එක එක පන්තිවලට තිබුණු සැළකිල්ල, පිළිගැනීම එහෙමත් ටිකක් වෙනස්. ඒ හා බී පන්තිවල ළමයින් සැළකුණේ බුද්ධිමතුන් විදිහට; ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතියකුත් තිබුණා. ඒ පන්ති දෙකේ ළමයින් එකිනෙකා හා වැඩිපුර යාළුයි.
ඩී හා ඊ පන්ති දෙකත් එහෙමයි. ඒ අය එකිනෙකාට වඩාත් සමීප වෙන්න තව හේතුවක් තිබුණා. කලා, තාක්ෂණික විෂයයන් සඳහා කණ්ඩායම් බෙදීමෙදි, ඩී හා ඊ පන්ති එක් ඒකකයක් ලෙසද, අනෙක් පන්ති තුන තවත් ඒකකයක් ලෙසද සැළකුණා.
අපි හිටියෙ සී පන්තියෙ. එහාටත් නැති මෙහාටත් නැති. අනික් පන්තිවල යාළුවෙක් දෙන්නෙක් හිටියට, අපි කෑ ගැහුවෙ එහෙම තනියම.
ඒ කාලෙ රටේ තිබුණෙ හරිම චංචල තත්වයක්. අපි හිටියෙත් ඒ වගේම වයසක. අපේ පන්තියත් එහෙමයි. අපට නිශ්චිත පන්තිභාර ගුරුතුමියක් හිටියෙ නැහැ; එකම වසර තුළ කීප වතාවක් එකිනෙකා මාරු වුණා. එහෙම හිටිය අපිට, සාමාන්‍ය පෙළ පන්තියට එනකොට ස්ථිර පන්ති භාර ගුරුතුමියක් ලැබුණා.
ඒ ශ්‍රියානි ෆොන්සේකා ගුරු මෑණියන්.
ඇය උසස් පෙළ සිංහල ගුරුතුමියක්. මොන හේතුවක් නිසා, සාමාන්‍ය පෙළ පන්තියට ඉගැන්වීමට ඇයට භාර වුණාද දන්නෙ නැහැ. දඬුවමක් නිසාද, ගුරු අතිරික්තයක්ද?
මොකක් නිසා වුණත්, ඇය ඒ ගැන අපට දැනගන්නට ඉඩ තිබ්බෙ නැහැ.
අපි කිව්වෙ ෆොනී කියලා.
මට ඒ දවස්වල ඇයව පෙන්නන්නට බැහැ. සමහරවිට මම ඇගෙන් වැඩිපුර බැණුම් අහන්නට ඇති. සම වයසේ ඇතැම් ළමයින් තහනම් දේශපාලනයේ නියැළෙද්දි, ඇතැමෙක් රූප ලාවන්‍යය ගැන උනන්දු වෙද්දි, මම හුණු කොට්ටයෙන් බෝල ගහන, ඩෙස්ක් උඩ නැගගෙන කෑ ගහන, අපිළිවෙල, මෝඩ ළමයකුව හිටියා. මම එවකට පන්ති නායිකාවත් වුණු හින්දා, කරන පුංචි වරදෙ වුණත් බරපතලකම වැඩි වුණා. මම හිතුවෙ, මට ඇයව පෙන්නන්නට බැරි තරමටම ඇයටත් මාව පෙන්නන්නට බැරුව ඇති කියලයි.
ෆොනී අපට දුරස්ථයි. විද්‍යාව, ගණිතය ඉගැන්වූ ගුරුමෑණිවරුන් අපට වඩාත් සමීපයි; ඒ වගේම ඔවුන් බොහොම ප්‍රියමනාප පෙණුමැති අයද වුණා. අළු පාට වළාකුලක් වගේ තනිවම පාවුණු ෆොනීගෙ හොඳක්, ලස්සනක් දකින වයසක නෙවෙයි අපි හිටියෙ.
ඒත් ෆොනී අපට ඉගැන්නුවා, සිංහල සාහිත්‍යය.
අපිට ඉගෙන ගන්නට තිබුණා ගුත්තිල කාව්‍යය.
ඕකෙ ඉතින් මොනවා ඉගෙන ගන්නද? පොඩි කාලෙ ඉඳන් අහලා තියෙන කතාව; පටාචාරට විතරයි දෙවෙනි වෙන්නෙ. ඒ මදිවට කවි. මට කවි අසාත්මිකයි. ඒත් අද වෙනතුරු මතක තියෙන්නෙ ෆොනී ඒ කාව්‍යය ඉගැන්නුව හැටි තමයි.
අපි ඔහේ කිරා වැටි වැටී ගුත්තිල පඬිවරයාට සිද්ධ වෙච්ච අසාධාරනය ගැන කවි කියනවා. ෆොනී අපෙන් අහනවා:
"දැන් මේ කියන දේ හරිද?"
ඔන්න අපි බාගෙට ඇහැරලා ආයෙමත් කවිය බලනවා.
"මූසිලට පුළුවන්නම් ගුත්තිල තරම්ම හොඳින් වීණාව වාදනය කරන්න, ඇයි මූසිලට අඩුවෙන් ගෙවන්නෙ? මොකද හිතන්නෙ ඒ ගැන? ගුත්තිලට අයිතියක් තියෙනවද එහෙම දෙන්න එපා කියල කියන්න?" ෆොනී නැවතිල්ලෙ අහනවා.
"දැන් මනෝරි මගෙ ගෝලයෙක්. එහෙම කියල මට පුළුවන්ද මනෝරිට මට වඩා අඩු පඩියක් දෙන්න කියන්න?"
මනෝරි කියන්නෙ අපේ ඉස්කෝලෙ හිටපු විද්‍යාව ගුරුතුමියක්; අපි හුඟක් ආදරේ කළ, අපිටත් හුඟක් ආදරෙන් ඉගැන්නුව, ලස්සන, තරුණ ගුරුවරියක්. එහෙම පුළුවන්ද එයාට අඩු පඩියක් දෙන්න කියන්න? අපි කැමතියි එයාට ෆොනීට වඩා පඩි හම්බෙනවනම්...
"ඒ වුණාට ඒ කාලෙ එහෙමයි!" ෆොනී ඇඟට පතට නොදැනි කාලයත් එක්ක වෙනස් වෙන සමාජ සම්මතයන්, අගයයන් ගැන වටහලා දෙනවා.
අපිත් දැන් වැරදි අල්ලගන්නට බලාගෙන, තර්ක කර කර ගුත්තිල කාව්‍යය කියවනවා.
"දැන් බලන්න මේ දිනන විදිහ. දෙවිවරු, රජවරු, මිනිස්සු හැමෝම ඒ පැත්තෙ. මූසිල තනියම අනික් පැත්තෙ. ඒත් කමක් නෑ. තනිකර වංචාවක්නෙ කරන්නෙ........
ඒ කාලෙ එහෙමයි!"
***************
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කියන්න පන්ති ගානෙ පරණ ගුරුවරු හොයන් යනකොට මට ෆොනීව හම්බුණේ නෑ වෙන්නට ඕන. මට ඒ ගැන ඒ හැටි මතකයක් නෑ.
උසස් පෙළ පටන් ගත්තා.
විද්‍යා අංශයෙ ඒ පන්තිය වෙන් වුණේ ගණිත සිසුවියන්ට. පොඩි කාලෙ ඒ, බී පන්තිවල හිටි අය වැඩි දෙනෙක් ඒ පන්තියෙ.
බී සිට ඊ දක්වා ජීව විද්‍යා පන්ති. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව මේවට සිසුන් වෙන් කෙරුණා. මම වැටුණෙ බී පන්තියට. බී පන්තියෙත් අති මහත් බහුතරය, අර ඒ සහ බී පන්තිවල සිටි ළමයින්ම තමයි. පිටස්තරයින්ට හිටියෙ, මමත්, මගෙ සාමාන්‍ය පෙළ පන්තියෙ හිටි යෙහෙළියකුත් තව හතරපස් දෙනෙකුත් පමණයි.
විවේකයක් ලැබුණු විට පාසල් වත්ත පුරා, ගොඩනැගිලි පුරා, තනියම ඇවිදින එක ඒ කාලෙ මගෙ පුරුද්දක්. හේතුවක් ඇතුව නෙවෙයි; ඔහෙ එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්නවා.
එහෙම ඇවිදින්න ගිය වෙලාවක, පන්තියකට යමින් හිටි ෆොනීව මට මුණ ගැහුණා. ඈතින්ම දැක්කනම් මම මග හරින්නත් ඉඩ තිබුණා. හිනා වෙලා ඇඹරිලා මාරු වෙලා යන්නට හැදුවත් ෆොනී කතා කළා; ඉගෙනීමෙ කටයුතු ගැන, පන්තියෙ අනික් ළමයින්ගෙ විස්තර ආදිය ඇහුවා. මමත් ඉතින් ඇපෙන් බේරෙන්නට වගේ උත්තර දුන්නා.
යන්නට සූදානම් වුණු ෆොනී මගේ හිස අත ගාලා කිව්වා, "පන්තියෙ අනික් ළමයින්ව බලාගෙන, ඒ අයටත් හරි පාර පෙන්නගෙන, හොඳින් ඉගෙන ගන්න." කියලා.
ඔය වචනම නෙවෙයි වෙන්නැති; ඒත් ඔය අදහස.
මම උඩ ගිහින් බිම වැටිලා කල්පනා කළා: "හරි පාර පෙන්නන්න? මම? අර බුද්ධිමත් ළමයින්ට?"
මම එහෙම කරන්න ගියෙ නෑ; අනුන්ට හරි පාර පෙන්නනවා තියා, මම දැනං හිටියෙත් නෑ ඒක.
ඔය කාලෙ වෙනකොට රටේ චංචලකම තුනී වේගෙන යනවා. අපේ පන්තිවල සමහර ළමයින් අතුරුදහන් වෙලා; තවත් ළමයින් පොලිසියෙන් බේරීම පිණිස පාසල හැර ගිහින්; තරහකාරයන්ව ත්‍රස්තවාදීන් විදිහට අල්ලලා දුන් පියවරුන්ගෙ ළමයින් උසස් පෙළ සඳහා අපේ පාසලට ඇවිත්. එක මුස්ලිම් ළමයෙක්ව ගෙදරින් කසාද බන්දලා දීලා. බහුතරයක් ළමයින් අනාගතය ගැන හීන මවන්නට පටන්ගෙන.
කාලය එහෙම ගෙවුණා.
ඒත් තවමත් පොතක් අතට ගන්න වෙලාවට, කතන්දරයක් කියවන වෙලාවට, මට ෆොනීව මතක් වෙනවා.
එදා මට නොදැනුණු ඇගේ අගය දවසින් දවස වැඩි වැඩියෙන් දැනෙනවා.
