අවුරුදු වසන්තයේ මගේ පංගුව.
"අද හවස එන්නම්." අක්කා කිව්වා. "නැත්නම් හෙට උදේට."
හවස ආවෙ නෑ. එහෙනම් හෙට උදේට එයි. මං හිතන්නෙ අක්කා කැවිලි හදනවා ඇති. අම්මට කැවිලි හදන්න අමාරු හින්දා අක්කා හදාගෙන එනවා අවුරුද්දට. කැවුම්, කොකිස්, කේක්, කිරි ටොෆි...
කිරි ටොෆි හදනකොට බටර් දාන්න ඉගැන්නුවෙ අක්කා. අක්කට කොහොමත් ඔය උයන පිහන වැඩ, මැහුම් ගෙතුම් වැඩ පුළුවන්. පොඩි කාලෙ, ඉස්කෝලෙ මැහුම්වලට දෙන එක එක ඒවා මහල දුන්නෙ අක්කා. මං කියලා නෙවෙයි. එයා ආසයි මහන්න. දෙකේ තුනේ පංතිවල ඉද්දිම එයාට හොඳට, පිළිවෙලට මහන්න පුළුවන්.
අක්කා දෙකේ ඉද්දි මං එකේ පන්තියෙ. ඒ දවස්වල අම්මා දවල්ට කන්න අපි දෙන්නට රොටී බාගෙ ගානෙ දෙනවා. මං මගෙ රොටී කෑල්ල කාලා, අක්කගෙ පන්තියට ගිහින්, විවේකෙ ඉවර වෙනකං එයා ළඟ ඉඳගෙන ඉන්නවා. අක්කා ඔය ගැන මතක් කළා අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා: "මෙයා ඒ දවස්වල, එයාගෙ රොටී බාගෙ ඉක්මණට කාලා ඇවිත්, මගෙ රොටීකෑල්ලෙනුත් බාගයක් කනවා!"
එහෙම එයාගෙ රොටී කෑල්ලෙන් බාගයක් කාපු බවක් මට මතක නෑ. මං හිතුවෙ අක්කා මට බාගයක් දෙනවා කියලා.
ආදරේට...
ආදරේ බලන්න තිබ්බා හැබැයි එයාගෙ කාමරේට මාවත් දැම්මහම. පොඩි කාලෙ මම නිදා ගත්තෙ අත්තම්මා හිටිය කාමරේ. අක්කට තනියම කාමරයක් හම්බෙලා තිබ්බා. පස්සෙ මාවත් ඒකට දැම්මා. මං හිතන්නෙ අම්මලා අදහස් කරේ කාමරේ අපි දෙන්නගෙම කියලා වෙන්න ඕන. ඒත් අක්කා හිටියෙ නිකං එයාගෙ දේශයට නීතිවිරෝධී සංක්‍රමිකයෙක් ආව ගානට. මගෙත් එක්ක යකා නැග්ග දවසට කියනවා, "ඔයාට අයිති ඇඳ විතරයි; කාමරේ බිමට අඩිය නොතියා කෙළින්ම දොර ගාවට පනින්න." කියලා.
බිම අඩිය ගෑවුණොත් යුද්ධෙ.
පස්සෙ පස්සෙ මමත් නිකං හිටියෙ නෑ; අතට අහු වෙන එකෙන් දමල ගහනව. මං කැහැටු නිසා ඈත ඉඳන් ප්‍රහාර දියත් කරනවා මිස, අතින් පයින් ගහ ගන්න අමාරුයි. එක දවසක් මම ලී කෑල්ලකින්ද කොහෙද දමල ගැහුව පාර, අක්කා මාව රවට්ටන්න බොරුවට සිහිය නැති වුණා වගේ වැටිලා හිටියා. මම කොච්චර බය වුණාද කිව්වොත්, බැරි වෙලාවත් අම්මලා ඒ හරියෙන් ගියොත් නොපෙනෙන්න, දොර රෙද්ද ඇදලා කාමරේ වහලා දැම්මා. පස්සෙ අක්කා පාඩුවෙ නැගිට්ටා.
එදා එහෙම පාඩුවෙ නැගිට්ටට, පස්සෙ දවසක අක්කා මට වරදට දඬුවම් ලබා දුන්නා. ඒක වුණේ මෙහෙම.
