Showing posts with label සීගිරි සිංඤෝ. Show all posts
Showing posts with label සීගිරි සිංඤෝ. Show all posts

Thursday, April 14, 2016

සීගිරි සිංඤෝ

බින්දිගෙ අවුරුදු මතකයන් කියවන්න ගිහාම, පරණ අවුරුදු, අලුත් අවුරුදු බවට පත් වෙනවා. පරණ සිද්ධි, පිළිවෙලක් නැතුව හිතට එබිකම් කරන්න ගන්නවා.

බින්දිගෙ අප්පච්චි වගේම, අපේ අප්පච්චිත් රත්නපුර පළාතෙ. ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ වයස තුනහමාරෙන්. ශිෂ්‍යත්වෙ සමත් වුණාට පස්සෙ, සීවලියෙ නේවාසික වෙලා. උසස් පෙලට ලියල එන ගමන්, රැකියා සම්මුඛ පරීක්ෂණේට ගිහින් තියෙන්නෙ. ඒ රස්සාව හම්බුණ හින්දා, කෙළින්ම වැඩට ගියා මිස, උසස් පෙල ප්‍රතිඵලවත් බලන්න ගිහින් නෑ.

රස්සාව හම්බුණේ මහනුවරට. අම්මව හම්බුණේ ඒ හින්ද. අර්බුදකාරී වාතාවරණයක් තිබ්බ හින්ද, නෑ ගමන් ඒ හැටි කෙරුණෙ නෑ.

මට හිතෙන්නෙ, අප්පච්චි තමයි ගෙදර සාම්ප්‍රදායික චරිතෙ. අම්මට පස්සෙ පස්සෙ ඒ ගති ආරෝපණය වෙන්න ඇති.

අපි පොඩි කාලෙදි අප්පච්චි අවුරුද්ද ගැන උනන්දුයි. නැකත් අනුව ඒ ඒ කටයුතු කරන්න මූලික වෙන්නෙ අප්පච්චි. නොනගතේට අපි හොරෙන් කෑව. නැකතට පත්තු කරන්න බිම ලිපක් හදන්න ඕන. ඕකට ගන්න වෙනම රවුම් ටකරමක් තිබ්බ. ඒව ගෙනල්ල හරි ගස්සන්නෙ අප්පච්චි. කන නැකතට කන්න බලං හිටියට, ඉස්සෙල්ලම වැඩ අල්ලන්න ඕන. අපිට වැඩ අල්ලන්න තිබුණෙ පාඩම් පොතක් කියෝලා. අපි ඒව කියවන අතරෙ අම්මයි අප්පච්චියි ගිහින් කිරි ගස්වලට කොටල, ලිඳ එක්ක ගනුදෙනු කරල ආව වෙන්න ඕන.
අවුරුදු මේසෙට හුඟක් වෙලාවට ගෙදරම කෙසෙල් කැනක් තිබුණා. අප්පච්චි වගාවට උනන්දුයි. වත්තෙ එළවළු පලතුරු වර්ග, පලා වර්ග, අල වර්ග වගේම නා නා ප්‍රකාර කෙසෙල් වර්ග වැව්ව.
නැව් කෙහෙල් කියන පුංචි ගස් ජාතිය මම දැක්කෙ අපේ වත්තෙ විතරමයි.
කෙසෙල් කැන කපලා ඉදවන්න, පොළොවෙ වලක් හාරලා, ඒක ලෑලිවලින් වට කරලා, පුංචි කවුළුවක් හදන්න ඕන දුම් ගහන්න. ඒ සේරම කරාට අප්පච්චිගෙ හිතේ තියනව, අප්පච්චි කැන තිබ්බොත්, ඒක ඉදෙන්නෙ නෑ කියල. ඒ වැඩේට අල්ලගන්නෙ අය්යව.

ඒ දවස්වල ගෙදර හැම වැඩක්ම වගෙ කරගත්තෙ අපිමයි. ගෙදර සායම් ගාන එක පවා අපිම කර ගත්ත. ළමයි තම තමන්ගෙ කාමර සායම් ගාගන්න ඕන. පස්සෙ පස්සෙ අපි වැඩේ කර ඇරිය. අප්පච්චි අන්තිමට එහෙම සායම් ගෑවෙ අනූ හයේදි විතර. ඊට පස්සෙ අප්පච්චිට පපුවෙ අමාරුව ආවා. අපි හිතුවෙ සායම් ගෑව මහන්සියට කියල. පස්සෙ දැන ගත්තෙ ඊට වඩා තත්වෙ බරපතල බව.