යකෝ ගෙදෙට්ට හොරු පැන්නද මේ විදිහට ෆිනිෂ් කලේ? :)
ReplyDeleteකතාව ලස්සනයි. ෆොනී දන්නවද එයාගේ ඩස්ටරෙත් එක්ක සෙල්ලම් කර කර උන්නු සිංහල ගෝලීය අද අන්තර්ජාලේ කෘතහස්ත ලේඛිකාවක් කියලා.
අවසානය අසාර්ථකයි දෝ මන්දා. නොකියපු දිග කොටහක් පල් හෑල්ලක් කියා සෙල්ෆ් රෙස්ට්‍රික්ට් කරලා වගේ. ඇයි එහෙම කලේ? අපි හැමෝටම ෆොනී ලා ඉන්න බව නලිනි දන්නේ නැද්ද? මේක ඔබේ පුද්ගලික කතාවක් කියා මටනම් තේරුනේ නැහැ.
අපි ලියන දේවල් අපිට උගන්නපු අය දකිනවා නම මං හරි ආසයි. මං එහෙම නම් ඉස්කෝලේ යන කාලේ පට්ට තැනක උන්නේ. එ කාලේ ඉගෙනීම හැරුණු විට ඔය ලේඛන වැඩ වලටත් අත දුන්නු ගුරුවරු ඉන්නවා. එදා උන්නු තැනට අනුව අද මං සිටිය යුතු කිසිම තැනකට ඇවිත් නැහැ. ඒත් ලියූ කවි බ්ලොග් එක හරි සර් ලා මිස් ලා ට දකින්න ලැබුනොත් ආසයි.
කෙසේ වෙතත් පාසල් අවසානයෙන් පස්සේ පිරිසක් ඉස්කෝලේ බදා ගත්තු රෝගයක් කර ගැනීමත් සමග අපි ඈත් වුනා. දැන් ඒ ලෝකේ හරිම දුරයි. ආපහු යන්න ලේසි නැහැ.
බුදු අම්මෝ ඔහොමත් ලකුණු දෙන ක්‍රමයක් අපේ ඉස්කොලෙ තිබුනනං මං වැටෙන්නෙ Z වලටත් පස්සෙ තියන පන්තියකට!
ReplyDelete//මම හුණු කොට්ටයෙන් බෝල ගහන, ඩෙස්ක් උඩ නැගගෙන කෑ ගහන, අපිළිවෙල, මෝඩ ළමයකුව හිටියා//
හික්! හරියට නියමිත කාලෙට මෝරල නැතුව වගේ..:D
ඒ කාලේ එහෙමයි.මේ කාලෙත් සමහර ඒවා එහෙමයි.
ReplyDeleteමමත් සුජීව එක්ක එකඟයි. මටත් හිතෙන්නේ මේ කථාවේ අග ඔබ මොකක්ද ගල් කරලා තියනවා. ඒක ගලා යාමට පොඩි බාධාවක් වුනා වගේ තමයි පේන්නේ. හැබැයි වටිනා වස්තු බීජයක් උඩ මේ කථාව ගලා යනවා. අපේ මිනිස්සු මේ ලමයින්ට කරන අපරාධ අනේ මන්ද මේවා කාට කියන්නද? කෙසේ හෝ ඔබේ සුපිරි කථා විලාශය නම් වර්ණනා කල නොහැකියි මා වැනි අයෙකුට. ජය!
ReplyDeleteඔහොම දඟලන , පරිසරයත් එක්ක ජීවත් වෙන අය තමයි..ජීවිතේ ගොඩ ගිහින් අනිත් අයටත් ගොඩ වෙන්න කියා දෙන්නෙ.. ෆොනී ටීචර් ඔබ නොදුටු ඔබව සහ ඔබේ අනාගතයේ සීමාවන් හරියටම ඒ කාලෙ දැක්ක..
ReplyDeleteප.ලි. මන් දැන් ටිකකට කලින් මගේ පෝස්ට් එකේ කමෙන්ටුවකට පිළිතුර විදියට අමනාප කමෙන්ට් එකක් දැම්මා.සිත් ආරෙ අළුත් ලිපියක් නොදැක්ක එක ගැන.එය ඉල්ලා අස් කර ගනිමි
මොනව කියන්නද මං දන්නෙ නෑ, මගේ පරණ ලියපු සටහන් අතරෙ මේ විදිහෙ සිද්ධි තියෙනවා, වැඩි ලකුණු අරගෙන පංතියෙ පළවෙනිය වෙච්චි ළමයට වඩා කෑ ගහන, දඟ කරන ළමයි ගුරුවරුන් ගැන හිතනවා කියලා මං අත් දැකීමෙන් දන්නවා, ඔය සිසු චරිතෙත්, ගුරු චරිතෙත් දෙකම මං තුල හිටියා ,
ReplyDeleteනලිනි කථාව අතර මඟ නතර කරළද? ඒත් එතනිනුයි අපි හිතන්න පටන් ගන්නෙ. අතහැරපු ගුරුකම ගැන ලෝබ හිතෙන්නෙ මේ වගේ මතක ඉස්සර වෙනකොට
ඔබ තුමිය ගුත්තිල කවයත් හොදට ඉගෙන ගත්තනම් කියල හිතෙනව.
ReplyDeleteඒ කාලේ හරි සැහැල්ලුවෙන් හිටි කෙනෙක් වගෙ. ෆොනීගෙන් නියම ප්‍රයෝජනය අර ගත්තෙ නෑ කියල දැන් හිතෙනව ඇති..
…
මම කතාව රස වින්දා. කොමෙන්ට් කියෙව්වම තමා හිතුනෙ, මොනවත් කියන්න ගිය දෙයක් නවත්ත ගත්තද කියල.
ReplyDeleteමාරයා නම් ගහෙන් ගෙඩි එන්නා වගේ නවත්තන්නේ කොටස් වගේ යන ඒවා,,,නලිනි අක්කා නම් අලුත් විදිහට නවත්තන්න පටන් අරගෙන ඒකත් මරු
ReplyDelete//එදා මට නොදැනුණු ඇගේ අගය දවසින් දවස වැඩි වැඩියෙන් දැනෙනවා. //
ReplyDeleteකොහොමත් ළඟ තියන කොට අපිට වටිනාකමක් දැනෙන්නෙ නැහැනෙ...
හොඳ වෙලාවට ඒ ළමයට ඒ කාලේ මෙවා රස වැටිලා නැත්තේ ...ඔය ගුරුතුමි දරුවන්ට බොහොම ළඟින් ඉඳගෙන ඔය මෝඩයි කියලා කියාගන්න ළමයින්ටත් ආස හිතෙන්න සිංහල සාහිත්‍යය ඉගැන්වුවා කියමුකෝ....එහෙම වුනානම් නම් ඒ මෝඩ ළමය ඩොක්ටර් කෙනෙක් වෙයිද ..? සමහර විට මේ වෙනුවට මහා බරසාර ලේඛිකාවක් වෙයි...( අපට තේරෙන්නෙ නැති දේවල් ලියන )..
ප.ලි.
දැනටත් එහෙමද මන්දා කියලා අද හිතුනා..
අවසානය අවසානයක් නෙවෙයි වගේ තමයි.
ReplyDeleteඅදත් මූසිලට තැනක් නෑ. වංචනික උදව් ලබන ගුත්තිලල වැජඹෙනව.
අපේ ඉස්කෝලෙත් ඔහොමමයි. මම ගනිත අංශයේ හොඳම පන්තියට තේරුනේ. ගුරුවරයෙක් නිසා විදුහල්පතිගේ විරුද්දත්වය මැද්දෙත් වානිජ අංශයට ගියා. එතනනම් හිටියේ දෙවිවරු. ලොකු කතාවක් වෙලාවක ලියන්නම්. අර කියනව වගේ කළබලේට ලියපු එකක්ද මන්දා..
ReplyDeleteදොස්තර නෝනේ...
ReplyDeleteඔය අනුන්ට පාර පෙන්නන්න යන එක හරිම අවදානම් සහිත වැඩක්.... කොයි තරම් හොඳ හිතින් කලත් සිත් රිදීම් ඉතුරුවෙන්න පුළුවන්... ඉතින් තමන් හොඳයැයි විස්වාස කරනදේ තමන් ඉතාම හිතවත්ව සලකන කෙනෙකුගෙ යහපත වෙනුවෙන් පෙන්වාදෙන්න ගියහම.... "අනේ පලයං මෙයා යන්න... " කිව්වහම...
ඕවෑ හැටි ඔහොම තමා..
.............
කොකා කිව්ව වගේ මටත් මේ වෙලාවෙ මගේ ෆොනී ව මතක් වුණා... හැබැයි ඔයාගෙ ෆොනී වගේ සාන්ත නම් නෑ... ඒත් මම ජීවිතයට මුහුණ දෙන්න ඉගෙනගත්තෙ ඇගෙන්...අපේ ඉස්කෝලෙ අටේ පන්තියෙදි පංතිභාර වෙන ගුරුතුමී අවුරුද්දෙන් අවුරුද්ද අපි එක්කම සාමාන්‍ය පෙල වෙනකල්ම පංතිභාර වෙලා ඉන්නව... අපි තමා ඇගේ අන්තිම කොලු රැල... අපි සාමාන්‍ය පෙල කරනවත් එක්කම ඇය කොලඹ ප්‍රසිද්ධ ගෑල්ලමයින්ගෙ ඉස්කෝලෙක විදුහල්පති වෙලා ගියා...
මහා අසාධාරණ ඉස්කෝලයක්නේ. දැනුත් එහෙමද . අපේ ඉස්කෝලේ නම් එහෙම ලකුණු විදිහට පන්ති බෙදුවේ නැහැ . ප්‍රයිමරියේ ඉඳන් ආපු පන්ති වලට ශිෂ්‍යත්වෙන් ආපු අපිව බෙදල දැම්මා .සාමාන්‍ය පෙළ කරනකම්ම ඒ පන්ති තමයි උඩට ගියේ . ඊට පස්සේ ගණිතය පන්තිය A . ජීව විද්‍යාව BCD පන්ති . ඒවත් ළමයි මිශ්‍ර කරලා හැදුවේ .
ReplyDeleteඔය විදිහට ලකුණු අනුව පන්ති බෙදන එකට මන් එකහෙලාම විරුද්ධයි .
මට නම් ෆොනිල කීපදෙනෙක් උන්නා . පොස්ට් එකක් ලියන්න ඕන එයාල ගැන .
නලිනිගේ කතාව ගැන කියනව නම් ඔය කිව්ව පරිසර තත්ත්ව නම් අපි දනිමු තමයි කියන්න වෙන්නේ . කතන්දරේ අග ගැන මන් නම් පුදුමයක් නැහැ . මේ අම්මණ්ඩි ඕක හරියට ඉවර කලානම්නේ පුදුමේ .
සුජීව කිව්ව වගේ ගෙදරට හොරු පැනලද කොහෙද? නලිනිට දැන් සෑහෙන වයසක් ඒ කියන්නේ.... :D :D :D :D
ReplyDeleteඅපේ පැත්තේ ඇවිත් ගිහින් තිබ්බේ නෑ වගේ තමයි මතක....
