මතකද...
වසර ගණනාවකට උඩදි අපි මුණ ගැහුණෙ පුහුණුවකට ඇවිත් සිටියදී. එවකට නවකයෙකු වුණු මම කොයි තරම් දේ ඔබගෙන් ඉගෙන ගත්තද? පුහුණුවට අදාල දේ පමණක් නොවෙයි, රෝගීන් වෙනුවෙන් ඔබ මහන්සි වෙන හැටි, තමන්ගෙම කෙනෙකුගේ ප්‍රශ්නයක් මෙන් කැපවීමෙන් ඒ පිළිබඳව සොයා බලා විය යුත්ත කර දෙන හැටි, ඔවුන්ගේ පවුල්වල ගැටළුවලට පවා ඔබට හැකි මට්ටමින් විසඳුම් සෙවීමට වෙහෙසෙන හැටි...... තව කොපමණද?
හමු වුණු මුල් දිනයේ පටන්ම ඔබ මට ගුරුවරියක්; මග පෙන්වන්නියක්.
ඉන් මාස කිහිපයකට පසු දිනයක, මම උදේ ගෙදර දොර අරිනකොට, කකුලක් තුවාල වුණු බැල්ලක හිටියා. දින කිහිපයක්ම පාරේ සිටියදී කෑම දී ඇතත්, මගේ ගෙදර තියෙන තැනවත් ඒ සතා දැන සිටි බවක් මම හිතුවෙ නැහැ. වාහනයකට හසු වුණු පසුපස පාදයේ අස්ථි තැන් කිහිපයකින්ම බිඳී, එළියටත් ඇවිත් තිබුණා. ගේ දොරකඩට පිහිටක් පතා ආව සතා නිසා පශු වෛද්‍යවරයෙක් හමුවට ගියවිට, ඔහු කිව්වෙ පාදය කපා දැමිය යුතු බව. මම ඊට එකඟ වුණේ නැහැ. මගේ පෙරැත්තයටම ඔහු ප්‍රතිජීවක ඖෂධ සහ තුවාලයට දැමීමට බෙහෙත් ලියා දුන්නා. දින කිහිපයක් බෙහෙත් කළත් ඉන් පසු මම වැටුණෙ ලොකු අමාරුවක. ටිකක් හොඳ වෙනකොටම බැල්ල ගිහින් ඇගේ පැටවා අරගෙන ඇවිත් තිබුණා. ඒ අතරෙම සතියකට මට නුවර යාමට සිදු වුණා. හේතු කිහිපයක් නිසා මට බැල්ල ගෙන යාමට හැකියාවක් තිබුණෙ නැහැ. ප්‍රතිකාර ගත් තැනම නැවැත්වීමට හැකියාවක් තිබුණත්, වෛද්‍යවරයා පැවසුවේ අවශ්‍ය වුවහොත් පාදය කපා ඉවත් කරන බවයි.
මගෙ මතකයට ආවෙ ඔබව. එවකට මම ඔබව එතරම් කිට්ටුවෙන් දැනගෙන හිටියෙ නැහැ. කීප වරක් ඔබේ නිවසට යාම් ඊම් කර තිබුණ නිසා බල්ලන් බළලුන් මෙන්ම කපුටන් වැනි සතුන්ටත් ඔබේ නිවස අභයභූමියක් බව පමණයි මා දැන සිටියෙ. මා සිතූ පරිදිම ඔබ දෙවරක් හිතුවෙ නැහැ. ඒ සතිය පුරාවට, දිනකට තෙවරක්, කිලෝමීටර දෙකක් පමණ දුරක සිට අවුත්, බැල්ලට බෙහෙත් පොවා, තුවාලයටත් සාත්තු කොට, බැල්ලටත් පැටවාටත් ආහාරද දීමට තරම් ඔබ කාරුණික වුණා. ඔබට පින් සිදු වන්නට, අදත් ඒ බැල්ල ඉතා නිරෝගීව සිවුපයින්ම දුව පැන ඇවිදිනවා.