අපි පොඩි කාලෙ අප්පච්චි අපිට කතන්දර කියනව නින්ද යනකං. හැමදාම අපි අහන්න ආස සීගිරි සිංඤොගෙ කතා. ඒව අප්පච්චි ගොතල කියන කතා. සීගිරි සිංඤො කියන්නෙ, කරත්තෙක නැගල දුර ගමන් යන කෙනෙක් කියල විතරයි මට මතක. වෙන කිසිම කතාවක් මතක නෑ. ඒත් තාමත් සීගිරි සිංඤො කියන චරිතෙට අපි සේරම ආදරෙයි.

අප්පච්චිට මාරු වීම් හම්බෙනකොට, අපිත් ඉබේම මාරු වුණා. නොච්චියාගම, අප්පච්චිගෙ කාර්යාලෙ උඩ තට්ටුවෙ අපි පදිංචි වෙලා හිටියෙ. පෙළට ඇඳන් තියල, අපි සේරම එකට නිදියන්නෙ. ඒ දවස්වල රෑට මම ඇඳ තෙමනව. උදේට මමම නැගිටල ඇඳ යට පරීක්ෂා කරල බලනව ඊයෙ රෑත් වැඩේ වෙලාද කියල. එක දවසක් බලද්දි, දිය දහරාව ගලා ගොස් රැඳී තිබුණෙ අප්පච්චි නිදියං හිටිය තැන. මම වහාම පල්ලෙහ අප්පච්චිගෙ කාර්යාලෙට දුවල ගිහින්, හැමෝටම ඇහෙන්න නිවේදනය කළා, "ඔන්න ඊයෙ රෑනං චූ කරල තියෙන්නෙ අප්පච්චි" කියල.

එහෙ ඉද්දි දවසක් මට උණ හැදිලා හොඳටම අමාරු වුණා. වලිප්පුව හැදිලා, සිහිය නැති වෙලා. බෙහෙත් ගන්න යන්න ඕන අනුරාධපුරේට. රෑ මැද, අප්පච්චි මාව කරේ තියාගෙන පයින්ම අනුරාධපුරේට අරන් ගියා. මට මගදි සිහිය ආවා. අප්පච්චිගෙ උරහිසේ මම ඔලුව තියාගන ඉද්දි, අහසෙ හඳත් අපිට පිටිපස්සෙන් ඉස්පිරිතාලෙ ආව හැටි මට තාම මතකයි.
අපේ නැති වුණු මල්ලිවත් එහෙම අරන් යන්න ඇත්තෙ. ඉස්පිරිතාලෙට යද්දි එයා නැති වෙලා. පස්සෙ අපි අනුරාධපුරේ යන වාරවල, ඒ මල්ලි වළලපු තැන පළු ගහ බලන්නත් යනවා.

පස්සෙ අපි ආපහු නුවර ආවා.

කොහේ හිටියත්, අප්පච්චි හැමදාම ගෙදර ආවා. නෑවිත් හිටියනම් ඒ බැරිම දුරකනම් විතරයි. අම්පාරෙ වැඩ කරද්දිත්, සතිය මැද දවසක් ඇවිත් ගියා. හැත්තැ ගණන්වල ජේවීපී කාලෙ, කොයි පැත්තෙන් මැරුම් කන්න වෙයිද නොදැනත් කොහොම හරි ගෙදර ඇවිත් තියෙනව.
එහෙම එක සැරේක, අප්පච්චි වැඩ කරල තියෙන්නෙ හඟුරන්කෙත. හදිසියෙ ඇඳිරි නීතිය දැම්මහම, ගෙදර එන්න විදිහක් නැතුව ඩිපෝවට ගිහින් බස් එකක් ඉල්ලල තියනව කට්ටියම. ඩ්‍රයිවර් කෙනෙක් කැමති කරවගන්නවනම් බස් එකක් දෙන්නම් කියල ඩිපෝවෙ ලොක්ක කිව්වලු. එක ඩ්‍රයිවර් කෙනෙක් කැමති වෙලා.

