Thursday, May 31, 2012

ලේ

ඇස් ඉස් මස් ලේ දන් දෙන සංකල්පය ඇති වෙන්නට ඇත්තෙ, සමහරවිට පුරාණ ශිෂ්ඨාචාරවල අවයව බද්ධය කෙරුණු නිසා වෙන්නටත් ඇති. කොහොම වුණත් ඒ විදිහට දන් දීලා බලාපොරොත්තු වෙන්නෙ "මම, මගේ" කියන හැඟීම අඩු කර ගන්න එක. වෙන විදිහකට කිව්වොත් ලෝබකම අඩු කර ගන්න එක. තමන්ගෙ ඇඟෙන් ඉවත් කරලා දුන්නට පස්සෙ ඒ දේ තව දුරටත් තමන්ට අයිති නැහැ.

එහෙම දෙන්නට පහසුම දේ තමයි ලේ.

පාරක් පාරක් ගානෙ "මා වැනි බිළින්දා" කියල දැන්වීම් ගහල තියෙන්නෙ, මිනිස්සුන්ට එහෙම ලේ දන් දෙන වුවමනාව ඇති කරවන්නට. හුඟක් මිනිස්සු ළමයින්ට කැමතියි. අනික් අතට හුඟක් මිනිස්සු කටු ගහනවට බයයි; ලේ දකින්නට බයයි; ලේ දෙන්නට අකමැතියි. අර විදිහෙ රූපයක් දැක්කහම මිනිස්සු රැවටෙනවා, "ආ, බබාලා ජීවත් කරවන්නට පුළුවන් මගෙ ලේවලින්."

එහෙම පෙළඹවීමක් අවශ්‍ය වෙන්නෙ ලේ දන් දුන් නමුත් ඒ කෙරෙහි ඇති "තමන්ගෙකම" අපේ හිතින් අයින් වෙලා නැති හින්දා. අපි කැමති අපේ ලෙයින් පලකට ඇති කෙනෙක් ජීවත් වෙනවා දකින්නට. තමන් කැමති කෙනෙක්, ආදරය කරන කෙනෙක් ජීවත් වෙනවා දකින්නට.
සමහරවිට හැමෝම එහෙම නැතුව ඇති.
නිතර නිතර ලේ වමනෙ දමාගෙන රෝහලට ඇතුළු වෙන මත්පැනට ඇබ්බැහි වූවන්,  එකිනෙකා සමග ගහමරාගෙන එන පාතාල කල්ලිකරුවන් හෝ මදාවියන් වැනි අය ජීවත් කරවීම පිණිස ලේ බිඳක් දන් දෙන්නටයයි දැන්වීම් ගැහුවොත් කී දෙනෙක් එයිද මන්දා. තමුන් පරිත්‍යාග කළ ලේ ටික භාවිතා වුණේ ඒ වගේ සමාජයට කරදරයක් වෙන විදිහෙ, පවුලට කරදරයක් වෙන විදිහෙ මිනිහෙක් ජීවත් කරවන්නට බව දන්නවනම්, කී දෙනෙක් ඒකට සතුටු වනු ඇත්ද?
එහෙම නොහිතිය යුතු ඇති. ඒත් මම අකමැතියි.
එහෙම අකමැත්තක් හිතට එන්නෙ, දන් දුන්නායයි කිව්වත්, ඇඟෙන් ඉවත් කළ ලේ ටිකට තියෙන බැඳීම අඩු වෙලා නැති හින්දා වෙන්නට ඕන.