හැමදාම කියනවා වගේ කතාව අසුරවන විදිය නම් නියමයි....මගේ ජීවිතය තුලත් ෆොනීලා කීපදෙනෙක් උන්නා..එක්කෙනෙක් එක්ක තවමත් මම තරහයි..ඇයි දෙයියනේ අකුරු ලස්සනට ලියනකම් ඇඟිළි වලට ගහනවා...ඒ ගහපු පාරක් වැදිලා එක තැනක් තුවාල උනා...ඒ කැළල තාමත් මගේ ඇඟිල්ලක...මගෙ හම සුදු නිසා හොඳින්ම කැපිලා පේනවා...මිස් එක්ක හිතෙන් තරහක් නෑ ඒ උනාට....මොකද මුතු කැට වගේ අකුරු ලියන්න ගත්තේ මිස් ට පින්සින්ධ වෙන්නනෙ....
ReplyDeleteනලිනි අවසානේ කෙසේ වෙතත් ඔයා කතාවක් ලිව්ව එක ලොකු දෙයක් නෙ ඔය වැඩ රාජකාරි අස්සේ .මාත් කතාවක් ලිව්වෙ නැත්තේ මොකද කියල අහන්නත් හදල ආයෙ නිකන් හිටිය ඔයාට හිතුනු දාක ලියාවි කියල .එතකොට මේක දැක්කේ .ඔයාට හිතුනම ලියන්න .කාටවත් ඕනෙ විදියට නෙවේ ඔයා කැමති විදියට .
ReplyDeleteනලිනිගේ ඉස්කෝලේ කතාව කියෙව්වේ උදේ පාන්දරම නින්දෙන් නැගිටලා බාත් රූම් එකේදි.
ReplyDeleteරීඩරෙන් කියෙව්වට මදි වගේ දැනිලා ආයේ පාරක් කෝපි එක බොන ගමන් මැශින් එකෙන් කියෙව්වා.
ආයේ දවල් ස්කැන් එකකට බලා ඉන්න ගමන් ආයෙත් රීඩරේ අස්සේ නලිනිව කියෙව්වා. එවෙලේ මම හිටියේ ලොකු ස්ට්‍රෙස් එකකින්. (දන්නවනේ අර වතුර ලීටර් එක හමාරක් බීලා හෙම ඉන්නකොට තියෙන ආතල් එක. ) එවෙලේ මට නලිනිගේ කතාව අස්සේ මගේ අතීතයේ රවුම් ගහන්න කියාපු වේලාව.
මට ලංකාවේ මතක ටිකක් විතරක්ම තියෙන නිසාද මන්දා මේ කියන දවස් හොඳට හුරුයි. පොඩි කාලේ අපේ ගමේ ස්කෝලෙන් පස්සේ ලොකු ස්කෝලෙට ගිහින් මටත් ඔය කියන සෙල්ලමට මුහුන දෙන්න වුනා. වැඩිම ලකුණු තිබ්බ ළමයි එක පන්තියකත් හා පිළිවෙලින්. කොහොම හරි මගේ අලුත් ස්කෝලේ මුලින්ම ගිය දවසේ ආ මෙයා මේ අසවලාගේ නංගි නේ. මැඩම් එයා මගේ පන්තියට දෙන්න කියලා ටීචර් කෙනෙක් කියපු හින්දා මාත් අර පොශ්, හෙන බ්‍රයිටෝ ගොඩාක් හිටිය පංතියකට දැම්මේ නැතැයි.
මොන හේතුවකට හරි මට ඒ පංතියේ හිටි අයට ආස හිතුනේ නෑ. මම හිතන්නේ ඒ ළමයි හිතන් හිටියේ මම ප්‍රිවිලේජ් කියලා. මම ඒ අය එහෙම කියලා. ටීච අපේ ගෙදරට හැමදේම කියයි කියන භය හින්දත් මම ප්‍රසිද්ධියේ ඔය කිසිම දෙයක් කලෙත් නෑ. අර ගමේ ස්කෝලේ ඉන්දෙදි තිබුන උනන්දුවත් මට තිබුනේ නෑ. ඉඳලා හිටලා හරි දවසක එහා පැත්තේ ස්කෝලේ අයියලා එක්ක කතා කරත් පසුවදාට ගෙදරට ආරංචි වෙන නිසා මම ඒ ස්කෝලෙට කැමති උනේ ම නෑ.
පස්සේ කාලෙක අටවත් පාස් නොවී මට ස්කෝලෙන් සඳහටම සමුගන්න වුනා. අඩුම ගානේ මාත් එක්ක පන්තියේ හිටපු යාළුවන්ට තියා එහා පැත්තේ තිබ්බ බෝයිස් ස්කූල් එකේ අයියලාටවත් කියන්න ලැබුනේ නෑ.
ඔය මතක පාර දිගේ රවුම් ගහද්දි මගේ ඩොක්ට ඇවිත් මොකද ටෙස්ට් එක කරන්න හෙම අදහසක් නැද්ද කියලා පුංචි විහිළුවකුත් කරගෙනම මාවත් ඇදගෙන ගියේ නැතැයි.
හවස ගෙදර ආව ගමන් මම ආයෙමත් නලිනිව කියෙව්වා. ඒ අස්සේ කොමන්ට් එකක් ලියන්න උවමනාම කියලාත් දැනුනා. නලිනිට පින් දවසේ ලැබිච්ච නරක ආරංචි අස්සේ ඔයාගේ කතාව අස්සේ හරි හිනා නොවුනත් දුකක් නැතිව ඉන්න සැලසුවට.
අවුරුදු විසි එකකට පස්සේ ගිය අවුරුද්දේ ලංකාවට ආව වෙලේ මම අර මගේ ටීච බලන්න ගියා. හිතා ගන්න හැකිනේ කතාවේ ඉතිරි ටික නේද? අද ඔයා ෆෝනී ගාවට ගියත් ඒ ටිකම දකින්න අහන්න ලැබේවි.
නලිනි අක්ක (අක්ක කිව්වට මල කෙලියයි ඕ ලෙවල් කරලා තියෙන්නේ මම හිච්චිම හිච්චි එකා කාලේ නොවැ) මේ දවස් වල ඔන් කෝල් රොස්ටර් එකකටවත් සෙට් වෙලාද. ගෙදරට හොරු පැනලට වඩා කෝල් එකක් ඇවිල්ල දුවල වගේ. අපේ ඉස්කෝලේ නම් ඔය වගේ ගණිත විෂමතාවයක් ඇති කළේ නැහැ පන්ති වල. මටත් ඔය වගේම ගුරු තුමියක් හිටියා නාමය වසරේ ඉඳල එකොළහ වසරට යනකම් මගේ පන්ති භාර ගුරු තුමී. ඉගැන්නුවේ ගණිතය ජීවිතයත් එක්කම. මට මගේ හැකියාවල් මොනවද කියල අඳුනගන්න ඉගැන්නුවේ එතුමිය. කරුමේ කියන්නේ එතුමියගේත් දැඩි විරෝධතාවය මැද්දේ මගේ ගණිතයට තියෙන හැකියාවත් ආසාවත් පැත්තකට දාල දෙමව්පියන්ගේ උවමනාවට බයෝ කරන්න උනා. ඒකෙන් මට වැරද්දක් නොවුනත් තාම දුකයි මැත්ස් නොකලට.
ReplyDeleteනලිනි අක්ක කියන්න හදන්නේ වෙනමම කතාවක් දෝ කියල මට ඒ අස්සේ හිතෙනවා. මම කිව්වේ ගුත්තිල මූසිල උදාහරණෙන්. පොඩි කාලේ ඉඳන් අපට උගන්නන්නේ මූසිල දුෂ්ටයා ගුත්තිල තමයි හරි කියල. ගුත්තිල වංචාවෙන් දිනපු එක හරි කියල. ඒ නිසාමද මන්ද ඒ වගේ හිතන සමාජයක් අපේ රටේ බිහිවෙලා සුදුස්සාට සුදුසු තැන නොදෙන්නේ. තමන්ගේ කාලේ ඉවර වෙනකොට එන අනුප්‍රාප්තිකයට පල නොකිය පලා බෙදන්නේ. මැරෙනකොට ගෙනියන්න හිතාගෙන නිල තල තාන්න මාන්න බක්ක බදාගත්තා වගේ බදාගෙන ඉන්නේ. බලනකොට මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි. අපේ මුල තමයි වැරදිලා තියෙන්නේ. නලිනි අක්කගේ ෆොනී තමයි හරි පණිවුඩය දුන්න කියල මම අහපු එකම ගුරුතුමී. අනිත් ඔක්කොම ගුරුවරුන්ට තාමත් ගුත්තිල හරි මූසිල තමයි පව් කාරය.
ReplyDeleteමම හිතන්නෙ අපි කාට කාටත් පාසල් ජීවිතේදි මේ වගේ ගුරුවරු හමුවෙලා තියනව... මටත් හිටිය ෆොනීල දෙතුන් දෙනෙක්. ඩුක හිතෙන දේ එයින් වැඩි දෙනෙක් මට හමු වුනේ ප්‍රාථමික පන්තිවලදි.මේ කතාවෙයි මගෙ කතාවෙයි වෙනස තියෙන්නෙ මට තවමත් තේරෙන්නෙනෑ ඇයි ඒ ගුරුවරියන් ඒ වගේ හැසිරුනේ කියල. කොහොමනමුත් ගුරුවරුත් මනුස්සයො නෙ, වැරදි කිරීම මනුස්ස ගතියක් කියනවනෙ.
ReplyDeleteහපොයි නලිනි, තත්වෙ ටෙරිබල්. දැන් කොකාලට අවුටලට කතා එක්ක එන්ඩ් එකකුත් දෙන්ඩ වෙලා. :D
ReplyDeleteහැබැයි මට නම් මේ කතාව කම්ප්ලීට්. මේ තියෙන්නෙ එන්ඩ් එක
//ඒත් තවමත් පොතක් අතට ගන්න වෙලාවට, කතන්දරයක් කියවන වෙලාවට, මට ෆොනීව මතක් වෙනවා. //
ඕක හිතේ තියං ආපහු මුල ඉඳං කියෙව්වනං හරි........
@බින්දි
ReplyDeleteඇයි ඒ අසාධාරණ?? මට නම් හිතෙන්නේ ඒක සාර්ථක ක්‍රමයක්..මොකද ගණිතය විශය සඳහා අට වසර පන්තියට එනකොට දක්වන ලද දක්ශතාවය මතයි සිසුවියන් වෙන් කරන්නේ. එවිට එකම මට්ටමේ සිසුවියන් එක තැනක ඉන්න කොට ඒ පන්තියේ ගුරුවරියට පුලුවන් ඒ සිසුවියන්ට ගැලපෙන විදියට ඉගැන්වීම කරන්න.
