අපි පොඩි කාලෙ වැඩිහිටියන් සමග එකට එක කිව්වෙ නෑ. මේ නිසා වැඩිහිටියන්ගෙ හිත රිදවීමට අවශ්‍ය වූ විට ඒ සඳහා වෙනත් ක්‍රම භාවිතා කරන්නට සිදු වුණා.
උයන පිහන කෙනෙක්ගෙ හිත රිදවීමට තියෙන පහසුම ක්‍රමය තමා, ඒ ඉවූ දේවල් නොකා සිටීම; එහෙමත් නැත්නම් මහ ගොඩක් කෑම බීම ඉතිරි කිරීම. ඒ දවස්වල අම්මාට එරෙහි යුද්ධවලදි මම භාවිතා කළේ මේ ආයුධය.
අපේ ගෙදර ආහාර සංස්කෘතිය බොහොම නිදහස්. බඩගිනි වෙන වෙන හැටියට ඒ ඒ කෙනා ගිහින් බෙදාගෙන කෑමක් තිබුණෙ. වෙනම කෑම මතක් කිරීමක් කළානම් ඒ කළේ සාස්පාන් සේදීම සඳහා කෑම අස් කිරීමට සූදානම්ව රතු නිවේදනය නිකුත් කරද්දි. එක එක්කෙනා එක එක වෙලාවලට කෑවත්, කවුද කෑවෙ, කවුද නොකෑවෙ කියන එක හඳුනගන්න අපූරු ඉවක් අම්මාට තිබුණා.
කතන්දර පොතක් දිගහැර ගත්තහම ලෝකය අමතක වෙන ගතියක් තිබුණු නිසා මට නිතර මේ රතු නිවේදනය ලැබුණෙ තර්ජනයක හඬින්. සමහර වෙලාවට මේ නිවේදනය ලැබෙනකොටත්, මම ඊට ඉස්සර වේලට කෑ පිඟානත් ඇඳේ පැත්තකින් තියාගෙන, වේළුණු කෑම සහිත අතත් උස්සගෙන, තනි අතින් පොත පෙරළමින්, ඇඟෙන් බාගයක් හිරි වැටිලා, බොහොම අමාරුවෙන් තමයි ඉන්නෙ. පොත රස වැඩිනම් "මට බඩගිනි නෑ." කියලා කෑම ප්‍රතික්ෂේප කරන එක මගෙ පුරුද්ද. මොකද, ඔය අන්තිමට කන්න යන කෙනාට තමා සාස්පාන් හෝදන්නට වෙන්නෙ. හැම එකම අවසාන මොහොත දක්වා කල් දාන හේතුවෙන්, හුඟක් දවසට මටමයි ඒ වැඩේ කරන්නට වෙන්නෙ. එතකොට මගෙ කතන්දර කියවීමට බාධා වෙනවා. ඊට වඩා නොකා ඉන්න එක සැපයි. එහෙම දවසට අම්මත් බල කළේ නෑ. බැන්නට මට ඇහුණෙත් නෑ.
තරහ වෙන දවසට තත්වය වෙනස්.
"කන්නෙ නෑ! කන්නෙම නෑ!!" මම හිතා ගන්නවා. "හිටුකො!!!"
කන්නෙ නෑ කියලා හිතා ගන්න දවසට, එහෙමත් නැත්නම් කෑම නැති දවසට බඩගින්න වැඩිපුර දැනෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම දවසට අර තරම් ලේසියෙන් පොතක ගිලෙන්නටත් බෑ. කන්නෙ නැති එකමයි හිතේ වැඩ කරන්නෙ. ඉතින් උගුලට අහු වුණු වැලහින්න වාගෙ නොසන්සුන්ව ඇඹරි ඇඹරි ඉන්නවා.
"හිටුකො. කන්නෙම නෑ. දන්නෙ නෑ මගෙ හැටි. බඩගින්නෙ මැරෙනවා. එතකොට තේරෙයි."
අනික් අය කෑම බෙදා ගන්න සද්දෙ එහෙම, ඒ දවසට හොඳින් ඇහෙනවා. අම්මා ඇවිදින සද්දෙ, අම්මා මොකද කරන්නෙ යන වග වඩාත් හොඳින් ඇහෙනවා.
"නොකා මැරෙනවා."
අම්මා මට කතා කරයිද කියා නොඉවසිල්ලෙන් ඉන්න ගමන් මම මටම මතක් කර ගන්නවා.
අම්මා ඒ තරම් හදිසි වෙන්නෙ නෑ. ටිකක් වෙලා බලලා, තමන්ගෙ ආඩම්බරෙත් තියාගෙන, හරියට හැමදාම කරන සාමාන්‍ය කතාබහක් වගේ, දොර රෙද්ද මෑත් කරල, "කන්ඩ." කියනවා.
