මාස දෙකක්වත් නැති දරුවෙක් අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කරලා. ඇඳ ළඟ තියෙන රෝග නිශ්චයපත්, ඇඳ ඉහපත්, සායන පොත් වගේ සාමාන්‍ය දේවල් අතරෙ නුහුරු ලිපිගොනුවක්. ඒ, දරුවා ඉන්න ළමා නිවාසයෙ ලිපිගොනුව. දරුවගෙ නම, උපන්දිනය, මවගෙ නම වගෙ විස්තරවලට පසුව, අමුතු සඳහනක්.
වර්ගය : අත් හළ
"බල්ලෙක්, බළලෙක් වගේ අත් ඇරලා දාලා" කියල කතාවට කියන්නෙ, බල්ලන්, බළලුන් අතහැර දැමීම, මේ රටේ බොහොම සරල ක්‍රියාවලියක් හින්දා වෙන්නට ඕන. ගෙවල් අතහැර යන, රට අත හැර යන බොහොම දෙනා, තමන්ගෙ සුරතල් සතුනුත් එහෙමම අත හැර දාලා යනවා. ගෙදර ඉන්න සතාට පැටවුන් ලැබුණහම, යන්තම් ඇස් ඇරිය ගමන්, කොහෙට හරි ගිහින් අත හැර දානවා.
ඉතින් ඒ වගේ ළමයිනුත්.
අවුරුදු ගානකට ඉස්සර, අපි ඉගෙන ගන්න කාලෙදි, මේ වගේ ළමා නිවාසයක දරුවෙක් රෝහලේ අතරමං වෙලා හිටියා. අවුරුදු 4-5ක පමණ වයසෙ හිටිය ඒ දරුවා, යම් උත්පත්ති රෝගයක් හින්දා රෝහලට ඇතුළත් කර තිබුණෙ. සුවය ලැබූ පසු, ළමා නිවාසයෙන් ආපහු ගෙන යාමට අකමැති වුණු බව තමයි කට්ටිය කිව්වෙ. ගෙන යාමට අකමැති වෙන්නේ මොකද?
රෝහල් කොරිඩෝර දිගේ දුව පැන ඇවිදින මේ දරුවව, රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයෙ පිරිමින් අවුස්සනවා. එතකොට දරුවා, අමු තිත්ත කුණුහරපයෙන් බැන වදිනවා. දරුවාගේ පියාගෙ, නැත්නම් සීයාගෙ වයසෙ විතර ඉන්නා අර පිරිමින් මහ හඬින් හිනා වෙනවා. කාන්තාවක් එහෙම අහළ පහළින් යනවනම්, මේ ඇවිස්සිලි වැඩි වෙනවා.
සමහරවිට රෝහලට ඇතුළත් වනවිට ඒ දරුවටත් "වර්ගය : අත් හළ" යනුවෙන් සඳහන් ලිපිගොනුවක් තිබෙන්නට ඇති. ඊට පසුව, ඒ ලිපි ගොනුවෙනුත් දරුවව අත් හැරෙන්නට ඇති.
ඉස්කෝලෙ යන කාලෙදි, දෙමවුපියො, ගුරුවරුන්, මුරණ්ඩු ළමයින්ව සහ කම්මැළි ළමයින්ව "හදන්නට" මහන්සි වෙනවා. බැනලා, දඬුවම් කරලා, දෙමවුපියන්ව පාසලට ගෙන්නලා, ආදරයෙන් කියලා...
සමහර ළමයින්ව හදන්නට බැහැ. ඔවුන්ට තියෙන ගැටළුවලට විසඳුම්, දෙමවුපියන්ට හෝ ගුරුවරුන්ට පහසුවෙන් පෙනෙන මායිමේ නැහැ.
ඉතින් එහෙම ළමයින්ව, ඉස්කෝලෙ යන කාලයෙදිම අතහැර දානවා.