එහෙම උනා කියලා වෙනසක් නෑ. A පන්තියේ ඉන්න සිසුවියන් කීප දෙනෙකුත් ඩී සාමාර්ථ 8ම ගන්නවා. (මම හිටපු කාලේ නම් වැඩිම ලකුණු ගත්ත ලමයින් හිටියේ ඊ ,ඩී සී,බී අනු පිලිවෙලට )
අපේ පාසලේ ඒ දවස් වල සිටි සියලුම සිසුවියන් ශිෂ්‍යත්ව විභාගය හෝ පාසලෙන් පවත්වන තරග විභාගයෙන් වැඩි ලකුණු ගෙන සමත් වන සිසුවියන් පමණක් සිටි පාසලක්.දැන් නම් ප්‍රාථමික අංශයකුත් තියනවා.
නලිනි ඉස්කෝලේ හිටියේ කොයි කාලේද??
දවසක් මම ලියනවා කථාවක්... ඒක ටිකක් අමු අමුවෙම වෙච්ච දේ කියලා දැමිල්ලක්...ඒක බලපු කෙනෙක් මට බනිනවා මොකක්ද මේ තෝ කරලා තියෙන්නේ..කෙටි කතාවක් විනාස කරලා කියලා...
ReplyDeleteදවසක් ලියනවා මම මෙලෝ තේරුමක් නැති කතාවක්... ඒක බලපු කීප දෙනෙක්ම කියනවා මේකේ උඩින් කියනවට වඩා ගැඹුරු අදහසක් තියෙනවා කියලා...
තවත් දවසක් මං දුකින් ඉන්නකොට ලියනවා ඒ දුක ප්‍රකාශ කරන්න ලිපියක්... කට්ටිය ඒකට හිනා වෙනවා... හරිම අපූරුයි කියලා...
ආයේ වතාවක් මං ලියනවා මගේ ජීවිත අත්දැකීමක්..ඇත්තටම ඒ මම ආසාවෙන් මතක් කරන තැනක්..ඒත් මෙන්න ඒකට කවුද මංදා කියනවා හරියට දුක හිතුනා කියලා...
දැන් මං මේකට මොනවද කියන්න ඕන..?
සුජීව හරි, අපි හැමෝටම ෆොනීල ඉන්නවා.... හැබැයි මම කරන කියන දේවල් අපිට උගන්වපු අය දකිනවට මමනම් කැමති නැහැ.
ReplyDeleteඅපෙත් පන්ති බෙදිල්ල ඔයිට සමානයි..... මම හිටියෙ H පන්තියෙ...
නලිනි, විස්වාස කරනවද මේ කතාව කියවද්දී මගේ ඇස් දෙකට උනපු කඳු කොමෙන්ටුව කොටන කොටත් තාම වේලිලා නෑ . . .
ReplyDeleteගුත්තිල මූසිල කතාව ගැන ඔයාගේ ෆොනීගේ අදහසම යි සීයට සීයක්ම මගේත් අදහස . . ..
අපූරුයි නලිනි . .. හරිම අපූරුයි . . . ෆොනීව ගොහින් දවසකට හරි බැහැ දකින්න . . .
මේකේ කියෙව්වට පස්සේ මම හිතට තදින් හිතා ගත්තා ලබන නිවාඩුවෙදි මට ආදරේ කරපු මම ආදරේ කරපු ගුරුවරු දෙතුන් දෙනෙක්ව වත් හම්බවෙන්න යනවනමයි කියලා . ..
මට වැරදුනා , පන්ති බෙදුවෙ 9 වසරෙදි...ඊට පස්සෙ එකටම තමයි
ReplyDeleteඅපි 9 වසරට ගිය අලුත, හම්බවුණේ අලුත් ගුරුවරු... දවසක් මගේ ඇට්ටරකමකට අලුත්පිටම සර් කෙනෙක් මට ගැහුවා... වැරැද්ද සර් පන්තියේ උගන්නන්දී ජනේලට එහා පැත්තෙන් කොරිඩෝවේ යන ළමයෙක්ට විහිළු කිරීම...
ReplyDeleteපන්තියෙ දගමල්ලක් නොවුණත් ගුරුවරුන්ගෙන් ගුටිකාලා නුපුරුදු නැති හින්දා පීරියඩ් එක ඉවරවෙද්දී මට ඒක අමතක වෙලා ගියා... ඒත් සර්ට එහෙම වෙලා නෑ කියලා මට තේරුණේ අන්තිම පීරියඩ් එක ඉවර වෙන්න ලංවෙලා සර් ආයෙමත් ඇවිල්ලා, මාව කැන්ටිමට එක්කගෙන ගිහින් එග් රෝල් එකකුයි, කිරි පැකට් එකකුයි අරන් දුන්නට පස්සෙයි... :)
ඔන්න මම නම් අමතක නොකර රිසල්ට් කියන්න ගියා... :D
වෙනදා වගේ උපරිමයෙන් රස වින්දා ..
ReplyDeleteආයේ එන්ම් අලුත් කතාවක් ලිව්වාම !!!!!
හ්ම්.....ගුත්තිල මූසිල කතාව අලුත් මානෙකින් පෙන්නලා.මට මෙච්චර කල් ඕක හිතුනේ නෑ නෙ.අපේ රටෙත් වෙන්නෙ ඕකම තමයි.
ReplyDeleteවේවැල් පාරදීලා සැරකරලා උගන්වන ගුරුවරු ළමයින් ගේ අනගතය ගැන හිතන අය (එහෙම නොවෙන අයත් ඉන්න බැරි නැහැ). ඒත් පාසැල් කලයේ දී එය තේරුම් ගන්න අමාරුයි, කල්යත්ම ඔවුන්ගේ අගේ හොඳට වැටහෙනවා. එවැනි ගුරුවරුන් අදත් පිං ලබනවා.
ReplyDeleteයමක් හිතන්න ඉඩ දී කතාව නැවත්වූ එකනම් හොඳයි.
@ සුජීව: ඉස්කෝලෙන් පස්සෙ ෆොනීව දැක්කෙ නැහැ. සරසවියෙ ඉන්න කාලෙදි, මං නතර වෙලා හිටි ගෙදර නංගි කෙනෙක් කිව්ව විදිහට, ඒ වෙනකොටත් අපි හිතන් හිටි විදිහටම තමයි ඊලඟ පරම්පරාවත් ඇය ගැන හිතන්නෙ.
ReplyDeleteඇය දන්නවනම් හුඟක් සතුටු වෙයි තමයි. දැන්නම් විශ්‍රාමික ඇති.
@ රාජ්: ඔව්, පොඩි මන්දබුද්ධිකකමක් තිබුණා ඒ කාලෙ ඉඳලම. :P
ReplyDelete@ සිතුවිලිමණ්ඩිය: ඔව් ඔව්. සියවස් ගණන් ගෙවුණද, තවමත් සාධාරනය එලෙසමය. :D
@ වෙද ගෙදර මහවෙදනා:
ReplyDeleteඑතනින් ෆොනීගෙ කතාව ඉවරයි. ඉන්පස්සෙ ඇයත් එක්ක මුකුත් ගනුදෙනුවක් ඇති වුණෙ නැහැ මතක හැටියට.
@ Weni: එක්කො අපි නොදකින දෙයක් බාහිරින් බලන කෙනෙකුට පෙනෙනවා; එහෙම නැත්නම්, ඒගොල්ලො අධිතක්සේරුවක් එක්ක බලාපොරොත්තු ඇති කරගන්නවා. :D කොහොම වුණත්, ඈ මට හුඟක් ආදරෙන් ඉන්නට ඇතියි කියලයි මට දැන් හිතෙන්නෙ.
ReplyDeleteහරී-පිණිපළස: ගුරු වෘත්තිය තෘප්තියකින් යුතුව නියැළෙන්නට පුළුවන් ක්ෂේත්‍රයක්. ආයෙම පටන් ගන්නකො, අතහැරිය තැනින්.
ReplyDelete@ Gimhani: කොහොමත් එච්චරම උනන්දුවෙන් ඉගෙනගත්තෙ නැති ළමයෙක්. ෆොනී වගේ අයගෙන් අපි කවුරුත් නිසි ප්‍රයෝජනය ගත්තෙ නැහැ. ඒක අපරාධයක්. ඇයටත් අපට ඉගැන්වීමෙන් ලොකු තෘප්තියක් නැති වෙන්නට ඇති ඒ නිසා.
ReplyDelete@ Observer: එහෙම නැවැත්තුවෙ නෑ. මං හිතන්නෙ ගැටළුව තියෙන්නෙ, හැමෝගෙම ජීවිතවල ෆොනීලා ඉන්නවා; ඒ ෆොනීලගෙ කතා ඉවර වෙන්නෙ ඔතනින් නෙවෙයි. :D
ReplyDelete@ ItalyDilan: එහෙම අමුතුවෙන් හිතලා ඩුග් ගාලා නැවැත්තුවෙ නෑ මල්ලි. එතනින් එහාට කියන්නට කතාවක් ඉතිරි නැහැ.
ReplyDelete@ Luckey: ඒ කාලෙත් සාහිත්‍ය රස වැටිලයි හිටියෙ. නමුත් කියවන පිස්සෙකුට හරි හැටියට සාහිත්‍යය රස විඳින අඩිතාලම දැම්මෙ ඇය කියලයි හිතෙන්නෙ. ඒ කාලෙ අනාගත බලාපොරොත්තු මලු පිටින් තිබුණෙ: දොස්තරකෙනෙක් වෙන්න, ලේඛිකාවක් වෙන්න; චිත්‍ර ශිල්පිණියක් වෙන්න; අභ්‍යවකාශයට යන්න; පයිලට් කෙනෙක් වෙන්න; වෙට් සර්ජන්කෙනෙක් වෙන්න; නිළියක් වෙන්න..... ලැයිස්තුවෙ නිමක් නැහැ. හැබැයි, ඒ එකක් සඳහාවත් වැඩ කරන අරමුණක් තිබුණෙ නෑ. හුළං හමන අතකට පාවුණා මිස.
ReplyDelete```Outsider```: අවසානයක් වෙන්නෙ නැහැ. දුක සේ ඉගෙනගෙන, තමන්ගෙ දක්ෂතාවයට නිසි තැන දෙන ලෙස ඉල්ලීමෙ වරදට, මුළු ලෝකෙම තමන්ට එරෙහිව නැගී සිටිනකොට, මූසිලට මොනවා හිතෙන්න ඇද්ද? ඔහු වෙනුවෙන් කතා කරන්නට තමන්ගෙ කෙනෙක් නැතුව, ගැරහුමට අපවාදයට ලක් වෙමින්, තනිකරම තමන්ගෙ හැකියාව මත පමණක් විශ්වාසය තබා අර තරගෙට ඉදිරිපත් වෙන්නට මොන තරම් ආත්ම ශක්තියක් තියෙන්නට ඇද්ද? හැම කෙනෙක්ම ගුත්තිලගෙ පැත්ත ගනිද්දි, අර විශාල සෙනගක් මැද්දෙ මොන තරම් තනියක් දැනෙන්න ඇද්ද? තතෙන් තත බිඳ වැටෙනවත් සමග, ජීවිත කාලයක් පුරාවට ගොඩ නැගූ සිහින බිඳ වැටෙනකොට මොනවා හිතෙන්නට ඇද්ද?
