Thursday, March 10, 2011

පුතේ, මිය යන් විගසින්

පුතේ, මිය යන් විගසින්.

බලාපොරොත්තුව දෑස දල්වා
බලා සිටි මුත් මෙතෙක් කල්
දින, සති, මාස ගෙවුණාම මිස
ගෙවුණු වගක් නොපෙනේ
නුඹේ හෝ මගේ කරුමය.

රෝහලේ රළු පොළොව
ඉවසිය හැකිය මට;
නිදි නැති දෙපයෙන් නැගෙන
වේදනා ඉවසිය හැකිය;
ලැබෙන නොලැබෙන අහරින්
දැවෙන කුස  ඉවසිය හැකිය;
පොදු වැසිකිළිය තුළ සැඟව සිටිනා
නොහොබිනා මිනිසුන් ඉවසිය හැකිය.
එනමුත්..

සුළු පියා හා තනි වුණු
පීදෙන සමන් කැකුළු වන්
නුඹෙත් ලෙය ඇති අක්කලා වෙනුවෙන්
නැගෙන ගින්දර නොදැරිය හැකි හෙයින්

මිය යන් පුතුනි,
විගසින්.

7 comments:

  1. විස්වාස කරනවද මේ කවි ටික කියෙව්වාම මගේ ඇස් දෙක තෙත් වුනා . . .
    මහා පොලොව වගේ දුක් උහුලන අම්මලා . . .
    දුකා

    ReplyDelete
  2. මේ අම්මා හමු වුණේ හෘද රෝගයකින් පෙළෙන සිය දෙවන කසාදයෙ දරුවා සමග රෝහලේ සිටියදී. දරුවාගේ රෝගය බරපතලයි; ඒ වනවිටත් මාස හතරකට වඩා රෝහලේ. දුර පළාතක වෙසෙන පවුලෙන් කිසිවෙක් ඔවුන් බැලීමට රෝහලට එන්නෙත් නෑ- ඒමට හැකියාවක් ඇත්තෙත් නෑ. මුල් කසාදෙන් ලැබුණු යෞවන දියණියන් සිවු දෙනෙක් ගෙදර සුළුපියා සමග.
    සමාජයක් හැටියට අපට ඒ අයට දෙන්නට විසඳුමක් නැහැ.

    ReplyDelete
  3. ඇත්ත නලිනි ඒත් ඒ අම්මගේ දුක සැබෑලෙසට හඳුනාගෙන වචන වලටම පෙරලපු එකත් සමාජයේ එක් අඳුරු පැතිකඩක් මේ විදිහට විවර කරපු එකත් කොයි තරම් ලොකු දෙයක්ද ??

    ReplyDelete
  4. යක්ෂයා සහ මුහුද දෙකින් එකක් තෝරාගැනීමේ වරය තමයි ගැහැණු දරුවන් දෙන්නක් සමග තනිවන මවකට ලැබෙන්නේ.. .ආර්ථිකය යක්ෂයෙක්.. දෙවෙනි මිනිහා රුදුරු මුහුදක්ද නැත්නම් පිපාසයට දිය දෙන ලිඳක්ද කියන එක දැන ගන්නේ කොහොමද ?

    ReplyDelete
  5. @ සරත් ලංකාප්‍රිය: ජීවිතය එක්තරා විදිහක සූදුවක් කියලා හිතෙන්නෙ එතකොට තමයි.

    ReplyDelete
  6. රැස්කොල් නිකොවූ සෝනියා ඉස්සරහ දනගහනවා... මම මේ දනගහන්නේ උඹට නෙවෙයි උඹේ ඇතුලේ හිරවෙලා දුක් විඳින ආත්මයටයි ..

    ReplyDelete
  7. අතෙකින් නුඹගෙ පණ නල..
    අනෙකින් උන්ගෙ ජීවිත..
    දෙකකින් එකක් ගිලිහී..
    යායුතු වේය නුදුරෙම...

    ReplyDelete