අනෙක් අතට පසුගිය යුධ සමයේ හමුදා සොයුරන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කරන්නටනම් බොහෝ දෙනා ඉතාම කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නට ඇති. මමත් එහෙමයි.
කාලයක් මම හමුදා රෝහලේ සේවය කළා. එහෙ ලේ ගබඩා කරගෙන තිබුණෙ නැහැ. අවශ්‍ය වනවිට ලේ බැංකුවට ගිලන්රියක් යවා ගෙන්වා ගන්නට ඕන.
කියන තරම් ලේසියෙන් ලේ ගෙන්වා ගන්නට බැහැ. ප්‍රභූවරුන් යන එන හින්දා නිතරම පාරවල් වහලා. විනාඩියක් දෙකක් නොවෙයි; වරකට විනාඩි හතළිස්පහක් පමණ පාර වහනවා ඒ හරියෙ.
එක් දවසක, බරපතල සැත්කමකට ලක් වුණු සොල්දාදුවෙකුට ලේ පයින්ට් කීපයක්ම ඉතාම ඉක්මණින් දිය යුතුව තිබුණා. ඒත් ලේ ගෙන ඒමට ගිය ගිලන්රිය යාමේදීත්, ඒමේදීත් දෙවරම අර විදිහට ප්‍රභූවරයෙක් උදෙසා මාර්ගය වැසීමට හසු වෙලා. පැය තුනක් ගතවීත් අවශ්‍ය ලේ ලැබී තිබුණෙ නැහැ. එදා මම හිටියෙ යක්ෂ තරහකින්: මොන විකාරයක්ද? අඩුම ගානෙ ගිලන්රියකට යාමට ඉඩ දිය යුතුයි නේද? එක්කො අදාල ප්‍රභූවරයා එන වෙලාව හරියටම දැනගෙන විනාඩි කිහිපයකට පමණක් පාර වැසීමට බැරිද? මේ අනෙක් මිනිසුන් වෙනුවෙන් යුද පිටියට බට සොල්දාදුවෙක් නේද?
මම එහෙම යකා ආවේශ වෙලා හිටියට එතන හිටිය අනෙක් අය ඒ තත්වය එහෙමයයි පිළිගෙන වගේ. සමහරවිට අවුරුදු ගණනාවක් එතන සේවය කරන ඔවුන්, ඒ අත්දැකීමට නැවත නැවත මුහුණ දීම නිසාම එලෙස හැඩ ගැසෙන්නට ඇති. නොඑසේනම්, තමන්ට වෙනස් කළ නොහැකි දෙය උපේක්ෂාවෙන් විඳ ගන්නට ඇති.
එහෙම පුරුද්දක් නැති මම හිතින් ගැටෙන්නට පටන්ගෙන, මගේයයි හිතාගන ඉන්න ලෙඩා වෙනුවෙන්. ඒ විදිහෙ ගැටීමක් හිතේ ඇති වෙන්නෙ තවමත් යටපත් නොවුණු ද්වේෂය හින්දා වෙන්නට ඕන.

ලේ ගබඩා කර තබා ගත හැක්කේ මාස දෙකතුනක් පමණයි. එහෙම කල් ඉකුත් වෙන්නට ආසන්න ලේ, විශේෂයෙන් යුද කාලයෙදි, අසල රෝහල්වල අවශ්‍යතා විමසලා, ඒ තැන්වලට ලබා දෙනවා. නමුත් යාපනයේ ඉගෙනගත් වෛද්‍යවරියක කිව්වෙ, ඔවුන් එහෙම වෙනත් රෝහල්වලට ලේ යැව්වෙ නැහැ; ඒ වෙනුවට ඒවා රෝහල ඉදිරිපිට රෝස මල් පාත්තියේ පොහොර ලෙස යොදාගත්තාය කියලා.

"හරි ලස්සනට, ලොකුවට මල් පිපුණා." ඈ කිව්වා. "ලේ කියන්නෙ බොහොම හොඳ පොහොරක්!"

මිනිස් ලේ පොහොරක් වෙලා, ඒ මතින් පිපෙන මල් සුන්දර බව පිළිගන්නට මගේ සිත මැළිවෙන්නෙ මෝඩකම හින්දා වෙන්නට ඕන.

Tuesday, May 22, 2012

"කරුමෙ"

මේ දිනවල හුඟක් ළමයින්ට දරුණු මොළයේ උණක් වැළඳෙනවා. ඉක්මණින්ම සිහි කල්පනාව නැති වෙලා, වලිප්පුව හැදෙන මේ ළමුන්ගෙන් ඇතැමෙක් රෝගයෙන් මිය යනවා. තවත් ළමුන් සුව කළ නොහැකි ස්නායු ආබාධ සහිතව ජීවත් වෙනවා. බොහොමයක් ළමයින් සති කිහිපයක් නැත්නම් මාස කිහිපයක් පුරා දුක් විඳිමින් ජීවිතය අදිනවා. දෙමවුපියන්, නෑදෑයින් විඳින්නෙ සුළුපටු දුකක් නොවෙයි. මවුවරුන් සති ගණනාවක් තිස්සෙ දිවි ගෙවන්නෙ රෝහලේ. ඔවුන්ට රැකියා තියෙනවද, තමන්ගෙ අසනීපයක් අමාරුවක් තියෙනවද කියලා සිහියක් නැහැ. තියෙන දේපල විකිණෙන්නෙ, උගස් තැබෙන්නෙ, පියවරුනුත් ඈත ගම්වල සිට නිතර නිතර නගරයේ රෝහලේ සිටින දරුවා බලන්නට එන හින්දා; රැකියාවක එක දිගට නිරත වෙන්නට නොහැකි වන හින්දා. වැඩිහිටියන් හැමදෙනාම රෝගී දරුවා ගැන පමණක් අවධානය යොමු කරන නිසා, පවුලෙ සිටින අනෙක් දරුවන් ගැන හොයා බලන්නට කෙනෙක් නැහැ.

