Wednesday, March 23, 2011

නාඳුනන්නී

"කැමතිනම් මේ සති අන්තෙ ඇවිත් යන්න. මමත් නිවාඩු."

දර්ශනීගෙන් ලද ඇරයුම අනුව මම සිකුරාදා රාත්‍රී දුම්රියෙන් පොළොන්නරුව බලා පිටත් වීමි. මගේ අසුනේ හිඳගත් තරුණ කත වරින් වර මා දෙස බලමින් කතාවකට අර අදින බව දුටු මම නෙත් පියා ගතිමි. වෙහෙසට පත්ව සිටි මට අවශ්‍ය වුයේ නිදාගැනීමටය. එහෙත් ප්‍රවේශපත්‍ර පිරික්සීම සඳහා පරීක්ෂකවරු එනතුරු නිදාගැන්ම අපහසුය. මා වරින් වර ඇස් හැර කවුළුවෙන් එපිට බැලුවේ නින්ද වළකා ගැන්මටය.


"ඔයා සිංහලද?"
"ඔව්."
"මඩකලපුවටම යනවද?"
"නෑ, පොළොන්නරුවට."
"එහෙද ගෙවල්?"
"නෑ."
"නෑයො ඇති එහෙනම්."
"නෑ."
"එහෙද වැඩ කරන්නෙ?"
"නෑ."
"හොඳයි ඔයා මෙතන ඉඳගත්ත එක. මම බයේ හිටියෙ පිරිමි කෙනෙක්වත් ඉඳගනී කියලා."


දීමට දහසක් පිළිතුරු සිතේ නලියෑවද කතාව කෙටියෙන් නවතාගනුවස් මම යන්තමින් සිනාසී නැවත නෙත් පියා ගත්තෙමි. එහෙත් ඉන් පසුබට වූයේ ඈ නොවේ.
"තනියමද යන්නෙ?"
"හ්ම්."
"බය නෑ?"
"නෑ!"
"මමනම් තාත්තයි අම්මයි එක්ක. තාත්තට අසනීප. අර ඉස්සරහ ඉන්නෙ, අර අර.."
"හ්ම්."
"තාත්තට අමාරු වෙනව හිටි ගමන්. මට තේරෙන්නෙ නෑ ඒ වෙලාවට බෙහෙත් දීගන්ඩ. ඒකයි අම්මා එතන ඉන්නෙ. මම කලබල වෙනවා."
"හ්ම්."
සීතල කෙමෙන් වැඩි වෙයි. මම පොරෝණයක් ගෙන හිසේ සිට පොරවාගතිමි.
"කොළඹ මොකද කරන්නෙ?"
"රස්සාවක් කරනවා."
"කොහෙද?"
මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය නිසා මම හොඳින් හැරී ඇය දෙස බැලීමි.
"ඕගොල්ලො මොකටද කොළඹ ගියෙ?"
ඇයව කෝපගැන්වීම මගේ අරමුණ වුවද මා කතාබහට අවතීර්ණ වූවායයි වරදවා වටහාගත් ඇය වඩාත් සුහද බවක් දැක්වූවාය.
"ගෙදර පොඩි ප්‍රශ්නයක්."
"ගෙවල් කොළඹද?"
"නෑ, අපි හිඟුරක්ගොඩ කිට්ටුව."
"දැන් ප්‍රශ්නෙ හරිද?"

"ඒ කිව්වෙ?"
"කොළඹ ආපු ප්‍රශ්නෙ?"
ඇගේ කටහඬ වඩාත් සිහින් විණි.
"අපිට කරදරයක් වෙලා."


