Monday, May 9, 2011

සිත්ති නෝනා




සිත්ති නෝනා
බලාපන්
මොහොමඩ් ඇවිත්

පුත්තලමේ සිට
මග ගෙවාගෙන
අත් වැඩට නොගිහින් අද
නුඹ බැලීමට ඇවිත්

නුඹේ සිහිසුන් සිරුර
වැලඳගෙන, සිප දෙපා,
වියළි කෙහෙ කැරලි
පිරිමදියි සෙනෙහසින්

නුඹේ නෑසෙන කණට
කිට්ටු වී මුමුණයි
ගෙවුණු විසි වසර තුළ
කියා ගත නුහුණු දේ

නුඹේ දරු සයදෙනට
කන්ට දිය යුතු හෙයින්
නොහැක හෙට මෙහි එන්ට
නුඹ බලන විලසින්


යා යුතුය බොහෝ දුර
තනිව, දරුවන් පිණිස
ඒ නිසා යනු මිසෙක
නුඹව හැර යනු නොවේ

සිත්ති නෝනා
විවර කර දෑස
සමුදෙන් මොහොමඩ්ට
අවසාන වරට


සයවන දරුවා ලබා සති දෙකකින් හදිසියේ අසනීපව, පුත්තලමෙන් කොළඹට එවා, කොළඹින් අපට එවූ සිත්ති නෝනා.... උපන් දා සිට දුක් විඳි ඇගේ පෙණුම තිස් හතක් නොව පනස් හතක් මෙනි. ජීවිතයත් මරණයත් අතර දෝලනය වන ඈ බොහෝවිට ආපසු නිවෙසට නොයනු ඇත.
විසි වසරක් පුරා ඈ හා ජීවිතය බෙදාගත් මොහොමඩ්ගේ කඳුලින් අද ඇගේ සිරුර නෑවෙන්නට ඇති.
"මම හෙට වැඩට ගියොත් තමා කන්ඩ හම්බ වෙන්නෙ." දරුවා ලැබුණු පසු දින එකොළහක්ම රැකියාවට නොගොස් සිටි ඔහු අතේ සතයක්වත් ඉතිරි නැතිව ඇති. මග වියදම් සපයා ගැනීම තබා අලුත උපන් දරුවා ඇතුලුව දරු කැලකගේ කුසගිනි නිවන්නේ කොහොමද? සිත්ති නෝනා අසාධ්‍ය තත්වයෙන් සිටියදීත් ඔහුට මේසන් වැඩට අත් උදවු දීමට යාමට සිදුව ඇත්තේ ඒ නිසා. "මම හෙට ආවෙ නැතුවට කමක් නැද්ද?" ඔහු දොර ළඟ සිට ආයෙමත් ඇහුවා. "ළමයිනුත් හුඟක්නෙ. මම වැඩ කරොත් තමා කන්ඩ හම්බවෙන්නෙ....මම ආයෙ සැරයක් එයාව බලලා එන්ඩද?" සිත්ති නෝනාව තනිකර ආපසු යන මොහොමඩ්ගේ හදවත රිදුම් දෙන්නට ඇති.
ඒත්...... මෙතරම් ආදරය කරන මොහොමඩ්ව යළි දකින්නට නොලැබෙන බව නොදැනදෝ සිත්ති නෝනා තද නින්දක.

27 comments:

  1. බොහෝම සංවේදී පදපෙලක්, හරිම කණගාටුදායක තාත්වික සිතුවමක් මතුවුනා කියවද්දි. ඒත් සමඟම ඇති වූයේ එක්තරා විදියක කලකීරීමක් - ඒ ගැන විස්තර නොලියාම යමි.

