Thursday, March 31, 2011

ඩොගී

දියුණු වීගෙන යන මහ පාර අයිනේ දියුණු වීගෙන යන බේකරියකි. නිරන්තරයෙන් එය ඉදිරිපිට එකත්පස්ව ලැග සිටින දුඹුරු පැහැති බල්ලෙකි. ඌට නමක් නැත.

කුසගිනි උහුලාගත නොහැකිවිට බල්ලා කන් පාත් කරගෙන, වල්ගය කකුල් අතර රුවාගෙන, හෙමින් හෙමින් බේකරියට කිට්ටු කරයි; ඉදිරිපස වීදුරු පෙට්ටි තුළින් පෙනෙන නා නා ප්‍රකාර පාන් බනිස් වර්ග අතුරින් කුමක් පහසුවෙන් ගිල දැමිය හැකිදැයි කල්පනා කරයි; බේකරියේ කොල්ලා පෙනෙන්නට සිටීනම් යන්තමින් හූල්ලයි; කවුරුන් හෝ චිප් චිප් ගෑ විට වල්ගය තව තවත් සඟවාගෙන, කොන්ද වකුටු කරගෙන අඩියක් දෙකක් එහා මෙහා වෙයි.

Wednesday, March 30, 2011

ඇන්ඩෲ අය්යා

රෝහල ඉදිරිපිට බස් නැවතුමට වී මා බලා සිටියේ තාත්තා එනතුරුය. සායනයේ නොම්මරයක් ලබා ගනු පිණිස මා කලින් පැමිණියේ තාත්තාගේ රස්තියාදුව අවම කිරීමටය. පැයක් පමණ වේලා මෙතැන වේලෙන මා දෙස බලමින් මිනිස්සු යති; එති. මම ඒ නොදැක්කාක් මෙන් සිටීමට වෑයම් කළෙමි. මා පසු කර මීටර කිහිපයක් ගිය මෝටර් රථයක් එක්වරම නතර විය. ඉන් බැස ගත් කවුදෝ මා දෙසට එනු මගේ නෙත් කොණට පෙනුණි. මම අහක බලාගෙනම සිටියෙමි. ඒ ආ රුව මා අසළ නැවතිණි.

"නංගි?"

*********************************

Saturday, March 26, 2011

ගුලි පුතා

"කවුද දන්නවද බං කට්ටිය?" එන්සී මොකක්දෝ චණ්ඩිකමකට හවුල් වුණු පිරිස විස්තර කරයි. "මම, සෝනා, රන්දුනු, ගුලි පුතා.."
"කවුරු? ගුලි පුතා?" මම අහක සිට හොට දමමි.
"ඇයි චූටි අක්කා දන්නෙ නැද්ද ගුලි පුතා?"
"නෑනෙ."
"අය්යො! මෙන්න මේකයි චූටි අක්කෙ සීන් එක. චූටි අක්ක අහල තියෙනවද මදන මෝදකේ?"
"නිකං අහල තියෙනව. මොනවද කියල දන්නෙ නෑ."
"ඒකෙ තියෙන්නෙ අබිං! කෑවම කොහොමද නිකං...මදන මෝදකේම තමයි. ඕක ඉතිං ඔහොම අහල තිබුණට අපි ටේස්ට් කරල නෑනෙ. ගුලි පුතාට ඕක ට්‍රයි කරල බලන්ඩ ඕන වුණා.


මෑන් ඉතිං කොහොම හරි අරේං මේං වචනෙ දාල, ඔන්න ගුලි තුනක් හොයා ගත්ත. හැබැයි ගුලි දීපු මෑන් කිව්වා, 'මල්ලී... එක දවසට එක ගුලියක් ගානෙ විතරක් ගන්ඩ' කියල.


ආතල් එක ගන්න වෙලාවෙ ෆුල්ම ආතල් එක ගන්ඩ එපායැ? ගුලි පුතා ගුලි තුනම එක සැරේ ගහල ඇරිය.


ටිකක් වෙලා යනකොට.... බුදු අම්මෝ! කැරකීගෙන ආවලු; බිත්ති කඩාගෙන ඇඟට වැටෙනව වගේ දැනුණලු; පාතාලෙකට විසි වෙලා වැටෙනව වගේලු; ඇස් අරින්ඩ බැරිලු. කොහොම හරි අන්තිමට සිහිය එනකොට ගුලි පුතා ඉස්පිරිතාලෙ.


පස්සෙ ඉතිං සිද්දිය ආරංචි වුණහම අපිත් බලන්ඩ ගියා. ලොකු අමාරුවක් තිබුණෙ නෑ එතකොට. ඒත් දවස් තුනහතරක් ඉස්පිරිතාලෙ තියා ගත්තා.