ඉන් එහාට ප්‍රශ්න ඇසීම නුසුදුසුයයි සිතුණ හෙයින් මම ඉදිරිය බලා ගතිමි. එහෙත් මා බලාපොරොත්තු නොවූ පරිදි ඇය කතා කරන්නට වූවාය.
"අපේ නංගි නැති වුණා."
මම නැවත ඈ දෙසට හැරුණෙමි. ඈ මෙතෙක් කතා කළේනම් ළඟදී නංගි නැති වූ කෙනෙකු ලෙස නොවේ. ශෝකය පළකිරීම කෘතිම වැඩියයි සිතුණද වෙනත් කිව හැකි දෙයක්ද සිතට නොනැගෙයි.
"ළඟදිද?"
"දැන් සති දෙකයි. කොළඹදිම ආදාහනේ කළේ. තාත්තත් අසනීප වෙලා ඒ ගමන් මහ ඉස්පිරිතාලෙ නවත්තන්ඩ වුණා. අපෙ මාමා කෙනෙක් ඉන්නවා  හෝමාගම. එහෙ හිටියෙ මෙච්චර දවස්. " මගෙන් බුරුලක් ලද නිසාදෝ ඇය කියවාගෙන යයි.
"ආ.." මම නැවත කතාව නවතන්නට වෑයම් කළෙමි.
"නංගි විශ්වවිද්‍යාලෙ හිටියෙ. අපේ ඉස්කෝලෙන් මුළින්ම විශ්වවිද්‍යාලෙට ගියෙ අපෙ නංගි."
"ලෙඩ වෙලා හිටියද?" මම අකමැත්තෙන් ඇසීමි.
"නෑ, නංගි වහ බිව්වා." ඇය රහසින් මෙන් කීවාය.
"වහ බිව්වා?"
"මැරෙන්ඩ හිතාගෙනම නෙවෙයි, මම හිතන්නෙ." ඇය කටහඬ ඇසෙන නෑසෙන ගානට තොල් මැතිරුවාය.  "නංගිට බබෙක් හම්බෙන්ඩ ආවා."
"ආ.."
මම කතාව අවසන් කරන හඬකින් පැවසීමි. 


රහස් කීම හා ඇසීම එතරම් ප්‍රිය උපදවන කාරණයක් නොවේ. විශේෂයෙන්ම නාඳුනන පුද්ගලයන් බලෙන් කියන රහස් ඇසීම වෙහෙසකරය. ඇයද කතාව නැවැත්වීම මට සහනයක් විය. නෙත් පියාගෙන මා කල්පනා කළේ කුමක් නිසා නාඳුනන පිටස්තරයකු වන මට ඇය මේ කාරණය හෙළි කළාද යන්න පිළිබඳවය. වෙහෙස නිසාත්, පහන් නිවා අඳුරු කර තිබූ දුම්රියේ ඒකාකාරී ගමන නිසාත් මම ඉක්මණින්ම නින්දට වැටුණෙමි. යළි මා අවදි වුයේ ගමනේ අවසාන භාගයේදීය. මගේ අසුනේ හිඳි තරුණිය මා අවදි වනතුරු බලා සිටියාක් මෙන් කතා කළාය.
"නින්ද ගියා නේද?"
"ඔව්."
"මටනම් නින්ද ගියෙම නෑ නංගි නැති වුණු දවසෙ ඉඳල. නින්ද ගියත් බය වෙලා ඇහැරෙනවා."
මම කණගාටු මුහුණක් ආරූඪ කරගම්දෝ නොගම්දෝයයි සිතමින් ඇය දෙස බලා සිටියෙමි. මැදිරිය තුළ ඇති කණාමැදිරි ආලෝකය තුළින් ඇගේ මුහුණ යන්තමින් පෙනේ. ඒ වනවිට මා මෙන්ම පොරෝණාවකින් ගත වසාගෙන  සිටි ඇගේ මුහුණ විඩාබර වුවද ප්‍රියමනාපයැයි කිව හැක. දුම්රිය මැදිරියේ උන් සියලු දෙනාම පාහේ නින්දට වැටී සිටි හෙයින් ඈ වඩාත් නිදහසේ කතා කරන්නට වූවාය.
"යන්තම් හරි ඇහැ පියවුණු ගමන් මට නංගිව හීනෙන් පේනවා. නංගි ඇවිත් මගෙන් අහනවා, ඇයි අක්කා මට මෙහෙම වෙන්ඩ ඇරියෙ කියලා."
"හුඟක් අයට ඔහොම තමයි. නැති වුණු අයව හීනෙන් පේනවා ටික දවසක් යනකම්."
"නංගි බබෙක් කියලා දැනගත්තහම අම්මලට හොරෙන් මට කිව්වා. මම නංගිට හොඳටම බැන්නා. හරි නිග්‍රහයක්නෙ ඉතින් ඔහොම දෙයක් ගමට ආරංචි වුණොත්. එයා විශ්වවිද්‍යාලෙට තේරුණු හින්දම ගමේ මිනිස්සු අපි එක්ක තරහයි. ඕක ආරංචි වුණානම් කොහොමද?
මං බනිනකම් ඉඳලා නංගි කිව්වා බබා නැති කරන්ඩ ඉන්නෙ කියලා. ඒ ගමන මම තවත් බැන්නා, ඒ මොන පවුකාරකමක්ද කියලා."
"බැන්දනම් ඉවරයි." යමක් කීමට අවැසි හෙයින් මම කීවෙමි.
"මමත් කිව්වා. ඒ වුණාට ඒ ගෙදරත් ප්‍රශ්නලු. ඒ ළමයට රස්සාවකුත් නැල්ලු. නංගිගෙ ඉගෙනීම එහෙන්. ඉතින් මේක ඊට වඩා ප්‍රශ්නයක්නෙ. මට කතා කරේ බබා නැති කරන්ඩ තැනකට ගෙවන්ඩ සල්ලි ඉල්ලන්ඩ. එහෙම තැනක් හොයාගෙන තිබුණා නංගි."