ReplyDeleteසියවස් ගණනාවක් පුරා, පරම්පරා ගණනාවක් පුරා මෙහෙම අපවාදයට ලක් වෙන බව, නින්දා කරනු ලබන බව, නොකළ වරදක් හුවා දක්වන බව දන්නවානම් මොනවා හිතේවිද?
@ මාතලන්: වෙලාවක කතාව ලියන්න අපිට දැනගන්නත් එක්ක. හැමෝටම ඉගෙන ගන්න දෙයක් ඇති ඒ කතාවෙ.
ReplyDelete@ සපතේරු උන්නැහේ: අන්න ඒ කතාවනම් සහතික ඇත්ත. අනුන්ට පාර පෙන්නන්න ගිහාම ලොකු කරදරවලට මුහුණ දෙන්න පුළුවන්.
ReplyDeleteළමයින්ගෙ ජීවිතේට ලොකු බලපෑමක් කරන්නට පුළුවන් ගුරුවරයෙකුට. ෆොනී ඇරුණුකොට තව ඒවගෙ ගුරුවරු හුඟ දෙනෙක් හිටියා මටත්.
@ බින්දි: :D කිසි දෙයක් හරියට ඉවර කරන පුරුද්දක් ඒ කාලෙ ඉඳන්ම තිබුණෙ නෑ මෙයා. :D
ReplyDeleteඉගැන්වීමෙ පහසුව සළකලා අර විදිහට බෙදන්නට ඇති. නමුත් අවසාන වශයෙන් හැමෝටම විෂය නිර්දේශය ආවරණය කළ යුතු නිසා ඒකෙන් ලොකු වෙනසක් ඇති වෙන්නට නැතුව ඇති. මමත් හිතන්නෙ පන්තියක් ඇතුළෙ විවිධත්වය වැඩි වෙන තරමට හොඳයි කියලා.
මටත් "ෆොනීලා" හුඟක් හිටියා. සාහිත්‍යය ගැන කියා දුන්නෙ මේ ෆොනී තමා. ඉතින් සාහිත්‍ය මාසෙට මතක් කරන්න ඕනෙ එයාව.
@ අභීත: අපොයි ඔව්, සෑහෙන්ඩ වයසයි. ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ ඇවිත් ගියා. කමෙන්ට් එකක් දැම්මෙනම් නැහැ.
ReplyDelete@ දිල්: අපොයි ළමයින්ට ගහනවද ඕගොල්ලන්ගෙ ඉස්කෝලෙ? අපේ ගුරුවරුනම් එහෙම ගැහුවෙ නෑ. එක්කො ඇවිත් රවාගෙන ඉන්නවා විනාඩියක් විතර; එහෙම නැත්නම් නම් ලියාගෙන යනවා ප්‍රින්සිපල්ට දෙන්ඩ කියලා; හිට ගස්සලා තියනවා- එක්කො පන්තියෙ නැත්නම් කොරිඩෝවෙ... එහෙම නැත්නම් ඔය මොන මොනවා හරි කියලා බනිනවා. ඒත් නරක වචනයෙන්නම් බැන්නෙ නැහැ කවදාවත්.
ReplyDelete@ TG: ටිකක් වැඩත්නම් තමා. ඒත් ගෙදර ආ වෙලේ ඉඳන් කරන්නෙ, කා එක්ක හරි චැටක් දාගෙන, අනේ මට හරි වැඩ කියලා නහයෙන් අඬන එක. ඒ හින්දයි ඇත්තම කිව්වොත් වෙලාවක් නැත්තෙ. :D ඔන්න ගිය සතියෙනම් ඇත්තටම වැඩ කළා. ඒත් ඒකෙන් ප්‍රයෝජනයක් වුණේ නෑ. :(
ReplyDeleteෆොනී ගැන ලියන්න මගේ හිතේ තිබුණා. එයාව නිතරම මතක් වෙන නිසා. හිතුණු විදිහට ලිව්වා; හිතුණු විදිහට නැවැත්තුවා. :D
මම දැක්කා ඔයාගෙ පින්තූර එහෙම. හීන් ඉරිසියාවක් ආවලු.... :(
@ රංගි: නිදහස හොඳටම අහිමි වෙලා වගේ අලුත් ඉස්කෝලෙදි. පොඩි කාලෙ හිටි පන්තිවල හිතට අල්ලන යහළුවෙක් නැති වීමනම් මටත් තිබුණු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම හයේ පන්තියට අලුත් ඉස්කෝලෙකට ගිහාම, මටත් ඔය වගේ පිටස්තර ගතියක් තිබුණා. උසස් පෙළ පන්තිය වුණත් එහෙමයි.
ReplyDeleteපරණ ගුරුතුමියන් කීපදෙනෙක් පසු කාලෙක හමුවුණත් ෆොනීව හම්බුණේ නෑ. වෙලාවක හොයල බලන්න ඕන.
@ චීටා: තමන් කැමති විෂයයක් කරන්නට ලැබුණනම් හොඳයි තමා.
ReplyDeleteෆොනී අපිට ඉගැන්නුව විදිහෙ වෙනසක් තිබුණා. සමහරවිට ඇය උසස්පෙළ ගුරුවරියක් නිසා, ඔවුන්ට උගන්වන ක්‍රමයටයි අපිට උගන්වන්නට ඇත්තෙ.
ඔයාගෙ ගණිත ගුරුතුමියව ඉන් පස්සෙ හමුවුණේ නැතිද?
@ රෝස කුමාරි: හොඳ ගුරුවරුන්ට ජීවිතේ හොඳ වෙනසක් ඇති කරන්නට පුළුවන් වගේම නරක ගුරුවරුන්ට නරක වෙනසකුත් ඇති කරන්නට පුළුවන්. මට එහෙම නරකයයි කිය හැකි කෙනෙකුට හමුවුණේ මගේ හයේ පන්තිය භාර ගුරුවරිය. ඇයත් සිංහල ගුරුවරියක්. ඒ ඇර අනික් ගුරුවරුන් අති මහත් බහුතරය ඉතාම හොඳ අය.
ReplyDeleteඇයි ඒ අය ඒ විදිහ වෙන්නෙ? ඒකටනම් උත්තර නැහැ. සමහරවිට ඔවුන් අපිට යහපතක් කරන්නම හදනවත් වෙන්නට ඇති. අපි ඒක වෙනස් විදිහකට තේරුම් ගන්නවා වෙන්නට ඇති.
@ charmi: මං සැළෙයි ඕවට. :D කොකා කොච්චර සද්දෙ දැම්මත්, කොකාගෙ ගෙදර වීදුරුවෙන් මගේ ගෙදර ජූස් බෙදන්නෙ නැත. :D
ReplyDeleteචාමි කියන තැනින් තමයි මගෙ කතාව ඉවර වෙන්නෙ. එතනින් එහාට මම මුකුත් හිතේ හිර කරගෙන නැහැ.
@ nimanthi: මට මතක විදිහට නිමන්ති අපේ ඉස්කෝලෙමයි. ඔව්, ඔහොම අනික් පැත්තට හැරෙව්වා අනුපිළිවෙල ඒ කාලෙදි. ඒකෙන් මානසිකත්වය වෙනස් වුණා කියලා මම හිතන්නෙ නැහැ.
ReplyDeleteමම සාමාන්‍ය පෙළ කළේ 88/89. (88 තියෙන්න තිබුණු විභාගෙ තිබ්බෙ 89)
@ මාරයාගේ හෝරාව: පිරිටන් එකක් බීලම එන්න. එතකොට ලියවෙයි..
ReplyDelete@ uwiniran: මමත් කැමති නැහැ සමහර දේවල් ගුරුවරු/ ගෙදර කට්ටිය/ වැඩ කරන තැන කට්ටිය එහෙම දකිනවට. :D මම හිතන්නෙ ඒ අය අපි හිතන විදිහෙන් කොච්චරක් වෙනස්ද කියන එක මත වෙන්න ඕන ඒ කැමැත්ත අකමැත්ත තීරණය වෙන්නෙ.
ReplyDelete@ දුකා: ෆොනීව මුණ ගැහෙන්නට යා යුතුයැයි මටත් හුඟ වෙලාවට හිතෙනවා. ඇය වගේම, අපේ එකල විදුහල්පතිනිය ඇතුළු තව හුඟදෙනෙකුත්. ඒ අය අපට කොච්චර ආදරේ කළාද කියලා තේරෙන්නෙ දැන්.
ReplyDelete@ වැප්: ස්තුතියි සහෝ. ආයෙ ලියනකම් විශ්වාස නැහැ! :D
ReplyDelete@ නිසුපා: හැම දේකම කීප පැත්තක් තියෙනවනෙ. දැන් ටිකකට ඉස්සෙල්ලා එක්කෙනෙක් හෝ ගාලා වාද කළා ගුත්තිලගෙ පැත්තට, වත්මන් දේශපාලනෙත් ඇදගෙන. :D
ReplyDelete@ Beetle: පව් සර්. දවසම ඒ ගැන කල්පනා කර කර පසු තැවෙන්න ඇති. ඔය අරන් දුන්නට පසුවවත් හිත හැදුණද දන්නෙ නෑ.
ReplyDeleteමට ඔය වගෙ චරිත හමුවුණා වැඩ කරන තැනදි. එක පාරටම සැර දාලා, පස්සෙ කතා කරලා "අනේ සමා වෙන්න, හිත රිදුණද" කියන අය. :D
සමහරවිට ප්‍රශ්නෙ ඇත්තෙ අපි කවුරුවත් හරියට අදහස් ප්‍රකාශ කරන්නට ඉගෙනගෙන නැතිවීම වෙන්නැති. "අනුන්ගේ හිත නොරිදවන්න" කිව්වට ඒක කරන හැටි කවුරුත් කියා දීලා නෑනෙ.
@ඩීන් අය්යා: ඔව් අය්යා, ෆොනී වගේ සැරට මතක ගුරුවරු වගේම, හුඟක් ආදරෙන් අපිට සැළකුව අයත් හිටියා. සැරත් එක්ක අපට යමක් දුන් අය මෙන්ම, හොඳින් කතා කළාට යමක් නුදුන් අයත් ඒ අතර හිටියා. හිතවත්කමින් හිටි ගුරුවරුන් එක්ක අපේ සමීප සම්බන්ධතාවයක් තිබුණු නිසා, අපෙන් ඔවුන්ට නිසි ගෞරවයත් සැළකිල්ලත් ලැබෙන්නට ඇති. ෆොනී වගේ අය දුරස්ථ වුණු නිසාම, අපෙන් නිසි ගෞරවය ලැබුණෙ නැහැ.
ReplyDelete@ නිමන්ති .
