Wednesday, August 31, 2011

නමෙහි ඇත්තේ කිම?


නමෙහි ඇත්තේ කිම?
අප රෝසයයි කියන මල
අන් කවර නමකින් ගත
මිහිරි සුවඳම පතුරයි.


අවාසනාවකට මෙන් මේ හුරුබුහුටි කවිය කවුරුන් අතින් ලියවුණක්ද, කොතැනක තිබී කියවූවාදැයි මට අමතකය. මතක තරමින් එය බුදු වදනක පරිවර්තනයකි.

යොදන නම අනුව මලෙහි ස්වභාවය වෙනස් නොවෙන බව පැහැදිලි කරලන්නට ගෙතුණු පද වැල, සත්‍යය ඇති සැටියෙන් දකින ලෙසින් ඉල්ලා සිටී.

එසේ ඉල්ලා සිටීමට සිදුව ඇත්තේ, යමක් ඇති සැටියෙන් නොව, වෙනස් ආකාරයකින් දැකීමට අප හුරුව ඇති නිසාවෙනි.

නමෙහි ඇත්තේ කිම?

වචනයක් පමණෙකි. හඳුනාගැන්මෙහි සළකුණක් පමණෙකි. නමුත් අපි හඳුනාගැනීමෙන් නොනවතිමු. ජීවත් වීමෙන් අප ලද අත්දැකීම් අනුසාරයෙන්, ඒ නම වෙනස්ම අත්දැකීමක් කරගන්නට අපි පෙළඹෙමු.

නමක් ඇසුණු කල්හි, අකුරුවලින් ඔබ්බට සිත මෙහෙයවන අපි තවත් බොහෝ තොරතුරු අනුමාන කරමු:
කුමන ජාතියකට අයත්ද?
කුමන ප්‍රදේශයක අයෙක්ද?
කුමන කුලයට අයත්ද?
ස්ත්‍රීපුරුෂභාවය කුමක්ද?
කුමන යුගයකට අයත්ද?
කුමන සමාජ තරාතිරමකට අයත්ද?
දෙමවුපියන්ගේ අධ්‍යාපන මට්ටම කෙබඳුද?
දෙමවුපියන්ගේ සමාජ අවබෝධය කෙබඳුද?
දෙමවුපියන්ගේ දේශපාලන මතවාදය නොහොත් ආගමික විශ්වාසය කෙබඳුද?
නම අයත් පුද්ගලයා කෙරෙහි නම තැබූවන් තුළ වූ බලාපොරොත්තු කවරේද?

අර්ථය සමාන වන මුත්, චන්ද්‍රාවතී සඳාගෙන්ද, සඳා චාන්දනීගෙන්ද වෙනස් වන්නේ එහෙයිනි.
නාමයේ රූපය අනුව, අපි තව බොහෝ දේ අනුමාන කරමු. "මම මෙලෙස අනුමාන කරන්නෙමි"යයි අප නොසිතන බව සැබෑය. නමුත් නම කියවන, අසන ඇසිල්ලෙකින් මේ හැඟීම් සමුදාය සිතෙහි හට ගනී.

එතැන් සිට අප පුද්ගලයා දෙස බලනුයේ අර අකුරුවලට හසු නොවුණු තොරතුරුද යටිසිතෙහි දරාගෙනය.
සීතා අප සිතෙහි ඇති කරන හැඟීම, බියට්‍රිස් විසින් ඇති කෙරෙන හැඟීමම නොවේ.

ඒ එක් පැත්තකිනි.

ලියැවිල්ලක නමක් දකිනවිට අපි සිතින් ඒ නම කියවමු. සිතින් උච්ඡාරණය කෙරෙන මේ නම, අපටත් නොදැනීම අපේ සිතට බලපෑම් කරයි. ඇතැම් නමක්, පසුබිමෙහි ඇති වචන සමග පෑහී, එතුළම ගිලෙයි. තවත් නමක් පසුබිමින් වෙන්ව නැගී අපේ අවධානය ඉල්ලා සිටී. තවත් නමක් පසුබිම හා පෑහෙනු නොහැකිව සැඟවෙයි.
කුමාරි, සමිත, ප්‍රියන්ති වැනි නම් අතර ඇන්ජලා මෙනි; ශානිකා, ප්‍රබෝධ, මනෝජ් වැනි නම් අතර කිත්සිරි මෙනි.