එහෙම ඉඳලා, ඇතැම් දිනයක මහා හඬින් හඬා වැළපෙන මවුපියවරුන් දරුවාගෙන් සමු ගන්නවා.

"මටනං එපා වෙලා." මං කිව්වා.

"ඉස්සර වතාවක් ඔය වගේ ළමයෙක් ආවා. අවුරුදු හයක් විතර ඇති." හෙදිය කතාවක් පටන් ගත්තා.

"දර කෑල්ල වගේ. කිසිම සිහියක් නැහැ. මොකක්ද අසනීපය කියලා හොයා ගන්නවත් බැහැ. කරන හැම පරීක්ෂණයක්ම සාමාන්‍යයි. දරුවා සුව වෙන්නෙත් නැහැ.

ඒ බොහොම අමාරුවෙන් හදා ගත්තු ළමයෙක්. අවුරුදු ගානක් දරුවන් නැතුව ඉඳලා. මුලදි මුලදි දරුවගෙ මුළු පවුලම හිටියෙම මෙතන. අම්මා, තාත්තා, ආච්චි, සීයා, නැන්දලා, මාමලා.....

ඒ ළමයා සති ගානක් ඒ විදිහට හිටියා.


ටික දවසක් යද්දි අපට පෙනුණා දරුවා බලන්න එන්නෙ අම්මා විතරක් බව. තාත්තා එන්නෙම නැහැ. ආච්චි, සීයා එහෙම වරින් වර ඇවිත් බලලා යනවා. අම්මත් සමහරවිට දවස් දෙකතුනක් නෑවිත් ඉන්නවා, ආච්චිව ළමයා ළඟ හිටවලා.

තාත්තා එන්නෙම නැහැ."

අම්මලා මෙහෙම මාස ගානක් රෝහලේ ඉන්නකොට, සමහර පියවරු වෙන අතක යනවා.  පවුල සී සී කඩ වෙනවා.

"අපි දවසක් ඒ අම්මගෙන් ඇහුවා ඇයි තාත්තා දැන් නොඑන්නෙ කියලා.

ඒ අම්මා කිව්ව කතාව ඇහුවහම...."

හෙදිය කතාව නවත්වලා හිස ගැස්සුවා, හරියට අනේ එහෙම දෙයක්නම් කාටවත් වෙන්න එපා කියන්නට වගෙ.

"මොකක්ද එයා කිව්වෙ?"

"අර තියෙන්නෙ, අර සාස්තර බලන්නෙ, අර නිකං පේනවා කියන...."

"අඳුනක්ද?"

"අන්න හරි. ඒගොල්ලො අඳුනක් බලන්න ගිහින්.

අඳුනෙන් පෙනිලා, ඒ ළමයා පෙර ආත්මෙක මහා ලොකු පාපයක් කළා කියලා. මේ ආත්මෙදි කිට්ටු නෑදෑයො වෙලා ඉන්න මේ අයත් ඒ පාපයට හවුල් වෙලා...

දරුවට මෙහෙම වෙලා තියෙන්නෙ ඒ හින්දා කිව්වලු. මුළු පවුලටම මෙහෙම දුක් විඳින්න වෙලා තියෙන්නෙ, ඒ පාපයට හවුල් වුණු හින්දා කිව්වලු."

"ඉතින්?" මම හිතුවෙ තාත්තා ඒ ගැන කළකිරීමෙන් රෝහලට නොඑනවාය කියලා.

"ඉතින් ඒ අඳුන බැලුව කෙනා කිව්වලු, ළමයට සනීප වෙන්නනම්, ගෙයක් ගෙයක් ගානෙ, පාරක් පාරක් ගානෙ හිඟා කාලා, ඒ ලැබෙන මුදලින් දානයක් දෙන්නය කියලා!"

මම 'ඉතින්' නොකියා බලාගෙන හිටියා.

"තාත්තා දරුවා බලන්න ඇවිත් නැත්තෙ ඒකයි. රස්සාවත් අතෑරලා, හැමදාම හිඟා කන්න යනවලු. අනික් කිට්ටු නෑදෑයො සේරමත් පුළුපුළුවන් වෙලාවට හිඟා කන්න යනවලු. අම්මත් අර ගෙදර යන්නෙ, එහෙම හිඟා කන්න යන්නලු.

