ත්‍රස්ත ඒජන්තයින්ගේ...
යුද අවි ව්‍යාපාරිකයන්ගේ...
යුද්ධය විකුණාගෙන කෑ දේශපාලකයන්ගේ...
ඇයි, රාජ්‍ය නොවන සංවිධානවල?
.....
ඔබ කියනු ඇත.
**************
ලියකියවිලි කටයුත්තක් පිණිස මම පැරණි සේවා ස්ථානයට ගියෙමි. වැඩක් නැතිව සිටි ජයන්තා මා අසළට පැමිණ තොරතුරු විමසන්නට වූවාය.
"එහෙ ඉන්නවා මගෙ යාළුවෙක්- නිර්මලා."
"ආ, ඔව්. ඉන්නවා."
"කොහොමද එයා?"
'මළා වගේ තමයි' යයි කීමට සිත් වුවද ජයන්තාට විහිළු නොතේරෙන හෙයින් මම ලිස්සන සුළු පිළිතුරක් දුනිමි.
"තාම මං එච්චර විස්තර දන්නෙ නෑ කට්ටිය ගැන. ගිය ගමන්නෙ."
"නිර්මලා මගෙ ඉස්කෝලෙ කාලෙ ඉඳලම යාළුවෙක්. හරි හොඳයි..."
නිර්මලා හොඳ කෙනෙකු ලෙස මගේ සිතේ සටහන්ව නොතිබුණු නිසාත්, මගේ නිර්ණායකවලට අනුව නරක කෙනෙකු වූ ජයන්තාගේ යෙහෙළියක හොඳ විය නොහැකියයි සිතූ නිසාත්, මම ඊට පිළිතුරක් නොදී සිනාවක් පෑවෙමි.
"පව් ඉතින්.."
"ඇයි පව් කියන්නෙ?"
"ඇයි ඉතින්, බැඳලා මාස දෙකයි මහත්තයා නැතිවෙනකොට."
"ආනේ, එයාගෙ මහත්තයා නැති වෙලාද? මම දැනං හිටියෙ නෑ."
එකවරම නිර්මලා පිළිබඳව මගේ සිතෙහි ඇඳී තිබුණු පින්තූරය පැහැදිලි කිරීමට ඒ වදන් සමත් විය. නිර්මලා ජීවත් වූයේ අපට ඕනෑවට මෙනි; සිනාසෙන්නේ කලාතුරකිනි; ඒද යන්තම් තොල් දෙකෙළවරිනි; කතා කරන්නේ නැවතිල්ලේ කෙඳිරි ගාමිනි; ඇඳුම පැලඳුම පිරිසිදු වුවද අලංකාරයක් නැත.
ජයන්තා විස්තර කරන්නට වූවාය:
"දැං ගොඩක් කල්... අවුරුදු දාහතරක් විතර මයෙ හිතේ. වෙඩිං එකෙන් පස්සෙ ගියා, ආයෙ ආවෙ නෑ. "
"ඒ කිව්වෙ?"
"හමුදාවෙනෙ. අර කොටි අල්ලං ගියෙ කට්ටියක්ව... කොහෙදිද... මේ....මට මතක නෑ දැං..."
"ඔව්, උං ලේ ගන්ඩ අරං යනවලුනෙ."
"ගෙවල්වලිං කැමති වුණෙත් නෑ. ඉඳල ඉඳල, වයසත් ගිහිං, අන්තිමට තනි කැමැත්තට වගේ බැන්දෙ. ඔන්න වෙච්ච දේ!"
"පව්."
***************
නිර්මලා ගැන අනුකම්පාවක් වැනි හැඟීමක් ඇති වූ හෙයින්, ඉන්පසු ඇගේ වැරදි නොදැක හොඳ ග්‍රහණය කර ගැනීමට මම පෙළඹුනෙමි.
බෙහෙවින් කාර්යබහුල දිනෙක, එතරම් වැදගත් නොවන යම් ලියවිල්ලකට මගේ අත්සන බලාපොරොත්තුවෙන් ඈ බලා සිටියාය.
"ඔහොම ඒවට ඔන්නොහෙ හොර අත්සනක් ගහලා යවන්ඩ." යයි මම කීවෙමි.
"අනේ, එහෙම හරි නෑනෙ." ඈ කෝල සිනාවක් පා කීවාය.
'ආයතන සංග්‍රහයට අනුව ජීවත් වෙන කෙනෙක්' යන අපහාසාත්මක සිතුවිල්ල වෙනුවට 'ඇය ඉතා විනයගරුක කෙනෙකැ'යි යන සිතුවිල්ල මතුළ ඇති විය.
කණිටු සේවිකාවකගේ නිවාඩුවක් ප්‍රධානියා විසින් දැඩිව ප්‍රතික්ෂේප කර තිබූ මොහොතක ඇය ප්‍රශ්නය නිර්මලාට යොමු කළේ ප්‍රධානියාට හොරෙනි.
"නිවාඩු ඕනනම් කලින් ඉල්ලන්ඩ තිබුණනෙ. අද හවසට කිව්වහම හරි යනවද හෙට උදේ එන්ඩ බෑ කියලා?"
සේවිකාව ඇඹරුණාය.
"වගකීම!" නිර්මලා අකුරෙන් අකුර බර කර කීවාය.
"එන්ඩම විදිහක් නෑ, ඒකයි. ඕනෙනම් හවසක් කරන්නම්."
"දැන් කීයද වෙලාව? ඔයාට මේ වෙලාවට කතා කරල කිව්වොත් හෙට උදේට එන්ඩ කියලා, එන්ඩ පුළුවන්ද?"
"හෙට මට කරගන්ඩම දෙයක් නෑ, ඒකයි."
"හ්ම්, මම මොකක් හරි කරන්ඩ බලන්නම්කො. හැබැයි පුතෝ මාව අල්ලලා දෙනවා එහෙම නෙවෙයි. ඔය කරපු වැඩේ වැරදියි කියලා මතක තියාගන්ඩ, කට්ටිය මදි වෙලා ඉන්න වෙලාවෙ."
අනතුරුව දස අතේ දුරකථන ඇමතුම් දී අඩුපාඩුව පියවා ගැනීමට නිර්මලා සමත් වුණාය.
ඇය 'ප්‍රධානියාගේ නියෝගයට ඉහළින් යන අයෙකු' නොව, 'හැම පැත්තක් ගැනම සිතා සාධාරන තීරණ ගන්නා අයෙකු' බව මම සිතුවෙමි.
උපකරණයකට යෙදිය යුතු කඩදාසි වර්ගය වෙනුවට මිළ තරමක් වැඩි වෙනත් කඩදාසි වර්ගයක් යොදා තිබෙනු දුටු දිනෙක නිර්මලා කෝප වූවාය. සියලුම ලියකියවිලි පිරික්සමින්, එම කඩදාසි රෝල මාරු කළේ කීයටද, කා විසින්ද යන්න සොයා බැලූ ඇය අදාල තැනැත්තාට මෙන්ම, එම කඩදාසි භාවිතා කළ සැමටද බැණ වැදුණාය.