ඒ මනුස්සය බස් එකට නගිනකොට ඇඳිරි නීතිය පටන් ගන්න පැයයිලු. "මහත්තයල, හෙමින් ගියොත් වෙඩි කාල මැරෙන්න වෙනව; ඒ හින්ද වේගෙන් යමු; හොඳට අල්ලගන්න." කියල, විනාඩි විස්සෙන් හඟුරන්කෙත ඉඳන් නුවරට ආවලු.
හරියට පාරවල්වත් නැති කාලෙ.

ආයෙ සැරයක් ගම්පොළද කොහෙද වැඩ කරන කාලෙ, ගං වතුරක් ඇවිත්.  ගං වතුරට යට වුණු රේල් පාරක, ඉණ හරියට විතර වතුර තියෙද්දි, රෑ කලුවරේ, පීලි තියන තැන් කකුලෙන් බල බල තමා ඇවිත් තියෙන්නෙ.

මම ශිෂ්‍යත්වෙ පාස් වුණහම, අප්පච්චි මාව එක්ක ගියා තෑග්ගක් අරන් දෙන්න කියල. නුවර සීවලී එකට. එතන තිබුණ එක එක විදිහෙ පැන්සල් පෙට්ටි. ස්පේස් ෂිප් එකක රූපයක් තිබුණ නිල් පාට පෙට්ටියකුත් තිබුණ. අප්පච්චි මගෙන් ඇහුව "ස්පේස් ෂිප් එක අරන් දෙන්නද?" කියල.

මගෙ හිතේ තිබ්බෙ ඕගන් එකක්. මම සාමාන්‍යයෙන් එහෙම අහවල් දේ ඕන කියල ඉල්ලන ළමයෙක් නෙවෙයි. ඒ හින්ද සද්ද නැතුව ඒක අරන් ආව. ඒත් ගෙදර ඇවිත් මට ඉවසගන්න බැරිම තැන, හීන් සීරුවෙ අම්මට කාරණාව කිව්ව. ඊට පස්සෙ අප්පච්චි ආයෙම මාව එක්ක ගිහින් ඕගන් එකකුත් අරන් දුන්න.

ඊට පස්සෙ තිබ්බ විභාගවලටනං මුකුත් හම්බුණ මතකයක් නෑ!

අප්පච්චි ගමන් බිමන් යන්න හරිම ආසයි. අවුරුද්දකට සැරයක් අනුරාධපුරේ  යනවමයි. ගමන් බිමන් කිව්වට, හුඟක්ම ආස වන්දනා ගමන් යන්න. අප්පච්චිගෙ රස්සාව හින්ද, රට පුරාම යන්න හම්බුණා. ඒ ගිහාම දැන ගත්ත තැන්වලට, පස්සෙ අපිවත් එක්ක ගියා. ඒත් වන්දනා ගමනක් නොවෙන තැනකට යන පුරුද්දක් තිබ්බෙ නෑ. දෙහිඅත්තකණ්ඩිය, අම්පාර වගෙ පළාත් බලන්නනම් ගියා. නුවර එළිය, හලාවත වෙරළ වගෙ තැන් බලන්න එක්ක යන්න කියල අපිට කැරලි ගහන්න සිද්ද වුණා. නුවර එළියෙ ගියා, ආව! එහෙ අප්පච්චිට බලන්න දෙයක් තිබ්බෙ නෑ! ඒ වුණාට පස්සෙ කාලෙක, මම බලහත්කාරෙන් අප්පච්චිව හෝට්න් තැන්න එහෙම බලන්න එක්ක ගියා. පස්සෙ ගොඩක් ලෙඩ වෙලා ඉද්දිත් එහෙම ගමන් ගියා. අප්පච්චි ගමන් යන්න ආසයි. සැරයක් එහෙම කොහෙ හරි ගියාට පස්සෙ, මට මතක විදිහට මැදිරිගිරියෙද කොහෙද, ඊට පස්සෙ සති අන්තෙ ගෙදර දානයක් තිබ්බ. ඕකට එන්න බෑ කියල මම වාර්තා කළහම අප්පච්චි කිව්ව, " දානෙට ආවෙ නැතුවට කමක් නෑ, ආයෙත් දවසක නිවාඩු දාල එන්න ට්‍රිප් එකක් යන්න" කියල.

