ඒ කාලෙ...
චෙස් තරග මාලා පැවැත්වුණේ සති අන්තයන්හිදී. ඉන් සමහරක් තරග පැවැත්වුණේ සහභාගි වන කණ්ඩායම් අතුරින් සම දක්ෂතා මට්ටම් අනුව ප්‍රතිවාදී පිල් තෝරන ක්‍රමයට. අවසාන ප්‍රතිපලයත් තීරණය වුණේ දිනූ තරග සංඛ්‍යාව අනුව පමණක් නොවෙයි; ප්‍රතිවාදී පිල්වල දක්ෂතා මට්ටම අනුව නිර්ණය කරන ලද ලකුණු ක්‍රමයක් අනුව.
ඒ විදිහට පැවැත්වුණු එක් අන්තර්විද්‍යාලයීය තරග මාලාවකට අපිත් සහභාගි වුණා. තරගය සංවිධානය කර තිබුණේ වෙනත් විද්‍යාලයක් විසින්. ඔවුන් වාර්ෂිකව ඒ තරගය සවිධානය කරන අය.
ඒ කාලයේ බාලිකා විදුහල් අතරින් ඉහළම දක්ෂතා මට්ටමක හිටියෙ අපේ විදුහල. ඒ නිසා අපට මුළින්ම මුහුණ දෙන්නට සිදු වුණේ ඉහළම දක්ෂතා මට්ටමෙහි සිටි බාලක පාසලට. ඒ තරගයෙන් අපි පරාජය වුණා. නමුත් ඊලඟ තරග පහේම හැම පුවරුවක්ම අපි ජයග්‍රහණය කළ හින්දා, අපි දැන සිටියා බාලිකා අංශයේ ශූරතාවය හිමි වෙන්නෙ අපට බව.
අපේ තරග කලින් නිමා වුණු හින්දා, අපි විද්‍යාල භූමියේ ඇවිදිමින් විනෝද වෙන්නට වුණා. මගේ හොඳම යෙහෙළියට කුරුමාණම් අල්ලන ඉලන්දාරියෙක් වෙනත් ක්‍රීඩා කණ්ඩායමක හිටියා. අපි දෙගොල්ලම කල්ලි ගැහිලා, එකිනෙකාට උසුළු විසුළු කරගනිමින් එහෙමෙහෙ ඇවිද්දා.
ඔය අතරෙ අපට හමු වුණා ඒ වසරෙදි චෙස් ඇරඹූ වෙනත් බාලිකා විද්‍යාලයක කණ්ඩායම් නායිකාව. සෑහෙන මෝරපු පෙණුමක් තිබුණු මේ ක්‍රීඩිකාව පෙම්වතාගේ අස්ථාන සැකයට ලක් වුණු සිංහල චිත්‍රපට නිළියක වගේ කඳුළු සළමින්, ඤාව් ඤාව් ගාමින් හිටියෙ. ඇගේ සහෝදර ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් එතනට වෙලා ඇයව සනසවනවා. ඔවුන්ගෙ ක්‍රීඩා ගුරුවරියත් එතනට වෙලා ඇගේ හිස අත ගානවා.
අහක බලන් යන එක හරි නැති හින්දා මම ඇහුවා "මොකද අක්කා?" කියලා.
"අනේ බලන්න නංගි, හරිම අසාධාරනයි..." කෙල්ල හොටූ ඇද ඇද කිව්වා. කඳුළු නිකං දියලුම ඇල්ල වගේ බේරෙනවා!
අනික් කෙල්ලො ටික අමුතු මූණු දාගෙන බලා හිටියා.
මොකක්දෝ හේතුවක් නිසා මගේ යෙහෙළියන් මාව එතනින් ඇදගෙන ගියා. මම නොදන්න මොකක් හරි ඔවුන් දන්න බව මට තේරුණා.
