ඉස්සර මම හිතං හිටියෙ සෙබළා කියන්නෙ හමුදාවක ඉන්න ඕනම කෙනෙකුට කියල. ඒ කියන්නෙ රජෙක් වුණත් තමන්ගෙ හමුදාවත් එක්ක එකතු වෙලා හතුරු හමුදා එක්ක කඩු ෆයිට් කරනවනං, එයත් සෙබළෙක් කියලා. හමුදා නිලධාරියා කියන වචනෙ, සෙබළා ගැන ගෞරව සම්ප්‍රයුක්තව සඳහන් කිරීමේදී යොදා ගන්න වචනයක් කියලා හිතුවා. හරියට නිකං හෙදිය කියන එකයි, හෙද නිලධාරිනිය කියන එකයි අතරෙ වෙනස වගෙ. නැත්තං තමුසෙයි තමුන්නාන්සෙයි වගෙ.
එහෙම නෙවෙයි කියන එක තේරුණේ පස්සෙ කාලෙක. ඊට අමතරව සෙබළු ඇතුළෙත් තවත් උස්මිටිකම් තියෙන බව තේරුණේ දවසක් ප්‍රගීත් කිව්ව කතාවක් නිසා.
ප්‍රගීත්.
බොහොම ඉස්සර මේ රටේ යුද්ධයක් තිබුණු කාලෙක, නැගෙනහිර පළාතෙ ගමනක් යාමට ලැබුණා. අප සමග ගමන් කළ හමුදා සොහොයුරන් අතර එක් නිලධාරියෙකුත්, සෙබළුන් කිහිපදෙනෙකුත් හිටියා. ප්‍රගීත් ඉන් එක්කෙනෙක්.
නිලධාරියා බොහොම ප්‍රසන්න නමුත්, අවශ්‍ය විටක අවශ්‍ය ප්‍රමාණයට කතාබහ කරන කෙනෙක්. සෙබළුන් අපට නෑසෙන පරිදි හෙමින් මුණු මුණු ගා එකිනෙකා අතර කතාබහ කළා විනා, ඇහෙන්නට කතා කළේ ගමන් මග ගැන යමක් දැනගන්නට ඕන කළ විට පමණයි.
ඒ සියල්ලන්ටම සරිලන තරම් ප්‍රගීත් කතා කළා!
ඒකට හේතුත් තිබුණා. එකක් ඔහු ඒ පළාතෙම වැසියෙක් වීම. ඒ නිසා, පළාතෙ ගහකොළ ගැන, කුඩා අතු පාරවල් ගැන, පාරවල් වගේ පේන ඒවා ගැන, මිනිසුන් ගැන ඔහුට කියන්නට අනන්තවත් දේ තිබුණා. ඒ හැම දෙයක් එක්කම බැඳුණු එක් කතාවක් හෝ ඔහු සතුව තිබුණා. ඒ වගේම ඔහුට අපූරු මතකයකුත් තිබුණා. නොයෙක් සිද්ධීන් ගැන, දින වකවානු සහිතව, පැහැදිලිව විස්තර කිරීමට ඔහුට හැකියාව තිබුණා. ඊටත් අමතරව, හිතට එන ඕනම දෙයක්, එය කීමෙන් සිදු වෙන පල විපාක නොසළකා කියන/ අසන පුරුද්දකුත් ඔහුට තිබුණා.
ප්‍රගීත්ගෙ කතාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තෙ මගේ ගමන් සගයා. පළාතෙ සිතියමකුත් දිගෑරගෙන, මග දිගට දකින හැම පොඩි පාරක්ම ඒ පැරණි සිතියමේ කොතනට අයත්ද කියලා ඒ දෙන්නා සාකච්ඡා කළා. (නෑ, ඒ කාලෙ ජීපීඑස්, ස්මාට් ෆෝන්ස් වගෙ දේවල් තිබුණෙ නෑ. අපි දෙන්නටම තිබුණෙ බලං ඉද්දි බැට්‍රි බහින එක ෆෝන් කබලක් විතරයි.) අප ගිය මාර්ගයෙන් වැඩි හරියක් නිශ්චිත පාරක් නොතිබුණු තැන් නිසා, වාහනය ගමන් ගත්තේ ඉතාම රළු විදිහට; ඝෝෂාකාරීව. ඒ නිසා, ඔවුන් දෙදෙනාගෙ සාකච්ඡාවෙ වැඩි කොටසක් මට ඇහුණෙ නැහැ. මම අහගෙන හිටියෙත් නැහැ.
