Saturday, April 18, 2015

ඉව

ඒ කාලෙ මම හිටියෙ තට්ටු නිවාසයක, සිව්වැනි මහළෙ. ස්නායු ආබාධයක් නිසාවෙන් හරිහැටි ඇවිදීමට නොහැකි, සුදු පාට, කෙට්ටු බළල් පැටියෙකුත් මට හිටියා.

තට්ටු නිවාසයෙ කුස්සිය පිහිටලා තිබුණෙ, ගොඩ නැගිල්ලෙන් වෙනමම නෙරා ගිය කුඩා හතරැස් කොටසක. ඒ කොටසට ගිය විට එක් පැත්තකින් අල්ලපු නිවාසයේ කුස්සියත්, අනෙක් පැත්තෙන් මගේ නිවාසයේ ඉස්තෝප්පු කොටසත් දැකිය හැකියි. තේ හැදීමට සහ බළල් පැටියාට කෑම සැකසීමට මිස, මේ කුස්සිය එතරම් පාවිච්චි වුණේ නැහැ. විදුලි දඟර ලිපක් හා ගෑස් ලිපක් මා සතුව තිබුණ අතර, එකම ගෑස් සිලින්ඩරය මම අවුරුද්දකට වඩා පාවිච්චි කළා.

එක දවසක් රෑ වැඩ අවසන් කර ගෙදර පැමිණි මම නිදිමතේම කුස්සියට ගියෙ බළල් පැටියට කෑමට යමක් හදා දෙන අරමුණින්. ඒත්...

කුස්සියෙන් මොකක්දෝ සූ හඬක් එනවා!

මම කෝකටත් ඉස්සෙල්ලම කුස්සියෙන් එළියට පැන්නා. ඊට පස්සෙ ඉව කළා: ගෑස් ගඳක් එනවද?
කුස්සියෙ තිබුණු බඩුවලින් එහෙම අනතුරුදායක දේකට තිබුණෙ ගෑස් සිලින්ඩරේ විතරයි. ගෑස් සිලින්ඩරේ මොකක් හරි කාන්දු වීමක් වෙන්නට ඕන. ඇහෙන සද්දෙ, සිහින් සිදුරක් හරහා වාතය ගමන් කරනවිට එන සද්දෙ.

ගෑස් සිලින්ඩරේ ටික ටික කාන්දු වෙනවා! තව ටිකකින් ගේ පුරා ගෑස් පිරෙයි; සමහරවිට ගෑස් සිලින්ඩරය පුපුරයි; එහෙමත් නැත්නම් පොඩි හරි දේකින් ගින්නක් ඇවිලිලා, මුළු ගෙදරම ගිනි ගනී!

මම ප්‍රශ්නෙ විවරණය කරන අතරෙ, බළල් පැටියා කුස්සියට ගිහින් අඬනවා- එයාට බඩගිනියි. මම වැඩට ගිහින් එනතුරු පැය 15-16ක් විතර එයා ඉන්නෙ බඩගින්නෙ. ඒත් පවතින තත්වය යටතෙ, බඩගින්නට වඩා ගින්නෙ තර්ජනය බරපතලයි. මම බළල් පැටියට අඬ ගැහුවා. අඬ ගහගෙන, ගෙයින් එළියට පැන්නා. දොරත් වහලා දැම්මා. කුස්සිය පැත්තෙන් අර කාන්දු සද්දෙ තාමත් එනවා. ඒත් එක්ක, තවත් මොකක්ද ඩිඩිග් ඩිඩිග් සද්දෙකුත් එනවා. ඒකනං ඇහෙන්නෙ මගෙ ඇඟ ඇතුළෙන්ම වගෙ!

මම කල්පනා කළා: ඉස්සර පොඩි කාලෙ සඟරාවකින් කියෙව්ව කතාවක් මට මතක් වුණා. ඒකෙ තිබුණෙ, ගිනිගෙන වැටුණු (හෝ වැටිලා ගිනි ගත්තු) ගුවන් යානාවක හිටිය ගුවන් සේවිකාවක්, ගින්නට බය නොවී, ඇගේ වගකීම වුණු මගීන් ආරක්ෂිතව එළියට එක්කගෙන ගිය විස්තරයක්. අවසානයෙදි, ඇය එළියට ඒමට පෙර ගුවන් යානය පුපුරලා, ඇය මැරෙනවා. ඔය කතාව කියෙව්වයින් පස්සෙ, මමත් සෑහෙන කාලයක් යනකං හිතෙන් ඒ වගෙ ගින්නවල්වලට මැදි වුණු මිනිස්සු බේර ගත්තා. හැබැයි, ඒ හිතළුවල මම මැරුණෙ නෑ; මාත් අන්තිමට බේරුණා.