මට ඉතින් එච්චර ඕනත් නෑ; "ක" යන්න ඇහෙනකොට මම නැගිටලා දුවනවා.
අවුලක් නෑනෙ. අම්මා පැරදිලා ඉවරයිනෙ.
ඔහොම දවසක් මම තරහ වුණා.
"කන්නෙ නෑ. කන්නෙම නෑ...."
ඉතින් මම ඉන්නවා.
අනික් අය කන බොන සද්දෙ මට ඇහෙනවා. අම්මා එහෙ මෙහෙ යන සද්දෙ මට ඇහෙනවා.
ගෙදර වෙන දේවල් සේරම මට ඇහෙනවා.
මට කන්ඩ කතා කරන සද්දෙ විතරක් මට ඇහෙන්නෙ නෑ.
ඒත් මම ඉන්නවා.
වේලක් විතර පහු වුණා.
මම නිකං අම්මට පේන්ඩ වගෙ එළියට ගිහින් වතුර බීලා ආවා. අම්මා වෙන වැඩක්.
හවස තේ හදන සද්දයක් ආවා. මම මගේ තීරණය ප්‍රවේශමෙන් සළකා බැලුවා: මම හිතා ගත්තෙ, මම ඒ හිතා ගන්න වෙලාවෙ අදහස් කළේ කෑම නොකා ඉන්නවා කියලනෙ. තේ වෙනස්....
මම තේ බිව්වා.
රෑටනම් අම්මා කොහොමත් සාස්පාන් අස් කරන්නට පෙර කතා කරන බව මම දැනගෙන හිටියා. උනන්දුවෙ තරමට පරිණාමය වන්නට කන්වලට හැකියාවක් තිබුණනම් එදා මට හාවෙක් වෙන්නට තිබුණා.
අම්මට එච්චර ගානක් නැතුවා වගෙයි. සමහරවිට අනික් උන් මගෙ පංගුවත් එක්කම කාලා ඇති; එතකොට කොහොමද අම්මා දන්නෙ මං නොකෑ බව?
මම ටිකක් ගිහින් කුස්සිය පැත්තෙ කැරකුණා. ප්‍රතිඵල නැත.
මම ස්ව කැමැත්තෙන් සාස්පාන් සේදීම භාර ගත්තා.
ප්‍රතිඵල නැත.
පහුවදාද එසේමය. එක්කෝ අම්මාට ගානක් නැත. එහෙමත් නැත්නම්, රැයක් ගෙවුණා කියා අම්මාට අමතකව නැත!
මම මගෙ තීරණය නැවත විමර්ශනයට ලක් කළා.
මම හිතා ගත්තෙ, අම්මා ඉව්ව කෑම නොකා ඉන්නවය කියලා. වෙන කෑම ජාති ගැන එතනදි අදහස් වෙන්නෙ නෑ.
ඒ දවස්වල අප්පච්චි වැඩ කළේ දුර පළාතක නිසාත්, මල්ලි පුංචි නිසාත් විස්කෝතු වගෙ දේවල් ගෙදර නිතර තිබුණා. ඒවා අම්මා ඉවූ දේවල් නොවේ. ඒවා මට කැපයි.
එක වේලක් නොකා ඉන්නකොට ඇවිත් "කන්ඩ" කියන අම්මාට දවස් ගානක් එහෙම නොතේරෙන්නෙ කොහොමද මම අම්මා උයන දේවල් නොකා ඉන්න බව? මම දවස් පහක් එහෙම හිටියා.
අනික් මිනිස්සු කනබොන වෙලාවලදි මම නිතරම එළිපහළියෙ ගැවසුණා; විශේෂයෙන් අම්මා කන බොන වෙලාවලදි.
මම කිසිදු පෙරැත්ත කිරීමකින් තොරව ගෙදර වැඩවල යෙදුණා- විශේෂයෙන් කුස්සිය අවට වැඩවල. සාස්පාන් හේදිලි, කුස්සියෙ මේසෙ පිහ දැමිලි, තේ හැදිලි, පොල් ගෑම්.... වැඩද නැත්තෙ කරන මිනිහෙක්ට?
ප්‍රතිඵල නැත.
දවස් පහකට පස්සෙ, මං නිකං මං නෙවෙයි වගේ ගිහින් අම්මා ඉව්ව කෑම බෙදාගෙන කෑවා. අම්මා මුකුත් කිව්වෙ නෑ.
ඊට පස්සෙ කවදාවත් මං උපවාස කළේ නෑ.