ඇය 'පොඩි දෙයටත් කෑ ගසන අයකු' නොව, 'සකසුරුවම්කම පුහුණු කළ අයකු' ලෙස මම සිතුවෙමි.
යන්ත්‍රයක් ක්‍රියාවිරහිතව තිබූ දිනෙක 'පොත ලියා' බලා සිටිනු වෙනුවට නිර්මලා අදාල යාන්ත්‍රික සේවකයාගේ පමාව පිළිබඳව ඔහුගේ ප්‍රධානියාට පැමිණිලි කළාය; බැණ බැණ පැමිණි සේවකයා යන්ත්‍රය අලුත්වැඩියා කරනතුරු ළඟට වී දේපොළ පරිස්සම් කළාය; අනතුරුව නැවත වරක් ප්‍රශ්නය අවහොත් කළ යුත්තේ කුමක්දයි ඔහුගෙන්ම අසාගෙන, එය කොළයක ලියා යන්ත්‍රයෙහි එල්ලුවාය.
ඇය 'ඇණයක්' නොව 'විශ්වාසයෙන් වගකීමක් භාර දිය හැකි කෙනෙකැ'යි මම සිතුවෙමි.
වෙහෙසට පත්ව සිටි දිනෙක තේ කෝප්පයක් ළඟටම ගෙනවුත් දුන් ඈ 'එක දා ගන්නියක' නොව, 'සුහදශීලී කෙනෙකැ'යි මම සිතුවෙමි.
මගේ සෝඩා බෝතල් අනුකම්පාවේ පෙණ බුබුළු නැවතෙනවිට 'ඇය ආයතනයක සිටිය යුතුම කෙනෙකැ'යි මා තීරණය කර තිබුණි.
******************
නිර්මලා කකුල කඩා ගත්තාය.
ඇය බසයෙන් බසිනවිටම එය අද්දා ඇත. සැත්කමකට ලක් වී සති දෙකක් රෝහලේ ඇඳ මත ගෙවන්නට ඇයට සිදු විය. අනතුරට ලක් වන මොහොතේ සේවය සඳහා පැමිණෙමින් සිටි හෙයින් රක්ෂණ මුදලක්ද, තුන් මසක පඩි සහිත නිවාඩුද හිමි විය.
"අපිට තමයි පාඩු." ඇයව බැලීමට රෝහලට ගිය අය කීහ.
අනතුරුව, වරින් වර ඇය බැලීම සඳහා නිවසට ගිය අය පැමිණ විස්තර කීහ:
"ඔහේ ඇඳට වෙලා ඉන්නවා. මල්ලිගෙ පුතා නිර්මලා අස්සෙමයි. නිදියන්නෙත් එයත් එක්කලු. අපි යනකොට ඇඳේ ඉඳගෙනම ළමයට කවනවා."
"එදා අපි යනකොට ඇඳුම් මහනවා. මල්ලිගෙ නෝනට දෙවෙනි බබා හම්බෙන්ඩ තියෙන්නෙ ඊලඟ මාසෙලු."
"ඇත්තද?"
"ඔව් ඔව්. නිර්මලා තොටිල්ලකුත් අරන් දීලා."
"නිර්මලාව අක්කලගෙ දිහා අරන් ගිහින්."
"අක්කා කියනවලු ආයෙ වැඩට යන්ඩ ඕන නෑ, එහෙ ඉන්ඩ කියලා. මෙහෙ ආවත් ඉතිං හිටගෙනනෙ."
"ඔව්ව්ව්ව්, ඔය කකුල් කැඩුණහම සනීප වෙන්නෙම නෑ හිටගෙන හිටියොත්. අපේ එක්කෙනාගෙ සනීප වෙන්ඩ මාස හයකට වඩා ගියා."
"නිර්මලාගෙ දැන් සර්විස් එකත් සෑහෙන්ඩ කල්නෙ. අනික සෞඛ්‍ය ප්‍රශ්නයක් කියලා විශ්‍රාම ගිහෑකිලු දැන්."
"අක්කා අපි එක්කත් කිව්වා, නිකං දුක් විඳින්ඩ යන්නෙ මොකටද කියලා. අනේ හරී ආදරෙයි නිර්මලාට."
"අක්කගෙ දුවල දෙන්නා නිර්මලාගෙ අස්සෙමයි. ඉස්කෝලත් නිවාඩුනෙ."
"නිර්මලා දැන් ඇවිදිනවා. කකුලට බර දෙන්ඩ එපා කියලලු තියෙන්නෙ. ඒ වුණාට අපි යනකොට කුස්සියෙ උයනවා."
"හානේ......"
"වැඩ කරලා පුරුදු කෙනෙකුට නිකම් ඉන්ඩ බෑ..."
"අපි යනකොට මල්ලි ඇවිල්ලා නිර්මලාව එහෙ එක්ක යන්ඩ..."
***************
මාස තුනකට නිවාඩු ලද නිර්මලා මාස එකහමාරකට පසු කිහිලි කරුවෙන් වැඩට ආවාය.
"ඔයාට පුළුවන්ද වැඩ කරන්ඩ?" ඉහළ නිලධාරීහු සැක සිතින් ඇසූහ; අනතුරුව පොත්පත්වල කටයුතු සහ අධීක්ෂණ කටයුතු ඇයට පැවරූහ.
මුලදී කිහිලිකරුවට වාරු වී පැමිණි නිර්මලා අනතුරුව ආධාරක රහිතව ආවාය. පැත්තකට බර වී කොර ගැසීම ඇගේ සාමාන්‍ය දෙයක් බවට පත් වුණි. බොහෝ වේලා හිටගෙන සිටීමට සිදුවූ දිනෙක ඇගේ කොර ගැසීම වැඩි වී මුහුණෙන්ද වේදනාව පිළිබිඹු විණි. එහෙත් ඊලඟ දිනයේද ඈ සේවයට පැමිණියාය.
"අමාරුයි නේද?" මා ඇසුවේ චාරිත්‍රයටම නොව ඇය අපහසුවෙන් සිටීම ගැන අනුකම්පාවෙනි.
නිර්මලා සිනාසුනාය. "අමාරුයි."
"නිවාඩු හම්බුණා නේද?"
"නිවාඩුනං හම්බුණා..."
"කම්මැළිද ගෙදර ඉන්ඩ?"
"කම්මැළි නෙවෙයි මට කළකිරුණා."
"ඒ මොකෝ?"
"මිනිස්සු ගැන තමා. තමන්ගෙම කියලා හිතාගෙන හිටිය මිනිස්සු ගැන."
මම කිසිත් නොකියා මෝඩ හිනාවක් පෑවෙමි.
"මම හිතා ගත්තෙ, අන්තිමටම අසරණ වෙලා පාරෙ හිඟා කන්ඩ වැටුණත්, තමන්ගෙ මිනිස්සු ළඟටනම් යන්නෙ නෑ කියලා."
"හොඳටම කළකිරිලා වගේනෙ."