ReplyDeleteමන් හිතන්නේ ඕක හරිම ප්‍රාථමික ක්‍රමයක් එතකොට නිකන් පන්ති බේදය ඉස්කොලෙන්ම ඇති කරනවා වගේ . අනික් පන්ති වල ළමයින්ට හීනමානයක් ඇති වෙනවා අපිට ගණන් බැහැ කියල . කීපදෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි මන් හොඳට කරලා උන්ට පෙන්වනවා වගේ පොසිටිව් හැඟීමක් . හැබැයි බහුතරය මුලින් කිව්ව ගොඩේ . පන්තිය ඇතුලෙදි දුර්වල ළමයින්ට උදව් කරන්න ක්‍රමයක් තියෙන්න ඕන . නැතුව අමු අමුවේ වර්ග කරන එක වැරදියි. පොඩි කාලේදී ඔයා මේකට දුර්වලයි කියන කතාව හරිම භයානකයි .
@නලිනි-අපොයි ඔව් බොහෝම හොඳ කරුණාවන්ත ගුරුවරු ඕනතරම් හමුවුනා. අදටත් ඒ ස මහරුන් ට මම ඉද හිට කතා කරනව. කීපදෙනෙක් මගෙ මූණු පොතෙත් ඉන්නව :) එකටම දකිද්දිනම් හිතගන්නත් බැරි උනා.... දැන් තාක්ශණයේ දියුණුවත් එක්ක ගුරු ගෝල සම්බඳයත් මූණු පොත දක්වා ඉදිරියට ඇවිත්.
ReplyDelete[[කොකා කොච්චර සද්දෙ දැම්මත්, කොකාගෙ ගෙදර වීදුරුවෙන් මගේ ගෙදර ජූස් බෙදන්නෙ නැත]]
ReplyDeleteඑහෙම කරන්නත් එපා. ලිව්වේ මා දැක්ක දෙය. බරපතලේට ගන්න නොවේ. මා ලියු දෙය හරිම හරි කියා කියන්නෙත් නැහැ. ඒත් යම්කිසි විවේචනයක් [සාධනීය] එන්න ඕනේ නේද කියවන්නගෙන්.
කවුරු හරි මා ලියන දේ වලටත් එහෙම කරනවා නම් කැමතියි. කලින් ලිව්ව කතාවට මටත් එහෙම දෙක තුනක් ප්‍රතිචාර ලැබුනා. ඒවාත් හිතේ ධාරණය කර ගත්තා. එහෙම වුනාට ලියු කතාව නම් වෙනස් කලේ නැහැ. හිතට ගත්ත දේ පස්සේ දවසක එලියට ඒවි නේ.
මේ බ්ලොග් අවකාශේ දිහා බැලුවම මං පුද්ගලිකව අකමැතිම කොමෙන්ටුව "සිරා/පට්ට/ලයික්" වගේ දෙයක් දාලා නවත්තන එකට. නැතිනම් ලියන්නාට වර්නනයක් ලියන එක. කොමෙන්ට් ලියන අය කතාව ගැන හොඳ නරක විවරණයක් දෙන්න උත්සහ කරනවා නම් මං කැමතියි.
සුජීව: අපොයි, විහිළුවක් කළේ. හිත රිදෙව්වනම් සමා වෙන්න. එහෙම අදහසක් තිබුණෙ නෑ.
ReplyDeleteඇත්තටම ඔයාගෙ අදහස එක්ක එකඟයි- එළ එළ, පට්ටයි, මැක්සා වගේ දේවල්වලින් කතාව යම් අගැයීමකට ලක් වුණා වුණත්, එයින් පැහැදිලි වෙන්නෙ නෑ කියවන්නා තුළ ඇතිවුණු මුළු හැඟීමම. අඩුපාඩුවක් හෝ හොඳක් හෝ තේරෙන්නනම්, ඒක ගැන ඊට වඩා විස්තරයක් අවශ්‍යයි. මොනව හරි ලිව්වහම මම බලන් ඉන්න විවේචනවලින් එකක් ඔයාගෙ විවෙචනය. මොකද, ලිව්ව දේ සම්පූර්ණයෙන් කියවලා කියලා හිතෙන්නෙ ඒ විවේචනයෙන්. (මම ලියන හෑලි දිග වැඩි නිසා ඒවා බාගෙට කියවන අයත් එමට ඇති කියලයි මට හිතෙන්නෙ.)
මෙතෙන්දිත් මට ආයෙම බැලුවත් හිතෙන්නෙ නැහැ අවසානය එක පාරටම කඩා වැටිලය කියලා. නමුත් ඔයත්, බින්දි ඇතුළු තව දෙතුන්දෙනෙක්මත් කියන්නෙ, ඒ විදිහට පෙනෙනවා ඇති වෙනත් කෝණයකින්. නමුත් මට එතනින් එහාට ෆොනීව සම්බන්ධ වෙන කථාවක් ඇත්තටම නැහැ. ගෙතුව කතාවක්නම් මොන මොනව හරි ඈඳන්න තිබුණා. එහෙමත් නෙවේනෙ.
විවේචන දිහා බලලා, මෙහෙම කරන්න ඕන ඉස්සරහට කියලා මම වෙනමම හිතා ගත්තු දේවල් තියෙන්නෙ එක දෙයයි. ඒත් අචේතනිකව වෙනස්වීම් එක් වෙනවා ඇති ලියන දෙයට අනිවාර්‍යයෙන්ම.
බොහොම ස්තුතියි, හැම දේකටම.
මෙතෙන්ට ආවේ හරී ටීචර්ගේ ගුරු තරුවේ පෝස්ට් එක කියවල. හරියටම මැච් උනා.
ReplyDelete"සාහිත්‍ය ගුරුවරයගෙ භූමිකාව."
මේ අපේ සුජීව ඇතුළු රසිකයෝ බොහෝ දෙනෙකුට ඇතිවුන ප්‍රශ්නේ මොකද්ද? මට නං එහෙම අතරමග නතරවීමක් පේන්නෙ නැහැ. මං හිතන්නෙ ඔය ගුරුතුමී ගැන අනුවේදනීය කතාවක් සමහරවිට ඒ අය බලාපොරොත්තු වෙන්ඩ ඇති. එහෙම බලාපොරොත්තුවක් නැතුව ලියල තියෙන ටික කියවල රසයක් විඳින්ට මෙහි පැමිණි මට නං අතරමග නැවතීමක් දකින්න නැහැ.
ඩොක්ට හිටියේ මිශ්‍ර පාසලක නෙමේ නේද? අර සමහර ළමයි අතුරුදහන් උනා කිව්වම නිකන් පපුව දැවිල්ල ගත්ත. හිත වහාම අතීතෙට ගියා. ඒ තත්වය අවබෝධ කරගන්ට පුළුවන් මං හිතන්නේ සම වයසෙ අයට තමා. ඒත් ගැහැණු ළමයි අතුරුදහන් උනා කිව්වම නිකන් මොකද්දෝ උනා.
------------------------------------------------
ගුත්තිල මූසිල කතාව ඔය විදිහට බලන්නත් පුළුවන්. ඒත් මෙහෙම හිතන්න. ඕනෑම ආයතනයක experience කියන සාධකය සැලකිල්ලට ගන්නව. ගුත්තිල රාජ සභාවේ වැඩිම පළපුරුද්දක් ඇති වාදකයා. මූසිල join උනා විතරයි. රැකියාවේ ජ්‍යොෂ්ඨත්වය (seniority) සලකන්න ඕනේ. ඊයේ පෙරේද වැඩට ආපු එකයි අවුරුදු දහයක් වැඩ කල එකයි එකම පඩිය ගන්නවනං, ඒකට වෘත්තීය සමිති නායකයෙක් හැටියටත් කටයුතු කළ මා නම් සම්පූර්ණයෙන් විරුද්ධයි. ශිල්පීය දක්ෂතාවය එකම උනාට රැකියාවේ පළපුරුද්ද ප්‍රබල සාධකයක්. ඒ නිසා මම නං අදත් ගුත්තිල ගේ පැත්තේ. (ඔය මොනවා උනත්, තමන් ඉගෙනගත්තු ගුරුවරයට චැලේන්ජ් කරන එක මහ අසමජ්ජාති වැඩක්.)
කිව්වට තරහ වෙන්ඩ එපා, කතාව නං පට්ට. (දැන් සුජීවට තද වෙයි. හිකිස්...)
එම් එස් සී එක්සෑම් අස්සේවත් මෙහෙම කතා නම් මට මග හැරෙනවා අඩුයි. මෙතන ඉඳං ලියන්නේ සාධනීය චේතනාවකින්. මේ වගේ දේ ගැන සංවාද වලට අකමැති කෙනෙක් ඉන්නවා නම් කියවන්න එපා.
ReplyDelete[[නමුත් මට එතනින් එහාට ෆොනීව සම්බන්ධ වෙන කථාවක් ඇත්තටම නැහැ]]
මට හිතුනේ ලොකු කුට්ට්ටියක් හිතේ ඉන්න බලධාරියා කපා ඉවත් කළා කියලා. අවසාන වගන්තිය චුට්ටක් දාර්ශනික කළා නම් එහෙම හිතෙන එකක් නැහැ මගේ හිතේ. ඔය ලියු දෙයම වෙනත් වචන වලින්.
මේකට හේතුව අපි නිර්මානයක සමාප්තිය වෙනම හයිලයිට් වෙන්න ඕනේ කියා හිතන ඒක. නිර්මානයක සමාප්තිය කියන්නේ එහි විකාශනය වන කතාවේ අවසානය ම නොවේ. එහෙත් කතාවේ කොතැනක හෝ සැලකිය යුතු තැනක ඉවර වෙන ඒක. හැබැයි මේ සම්මතය. අපි හැමදාම සම්මතය හොයන අසම්මතයට පෙම් කරන අය. :)
මෙතනින් සංවාදය එහාට ගෙනියන කරුණු කිහිපයක් තියෙනවා. පළමුවෙන් ම මට සිදුවූ වැරදීමක්. නලිනිගෙ කෙටි කතා වලට හුරු වෙලා මං හැම පෝස්ට් එකක් අස්සෙම කෙටි කතාවක් හොයනවද මන්දා. මෙය කෙටි කතාවක් නොවේ. නොස්ටල්ජීය සමරු සටහනක්. ඔබ කියන්නා වාගේ වෙච්ච දේට වඩා මොනවා ලියන්නද?
දෙවැන්න ඔබේ පර්යේෂණ කරණය. මං කැමති දෙයක් මෙන්න මේක. ආධුනිකයෙකු හැටියට මාත් ලියන ශයිලිය තුල යම් පර්යේෂණයක් කරන්න උත්සහ කරනවා. මේක එහෙම දෙයක් වෙන්නත් පුළුවන්.
තෙවැන්න හැමදේම සම්මතයේ තිබිය යුතු නොවීම.