    ReplyDelete
  2. කළකිරීම මුසු පුදුමාකාර වේදනාවක් දැනුණා මටත් මොහොමඩ් සිත්ති නෝනා බලන්නට ආ වෙලාවෙ. ඇයව රෝහලට ගෙන ආ පසු ගත වූ දින කිහිපය තුළ මේ ඔහු ආ පළවෙනි දවස. ඇගේ දෙපා සිපගෙන ඔහු බොහෝ වෙලාවක් වැළපුණා; ඇගේ හිස අත ගගා බොහෝ වෙලා මොනවදෝ කිව්වා. ඒ මනුස්සයට පුළුවන්කමක් තිබුණනම් ඈ ළඟටම වෙලා ඉඳීවි; ලෝකෙ පුරා ඇවිදලා හරි ඇයට අවශ්‍ය සියල්ල ගෙනත් දේවි. ඒත් සත්‍යය තමයි අද ඈ බලන්නට ඔහු ආ නිසා දරුවන් හයදෙනත් ඔහුත් බඩගින්නෙ වීම. හෙටක් ගැන හිතන්නෙ කොහොමද?

    ReplyDelete
  3. මාව ෂොක් උනා...
    පළමු වතාවට මේ වගේ කතාවක් අහපු නිසා නම් නෙමේ... හැමදාමත් මේවා දකිනවා. හැමදාම ෂොක් වෙනවා. එවෙලෙට හිතෙනවා මේවාට මට කරන්න දෙයක් නැතිනම්, අඩුමගානේ මේවා නොපෙනෙන බහුතරයට එක්වුනානම් හොඳයි නේද කියලා...

    ReplyDelete
  4. නොඇසූ කන්ව, නොදුටු ඇස්ව ඉන්න පුළුවන්නම් අපිත් හිත සතුටින් ඉඳී සමහරවිට. ඇත්ත, දැක දැකත් කර ගන්න දෙයක් නැති නිසා තමයි වාව ගන්න අමාරු.
    බොහොම ස්තුතියි Charmi.

    ReplyDelete
  5. සමාජයේ අප බොහෝ දෙනා නිතර දකින එහෙත් වැඩි දෙනෙකුගේ ඇස් යොමු නොවන තිත්ත ඇත්ත.
    පළමු වරටයි මේ ඉසව්වට ආවේ. හොඳ බ්ලොග් අඩවියක් වග පේනවා.

    ReplyDelete
  6. වැඩි දෙනෙකුගේ ඇස් යොමු නොවෙන, යොමු වුණත් බොහෝවිට පිළිසරණක් විය නොහැකිව අප අසරණ වෙන, තිත්ත ඇත්ත.
    බොහොම ස්තුතියි Priyantha.

    ReplyDelete
  7. පුත්තලමේ හිටපු කාලේ මමත් සිත්ති නෝනලාව එමට දැක තිබුනු නිසා ද මන්දා මේක කියෝපුවාම හිතේ අඩියට බැහැලා අමතක වෙලා තිබුනු දෙයක් එකපාරටම උඩට ආවා වගේ......

    ReplyDelete
  8. ඇසට කදුලු නැගෙන තරම් ගොඩක් සංවේදී කතාවක්.

    ReplyDelete
  9. @ බුද්ධි: ඔයා එහෙ ඉඳලත් තියෙනවානම් මට වඩා හොඳට ඒ අයගෙ ප්‍රශ්න, අපහසුකම් තේරෙනවා ඇති. හිතෙන් අමතක කරන්න අපහසු සිද්ධියක්.
    බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට.

    ReplyDelete
  10. @ නදී: ඔව් සොයුරිය. ඒත් මේ වගේ කතා හුඟක් තියෙනවා. වැඩි හරියක් කතා අපි කවුරුත් නොදැනම අවසන් වෙලා.
    බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට.