එහෙම කරලා, අන්තිමට ඒ මිනිස්සු සාස්තරකාරයා කියලා තිබුණු විදිහෙ දානයක් දුන්නා."

මම වැඩ නවත්වලා බලා හිටියා.

"ඉන් පස්සෙ ඒ ළමයට ටික ටික සනීප වුණා. හොඳටම සනීප වුණේ නැහැ. ඒත් දර කෑල්ලක් වගේ හිටිය ළමයා තනියෙන් හුස්ම ගන්නට පටන් ගත්තා. ඇස් ඇරියා. සිහි කල්පනාව ටික ටික හොඳ අතට හැරුණා. කෑම කවනකොට ගිලින්නට පුළුවන් වුණා. අතපය හොලවන්නට පුළුවන් වුණා. වචනයක් දෙකක් කතා කරන්නට පටන් ගත්තා.

ඒ ළමයා ගෙදර ගියා."

හෙදිය බර කල්පනාවකට වැටුණා. මමත් කල්පනාවට වැටුණා. නිහඬතාවය ඇති කළ තෙරපුම වැඩි වෙද්දි මම ආයෙත් කතාව පටන් ගත්තා.

"මටනං එපා වෙලා..."

Monday, May 21, 2012

චූදිතයෝ

 ඒ කාලෙ...

චෙස් තරග මාලා පැවැත්වුණේ සති අන්තයන්හිදී. ඉන් සමහරක් තරග පැවැත්වුණේ සහභාගි වන කණ්ඩායම් අතුරින් සම දක්ෂතා මට්ටම් අනුව ප්‍රතිවාදී පිල් තෝරන ක්‍රමයට. අවසාන ප්‍රතිපලයත් තීරණය වුණේ දිනූ තරග සංඛ්‍යාව අනුව පමණක් නොවෙයි; ප්‍රතිවාදී පිල්වල දක්ෂතා මට්ටම අනුව නිර්ණය කරන ලද ලකුණු ක්‍රමයක් අනුව.

ඒ විදිහට පැවැත්වුණු එක් අන්තර්විද්‍යාලයීය තරග මාලාවකට අපිත් සහභාගි වුණා. තරගය සංවිධානය කර තිබුණේ වෙනත් විද්‍යාලයක් විසින්. ඔවුන් වාර්ෂිකව ඒ තරගය සවිධානය කරන අය.

ඒ කාලයේ බාලිකා විදුහල් අතරින් ඉහළම දක්ෂතා මට්ටමක හිටියෙ අපේ විදුහල. ඒ නිසා අපට මුළින්ම මුහුණ දෙන්නට සිදු වුණේ ඉහළම දක්ෂතා මට්ටමෙහි සිටි බාලක පාසලට. ඒ තරගයෙන් අපි පරාජය වුණා. නමුත් ඊලඟ තරග පහේම හැම පුවරුවක්ම අපි ජයග්‍රහණය කළ හින්දා, අපි දැන සිටියා බාලිකා අංශයේ ශූරතාවය හිමි වෙන්නෙ අපට බව.

අපේ තරග කලින් නිමා වුණු හින්දා, අපි විද්‍යාල භූමියේ ඇවිදිමින් විනෝද වෙන්නට වුණා. මගේ හොඳම යෙහෙළියට කුරුමාණම් අල්ලන ඉලන්දාරියෙක් වෙනත් ක්‍රීඩා කණ්ඩායමක හිටියා. අපි දෙගොල්ලම කල්ලි ගැහිලා, එකිනෙකාට උසුළු විසුළු කරගනිමින් එහෙමෙහෙ ඇවිද්දා.

ඔය අතරෙ අපට හමු වුණා ඒ වසරෙදි චෙස් ඇරඹූ වෙනත් බාලිකා විද්‍යාලයක කණ්ඩායම් නායිකාව. සෑහෙන මෝරපු පෙණුමක් තිබුණු මේ ක්‍රීඩිකාව පෙම්වතාගේ අස්ථාන සැකයට ලක් වුණු සිංහල චිත්‍රපට නිළියක වගේ කඳුළු සළමින්, ඤාව් ඤාව් ගාමින් හිටියෙ. ඇගේ සහෝදර ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් එතනට වෙලා ඇයව සනසවනවා. ඔවුන්ගෙ ක්‍රීඩා ගුරුවරියත් එතනට වෙලා ඇගේ හිස අත ගානවා.