"කට්ටිය හැදුවෙ මාව වැඩකාරකමට ගන්ඩ. ඇයි ඉතින් හරි ලේසිනෙ? විශ්වාසයි. පඩියක් දෙන්ඩ ඕනෙත් නෑ. විශ්‍රාම වැටුපක් හම්බෙනවා; ඒකෙ ප්‍රයෝජනෙත් ඒගොල්ලන්ට......" නිර්මලා කියාගෙන කියාගෙන ගියාය.
"අක්කයි මල්ලියිද?" ඇය අසනීප වූ දිනවල කතා සිහි වුණු මම ඇසුවෙමි.
"වෙන කවුද? තමන්ගෙ ප්‍රයෝජනේම විතරයි." නිර්මලා තරහෙන් කීවාය. "නැතුව, තනියෙන් ඉන්න ගෑනි; මොකක් හරි ආරක්ෂාවක්, පහසුවක් තියෙන්ඩ ඕන කියලා හිතන්නෙ නෑ. තමන්ගෙ ප්‍රයෝජනේම විතරයි."
"ඔහොම තමයි මිනිස්සු."
"මට ඊට වැඩිය සැපයි ඇවිත් මෙතන වැඩ කරනවා, ගන්න පඩියට."
***************
ඉන් පසු එළඹි මාස කිහිපයේදී මම මගේම ප්‍රශ්නවල කරවටක් ගිලී සිටියෙමි. මුල් ගැබිනි සමයේ නොනවතින ඔක්කාරයකින්ද, අනතුරුව දියවැඩියා රෝගයෙන්ද මම පීඩා වින්දෙමි. කිහිපවිටක් රෝහලේ නතරව සිටීමට සිදු විය.
සේවයට ගිය දිනවලද මගේම අසනීපය ගැන මිස වෙනත් කිසිවක් කෙරෙහි අවධානය යෙදවීම අසීරු විය. දිගු කාලීනව දියවැඩියාවෙන් පෙළීමට සිදුවෙතැයිද, දරුවා කුස තුළම මිය යතැයිද මම නිරන්තර බියෙන් පෙළුනෙමි. මගේ සිත හැකිතාක් සන්සුන්ව තැබීමට කවුරුත් උත්සාහ කළහ: රැකියාවේ ගැටළු පිළිබඳව හෝ බඩුමුට්ටුවල මිළ ගණන් පිළිබඳව සනත් සාකච්ඡා නොකළේය; යුද්ධය පිළිබඳ ප්‍රවෘත්ති බැලීමට අම්මා අල්ලපු ගෙදරට ගියාය; සේවයට ගිය දිනවලද, මල් වැවීම වැනි දේ හැර වෙනත් දෙයක් කිසිවෙක් මා හා කතා නොකළහ; ලබා ගත් නිවාඩු ගැන පවා මා හා සාකච්ඡා කරන ලද්දේ ඉතා ප්‍රවේශමෙනි. කාන්සිය පළවා හරිනුවස් මම ළමා කතා පොත් කියවූයෙමි.
පුතා ලැබුණු පසු වරින් වර මා බැලීමට සේවක හිතවතුන් පැමිණියහ. වෙහෙසකර කාලයක් වූ බැවින් කවුරුන් පැමිණියේද, කවුරුන් නොපැමිණියේද යන්න පිළිබඳව මට මතකයක් නොවිණි.
මා නැවත සේවයට වාර්තා කළේ නොවැම්බරයේය.
මුහුණටම මුණ ගැසුණු නිර්මලා වියළි සිනහවක් පා, මා බැලීමට නොපැමිණීම ගැන සමාව ඉල්ලුවාය.
"අනේ ඒකට කමක් නෑ."
"අම්මද ඉන්නෙ බබා ලඟ?"
සාමාන්‍යයෙන් ඕනෑම මවක මෙන් මමද බබාට මා නැතිව සිටීමේ අපහසුවද, මා පිටවනවිට අඬන අයුරුද, අම්මාට බබා බලා ගැනීමේ අපහසුවද, බබාගේ ආහාර ප්‍රශ්නද පිළිබඳව නොසිඳෙන කතාව ඇරඹීමි. කතාවට හූමිටි තැබීමට කීපදෙනෙක් සිටියෙන් කතාව ඇරඹූ නිර්මලා එතැනින් ඉවත් වූ වග මා දුටුවේ සෑහෙන වේලාවකට පසුවය.
මා නිර්මලා දෙස බලනු දුටු රසිකා මාතෘකාව මාරු කළාය.
"පව් නිර්මලා."
"ඇයි?"
"යුද්ධෙ ඉවර වුණානෙ. ඒකෙන් තමා."
"ඉතින් සතුටු වෙන්ඩ එපායැ."
"නෑ ඉතින්...... නිර්මලා හරීයට බලන් හිටියා යුද්ධෙ අන්තිම මාස ගානම, එයාගෙ මහත්තයා ආපහු එයි කියලා. අන්තිම දවස් ටිකේ වැඩටවත් නෑවිදින් හිටියෙ."
"එයා මැරිලා ගොඩක් කල්නෙ, නේද?"
"මැරිලා මිණියක් දැක්කෙ නෑනෙ. කොටි අල්ලං ගිහිං කියලනෙ හිටියෙ. අර අල්ලගෙන හිටපු අය නිදහස් වෙවී එනකොට නිර්මලා බලාගෙන හිටියා, කොයි වෙලේ හරි එයත් නිදහස් වෙලා එයි කියලා. පව්."
මට ඊට පිළිතුරක් දීගත නොහැකි විය. උගුර සිරවී දෑස බොඳ වෙනු පමණක් දැනෙන්නට විය
***************
පුතා දැන් ඇවිදියි.
ඔහු නැති කාලයේ 'මැරෙතොත් එකට මැරෙමු'යයි කියා එකටම ගමන් බිමන් ගිය සනත් හා මා දැන් එකට ගමනක් යන්නේ කලාතුරකිනි.
උදය වරුවේ පුතා හා සිටින සනත් ටිකක් දවල් වී වැඩට ගොස් රෑ වෙනතුරු වැඩ කරයි. හැකි තාක් උදය වරුවේ වැඩ යොදා ගන්නා මම කලින් ගෙදර එමි. සවස පුතාගේ ඇඟ සෝදවා, ඉස්තෝප්පුවේ ඇති පුටුවේ වාඩි වී අප දෙදෙනා මග බලා සිටින්නේ සනත් එනතුරුය. හරිහැටි කතා කළ නොහැකි වුවත් අප බලා සිටින්නේ කුමකටද යන වග පුතා දනී.
"තාත්තා.." ඔහු පාරට ඇඟිල්ල දිගු කරමින් පවසයි.
"ඔව්, ඔව්. තාත්තා එයි දැන්. පුතා බලං ඉන්ඩකො." මම ඔහු තුරුළු කරගනිමින් කියමි.
බලාපොරොත්තුව මිහිරිය.
බලාපොරොත්තු.. ජීවිතේ ජීවත් වෙන්ට ඉතිරිවෙන්නේ එච්චරයි.. ඒකත් නැති වුනාම.. මේක ඇත්තම කතාවක්නම් නිර්මලාට පව් කියන එකත් පව්...
ReplyDeleteයුද්ධේ ගැන එක එක විදිහේ අර්ථ කථන දෙන කතන්දර අතරේ දැකපු වෙනස්ම කියවීමක්...