විශ්වසනීයත්වයේ මුල් බිජුවට වපුරා, මගේ සිත නිදහස් කළ ඔබ මට කවදත් හිතාදර යෙහෙළියක්.
මතකද...
ඉගෙනීමට උනන්දුවක් නැති මා විභාගයකට ඉල්ලුම්පත් දමා තිබුණා. විභාගයට ඔන්න මෙන්න කියා තිබියදීවත් මා දැන සිටියේ නැහැ විභාගය පිළිබඳ කිසිදු දෙයක්: පැවැත්වෙන ආකාරයවත්, ප්‍රශ්න පිළිබඳවවත්, විෂයයන් පිළිබඳවවත්. එක් ඉරිදාවක ඔබ මා කැටුව ගියා ඒ විභාගය උදෙසා පන්ති පැවැත්වෙන ස්ථානයට. දොරෙන් ඇතුළු වෙනවිටම මම දැක්කෙ මා හඳුනන කෙනෙකුගෙ රුවම ඇති අයෙක්. ආ කාරණාව පසෙක තබා, පුටුවකුත් ඇදගෙන හොඳට වාඩි වී, පැය භාගයක් හෝ ඊටත් වැඩියෙන් වෙලාවක් මා කතා කර කර ඉන්නට ඇති ඒ අමුත්තා සමග. නමුත් ඔබ ඒ අතරතුර විභාගය පිළිබඳව සියළුම තොරතුරු එක් රැස් කරගෙන තිබුණා පමණක් නොවෙයි, ප්‍රශ්න පත්‍ර වගයක් ගෙන එන ලෙස කාවදෝ පොරොන්දු කරවාගෙනත් තිබුණා. මගේ වගකීම් රහිත ක්‍රියා කලාපය ගැන වචනයක විවේචනයක් ඔබ කළේ නැහැ. පසු දිනයෙක ඒ ගැන සිහිකොට සිනා වුණා පමණයි.
මගේ වැඩක්, ඔබේම වැඩක් බවට පත් කරගෙන, මටත් වඩා උනන්දුවෙන් මගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ ඔබ මට මගේම සහෝදරියක්.
මතකද...
මම ලෝකයේ හුඟක් දේ හඳුනගත්තෙ ඔබ හරහා. ඔබ හැමවිටම උනන්දු කළා අලුත් අලුත් ඉසව් සොයා යාමට. හරියට අපේ පොළොන්නරු ගමන වගේ...
සරසවියෙ තරග සඳහා ගිය ගමනක් හැර දුම්රියේ ගමන්ගෙන නොතිබුණ මම ආශාවෙන් බලා හිටියෙ දුම්රියේ ජනේලයෙන් හිස එළියට දමාගෙන යාමට. නමුත් අපට ලැබී තිබුණෙ ජනේලයක් අසල ආසන නොවෙයි. මගෙ මූණ අඳුරු වෙන්න ඇති. ඔබ ප්‍රවේශපත් පිරික්සන මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කළා මට ජනේලයක් අසල අසුනක් ලබා දෙන ලෙස. ඔවුන්ගෙ පිළිතුර වුණේ හිස් අසුන් නැති බව. "ඇරත් මේ රෑ මොනවා බලන්නද?" ඔවුන් කිව්වෙ එහෙම.
මම ඔහේ බලා සිටියා.
නමුත් ඔබ වටපිට බලා, හොඳින් පිටත පෙනෙන ජනේලයක් අසල අසුන් ගෙන සිටි දෙදෙනෙක් වෙත ගොස් ඉල්ලීමක් කළා. මට ජනේලය අසල අසුනක් ලැබුණුවිට මම කොතරම් සතුටු වුණාද? රාත්‍රී දුම්රිය බව නොතකා, ජනේලයෙන් එළියට එබීගෙන, කෑලි කැපිය හැකි ගනඳුර දිහා බලාගෙන, වේගයෙන් දිවෙන දුම්රියෙන් නැංවෙන සුළං පහර විඳිමින්, තනිවම ගී කියමින් මම එදා පොළොන්නරු ගියෙ. රාත්‍රියේ සීතල වැඩි වනවිට ඔබ මාව ආවරණය කළේ මා වෙනුවෙන්ම ගෙන ආ පොරෝණාවකින්. ගමන නුහුරු මා එහෙම දෙයක් ගෙන නොඑන බව ඔබ දැන සිටින්නට ඇති.