අහක බලන් යන එක හරි නැති හින්දා මම ඇහුවා "මොකද අක්කා?" කියලා.
"අනේ බලන්න නංගි, හරිම අසාධාරනයි..." කෙල්ල හොටූ ඇද ඇද කිව්වා. කඳුළු නිකං දියලුම ඇල්ල වගේ බේරෙනවා!
අනික් කෙල්ලො ටික අමුතු මූණු දාගෙන බලා හිටියා.

මොකක්දෝ හේතුවක් නිසා මගේ යෙහෙළියන් මාව එතනින් ඇදගෙන ගියා. මම නොදන්න මොකක් හරි ඔවුන් දන්න බව මට තේරුණා.

සිද්ධිය වැටහුණේ අපි ආපහු තරග පැවති ඉසව්වට යනවිට. අපේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දරුණු මූණු දාගෙන. එහෙට රවනවා, මෙහෙට රවනවා. තනියෙන් ගොරවනවා. කොහොමත් අපේ කණ්ඩායමේ හිටියෙ අර අනික් කණ්ඩායමේ වගේ ලලිත කලා කට්ටිය නෙවෙයි, සාමාන්‍ය ළමයි.

මට තේරුණු විදිහට සිද්ධිය මේකයි: නවක කණ්ඩායමක් වන අර ලලිතකලා බාලිකාවන්ට ක්‍රීඩා කරන්නට ලැබුණෙ එවකට පැවති දුර්වලම කණ්ඩායම් සමග. ඔවුන් ඒ තරග සියල්ල ජයග්‍රහණය කරලා. නමුත් දක්ෂතා මට්ටම අනුව ඉහළම කණ්ඩායම් හයක් සමග තරග වැදුණු අපේ කණ්ඩායමට ලැබෙන ලකුණු ප්‍රමාණය ඔවුන්ට වඩා වැඩියි, එක් තරගයක් පරාජය වුණත්. ඉතින් ලලිතකලා බාලිකාවන් තරග විනිසුරුවරයා හමු වෙලා, කඳුළු සළමින්, හොටු පෙරමින්, ළඳ බොළඳ ශ්‍රියා කාන්තා වචනවලින් පැහැදිලි කරලා තියෙනවා මේක හලීම අසාදාලනයි කියලා; ඒගොල්ලන්ගෙ සියුමැලි සුකුමාල ලලනා සිත් ගොඩාරියක් ඌවා වෙලා කියලා; අනී ඒගොල්ලන්ට සාදාලනේ ඉෂ්ඨ කරන්න ප්ලීස් කියලා.

එහෙම වුණොත් අපි මොකද කරන්නෙ?
දමල ගහල නැගිටල යමු.
අපි කතා වුණා.

අපි මොනවා හරි කරයි කියලා විනිසුරු මඬුල්ලත් බලාපොරොත්තු වුණා වගේ. කට්ටිය බොහොම බරපතල මුහුණු දාගෙන හිටියා. හැම කණ්ඩායමක්ම අසුන් ගත් පසුව, කුඩා ආහාර මල්ලක් බැගින් බෙදා දුන්නා. අනෙක් ක්‍රීඩකක්‍රීඩිකාවන්නම් කන්නට පටන් ගත්තා. අපි කෑවෙ නැහැ. අපි බොහොම අවධානයෙන් බලාගෙන හිටියා මොකක්ද සිද්ධ වෙන්නට යන්නෙ කියලා. ඔය වෙනකොට අර ලලිතකලා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙ හොටු සහ කඳුළු වේළිලා. ඒගොල්ලොත් සියුමැලි ඇඟිලිවලින් කෑම මලු ලිහලා කන්නට වුණා.

තරග ප්‍රතිඵල නිකුත් කළේ ඒ අතරතුර. බාලිකා ශූරතාවය අරුන්ට!

අපි නැගිට්ටා. කෑම මළු දමලා ගැහුවා මේස උඩට. අඩි පොළොවෙ හප්පමින් එතනින් පිට වුණා. සභාව තුෂ්ණිම්භූතව බලා සිටින බව අපි ඇස් කොණින් දැක්කා.


සිද්ධිය පත්තු වුණේ පහුවෙනිදා.
විදුහල්පතිනිය නිවේදනයක් නිකුත් කළා චෙස් කණ්ඩායමේ සියළුම ක්‍රීඩිකාවන්ද, චෙස් භාර ගුරුවරියන්ද වහාම රැස්වීමකට කැඳවමින්.