    ReplyDelete
  11. මොහමඩ්ට නෑසුනු සිත්ති නෝනා නොකියූ කවිය-

    මොහොමඩ් මගේ දයාබරය,
    නුඹ හෙට නාවාට කම් නැත,
    දරුවන් කැළට ඇති පිහිට,
    නුඹමය මමත් නැති කල,

    නැවත අප හමු නොවුනද,
    දුකක් නොමගන් සිත්තුල,
    දරුවන් ට සෙවනක්ව,
    පුරවන් මගේ අඩුවද,

    ReplyDelete
  12. ගොඩක් සංවේදීව හිතට දැනුනා..... මේවාගේ මොහොමඩ්ලා, සිත්ති නෝනලා කොච්චර නම් අපේ රටේ ඉන්නවාද.... වේලක් කාලා ඉතුරු වේල් දෙකක් බඩගින්නෙ ඉන්න දරු පැටවුන්ගේ මූණු ටික මට මැවිලා පෙනුනා.... අනේ දෙයියනේ ඒ දරුවන්ගෙන් ඒ අම්මාව උදුර ගන්න එපා...!

    ReplyDelete
  13. Ravi, ඇත්තටම සිත්ති නෝනාගේ ආත්මය ඒ විදිහට කියන්නට ඇති. ඔහුත් ඇයත් අතර හොඳ අවබෝධයක් තිබෙන්නට ඇති එකිනෙකා ගැන.
    මොහමඩ් නැවත එනතුරු සිත්ති නෝනා ජීවත් වනු ඇතැයි අප නොසිතුවත් ඇය තවත් දවසක් ඔහු එනතුරු සිටියා. ඉන් පසු අප ඇයව වෙනත් රෝහලකට මාරු කළා. එහිදී ඇයගේ තත්වය තවත් අසාධ්‍ය වෙලා තිබුණා. ඉන් ඉදිරියට හිතන්නටවත් මට දුකයි.

    ReplyDelete
  14. mama hitanne siththi marenna nethuwa ethi.... mohomad ge aadaraya me kiyana widihata hari thadai...
    me loke shakthiya sansthithika unata eka authu widihata udura ganna taram sobadahama napuru ne man hitanne...
    meka kathawak wath news ekak wath nemei mata... wistara karanna bei roopayata naganna puluwan hangeemak...

    ReplyDelete
  15. දුමී, මටත් හිතෙන්නෙම තව මේ වගේ පවුල් කී දාහක් මේ පොළොව උඩ දිවි ගෙවනවා ඇද්ද? හැම මනුස්සයෙකුගේම මූලික අවශ්‍යතාවත් රජයක් මගින් සපයා දිය හැකිනම්.

    ReplyDelete
  16. Ruwanputhra: සිත්ති නෝනා මිය ගියේ නැතැයි හිතන්නට මමත් කැමතියි. ඒ නිසාමයි මම ඇය ගැන විස්තර නොසොයා ඉන්නෙ. අහන්නට අකමැති පුවතක් අහන්නට වේයයි යන බිය නිසා.
    ඇයගේ භෞතික රූපය මියගියත් මොහොමඩ්ගේ සිත තුළ ඇය සැමදාම සිටිනු ඇති.

    ReplyDelete
  17. ඔබගේ බොහෝ කථාවල මොකක්දෝ හිත බරවෙන ගතියක් මට දැනෙනවා.

    මේකත් එහෙම එකක්.
    රවීගෙ කවියත් ලස්සනයි.ස්තූතියි

    ReplyDelete
  18. Gimhani, සිත්ති නෝනාගෙ සිද්ධිය ඇත්තටම මගෙ හිතටත් ලොකු බරක් වුණා. බොහොම ස්තුතියි සොයුරිය.

    ReplyDelete
  19. අර දරුවෝ ටික......අලුතින් උපන් කෙනා.....අනේ මන්ද වචන නැහැ...

    ReplyDelete
  20. බුදු අම්මෝ මේ කවිය හොම්බ කඩලා යන්න වදිනව.

    ඊට පස්සේ එක පාරටම මතක වුනා ම ඇත්තටම මේ ජිවත් වන මිනිසුන් මයි කියලා මට නම එන හැඟීම පැහැදිලි කරගන්න අමාරුයි.

    මේක වැළැක්විය හැකි වූ අසීමාන්තික ගැබ් ගැනීමක් කියලා දැක්කම හරිම කනගාටුයි.