මෙතන තත්වය ටිකක් වෙනස්. ගිනි ගත්තනං කරන්නට ඕන හරිය මම දන්නවා; ඒත් තාම ගිනි අරගෙන නෑනෙ.

මම කාට හරි කතා කරලා උදව් ඉල්ලිය යුතුද? අවට නිවාසවල අයව මම අඳුනන්නෙ නෑ. ඇඳිනුවත්, ඒ අයට කරන්නට පුළුවන් දෙයක් නෑ. එහෙනම් ගිනි නිවන හමුදාවට කතා කළ යුතුයි.
කෝකටත් කියලා, මම මුළින්ම අපේ මල්ලිට කතා කරන්නට තීරණය කළා. බඩගින්නෙ අඬන බළල් පැටියව එළියෙ රඳවලා, කාමරේට දුවලා ගිහින් දුරකථනය අරගෙන මම ආපහු එළියට ආවා.

"මල්ලි, ගෑස් සිලින්ඩරේ කාන්දු වෙනවා වගෙයි. සූඌඌඌ ගාලා සද්දෙ එනවා දැන් සෑහෙන වෙලාවක්."

සහෝදරයො කියන ජාතිය වාසනාවන්.
"ඔයා එළියට වෙලා ඉන්න. මම දැන්මම එන්නම්." මල්ලි කිව්වා.

මල්ලිත් තව ටිකකින් එන හින්දා හරි, සෑහෙන වෙලාවක් ගිහින් හින්දා හරි, කලින් දවසෙ නිදි මැරුව එකෙන් ආව තෙහෙට්ටුව අමතක වුණු හින්දා හරි, ඔන්න මගෙ හිත ටික ටික පැහැදිලි වෙන්නට පටන් ගත්තා.

මෙච්චර වෙලා සද්දෙ ඇවිල්ලත් තාම ගෑස් ගඳක් නෑ නේද?

මම ගෙට ගියා. ඉව කළා. ම්හු.

ටික ටික කුස්සිය පැත්තට ගියා. ම්හු.

කුස්සියටම ගියා. ම්හු.

සද්දෙට හොඳින් ඇහුම් කන් දුන්නා. සිලින්ඩරේ පැත්තෙ... ම්හු.

සද්දෙ එන්නෙ ජනේලෙ පැත්තෙන් වගෙ.

එහා පැත්තෙ ගෙදර කුස්සියෙන් වගෙ.

මම ඒ පැත්ත බලද්දිම වගෙ තමයි ඒ ගෙදර කවුද ඇවිත් කේතලේ නිව්වෙ.

මම මල්ලිට කතා කරලා කිව්වා, එන්න ඕන නෑ කියල. මේ අල්ලපු ගෙදර මිනිස්සුන්ගෙ කන්වල පිට්ටුද කොහෙද...

44 comments:

  1. සේෆ්ටි ෆස්ට්.. කතාව කියවල ඉවර වෙද්දි හිනා ගියත් ගත්ත පියවර හරි.. දෙවෙනි පියවරත් හරි.. වඩා විමසිල්ලෙන් බැලීම.. මේ ඊයෙ පෙරේදා නිවුස් එකක් ගියා ගාල්ල පැත්තේ ගෑස් සිලින්ඩරයක් පුපුරලා කියලා.. LPG ගෑස් ගෘහස්ථ භාවිතයේදී සැලකිළිමත් විය යුතු කරුණු කිහිපයක්ම තියෙනවා.. ඒ වගේම අනවශ්‍ය ලෙස බිය විය යුතුත් නෑ නිවැරදිව පාවිච්චි කරනවනම්.. වෙලාවක් ලැබුනොත් පෝස්ට් එකකින් ලියන්නම්. (මේ වගේ පෙන්ඩින් පොරොන්දු දැන් බර ගානක් තියෙනවා.. හැක්..)