ඈත ඉද්දි.... ලං වෙන්නේ කවද්ද කියලා හීන බලනවා... ලං වුණහම.. අගේ නෑ....
ReplyDeleteඑක හුස්මට කියෙව්ව.
ReplyDeleteඅපි හැමෝම මනුස්සයො නේද?කියල හිතුන.
නිර්මලා දිරිය ගැහැනියක් හැටියට මා දකිනවා.මිනිසුන් ගැන මුලින්ම අපි ගන්නා නිගමන වැරදි බව බොහෝ අවස්ථා වලදි
ReplyDeleteමටද දැනුන කරුණක්.
සංවේදී කථාවක්.
ස්තූතියි ඔබට කාර්ය බහුල අවස්ථාවේදී මේ ඉදිරිපත් කිරීමට.
ජය!!
ඔව්...බලාපොරොත්තුව කියන්නෙ හරිම අමුතු දෙයක්... දකින්න..අල්ලන්න බැරිඋනත් හිත ඇතුලෙ තියාගෙන ඒ වෙනුවෙන් ජීවත් වෙන්න... අනේ මන්දා....
ReplyDeleteදොස්තර නෝනගෙ ලිවීමේ රටාව හරිම ලස්ස්නයි..හිතට එක පාරටම දැනෙන්න... හිත අස්සෙ ඉදන් හිතන්නෙ පෙලඹවීමේ හුරුවක් තියෙනවා.....
කතාව කියවා රස වින්දෙමි
සිත නිවන ගීතයක් වගේ.. සුමුදු වතුර පාරක් වගේ හරීම ළස්සනයි... නිර්මලා වගේ චරිත මම සෑහෙන දැකල තියෙනව. දියුණු රටවල නම් දැන් බොහෝ දෙනෙක් තනියම ජීවත් වෙන්න තමයි කැමති. ඒ සඳහා සියළු පහසුකම් ඔවුන් සතුයි.. ඔය තනිකම පාලුව කවද හරි අපටත් විඳින්න වෙනවමයි.. මිනිසුන් ආර්තික වශයෙන් හා මානසික වශයෙන් ශක්තිමත් උනාම ඕක ගැටලුවක් නෙමෙයි... අනෙක් මාතෘකාවත් ඒ වගේමයි. නමුත් දොස්තර නෝනට මුනුබුරු මිනිබිරියන්ගේ බේබී සිටර් කෙනෙක් නොවේවායි මා ප්‍රාර්ථනා කරනව.
ReplyDelete"රස්සාවට යන දරුවගේ දරුවොත් රකින්නෙ මං නේ දැන්..."
විවේකයන් සිටිය යුතු වයසේදි මිනිස්සුන්ගේ නිදහස සීමා වෙල තියෙන එක ගැන ඒ ගීතයේ ලස්සනට කියනව ..
සාමාන්‍යයෙන් මෙච්චර දිග කතාවක් දැකාම උඩුන් පල්ලෙන් කියවන මම මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වා. අක්කා ලියන විදිය අපූරුයි
ReplyDeleteනලිනි,
ReplyDeleteඉතා අගෙයි. මට හිතාගන්න බැහැ මට වුනා වගේ. ඒ තරම් සමීපයි.
යන්තම් පොත් ගොඩින් ඔලුව බේරා ගෙන ලියන්න ආපු එකට හරි සතුටුයි. කතාවක් සැබෑ ජීවිතෙන් වෙන් කර ගන්න අමාරු තරමට ලස්සනට ලියන හැකියාව ඔයාට ඇති බව කියන්නම ඕන. ඇත්තටම අකුරු වෙලා එලියට එන්නේ අපේම ජීවිතය තමයි . මටත් හමුවෙලා තියෙනවා නිර්මලා වගේ අය . පවුලක විවාහ නොවී ඉන්න හරි එක කඩාකප්පල් වෙච්ච හරි ගනු කෙනෙක් කියන්නේ අනික් අයට සම්පතක්. හැබැයි තමුන්ගේ ළමයි ලොකු වෙලා අර කෙනා වයසට යද්දී එයා අනික් අයගේ පුද්ගලිකත්වයට තර්ජනයක්. ගොඩක් වයසක අම්මලටත් වෙන්නේ ඔය දේ තමයි.
ReplyDeleteඑතකොට දැක්ක ගමන් කෙනෙක් ගැන ඇති වෙන හැඟීම ..සමහර විට සම්පුර්ණ වැරදියි. මුනේ ලේ පොදක් නැති උදේට මුලිච්චි වෙන්නත් අකමැති සමහර අයගේ හදවත විශාලයි. කෝපි හිනාව දාල හදවත අතට අරන් දෙන සයිස් අය සමහර විට ඇතුලෙන් අන්තිම කුහක වෙන්න පුළුවන් .
ඔවු බලාපොරොත්තු මිහිරියි ඒවගේ ඇලී ගැලී ඉන්නකම්
ReplyDeleteබලාපොරොත්තු ජීවත්වෙන්න හුස්ම පිඹිනවා
හ්ම්ම්. බලාපොරොත්තුව මිහිරියි තමා. ඒත් බිඳුණු බලාපොරොත්තු එක්ක ජීවත් වෙනකොට?
ReplyDeleteඒ හිතේ පොදි ගැහී තිබූ බලාපොරොත්තු කන්දරාව ගැන හිතන කොටත් හිත කඩා වැටෙනවා.ඇයට යුද්ධය අවසන් වීම දැනෙන්නෙ කාලාන්තරයක් ජීවිතය ජීවත් කරවූ බලාපොරොත්තු මාත්‍රය පවා නැවත පුබුදු විය නොහැකි ලෙස සුන්නද්දූලි කල කඩ ඉමක් ලෙසද?
ReplyDeleteහිත බර වෙන කතාවක්, නලිනි,
ජිවිතයට පුංචි හරි බලාපොරොත්තුවක් තියෙන්න ඕන ඉස්සරහට යන්න...සැමියෙක් අහිමි වුන ගැහැණියකගේ එකම බලාපොරොත්තුව කවදම හරි එයා එයි කියන එකනේ...ඒක අක්කා හිතට දැනෙන විදියට ලියල තියනවා...නිර්මලා කියන්නේ ලංකාවේ යුද්ධය නිසා සැමියා අහිමි වුන තවත් එක ගැහැනියක් පමණක් වගේම ඒ වගේ සැමියා නැවත එයි කියන බලාපොරොත්තුව තියන් තව කි දාහක් බිරින්දෑවරු ඉන්න ඇත්ද.....
ReplyDelete@ පුතා: යුද්ධය ගැන හැමෝටම එක එක විදිහෙ කතා තියෙනවා. මේ කෝණය ගැන වැඩිය කතා නොවෙන බව ඇත්තයි.
ReplyDeleteමේ විදිහටම නොවුණත්, මෙහෙම බලාපොරොත්තු කඩ වූ කෙනෙක් මට හමුව තිබෙනවා. තවත් අය ඇති.
@ Jeew: ඒක තමයි. තමන්ට නැති දේම තමයි අපිට අගේට පෙනෙන්නෙ.