මෙය කියවූ බොහෝ දෙනෙකු අවසානයේ කිසි අවුලක් නැති බව කියා තිබ්බා. ඒක වටිනා ප්‍රතිචාරයක්.
[[මේ අපේ සුජීව ඇතුළු රසිකයෝ බොහෝ දෙනෙකුට ඇතිවුන ප්‍රශ්නේ මොකද්ද?]]
ඔන්න මං හැකි පමණ කිව්වා. ඒකෙන් ම පෙන්න ඕනේ ඕක ඒ හැටි ගණන් ගන්න දෙයක් නොවන බව. නිකම් කතාවක් ලියනවාට වඩා එහාට ලේඛනයත් එක්ක ඔට්ටු වෙන්න කැමති දුර්ලභ බ්ලොග් කාරියක් නලිනි. [මං දන්නා කෙහෙම්මල් ලේඛන රීතියක් නැති වුනත්] මට තේරෙන තරමට එවැනි දේ ඉස්මතු කරන්නේ ඒකයි. ලේඛන ශයිලියට වඩා කතාව ඉස්මතු කරන පෝස්ට් එකක් නම් මං ඔහොම ලියන්නේ නැහැ.
[[ඒ තත්වය අවබෝධ කරගන්ට පුළුවන් මං හිතන්නේ සම වයසෙ අයට තමා]]
නැතුව නැතුව. කොච්චර අමාරුවෙන්ද ටයර ඒක මිස් කර ගත්තේ. කියෙව්ව තරමට ඒ කාලේ. පොඩි එකා හින්දා බේරෙන්න ඇති. අපට උඩින අවුරුදු වල උන්න ඔය කට්ටියට සොරි ම තමා.
[[ඒත් ගැහැණු ළමයි අතුරුදහන් උනා කිව්වම නිකන් මොකද්දෝ උනා]]
අපේ ඉස්කෝලේ නම් දෙගොල්ලොම ඒක ගානට මිසින්. ගැහැණු ළමයි ටිකක් ආකර්ශනීය ගොදුරක් මෙන්ම පහසු ඉලක්කයක්. දන්නවනේ ඒ කාලේ වෙච්ච දේවල්.
[[කිව්වට තරහ වෙන්ඩ එපා, කතාව නං පට්ට. (දැන් සුජීවට තද වෙයි. හිකිස්...)]]
ඇයි මෙහෙම වෙන්නේ? අනේ මේක මං බොහොම හොඳින් රස වින්ද කතාවක්. ඒ බව මගේ මුල් කොමෙන්ටුවෙත් කිව්වා. නලිනිගේ ලිවීමේ සුන්දරත්වය වගේම අපේ ෆොනී ල සිහිපත් වීමත් ඊට හේතුවක්.
වෙනසක් නොකර ලියන්න නලිනි.
@ පොත් ගුල්ලා: ඇත්තටම ෆොනී උසස් පෙළ ගුරුවරියක වුණු නිසාමදෝ ඇය අපූරු සාහිත්‍ය ගුරුවරයෙක් වුණා කියලා මට හිතෙනවා. ගුත්තිලද මූසිලද කියන ප්‍රශ්නෙ පැත්තකින් තියල, කියවන දේ වචනවල තේරුම කියා දෙනවට වඩා දෙයක් ඇය කළා.
ReplyDeleteනැහැ, මම හිටියෙ බාලිකා පාසලක. අපේ ඉස්කෝලෙ ළමයින් 4දෙනෙක් අතුරුදහන් වුණා. ඉන් දෙන්නෙක් මම දැන සිටි අය- අපි එකට චෙස් ක්‍රීඩා කළා. ඉන් එක්කෙනෙක්, අපේ පන්තිවල තෑගි පිට තෑගි දිනා ගත්, පන්ති සියල්ලෙන් පළවෙනියා වුණු කෙනා. ඇයව මට හොඳටම මතක තියෙන්නෙ, දවසක් මම කාටදෝ කරපු සුළු උදව්වක්, ඉතාම අගේ කොට කතා කළ නිසා. ඇය අගය කළේ එහෙම අනුන්ට උදව් කරන ගතිය. මට මතක විදිහට ඒ මම 9 විතර ඉද්දි. ඒ වයසෙ ළමයෙක් ඒ විදිහට අනෙක් කෙනෙක්ගෙ ගතිගුණයක් වටහාගෙන, ඒක අගය කරලා, වචනයටත් පෙරළලා කියනවයි කියන්නෙ, මං හිතන හැටියට හුඟක් පැසුණු ගුණයක්- මොකද, වැඩිහිටි වයසෙදිවත් අපේ මිනිස්සුන්ට හුරු නැති දෙයක් එහෙම කාගෙවත් හොඳක් කියන එක. ඇය හුඟක් තැන්පත් දැරියකව හිටියා.
මා දැන සිටි දැරියන් දෙදෙනාම පසුව සරසවි ගිහින් තිබුණා. එක්කෙනෙක් ඉංජිනේරුවෙක්; අර මගෙ පන්තිවල හිටි ළමයා වෛද්‍යවරියක්. මං හිතන්නෙ අද ඇය විශේෂඥවරියක් වෙන්නට ඕන. ඒ අතුරුදන් වුණාට පසු මට ඇයව මුණ ගැහුණෙම නෑ.
ඔව්, පළපුරුද්දට තැනක් දෙන එක අදටත් පවතින සිරිතක්. ඒකෙත් හොඳ පැත්තක් තියෙනවා. එහෙම නොකරන ක්ෂේත්‍රත් තියෙනවා නේද?
@ සුජීව: මං නින්දට ගියෙ සුජීව තරහ වෙලා වගේ කියලා හිතමින්, මූණු පොතේවත් පණිවිඩයක් තියන්න තිබුණා, අපරාදෙ කියලා හිතමින්.
ReplyDeleteදැන් වැඩට යන්ඩ ලෑස්ති වෙන ගමන්. හවස ඇවිත් කතා කරමු.
මට නම් ජීවිතේටම අමතක නොවෙන ගුරුවරියක් ඉන්නවා. එත් ඔය වගේ අපි ඔක්කොම නොසලකා හැරී නිසයි ඇගේ වචන. ඇය ඉගැන්වුවේ ඉංග්‍රීසි. අපි කාටවත් උවමනාවක් තිබුනේ නැහැ ඇගෙන් නියම ප්‍රයෝජනය ගන්න. ඇය මට පුද්ගලිකව කී වතාවල් අනන්තයි ඉංග්‍රීසි භාෂාව නැතිව ඉහලට ඉගෙන ගන්න බැහැ දරුවෝ ඔයාට අනිත් අයට වඩා හැකියාවක් තියෙද්දී ඇයි මෙහෙම නොසලකා හරින්නේ කියලා. . කොහෙද ? කොල්ලෝ එක්ක එක පොදියට අපි ක්ලාස් කට් කළා. අන්තිමට ඔක්කොම අඩු පාඩු හදාගන්න උනේ කැම්පස් ආවටත් පස්සෙයි..ලෝකයට දොර අරින්නේ ඉංග්‍රීසි භාෂාවයි කියල තේරුනාම දත්මිටි කාගෙන ඉහෙනගත්තා. බ්‍රිටිෂ් කවුන්සිල් ගිහින් සතියට පොත් පහ ගණනේ කියෙවුවා. එහෙම දුක් විඳගෙන ගොඩ යන්න උනේ අර උතුම් මවගේ කියමන් බැහැර කල පාපයටයි.. මම හැමදාම පසුතැවිලි වෙනවා ඇයගේ වචනවලට ගරු නොකෙරීම ගැන..
ReplyDelete@ සුජීව: ඔයා කියන විදිහට, අවසන් වැකියෙ බර වැඩි කළානම් කතාවෙ අවසානය වඩාත් පැහැදිලි වෙයි තමා. දිගට විස්තර කරගෙන ගිය කතාව වාක්‍ය දෙකකින් අවසන් වෙන නිසා එහෙම බරක් තිබුණනම් ප්‍රයෝජනයි.
ReplyDeleteපැරණි මතකයක් නිසාම, ඒ කාලයේ විවිධ ලෙසින් ජීවිතයට බලපෑම් කළ සිද්ධීන්, වෙනත් ගුරුමෑණිවරුන් එහෙමත් සිහි වුණා මේ ලියන අතරතුරේදි. එහෙම දේවල් ගැන විස්තර අඩු කරලා, ෆොනීට පමණක් සීමා කරන්නට ගිහාම, ඇතැම්විට මම කියන දේ අපැහැදිලිත් ඇති. ඉස්කෝලෙ පන්ති ගැන විස්තරය සමහරවිට දිග වැඩි ඇති. නමුත්, විස්තර කරන සිද්ධි, ඒ ගුරුතුමියගෙ හා මගේ ගති ලක්ෂණ, ගුත්තිල-මූසිල සිද්ධිය, අපේ උසස් පෙළ පන්තිය ආදියෙ ඇති සම්බන්ධය තේරුම් ගන්නටනම්, ඒ විස්තරය අවශ්‍යයි කියලා හිතුණා.
ශෛලියත් තේමාවනුත් වෙනස් කරන්නට මමත් කැමතියි. සුජීවත් එහෙමයි කියලා මම දන්නවා. අනෙක් අය ලියන දේවල් කපා කොටා පිරික්සා බලන පුරුද්දක් සුජීවට ඇති බව මම දන්නවා. ඒකට කාලය බොහොම වැය කරන නිසාදෝ සුජීවගෙ බ්ලොගේ කතා අලුත් වෙන්නෙ හෙමින්. අනික් අතට, සුජීව තමන් ලියන දේවල් ගැන "නපුරු විදිහට හිතන ගුරුවරයෙක්" වීමත් ඒකට හේතුවක් වෙන්නට ඇති.
[නැතුව නැතුව. කොච්චර අමාරුවෙන්ද ටයර ඒක මිස් කර ගත්තේ. කියෙව්ව තරමට ඒ කාලේ. පොඩි එකා හින්දා බේරෙන්න ඇති. අපට උඩින අවුරුදු වල උන්න ඔය කට්ටියට සොරි ම තමා]
මට "අපේ කාලයේ වීරයෙක්" මතක් වුණා: විප්ලවයන් දෙකකට අතරමැදි යුගයක තරුණ වියට පා තැබූවන්- මුල් එකට පොඩි වැඩියි; ඊලඟ එකට වයස වැඩියි.... හැබැයි ඒ ඊලඟ එකක් ආවොත්. :D
@ සරත් ලංකාප්‍රිය: පහසුවෙන් ඉගෙන ගත හැකි වයසෙදි, ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව තිබියදීත්, කොපමණ මග පෙන්නන්නට කට්ටිය හිටියත්, ඒ වචන නොසළකා හරින්නට අප පෙළඹෙන්නෙ ඇයි? ඒ දේවල්වල වැරැද්ද මෙහෙම සාකච්ඡා වෙන එක වැදගත්. එහෙම නැතුව, කට්ටි පැනීම "හරි ජොලි දෙයක්" විදිහට පිළිගැනෙනවට වඩා. ස්තුතියි සරත්.