සිද්ධිය වැටහුණේ අපි ආපහු තරග පැවති ඉසව්වට යනවිට. අපේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දරුණු මූණු දාගෙන. එහෙට රවනවා, මෙහෙට රවනවා. තනියෙන් ගොරවනවා. කොහොමත් අපේ කණ්ඩායමේ හිටියෙ අර අනික් කණ්ඩායමේ වගේ ලලිත කලා කට්ටිය නෙවෙයි, සාමාන්‍ය ළමයි.
මට තේරුණු විදිහට සිද්ධිය මේකයි: නවක කණ්ඩායමක් වන අර ලලිතකලා බාලිකාවන්ට ක්‍රීඩා කරන්නට ලැබුණෙ එවකට පැවති දුර්වලම කණ්ඩායම් සමග. ඔවුන් ඒ තරග සියල්ල ජයග්‍රහණය කරලා. නමුත් දක්ෂතා මට්ටම අනුව ඉහළම කණ්ඩායම් හයක් සමග තරග වැදුණු අපේ කණ්ඩායමට ලැබෙන ලකුණු ප්‍රමාණය ඔවුන්ට වඩා වැඩියි, එක් තරගයක් පරාජය වුණත්. ඉතින් ලලිතකලා බාලිකාවන් තරග විනිසුරුවරයා හමු වෙලා, කඳුළු සළමින්, හොටු පෙරමින්, ළඳ බොළඳ ශ්‍රියා කාන්තා වචනවලින් පැහැදිලි කරලා තියෙනවා මේක හලීම අසාදාලනයි කියලා; ඒගොල්ලන්ගෙ සියුමැලි සුකුමාල ලලනා සිත් ගොඩාරියක් ඌවා වෙලා කියලා; අනී ඒගොල්ලන්ට සාදාලනේ ඉෂ්ඨ කරන්න ප්ලීස් කියලා.
එහෙම වුණොත් අපි මොකද කරන්නෙ?
දමල ගහල නැගිටල යමු.
අපි කතා වුණා.
අපි මොනවා හරි කරයි කියලා විනිසුරු මඬුල්ලත් බලාපොරොත්තු වුණා වගේ. කට්ටිය බොහොම බරපතල මුහුණු දාගෙන හිටියා. හැම කණ්ඩායමක්ම අසුන් ගත් පසුව, කුඩා ආහාර මල්ලක් බැගින් බෙදා දුන්නා. අනෙක් ක්‍රීඩකක්‍රීඩිකාවන්නම් කන්නට පටන් ගත්තා. අපි කෑවෙ නැහැ. අපි බොහොම අවධානයෙන් බලාගෙන හිටියා මොකක්ද සිද්ධ වෙන්නට යන්නෙ කියලා. ඔය වෙනකොට අර ලලිතකලා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙ හොටු සහ කඳුළු වේළිලා. ඒගොල්ලොත් සියුමැලි ඇඟිලිවලින් කෑම මලු ලිහලා කන්නට වුණා.
තරග ප්‍රතිඵල නිකුත් කළේ ඒ අතරතුර. බාලිකා ශූරතාවය අරුන්ට!
අපි නැගිට්ටා. කෑම මළු දමලා ගැහුවා මේස උඩට. අඩි පොළොවෙ හප්පමින් එතනින් පිට වුණා. සභාව තුෂ්ණිම්භූතව බලා සිටින බව අපි ඇස් කොණින් දැක්කා.
සිද්ධිය පත්තු වුණේ පහුවෙනිදා.
විදුහල්පතිනිය නිවේදනයක් නිකුත් කළා චෙස් කණ්ඩායමේ සියළුම ක්‍රීඩිකාවන්ද, චෙස් භාර ගුරුවරියන්ද වහාම රැස්වීමකට කැඳවමින්.