ඔබ නිතරම මගේ කෑම බීම ගැන සොයා බැලුවා; කම්මැළිකමෙන් ඇත්දැයි සොයා බලා ගෙදරට ආරාධනා කළා; ඔබට යාමට අවස්ථාව ලැබුණු නාට්‍ය, නැටුම්, සර්කස් දර්ශන වැනි බොහෝ දේවලට මාවත් සහභාගි කරවගත්තා.
මා ගැන සොයා බලමින්, මගේ රුචිඅරුචිකම්වලට ඉඩ දෙමින්, මා රැක බලාගත් ඔබ මට ආදරණීය මවක්.
මතකද....
අහස, වැව් තලාවන්, වන අරණ ඈ නොයෙක් දේ දිහා වරු ගණන් බලා සිටින්නටත්, පැරණි ලෝකවල නිහඬව සැරි සරන්නටත් මට සහයෝගය ලැබුණෙ ඔබගෙන්. වරක් සන්ධ්‍යාවේ හිරු ගිලෙන්නට ඔන්න මෙන්න තිබියදීයි අපි පොළොන්නරු පුරා විද්‍යා භූමියෙන් පිට වෙන්නට හිතුවෙ. අපි හිටියෙ පැරණි රෝහල ළඟ. අප වෙත ආ මිනිසුන් දෙදෙනෙක් කියා සිටියා සංරක්ෂණය කර නැරඹීමට සකස් කොට නැති මුත්, තරමක දුරින් පිහිටා ඇති වඩාත් විශාල පුරාණ පොකුණක් පිළිබඳව. අපි ඔවුන් පසුපසින් වනය හරහා ගමන් ගත්තෙ පොකුණ බැලීමේ ආශාවෙන්. ඒත් ඔබත් බියට පත්ව ඇති බව මා දැන ගත්තෙ ඔබ ඔබේ සොයුරාට අමතා අප යන ඉසව්ව පිළිබඳව හෝඩුවාව ඔහුට දැනුම් දෙනවිට. හිතේ දෙගිඩියාවෙන්, බියෙන් සැකෙන් අපි පැය භාගයක්වත් ඇවිද යන්නට ඇති. ඒත් අවසන ඒ වනයට යට වී ඇති සුවිසල් පොකුණ දුටු කල මොන තරම් ප්‍රීතියට පත් වුණාද?
ත්‍රාසය, කුතුහලය සමග ජීවිතය විඳීමට අනුබල දුන් ඔබ මට කිසිදා අමතක නොවෙන ගමන් සගයෙක්.
වසර කිහිපයකට උඩදී, ඔබ දුරු රටකට ගිය පසු, මා හිඳ ගත්තේ ඔබට ලිපියක් ලිවීමට හිතාගෙන.
"ආදරණීය.." මම ලිපිය පටන් ගත්තා. ඉන් පසුව තනිවම කල්පනා කරන්නට වුණා. ආදරණීය කවුද?
මම ඔබට ඉන් පෙර කවදාවත් නමින් ආමන්ත්‍රණය කර තිබුණෙ නැහැ. පුරුද්දක් විදිහට හැම කෙනාටම සහෝදර ආමන්ත්‍රණය භාවිතා කරන මම ඔබට අක්කා කියා තිබුණෙත් නැහැ. විහිළු කරන වෙලාවට, පැරණි විහිළුවක ශේෂයක් වුණු "මෙයා" යන වචනය භාවිතා වුණත් අනෙක් වෙලාවට මම කිසිම ආමන්ත්රණ පදයක් භාවිතා කර තිබුණෙ නැහැ. අප හඳුනාගෙන වසර කීයක්ද? හිතනකොටත් පුදුමයි.