ඔය අතරෙ, අහම්බෙන් එහෙන් මෙහෙන් ඇහුණු විදිහට, ප්‍රගීත් අර සෙබළු අතරෙ යම් ඉහළ තනතුරක් දරන කෙනෙක් බව මට තේරුණා. නිකං පන්ති නායකයෙක් වගෙ. ඒ ඒ අයට අයත් පහසුකම් පිළිබඳ කතාබහක් ඔය අස්සෙ ඇදුණා. එතරම් වෙලා වැඩිය සද්ද නැතුව හිටිය එක් සෙබළෙක් ඔවුන්ගෙ නිවස්නයේ ඇති යම් ගැටළුවක් පැවසුවා. එහෙම ගැටළුවක් ඇති බව, තමන් නොදැන සිටි බව නිලධාරියා පැවසුවා. ප්‍රගීත් ගත් කටටම කිව්වා:
"මම දැනගෙන හිටියෙත් නෑ. සර්ලා, අපේ ප්‍රශ්න ගැන බලන්නෙ නෑ; අපි මේගොල්ලොන්ගෙ ප්‍රශ්න ගැන බලන්නෙත් නෑ. අපි හැමෝම තමතමන්ගෙ පහසුව ගැන විතරයි හිතන්නෙ."
සුළු මොහොතකට හැමෝම නිශ්ශබ්ද වුණා. හරියට හැමෝම තම තමන් අතින් වුණු අඩුපාඩු ගැන මෙනෙහි කරනවා වගෙ. අපි හැම කෙනෙක්ම වගෙ වැඩියෙන්ම දකින්නෙ, තමන්ගෙම පෞද්ගලික ප්‍රශ්න; පොදු ප්‍රශ්න දකිනවා කියලා කියන වෙලාවලදිත්, වැඩියෙන් දකින්නෙ තමතමන්ගෙ තරාතිරමට අයත් ප්‍රශ්න.
වාහනයෙ ඝෝෂාවත් එක්ක මට හැම දෙයක්ම නෑසුණත්, වරින් වර ප්‍රගීත් ඒ වගෙ හිතන්නට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කළා. මගේ ගමන් සගයා සෑහෙන කලක් යනතුරු ඔහු ගැන ඉතා ඉහළින් කතා කරන්නට එය හේතු වෙන්නට ඇති. මට ඇහුණෙ එහෙම ප්‍රකාශ දෙකතුනක් විතරයි. ඒ ප්‍රකාශවල චෝදනා ස්වරූපයක්වත්, අනුකම්පාව යදින ස්වරූපයක්වත්, ආත්මානුකම්පාවක්වත් තිබුණෙ නැහැ. හුදෙක් සත්‍යයක් ප්‍රකාශ කිරීමක් පමණයි.
ඔය වගෙ එක් කාරණාවක් අධ්‍යාපනය ගැන.
'අකුරු කියවීමට, ගණන් සෑදීමටවත් නොදත් සෙබළුත් ඉන්නවාය' යනුවෙන් පරිභවයක් 'ඇහෙන' බව කතාබහට ලක් වුණා.
"එහෙම ඉන්නවා තමයි." ප්‍රගීත් කිව්වා. "අපිට ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. ජීවත් වුණෙත් කැලේ හැංගි හැංගි, කොයි වෙලේ කොටින්ගෙන් මැරුම් කන්න වෙයිද නොදැන. ගුරුවරු ආවෙත් නෑ මේ පළාත්වලට. ඉස්කෝලෙකට හුඟක් දුර යන්නත් ඕන. ඒ නිසා අපිට ඉගෙනගන්න බැරි වුණා. හැබැයි අපිට දැන් උගන්නනවනම්, අපිට ඉගෙන ගන්න පුළුවන්. අපිට උගන්නන එකයි කරන්න ඕන."
