Sunday, March 13, 2011

පොතක් නිසා


ප්‍රදර්ශන ශාලාවේ කෙළවරට වන්නට වූ කුටියෙහි පොත් අලෙවියෙහි යෙදී සිටියේ ප්‍රියමනාප පෙනුමැති තරුණියන් දෙදෙනෙකි. දින ගණනාවක් පුරා දෝරෙ ගැලූ ඔවුන්ගේ සුහද සිනහවන් තව අවසන් නැති සෙයකි. ඇතැම් ගනුදෙනුකරුවෙකු සමග ඔවුහු වදනක් දෙකක් වැඩිපුර දොඩති; සිය සාප්පුව පිහිටා ඇති ස්ථානය දැක්වෙන කුඩා පතක් පොත් තුළ රුවති. උරයක බහා දෙනු ලබන පොත් මිටිය ගනුදෙනුකරු විසින් හරිහැටි අල්ලාගන්නාතුරු ඔවුහු එක් අතක් යටින්ද, අනෙක් අතින් පටියද අල්ලාගෙන එහි බර දරති. ඇතැම් තරුණ ගනුදෙනුකරුවකුගේ අත වැරදීමකින් පොත් උරයත් සමග තරුණියකගේ ඇඟිලිද අල්ලාගනී. 

ඔවුනට පියවර කිහිපයක් ඈතින් වූ මේසයක් පිටුපස මැදිවියෙහි කාන්තාවක් වාඩිගෙන සිටී. තාරුණ්‍යය වියැකී නැති ඇගේ මුහුණේද අර තරුණියන්ගේ සිනහවම රැඳී ඇත. මේසය මත පොත් රාශියකි. මේ පොත් පෙරළා බලන තලතුනා ගනුදෙනුකරුවන් සමග ඇය සාහිත්‍යය, කියවීමේ පුරුද්ද, ගත්කතුවරුන්, පොත් ව්‍යාපාරය ආදී විවිධ කරුණු සාකච්ඡා කරන්නීය. හිස සළන ගනුදෙනුකරුවෝ ඇයට එකඟ වෙති; නොයෙකුත් ප්‍රශ්න නගති; මේසය මත ඇති පොත්වලින් එකක් හෝ දෙකක් තෝරාගෙන ඇයට සිනහවකින් සංග්‍රහ කරති.


සාමාන්‍ය ප්‍රමාණයේ පොතක් අතැතිව මේ කුටියට පිවිසි තරුණයා, පෙණුම අනුව සරසවි සිසුවකුයයි අනුමාන කළ හැක.
තරුණියන් සහ ඔවුන් අසල රොක් වී සිටි ගනුදෙනුකරුවන් දෙස තත්පර කිහිපයක් බලා සිටි ඔහු, රාක්කවල අසුරා ඇති පොත් පිරික්සන්නට විය. ඇතැම් පොතක් අතට ගෙන පිටු පෙරළා බලන ඔහු එය ආපසු තබයි. අවසන ඔහු පොතක් තෝරා ගන්නාවිට කුටිය ගනුදෙනුකරුවන්ගෙන් හිස් වෙමින් තිබිණි. තරුණියන් ඉදිරියේ වූ මේසයට තරමක් බර වූ ඔහු අහිංසක සිනහවකින් ඔවුන්ට සංග්‍රහ කළේය.


"මෙතන සෙනග පිරිලා හින්දා මම කෙළින්ම පොත් තෝරන්න ගියා." ඔහු තෝරාගත් පොත මේසය මත තැබීය. අනතුරුව ඔහු සාප්පුවට රැගෙන ආ පොත දකුණත පැත්තට වන්නට සිටි තරුණියට දිගු කළේය. "මෙන්න මේක වෙනුවට මාරු කරගන්න."
තරුණිය පොත අතට ගත්තාය.
"ඇයි, මේක හොඳ නැද්ද?" ඇය සුහදව අසමින් පොතේ පිටු පෙරළා බැලුවාය.
"ම්ම්ම්. ඉස්සෙල්ලා හොඳයි කියලා හිතුණු හින්දයි ගත්තෙ. පස්සෙ මාරු කරන්න හිතුණා."
"ප්‍රශ්නයක් නැහැ. දෙන්නකො රිසිට් එක."