ඒත් පුදුම වෙන්නට දෙයක් නැහැ. විටෙක යෙහෙළියක්, විටෙක මවක්, විටෙක සහෝදරියක්, විටෙක ගුරුවරියක්, විටෙක මග පෙන්වන්නියක් වන ඔබව එහෙම එකම වචනයකින් ඇමතිය හැකිද?
අද දවස ගෙවී අවසන් වෙන්නටත් ආසන්නයි. ආදරණීය ඔබට වාසනාවත් උපන්දිනයක් වේවා.
ජීවිතේ. අතීතේ වර්ථමානේ අනාගතේ තුන් කට්ටුවටම පොදු යාලුවෝ ගොඩක් නෑ. ගොඩක් අය එක කාලෙකින් මග ඇරෙනවා. හැමදාමත් කියනවා වගේ කියන්න තියෙන්නෙ හැම දේම හරියාවී.
ReplyDeleteගඟ ගලාගෙන යන්නම ඕනි මොකද එහෙම නොවුනොත් ඒක ගඟක් නොවෙන නිසා
යාලුවට සුභ උපන් දිනයක්
බොහෝම ලෙන්ගතු සටහනක්, උපන්දිනය වෙනුවෙන් අපිත් සුබ පතනවා.
ReplyDeleteGood friends are like stars... You don't always see them, but you know they are always there...
ReplyDeleteආදරණිය ඇයට වාසනාවන්ත උපන්දිනයක්...
මම හිතුවේ වෙනදා වගේම අන්තිමෙට වෙනකන් හොයන්න බැරි කතාවක් කියලා,,මේකත් ඒ වගේමයි බලද්දි හොදම යාලුවෙක්ගේ උපන්දින සුභ පැතුමක්
ReplyDeleteහර්දයාංගම උපන්දින සුබ පැතුමක්. මෙහෙම ලිව්වානම් මාත් ඕකට
ReplyDeleteඔබගේ දෑසින් ලෝකය දුටුවෙමි
ඔබගේ දෑතින් සෙනෙහස හැඳිනෙමි
ඔබ පිය සටහන් පසුපස ඇවිදිමි
මවු ගුරුතුමියනි
සොයුරු මිතුරියනි මගේ
ඔබට සුබ උපන් දිනයක් වේවා
ඔබේ ආදරණීය යෙහෙලියට සුභ උපන් දිනයක් පතනවා. මෙවැනි මිතුරියක් ලබපු ඔබ සැබෑ වාසනාවන්තියක්.
ReplyDeleteමේ වගේ ලෙංගතු මිතුරන්, මිතුරියන් අපට ජීවිතේටම හමු වෙන්නේ එක්කෙනෙක් වෙන්නත් පුළුවං.. සමහර විට හමු නොවෙන්නමත් පුළුවං.. බොහොම සුවදායක හැඟීමක් හදට එක්කරන සටහනක්.. නොදුටු, නොදන්නා එහෙත් සොඳුරු සිතක් ඇතැයි සිතෙන ඔබගේ මිතුරියට සුබ උපන්දිනක්...
ReplyDeleteඇය... ඔබ තුලින් ඇය දකින අප...
ReplyDeleteදිනයක මෙවන්ම සටහන් ඔබ නමිනුත් ලිය වෙනු ඇත...
.........................
දවසක් කෙනෙක් මට කිව්වා මෙහෙම...
"ඔයත් තව කාට හරි මෙහෙම කරන්න..එතකොට හරි.."
ඒ ඒ කෙනා මට යමක් දුන් වෙලාවක මම එයාට කිව්වහම..