ඇය නොනවත්වා කියාගෙන ගියාය. මම ඔහේ අසාගෙන සිටියෙමි. ඈ මගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවක්ද නොපෙනිණි.


"මම කිව්වා එහෙම පවු වැඩකට සල්ලි දීලා එයාගෙ කරුමවලට මටත් කර ගහන්ඩ බෑ කියලා. නංගි ඇහුවා එහෙනම් මොකද කරන්ඩ කියන්නෙ කියලා. මං කිව්වා ඒක හිතන්ඩ තිබුණෙ ඔයිට කලින් කියලා."


කීමට දෙයක් සොයා ගත නොහැකි හෙයින් මම නිශ්ශබ්දවම සිටියෙමි. මිනිත්තුවක දෙකක පමණ කාලයක් ඉක්මයන්නට ඇත. දුම්රිය හැල්මේ දුවයන හඬද, නිදා සිටින්නන් ගොරවන හඬද නිසලතාවය බිඳගෙන ඇසේ. ඇගේ තත්වයේ මා සිටියානම් කුමක් කරනු ඇත්දැයි සිතීමට මම වෑයම් කළෙමි. මමද බොහෝවිට නංගීට බැණ වදිනු ඇත. මා නංගීගේ  තත්වයේ සිටියානම් කුමක් කරනු ඇත්දැයි සිතීම පවා උගහටය.

"පස්සෙ නංගි මැලේරියා පෙති බීලා තිබුණා. මම හිතන්නෙ බබා නැතිවෙන්ඩ කියලා හිතලයි බොන්ඩ ඇත්තෙ. ඒක එයාට විස වුණා."
"අපරාදෙ." මම කීවෙමි. අප අතර නැවතත් නිහැඬියාවකි.
"නංගිට හරි විදිහකට ඒක කරගන්ඩ සල්ලි දුන්නනම්, සමහරවිට නංගි තවමත් ඉඳී."  