තරුණයා කමිස සාක්කුවට අත යැවීය. එහි වූ හතරට නැවූ කොළ කැබැල්ල රිසිට් පත නොවීය. එය නැවත සාක්කුව තුල රුවාගත් ඔහු කලිසම් සාක්කු පිරික්සන්නට විය. ඉදිරිපස සාක්කු තුළ වූයේ කොටු කොටු ලේන්සුවක් පමණකි. පිටුපස සාක්කුවෙන් දෙකට නැවූ හම් පසුම්බිය එළියට ඇදගත් ඔහු එතුළ පිරික්සා බැලීය.
රිසිට්පත නැත.

"හරි වැඩේනෙ." තරුණයා අසරණව තරුණියන් දෙස බැලීය. "රිසිට් එක නෑ."
"නැති වෙන්න බෑනෙ." තරුණියෝ මුහුණෙන් මුහුණ බැලූහ.
"රිසිට් එකක් දුන්නෙ නැද්ද දන්නෙ නෑ."
"නෑ නෑ අපි එහෙම පොත් දෙන්නෙ නෑ. සමහරවිට පොත දාලා දුන්නු මල්ලෙ ඇති. ඒක විසි කළාද?"
"නැහැ; මේකයි. මම ආවෙ කට්ටියක් එක්ක. අපි පොත් ගත්තෙ එකට. පස්සෙ එළියට ගිහින් පොත් බෙදා ගත්තා. මල්ල වැඩියෙන් පොත් ගත්තු එක්කෙනා අතේ."
"ඉතින් මොකද කරන්නෙ?" තරුණියන් පත්වූයේ අනපේක්ෂිත තත්ත්වයකටය. "රිසිට් එක නැතුව මාරු කරන්න බෑනෙ."
"මොකද කරන්නෙ?" තරුණයා පොත් අතගාමින් තරුණියන් දෙස මාරුවෙන් මාරුවට බැලීය.
"යාලුවව හොයාගෙන එන්න. අපි පොත අරන් තියන්නම්." තරුණයා කෙරෙහි අනුකම්පාව ඉපිදවූ තරුණියක් කීවාය.
"ඒගොල්ලො ගියා. පොත මාරු කරගන්න ඕනෙ හින්දා මං ආපහු ආවා."
"හරි වැඩේ තමයි." එක් තරුණියක් මැදිවියේ කාන්තාව දෙසට හැරුණාය. "අම්මේ, පොඩ්ඩකට එන්නකො."

තරුණයා තමන් ගෙනා පොත නැවත අතට ගත්තේය. තරුණියෝ සිද්ධිය මවට පැහැදිලි කළහ.
"යාලුවන්ට කතා කරන්න බැරිද?" ඇය විමසුවේ තරුණයාගේ ඉඟෙහි එල්ලෙන දුරකථනය දෙස බලමිනි. "ගේට්ටුව ළඟට ඇවිත් රිසිට් එක දීලා යන්න කියන්න."
"බලමු." තරුණයා දුරකථනය ගෙන යම් අංකයක් යොදා ඇමතුමක් ගත්තේය. එයට බොහෝ වේලා සවන් දුන් ඔහු බලාපොරොත්තු කඩවූ මුහුණින් යුතුව ආපසු දුරකථනය පටියෙහි එල්ලා ගත්තේය.
"උත්තරයක් නෑ. බස් එකේ වෙන්නැති. සද්දෙට ඇහෙන්නෑනෙ."
"හරි වැඩේ තමයි." කාන්තාව අනුකම්පා සහගතව පැවසුවාය. "ඒත් අපෙන් ගත්ත එකක්ද කියලවත් අපි දන්නෙ නෑනෙ රිසිට් එක නැතුව. ඕනෙනම් අපිට පොත අරන් තියන්න පුලුවන් හෙට ඔයාට ඇවිත් මාරු කරගන්න."
"අපි කුරුණෑගල." තරුණයා වෙලාව බලමින් පැවසීය. "හෙට එන්නනම් බැරිවෙයි. ඕගොල්ලො මොකක් හරි සළකුණක් දාලා ඇතිනෙ පොත්වල."