නොයෙකුත් වර්ධන දුර්වලතාවලින් පෙළෙන ළමයින්ටත්, හුඟක් විට එහෙමයි. ඔවුන්ව උස්සගෙන පාසලට ගෙනියලා, ඔවුන්ට නොතේරෙන පාඩම් අහගෙන ඉන්නට සලස්වලා, 'සාමාන්‍ය'යයි සම්මත ළමයින්ගෙ අඩම්තේට්ටම්, උසුළු විසුළුවලට ලක් වීමට සලසනවට වඩා, ගෙදර තබා ගැනීම පහසුයි.
තවත් සමහර ළමයින් ඉගෙනීමෙ වැඩවලට බොහොම දක්ෂයි. නමුත් නොයෙකුත් මානසික සංකූලතාවලින් පෙළෙන අය. එහෙම ළමයින්ගෙන් ඇතැමෙක් සරසවියෙදි, අනෙක් ළමයින්වත් පෙළමින්, සරසවියටම අනන්‍ය "සාමාන්‍ය" තත්වයක් නිර්මාණය කරනවා.
තවත් පිරිසක්, එක්කො පළවෙනි වසරෙදි, නැත්නම් දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි හෝ පස්වෙනි වසරවලදි අත හැරෙනවා. මුලදි, මේ අයව ඇදගෙන යාමට ඔවුන්ගෙ මිතුරුමිතුරියන් උත්සාහ කළත්, එක් තැනකදි, ඔවුන් පරාජය වෙනවා.
එහෙම ළමයින් කොතරම් ඉන්නවද?
සනත්.
"අඳුනගන්න, මේ සනත්."
"සනත්? ඔයත් සනත්නෙ?"
සනත්ලා හිනා වුණා. "ඔව්, අපි දෙන්නම සනත්!"
සනත්ලා දෙන්නම අහිංසක පාටයි. ආගමදහමට ලැදියි. දෙන්නම භාවනාව පුහුණු වුණා. දෙන්නම මූලික උපාධිය අවසන් කර, පශ්චාත් උපාධියට සූදානම් වුණා.
අලුත් සනත් ටිකක් කුලෑටියි. නමුත් බොහොම ඉක්මණින් මගෙත් එක්ක සුහද වුණා.
පරණ සනත් පසුව මට හෙමින් කිව්වා, "මෙයා තමයි, අර මං කිව්ව යාළුවා."
අලුත් සනත්, බරපතල මානසික රෝගයකින් පෙළෙන කෙනෙක්. ගෙදර අයටත් ඒ හැටි වගකීමක් නැහැ. බෙහෙත් ටික වෙලාවට දෙන්නටවත්, ඔවුන් උනන්දු නැහැ. සමහරවිට, බෙහෙත් ගත යුතු මානසික රෝගියෙක් ගෙදර සිටීම, තමන්ට අවමානයක් කියලා හිතනවද දන්නෙ නැහැ. කලණ මිතුරෙක් වූ පරණ සනත්, "විටමින් වර්ගයක්" කියලා රවටලා තමයි, හැමදාම බෙහෙත් පොවන්නෙ. ටිකක් සනීපෙන් ඉන්න කාලවලට, අලුත් සනත් පන්සලට සමීප වෙනවා; ඉගෙනගන්නවා. ඒත් පරණ සනත්ට තමන්ගෙ වෙනත් කටයුතු අතරෙ, අලුත් සනත්ව බලා ගැනීම අපහසුයි. එහෙම කාලවලට ඔහු නැවතත් අසනීප වෙනවා; කාවවත් විශ්වාස නැතුව යනවා; නපුරු වෙනවා. එතකොට ගෙදර උදවිය, පොලිසියට කියලා, අලුත් සනත්ව රෝහලට ගෙනියනවා.
මා දැන සිටි කාලයෙදි, කීපවරක්ම ඔය වටය කැරකුණා.
දවසක් පරණ සනත් මට කතා කළා.
"වැඩක් නැහැ.
සනත්ට හොඳට සනීප වෙලා හිටියෙ. එයාගෙ බාප්පා කෙනෙක් මහණ වෙලා ඉන්නවනෙ, වනගත ආරණ්‍යයක. සනත් එයා ළඟ හිටියෙ. භාවනා කටයුතු කරගෙන.