ඇගේ පසුතැවිල්ල මුසු හඬ නිහැඬියාව බින්දේය. ඇයට සැනසිලි වදන් කීමට ඒ හඬ මා පෙළඹවීය.
"ඉතින් ඒ වෙලාවෙ හැටියට ඔයා කිව්ව දේ වැරදිත් නෑනෙ."
"වැරදි නොවෙන්නෙ කොහොමද?" ඇය කෙළින්ම මගේ නෙත් දෙස බලා දැඩි හඬකින් විමසුවාය. "නංගි කිව්වෙ නංගිට එයාගෙ ජීවිතේ ගැන හරි කියලා පෙනිච්ච දේ. මම තීරණේ දුන්නෙ මගේ ජීවිතේට හරි කියලා පෙනිච්ච විදිහට. නංගිට එවෙලෙ ඕන වෙලා තිබුණෙ අවවාද නෙවෙයි. මම නංගිව මරාගත්තා." 


ඇගේ හඬේ වුයේ මා ඇගේ නංගීව මරාගත් සෙයකි. ඉන් අමනාපයට පත් වූ මම ඉවත බලා ගතිමි.
"මම නංගිව මරාගත්තා." තමන්ටම සෙමෙන් කියාගත් ඇය නැවත කතා නොකළාය.


පොළොන්නරුවෙදී අපි නාඳුනන්නන් සේ දුම්රියෙන් බැස්සෙමු. දර්ශනී මා කැඳවාගෙන යාමට වාහනයක්ද රැගෙන පැමිණ සිටියාය. අපි නාඳුනන්නන් සේම වෙන්ව ගියෙමු.

21 comments:

  1. ලස්සන කතාවක් අක්කෙ........

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මල්ලි. මම හිතුවෙවත් නැහැ මේ බ්ලොග් එක කවුරුත් කියවනව ඇති කියල.

    ReplyDelete
  3. ගූගල් බස් එකක ආධාරයෙන් මාත් කියෙවුවා ඔන්න...
    හොඳ ලිවීමේ රටාවක්..ඒ වගේම සිතිවිලි සමග ගැටීම පෙන්නුම් කරන ස්වභාවයට මම කැමතියි...

    ReplyDelete
  4. අද තමයි බ්ලොග් එක අහු උනේ..... සිරා... දිගටම එන්නම් මේ පැත්තේ....

    ReplyDelete
  5. සිත් ආර ලස්සන නම. නිසසල දියමත ඇඳෙන රූප වගේම ඒ මත පතිතවී පරාවර්ථනය වෙන ආලෝකයෙන් රසබර, හරබර බොහෝ දේ බෙදන්න ශක්තිය ලැබේවා! සුභ පැතුම් නංගී.

    චමිදේවා මල්ලි දුන් මූණුපොත ලින්ක් එක මගින් මෙතැන දැක්කේ, ස්තුතියි මල්ලී.

    ReplyDelete
  6. මාරයාගේ හෝරාව, අභීත, ඩීන් අය්යා
    හැමෝටම බොහොම ස්තුතියි මේ දිරි ගැන්වීමට.

    ඒ වගේම චමීදේවාටත් බොහොම ස්තුතියි.

    මම පුදුම වුණා අද ඩීන් අය්යගෙ පණිවිඩය දැක්කහමත්. ඊට පස්සෙ බලනකොටයි මූණුපොතේ ලින්ක් එක දැක්කෙ.

    ReplyDelete
  7. ලස්සන කතාවක්

    ReplyDelete
  8. @ mali: බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමට.

    ReplyDelete
  9. කෙටි චිත්‍රපටියක් බැලුවා වගේ.
    ශෝකාන්තයක් . . එත්

    අපි මේ සමාජ සම්මතය කියන එක වෙනස් කරන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද නලිනි. .

    ඒ මැරුනු කෙල්ල මනුස්සයෙක්.

    මනුස්සයෙක්ට ආදර හැඟීම් පහලවෙන එක අරුමයක්ද??

    ආදරේ ඉදිරියේ කන්‍යාභාවය කියන්න පුද නොකල හැකි තරම්ම ලොකු වස්තුවක්ද??

    ආදරේ නිසා උපන් ඵලය සමාජය ඇයි බරක් කර ගන්නේ ? ඇයි ඒ අයව කොන් කරන්නේ ගරහන්නේ??