ReplyDelete[[සුජීව තමන් ලියන දේවල් ගැන "නපුරු විදිහට හිතන ගුරුවරයෙක්" වීමත් ඒකට හේතුවක් වෙන්නට ඇති]]
ReplyDeleteතරමක් දුරට ඇත්ත. ඒත් ලිවීම අඩු වෙන්න ප්‍රධානම හේතුව කතාවක් ඇතුලේ ජීවත් වෙලා ඒක දිගට ලියාගෙන යන්න පැය කිහිපයක් නැතිකම. මට කොටස කොටස ලියන්න අමාරුයි.
සමහර ලස්සන අදහස් හිතේ ගොඩ ගැහෙනවා කරන්න දෙයක් නැතුව. මෙත් එ වගේ කාලයක්.
@සුජීව කොකාවල
ReplyDeleteඅනේ සුජීව මම ඔයාට රිද්දන්න එහෙම කිව්වේ නෑ. අර කියල තිබුනේ තනි වචනේ කමෙන්ට්ස් වලට අකමැතියි කියල. මං ඔයාව පොඩ්ඩක් අවුස්සන්නයි අන්තිමට කතාව "පට්ට" කියල ඉවර කලේ. එහෙම නැතුව ඔයා කතාව රසවින්දේ නැහැ කියල නං අදහස් කලේ නැහැ. පොඩි විහිළුවක් කලේ. නමුත් ඒක සන්නිවේදනය වෙලා තියෙන්නේ වෙනස් විදිහකට. හිත රිදීමක් උනා නං සමා වෙන්න.
කොහොමත් ඕනෑම බ්ලොග් ලිපිකරුවෙකුට සුජීව තරං හොඳ විචාරකයෙක් හොයා ගන්න අමාරුයි. ඒ අතින් දොස්තර නෝනා වාසනාවන්තයි. අපි නං නිකම්ම නිකන් රසිකයෝ විතරයි. විචාරය පිළිඹඳ නිසි දැනුමක් අපට නැහැ. ඒ නිසා සම්මතයෙන් අසම්මතය වෙන් කරගන්න දන්නෙත් නැහැ. නිකන් මෝඩයෝ වගේ කියෝනව. අන්තිමට යාළුවො තරහ කරගන්නවා.
කියන්න තියන සියළුම දේ කියලා ඉවරයි වගේ....
ReplyDeleteමමත් ඔය කාලේ සාපේට ලෑස්ති වෙනවා... අපේ පාසැල් වලත් ඔය තියන බෙදීම තිබුනා... ඒක හරම අසාධාරණ ක්‍රමයක්... බැරි එකා හැමදාමත් අනාතයි.... අපි කට්ටි පනින්න හේතු උනෙත් ගුරැවරැම තමටි... හැබැයි අපි නැවතත් පන්තියට ගෙනාවෙත් අපි ඉගෙනගත්තත් ගුරැවරැ හින්දම තමයි...
දොස්තර නෝනට සම්මානයක් ලැබුනා කියලා ආරංචියි... සුභ පැතුම්.. !!!
@ පොත් ගුල්ලා, සුජීව සහ මම:
ReplyDeleteමේ රණ්ඩු වෙන්නෙ තරහ වෙන්නෙ අපි නෙවේ, කුජ. බොරුනං මාරයගෙන් අහන්න. (කුරිරු සිනා)
යෙෂ්. සුජීව කියන්න තියෙන දේ හොඳ හෝ නරක, කෙළීන්ම කියල දාන මැදහත් විචාරකයෙක්.
@ බස්සා: මටත් හැඟෙන්නෙ ඒක අසාධාරන ක්‍රමයක් හැටියට. අනික, සමාජයට බැස්සට පස්සෙ හැම මට්ටමකම අයත් එක්ක ගනුදෙනු කරන්නට, සහයෝගයෙන් ඉන්නට ඉගෙන ගන්නටනම්, පාසල තුළත් ඒ හා සමාන පරිසරයක් තියෙන එක උදව් වෙනවා. පුංචි කාලෙදිම එකිනෙකා අතර උස් පහත් භේද හදාගන්නටත්, තමන්ගෙ හැකියාවන් ගැන අධි හෝ අවතක්සේරුවකින් හිතන්නටත් මේ ක්‍රමය තුළින් ඉඩ සැළසෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි. ඒක සුහද තරගයක්. :-)
@නලිනි
ReplyDelete//පොත් ගුල්ලා, සුජීව සහ මම:
මේ රණ්ඩු වෙන්නෙ තරහ වෙන්නෙ අපි නෙවේ, කුජ. බොරුනං මාරයගෙන් අහන්න. (කුරිරු සිනා)//
මගෙනුත් කොක්හඬ දී සිනා (හැබැයි කුරිරු නෙමේ)
සුජීව ආයෙත් මී පැත්තේ ඇවිත් නෑ වගේ. හැබෑටම තරහ වෙලා වත්ද?
මොකද්ද අප්පේ සම්මානය? අපිටත් කියන්ටකො. අපිත් කැමතියි සතුටුවෙන්ට.
මේ මාත් එක්ක තරහ වෙන්න නම් සැහෙන්න මහන්සි වෙන්න වෙයි. සංවාද මතවාද ගැන. මතවාද සංවාද ගැන. මං ඉන්නේ එළියේ.
ReplyDeleteමේ පැත්තේ ආවා. අර දොස්තර නෝනා කොමෙන්ට් උඩ නිදියගෙන ඉන්න නිසා ඒවා පේජ් එකට ආවේ නැහැ නේ. ඒ අතරේ මගේ ඊළඟ කෙටි කතාව නොලියා ඉන්න බැරිම තරම් හිතෙන් තල්ලුවක් ආපු නිසා නිදි මරාගෙන ලිව්වා එක්සෑම් එක කුජට බාර දීලා.
බලන්න: විප්ලවය
නලිනි ඔය වගේ බය හිතෙන කතා කියන්න එපා. ඉස්පිරිතාලේ ඇඳකදී ඔය කුරිරු හිනාව ඇහෙන්නත් පුළුවන්. අනික කොහොමද මෙයා මේක කිව්වොත් ඔපෙරේෂන් එකක් පටන් ගන්න කලින්. සෞඛ්‍ය ප්‍රශ්න ගොඩ ගැහෙන මේ කාලේ බයේ බැහැ.
තව ග්‍රහයෙක් ඉන්නවා මටත් ඔය විදිහට බිල දා ගන්න ඕනේ. නම නම් කියන්න බැහැ අපේ නෝනා දැක්කොත් මල කෙලියයි.
නලිනි ලද සම්මානයට මෙන්න අපේ උපහාරේ. කතාව බොහොම ලස්සනයි. ඇයි ඒක මේ පිටුවේ නැත්තේ?
ReplyDelete@ පොත් ගුල්ලා: සම්මානයක් නෙවේ. මේ ෆේස් බුක් එකේ කණ්ඩායමකින් පැවැත්වුණු කෙටිකතා තරගයක්.
ReplyDelete@ සුජීව: මොනවද මේ කතා? දැන් ඔපරේෂන් කරන ලෙඩුන්ට සිහි නැති කිරීම පිණිස පාවිච්චි කරන්නෙ කුරිරු හිනාව. :D
විභාගෙ බාර දෙන්ඩ ඕනෙ ගුරුට මං හිතන්නෙ. නෝනට හංගන ග්‍රහය මට හිතා ගත්තැහැකි. :D
කොහොමත් වගකීම බාර දෙන්ඩ ඔය ග්‍රහයො ටික ඉන්න එක හොඳයි.
වැඩ කල් දාන එක බාර කොයි ග්‍රහයටද මන්දා...
කතාව ගැන- ස්තුතියි. ඒක දාන්න ඕනෙ. දන්නවනෙ මං ටිකක් හෑලි ලියන කෙනෙක් කියලා. ඒ කතාවත් ලියල බලනකොට වචන 875ක් විතර තිබුණා. තරගයෙ වචන සීමාවක් පණවා තිබූ නිසා, "මෙහි මාළු විකිණීමට තිබේ" ක්‍රමයට ඒක වනසලා වචන 500ට බැස්සුවා. දැන් මං කල්පනා කර කර ඉන්නෙ, මුල් දරුවා මෙතන දානවද, ඔය අංගවිකල කළ දරුවා දානවද, එහෙමත් නැත්නම් මුල් දරුවාට තව ප්ලාස්ටික් සැත්කම් කිහිපයක් කර අලුත්ම දරුවෙක් දානවද කියලා. :D
මේ දිනවල වැඩ වැඩි නිසා සියල්ල ඇණ හිට ඇත. :(
මගේ මතය නම් "මුල් දරුවා හෝ මුල් දරුවාට තව ප්ලාස්ටික් සැත්කම් කිහිපයක් කර අලුත්ම දරුවෙක්". පොතේ කොළ ඉවර වන නිසා කතා කොට කරන ක්‍රමයට මං විරුද්ධයි :)
ReplyDeleteමගේ අන්තිම ප්‍රබන්ධයේ වචන 2535 කි. ෆුහ්...
ReplyDeleteසුජීව: ඇත්ත. නමුත් අන්තිම මොහොතෙ ලියන්න ගත්තහම, තවත් කතාවක් ලියන්න හිතේ ඉඩක් තිබුණෙ නෑ; ලිව්ව එකේ වචන අඩු කරනවා මිස. තරගයක් නිසා වචන සීමාව පිළිගන්නට වුණා. දැන් මේ මගේ ගෙදර පළ කරනකොට ඒ නීති අදාල නොවේ. :D
ReplyDeleteමම දැක්කා. ඒක කෙටි නවකතාවක් විදිහට ලියවෙන්නට ඕනෙ එකක්. තවත් ටිකක් දිග වුණානම් මම කැමතියි. මොකද, සමහර තැන් තව විස්තර වුණානම් හොඳයි කියලා හිතෙනවා.
කරුණාකර මුල් දරුවා මෙතන දමනු මැන... තරඟයට ගිය කෙනා එතන ඉන්නවනේ.. ඒ ඇති.. ඇත්තටම මට ඕන සංස්කරණය වෙච්ච හැටි බලන්න.. ඒක අළුත් අත්දැකීමක්.. වැරදිලාවත් අළුත් වැඩියා කල එකෙක් මෙතන දැම්මොත් අපිට ඒ අවස්ථාව ගිලිහෙනවා...
ReplyDeleteකුරිරු සිනා!!!
ReplyDeleteචාර්මි කිව්ව වගේ මටත් මේක සම්පූර්නයි. මීට වඩා හොඳ එන්ඩ් එකක් කොහෙද..
ReplyDeleteමැක්සා. ඔයා ගියපු ඉස්කෝලෙ, ඔය කාලෙම මගෙත් අක්ක කෙනෙක් හිටිය. අවුරුද්දක් දෙකක් එහා මෙහා වෙන්ඩ ඇති. එයත් සයන්ස්.