අප්පච්චිට හරි අපූරු මතකයක් තිබ්බා. විශ්‍රාම ගිහින් ඉද්දිත් කාර්යාලෙන් කතා කළ අවස්ථා තිබුණා, අවුරුදු විසිතිස් ගානකට උඩදි වෙච්ච සිද්ධිවලට අදාල ගිණුම් අංක අහන්න! ඒගොල්ලන්ට එහෙ වාර්තා අවුස්සලාවත් හොයා ගන්න නැහැ. අප්පච්චිට මතකයි.

අප්පච්චිට උයන්නත් පුළුවන්, මට වගේ. අම්ම කැමති නෑ කුස්සිය හැඩි කරනව කියල. අම්ම මල්ලි හම්බෙන්න ඉස්පිරිතාලෙ ඉද්දි, අප්පච්චි අපි තුන්දෙනාවත් ඇදගෙන ඉස්පිරිතාලෙටත් දුවනව; ආයෙම ගෙදර ඇවිත් බතුයි අලයි උයල, ගුලි හදල අපිට කවල, ආයෙම ඇදගෙන ඉස්පිරිතාලෙ දිව්ව මට මතකයි.

කොහොමත් ඒ දවස්වල අප්පච්චි එහෙම බත්ගුලි හදල කවනවට අපි හරි කැමතියි. අපි කුරුල්ලො වෙලා, වටේ පියඹ පියඹ ඉන්නව. අප්පච්චි කුරුල්ලන්ට බත්ගුලි කවන්න කතා කරහම ළඟට ගිහින් කාල එනව. හරි මෝඩයි.

ඒ දවස්වල මට කවන්න අමාරු හින්ද, බත්මුල් ඔතාගෙන, පේරාදෙණියෙ මල්වත්තට හරි නුවර ළමා උයනට හරි එක්ක යනව. නුවර ගිහින් බස් එකෙන් බැස්ස ගමන් මං අහනව "දැං කමුද?" කියල.

කැවිල්ල වගේම තමා අප්පච්චිගෙ තෙල් ගෑමත්. රෑට අපේ ඔලුවෙ තෙල් ගානව. තෙල් ගොඩක් අරගෙන, ඔලුවට දාල අත ගාල, තලල එක වැඩයි. හරි සනීපයි. පොඩි කාලෙ ආසාවෙන් තෙල් ගාව ගත්තට, පස්සෙ අපි තෙල් බේරි බේරි ඉන්න අකමැති වෙලා, තනියෙන් තෙල් චුට්ටක් ගාගන්න පටන් ගත්ත.

අප්පච්චි කැමති ගෙදර ඉව්ව කෑම කන්න. විශේෂයෙන් බත්. අපි ගෙදරින් පිට ගිහින් ඉන්නකොට, අපි කෑවෙ මොනවද කියන එක අප්පච්චිට හරි වැදගත්. මම ඒ දවස්වල කැමතිත් නෑ ගෙදරට කෝල් කර වෙලාවට, අප්පච්චි උත්තර දෙනවට. එතකොට මම අහන්නෙ "කෝ අම්ම?" කියල. "ඇයි මගෙත් එක්ක කතා කරන්න බැරිද?" කියල අප්පච්චි අහනව. අම්ම මොකක් හරි වැඩක්නම් ඒ එනකං අප්පච්චි එක්ක කතා කරන්න වෙනව.

"මොනවද කෑවෙ?" අප්පච්චි අහනව.
මම ආස ඔය පැටිස් රෝල්ස් වගෙ ඒවට. තුන්වේලටම කන්නෙ ඒව. ගෙදර කෑමක් හදාගත්තොත්, ඒ බිත්තරයක් තම්බල, බටර් ගාගන පාන් කන්න වගෙ තමා.

අප්පච්චිට ඕක කිව්වහම හරි යන්නෙ නෑ.