    බටහිර රටවල වගේ ඒක ඒ අයගේ කැමැත්ත කියලා ඒ කෙල්ලට ළමයා හදාගෙන ඉගෙනීම කරගෙන පස්සේ විවාහ වෙන්න පුලුවන් විදිහට අපේ සමාජයේ ආකල්ප වෙනස් වුනා නම් හොඳයි කියල හිතෙන්නේ නැද්ද??

    මම ත් පරන ජෙනජේශන් එකට අයිති මිනිහෙක් ඒත් වෙලාවකට මම මම ගැන සන්තෝසයි හනමිටියට වැඩිය මනුස්සකම කියන දේ මගේ ඉස්මුදුනේ තියෙන එක ගැන

    ReplyDelete
  10. දුක්බර ලස්සන කතාවක්.

    ReplyDelete
  11. කොහොම කෙසේ කුමක් උවත්, දෙයක් උනහම...උනේ කොහොමද කියල වත්, උපදෙස් වරුසාවක් වත් නෙමෙයි උවමනා, තත්ත්වය සාමාන්ය කරගන්නේ කොහොමද කියලයි හැකි උපරිමයෙන්.....නේද?

    ReplyDelete
  12. @ දුකා: මට අපේ සමාජයේ පෙන්නන්නම බැරි ආකල්පයක් තමයි ඕක. පොතේ අත්සන් කරලා ළමයි හැදුවොත් අති උතුම් මාතාව, ගෙදර බුදුන්, බ්ලා බ්ලා. හැබැයි අත්සන් නැතුව ළමයෙක් හැදුවොත් තරු දාලා ලියන්න ඕන නාමපද; එහෙම ළමයෙක් හදාගන්න ඉඩ දෙන්නෙත් නැත්නම් අඩු ගානෙ එයින් මිදෙන විදිහකට ඉඩ තියෙන්න ඕනෙ. ඒකත් නෑ. අත්සන් ගහලා කසාද බැඳිල්ල මේ දශක කීපයකට උඩදි සුද්දො හඳුන්වලා දීපු දෙයක් කියලවත් මතක නැහැ- ඒ ගැන කියන්නෙ අපේ සංස්කෘතිය කියලනෙ.

    සාමාන්‍යයෙන් වැඩිහිටි දෙන්නෙක් පෙම් සබඳතාවයක් පටන් ගන්නෙ අනාගතයෙදි එකට සිල් ගන්න සහ ගෙවල් කුලිය බෙදාගන්න බලාපොරොත්තුවෙන් විතරක්ම නෙවෙයි කියලා ඕන කෙනෙක් දන්නවනෙ. එතනට සීමා මායිම් පනවන්නෙ කොහොමද කියලා මටනම් තේරෙන්නෙ නෑ.

    අනික අපේ රටේ බඳින්නෙ/ යාලු වෙන්නෙ දෙන්නෙක් නෙවෙයිනෙ; පරම්පරා දෙකක්! යාළුවො, අසල්වැසියො, නෑදෑයො හැමෝම හොට දාන්න යනවනෙ.

    මේ ගැන කියවන්න ගත්තොත් සීමාවක් නැහැ. ඔය විකාර සංස්කෘතිය ඔලුව උඩ තියාගෙන ඉන්න මිනිස්සුන්ව මට පෙන්නන්නත් බෑ.

    ReplyDelete
  13. Gimhani: බොහොම ස්තුතියි සොයුරිය ඔබේ අදහස්වලට.

    Heeniyata: ඔව්, අපේ සමාජය පුරුදු වෙලා තියෙන්නෙ මනුස්සයෙක් ඉල්ලන උදව්ව කරන්න නෙවෙයි, උපදෙස් දෙන්න; හරි වැරදි කතා කරන්න. හරියට තමන් අංග සම්පූර්ණයි වගේ.