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ගැන ලියන්න. මම හිතන්නෙ ඒක හුඟක් වැදගත්- එක අතකට හුඟක් දෙනෙක් නිතොරව පාවිච්චි කරන, නමුත් ප්‍රවේශමෙන් පරිහරණය කිරීමට නොදත් දෙයක්.
      පරිස්සම ගැන කියද්දි මතක් වුණු තවත් කාරණාවක්. දැන් තියෙනවනෙ ගෑස් ලිප දැල්වීම සඳහා බොත්තමක් එබීමෙන් ගිනි පුපුරක් දැල්විය හැකි උපකරණයක්. අපේ ගෙදරට ආව පොඩි දරුවෙක් ඔහේ ඇවිදගෙන ගියා කුස්සියට; ගත්තා ඕක අතට; මූණටම හරවගෙන බොත්තම එබුවා. ළමයගෙ වාසනාවට හෝ අපේ වාසනාවට, ඒක පත්තු වුණේ නැහැ. ළමයා ඒකෙන් මොනවද වෙන්නෙ කියලත් දන්නවා. ඒ විදිහට දල්වන්න එක අනතුරුදායක බව වැටහිලා නෑ. එහෙම නැත්නම් පිට තැන්වල ගිහාම, එහෙ බඩුමුට්ටු අදින එක නරක බව දන්නෙ නෑ. අපේ ගෙදර පොඩි ළමයින් නැති නිසා, ඔය එක එක දේවල් අහු නොවෙන මායිමේ අරන් තියන්න අපි උනන්දු වෙන්නෙත් නෑ.

      Delete
    2. ඔය උපකරනෙ අවශ්‍ය වෙන්නෙ නෑනෙ සෙල්ෆ් ඉග්නිෂන් ගෑස් ලිපක් ගත්තනං. මම හිතන්නෙ ඒ ගැජට් එක නැති ගෑස් ලිප් එච්චර තත්වයෙන් උසස් නෑ.

      Delete
  2. නියම කතා කීමේ කලාවක්. මුල ඉඳලා අග දක්වා මාව ඇදගෙන ගියේ කුතුහලය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. :) මම නිකම් බය වෙලා.

      Delete
  3. දැන්නං මට මොනවා නැතත් ඔයාගේ පෙර ආත්මයක් ගැන කිව්වැකි... මතකද අර තල් ගහ යට දොයිය ගත්ත හාවව.. :D :D :D

    ReplyDelete
  4. ඊට පස්සේ කේතලේ පුපුරනවද....?

    මට මතක් වෙන්නේ අර මිනිස්සු දොස්තරලගෙන් නිතරම අහන කතාව..

    "ඩොක්ටර්... බය වෙන්න දෙයක් නැද්ද...?"

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ. ඒක විස්ලිං කේතලයක්. කලින් අහල තිබුණට, මම එහෙම එකක් දැක්ක පළවෙනි වතාව.
      බය වෙන්න දෙයක් නෑ! :D

      Delete
  5. මේපාර යද්දී ගෙදර විස්ලින් කේතලේ නෝමල් එකක් බවට පත් වෙලා. දවසක් අම්මලට අමතක වෙලා ඔය වගේ ප්ලාස්ටික් නොබ් හෙම උණුවෙලා මුඩි ඇද වෙලා . දැන් සාමාන්‍ය කේතලයක්.
    ගෑස් වල නම් මමත් හරි බයයි. දැන් සිලින්ඩර නැහැ . බට වලින් එන්නේ. කොයික වුනත් කුස්සියේ ජනෙල් දොරවල් ඇරලා ටිකක් ඉඳල තමයි ලිප දාන්නේ. පාවිච්චි නොකරන වෙලාවට අනිවාර්යයෙන් කරාමය වහනව.

    ReplyDelete
    Replies
    1. ඉස්සර මට තිබ්බෙ හීටර් එකක්. දවසක් වතුර උණු කරන්න තියල, කාමරේට ගිහින් වෙන වැඩක එල්ලිලා ඉඳලා, අමුතු ගඳක් එනකොටයි මතක් වුණේ. කුස්සියට දුවගෙන එද්දි, මේසෙ උඩ ගිනි ජාලාවක්. වතුර ටික වාෂ්ප වෙලා, ප්ලාස්ටික් ජොග්ගුවත් ගිනි අරගෙන වැක්කෙරෙනවා. :D ඊට පස්සෙ අම්මා ඔටෝ ඕෆ් වෙන එකක් අරන් දුන්නා.
      ගෑස් යනු ටිකක් භයානක දෙයක් තමා. බටවලින් එන එක වඩා අනතුරුදායක නැද්ද? ඒකෙ මැදින් පුපුරන්න හරි කැඩෙන්න හරි ඉඩ තියෙනවනෙ. :(

      Delete
    2. අපිට බටය පේන්න නැහැ. කරාමයක් විතරයි. දෙය්යෝ දනී ඇතුල කොහොමද කියලා.