ඔහොම ඉන්නකොට මූට ඇහෙනවලු වාට්ටුවෙ නර්ස්ලා කතා වෙනවා ලෙඩ්ඩු ගැන: අර ගුලි බීලා ආපු පුතාට ඉස්සරහ ඇඳේ ලෙඩා, අර ගුලි බීලා ආපු පුතාට එහා ඇඳට එහා ඇඳේ ලෙඩා.. ගගා. ඕක මාට්ටු වුණා මූව බලන්ඩ ගිහිං හිටපු අපේ එකෙකුට.


පොර ටිකට් කපලා ආපහු ඉස්කෝලෙට එනකොට ඌට නම රෙජිස්ටර් වෙලා ඉවරයි: ගුලි පුතා!"

Wednesday, March 23, 2011

නිබ්බුත

උතුවන්කන්දට අව් රැල්ලක් වැටිලා

ගුරුවන් කෙත මැද පලාවන්ව නැගි
රුක් මඬලක් මත්තේ
සුදු කොක් ඇතිරිල්ලක්

සීත වැඩිව පොළොවට බරවුණු
වළාකුලෙක සිදුරක් හැදිලා
ගව්වක් ගැඹුරෙන් හෙල්මළු හිනැහෙත්

හිත ඇතුළේ
නිසසල දිය පිරි සුනිල විලක්

නාඳුනන්නී

"කැමතිනම් මේ සති අන්තෙ ඇවිත් යන්න. මමත් නිවාඩු."

දර්ශනීගෙන් ලද ඇරයුම අනුව මම සිකුරාදා රාත්‍රී දුම්රියෙන් පොළොන්නරුව බලා පිටත් වීමි. මගේ අසුනේ හිඳගත් තරුණ කත වරින් වර මා දෙස බලමින් කතාවකට අර අදින බව දුටු මම නෙත් පියා ගතිමි. වෙහෙසට පත්ව සිටි මට අවශ්‍ය වුයේ නිදාගැනීමටය. එහෙත් ප්‍රවේශපත්‍ර පිරික්සීම සඳහා පරීක්ෂකවරු එනතුරු නිදාගැන්ම අපහසුය. මා වරින් වර ඇස් හැර කවුළුවෙන් එපිට බැලුවේ නින්ද වළකා ගැන්මටය.


"ඔයා සිංහලද?"
"ඔව්."
"මඩකලපුවටම යනවද?"
"නෑ, පොළොන්නරුවට."
"එහෙද ගෙවල්?"
"නෑ."
"නෑයො ඇති එහෙනම්."
"නෑ."
"එහෙද වැඩ කරන්නෙ?"
"නෑ."
"හොඳයි ඔයා මෙතන ඉඳගත්ත එක. මම බයේ හිටියෙ පිරිමි කෙනෙක්වත් ඉඳගනී කියලා."

Tuesday, March 22, 2011

රාහුලයෙක් උපන.

කුඩ්ඩා නොහොත් නිකමා නොහොත් කාලකන්නියා යනාදී පර්යායනාමවලින් හඳුන්වන්නා වූද, දරුවන් සිව්දෙනෙකුගෙන් යුත්  පවුලේ බාලයා වූද, පසුගිය වසර විසිපහ තුළ පනහකට ආසන්න වාර ගණනක් මත්ද්‍රව්‍ය භාවිතය නවත්වා ඇත්තා වූද, ඉහළගෙදර රාහුල නන්දසිරි කාමරයේ ඇඳ මත වාඩි වී බිත්තියට හේත්තු වී සිටී. නවා ගත් දණහිස්  මත රැඳුණු දෑතේ ඇඟිලි එකිනෙක මදිමින් සිටින ඔහුගේ සවන් රැඳී ඇත්තේ සාලයේය. රාහුලගේ අනාගතය කවරක් විය යුතුද යන තීරණාත්මක කාරණය එහි සාකච්ඡා වේ.