පසුබිමෙහි ඇති කථාව හා පෑහී, එහිම ගිලෙන නමක් නිසා, කියවන්නාගේ අවධානය කථාවෙහි පැතිරෙයි. නොඑසේව, පසුබිමට ඉහළින් ඉස්මතු වෙන නමක් නිසා චරිතයට වැඩි අවධානයක් යොමු වෙයි. පසුබිමට අනුචිත හෙයින් යට ගිය නම අපට පහසුවෙන් අමතකව යා හැකිය.

ඒ තවත් පැත්තකිනි.

මට නොපෙනෙන පැතිද තව බොහෝ ඇතුවාට සැක නැත.



කරුණු මෙසේ හෙයින් වචන බොහෝ ගණනකින් කිව යුතු දෙයක් ඇඟට නොදැනීම සිතට දැනෙන්නට සැලැස්වීමේ හැකියාවක් නමකට ඇත.

කෙටියෙන් කිවහොත්, ශානිට සරා විය නොහැක.

Wednesday, August 17, 2011

සුනීත

"රජවරු සිටුවරු ඒ සැප සම්පත්, මාළිගා අත හැරියා; ලස්සන බිසෝවරුන්ව, අන්තඃපුර අතහැරියා; රන්බඳුන්වල රජ බොජුන් කාපුවා අත හැරියා; සිනිඳු පටසළු, රන් සළු අත හැරියා.." හාමුදුරුවෝ ඇහින් දැක්කාක් මෙන් විස්තර කරති. "අපිට බෑ යන්තම් පණ ගැට ගහගන්න විතරක් ලැබෙන, අනුන්ගෙන් බැණුම් අහ අහ කරන රස්සාව අත් හරින්න; ටකරං වහපු ගෙදර අත් හරින්න; අපිට බෑ කිසිම හැඩවැඩක් නැති ගෑණිව අත්හරින්න; අපිට බෑ බෙලෙක් පිඟානෙ කන රොටිය අත්හරින්න; අපිට බෑ ඇඳලම හම ගිය රෙදි කඩමාල්ල අත්හරින්න. ඇයි ඒ?" හාමුදුරුවන්ගේ දැඩි බැල්ම දරා ගත නොහී සුනීත බිම බලාගත්තේය.
"ඇයි අපට අත් හරින්න බැරි?" හාමුදුරුවන්ද ලේසියෙන් අත හරින පාටක් නැත.

Tuesday, August 16, 2011

සබඳ

නුඹ නැති ජීවිතය
මකුළු දැල් බැඳී ඇත.
කල් නෑර එනු මැන
කොස්සක්ද රැගෙන.

Thursday, August 4, 2011

බ්‍රැන්ඩි

දොර ඇරෙයි. සැර විලවුන් සුවඳක් පැතිරෙයි.

දොරින් ඇතුළු වෙන සරා, නිකමට මෙන් කාර්යාලය දෙස බලා, නාන කාමරයට යන පටු කොරිඩෝවට හැරෙයි. දෙපස පැලුම් සහිත, දිය සෙවෙල් පැහැ සාය, ඇගේ ඇත් ගමනට උචිත පරිදි යන්තමින් සැලෙයි.

"කස කාරයා ආවා." එකෙක් කියයි. කසුකුසු සිනාවක් නැගෙයි. කාර්යාලය වැඩට සූදානම් වෙයි.

එක්වනම සිරුර කෙළින්කොට සීරුවෙන් සිටගන්නා රණසිංහ, කඩිනමින් දොර හැර, රිදී කෙසින් යුත් හිස මඳක් ඇල කොට, පක්ෂපාතීව සිනාපායි.

"ගුඩ් මෝනිං."
විශ්වාසයෙන් කියන ලක්මාල් දිගු අඩි තබමින් කාර්යාලයට ඇතුළු වෙයි.
"මෝනිං සර්." රණසිංහ ඔහුගේ සෙවණැල්ලට සෙමින් කියයි.

ඇතැම්හු හුනස්නෙන් නැගිටිති; ඇතැම්හු නැගිටින්නට මෙන් සැරසෙති. සියල්ලෝ මන්දස්මිතයකින් සැරසී අරුත් නොසිතාම ආසිරි පතති.
"ගුඩ් මෝනිං සර්."
කැමැත්තෙන් කූඩු වෙන සතෙකු බලෙන් නතර කර ගත්තාක් මෙන් ලක්මාල් මොහොතකට නවතියි.
"ගුඩ් මෝනිං."