@ Observer: සේරම වෙන්නෙත් මිනිස්සුන්ටමනෙ. දරාගන්න වෙන්නෙත් අපිටමයි.
@ Gimhani: මමත් හිතන්නෙ ඇය දිරිය ගැහැණියක් කියලා. අනෙක් අයට ඕනෙ ඕනෙ විදිහට නටවන්න ඉඩ දෙන්නෙ නැති, සාම්ප්‍රදායට යට නොවුණු, තම දෙපයින් නැගී සිටින කෙනෙක්.
@ දිල්: කවදා හරි හැම දෙයක්ම හොඳ විදිහට සිදු වෙයි කියන බලාපොරොත්තුවෙ එල්ලීගෙන අපි කොච්චර හීන බලනවද? අපි පව්.
@ මාතලන්: ඇත්ත. අපේ සමාජයෙන් ලොකු පීඩාවක් එල්ල වෙනවා තනිකඩ කෙනෙකුට. (අවිවාහක/වැන්දඹු) විශේෂයෙන් ගැහැණු කෙනෙකුට. වයසක කෙනෙක් වුණත් තනියෙන් ඉන්න වුණොත් මිනිස්සුන්ගෙ වැඩේම ගිහින් "අනේ කොච්චර ළමයි හිටියත් ළඟ කවුරුත් නෑ නේද?" කියලා අවුස්සන එක. අර මනුස්සයට තනියෙන් ජොලියෙ ඉන්නත් නෑ. මම හඳුනන කෙනෙක් වයසක අම්මව හඳුන්වන්නෙ "නොමිළෙ හම්බෙන ආයා" කියලා. ළමයි හදන බහුතරය හිතන් ඉන්නෙ වයසක මවුපියන්, අවිවාහක/වැන්දඹු/දරුවන් නැති නෑයන් ඉන්නෙ තමන්ගෙ දරුවන් බලලා දෙන්නය කියලා.
@ පූසා: කෙටියෙන් මුකුත් කියන්න පුරුදු වෙලා නෑනෙ. :( කියෙව්ව එක ගැන බොහොම සතුටුයි.
@ වෙදගෙදර මහවෙදනා: අප අවට ඔය හා සමාන දේ බොහොම වෙනවනෙ. ඔබ සමගත් මෙවැනි කතා කියන අය හුඟක් ඇති.
@ Bindi: අපොයි ඔව්. තමන්ගෙ වැඩ ටික කර ගන්න අනෙක් අයව පාවිච්චි කළාට, ඒ ප්‍රයෝජනේ නැත්නම් එහෙම අයව ආශ්‍රය කරන්නෙ කලාතුරකින් කෙනෙක් තමයි.
දැක්ක ගමන් නෙළුම් මලක් කියලා හිතන අය..... කොහොමද දන්නෑ.. :P (විහිළුවට හොඳද?)
@ TG: ඔව්, ජීවත් වෙන්නට මොකක් හරි හේතුවක්.
@ පිණිබිඳු: බලාපොරොත්තු බිඳුණු දවසට ඒ කඩා වැටීම දරා ගන්න හැකි වෙන කෙනා වඩාත් ශක්තිමත් වෙයි; ඒ වගේම ඉක්මණින්ම තවත් බලාපොරොත්තුවක් අල්ල ගනියි. දරා ගන්න බැරි වෙන අයත් බොහොම ඇති.
@ Ravi: නිර්මලා ඇගේ තරුණ වයසෙ වැඩි කාලයක් ගෙවන්නෙ ඒ බලාපොරොත්තුවත් එක්ක; යුද්ධයෙ අවසන් කාලය වනවිට ඒ බලාපොරොත්තු ඉටුවෙන ලකුණු පහළ වෙලා, උච්ඡම අවස්ථාවකට එනවා. එනිසා ඇය කඩා වැටෙන්නෙ හිටියටත් වඩා ඉහළක සිට.
ඇත්තෙන්ම අපූරුවට ලියලා තියෙනවා නලිනි . .
ReplyDeleteමේ ලිපිය කියවපු කෙනෙක්ට පස්සේ කාලෙක බැරි වෙලාවත් තමන්ගේ පවුලක තනිවුනු කෙනෙක්ව තනියෙම ඉන්න ඔනෑනෑනේ එන්න අපේ ගෙදර වගේ බොරු පූචානම් ටෝක්ස් දීලා වහල් කමට ගන්න හදන මොහොතක ගිල්ටි ෆීලින්ග් එකෙන් මිදෙන්න නම් බැරි වෙයි මොහොතකට වත් . . .
ඒ වගේම ඒ වගේ තනියෙම ඉන්න කෙනෙක්ට ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් ඇති කර ගන්නත් හයියක් වේවී මේ ලිපිය කියවලා තිබීම.
අහ් එක තැනක කමෙන්ට් කලාට පස්සෙයි ආයෙමත් මේක දැක්කේ ඒ හින්දා අමුතුවෙන් යමක් නොලීවට අමනාප වෙන එකක් නැහැනේ...
ReplyDeleteමෙච්චර කාලයක් මම මේ සයිට් එක නොදැක්කේ කොහොමද මන්ද .. මට මේ කතාව කියෙවුවට පස්සසේ හිතෙනවා මම ලියන හෑලි මොන තරම නොගඹුරුද කියල.. වෙලාව අරන් යිට් එබිලා ඔක්කොම පොස්ට් කියවන්න ඕන..මගේ වැරහල්ලට එබිලා මේ පැත්තේ එන්න පර කිවුවට බොහොම ඉස්තුතියි.
ReplyDelete@ සිතුවිලි නිහඬයි: තමන්ගෙ ආදරණීයයන් ආපසු එනතුරු බලාපොරොත්තුවෙන් සිටි දහස් ගානක් අපේ රටේ ඇති. යුද්දෙම වෙන්න ඕනෙ නෑ. නේද?
ReplyDelete@ දුකා: ප්‍රයෝජනයක් නැත්නම් කී දෙනෙක් එහෙම තනිව සිටින කෙනෙක්ව ආශ්‍රය කරනවද? :D
ළමයි හැදුව අයත් බහුතරය අන්තිමට ඉන්නෙ තනියෙන්නෙ. ඒ නිසා වයසට ගිහාමනම් කිසිම වෙනසක් නෑ. අර කිව්වත් වගේ හිතේ හය්යයි ඕන.
@ මාරයාගේ හෝරාව: තරහයි තරහයි. :P
හපොයි..ඉන්ට දුවලා ගෙහුන් අරක කොපි කොරගෙන එනකල් මෙතන ආපහු දාන්ටවත්..:D
ReplyDelete@ සරත් ලංකාප්‍රිය: එහෙම කියන්න එපා. ජීවිතේ දිහා සැහැල්ලුවෙන් බලන්න ඕනෙ වෙලාවලුත් තියෙනවා. නැත්නම් ජීවිතේ මහ නීරස වෙනවා. ඕනයගෙ බ්ලොග් එකෙන් දැකලයි බලන්න ආවෙ. රසවත් පෝස්ට් කිහිපයක් කියවමින් හිටියෙ.
