Showing posts with label පරිස්සමෙන් හිටු. Show all posts
Showing posts with label පරිස්සමෙන් හිටු. Show all posts

Saturday, June 11, 2011

පරිස්සමෙන් හිටු!

ඉතින්,
එපානම් මාව
නුඹේ දිවියට...


හිටුකො!

ඇස් ලොකු මීයෙක් වෙලා
නුඹේ වහළය දිගේ විත්
යට ලීය උඩ හිඳගෙන
විරිත්තන්නම් මම නුඹට.

එතකොට
කොස්සක් අතින් ගෙන
පන්නාවි නුඹ මාව.

සැඟව, පැන, පෙනී, නොපෙනී
කුටිය පුරාවට
ඔට්ටු සෙල්ලම් කරමු
අපි දෙදෙන.
නුඹට හති වැටුණු කල
හිඳගෙන යට ලීය මත

විරිත්තන්නම් නුඹට මම.

එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.


හිටුකො!

නුඹ ආදරෙන් කියවන
පොත් ඉරා කැබලිකොට
නුඹේ නිල් පාට කමිසයේ
උණුසුමට
කූඩුවක් හදාගෙන
ගුලි වී නිදන්නම් මම.

මම දන්නවා

එතකොට
නුඹට අනුකම්පා හිතේවි
මා ගැන.

මට නිදන්නට ඉඩ හැර
පා තුඩින්, නිහඬව
අඩි තබා ඇවිදීවි නුඹ
සොරෙකු සේ
නුඹේම කුටිය තුළ.

පසුව
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.


හිටුකො!

මියැදෙන්ට කල ආ විට
නුඹට දුක නොහිතෙන්ට
ඈතකට ගොස් මැරෙන්නම් මම.

නොදැන මා මළ බව
නුඹ බලාවි යට ලීය දෙස.
නුඹ හොයාවි කාමරය පෙරළගෙන
මාව.
නුඹට හමු වේවි නුඹේ සීතල කමිසය.
පාළුවක් හිතේවි නුඹට
මා නැතිව.

එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.

හිටුකො...

වැරදි ගෑණිව
තරහ කර ගත්තෙ නුඹ.