අපේ විදුහල්පතිනිය එක්ක සෙල්ලම් බැහැ. ඇය බොහොම දැඩි නීතිගරුක පාලනයක් ගෙන ගිය, ප්‍රබල පෞරුෂත්වයකින් හෙබි කෙනෙක්. තරග සංවිධායකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇයට ලිඛිතව දන්වලා අපේ විනය විරෝධී හැසිරීම ගැන. ඒ වගේම, ඊට දඬුවමක් ලෙස, අපේ විදුහලට වසරක තරග තහනමකුත් පැනවිලා.
ඔය වෙනකොට අපේ යොවුන් ආවේගශීලී හැඟීම්වල තීව්‍රතාවය අඩු වෙලා. අපව විදුහලින් අස් කරන්නට යන බව අපට වැටහුණා. ගෙදරට ගිහින් ඒ බව කියන්නෙ කොහොමද? අම්මලාට මුහුණ දෙන්නෙ කොහොමද? අම්මලාව විදුහලට එක්කරගෙන එන්නටයයි කිව්වොත්?
අපි අසරණ වෙලා රැස්වීම් ශාලාවට ගියා.
අපට අසුන් ගන්නට තිබුණෙ බිම. විදුහල්පතිනියත්, චෙස් භාර ගුරුවරියනුත්, පෙර දිනයෙදි අප සමග සිටි අපේ ක්‍රීඩිකාවකගෙ මවු වෙන වෙනත් ගුරුවරියකුත් අප ඉදිරියෙ අසුන් ගෙන සිටියා.
විදුහල්පතිනිය කථාව පටන් ගත්තා. ඇය කථා කළේ ක්‍රීඩා ගුරුවරියන්හට.
"කවුද ඒ අවස්ථාවෙ දරුවන්ව භාරව හිටියෙ?" ඇය විමසුවා.
"අහවලා." ක්‍රීඩා භාර ගුරුතුමිය අපේ ක්‍රීඩිකාවගෙ මව දැක්වූවා. ඒ ගුරුතුමිය මොහොතකට සසල වුණා. ඒත් විදුහල්පතිනිය ඇය දිහා බැලුවෙවත් නැහැ.
"ඒ ගුරු මහත්මිය ඒ වෙලාවෙ එතන හිටියෙ දෙමවුපියෙක් විදිහට. මම අහන්නෙ, කවුද ගුරුවරියක් විදිහට ඒ වෙලාවෙ දරුවන් භාරව හිටියෙ?"
ගුරුවරියන් බිම බලාගෙන. අපි, ක්‍රීඩිකාවන්, දැන් යන්තමින් හිස ඔසොවලා බලනවා.
"දරුවො වැරදි කරනවා." විදුහල්පතිනිය කිව්වා. "දරුවොන්ට හරි වැරැද්ද තේරෙන්නෙ නැහැ. ඒකයි දරුවො කියන්නෙ. දරුවො වැරදි කරන හින්දා, ඔවුන්ට මග පෙන්වන්ට අපි ඔවුන් සමග ඉන්නට ඕන. මේ සිද්ධියෙදි අපේ දරුවො තනි වෙලා. ඔවුන්ට කළ යුතු දෙය, නොකළ යුතු දෙය පෙන්වා දෙන්නට වග කිව යුතු වැඩිහිටියෙක් ළඟ ඉඳලා නැහැ. මේක වැඩිහිටියන් වන අපේ වැරැද්ද.."
ඔය විදිහට එතුමිය දීර්ඝ දේශනයක් කළා. අපි අහගෙන හිටියා. අපේ ගුරුවරු අහගෙන හිටියා. අපේ මවක් වූ අර ගුරුවරිය අහගෙන හිටියා.
විදුහල්පතිනිය අපට එක් වචනයකින්වත් බැන්නෙ නැහැ. අපව විදුහලින් අස් කළෙත් නැහැ. සිද්ධිය ගැන අපේ ගෙවල්වලින් දැනගත්තෙත් නැහැ.
