එන්නේ මේ වේලාවන්ටය. මේ මුරවලට රාජකාරි යෙදී ඇත්නම් බණ්ඩා රාළහාමිගේ මනෝභාවය සතිය පුරා ඉතා යහපත් මට්ටමක පවතියි. ඒ අනුව ඔහුගේ සේවාමුරය කුමක්ද යන වග අඹුදරුවන් පමණක් නොව, කඩ මණ්ඩියේ මුදලාලිලා පවා අනුමාන කරති.


වසර දහයකට මඳක් වැඩි සේවාකාලයකට හිමිකම් කියන බණ්ඩා රාළහාමි සිය පළපුරුද්දට සරිලන සේ හැකියාවන් දියුණු කරගත්තෙකි. වාහනයක් දකිනවිට එහි ගමන් ගන්නේ ප්‍රභූවරයෙක්ද, මධ්‍යම පන්තිකයෙක්ද යන්න ඕනෑම බූරුවෙකුට කිව හැක. නමුත් වාහනයෙන් බසින මිනිසා දෙස හෙළන එක බැල්මෙන් ඔහු කෙතරම් මුදලක් විසි කරයිද, දඩයක්ම ගෙවීමට තරම් දැඩි සිතක් ඇත්තෙක්ද, වැට උඩ සිටින්නෙක්ද, මෙලොව හසරක් නැත්තෙක්ද යන වග බණ්ඩා රාළහාමිට ඉලක්කෙට කිව හැක.


මෙලොව හසරක් නැති ජාතිය, එනම්, පගාව යන සංකල්පය අසා ඇතිමුත් එහි ප්‍රායෝගික භාවිතය නොදන්නා පිරිස, දකිනවිටම දඩ කොළයක් ලියා දීම ඇතැමෙකුගේ සිරිත වුවද, බණ්ඩා රාළහාමි එසේ නොවේ.

Friday, April 1, 2011

කොණ්ඩ සීයා

මහල් නිවාස.

එහෙම කිව්වට මම ඉන්නෙ බිම් මට්ටමේ. අවුරුදු ගාණකට කලින්නම් හිටියා ඉහළම තට්ටුවෙ. නමුත් මේ මහල් නිවාසවල ඊට වඩා වෙනසක් තියෙනවා. පොඩි කාලෙ අහල විතරක් තිබුණු වට්ටි අම්මලාව මම ඉස්සෙල්ලම දැක්කෙ මෙහෙදි. දැනුත් අන්න "කීරේඒඒඒඒඒඒයි" කිය කිය එක්කෙනෙක් යනවා. ඒ විතරක්යැ. මාළු කාරයො, පලතුරු වෙළෙන්දො, පුටු වියන මිනිස්සු, ක්ෂණික ආහාරවර්ග, පාන් වර්ග ආදිය විකුණන්නො, සාස්තර කියන මිනිස්සු විතරක් නෙවෙයි, නිශ්චිත කාලයකට වරක් එන හිඟන්නොත් ඉන්නවා. ඔය අතරෙ වැදගත් චරිතයක් කොණ්ඩ සීයා.

"කොණ්ඩෙ කපන, කොණ්ඩෙ කපන, කොණ්ඩෙ කපන."

නොපිපි කුසුම


බොහෝ කලකට පෙර, ඔබ මා කෙරෙහි ඇති සෙනෙහස ගැන මුළින්ම ඉඟි කළ දිනය මතකද?
සම වයසේ අසල්වාසීන් වුණු අප දෙදෙනා එකට යාම් ඊම් කිරීම කිසිවෙකුත් ප්‍රශ්නයක් කර නොගත්තේ අපේ පවුල් දෙක අතර ගොඩ නැගී තිබුණු සහෝදර බැම්ම නිසාම විය යුතුයි. එදා සවස නිවෙස බලා එද්දී ඔබේ අතේ තිබුණා කාගෙන්දෝ ඉල්ලාගත් ගිතාරයක්. පටු මාවත දිගේ එද්දී, බෑගය උරහිසෙහි එල්ලාගෙන ඔබ ඇහුවා මගෙන්...
"මං ලිව්ව සිංදුවක් කියන්නද?"
"ටිකක් පාර මැදට වෙලා කියන්න. ගැරඬි ආවොත් ටක් ගාලා පේනවා එතකොට." මම කිව්වා.
මගේ නොහොබිනා උත්තරයෙන් නොසැළී ඔබ ගයන්න පටන් ගත්තා.