    ReplyDelete
  14. නලිනි ගේ ඇඩික්ටින් බ්ලොග් එකේ තව පිටු කිහිපයයි ඉතුරු.

    මේ වතාවේ මගේ ප්‍රතිචාරය හුදු දිරිගැන්වීමක් නොවේ. දොස්තර නෝනා කෙනෙක්, කවදා හෝ මීටත් ඉහල තැනක ඉඳං මේ වගේ දේවල් දිහා බලන කෙනෙක්, මට තේරෙන විදිහට අද දරුවන් උපදින තැනක ඉන්න කෙනෙක් හැටියට, මේ කරන්නේ අදහස් ආයෝජනයක්. කවදා හෝ දවසක ඔබට හැකිනම් මේ ගැනත් හිතන්න.

    ගබ්සා ගැන මං මේ සටහන ලිව්වේ වෙනත් බ්ලොග්කාරියක ගේ සටහනකින් හිත රිදිලා. කියවා යම් දිනයක ඕවට කල හැක්කක් කරන්න. බොහොම පින්.

    Adaption instead of Abortion

    ReplyDelete
  15. මේ ප්‍රශ්නෙ හැම පියවරකම පැති කීපයක් තියෙනවා. කතා කරන්න ගියොත් කට්ටිය ගහ මරා ගන්න, හිත රිදව ගන්න ඉඩ තියෙනවා.

    අපේ රටේ වර්තමාන තත්ත්වය: අවිවාහක කෙනෙක් දරුවන් ලැබීම වගේම විවාහක කෙනෙක් දරුවන් නොලැබීමත් සමාජයට මුහුණ දිය නොහැකි වීමට හේතුවක්. (දරුවන් හදන පරමාර්ථ ගැන මම මෙතනදි කතා කරන්නෙ නැහැ. ඒක වෙනමම මාතෘකාවක් නිසා.)

    දරුවන් සිටියත්, තමන්ගෙමද, හදාගත් දරුවෙක්ද කියන එකත් සමාජයේ ප්‍රශ්නයක්. හුඟක් අය දරුවන් හදාගන්නවනම් ඒක අනික් අයගෙන්, විශේෂයෙන් නෑදෑයන්ගෙන් හා 'යාළුවන්'ගෙන් හංගගෙන කරන්න පරිස්සම් වෙනවා. මොකද, හදාගන්න දරුවෙක් ගැන සමාජයෙ ඇති ආකල්පය සහ වෙනස් සැළකිල්ල නිසා. (එහෙම නොවුණනම් මෙච්චර ළමා නිවාසවල දරුවන් ගොඩ ගැහෙන්නෙ නැති වෙයි.)
    ඒ විතරක් නෙවෙයි, වැඩිවිය පත් දරුවන් සිටින කෙනෙක් යළිත් මවක් වීමත් අපේ සමාජයේ ගර්හාවට ලක් වෙන කරුණක්.

    ගබ්සාව ගැනත් එහෙමයි. හොඳ පැත්තත් නරක පැත්තත් තියෙනවා. ස්ත්‍රීදූෂණයක්නම්, මවගෙ යම් සෞඛ්‍ය ගැටළුවක්නම් එතනදි වරදක් කියන්න අමාරුයි. උපදින්න ඉන්න දරුවාගේ යම් සුව කළ නොහැකි රෝගයක් ඇත්නම්, එතනදිත් තව පැත්තක් හිතන්න වෙනවා. අනෙක් කරුණු බොහෝවිට සමාජමය ප්‍රශ්න: ඉහත සඳහන් කළ අවිවාහක මව්වරු, වැඩිවිය පත් දරුවන් ඉන්න අය, ඒත් නැත්නම් වෙනත් පෞද්ගලික ප්‍රශ්න. "එපා" දරුවෙක් හදා ගැනීමට සිදු වීම, ඒ මවගෙත්, උපදින දරුවාගේත් සෞඛ්‍යයට (මානසික, සමාජමය, ආර්ථිකමය පැති ඇතුළුව) බලපානවා.
    නරක පැත්ත, ජීවිත හානිය- මවගෙත් දරුවගෙත්; මවට ඉන් ඇති වෙන මානසික පීඩාව සහ වෙනත් සෞඛ්‍යමය ගැටළු.

