Showing posts with label ඉව. Show all posts
Showing posts with label ඉව. Show all posts

Saturday, April 18, 2015

ඉව

ඒ කාලෙ මම හිටියෙ තට්ටු නිවාසයක, සිව්වැනි මහළෙ. ස්නායු ආබාධයක් නිසාවෙන් හරිහැටි ඇවිදීමට නොහැකි, සුදු පාට, කෙට්ටු බළල් පැටියෙකුත් මට හිටියා.

තට්ටු නිවාසයෙ කුස්සිය පිහිටලා තිබුණෙ, ගොඩ නැගිල්ලෙන් වෙනමම නෙරා ගිය කුඩා හතරැස් කොටසක. ඒ කොටසට ගිය විට එක් පැත්තකින් අල්ලපු නිවාසයේ කුස්සියත්, අනෙක් පැත්තෙන් මගේ නිවාසයේ ඉස්තෝප්පු කොටසත් දැකිය හැකියි. තේ හැදීමට සහ බළල් පැටියාට කෑම සැකසීමට මිස, මේ කුස්සිය එතරම් පාවිච්චි වුණේ නැහැ. විදුලි දඟර ලිපක් හා ගෑස් ලිපක් මා සතුව තිබුණ අතර, එකම ගෑස් සිලින්ඩරය මම අවුරුද්දකට වඩා පාවිච්චි කළා.

එක දවසක් රෑ වැඩ අවසන් කර ගෙදර පැමිණි මම නිදිමතේම කුස්සියට ගියෙ බළල් පැටියට කෑමට යමක් හදා දෙන අරමුණින්. ඒත්...

කුස්සියෙන් මොකක්දෝ සූ හඬක් එනවා!

මම කෝකටත් ඉස්සෙල්ලම කුස්සියෙන් එළියට පැන්නා. ඊට පස්සෙ ඉව කළා: ගෑස් ගඳක් එනවද?
කුස්සියෙ තිබුණු බඩුවලින් එහෙම අනතුරුදායක දේකට තිබුණෙ ගෑස් සිලින්ඩරේ විතරයි. ගෑස් සිලින්ඩරේ මොකක් හරි කාන්දු වීමක් වෙන්නට ඕන. ඇහෙන සද්දෙ, සිහින් සිදුරක් හරහා වාතය ගමන් කරනවිට එන සද්දෙ.

ගෑස් සිලින්ඩරේ ටික ටික කාන්දු වෙනවා! තව ටිකකින් ගේ පුරා ගෑස් පිරෙයි; සමහරවිට ගෑස් සිලින්ඩරය පුපුරයි; එහෙමත් නැත්නම් පොඩි හරි දේකින් ගින්නක් ඇවිලිලා, මුළු ගෙදරම ගිනි ගනී!

මම ප්‍රශ්නෙ විවරණය කරන අතරෙ, බළල් පැටියා කුස්සියට ගිහින් අඬනවා- එයාට බඩගිනියි. මම වැඩට ගිහින් එනතුරු පැය 15-16ක් විතර එයා ඉන්නෙ බඩගින්නෙ. ඒත් පවතින තත්වය යටතෙ, බඩගින්නට වඩා ගින්නෙ තර්ජනය බරපතලයි. මම බළල් පැටියට අඬ ගැහුවා. අඬ ගහගෙන, ගෙයින් එළියට පැන්නා. දොරත් වහලා දැම්මා. කුස්සිය පැත්තෙන් අර කාන්දු සද්දෙ තාමත් එනවා. ඒත් එක්ක, තවත් මොකක්ද ඩිඩිග් ඩිඩිග් සද්දෙකුත් එනවා. ඒකනං ඇහෙන්නෙ මගෙ ඇඟ ඇතුළෙන්ම වගෙ!

මම කල්පනා කළා: ඉස්සර පොඩි කාලෙ සඟරාවකින් කියෙව්ව කතාවක් මට මතක් වුණා. ඒකෙ තිබුණෙ, ගිනිගෙන වැටුණු (හෝ වැටිලා ගිනි ගත්තු) ගුවන් යානාවක හිටිය ගුවන් සේවිකාවක්, ගින්නට බය නොවී, ඇගේ වගකීම වුණු මගීන් ආරක්ෂිතව එළියට එක්කගෙන ගිය විස්තරයක්. අවසානයෙදි, ඇය එළියට ඒමට පෙර ගුවන් යානය පුපුරලා, ඇය මැරෙනවා. ඔය කතාව කියෙව්වයින් පස්සෙ, මමත් සෑහෙන කාලයක් යනකං හිතෙන් ඒ වගෙ ගින්නවල්වලට මැදි වුණු මිනිස්සු බේර ගත්තා. හැබැයි, ඒ හිතළුවල මම මැරුණෙ නෑ; මාත් අන්තිමට බේරුණා.

මෙතන තත්වය ටිකක් වෙනස්. ගිනි ගත්තනං කරන්නට ඕන හරිය මම දන්නවා; ඒත් තාම ගිනි අරගෙන නෑනෙ.

මම කාට හරි කතා කරලා උදව් ඉල්ලිය යුතුද? අවට නිවාසවල අයව මම අඳුනන්නෙ නෑ. ඇඳිනුවත්, ඒ අයට කරන්නට පුළුවන් දෙයක් නෑ. එහෙනම් ගිනි නිවන හමුදාවට කතා කළ යුතුයි.
කෝකටත් කියලා, මම මුළින්ම අපේ මල්ලිට කතා කරන්නට තීරණය කළා. බඩගින්නෙ අඬන බළල් පැටියව එළියෙ රඳවලා, කාමරේට දුවලා ගිහින් දුරකථනය අරගෙන මම ආපහු එළියට ආවා.

"මල්ලි, ගෑස් සිලින්ඩරේ කාන්දු වෙනවා වගෙයි. සූඌඌඌ ගාලා සද්දෙ එනවා දැන් සෑහෙන වෙලාවක්."

සහෝදරයො කියන ජාතිය වාසනාවන්.
"ඔයා එළියට වෙලා ඉන්න. මම දැන්මම එන්නම්." මල්ලි කිව්වා.

මල්ලිත් තව ටිකකින් එන හින්දා හරි, සෑහෙන වෙලාවක් ගිහින් හින්දා හරි, කලින් දවසෙ නිදි මැරුව එකෙන් ආව තෙහෙට්ටුව අමතක වුණු හින්දා හරි, ඔන්න මගෙ හිත ටික ටික පැහැදිලි වෙන්නට පටන් ගත්තා.

මෙච්චර වෙලා සද්දෙ ඇවිල්ලත් තාම ගෑස් ගඳක් නෑ නේද?

මම ගෙට ගියා. ඉව කළා. ම්හු.

ටික ටික කුස්සිය පැත්තට ගියා. ම්හු.

කුස්සියටම ගියා. ම්හු.

සද්දෙට හොඳින් ඇහුම් කන් දුන්නා. සිලින්ඩරේ පැත්තෙ... ම්හු.

සද්දෙ එන්නෙ ජනේලෙ පැත්තෙන් වගෙ.

එහා පැත්තෙ ගෙදර කුස්සියෙන් වගෙ.

මම ඒ පැත්ත බලද්දිම වගෙ තමයි ඒ ගෙදර කවුද ඇවිත් කේතලේ නිව්වෙ.

මම මල්ලිට කතා කරලා කිව්වා, එන්න ඕන නෑ කියල. මේ අල්ලපු ගෙදර මිනිස්සුන්ගෙ කන්වල පිට්ටුද කොහෙද...