අපේ විදුහල්පතිනිය එක්ක සෙල්ලම් බැහැ. ඇය බොහොම දැඩි නීතිගරුක පාලනයක් ගෙන ගිය, ප්‍රබල පෞරුෂත්වයකින් හෙබි කෙනෙක්. තරග සංවිධායකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇයට ලිඛිතව දන්වලා අපේ විනය විරෝධී හැසිරීම ගැන. ඒ වගේම, ඊට දඬුවමක් ලෙස, අපේ විදුහලට වසරක තරග තහනමකුත් පැනවිලා.

ඔය වෙනකොට අපේ යොවුන් ආවේගශීලී හැඟීම්වල තීව්‍රතාවය අඩු වෙලා. අපව විදුහලින් අස් කරන්නට යන බව අපට වැටහුණා. ගෙදරට ගිහින් ඒ බව කියන්නෙ කොහොමද? අම්මලාට මුහුණ දෙන්නෙ කොහොමද? අම්මලාව විදුහලට එක්කරගෙන එන්නටයයි කිව්වොත්?

අපි අසරණ වෙලා රැස්වීම් ශාලාවට ගියා.
අපට අසුන් ගන්නට තිබුණෙ බිම. විදුහල්පතිනියත්, චෙස් භාර ගුරුවරියනුත්, පෙර දිනයෙදි අප සමග සිටි අපේ ක්‍රීඩිකාවකගෙ මවු වෙන වෙනත් ගුරුවරියකුත් අප ඉදිරියෙ අසුන් ගෙන සිටියා.

විදුහල්පතිනිය කථාව පටන් ගත්තා. ඇය කථා කළේ ක්‍රීඩා ගුරුවරියන්හට.

"කවුද ඒ අවස්ථාවෙ දරුවන්ව භාරව හිටියෙ?" ඇය විමසුවා.
"අහවලා." ක්‍රීඩා භාර ගුරුතුමිය අපේ ක්‍රීඩිකාවගෙ මව දැක්වූවා. ඒ ගුරුතුමිය මොහොතකට සසල වුණා. ඒත් විදුහල්පතිනිය ඇය දිහා බැලුවෙවත් නැහැ.
"ඒ ගුරු මහත්මිය ඒ වෙලාවෙ එතන හිටියෙ දෙමවුපියෙක් විදිහට. මම අහන්නෙ, කවුද ගුරුවරියක් විදිහට ඒ වෙලාවෙ දරුවන් භාරව හිටියෙ?"

ගුරුවරියන් බිම බලාගෙන. අපි, ක්‍රීඩිකාවන්, දැන් යන්තමින් හිස ඔසොවලා බලනවා.

"දරුවො වැරදි කරනවා." විදුහල්පතිනිය කිව්වා. "දරුවොන්ට හරි වැරැද්ද තේරෙන්නෙ නැහැ. ඒකයි දරුවො කියන්නෙ. දරුවො වැරදි කරන හින්දා, ඔවුන්ට මග පෙන්වන්ට අපි ඔවුන් සමග ඉන්නට ඕන. මේ සිද්ධියෙදි අපේ දරුවො තනි වෙලා. ඔවුන්ට කළ යුතු දෙය, නොකළ යුතු දෙය පෙන්වා දෙන්නට වග කිව යුතු වැඩිහිටියෙක් ළඟ ඉඳලා නැහැ. මේක වැඩිහිටියන් වන අපේ වැරැද්ද.."

ඔය විදිහට එතුමිය දීර්ඝ දේශනයක් කළා. අපි අහගෙන හිටියා. අපේ ගුරුවරු අහගෙන හිටියා. අපේ මවක් වූ අර ගුරුවරිය අහගෙන හිටියා.

විදුහල්පතිනිය අපට එක් වචනයකින්වත් බැන්නෙ නැහැ. අපව විදුහලින් අස් කළෙත් නැහැ. සිද්ධිය ගැන අපේ ගෙවල්වලින් දැනගත්තෙත් නැහැ.


අපට පැනවුණු තරග තහනම එලෙසින්ම ක්‍රියාත්මක වුණා. අපි, වෙනත් තරග මාලාවක් සඳහාවත් ඉන්පසු ඒ විදුහලට පය තැබුවේ නැහැ.

අපේ ආදරණී‍ය විදුහල්පතිනිය, ටී. කේ. ඒකනායක මැතිණිය කවදාවත් අමතක වෙන්නෙත් නැහැ.