ප්‍රගීත්ට පසු කාලෙක හෝ ඉගෙනගන්නට අවස්ථාවක් ලැබෙන්නට ඇතැයි මම හිතනවා. එහෙම ලැබුණානම්, ඔහු මහන්සි නොබලා ඉගෙනගනු ඇති.
ඇත්තටම ප්‍රගීත් මහන්සිය පෙන්වන කෙනෙක් නොවේ. එදා උදෑසන හතරහමාරට පමණ ඇරඹුණු අපේ ගමන, අවසාන වුණේ හොඳටම රෑ වෙලා. සල්ලඩයක හෙළවෙන්නාක් මෙන් කෙරුණු ගමනෙ අවසන් භාගයට එද්දි අපි හොඳටම හෙම්බත් වෙලා. දෙසරයක් උණ ගැනිලා වගේ මුළු ඇඟම රිදෙනවා. මාවිල් ආරු සොරොව්ව බලලා, සිත්තාරු පාළම ඔස්සේ ආපහු එද්දි, පාං කියා ගන්නට බැරිව අපි හිටියෙ. නමුත් ගමන පුරාවටම එක දිගට කතා කළ ප්‍රගීත්, ඒ වෙද්දිත් අපේ වෙහෙස නිවන්නට මෙන්, නොයෙක් දේවල් කතා කළා. ඒ එද්දි ප්‍රගීත් කිව් අවසන් කතාව තමයි කාලෙකට උඩදි සිත්තාරු පාළම නමින් ලිව්වෙ. එහෙම මිය ගිහින් තිබුණෙ ප්‍රගීත්ගෙ මල්ලි.
Showing posts with label සිත්තාරු පාළම. Show all posts
Showing posts with label සිත්තාරු පාළම. Show all posts
Thursday, May 21, 2015
Friday, March 18, 2011
සිත්තාරු පාළම
ඇඳිරි වැටුණේ මාවිල් ආරු සොරොව්ව අසළදීය. දිනක් තුළ අප ගමන් කළේ දැරිය හැකි දුරක් නොවේ. අබලන් මාවත්හි වලගොඩැලිවල හැපෙමින් වැටෙමින්, දුහුවිල්ලෙන් නැහැවෙමින්, දැඩි හිරු රැසට පිච්චෙමින් ගෙවුණු දිනය අවසන අපි හෙම්බත්ව සිටියෙමු.
"මේ තමයි සිත්තාරු පාළම. ලංකාවෙ වැඩියෙන්ම බිම් බෝම්බ වළලලා තිබුණෙ මේ පාරෙ."
වෙහෙස නොදැනෙන අපේ මග පෙන්වන්නා විස්තර කරයි. දවස පුරා "මේ මොකක් කියලද තියෙන්නෙ?"යි අසමින් ඔහු ඇඟිල්ල තබා පෙන්වූ ඉංග්‍රීසි වචන අඩංගු මාර්ග සිතියම් පොත සරෝජිනි හකුළාගත්තේ බොහෝ වේලාවකට පෙරය.
"මේ තමයි සිත්තාරු පාළම. ලංකාවෙ වැඩියෙන්ම බිම් බෝම්බ වළලලා තිබුණෙ මේ පාරෙ."
වෙහෙස නොදැනෙන අපේ මග පෙන්වන්නා විස්තර කරයි. දවස පුරා "මේ මොකක් කියලද තියෙන්නෙ?"යි අසමින් ඔහු ඇඟිල්ල තබා පෙන්වූ ඉංග්‍රීසි වචන අඩංගු මාර්ග සිතියම් පොත සරෝජිනි හකුළාගත්තේ බොහෝ වේලාවකට පෙරය.
Subscribe to:
Posts (Atom)