අපට පැනවුණු තරග තහනම එලෙසින්ම ක්‍රියාත්මක වුණා. අපි, වෙනත් තරග මාලාවක් සඳහාවත් ඉන්පසු ඒ විදුහලට පය තැබුවේ නැහැ.
අපේ ආදරණීය විදුහල්පතිනිය, ටී. කේ. ඒකනායක මැතිණිය කවදාවත් අමතක වෙන්නෙත් නැහැ.
ඔය වගේ හිතන ගුරුවරු, විදුහල්පතිවරු ඉන්නේ බොහොම කලාතුරකින් තමා.......නැත්නම් බැණුම් අහන්න වෙන්නේ අක්කලාව එක්කරන් ගිය අර ගුරුතුමීට.....
ReplyDeleteඑක එක ගුරුවරු එක එක විදියයි.. හරිද වැරදිද මන්දා මේ අපි හතර දෙනෙක් චූදිතයෝ විදියට ගුරුවරු ඉදිරියට ගිය සිද්ධියක්...
ReplyDeleteඅපේ පාසලේ කිසිම හේතුවක් උඩ ප්‍රිෆෙක්ට් කෙනෙක්ට තවත් ළමයෙකුට ගහන්න බැහැ... (අනිත් පාසල් වලත් එහෙම තමයි මගේ හිතේ :D )
ඒත් අපේ යාළුවෙකුට එහෙම පහරදීමක් වුණා... ඒ ගැන පැමිණිලි කරන්න අපේ පංතිභාර ගුරුවරයා ගාවට ගියාම වුණු දෙබස මෙන්න මේ වගේ
අපි : " සර් ප්‍රිෆෙක්ට් කෙනෙක් ඉරංගගේ කම්මුලට ගැහුවා "
සර් : " ඉති තමුසෙලා හරක් වගේ බලන් හිටියද? "
අපි : " නෑ සර් අපිත් ඌට ගැහුවා "
සර් : " ඒක මිසක්... "
පට්ට! අපි කුරුලු හමුදාවේ ඉද්දිත් ඔහොම දෙයක් උනා.... ඒවා කියන්ඩ බැහැ නෙව ඉස්කෝල කතාවාගේ!
Deleteගුරු දෙවිවරු. මේ වගේ අය දැන් හරි අඩුයි. තමන්ට බාර 1 වෙනි පන්තියේම ළමයින්ට පාසලින් පස්සේ ටියුෂන් දෙන, ටියුෂන් පන්තියට එන්නැති ළමයින්ට දඬුවම් කරන ගුරුවරුත් දැන් ඉන්නවා.
ReplyDeleteපෙම්වතාගේ අස්ථාන සැකයට ලක් උණු සිංහල චිත්‍රපට නිලියක් වගේ.. අනේ හැබෑට .. මන් මේ කල්පනා කරන්නේ අස්ථාන සැකය කියන කොටස ගැන..
ReplyDeleteමේක හරිම අසාධාරණ අසම්පූර්ණ කතාවක්.....!
ReplyDelete"මගේ හොඳම යෙහෙළියට කුරුමාණම් අල්ලන ඉලන්දාරියෙක් වෙනත් ක්‍රීඩා කණ්ඩායමක හිටියා." ඉතින් ඒකට මොකද උනේ කියලා ලියලා නෑ...!
"මමත් වෙනත් කණ්ඩායමක ඉලන්දාරියෙක්ට කුරුමාණම් ඇල්ලුවා...." ඒ ටික ලියවිලාම නෑ.....!
ඔක්කොම තරඟ දිනපු කණ්ඩායමද තරඟ 5ක් විතරක් දිනපු කණ්ඩායමද ශූරතාවය දිනන්න ඕනෙ....? හයියෝ.....!
අනික ඔය ගොල්ලන්ගේ කණ්ඩායම් දෙක මුණ ගැහුණු තරඟ වලින් මොකද උනේ කියලා කියවිලාම නෑ.....