"මට කවුරුවත් මෙහෙම සලකලා නැහැ"
මෙවන් මිතුරන් සංසාරයේදී හමුවෙන්නේ කලාතුරකින්. ඒ හමු උනත් ඒ අය අපි කිට්ටුවෙන් ඉන්නේ ටික කාලයක් විතරයි.. soul mates කියල කියන්නේ මේ වගේ අයටයි.. පවුලේ ලගම අයට වඩා මේ මිත්‍රයෝ අපට කිට්ටුයි.. මට නම් මගේ පවුලේ අයටත් වඩා. ඔබේ ඒ යෙහෙළියට ..මවට.. සොයුරියට.. නිදුක් නිරෝගී බැවින් පිරි තෘප්තිමත් දිවියකට ආසිරි මේ ලැබූ උපන් දිනයේ සිට ඉදිරියට !
ReplyDeleteලොකු වාසනාවක් තියෙන්න ඕනි ඒ වගේ හොඳ යාළුවො හම්බ වෙන්න.. ඇයට සුබ උපන් දිනයක් පතමු !
ReplyDeleteඇය වැනි මිතුරියක් ලද ඔබද, ඔබ වැනි මිතුරියක් ලද ඇයද දෙදෙනාම වාසනාවන්තයි. ඔබ දෙපලටම ආසිරි.
ReplyDeleteඒ වගේ හොඳ යාළුවෙක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා ඇති....
ReplyDeleteමගෙනුත් ඇයට සුභපැතුම්.....!!!
හිතට බොහෝ දේ මතක් කරදෙන සටහනක්. ඔබට ඇය වැනි මිතුරියක ලැබීමත්, අපට ඔබ වැනි මිතුරියක ලැබීමත් ඇත්තටම වාසනාවක්.
ReplyDeleteආදරණීය ඇයට සුභ උපන්දිනයක්..
----------------------------------------------------------------------------
@ පූසා
උඹගෙ කොමෙන්ට් එක මාර සම්භාව්‍යයි..අර ගඟ ගැන කියපු ටික නම් මාරයි..මට මෙලෝ මගුලක් තේරුනෙ නෑ...
උඹ ඔය කියල තියෙන්නෙ ගඟයි වැවයි වෙන් කරලා අඳුන ගන්න විදියද ? ඉතින් ඒක කොහොමද මෙතනට වැදගත් වෙන්නෙ..:D
එතරම්ම ලෙංගතු අය ජීවිතේටම මුණ ගැහෙන්නෙ එක පාරක් වෙන්නත් පුළුවන්...තමන්ගේම කියලා හිතලා හිතට දයාබර වෙන අය...මේ සටහන ඈ දැක්කානම්...ඇගේ දෑස් තෙත් වනවා නොඅනුමානයි....මගේ සුබ පැතුමත් ඇයට.....
ReplyDeleteමේ වගේ හොඳ යාලුවෙක් ලැබෙන්න නම්, ඔයත් හොඳ යාලුවෙක් වෙන්න ඇති අනිවාර්යෙන්ම...
ReplyDeleteයාළුවට සුභ උපන්දිනයක් ප්‍රාර්තනා කරනව. ඒ ගැන ලියපු හැගීම්බර විලාශය අපූරුයි.
ReplyDeleteමගේ හොඳම යෙහෙළියට සුභ පැතීමට එක් වුණු හැමෝටම බොහොම ස්තුතියි.
ReplyDelete@ ලකී: ගඟක් ගලාගෙන යන්නම ඕන. එහෙම නොවුණොත් ඒ කියන්නෙ කොහෙන් හරි ඩෑම් එකක් බැඳලා ජලාශයක් හැදිලා. එතකොට ඒක ගඟක් නෙවෙයි. ගඟම තමයි. ඒත් ගඟක් නෙවෙයි. එතකොට ඒක මේකට සම්බන්ධ වෙන්නෙ මෙන්න මෙහෙම. මෙහෙම. තේරුණා නේද? මෙන්න මෙහෙම.
යාලුවට සුභ උපන්දිනයක් අක්කේ...