ReplyDelete@ මාරයා: වීලුවට කිව්වෙ මෙයා. කලබල වෙන්ට කාරි නෑ. :D
ඔය මොහෙතෙදී තමුන්ගේ මහත්තය බේරිලා එයි කියන බලාපොරොත්තුවෙන් කී දෙනෙක් උන්නද?
ReplyDeleteබලාපොරත්තු තමයි අපිව ජීවත් කරවන්නේ....එකක් යනකොට තව දහයක් මග බලාන ඉන්නේ.....
අන්තිම පේලිය ටිකක් සංවේදි වැඩිද මංද නෝනේ......
කෝ මේ මම දාපු කමෙන්ට් එක.... ඔන්න ඉතින් මට යකා නගිනවා.... මම ඊයේ හවස දැම්මනේ මේකට කමෙන්ට් එකක්... ගූගල් ලොක්ක වැරැද්දුවාද? නලිනි මැකුවාද මම දන්නේ නෑ.. එහෙනම් කමෙන්ට් ඕන නෑ.....
ReplyDelete@ Heeniyata: අපි බලාපොරොත්තු උඩ එල්ලිලා ඉන්නවා වැඩිද මන්දා. එහෙම වෙනවා ඇත්තෙ වර්තමානයේ සැබෑව බලාපොරොත්තු වෙන අනාගතය විතර මිහිරි නොවන හින්දා.
ReplyDelete@ අභීත: ගූගල් බහිරවයා ගිලලා වෙන්ඩ ඕන. මම දැක්කෙ නෑනෙ කමෙන්ට් එකක්. ඉතින් ඔය කමෙන්ට් එක මදෑ. යකා බහින්ඩ එහෙනම්.
මොන දේ නැති වුනත් ජිවිතය ජීවත් කරවන එකම ඉන්ධනය - බලාපොරොත්තුව.
ReplyDeleteකඳු මුදුනට නගිද්දී පසුකර ගිය කටුකම්බි මායිම් වැට කඳු මුදුනේ සිට පල්ලම, තැන්න බලද්දී නොපෙනෙන සේ ම ඔබේ රචනය ලොකු පරාසයකට හිත දෝලනය කරන්නේ ඉතා සියුම්ව. ඒ ශෛලිය ගොඩාක් සිත්ගත්තා, ඔබේ ඉදිරිපත් කිරීම ගොඩාක් සාර්ථකයි.
බලාපොරොත්තුව ගැන මෙහෙම කියමන් දෙකක් තියෙනවා:
Hope:
A sloping plain between mountain ridges.
A small bay; an inlet; a haven.
@ ඩීන් අය්යා: සුභවාදීව ලොව දෙස බැලීමට, බාධක මැඩලීමට රුකුල් දෙන බලාපොරොත්තුව ගැන ලස්සන උදාහරණ ගොඩක්. බොහොම ස්තුතියි.
ReplyDeleteමගේ බලාපොරොත්තුව ඇය
ReplyDeleteඇගේ බලාපොරොත්තුව මම (ද?)
නිර්මලා ගේ තොරතුරු දැනගත්තට පස්සෙ ඔබ ඇය ගැන දකින විදිය වෙනස් වුන විදිය හරිම ලස්සනට විස්තර කරල තියනවා...ඒක ජීවිතයට හරිම වැදගත් පාඩමක් කියලා මට හිතෙනවා...
ReplyDelete/මැරෙතොත් එකට මැරෙමු/..........
අපිත් කාලයක් ඔහොම හිතුවා...ඒත් දැන්නම් හිතෙන්නෙ පොඩ්ඩා වෙනුවෙන් එක්කෙනෙක් හරි ජීවත් වෙන්න ඕන කියලා...
මිනිසුන් අතරෙම ජීවත් වෙලා මම ඉගෙනගත්ත දෙයක් තමා, අපිට කොහොමටවත් බෑ මිනිසුන්ව විනිශ්චය කරන්න....නිකමට මෙහෙම හිතන්න... ජයන්තා ඔබට අර කතාව නොකියන්න තාමත් නිර්මලා ගැන කලින් වගේම හිතාගෙන ඉන්න තිබුණ නේද... ඔබ වගේ මිනිසුන්ගෙ හැඟීම් තේරුම් ගන්න පුළුවන් උගත් කෙනෙකුටත් එහෙම නම්.. සාමාන්‍ය කෙනෙකුට කොයි තරම් වරදින්න පුළුවන්ද.... මම නම් මේ කතාවෙනුත් නැවත ප්‍රත්‍යක්ෂ කර ගත්ත දේ ඒකයි... .සපතේරු උන්නැහේ
ReplyDelete@ පිටකොටුව: ඒක එකිනෙකාට අනුව.
ReplyDelete@ Luckey: අපි හිතන විදිහ කාලයත් සමග වෙනස් වෙන හැටි.. :)
@ සපතේරු උන්නැහේ: ඇත්ත. හුඟක් වෙලාවට අපි කලින් ලැබූ අත්දැකීමක් මත, නැත්නම් මිනිසුන් ගැන අප දරන ආකල්ප අනුව, අලුතින් හමුවෙන අය ගැන පූර්ව නිගමනයකට එළඹෙනවා. ඇතැම් විට එය හරි වෙන්නත් පුළුවන්. බොහෝවිට වරදින්නත් පුළුවන්. හුඟක් වෙලාවට ඔය අන්ත දෙකට මැදින්.
ReplyDeleteඅවාසනාවකට අපි හුඟක් වෙලාවට අපේ පූර්ව නිගමනයන් වෙනස් කරන්න සූදානම් නැහැනෙ.
බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට.
සෑහෙන්න හිතට වදින කතාවක්. එක නිර්මලා කෙනෙක් නෙවෙයි දහස් ගානක් දෙපැත්තේම. ලොකු මහත් වුන නිර්මලා පැත්තක තියන්නකෝ පුංචි ඇස් කියක් මග බලන් ඇද්ද අහිමි වූ අම්මලා තාත්තලා එනකම්. මිනිසුන්ගේ නරුම කම තමයි.
ReplyDeleteනැවත මෙවැනි දේ ඇති නොවේවා කියලයි කියන්න තියෙන්නේ.
තවත් ලස්සන නිර්මාණයක් නලිනි.
@ සුජීව: යුද්ධය හැම කෙනෙකුටම තමන්ගෙම කතාවක් ඉතිරි කරලා. මේ දේවල් නොදකිනතාක්කල් අපි සතුටින් ඉඳී.
ReplyDelete[[මේ දේවල් නොදකිනතාක්කල් අපි සතුටින් ඉඳී.]]
ReplyDeleteදුක සතුට හැරෙන්නට උපේක්ෂාවෙන් මේක දිහා බලන්න පුළුවන් නම් හොඳයි. මානවයාගේ නොවලක්වියහැකි ක්‍රියාකාර කමක් යුද්ධේ. ඔබ අපි අකමැති උනාට මේ මොහොතේත් කවුරු හෝ කොහේ හෝ තැනක ජිවිත විනාශයකට අර අඳිනවා ඇති. එහෙම කරන්න හිතෙන තරම් ලෝකය අසාධාරණයි. ඊටත් වඩා මානවයා ප්‍රාතමිකයි.