දිගු අත් සහිත ලා පැහැ කමිසයක් හැඳි, උස මහත පුද්ගලයෙක් කුටියට ඇතුළු වූයේ මේ මොහොතේය.
"පොඩි ප්‍රශ්නයක්." කාන්තාව ඔහුට ගැටළුව කීවාය. උස මහත පුද්ගලයා තරුණයාගේ හිස සිට දෙපතුළ දක්වා විමසිලි සහගතව බැලීය.
"රිසිට් එකක් නැතුව ඔයා කොහොමද පොත ගෙනියන්නෙ එළියට?" ඔහු සිය දුරකථනය අතට ගෙන අංක යොදමින් විමසීය.
"ඔය ජාතියෙ අය තුන් හතරදෙනෙක්වත් එනවා හැම අවුරුද්දෙම. බොහොම කණගාටුයි පුතා. ඔයා පොලිසියත් එක්ක විසඳ ගන්න ඔය ප්‍රශ්නෙ."
"මම හොරෙක් නෙවෙයි." තරුණයා පොත මේසය මත තැබීය. "මාව විශ්වාස නැත්නම් මෙන්න පොත."
ඔහු කුටියෙන් ඉවත් වීමට සැරසුණි.
"කොහෙවත් යන්න එපා." උස මහත පුද්ගලයා ඔහු වළකාලමින් පැවසීය. සිද්ධිය සවන් වැකුණු අසල්වැසි කුටි හිමියන් කිහිපදෙනෙකුත් මේ වනවිට සාප්පුව ඉදිරියට රොක් වී තරුණයාගේ මග අවහිර කළහ.
"පොත තියාගන්න. මම හොරෙක් නෙවෙයි." තරුණයා යළිත් පැවසීය.
"ඔයා වැරැද්දක් කරලා නැත්නම් බය වෙන්න දෙයක් නෑනෙ පුතා." උස මහත පුද්ගලයා අනතුරුව සිය ප්‍රේක්ෂකයන් ඇමතුවේ තරුණයාගෙන් ඇස් ඉවතට නොගනිමිනි. 
"එක තැනකින් කොහොම හරි පොතක් පන්න ගන්නවා; ඒත් රිසිට් එකක් නැතුව ගේට්ටුවෙන් එළියට ගෙනියන්න බැරි හින්දා මේ වගෙ තැනකට එනවා අපිව රවට්ටලා රිසිට් එකක් ගන්න. මේවට අනුකම්පා කරලා බෑ. හැමදාම සිද්ද වෙන වැඩක්."
තරුණයා වෙවුලමින් බිම බලාගෙන සිටී. තරුණියන් දෙදෙනා පිළිකුලෙන් ඔහු දෙස බලති. ඔවුන්ගේ සිනහව වියැකී ගොසිනි.

"හොරා!"

9 comments:

  1. හනේ හපොයි....ඇත්තටම "හොරා" නෙමෙයිනම්.........