    සාම්ප්‍රදායික පිළිතුර: "ඕවා හිතන්න තිබුණෙ කලින්." නමුත් අපේ රටේ නිවැරදි ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනයක් නැහැ.

    බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට.

    ReplyDelete
  16. නලිනි;

    සර්ව සාධාරණ ව හිතුවොත් අවිවාහක මවුන්, දරුවන් නොමැත්තන් එක සේ සලකන්න සමාජය පුරුදු විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය මතවාදී වෙනස කරන එක අපේ එක වගකීමක්. ඒත් පරමාදර්ශී සමාජයක් හැදීම මගේ සිහිනයක් නොවේ. සර්ව සාධාරණ උත්තරේ එනකම් බලා ඉන්නවට වඩා තාවකාලික විසඳුම් වලින් තත්වය යහපත් කිරීමට උත්සාහ කිරීම වැදගත්.

    ඒකයි මේ අදහස මට හිතුනේ. නෛතික රාමු බින්දට මේක සිදු විය යුත්තේ රහසිගතවයි. ඒ වගේම ජිව විද්‍යාත්මක දෙමාපියන්, රක බලා ගන්නා දෙමාපියන් හා දරුවා යන සියලු පාර්ශ්ව වල මානසික පැතිකඩවල් නොපෙනවා නොවේ. ඒ විතරක් නොවේ, මුලින් දරුකමට අරන් පස්සේ වැඩකාරකමට ගන්න එක, දරුවන් යොදා කරන ව්‍යාපාර, අවයව වෙළඳාම වගේ භයානක පැතිකඩවල් තියෙනවා මේ වැඩේ. විධිමත් යාන්ත්‍රණයක් ඕනේ රහස්‍යභාවය රැක ගෙන නිසි පරිදි මොනිටර් කරන්න.

    හැබැයි ගබ්සා [වෛද්‍ය හේතු මත නොවන ඒවා පමණි] ළදරු ඝාතන, මග දමා යාම් සිදුවෙන තරමට මා කියන දේ කලොත් ඊට වඩා ඕවරෝල් හානිය අඩු කර ගන්න පුළුවන්. කවද හෝ ඔබ කියන මතවාදී වෙනස එන තුරු.

    දෙවැන්න උපත් පාලනය. මේ කියන ජෝඩුවට කොන්ඩම් එකක් ගන්න සල්ලි නැද්ද? ඔබේ සිතති නෝනා කතාවේ නම නුගත් කම කිව්වැකි. අපේ රටේ කොන්ඩම් වෙන්ඩින් මැෂින් හයි කරන්න අවශ්‍ය මතවාදී වෙනස වෙලා තියෙන්නේ. කැම්පස් වල සමර් හට් කඩන්නේ නැතුව එව්වා ටිකක් හයි කර ගත්ත නම හෙල්ත් සෙන්ටර් එකෙයි එළියේ හොර වෙද්දුන්ගෙයි කෙල්ලෝ පෝලිම අඩු වෙයි. මේ කැම්පස් සමාජය උපත් පාලනය ගැන දන්නේ නැහැ කියන එක විහිළුවක්. මට හිතෙන්නේ කොල්ලගේ නොසැලකිලිමත්කම හා කෙල්ලගේ බුරුකම. ඒ පදනමින් මා මේ කෙල්ල ගැන 100 % සානුකම්පිත විදිහට බලන්නේ නැහැ.

    ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ මිට පහළ ස්ථරයේ. උපත් පාලනය නොදන්නා හා ඒ පහසුකම් ලෙහෙසියෙන් ගන්න බැරි අය. කලාපේ කෙල්ලන්, පාසල් කොල්ලන්/කෙල්ලන් වගේ. මේවා ගැන මැදිහත් වීමක් අවශ්‍යයි.