"මට කරන්ඩ පුලුවන් හොඳම විදිහ තමා මම ඔය කිව්වෙ."
අය්යා ජනේලය පැත්තේ ඇති ලොකු තනි පුටුවේ වාඩි වී සිටින බව රාහුල නිගමනය කරන්නේ හඬ එන අත අනුවය. සාකච්ඡාවේ මුල් කොටසේදී හේ සාලයේ එහා මෙහා ඇවිදිමින් සිටියේය. තීරණයකට එළඹීමට පෙර එහා මෙහා සක්මන් කිරීම අය්යාට උරුම වන්නට ඇත්තේ පියාගෙනි. රාහුලට මතක ඇති කාලයේ බොහෝ සැන්දෑවන්හි මිතුරු හමු පැවැත්වූ පියා ඔවුන් හා සාකච්ඡා කළේ මත්පැන් වීදුරුවක් අතැතිව සාලය පුරා එහා මෙහා ඇවිදිමිනි. පියා මෙන්ම අසේලද උඩු රැවුල වවයි; කෑමට වාඩිවීමට පෙර වතුර වීදුරුවක් ළඟට ගෙන්නා ගනී; කතා කරනවිට එක් අතක් පිටුපසට කරගෙන අනෙක් අත මාලු කපන පිහියක් මෙන් හසුරුවමින් තමන්ට සවන් දෙන්නන්ගේ පූර්ණ අවධානය ඉල්ලා සිටී.

එසේ වුවද 'මහ එකා වගේ හැදීම' පිළිබඳ චෝදනාව නිරතුරුව එල්ලවන්නේ රාහුලටය.

"ඔය විදිහ එයාටත් හොඳයි, අනික් මිනිස්සුන්ටත් හොඳයි."
නිශ්ශබ්දතාවයකි.

Monday, March 21, 2011

පරචිත්ත


පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ උස් අසුන මත පද්මාසනයෙන් වැඩ සිටිති. උන්වහන්සේගේ කය සෘජුය; වියපත් ලකුණක් හෝ වෙහෙසට පත් ලකුණක් හෝ නැති පින්වත් මුහුණ, නිවුණු සිත පිළිබිඹු කරයි; නෙත් පියව ඇත; භාවනාවේ ගැඹුරු අවධියකට පිවිස සිටින උන් වහන්සේ හුස්ම ගන්නා බවක් යන්තමින්වත් නොපෙනෙයි.

සිරිල් මහත්තයා ශාලාව මැද්දට වන්නට ඇති පැදුරක් මත අපහසුවෙන් හිඳගෙන, පඤ්ඤාකිත්ති හාමුදුරුවන්ගේ තේජස දෙස බලා සිටී. හන්දිපත් අමාරුවෙන් පෙළෙන මානෙල් කෙළවරකට වන්නට පුටු කබලක් තබාගෙන නෙත් පියාගෙන සිටින්නීය. ඈ බොරුවට නෙත් පියාගෙන වෙන මොනවා හෝ කල්පනා කරනවා වියයුතුයයි සිරිල් මහත්තයාට සිතෙයි. නොඑසේනම් මේ වනවිට ඇය නිදිකිරා වැටිය යුතුය.
සිරිල් මහත්තයා බණදහමට යොමු වූයේ හෘදයාබාධයක් නිසා හදිසියේ විශ්‍රාම ගැනීමට සිදු වීමෙන් පසුවය. මානෙල් එදා සිටම ඔහු යන එන තැන පස්සෙන් එයි.


සිය පොත්පත් කටයුතුවලට සුදුසු සන්සුන් පරිසරයකින් හෙබි ගමේ පන්සලේ නවාතැන් ගත් පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ වසර විස්සකට මඳක් වැඩි කලක් බටහිර රටක ආරණ්‍යයක වැඩ විසූ පශ්චාත් උපාධිධාරී උගතෙක් වූහ. උන්වහන්සේ හැම ඉරිදාම පැවැත්වූ පැය දෙකක භාවනා වැඩමුළුවට සිරිල් මහත්තයා සහභාගි වන සතරවන දිනය අදය. එසේ වුවද, එකම ඉරියව්වක රැඳවීමට වෑයම් කරන අතපයෙන් නැගෙන වේදනාව හැර වෙනත් කිසිම දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීමට තවමත් ඔහුට නොහැක. අසළින් හිඳ සිටින නාඳුනන රැවුලා වරින් වර නෙත් විවර කර, පැදුරේ නලියන සිරිල් මහත්තයාට රවයි. ඔහු කෙරෙහි තරහ නොඋපදවා සිටීමට සිරිල් මහත්තයා දැඩි වෙහෙසක් දැරුවේ පඤ්ඤාකිත්ති හාමුදුරුවන්ට අනුන්ගේ සිත් දැකීමට හැකියාවක් ඇතැයි පැතිර තිබූ පුවත නිසාය. භාවනා කර ගත නොහැකි තමන්ගේ සිතට වඩා, තමන්ට රවන රැවුලාගේ සිත අපිරිසිදු බව හාමුදුරුවන්ට පෙනේවායි ඔහු පැතීය.


*******************************************************