    ReplyDelete
  2. මේ ලියන ස්ටයිල් එක නම් හරිම අපූරුයි . .
    කිසිම වෙහෙසක් නැතුව එක දිගට කියවගෙන යන්න පුලුවන් . . .
    ඒ වගේම ලිපියෙන් අපිට දෙන්න උත්සාහ කරන පනිවිඩය තේරුම් ගන්නත් අමාරු නෑ . .
    ජය

    දුකා

    ReplyDelete
  3. @ Heeniyata සහ දුකා : මේ ලිව්වෙ ඇත්තටම වරක් ප්‍රදර්ශනයකදි මට ඇසුණු සිද්ධියක්. මම පොත් තෝර තෝර හිටි කුටියෙ රාක්කෙට එහායින් මට ඇසුණු දෙබසක්. මටත් හිතුණෙ ඒ මනුස්සයා හොරෙක් නෙවෙයි වෙන්නැති කියලා. හොරෙක් වුණත් පව්. එක පොතක් අරන් ගිහින් කියවලා, තව පොතක් අර ගන්න ආව, මුදල් නැති නමුත් කියවීමට ප්‍රිය කෙනෙක්ද දන්නෙ නැහැ.
    දෙන්නටම බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. එක මකුනෙක් කෑවම මකුනෝ ඔක්කෝම මරන්න වෙන එකට වෙන විසඳුමක් නෑ නේද??

    ReplyDelete
  5. අපි එහෙම කිව්වට මේ පොත් ගහන කට්ටිය කරන්නේ සේවාවක් නොවේ ව්‍යාපාරයක් නේ. උනුත් පාන් බනිස් හාල් එළවලු ගන්න එපයි.

    දුකා කිව්වා වගේ එක මකුනෙක් කාපු ගමන් පළාතටම උණුවතුර ප්‍රහාරයක් තමයි දෙන්න වෙන්නේ.

    තව දෙයක්.

    ලංකාවෙන් එලියට ගිය වතාවක [ලාබාල වයසකදී] මං දැක්කා ඒ මිනිසුන් පාරිබෝගිකයාව කොච්චර විශ්වාස කරනවද කියලා. කට වචනයට ඕනෑම දෙයක් කරනවා. මගේ හිටරේ කැඩිලා සිත කාලේ සල්ලිත් නැතුව ඉන්න කොට මට පුළුවන් උනා අවුරුද්දක් විතර පරණ මේ හිටරය රිසිට් එකත් නැතුව අලුත් එකකට මාරු කරන්න.

    මං කලේ වැරැද්දක්‌. මගේ හිතට වැදුනේ ඩිස්කවුන්ට් එකක් තිබ්බා කියලා මට සල්ලිත් ටිකක් රිෆන්ඩ් කල විටයි. ඊට පස්සේ මං ආයෙත් ඒ වැරැද්ද කලේ නැහැ. අපි එහෙම කරන්න ගත්තොත් ඒ රටෙත් පාරිබෝගිකයාට තිබ්බ තැන නැති වෙනවා. ලංකාවේ ව්‍යාපාරිකයින් මස් කඩ කාරයින් වගේ හැසිරෙන්නේ අපේ මිනිසුන් කරන පොඩි පොඩි වංචා නිසයි.

    ReplyDelete
  6. @ දුකා, Sujeewa,

    පොත් වෙළෙන්දන්ගෙ පැත්තෙන් බැලුවහම ඒකට වැරැද්දක් කියන්න බැහැ. ඔවුන්ට ඕක ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. එක මකුණෙක් කෑවම සේරම මකුණෝ වඳ නොකර බැහැ. විශේෂයෙන්ම අර කිව්වත් වගේ අපේ සමාජයෙ හොර බොරු වංචාවල් ඉතාම වැඩි නිසා.

    ReplyDelete
  7. සමහරවිට ඒ තරුණය ජීවත්වෙන්න්න හොයාගෙන තිබුන මාර්ගය වෙන්නපුළුවන්.. අවංක මිනිහ සහ හොර වෙන් කර අඳුනගන්න බැරි තරමට හොරකම දියුණු වෙලා

    ReplyDelete
  8. @ සරත් ලංකාප්‍රිය: මටත් හිතා ගන්න බැහැ කොයි වගේ කෙනෙක්ද කියලා. හොරෙක්ම වුණත්... අනේ මන්දා.

    ReplyDelete