"අය්යෝ ළමයො, බත් එකක් ගෙනත් කන්ඩ එපෑ." කියනව.

"අප්පච්චි කැමති වුණාට මම බත් කන්ඩ ආස නෑ." කියල මම රන්ඩු කරනව.

පස්සෙ පස්සෙ මම හිතුව මෙහෙම රන්ඩු කරන එක හරි නෑ කියල. නිකං මොකටද අප්පච්චිගෙ හිත නරක් කරන්නෙ කියල, මං අප්පච්චි කෑම ගැන ඇහුවහම බොරු කිව්ව.

"මොනවද කෑවෙ?"

"බත්!"

"මොනවත් එක්කද?"

ඉතින් මං හිර වෙනවා. එහෙම එකකට උත්තර දෙන්න ප්ලෑන් කරල තිබ්බෙ නෑ. මට යකා වැහිල ආයෙම අප්පච්චි එක්ක රන්ඩු කරනව.

එහෙම නැත්තං ඉතිරි කිරිල්ල ගැන; නැත්තං ගෙදර එන එක ගැන; ගෙදර ඇවිල්ල ඒගොල්ලො එක්ක කතා කර කර ඉන්නෙ නැතුව නිදියන එක ගැන...
මට රන්ඩු කරන්ඩ හේතු ගොඩයි.

එහෙම නැත්තං ගෙදර ඇවිල්ල ආපහු යන එක ගැන. ගිහින්, ගිය වෙලාවට ආපහු කෝල් කරන්ඩ ඕන.
"ඒ වෙලාවට අප්පච්චිලා නිදි." මං කියනව.
"ඒ වුණාට කෝල් කරන්ඩ." අප්පච්චි කියනව. මං කතා නොකළොත් අප්පච්චි කතා කරල, කීයටද ආවෙ කියල අහනව.
යන එන ගමන් මග තැන් තැන්වල නවතිනවට අප්පච්චි කැමති නෑ.
"කෑගල්ලෙ පොත් සේල් එකක් තිබුණ. මම කොළඹ යන ගමන් ඒකට යනව." දවසක් මං කිව්ව.
"අතන මෙතන නතර වෙන්නෙ නැතුව යන ගමන දිගටම යන්ඩ." අප්පච්චි කිව්ව.

ඒව එච්චර වැදගත් දේවල් කියල මං නොහිතුවට, මම ගියෙ කීයටද, ගමනට පැය කීයක් ගියාද කියන එක සටහන් කරල තියාගන්ඩ තරම් වැදගත් දේවල් කියල අප්පච්චි හිතල තියනව.

අප්පච්චි බොහොම අරපරිස්සම්. බොහොම වගකීමෙන් වැඩ. ඉතුරු කරන එක, ඉතුරු කරපු දෙයක් ආයෝජනය කරන එක ගැන තිබුණ උනන්දුව, දැනීම අපිට ලොකු ආරක්ෂාවක්, හය්යක් වුණා. ලේසි නෑනෙ, නාස්තිකාරයො හයදෙනෙක් විතර එක්ක!

එක සැරයක් අපේ ගෙදර වහළෙ පරෙය්යෙක් ආවා පදිංචියට. අප්පච්චි මේකට කැමති වුණේ නෑ. ඒ වෙද්දි සැරයක් අය්යලගෙ ඉස්කෝලෙ සති ගානක් වහල තියන්නත් වෙලා තිබ්බ පරෙයි මැක්කො කියල. ඉතින් එහෙම කරදරයක් වෙයි කියල අප්පච්චි අකමැති වුණා. අකමැති වෙලා, ඉණමගක් තියල නැග්ග උඩට පරෙය්යව බය කරල එළවන්න. පරෙය්යා බය වුණේ නෑ. අප්පච්චි පරෙය්යව බොහොම ආදරෙන් වඩාගෙන, කට උල් කරල, හුරතල් කරල, අලුත උපන් බබෙක් වගෙ පරෙස්සමට ආපහු තියල, පාඩුවෙ බැස්ස!