මේක හලීම අසාදාලනයි කියලා; ඒගොල්ලන්ගෙ සියුමැලි සුකුමාල ලලනා සිත් ගොඩාරියක් ඌවා වෙලා කියලා; අනී ඒගොල්ලන්ට සාදාලනේ ඉෂ්ඨ කරන්න ප්ලීස් කියලා.
ReplyDeleteෂහ්! මාර භාෂා හැසිරවීම. :-)
කරන්න තිබුනෙ ඔය දෙගොල්ල අතර තරගයක් තියන්නයි.
මටත් හිතුනෙ හොදම විසදුම ඒකයි කියලා.
Deleteමේකේ උපමා උපමේය ටික නම් මල් '' අස්ථාන සැකයට ලක්වුණා චිත්‍රපට නිළිය ''
ReplyDeleteපව් අනේ ''සාමාන්‍ය ළමයි '' ටික . මාර වැඩේනේ අපි හිතුවේ ඔය වගේ වැඩ වෙන්නේ රුප රැජින තෝරන තරඟ වලදී විතරයි කියලා . නලිනිගේ ටීම් එකේ මන් හිටියා නම් ඔයිට එහා වෙයි . හොඳ වෙලාවට අපි එක ඉස්කෝලේ නෙමේ . ඇරත් මන් චෙස් දන්නෙත් නැහැ .
සම දක්ෂතා මට්ටම් අනුව ප්‍රතිවාදී පිල් තෝරන ක්‍රමය මොන විදිහකට කලාද කියල තේරෙන්නෙ නෑ... සාමාන්‍යයෙන් වෙන්නෙ පළවෙනි රවුමෙ ලකුණු අනුව සම දක්ෂතා මනින එක නේද?... එහෙම ප්‍රතිවාදී පිල් තේරුවනම් ඔය වගේ එකක් වෙන්න ඉඩක් නෑ මම දන්න තරමින්...
ReplyDeleteඅපේ ඉස්කෝලෙත් හිටපු විදුහල්පතිතුමා හින්ද තමයි පිළිවෙලකට තිබුනෙ :)
දිනපු උදවිය එක්ක තාම තරහින්ද මන්ද ඉන්නෙ ;)
ReplyDeleteහේ හේ උයියා වෙලා ඉන්න සීන් එකනම් මැවිලා පෙනුනා :පි
ReplyDeleteකොහොමත් මේ කස්ටිය හෙන වීරයෝ නේද.. එහෙම තමයි ඉන්න ඕනා. අපිත් ඉස්කෝලේ යානා කාලේ හෙන චන්ඩියෝ. හැබැයි වැරදි පැත්තෙන් නෙමෙයි..
තීරණය නිවරදියි නේද?
ReplyDeleteමොකද ඔය වෙයිටඩ් ලකුණු ක්‍රමයක් ගැන සඳහනක් තිබුණු බවක් කියා නෑනේ.
එහෙම එක එක තරගයට ලැබෙන ලකුණු වෙනස් නම් - හැමෝටට එක හා සමාන ගණනක් අමාරු තරග සහ ලේසි තරග දෙන්න ඕනෑ.
ෆුට්බෝල්වල නම් හොම් ගේම්වල ගෝල්වලට ලකුණු අඩුයි.