    අදත් පොඩි එකෙක් ටොයිලට් වලක දාලා තිබ්බා. ඔය කතාව අරන් බැලුවත් ඉන්නේ වික්ටීම් ලා ගොඩක් විතරයි.

    ReplyDelete
  17. ලස්සනට ලියලා තියනවා .........
    කමෙන්ට්ස් කියවන්න වෙලා මදි, මම දැන් ගෙදර යන්න ඕන ....
    පස්සෙ කියවලා ඒ ගැනත් අදහසක් දාන්නම් .....

    ReplyDelete
  18. @ Sujeewa,

    ඇත්ත, කතාවේ සඳහන් ගැබ්ගත් තරුණිය හෝ ඇයගේ සහකරු හෝ 100% නිවැරදියයි මම කියන්නෙ නැහැ. එවන් අවස්ථාවක් වළකා ගැන්මට ඔවුන්ට අවශ්‍ය තරම් දැණුම, අවස්ථාව, හැකියාව තිබුණා. ගබ්සාවක් කර නොගෙන විවාහ වන්නටත් අවස්ථාව තිබුණා- දෙදෙනාම වැඩිහිටියන් නිසා.
    මෙතනදි කතා කරන්නට ඕනෙ වුණේ අවිවාහකව ගැබ් ගැනීම, ගබ්සාව යන කරුණු ගැන සමාජයේ එක් කොටසක් හිතන ආකාරය. කතාවේ "මම" යනුවෙන් හඳුන්වන තරුණියට මියගිය තරුණිය නාඳුනන්නියක්. ඒ නිසා ඇයගෙ ආකල්පවල වෙනසක් වෙලා නැහැ සිද්ධිය දැනගත් පසුවත්. සොහොයුරියගෙ ආකල්ප ඇයට විරුද්ධව පිකටිං කරනවා.

    බොහොම ස්තුතියි ඔබගෙ අදහස්වලට. මේ විෂයය ගැන හොඳ ආකල්ප රැසක් ඔබ බෙදාගන්නවා.

    ReplyDelete
  19. පැත්තක ඉඳන් හොඳ නරක කියන්න හරිම පහසුයි. ඒ එක එක කෙනා පත් වූ තත්වයේ තමුන් ඉඳගෙන හිතුවොත් කොහොමද ? ඊට වැඩ හොඳ දෙයක් තමුන් කරාවිද ? මොනවා උනත් අපේ සමාජයේ අන්තිමට ගැහැණිය මත සියල්ල පැටවීම නම් අප්‍රසන්න කොටසක්..

    ReplyDelete
  20. @ සරත් ලංකාප්‍රිය: තමන්ටම වෙනකම් වැඩි දෙනෙකුට තේරෙන්නෙ නැහැ. අනික ඔය වගේ සිද්ධිවලදි පිරිමියාට දොස් පවරන අය බොහොම හිඟයි අපේ රටේ. ඇත්තටම හරිම අප්‍රසන්න තත්ත්වයක්.

    ReplyDelete
  21. මිනිස්සුන්ගෙ ඇතුලයි වැදගත්ම දෙ. එතන තමයි හැමදෙම ඉපදෙන්නෙ. මිනිස්සුන්ගෙ ලිංගික අවශ්‍යතා අතිශය වැදගත්. නමුත් එ අවශ්‍යතා පිරිමහගද්දි. එ පාර්ෂවයන්ට අවශ්‍ය කරන ආරක්ශාව,රැකවරණය,සන්තොශය ලබාදෙන එක නියම ගතියක්. සංස්කෘතියටවත්, ආගමට වත් බනින්න එපා. වරදෙ බැඳුනු ස්ත්‍රියකට නිඟා කරන්න කියලා කොහෙවත් නැහැ. මම හැමදාමත් කියන්නා වගෙ අරක්කු නරක නැහැ.. අරක්කු බොන මිනිහයි නරක..:D

    ReplyDelete