පත්තර කියවිල්ල. අප්පච්චි පත්තර කියවන්න ආසයි. ඉරිදට තියන සේරම සිංහල, ඉංග්‍රීසි පත්තර අරං එනව. ඒවගෙ පිටු කඩනවට කැමති නෑ. පත්තරේ සම්පූර්ණයෙන් තියෙන්ඩ ඕන. ඉතින් අපිත් එක්ක ගෝරි.

පොඩි කාලෙ අපි හවසට කාඩ් ගහනව; නැත්තම් කැරම්; නැත්තම් චෙස්. අප්පච්චි අපිට නොදැනෙන්න හොර කරනව. එක දවසක් පොඩ්ඩක් එහා මෙහා වෙලා, බිෂොප්ලා දෙන්නම සුදු කොටුවල! හිනා කෝටියයි. කාඩ් ගහන්නනම් අප්පච්චිට හොඳටම පුළුවන්. මට කොහෙත්ම මතක හිටින්නෙ නෑ කලින් අත්වල ගිය කොළ මොනවද වගෙ ඒව. අප්පච්චි ඒව හොඳට හිතල තමා සෙල්ලම් කරන්නෙ.

ළමයින්ට දෙමවුපියො එක ගානට ආදරෙයි කියන එක බොරුවක්. අප්පච්චි ඒ දවස්වල වැඩියෙන්ම ආදරේ අක්කට. ඒක අපි හැමෝම දැනං හිටිය. අක්කත් අප්පච්චි වගේමයි. දැන් වුණත් අපි කියන්නෙ අප්පච්චිගෙ දුව කියල.

දුව වගේම ගෙදර ඇති කරපු සත්තුන්ගෙනුත් සමහරු ගැන එහෙම වැඩි ආදරයක් අප්පච්චිට තිබුණ. එක සැරයක් අපේ ගෙදර පූසො හය දෙනෙක් හිටිය කාලයක් තිබුණ. ඔය අතරින් අප්පච්චි වැඩියෙන් ආදරේ ලස්සන නිල් හුරු අළු පැහැයක් එක්ක පපුවයි මේසුයි සුදු පාට, බූෂි නැට්ටක් තියන, "අලුවා" කියන පූසට.
එක දවසක් අප්පච්චි ගෙදර ඉන්න සත්තු වැඩියි කියල ලොකු චෝදනාවක්. අලුවත් ඒ අහළම ඉන්නව. අපි කැමති ඕන තරම් සත්තු ඉන්නවට. අප්පච්චි කියනව, "එක ගෙදරකට එක බල්ලෙකුයි, එක පූසෙකුයි විතරක් හිටියහම ඇති. නේද, අලුව?" කියල අලුවගෙන් අහනව! ගෙදර ඉන්න ඕන "එක පූස" අප්පච්චි කැමති එකා!!

ඉස්සර අප්පච්චි ධර්මය ගැන උනන්දුවක් තිබ්බෙ නෑ. වැරදි දේවල් නොකර හිටියහම ඇති කියන හිතුවිල්ලෙ. ඒත් පස්සෙ පස්සෙ ඒ ගැන අපිට වඩා උනන්දු වුණා. අවුරුදු කාලෙට මුලදි මුලදි වර්ජන පටන් ගත්තෙ අපි. එක්කො නැකත් කියන්නෙ මිත්‍යාදෘෂ්ටි කියල; එහෙමත් නැත්තං පාන්දර තියන නැකත්වලට නැගිටින්න තියන කම්මැළිකමට; නොනගතේ දිග වැඩි වුණහම බඩගින්නට එහෙම. පස්සෙ අප්පච්චිලාම අවුරුදු වර්ජනය කරන්න ගත්ත. ඒ වෙද්දි මම නිකං අවුරුද්දට ආස වෙන කාලෙ, කට්ටිය එකතු වෙන අවස්ථාව හින්ද. කොහොම හරි ගිය අවුරුද්දෙ ගෙදර ගිහින් කැරකි කැරකි හිටියට කිරිබත් හම්බුණෙත් නෑ.


මේ සැරේ මෙහෙ වටේටම අවුරුදු තියනව වගේ. රතිඤ්ඤා ඇහෙනව. ග්‍රවුන්ඩ් එකේ අවුරුදු උත්සවයකුත් තිබුණ.

ඒ වුණාට කොහෝ අඬන්නෙ නෑ.