//සිද්ධිය වැටහුණේ අපි ආපහු තරග පැවති ඉසව්වට යනවිට. අපේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දරුණු මූණු දාගෙන. එහෙට රවනවා, මෙහෙට රවනවා. තනියෙන් ගොරවනවා. කොහොමත් අපේ කණ්ඩායමේ හිටියෙ අර අනික් කණ්ඩායමේ වගේ ලලිත කලා කට්ටිය නෙවෙයි, සාමාන්‍ය ළමයි.//
ReplyDeleteගේම් එක ලලිත කලා බාලිකාවට එරෙහිව සූර වීර සිංහ පැටවුන් වගේ තියෙන්න ඇති :)
බහුතරයක් සිටිය යුතුව සිටියේ මෙවන් ගුරු දෙවිවරුන්..එසේ නොවුනු නිසා අද දිනපතා පත්තර 10ක් බලන මම ඒකෙ ප්‍රථිපල දකිනවා..මේ අවර ගනයේ ප්‍රථිපලය අද දකින්න අතීතයේ වූ ඒ හේතුව... :-(
ReplyDeleteඔහොම අය නැත්තෙ නෑ නලිනි. වැඩිය ප්‍රසිද්දිය ලැබෙන්නෙ නරක වැඩ වලටනෙ.
ReplyDeleteඔයා අර සුකොමාල ලලනාව්න්ගෙ ලලනා හැසිරීම ගැන ලියලා තියන විදිය මරු අප්පා. මම හෙම ලිව්වා නම් පොඩි කුමාරිහාමි මට නඩු දායි. හික්ස් :P
henryblogwalker the Dude
ඔන්න ඔන්න ඉතිං ආයම ඉස්කෝලෙ කාලෙ මතක් කලා.. :(
ReplyDeleteඑවන් විදුහල්පතිනියක් ලැබීමම වාසනාවක්.
ReplyDeleteබොහෝම දුෂ්කර ගමනක දී නිතරම මඟ පෙවූ ගුරු මව්වරු පියවරු මතක් කර පොස්ටුවට බොහෝම පිං.
එක එක පාට කෙල්ලෝ මැවිලා පෙනුනා වගේ.
ReplyDeleteශිහ් මට ඉන්න බැරි උනානේ මෙයාලා කෑම පොලොවේ ගහන වෙලාවේ. එහෙනම් මම ඔක්කොම ටික අහුලගෙන කනවා.
ඔයාගේ ගුරු කතා දෙක නේද මේ. හරිම ආදරණිය සටහනක්. ඇය මෙවැන්නක් දැක්කානම් බෙහෙවින් සතුටු වේවි. ( ඒත් මේ ඒ කාලේ ගුරුවරු විතරයි නේද? අද වෙනකොට ගුරුවරයෙක් කිව්වම මතක් වෙන්නේ ළමෙක් ඉස්කෝලෙට දාන්න හීන මාලිගාව හදාගන්න ආධාර ඉල්ලන අය විතරමයි ද කොහෙද.....! )
මං කීයද දැන්..?
ReplyDelete:D
ඔය කියන සිද්දියට මං මුහුණ දුන්නා නම්, ඔය දේ මාත් ඒ විදියටම කරාවි කියල මං හිතනවා..... :D
ReplyDeleteඅර විදුහල්පතිනිය නම් සැබෑවටම අගය කළ යුතු කෙනෙක් තමා....
අන්න අගය කළ යුතු නියමම ගුරු දෙවිවරු.....
ReplyDeleteබාසාව හැසිරවීම නං පංකාදුයි!
ReplyDeleteඅරගොල්ල හුරතල් වෙච්ච හැටි මැවිලා පේනවා. මටත් ඒගුල්ලං පව් කියලා හිතුනා. ඒ ගොල්ලන්ට දිනුම දෙන්න හිතුනා.
...............
අනිත් කාරණාව ක්‍රීඩා කරපු එකෙක් හැටියට ඔය විදිහෙ අසාධාරණ විනිශ්චයන් ලැබුනම හිතට එක ආවේගය ගැන එමට අද්දැකීම් තියෙනවා මටත්. ආපහු ඉස්කෝලේ එද්දි අර රස්නෙ බැහැලා, වටපිටෙන් බය කරලා එහෙම හිත කූල් වෙද්දි තමා හිතෙන්නෙ අනේ පොඩ්ඩක් ඉවසුවා නං කියලා. එතකොට පරක්කු වැඩියි. ඒවෙලාවට තමා අර වගේ ගුරුවරුන්‍ගේ අගේ දැනෙන්නෙ.....