ReplyDeleteඒ වගේ යාලුවෙක් ලබන්න ඔයත්, ඒ වගේ යාලුවෙක් අගය කරන්න දන්න ඔයා වගේ යාලුවෙක් ඉන්න එයත් හරි වාසනාවන්තයි..:))
මුලු හදවතින්ම සෑහෙන්න හැඟීම්බරව ලිව්ව සටහනක් .එකෙන් පේනවා යාලුකමේ දිග පලල . මේ සටහන කියෙව්ව වෙලාවෙ හිතුනා මේකෙන් ඉගෙනගන්න වැදගත් පණිවිඩ ටිකක් තියෙනවා කියලා .මෙන්න උගත් පාඩම් :)-lessons learnt :)
ReplyDeleteසමහර යාලුකම් පටන් අරන් කාලයක් ගතවුනත් නිකන් ඒවා නැති ගානයි .ඒත් සමහර යාලුවො එක පාරක් මූණට මුනගැහිලා ආයෙ හම්බවෙන්නෙ කල්පගාණකින් වුනත් යාලු කමේ උණුසුම පවතිනවා නොනැසී .ගව් ගානක් ඈතින් හිටියත් හිතෙන් හරි සමීපයි වගේ . එහෙම වෙන්න පුලුවන් මැචුවර් රිලේශන්ෂිප්ස් වලට විතරයි . නැතුව ඔයාට මම අරක කලා මේක කලා ඒ නිසා ඔයත් මෙහෙම වෙන්න ඕනෙ වගේ යාලු කම් වල නෙවේ . හොඳම යාලුකම් තියෙන්නෙ මේ විදියට ටොලරේට් කරන්න , අනික් කෙනා ඇක්සෙප්ට් කරන්න , එයාට ගරු කරන්න පුලුවන් මනුස්ස සම්බන්ධතා වල විතරයි .නැතුව ඔය රොමැන්තික සංසාරගත බැඳීම් , සමාන අදහස් ඇති බැඳීම් , ඉස්කෝලෙ යන/කැම්පස් යන කාලේ ඉඳන් එකට වල බැහීම් විතරක්ම නිසා නෙවෙ .
දෙවැනි එක මටත් මේක කියවන් යද්දී මගේ යාලුවො ගොඩක් මතක් වුනා . විශේෂය මේකයි .අපි ජීවත් වෙන සමාජේ හරි පොපියුලර් මිත්‍යාවත් තියෙනවා "විමෙන් ආර් විමෙන්ස් බෙස්ට් එනිමීස්" කියලා ඒ කියන්නේ ගෑනුන්ට කවදාවත් මිත්‍ර සම්බන්ධතා බෑ ඒ තියා එක ඔෆිස් එකකවත් එකට ඉන්න බෑ .නිතර කෙහෙවලු පටලගන්නවා වගේ පහල මට්ටමේ ජනප්‍රිය අදහසක් .මගේ අත්දැකීම් දිහාත් මේ සටහන දිහාත් බැලුවම මට හිතෙන්නේ අපි කීපදෙනෙක්ම මේ කතාව බොරු කරලා කියලා .මොකද මගේ ජීවිතෙතෙත් ගොඩාක් නැගිටීම් , වැටීම් , ජයග්‍රහණ ,සතුට , දුක එක්ක මම ලඟින්ම ඉඳලා තියෙන්නේ මගේ මිතුරියො .මහ රෑ ඔෆිස් එකෙන් ගෙදර ගෙනාව ස්ට්රෙස්ස අහන්න , ජීවිතේ ඊලඟට මොනවද කරන්න ඕනෙ කියන අමාරුම පුද්ගලික ප්‍රශ්න වලට උත්තර හොයන්න , අහස ඔලුවට කඩා වැටුනත් හිනාවෙලා ඉමු කියන්න , කැරියර් ඩිවලොප්මන්ට් ගැන ඇඩ්වයිස් දෙන්න ,මහන්සි වුනාම කොහේ හරි කඩේකට රිංගලා කෝපි බීලා හිනාවෙලා ප්‍රශ්න අමතක කරන්න , මගේ විකාර කතා අහන්න,රෑ මැදියමේ ත්‍රාසජනක මගෝඩි වැඩ කරන්න ලඟින්ම ඉඳලා තියෙන්නේ යෙහෙලියො . ඒ වගේම මම වෙනුවෙන් නිවාඩු දාල , මහ රෑ එනකන් නොනිදා මග බලන් ඉඳලා , උයලා කන්න දීලා ,නවාතැන් දීල ,රට වටේ රවුම් ගහන්න එක්කන් ගිහින් තියෙන්නෙත් ,පොඩි පොඩි තෑගි එකතු කරන මම එනකන් මග බලන් ඉඳලා තියෙන්නෙත් මිතුරියො .සමහර වෙලාවට එක්කෙනෙක් නෙවේ කීපදෙනෙක් . සමහරු මුණ ගැහෙන්නෙ කල්ප කාලෙකින් .ඒත් හිතෙන් යාවෙන ගතියත්, පොසිටිව් එනර්ජි වලින් එන හයියත් ඒ මිත්‍ර කම් වල තියෙනවා .ඒ නිසාම් මම හිතන්නේ ඔය පොපියුලර් මිත්‍යාව බැහැර කල යුතුයි කියලා .