ගෙදර මිනිස්සු හිතුවෙ, සනීපෙන් ඉන්න එකේ, එහෙම පන්සලකට ගිහින් ඉන්න එක අපරාධයක් කියලා. ඒ මිනිස්සු ගිහින්, මෙයාගෙ කාමයන් ඇවිස්සුවා; ව්‍යාපාරයක් කරගෙන, සල්ලි හම්බ කරගෙන, කසාදයක් බැඳගෙන ඉන්න පුළුවන්නෙ කියලා හැගිස්සුවා.
මම ගිහින් ගෙදර අයට කතා කළා. සරලව, වගකීම් අඩුවෙන් ඉන්නකොට, සනත් හොඳින් ඉන්න බව පැහැදිලි කළා. ඒ මිනිස්සු මං කියන එක පිළිගත්තෙ නෑ විතරක් නෙවෙයි, මට විරුද්ධව සනත්ට ගතු කිව්වා.
සනත් ගෙදර ඇවිත් ව්‍යාපාරයක් පටන් ගත්තත්, ඉක්මණින්ම බංකොලොත් වෙලා. අසනීපෙත් ආයෙ මතු වෙලා. දැන් මාස ගානක් ඉස්පිරිතාලෙ. මේ පාරනම් සනීප වෙන පාටක් නැහැ. ගෙදරිනුත් දැන් යන්නෙ නැහැ. මටත් මීට වඩා දෙයක් කරන්න බැහැ."
සනත්, සනත්ව අතෑරලා.
සනත්, සමහරවිට, මුළු ජීවිත කාලයම රෝහලේ ඉඳියි. තවත් සමහර අයට එහෙමවත් නැහැ. ප්‍රකාශ්ට වගේ.
තරුණ වයසෙදිම මතට ඇබ්බැහි වුණු ප්‍රකාශ්ව, ආයෙත් හරි පාරට ගන්නට දෙමව්පියනුත්, සහෝදරයිනුත් බොහොම මහන්සි වුණා. ඒත් ඉර දිහාවට සූරියකාන්ත මල හැරෙනවා වගේ, ප්‍රකාශ් හැරෙන්නෙම මතට.
සහෝදරයා නේද කියලා මව්පියන්ගෙ ඇවෑමෙනුත් ඔහුව බලා කියා ගත්තා ගිය අවුරුද්ද වෙනතුරුත්. ඒත්, ප්‍රකාශ් දිගින් දිගටම තමන්ගෙ සහෝදරයින්ගෙනුත් හොරකම් කරමින්, මත් කුඩු සඳහා වියදම් කරන්නට වුණු නිසා, දැන් ඔහුව ගෙදරට භාර ගන්නෙ නැහැ.
ගෙදර මිනිස්සුන්ට එයින් පහසුවක් ඇතැයි මම හිතන්නෙ නැහැ. හොරකම් නැවතෙන්නට ඇති. නමුත් දවස් කීපයක්වත්, ප්‍රකාශ් ගේ දොරකඩට ඇවිත් කතා කරන්නට ඇති. පවුලෙ අයට, තමන්ගෙ සහෝදරයා කතා කරන හඬ අසමින්, ගෙතුළට වෙලා නිශ්ශබ්දව හිඳින්නට සිදු වෙන්නට ඇති.
දැන් මැදි වයස ඉක්මවූ ප්‍රකාශ්, ගෙයක් දොරක් නැති, පවුලක් නැති, රැකියාවක් නැති, ඒ දේවල් කවදා හෝ ලැබේයයි විශ්වාසයක්වත් නැති අනාථයෙක්.
අත් හළ කෙනෙක්.
මහමග එවැනි අය අපි නිතර දකිනවා. සිහි විකල් වුණු අය, අඩුම ගානෙ සිඟමන් යැදීමටවත් මහන්සි නොවී, කිලිටි රෙදි වැරහැලි හැඳගෙන, ඔහේ පාර අයිනෙ ලැග සිටින්නන්; හිස හැරුණු අතේ අයාලේ යන්නන්.
තිදරු මවක් වන මගේ හොඳම යෙහෙළිය, මෙහෙම මනුස්සයෙක් දැකලා, දවසක් කිව්වා...
"එහෙම අය දකිනකොට, මට හැම වෙලේම කල්පනා වෙනවා...