    නලිනි මේක හොඳට ලියලා තියෙනවා. එක තමයි අපට දරා ගන්න අමාරු.

    ReplyDelete
  21. @ Heeniyata: ඒ පවුලම කඩා වැටෙන්න ඇති ඇගේ රෝගී වීමත් සමග. :(

    @ Sujeewa Kokawala: ඒ වගේ මිනිස්සු තව කොච්චර ඇද්ද? ගැබ් ගැනීම ගැනත් එහෙමයි. දරුවන් තියා තමන්වවත් නඩත්තු කළ නොහැකිව තිබියදී එතරම් ගණනක් දරුවන් හදාගන්න ඇත්තෙ ඔවුන්ගෙ නොදැනුවත්කම නිසා. පව්.

    ReplyDelete
  22. @නලිනි;

    සෞඛ්‍ය අධ්යාපනයේත් වරදක් [කොහු මිටේ ජෝක් එක වගේ කතා දන්නවා ඇති නේ] මේකට නම මුලධර්ම වාදී ආගමික පසුබිමත් හේතු විය හැකියි.

    මේ කතා මට නුහුරු නැහැ. පොඩි කාලේ හැදුනේ මේ වගේ ගමක. ඒ ගමේ වෙච්ච කතා බොහොම දුක්බරයි. ඒත් හිතට කාවදින්නේ නුහුරුව නිසා නොවෙයි. අපට වඩා දුක දෝමනස්සයන් දකින ඔබටත් මේවා දරා ගන්න අමාරු නම් අපි මොක්කුද?

    ReplyDelete
  23. සංස්කෘතික පසුබිම යම්තාක් දුරට ඉවහල් වෙන්න ඇති බරපතල පවුලක් බිහිවෙන්න. දශක කිහිපයකට පෙරාතුව සිංහල සමාජයෙත් "වැලේ ගෙඩි වැලට බර නෑ." කියන සංකල්පය තිබුණනෙ. නමුත් මට ඇත්තටම දුක හිතුණෙ බරපතල පවුලට වඩා මොහොමඩ් හා ස්ත්ති නෝනා අතර සම්බන්ධය ගැන. ප්‍රියයන්ගෙන් වෙන්වීම, ප්‍රියයන්ට දුකක් පැමිණීම, දුකක්ම තමා.

    ReplyDelete
  24. මෙතන තියෙනවා මම දන්න සිත්ති නෝනා කෙනෙක් ගැන කතාවක්

    ReplyDelete
  25. . කාට හරි අහන්න පුළුවන් එදා වෙලා පිරිමහ ගන්න බැරි මිනිහ මොකටද කසාද බැන්දේ කියල. ආදරය ...ආසාවන් එන්නේ සල්ලි තියෙන මිනිස්සුන්ට විතරද ? ඊ ලඟට අහවි "එහෙනම් මොකටද ඔච්චර ළමයි හදා ගත්තේ ?" කියල ..මේ දුප්පත් මිනිස්සුන්ගේ එකම ආශ්වාදය ඒ නිසයි.. නුගත්කම නිසා පවුලක් සැලසුම් කරගැනීම නොදන්නා නිසයි..නුගත්කම දුප්පත් කමත් එක්ක අත්වැල් බැඳගත්තම එකේ දඬුවම් වැඩියෙන්ම විඳින්නේ කාන්තාවයි... මේ වගේ දුක් විඳින අම්මලගෙන් අපේ රට පිරිලා..

    ReplyDelete
  26. @ දුකා: ඔයාගෙ කවි පන්තිය කියෙව්වා. මට මතක් වුණා මම හඳුනන දෙන්නෙක්වම- හිතට දරාගන්න අමාරුයි මේ අයගෙ කතා.

    ReplyDelete
  27. @ සරත් ලංකාප්‍රිය: ඔබේ අදහසත් එක්ක සම්පූර්ණයෙන් එකඟයි.

    ReplyDelete