තුන්වෙනි කාරණේ අපි හැමෝටම වැදගත් ,රිලේෂන්ශිප්ස් වල මෙහෙම කැප කිර්‍රිම් කරන යාලුවොන්ගේ ඒ කැපවීම් සාමාන්‍ය දෙයක් අපිට එයාලගෙන් අනිවාර්යෙන් වෙන්න ඕනෙ දෙයක් කියලා හිතන්න නරකයි ( don't take it for granted ).කෙනෙක් මේ තරම් කැපවීමක් අපිට කරන්වනම් එයාට අපේ හදවතෙත් විෂේශ තැනක් දෙන්න ඕනේ .හරියට නලිනි මේ සටහන්නෙන් එයාගෙ යාලුවා දකිනව වගේ .නමුත් මම ගොඩාක් වෙලාවට දකින්නේ අපේ ලාංකීය සමාජේ මෙහෙම අය දැක්කම එක්ස්ප්ලොයිට් කරන එක තමයි ගොඩක් අය කරන්නේ .අන්තිමට යාලුවට පේන් ඉන් ද නෙක් වගේ වෙනවා . :)
උගත් පාඩම් වාර්තාව ඉවරයි :) . නලිනිගේ යෙහෙලියටයි , නලිනිටයි අපි ඔක්කොගෙම යෙහෙලියන්ටයි ත්‍රී චියර්ස් කිව්වා සැලියුට් එකක් එක්ක
යාලුවට සුභ උපන්දිනයක්.... බස්සාගෙන් සුභ පැතුම්...
ReplyDeleteI love your writing style very much.wishing happy birthday 2 your friend and happy new year 2 you..
ReplyDeleteIf you have much time,please visit my blog.
ඔයත් නිවාඩු දැම්මද බ්ලොග්කරණයෙන්?
ReplyDeleteඅදහස් පළ කළ සියලු දෙනාටම ස්තුතියි.
ReplyDelete@ සුජීව: මේකනෙ සුජීව, විභාගෙන් පස්සෙ විවේකය වැඩි වුණා; වගකීම් අඩු වුණා; හිතේ බර අඩු වුණා. ඒ හින්දා ලියන එක නැවතුණා. ඊට පස්සෙ, එක පිට එක හැම වැඩක්ම වැටුණා; ලෙඩ වුණා; වෙලාව අඩු වුණා. ඒ හින්දා ලියන එක නැවතුණා. :D ටීජී කිව්වා ඕගොල්ලො එයාගෙ ගෙදර බරපතල සංවාදයක් කියලා මේ දවස්වල. ඉන්න මමත් ඇවිත් බලන්න. :D
ලස්සන සංවේදී සටහනක් නංගී, සංසාරික බැඳීමක්! මෙහෙම අය ජීවිතේට එකතු වෙන්නේ අපේ පෙර පිනකට. වාසනාව සතුට සම්පත පිරේවා! ඔබ දෙපලගේම ජීවිත වලට.
ReplyDeletehappy birthday to you.
ReplyDeletehttp://sithama.blogspot.com/