Tuesday, June 4, 2013

වියගහ

ඊයෙ යනකොට ඇඳ හතේ අලුත් ළමයෙක්.
කලින් ළමයගෙ අම්මා මහණ වෙන්ඩ ඇති. මම හිතුවා.

කලින් හිටියෙ මාස පහක විතර ළමයෙක්. ඒ වුණාට ප්‍රමාණයෙන් අලුත උපන් ළමයෙක් වගේ. වැඩීම කොහොමත් දුර්වල වෙලා හිටිය ළමයට මාසෙකට වැඩි නිව්මෝනියාවක් හැදිලා, අසාධ්‍ය වෙලා හිටියෙ.
ඇඳ ළඟ ඉන්නවා දැක්කෙ ළමයගෙ අම්මා විතරයි. ඇය හැම තිස්සෙම පොතක් එක අතකින් අරගෙන, අනික් අතින් දරුවගෙ හිස අත ගාමින් පිරිත් කිව්වා.

"ඒ අම්මට ගෙදර ප්‍රශ්න. ළමයා මැරුණොත් ඒ අම්මා මහණ වෙනවා කිව්වා." හෙදියක් දවසක් කිව්වා.

අනික් අය වගේ ඒ අම්මා දරුවගෙ තත්වය අහන්නෙ නැහැ; ඇවිදින්නෙ බිම බලාගෙන. දරුවා ළඟට ආවොත්, පිරිත් කිය කියා දරුවගෙ හිස අත ගානවා විතරයි.
ගිය සතියෙ දවසක මම මේ අම්මට කතා කළා. අම්මා හුඟක් ඇඬුවා.
"මගේ ජීවිතේ හැම දෙයක්ම නැති වුණා. ඉතුරු වෙලා ඉන්නෙ මේ පුතා විතරයි. ජිවිතේ මට බලාපොරොත්තු ගොඩක් දීලා, ඒ හැම එකක්ම ආපහු මගෙන් උදුර ගත්තා." ඈ කිව්වා.

ගැහැණු දරුවන් පස් දෙනෙක් හා වැඩිමල් පිරිමි දරුවෙක් හිටිය පවුලෙ හතරවෙනියා වුණු ඇය, සාමාන්‍ය පෙළ පන්තියෙ ඉද්දිමයි ඇඟළුම් කම්හලක රැකියාවට ගිහින් තියෙන්නෙ. ඉන් පස්සෙ අවුරුදු කිහිපයක් මැදපෙරදිගට කඹුරන්නට ගිහින්. ඒ ආවට පස්සෙ ඇයට වඩා බොහොම වැඩිමහල් පුද්ගලයෙක් එක්ක විවාහ වෙලා. දරුවන් නැතිව අවුරුදු අටක් හිටියායින් පසුව ලැබුණු දරුවා මේ.

දරුවගෙ තාත්තා එන්නෙ නෑ ඇයවත් දරුවවත් බලන්නට. ඉඳහිට එන්නෙ අම්මයි තාත්තයි.
ආපහු යනවනම් යන්නට තියෙන්නෙ අම්මලා ළඟට. මහගෙදර තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඔවුනුත් ඉන්නෙ පවුල් එක්කම.
එක ගෙදර පවුල් තුනක්.

අවුරුදු තිස්පහකට ඇය විඳින්නට තියෙන හැම දුකක්ම විඳලා, අවසන් කරලා වගෙයි.


මේ අම්මා ගැන කල්පනා කර කර ඉද්දි, හුඟ කාලෙකට කලින් දැක්ක තාත්තා කෙනෙක්ව මට මතක් වුණා. ඔහුගෙ වයස පණහකට ආසන්නයි වෙන්නට ඕන. එහෙම නැත්නම් පෙණුම ඒ වගේ; දුක් විඳින මිනිස්සු ඉක්මණින් වයසට යනවා නෙව.
ඔහුගෙ දරුවා අවුරුදු දහසයකට පසුව උපන්නෙක්. ඉපදුණු දවසේ සිටම අම්මත් දරුවත් රෝහල්වලමයි. බරපතල උත්පත්ති ආබාධයක් සහිතව උපන් මේ දරුවාට සැත්කමක් කළත් සුවය ලැබීම අඩමානයෙයි තිබුණෙ.  දර කෑල්ලකට වඩා යන්තම් ඩිංගක් පණ තිබුණා විතරයි.

තාත්තා හිටියෙ දැඩි සත්කාර ඒකකය ළඟටම වෙලා.

"එක දවසකට හරි අපිට දරුවව ගෙදර ගෙනියන්නට තිබුණොත් ඇති." ඔහු කිව්වා. "එක දවසක් ගෙදරට ගෙනියලා, අපට දරුවෙක් ලැබුණු බව පෙන්නන්නට ඇත්නම්, ඒ ඇති."

දරුවන් නැතිකම නිසා ගමෙන්, නෑයින්ගෙන් බොහොම කෙණෙහිළිකම්වලට ලක් වුණු මේ යුවල අවුරුදු ගණනාවක් ගත කොට තිබුණෙ ගමෙන් පිට.දරුවා සුව කළ නොහැකි බව, ඉක්මණීන් මිය යන බව ඔවුන් පිළි ගත්තා.
නමුත් ගැටළුව ඔවුන්ට යළිත් පොදු සමාජයට අනුගත වීමට ඇති එකම පහුර මේ දරුවා වීම.

දිගු කාලයක් දැඩි සත්කාර ඒකකයෙ හිටිය දරුවාව පසුව වාට්ටුවට යැවුණා. ඒ ගිය දවසෙම වාට්ටුවෙදි දරුවගෙ හෘදය නැවතී තිබුණා. වාට්ටුවෙන් යළිත් දැඩි සත්කාර ඒකකයෙ ඇඳක් ඉල්ලා සිටියමුත්, ඒ වෙනකොට ඇඳක් තිබුණෙ නැහැ. දරුවා සමග වාට්ටුවේ හිටිය මේ තාත්තා දැඩි සත්කාර ඒකකයට දුවගෙන ආවෙ ඇඳක් ඉල්ලන්නටයි. ඔහු ගැන අනුකම්පා කළ විශේෂඥ වෛද්‍යවරිය දැඩි සත්කාර ඒකකයෙ වෛද්‍යවරයෙක්ව වාට්ටුවට පිටත් කළේ, කළ හැකි දෙයක් ඇත්නම් කිරීමටයි. ඒ අතරෙ දැඩි සත්කාර ඒකකයෙ වීදුරු දොරෙන් එහා කොරිඩෝවෙ තාත්තා හිටියා. මිට මොළවාගත් අත් දෙකින් පපුවට ගහගනිමින් ඔහු කෑ ගසා හැඬුවා.
වැඩිහිටිවියට පත් හැම කෙනෙක්ම කසාද බැඳ දරුවන් දෙන්නෙක්වත්  හැදිය යුතුයයි බල කර සිටින සම්ප්‍රදායික සමාජය කෙරෙහි මට ඒ වෙලේ ඇති වුණේ තද පිළිකුලක්.