Tuesday, May 1, 2012

ආගන්තුක කුරුල්ලා

අප්පච්චියි අම්මයි උදෙන්ම වාඩි වෙලා පාතේගම සුමනරතන හාමුදුරුවන්ගෙ බණක් අහනවා. මම ඒ හිත නිවන හඬට කන් දෙමින් මිදුලට බැස්සා.

සියඹලා ගහේ ඉඳන් කවුදෝ ආගන්තුක කුරුල්ලෙක් ගී ගයනවා.

වදලට හැදී ඇති පලතුරු ගස්, මසුන් සහිත කුඩා පොකුණ සහ අම්මගෙ බත් දන්සල නිසත්, අපේ මිදුලට බැස්සහම ඕන තරම් කුරුල්ලො: කපුටො, කොහෝ, දෙමළිච්චො, බට්ටිච්චො, ඇටි බුක්කො, පැණි කුරුල්ලො, කහ කුරුල්ලො, කොබෙය්යො, පරෙය්යො, ගිරව්, කෑඳැත්තො, සිවුරු හොරු, සුදු රෙදි හොරු, කෑරල්ලු, පොළොස් කොට්ටෝරුවො, පිළිහුඩුවො, මයිනො, කරෝල පෙන්දො විතරක් නෙවෙයි, කොහෙ හරි දේවාලෙකින් පැන ගත්තු සෙබඩකුත් ආවා කාලයක්.

ඒත් මේ හඬ ආගන්තුකයි.
කන්කළුයි.
අමුතු අමුතු නාද රටාවන්ට අනුව ගැයෙන ගී හඬ මොන තරම් අහන් හිටියත් ඇති වෙන්නෙ නැහැ.

"අම්මා... අම්මා..."

අම්මයි අප්පච්චියි බණ පැත්තකින් තියලා මිදුලට බැස්සා. අපි අහන් ඉන්න බව දැනිලදෝ, ආගන්තුක කුරුල්ලා තව තවත් දිගු වැකි සහිත ගී ගයන්නට වුණා. 

සියඹලා ගහ උඩට අව්ව වැටිලා. ලපටි පලාවන් පත් අතරේ කොපමණ හෙව්වත් කුරුල්ලා පෙනෙන්නට නැහැ.

"කුරුල්ලා බොහොම ලස්සන එකෙක් වෙන්නට ඕන." ඇහැට නොපෙනෙන, නොදන්නා කුරුල්ලා ගැන මම එහෙම කල්පනා කළා.

අම්මලා ආපහු ගෙට ගියා. මම කුරුළු ගී අසමින් මිදුලේ ඇවිද්දා.

හැමතැනම මල් පිපිලා. එහෙම නැත්නම් ලපටි, පැහෙන, ඉදෙන ගෙඩි.
වසන්තය ඇවිත්!

සමහරවිට මේ ගී ගයන්නෙ වසත් කාලයට පිටරටකින් මෙහෙ ආව කුරුල්ලෙක් වෙන්නට ඕන. මල්, පලතුරු දැකලා, ලා හිරු රැස් නාලා, හිතට සතුටක් දැනිලා වෙන්නට ඕන.

වසර පුරාම අඩි කිහිපයක් ගනකම අයිස් තට්ටුවකින් වැසුණු සයිබීරියානු නගරයක වාසය කරන මගේ මිතුරන් දෙදෙනෙක් පසුගිය වසරෙදි මෙහි ආවා. ගස්වල පලතුරු හට ගන්නා හැටි ඔවුන් මුල්වරට දැක්කෙ මෙහෙදි. ලා වැස්සකට අහස අර අදිනවිට, එය ගණනකට නොගෙන, තෙමෙමින් වැස්සේ ගමන් කරන මිනිසුන් දිහා ඔවුන් බැලුවෙ පුදුමයෙන්. නිදා ගැනීමට දුන් කාමරයේ තිබුණු වා කවුළු ඔවුනට නුහුරු නිසා, සතෙක් ඒවිදැයි බියෙන් මුළු රැයම නිදිවර්ජිතව සිටි බැව් කිව්වෙ පසුවදා.

"ආ, ඔව්, ඒවගෙන් සර්පයො ගේ ඇතුළට එනවා!" මං කිව්වෙ සැහැල්ලුවෙන්. විතාලිගෙ ඇස් උඩ ඉන්දුණා!

අපි පොඩි කාලෙ මේ වා කවුළුවල පරෙය්යන් පදිංචි වුණා. එක ජෝඩුවක්; ජෝඩු දෙකක්; එක් දරු පරම්පරාවක්; තව පරම්පරාවක්...
පරෙයි මැක්කන් බෝ වුණේ ඒ අතරෙදි. අපේ අතපය පුරා පුංචි පුංචි තුවාල.
අප්පච්චි කලබල වුණා. පරෙය්යන් එළවා දමන්නට තීරණය කළා: "ළමයින් ලෙඩ වෙන්නට පුළුවනි..."