දුක් සතුටු වෙනවට වඩා ඒ මොහොතේ කල යුතු දෙය කරන්න අපි හිතුව නම වඩාත් හොඳයි.
-------
මැද හරියේ නිර්මලා ගැන ඔයා හිතන හැටි වෙනස් වෙන සිද්ධි ගණන අඩු කළා නම හොඳයි. මේක මගේ මතයක් විතරයි.
බලා පොරොත්තු..
ReplyDeleteමිනිසුන් ජීවත් කරවන බලාපොරොත්තු..
මිනිසුන් නැති කරන බලාපොරොත්තු...
එක හුස්මට කියෙව්වා ඇස්වලට කදුළු ඇවිල්ල නැවතුනේ... බලාපොරොත්තු තමයි අපිව ජිවත් කරවන්නේ.....
ReplyDeleteපසු ගිය ලිපි පෙළ වගේම මේ ලිපියත් උපරිමෙන් රස වින්දා ...
ReplyDelete@ සුජීව: ඒ මොහොතේ ජීවත් වෙන්නට පුළුවන්නම් හොඳයි, මොහොත අර්ථ නිරූපනය කරගෙන, ඒ ඔස්සේ හැඟුම්බර වෙනවට වඩා. ඒත් ඉතින් තවම මගට පිළිපන්නා විතරනෙ. බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට.
ReplyDelete@ ප්‍රියන්ත: හොඳට නරකට දෙකටම බලාපොරොත්තු.
@ Soda ගුනේ: පොඩි කාලෙ ඉඳලම අපි හුරු වෙන විදිහ වෙන්නැති ඒ.
@ වැප්: බොහොම ස්තුතියි සහෝ.
හරිම ලස්සනට ලියලා තියෙනවා. ජීවිතේට පාඩම් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් ලිපියක්
ReplyDelete@ මනුසත්: බොහොම ස්තුතියි කතාව කියවා අදහස් බෙදා ගත්තාට.
ReplyDeleteමේ කතා ටික එකතුකරලා කෙටිකතා සංග්‍රහයක් පලකරන්න අක්කේ... ඒ තරමට ලස්සනයි... හරබරයි... අද උදේ දෙවනිපාරටත් මේ කතාව කියෙව්වා මම..
ReplyDeleteහරිම ලස්සනයි, සංවේදීයි,, නිදහසේ කියවන්න ඕනා හින්දමයි පමා උනේ.
ReplyDelete@ Soda ගුණේ: උනන්දු කරවීමට බොහොම ස්තුතියි මල්ලි. ඒ ගැන බාලගිරිත් එක්ක හොයලා බලන්න ඕන. :)
ReplyDelete@ හරි-පිණිපලස: බොහොම ස්තුතියි සහෝ අගැයීමට.
@නලිනි පොත ලිව්වොත් මං ෂුවර් ගන්නවා. නොගත්තත් ගන්න වෙනවා. මටත් වඩා ෆෑන් කෙනෙක් ගෙදර ඉන්නේ.
ReplyDeletesorry for the english comment akka,
ReplyDeleteread @ once, wow, I have one word to say,
just "Excellent".... this is awesome...
@ තීර්ථ යාත්‍රිකයා: බොහොම ස්තුතියි මල්ලි.
ReplyDelete@ සුජීව: ඔයාගෙ කතා ටික නියමයි. හරිම තාත්විකයි. අලුත් එකක් එනකම් බලන් ඉන්නවා.
මේ වගේ උසස් රචනා බ්ලොග්වල පලවී, කියවී, පසුව අමතකවී, යා යුතු ඒවා නොවන බව නැවතත් සිහිපත් කරමි.
ReplyDelete@ කතන්දර: බොහොම ස්තුතියි මෙහි පැමිණ සටහනක් තබා දිරිමත් කළාට. මගෙ වැඩවලට සාමාන්‍යයෙන් බාලගිරි දෝසෙ නිසා ඉන් වැඩි හරියක් කවදාවත් කෙරෙන්නෙ නෑ. වෙනස් කරගන්න ඕනෙ ඒ පුරුද්ද.
ReplyDeleteමම මේකට ආවේ 'ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න' බ්ලොගයේ පෝස්ට් එකක් කියවලා.මේක කියවලා ඉවරවෙනකොට ඇහින් කදුලුත් ආවා.සැබැ අත්දැකිමක් උනත් ලස්සනට ලියන්න ඔබට නියම හැකියාවක් තියෙනවා.තව ලියන්න...ඔබට ජය!!
ReplyDeleteඑක හුස්මට කියෙව්වා. මට හිතෙනවා නිර්මලා කියන්නේ මගේ ජීවිතේ එක පැත්තක්දෝ කියලා.....
ReplyDeleteනිර්නාමික සහෘදයාට: බොහොම ස්තුතියි සටහනට.
ReplyDelete@ StArry aNgel: ඔය විදිහටම නොවුණත් අපේ ජීවිතවලත් ඉන් කොටසක් හෝ තියෙන්නට පුළුවන් තමයි. ස්තුතියි සොයුරිය.
එක හුස්මට කතා ටික කියෙව්වා. අපූරුයි. වැඩි වැඩියෙන් ලියන්න ශක්තිය ලැබේවා.
ReplyDelete@නලිනි;
ReplyDelete[[ඔයාගෙ කතා ටික නියමයි. හරිම තාත්විකයි. අලුත් එකක් එනකම් බලන් ඉන්නවා.]]
ස්තුතියි. සතියකට එකක් වත් ලියන්න ඕනේ. හිතේ ප්‍රෝග්‍රෑම් කල 5 ක විතර ලිස්ට් එකක් තියේ. ඉස්සර ලියු තත්වපාලනයෙන් පාස් නොවූ [මගේම] විද්‍යා ප්‍රබන්ධ 10 ක් විතර ඇත. ඒවා තත්වයෙන් උසස් කර ගත යුතුයි.
ඇත්තෙන්ම මං අන්තිමට ලිව්ව එකේ ඇත්ත කතාවක සමීප බව වැඩි නිසා වාර්තාවක් උනා කියා මට හිතේ. ගෙදරින් ලැබුණු විචාරයත් එයමයි.
බලමු තව ටිකක් හොඳ වෙන්න ඊළඟ පාරවත්.
A really sensitive story. This reminds me of "Pandora's Box", which says only the "Hope" is left to the mankind!
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Pandora's_box
යුද්ධයේ තවත් අමිහිරි කතාවක් වගේම. මිනිස්සුන්ගේ ජීවිතේ තවත් කතාවක්. තාත්තා එනකම් බලන් ඉන්නවා කියද්දී මට මතක් වුණේ නන්දා මාලිනී ගායනා කරන "රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ" සිංදුව.
ReplyDelete@ dugiya: බොහොම ස්තුතියි සහෝ කියවා සටහනක් එක් කළාට.
ReplyDelete@ Sujeewa Kokawala: තත්ත්ව පාලනේට ගිහාම මුකුත් පළ කරන්න හිතෙන්නෙ නෑ තමයි. එකින් එක පළ කරන්නකො ඉදිරියෙදි.