ඒ අයටත් අම්මා කෙනෙක් ඉන්න ඇති. අම්මා ඒ අයව වඩාගෙන, තුරුල් කරගෙන ඉන්න ඇති. ඉඹින්න ඇති. උපන්දිනයක් දවසට මතක් කරලා, මොනවා හරි විශේෂයක් කරන්න ඇති.
මේ අයට ඒ දේවල් මතක් වෙන්නෙ නැද්ද?
මතක් වෙනවා ඇති."
බොහොම සංවේදී ලිපියක්....සමහර දේවල් කොච්චර උත්සහ කරත් කරන්න බැරි ඇයි කියන එකට 'කරුමේ' හැර වෙනත් සංකල්පයක් මා නොදනී...
ReplyDeleteඔව්, සමහර දේවල්, කෙනෙක් මතින් වළක්වා ගන්නවා වගෙ දේවල්, සමහරවිට කොච්චර උත්සාහ කළත් කරගන්න බැහැ.
Deleteතවත් සමහර දේවලට පහසු විසඳුම් නැහැ- පාන්දරම අවදි වෙලා ඉස්කෝලෙ එන්නට සිදු වෙන ළමයින්ට පන්තියෙදි නින්ද යාම වගෙ දේවලට; එහෙම නැත්නම් ස්ථිර රැකියාවක් නැති මව්පියන්ගෙ ළමයින් පාසල් නොඒම, රන්ඩු කරගැනීම වගෙ දේවලට.
:(
මේ දේවල් නම් බොහොම සංවේදී තමයි. නමුත් ළෝකේ සුපිරිම රටවලත් මේ වගේ අය ඉන්නවා. මේවටත් බෙහෙත් හේත් හොයාගනීවී අනාගතේදී.
ReplyDeleteඔටිසම් කියන් දේ අපි දැනගත්තේ බොහෝම මෑතකදි නේ...
Deleteසමහර ගැටලු ඇති වීම වළක්වන්න බැහැ. ඒවට මොනයම් හෝ විසඳුමක් දෙන්න උත්සාහ කරන රටවල් තිබීම අගේ කළ යුතුයි. කවුරු බැන්නත්, මහළු නිවාස, ළමා නිවාස වගෙ දේවල් නැතුව බැහැ. අනික ඒවට යන්න වෙන එක ගැන මහ ලොකු විනාසයක් ලෙස සැළකිය යුතුත් නැහැ කියලයි මම හිතන්නෙ.
Deleteසංවේදී ලිපියක්.
ReplyDeleteඅපි ගොඩක් වෙලාවට ප්‍රශ්න ලෙස නොදකින සමහර දේවල් සමහරුන්ට ප්‍රශ්න වෙන්නෙත්, අපි විහිලුවට ගන්න දේවල් සමහරුන්ට ජීවිතය සහ මරණය සම්බන්ධ ගැටළු වෙන්නෙත් අපි සංවේදී නොවන නිසා. අපි සංවේදී නොවන නිසා අපේම මිනිසුන් අත්හැරලා දාන වෙලාවල් අනන්තයි.
ඩීප්ස්ගෙ කමෙන්ට් එක දැක්කහම මට එක පාරටම මතක් වුණේ, සියදිවි හානි කරගන්න අය. ඒ හුඟක් දෙනෙක්, කවුරු හෝ තමන්ට කිට්ටුයයි හිතෙන අයට ඒ ගැන සඳහනක් කරනවා. ඒ කියන වචනෙට සංවේදී වෙන්නෙ, ඒ වෙනුවෙන් යමක් කරන්නෙ, කීයෙන් කී දෙනාද?