ඒ දවස්වල අපි දෙන්නම පිස්සො වගේ පොත් කියවනවා. නිදාගන්න ඇඳට ගියාට පස්සෙ, රෑට රෑ වෙනකල් අපි පොත් කියවනවා. අම්මලගෙනුත් තහංචියක් තිබ්බෙ නෑ. කාමරේ ලයිට් එක දාලා. ජනේලෙ ඇරලා.
නිදියන වෙලාවට ලයිට් එකයි ජනේලෙයි වහන්න ඕන.
මං ප්‍රජාතන්ත්‍රවාදී මනුස්සයා. මං හිතන්නෙ, මං මගෙ ඇඳට කිට්ටුවෙන් තියෙන ජනේලෙ වහනවනං, අක්කා එයාගෙ ඇඳට කිට්ටුවෙන් තියෙන ලයිට් ස්විච් එක නිවන්න ඕන.
අක්කගෙ බුද්ධිය නහරයක් නහරයක් ගානෙ. මං පොත වහලා, ඇඳෙන් බැහැලා ගිහින්, ජනේලෙ වහලා හැරිලා බලනකොට, ඒ වෙනකං පොත බල බල හිටිය අක්කා, ඒක වහලා දාලා, පෙරවගෙන බුදි!
මං අසාධාරනයට විරුද්ධව හඬ නැගුවොත් එයා කියන්නෙ, "මං කලින් නිදියගත්තෙ; ඔයා පහුවෙලා නිදියන හින්දා, ලයිට් එකත් ඔයා ඕෆ් කරන්න ඕන."
ඒ උත්තරේ හරි හම්බෙන්නෙ ඉඳහිට. සාමාන්‍යයෙන් මං කියන ඒවා ඇහෙන්නෙවත් නෑ; එයා "නිදි". මට වැඩිය ප්‍රශ්න කරන්නත් බෑ. රෑ ඇහැරගෙන පොත් කියවනවට විරුද්ධ නැති වුණාට, රෑට බෙරිහන් දෙනවට අම්මලා තදින් විරුද්ධයි.
එක දවසක් මට කොච්චර යකා වැහුණද කිව්වොත්, මං අසාධාරනයට එරෙහිව නැගී සිටියා- අක්කගෙ ඇඳට; නැගලා, අක්කව පාගගෙන ගිහිල්ලා බිමට පැනලා ගිහින් ලයිට් එක නිව්වා.
අක්කා නේද? බෙරිහන් දිදී අඬන්න පටන් ගත්තා.
එතනින් එහාට මගේ තත්වය හුඟක් ශෝචනීයයි.
ඒත් හැමදාම එහෙම ශෝචනීය නෑ. සමහර දවස්වලට අක්කයි මමයි රෑ වෙනකං කුටු කුටු ගගා කතා කර කර ඉන්නවා. කතාව කුටු කුටු වුණාට, හිනාව කිසි කිසි. අම්මලා කාමරේ ඉඳන් බනිනවා. අක්කා කියනවා, ලයිට් ඕෆ් කරාට පස්සෙ, එයා සුරංගනාවියක් වෙනවලු; ඊට පස්සෙ එයා සුරංගනා සමාජෙට යනවලු; ඊට පස්සෙ එහෙ විස්තර වර්ණනා.
මං ඊට දෙවෙනි වෙයිද? මං කියනවා, මමත් සුරංගනාවියක් වෙලා, සුරංගනා සමාජෙට යනවා. හැමදාම. ඇත්තද ඈ?
අක්කට ඕක හරියටම හගිස්සවන්න ඕන නිසා, අක්කට සුරංගනා සමාජෙදි හම්බෙන අයව, මටත් හම්බෙන බව කියනවා. මං බොරු කියන බවට පොඩි හරි සැකයක් ඇති නොවෙන්න, සුරංගනා ලෝකෙදි සිද්ද වෙන ජාති රස කර කර කියනවා.
වෙලාවකට අක්කට මගෙ කියවිල්ල ඇති වෙලා කියනවා, "හා, හා. ගුඩ් නයිට්!"
මං උත්තර දෙනවා, "මුවා, මුවා, ගුඩ් නයිට්."
ඒ දවස්වල අපි ගුඩ් නයිට් කියන්නෙ "දැන් ඇති, නිදියමු" කියන්න.
දැන් ඇති. මම නිදියන්න ඕන. අක්කා හෙට කැවිලි හදාගෙන එයි.