ඉස්සර අපිට දෑසට පේන්න බැරි වුණ අපේ විදුහල් පති තුමියක් මතක් වුණා. එතුමියගෙ වටිනාකම දැන්නෙන ගත්තෙ, එතුමිය විශ්‍රාම ගියාට පස්සෙ ආව විදුහල්පතිතුමිය නිසා
ReplyDeleteජයග්‍රාහකය තෝරපු ක්‍රමය හරි මම හිතන්නෙ....එකම වැරැද්ද මට්ටම් කීපයක ජයග්‍රාහකයින් කීප දෙනෙක් නොතෝරපු එක...එහෙම කලානම් හරියටම හරි...ඒත් එක ජයග්‍රාහකයෙක් නම් තෝරන්නෙ වැඩිම ජයග්‍රහණ ලබාපු පාසලට තමයි අවස්ථාව ලැබෙන්න ඕන...
ReplyDeleteනලිනි තාම තරහෙන් ඉන්නෙ...හෙහ්, හෙහ්, ....අර අහිංසක ළමයට කොරන්න පුළුවන් අපහාස ඔක්කොම කරල තියනව අඩුවක් පාඩුවක් නැතුව...ඔන්න ඔව්ව අත ඇරල දාන්න අනේ :) :)
පුහ්...
ReplyDeleteඅපි නොදන්න මෙයාලගෙ චෙස්...:P
මේ බ්ලොග් එක මුල ඉදන් අගටත් අග ඉදන් මුලටත් මැද ඉදන් දෙපැත්තටත් කියවලා තිබුන උනත් අද තමයි මුලින්ම කමෙන්ට් එකක් දාන්න හිතුනෙ :D
ReplyDelete…
…ඔයාගෙ ලිවීමේ හැකියාවනම් අති විශිෂ්ටයි අක්කේ :) ඒත් අර ලලිතකලා බාලිකාවො ටික පවු නේද?
…// ඉතින් ලලිතකලා බාලිකාවන් තරග විනිසුරුවරයා හමු වෙලා, කඳුළු සළමින්, හොටු පෙරමින්, ළඳ බොළඳ ශ්‍රියා කාන්තා වචනවලින් පැහැදිලි කරලා තියෙනවා මේක හලීම අසාදාලනයි කියලා; ඒගොල්ලන්ගෙ සියුමැලි සුකුමාල ලලනා සිත් ගොඩාරියක් ඌවා වෙලා කියලා; අනී ඒගොල්ලන්ට සාදාලනේ ඉෂ්ඨ කරන්න ප්ලීස් කියලා.//
ඒ අක්කලා දැනම් හිටියනම් මෙහෙම මඩක් වදී කියල එයාල නිතරගයෙන්ම ඔයාලට දිනුමත් දීල චෙස් අදින එකත් නවත්තලා වෙන මොකක්හරි ක්‍රීඩාවක් හොයාගන්නවා ශුවර් :D
…
අක්කාගෙ භාෂා හැසිරවීමනම් ෆට්ට, හිනා වෙලාම බඩත් රිදෙනවා
නම වෙනි ඡේදේට නං මං කැමති ම නැහැ. :) පව් නේද එයාලාත්. තරඟ සංවිධායකයින්ගේ වැරැද්ද කියලා මටත් හිතෙන්නේ. කට්ටියටම අමාරු ලේසි තරඟ සමව බෙදලා දුන්නා නං ඉවරයිනේ.
ReplyDeleteහ්ම්..... අනිත් එක ඉතිං ඔයානේ කියන්නේ එයාලාට ලේසි, අපට අමාරු එව්වා ලැබුනා කියලා... අපි ඉතිං හිටිය යැ ඕවායේ ඇත්ත නැත්ත දැනගන්න....... :D