Deleteළඟදි දවසක මගෙ යාළුවෙක් කිව්ව කතාවක් මේක. ඔහු දන්න කෙනෙක් සියදිවි හානි කරගෙන; බොහොම ඉස්සර. මගෙ යාළුවට හුඟක් යාළු මිත්‍රයො ඉන්නවා; බොහොම සමාජශීලි කෙනෙක්. ඒ හින්දම, අර සියදිවි හානි කරගත් කෙනාගෙ මිත්‍රකම, ඔහුට අමුත්තක් වෙලා නැහැ. දුක්ඛිත කරුණ, ඒ පුද්ගලයට හිටපු එකම කිට්ටුවන්තයා, මගෙ යාළුවා වීම. මගෙ යාළුවා, ඔහුගෙ අනික් යහළුවන් සමග විනෝදයෙන් හිටිය වෙලාවක, අර කෙනා ඇවිත් කියලා තියෙනවා, "මම බෙල්ලෙ වැල දාගෙන මැරෙන්න යන්නෙ. උඹට කියලා යන්න ආවෙ" කියලා. ටිකක් සප්පායම් වෙලා, විනෝදයෙන් හිටිය වෙලාවකත් නිසා, මගෙ යාළුවා එතරම් ගණන්ගෙන නැහැ; ඇරත් අර කෙනා "පිස්සෙක්" විදිහටත් ප්‍රසිද්ධයිනෙ. ඔහු ගත්තු කටටම කිව්වලු, "බෙල්ලෙ නෙවෙයි, (නරක වචනයක්) වැල දාගන්." කියලා.
පහුවදා, අර කෙනා බෙල්ලෙ වැල දාගෙන මැරිලා.
'කලින්දා ඇවිත් මට මෙහෙම කිව්වෙ, ඔහුට හිටිය එකම හිතවතා මම නිසා නේද කියලා මගෙ යාළුවට හිතුණෙ හුඟක් පස්සෙ කාලෙකදිලු.'
ඒ අයට අපව වටින තරමට, අපට ඒ අයව වටින්නෙ නැතිකොට, අපි ඒ ගැන සවේදි වෙනවා අඩුයි නේද?
ෂොක් වෙච්චි ලිපියක්. විජේරාම හන්දියේ අටේ කනුව ලඟ වයසක මනුස්සයෙක් ඉන්නවා.වැස්සට තෙමි තෙමී.. දැක්කාම පුදුම දුකක් එන්නේ.. මට
ReplyDelete“එහෙම අය දකිනකොට, මට හැම වෙලේම කල්පනා වෙනවා...
ඒ අයටත් අම්මා කෙනෙක් ඉන්න ඇති. අම්මා ඒ අයව වඩාගෙන, තුරුල් කරගෙන ඉන්න ඇති. ඉඹින්න ඇති. උපන්දිනයක් දවසට මතක් කරලා, මොනවා හරි විශේෂයක් කරන්න ඇති.“
මේක මෙහෙමම හිතුනා...
එහෙම හිතන්නවත් ඉස්පාසුවක් නෑනෙ වැඩි දෙනෙකුට. හිතුණත්, කරන්න දෙයක්, පහසුවෙන් පෙනෙන ඉමක නැහැ. අමාරුවෙන් හරි කරන්න ගියොත්, බාධක එමට.
Deleteමම ඔහොම ගෙවල් අතහැර දැමූ එවුන් සෙට් එකකට උගන්නනවා නලිනි. අතෑරලා කියන්නේ, උන් කියන දේ නාහන නිසා උන්ට ඕනෙ මගුලක් කරගන්න ඇරලා අතෑරලා දාලා තියෙන්නේ. :)
ReplyDeleteඅර දෙයියෝ සිහි කරගෙන යන පන්තිය නේ... හි හි...
Deleteඑහෙම අයට උගන්වන එකනම්, විශාල අභියෝගයක් වෙන්න ඕන. චිත්‍රපටිවලින් පෙන්වන තරම් සරල නැහැනෙ ඇත්ත තත්වය. චිත්‍රපටිවලනම්, පැය දෙකහමාරකින් තුනකින්, ළමයින්ට සත්‍යය අවබෝධ වෙලා, යහපත් පුරවැසියො වෙනවනෙ.
Deleteදෙය්යො සිහි කරගෙනද යන්නෙ පන්තියට? :D මට ඒ කතාව අහු වෙලා නෑ, මං හිතන්නෙ.