@ නිර්නාමික සහෘදයාට: බොහොම ස්තුතියි ඔබේ සටහනට. මමත් ඔය කතාව අසා තියෙනවා.
@ Hasitha: මිහිර, අමිහිර දෙකම කැටි වුණු අපේ ජීවිතවල කතාව. බොහොම ස්තුතියි සහෝ ඔබේ සටහනට. මම ඔය ගීතය අහලා නැහැ. දැන් හොයාගෙන අහන්නට ඕන.
http://www.youtube.com/watch?v=2B-HDEBHoBg&feature=related
ReplyDeleteහසිත, බොහෝම ස්තුතියි ගීතය හොයලා දුන්නට. ඇත්තෙන්ම මියුරු ගීයක්.
ReplyDeleteහසිත/නලිනි;
ReplyDeleteහෂිත ගේ රසාලිප්ත රසවතියෙ සටහනක්.
රුක් අත්තන මල මුදුනේ… උකුසා..!
මටත් යුද්ධයේ අතුරැ ප්‍රථිපල සම්බන්ධයෙන් හරිම සංවේදී අත්දැකීම් තියනවා... කව්රැ මොන හේතුවකට යුද්ධ කලත් අවසානයේ බැට කෑවේ අසරණයෝ. මට මතකයි එක සිද්ධියක් සරණාගත කඳවුරක වෙච්ච.
ReplyDeleteමේක පොලිස් අත්අඩංගුවම ගැනීමක් සම්බන්ධ සිද්ධියක්..
විත්තිකාරයගේ වයස අවුරැදු 6 යි.. වින්ඳිතයගේ වයස අවුරැදු 4 යි..
වව්නියාවේ....
කඳවුරේ පොලිස් කාර්යාලය ඉදිරිපිට පොඩි දරැවෝ පිරිසක් සෙල්ලමි කරනවා..
සෙල්ලම් ගෙදරක්..
අම්මා බත් උයනවා.. රෙදි හෝදනවා.. දරැවෝ නළවනවා... වගේ වැඩ...
තාත්තා වැඩට ගිහින් ගෙදර එනවා...
එන්නේ වැනි වැනි..
ළමයි හැංගෙනවා...
අම්මගේ මර ලතෝනිය...
ඔය සිද්ධියේන් පස්සේ ළමයි නින්ඳට යනවා..
අර තාත්ත අවිත් අම්මගේ ඇඟ උඩ නැගලා මොකක්දෝ අමුතු සෙල්ලමක් කරනවා..
මේක දැකපු පොලිසියේ මහත්තුරැ අර තාත්තව අත්අඩංගුවට ගන්නවා..
වරද බාල වයස්කාර දැරියකගේ හිරිඔතප් බිඳීම...
විත්තිකරැ බාල වයස්කරැවෙකු නිසා අවවාද කොට නිදහස් කරන ලදී..
මට නම් මේක කියවලා ඉවර උනාට පස්සෙ දැනුනේ හරියට සම්භාව්‍යය ෆිල්ම් එකක් බැළුවා වගේ තෘප්තියක්. නියමෙටම නියමයි දොස්තර නෝනෙ....!
ReplyDeleteබස්සා: 'සාමාන්‍ය'යැයි හිතා සිටින පිරිසක් දැක්ක නිසා ඔය සිද්ධිය එළියට එන්න ඇති. තව කොච්චර අතුරු කතා තියෙනවද? ළමයින් අනුකරණය කරන්නෙ වැඩිහිටියන්ව. ළදරු අවධියේ හැදුණු වටපිටාව අනුව ඒ දරුවන් කාටවත් ඕකෙ අමුත්තක් නැතුව ඇති. පොලිසියෙන් ඒ හිත් තවත් ප්‍රශ්නෙකට ඇද දාන්න ඇති.
ReplyDeleteඔවැනි සිද්ධිවලදි ඒ දරුවන්ගෙ බිඳ වැටුණු ළමාකාලය නැවත ගොඩ නැගීම සඳහා අපේ සමාජයෙන් මොනවද කෙරෙන්නෙ?
දුමී: බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා දුමී දිරිමත් කරවන සටහනක් තැබීම ගැන.
ඒක ඇත්ත... අපි යුද්දේ ඉවරයි කියලා සතුටු උනාට යුද්දේ අපිට ඉතිරි කරලා ගිය බොහෝ දේ තාමත් වෙනස් වෙලා නැහැ..
ReplyDeleteමං ඒ වගේ සිද්ධී අත්දැකලා තියෙනවා.. මං 2002 සාම ගිවිසුම කාලේ වැඩකලේ වව්නියාවේ තිබුන සරණාගත කඳවුරැ කියන අනාථ කඳවුරැ වල.
10 x 10 පොඩි කෑල්ලක මුළු පවුලක් ජීවත්වීම තුල ඔයවගේ සිද්ධීන් ඕනෑ තරම් ඇතිවෙලා තියෙනවා ඉස්සරයටත් ඇතිවෙන්න පුළුවන්..
ජය..
@ බස්සා: අනන්තවත් දුක්මුසු අත්දැකීම් ඇති එහෙනම්. ඉන් බාහිරව ජීවත් වෙන මධ්‍යම පන්තික සමාජය නොදකින/ නොසිතන/ පිළි ගැනීමට මැළි වෙන බොහෝ පැතිකඩවල් ඔබ දැකලා ඇති. ඔබ ඒ දේවල් දිහා බලන්නෙත් හරිම මානුෂික විදිහට. වවුනියාවෙ ගිහින් රස්සාව විතරක් කරලා එන අය නොදකින දේ ඔබ දකින්නට ඇති ඒ නිසා.
ReplyDeleteමල්ලිගෙ බ්ලොගය හරහා එවැනි තොරතුරු බෙදා ගැනීමෙන් බොහෝ දෙනෙක් දැනුවත් කරන්නට පුළුවන් වෙයි. ගුරුවරයෙක් බැන්න පමණින්, පෙම් සබඳතාවයක් බිඳ වැටුණු පමණින් ලෝක විනාශය ආවාක් මෙන් වැලපෙන මිනිසුන්ට ජීවිතය ගැන කියා දෙන්නට ඔබට පුළුවන් වෙයි.
"'මැරෙතොත් එකට මැරෙමු'යයි කියා එකටම ගමන් බිමන් ගිය සනත් හා මා දැන් එකට ගමනක් යන්නේ කලාතුරකිනි."
ReplyDeleteමෙය හා සියයට සියයක් එකඟ විය නොහැක ......
විග්‍රහ කරන්න නම් තේරෙන්නෙ නැහැ හොඳට ලියලා තියනවා ....
@ පන්සල් හන්දිය: බොහොම ස්තුතියි අදහස් බෙදා ගත්තට.
ReplyDeletelove it.. akka ! its quite an amazing talent you've got there. sorry I hv no unicode in this comp. there are'nt many medda's who hv acquired the skill to write
ReplyDelete@ Anithkona: Not that many docs have time to write, I think. ;-) Hope you'd continue to write as time permits.
ReplyDelete