පරෙය්යන් ඉන්න වා කවුළු ළඟට වෙලා අප්පච්චි සද්ද කළා; දිග රිටි අරගෙන කූඩු කඩන්නට වගේ හැදුවා; පරෙය්යන් කූඩුවට ඉගිල එනවිට ෂෝ ෂෝ කිව්වා.
අප්පච්චිගෙන් කරදරයක් නොවෙන වග පරෙය්යො හරියට දැනන් හිටියා වගේ! උන් තමන්ගෙ රවුම් ඇස්වලින් අප්පච්චි දිහා බලලා, වා කවුළු තුළට රිංගලා ලැගගත්තා.

අප්පච්චි දැඩි තීරණයක් ගත්තා: කූඩුවට නැගලා, කූඩුව කඩන්නට ඕන.
ඉතින් ඉණිමගක් හොයාගෙන, බිත්තියට හේත්තු කරලා අප්පච්චි පරෙයි කූඩුවට නැග්ගා. අපි බිම සිට බලා සිටියා.
උඩට නැගලා බලනකොට කූඩුවෙ පරෙය්යෙක්. අප්පච්චි බොහොම පරිස්සමෙන් ඌව අතට ගත්තා. අප්පච්චිගෙ කට උල් වෙලා; ඇස් සුරතල් පාට වෙලා. හරියට අළුත උපන් දරුවෙක් දෝතින් ගත්තා වගේ.
"මේ බලන්ඩ." අප්පච්චි අපට පෙන්නුවා. පරෙය්යා බොහොම හුරුබුහුටි අන්දමින් අප්පච්චිගෙ අත්වල උණුසුමට තවත් ගුලි වුණා. අප්පච්චි බොහොම පරෙස්සමින් ආපහු පරෙය්යාව කූඩුවෙන් තැබුවා.

අප්පච්චිගෙ පරෙයි දඩයම ඉන් අවසානයි. මං හිතන්නෙ පව් කරන්නටත් එක්තරා තරමකට පව්කාරකම තියෙන්නට ඕන.

පස්සෙ කාලෙක පරෙය්යොම අපේ ගේ අතෑරලා ගියා.

මම එහෙ මෙහෙ ඇවිදින අතරෙදි ආගන්තුක කුරුල්ලා ගී නාදය නවත්තලා. මම කුස්සියට ගියෙ අම්මා උයන හින්දා. ළිප උඩ මුං ඇට බඳුනක් තැම්බෙනවා. ඒ අසල සෝදා දැමූ හාල් බඳුනක්.
"මුං ඇට කිරිබත් හදලා දෙන්නම්." අම්මා කිව්වා.
"සීනිත් දාලා හදනවද?" මම ඇහුවා.
අම්මා සමහර වෙලාවට කිරිබතටම සීනි මුසු කරලා හදනවා. මතක ඇති කාලෙකින් මුංඇට කිරිබත් කෑවෙ නැහැ. මම පල්හෑලි කියමින් සෝදා තිබුණු හාල් කන්නට පටන් ගත්තා.
"ඕක කාලා ඉවර කරන්ඩ එපා. තම්බලා දෙනකම් ඉන්ඩ." අම්මා සැර කළා.

"මෙන්න." අප්පච්චි පේර ගෙනත්. මම මිදුලෙ ඇවිදින අතර මේ පේර ගෙඩි දෙක දිහා බැලුවා. ඒවා හොඳට ඉදිලයි තිබුණෙ. ඒත් ගහේ ඉහළ අත්තක. අපි කුස්සියෙ ඉන්න අතරෙ අප්පච්චි කොහොමදෝ ඒවා කඩාගෙන.
"මෙන්න අම්මට." මම පේර ගෙඩියක් කෑලි හතරකට කපලා, අම්මට කෑල්ලක් දුන්නා.
"එපා." අම්මා කිව්වා.
"මෙන්න පද්මලතාට."
"අනේ මට එපා!" පද්මලතාටත් පේර ඕන නැහැ.
"අප්පච්චිට?"
"මට ඕනෙ නැහැ."
කාටවත් පේර ඕනෙ නැහැ.
"ඔයා කන්ඩ. ඔයාටනෙ පේර ප්‍රශ්නයක් තියෙන්නෙ." අම්මා හිනා වෙවී කිව්වා.