හෙහ් හෙහ්, ඔව් හිරු ඒක තමයි. :D
Deleteමෙන්න නලිනි.
http://bluejeansntshirts.blogspot.com/2013/01/39-faq-teaching-abroad.html
http://bluejeansntshirts.blogspot.com/2013/01/40.html
අනේ නංගි , ඇසට කඳුලක් ඉනුවා මේ සටහන කියවලා. මාත් දන්නා කිහිප දෙනෙක් ඉන්නවා මේ වාගේ. එක් කෙනෙක් හොඳටම මුදල් හදල් තියෙන පවුලක. නමුත් අද මුලේරියාවේ ගෙවන වාට්ටුවක ඉන්නෙ. මේ දරුවා ඉස්සර අපේ ගෙදර ආවා. දවසම ඉන්න ආසයි. එයාගෙ ගැටළු අහන් ඉන්න කෙනෙක් ඒ ගෙදර නෑ. හැමෝම රට රට වල. අම්මා හා තාත්තා පමණයි මෙහේ හිටියෙ. තාත්තා කාලෙකට ඉහත නැති උනා. අම්මාට මෙයාව බලා ගන්න දැන් බෑ. ඉතින් අතන නවතා තියෙනවා. හරිම දුකයි. කරන්නට දෙයක් අපට නෑ. එයාගෙ පවුලම එයාව අත හැරලා දාලා. අම්මා නම් සංවේඅදියි. එයා දුක් වෙනවා දරුවා ගැන. ජිවීතේ හැටි මෙහෙම තමා. පෙර කල කර්ම විපාක ද? මේ. නමුත් මනුස්සකම් තියෙන තැනක උපන්නා නම් තත්වය වෙනස්. දරුවන්ට ලමා කාලයේ වෙන දේවල් පසුවට බලපාන්නෙ මෙලෙසයි.
ReplyDeleteපවුලෙ අයටත් තමන්ගෙම අරගල තියෙන හින්දා, තව බරක් දරන්න අපහසු ඇති. මේ වගෙ අය වෙනුවෙන්, යටිතල පහසුකම් වැඩි දියුණු කරනවනම්, විශ්වාසවන්තව බලා කියා ගන්න තැන් ඇති කරලා. එහෙමනම්, පවුලෙ අය ඈතින් ඉඳලා හරි, මේ අය වෙනුවෙන් වියදම් කරන්න කැමති වෙයි. මෙහෙ ඉතින් එහෙම විශ්වාසවන්ත පුද්ගලයින් හෝ ස්ථාන හොයන්න අමාරුයිනෙ සාධාරන මුදලකට.
Deleteබහුතරයක් මිනිස්සු අමාරු දේවල් අත්හරිනවා, ලේසි දේවල් බදාගෙන ඉන්නවා.
ReplyDeleteහැමදේම වෙනස් කරන්න පුලුවන් තත්වයක් තියෙද්දිත් !
සම්පූර්ණ ඇත්ත. ලේසියෙන් වෙනවනම් මිස, ටිකක් හරි අමාරුවෙන් ඉන්න මිනිස්සු කැමති නැහැ. එක එක්කෙනාගෙ ඉවසීමෙ සීමාව අනුව, ස්වාර්ථයට මුල් තැන දෙන සීමාව තීරණය වෙනවා.
Deleteතමංගෙ දරුවෙක් සහෝදරයෙක් ඔහොම අත්අරින්න පුලුවංද කියන එක ප්‍රශ්ණයක්.
ReplyDeleteමම හොඳින් දන්න කෙනෙක් ඉන්නව ගෙදර අතඇරල ගිහිල්ල ඔය වගේ මානසික ප්‍රහ්නෙකට පත්වෙච්ච. නමුත් ඒ ගෙදර අය දෙවතාවක්ම දැනට ඒ පුද්ගලයව රෝහලට ඇතුලත් කරල සනීප කරල තියෙනව.
මිනිස්සු අත හරින්නෙ, තමන්ට පුළුවන් සීමාව පැන්නහම. සමහර අය වැඩි උත්සාහයක් නැතුවම. අර මම කිව්ව මත්ලෝලියා, අවුරුදු 30කට වඩා පවුලෙ අය විසින් බලාගත් කෙනෙක්. ප්‍රසන්න කියන ගෙදර අයත්, කොහොම හරි තත්වෙට මුහුණ දීලා, තමන්ගෙ කෙනාව බලාගන්නවා ඇති.
Deleteදෙමවුපියොනම් හුඟක් වෙලාවට ළමයින්ව බලා ගන්නවා. නමුත් ඒ අය නැති කාලෙක, සහෝදරසහෝදරියන් විවාහ වුණාට පස්සෙ, ඔවුන්ගෙ ජීවන අරගලයත් එක්ක, සීමාව පනින්න පුළුවන්. කොහොමත් වැඩි දෙනෙක් විවාහ වුණාට පස්සෙ "තමන්ගෙ" කියල සළකන්නෙ කලත්‍රයා සහ ළමයි පමණයිනෙ.
මේ කතාපෙල හරිම සංවේදී.
ReplyDeleteමම කලින් හිටපු රටේ පුවත්පත්වල නිතර සඳහන් වූ දෙයක් දින ගනනක් තරම් ලාබාල දරුවෝ එතැම මෙතැන් අතහැර ගිහින් කියන එක. ඉඳ හිට දරුවාගේ අම්මා සොයා ගත්තා නම් කියන පොදු වචන මාලාව දරුවාට හොඳින් ඉන්න ඕන නිසා එහෙම කරා...
දින කිහිපයකට කලින් වාර්තා වුනා ඉන්දුනීසියානු මවක් දිනගානක දරුවා එරට මුදලින් 4000 (x රු32) කට විකුනන්න උත්සාහ කරද්දි වෙස්වලාගත් පොලිසියෙන් අටවපු උගුළට හිර වෙලා. ඇය අසම්මත සීනුහඬක් ඇසුන ගෘහසේවිකාවක්, උසාවියේ දී කියා ඇත්තේ දරුවා විකුණුවේ එරටින් මිදී තම රටට යන්න ගුවන් ටිකට් පතට මුදල් සොයාගන්න කියලා (පොලිසිය ඉදිරිපත් කරපු නාටකයක් වෙන්නත් පුලුවනි).
ඒ රටේ හිටි කාලයේ විශේෂඥ වෛද්‍ය සායන කඳවුරක ස්වේඡ්ඡා සේවකයෙක් හැටියට දායක වුනා. එතැනට එරට වැසියන්ගෙන් සිට එරට රැකියා සඳහා ආ නොයෙකුත් විදේශිකයින් විවිධ රෝග/දුර්වලතා වලින් පෙලෙන දරුවන් අරන් එනවා. අවුරුදු ගානක් ඒ කාරියට සහභාගී වූ මා වසරක දී දිනක් පවත්වන කඬවුරට ගිහින් හිතෙන් අහක් කරන්න බැරි තරම් මතක අරන් එනනේ. ලොව දියුණු නොදියුණු සම්මත ඉරි, දේශ අතර බෙදුම් ඉරි, පාට මොනවා වුනත් එකම වේදනාව විඳගන්න ඒ දෙමාපියන් හිතට තට්ටු කරන්නේ පුදුම විදියට.
ඒ දරුවෝ ගැන...
අපේ ගමේ මහළු නිවාසයක් තියෙනවා. එතැන ඉන්නේ ඈතින් ආ අත් හළ වැඩිහිටි උදවිය.
අත් හරින අයට වැරැද්දක් කියන්නත් බැහැ. ඒ අයටත් මොකක් හරි ප්‍රශ්නයක් නිසානෙ එහෙම කරන්නෙ. අනිකාගෙ සුභසිද්ධියට වඩා, තමන් ගැන හිතන්න වෙන අවස්ථාවක් එනවා ඇති. අර විදිහට අත්හරිනු ලබන අය වෙනුවෙන් යම් සුභසාධන වැඩ සටහන් තියෙනවනම්, අය්යා සහභාගි වුණු කඳවුරු වගේ, නැත්නම් නිවාස වගේ, ප්‍රශ්නවලට පොඩි හරි විසඳුමක්.
Deleteනගේ අපේ ගෙදර ඇත්තී දැං කාලෙක ඉඳං ඉස්කෝලෙ ළමයින්ට උපදේශනය කරන්නේ. සමහර ළමයින්ට තියෙන ගැටළු විශ්වාස කරන්න බැරි තරම් දරුණු ඒවා. ඒවා දරාගෙන ඒ ළමයි ජීවත් වෙන්නෙ කොහොමද හිතා ගන්න බෑ. අපි පුංචි කාලෙට වැඩිය දැං තියෙන සමාජ ගැටළු අතිශය සංකීර්ණයි කියලා හිතෙනවා.
ReplyDeleteඒකනම් ඇත්ත අය්යා. ඉස්කෝලවල හොඳ උපදේශක සේවාවක් තියෙන එකනම් හුඟක් වටිනවා. හුඟක් ළමයින්ට තමන්ගෙ ප්‍රශ්නයක් කියන්න වැඩිහිටියෙක්වත් නැහැනෙ. ප්‍රශ්නවලට පිළිතුරු නැති වුණත්, අඩු ගානෙ අහගෙන ඉන්න කෙනෙක්වත් ඉන්නවනම්, ඒ ළමයින්ට සැනසිල්ලක්නෙ
Deleteපන්සලේ මල් ආසනය ආසනය ළඟ අතහැරලා ගිය අත දරුවෙක් ළමා රෝහලේ හිටියා ඒ දවස්වල . වෙද සිසුන් කිවේ පුෂ්පික කියල . පුෂ්පික නම් කවුරු හරි අරන් හදාගත්ත කියලයි ආරංචි වුනේ . එහෙම කරන්නෙත් නිරෝගී ළමයෙක් විතරනේ . නලිනි කිවා වගේ හදන්න බැරිව අතහරින ළමයෙක් භාර ගන්නේ කවුද .
ReplyDeleteඅසනීප බව දැන ගන්න කලින් අරන් හදාගත්ත ළමයි එක්ක, හදාගත් අම්මලා ඉස්පිරිතාලෙ ඉන්නවනම් දැකලා තියෙනවා. ඒත් පිටරටවල මිස, අපේ රටේනම්, දැන දැනම අසනීප ළමයෙක්ව/ ගතිගුණ නරක ළමයෙක්ව අරන් හදාගන්න අය ගැන මම අහලම නෑ.
Deletehammoo meka bokkatama wadinawa.
ReplyDeleteසංවේදී...
ReplyDeleteමිනිස්සු දුවන්නේ ලොකු රේස් එකක්... පුලුවන් එකා හැම දේම අරන් දුවනවා. බැරි එකා තියන දේවල් අත ඇරලා දුවනවා..
ReplyDeleteකවුද වැරදි..?
මෙතනට ආපු පලවෙනි දවස. කියවන්න, කියවලා හිතන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක නිසා පුළුවන් හැම වෙලේම ගොඩ වැදිලා යන්නම්.
ReplyDeleteඔය වගේ සංවේදී අවස්ථා වලට අපිත් මුහුණ දීලා තියෙනවා...ඇත්තටම හරිම අසරණ වෙනවා ඒ වගේ වෙලාවන්ට
\\මතක් වෙනවා ඇති..\\
ReplyDeleteසංවේදී කමේ පාලනයක් නැති ඉසව්වකට ගිහින් ආපු මට මේ අය දකිද්දි ඇඬෙන්නෙ ඇයි කියලා කියනඩ ඕනි නැහැනෙ...වැඩක් නෑ අඬලා ඒත්..මොකද්ද මේ ජීවිතේ කියලා හිතෙන්න ඒ ටිකම ඇති..
අසනීපයකදී අතාරිනවා කියන දේ සහ ඇබ්බැහියකදී අතාරිනවා කියන දේ අතර ලොකු වෙනසක් තියනවා අක්කා. ඒ වගේම දඩුවමක් ලෙස තාවකාලිකව අත්හැර දැමීම් උපදේශනයේ පවා තියනවා නේද?
ReplyDeleteමේ කතා කිහිපයනම් සමාජයේ තියන කළු පැතිකඩ ඉස්මතු වෙන අවස්ථා. විශේෂයෙන් නොදරුවන් මුහුණ දෙන අවස්ථා ගැන කතා කරද්දී නම් හිත නොදැනීම ගොළු වෙනවා.