      Delete
  6. බොහොම හොඳයි බොහෝ හොඳයි. ඔයා බිල්ඩිමෙන් මිනිස්සු අයින් කරන්න කටයුතු කරන්න කලින් මල්ලිට කතා කරපු එක ඊටත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මල්ලිට කතා කළේ. :D
      හැබැයි ඇත්තටම ගෑස් ලීක් එකක් එහෙම වුණානම් තමා ප්‍රශ්නෙ.

      Delete
  7. මම හිතුවේ පූස් පැටියා අර එයාගේ නියපොතු උල් කරන්න ගෑස් බටේ හූරලා කියලා......!

    මෙහේ ඩුබායි වල ගෑස් සිලින්ඩර් ඩිලිවර් කරන මිනිස්සු ගෑස් සිනිලින්ඩරේ බටේ හයි කරලා ඉවරවෙලා ලයිටරයක් අරගෙන පත්තු කරලා සිලින්ඩරෙට රෙගුලේටරේ කනෙක්ට් වෙලා තියෙන වටේ අරගෙන යනවා.....! ලීක්ද කියල බලන්න. මම නම් ඒ වෙලාවට කුස්සියේ පැත්ත පලාතකවත් ඉන්නේ නෑ....! මොකද මට තියෙන්නේ ටික වෙලාවකට පස්සෙ ඇවිත් බලන්න අරූ රෝස්ට් වෙලාද කියලා....

    ReplyDelete
    Replies
    1. අපොයි! පිස්සුනෙ ඒ මිනිස්සුන්ට. ඕක බලන්න වෙන මොනවත් ක්‍රමයක් නැද්ද මන්දා. අලුතින් ගෑස් සිලින්ඩරයක් ගෙනාහම, ඕක හරියට ෆිට් වුණාද කියන සැකේ එනවමනෙ.

      Delete
    2. සබන් දිය කරලා ගාල බලනව නේද. බුබුළු එනවා නම් ලීක් එකක්

      Delete
  8. //දොරත් වහලා දැම්මා// හපොයි.. ගෑස් කාන්දුවකදි මුලින්ම කරන්න ඕන ආදල ස්ථානයට හොඳ වාතාස්‍රයක් එන පදිරි හැකි තරම් ජනෙල් දොරවල් ඇර දැමීමයි.

    ගෑස්, විදුලිය සිහිකල්පනාවෙන් පාවිච්චි කරනවනං අනතුරක් වෙන්න තියෙන හැකියාව ඉතාම විරලයි. කලබලය තමයි හැම අනතුරකටම මුල වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දොර වැහුවෙ, පූස් පැටියා ගෙට රිංගන්න හදන නිසා.
      ඔව් පරිස්සමින් පරිහරණය කරනවනම්, අනතුරු අඩුයි. විශේෂයෙන් ගෑස් සම්බන්ධ අනතුරු අහන්න ලැබෙන්නෙ හුඟක් අඩුවෙන්නෙ.

      Delete
  9. පුදුමයි සර්පයෙක් කියල භය නොවුන මුලිම්ම.

    අපේ ගෙදර අයට ඕකෙ අනික් පැත්ත. ගෑස් ගඳ දැනෙන්නෙ නෑ. දව්ස් දෙකක්ම මම බලනකම්ම ලීක් වෙලා ඔහේ ගිහින්. පොඩි එක්කෙනා ලිප ඇරල! දැන් ඒවට ගාඩ් දැම්ම බෙරගන්න බැරි නිසා.

    මේ රටවල සිලින්ඩරේ ගෙයි තියන්න තහනම් නිසා ටිකක් ෂේප්.

    ReplyDelete
    Replies
    1. සර්ප හඬක්ම නෙවේ ආවෙ. ඇරත් හතරවෙනි තට්ටුවෙ විතර. :D

      එතකොට එළියෙ ඉඳන් ගේ ඇතුළට හුඟක් දිග බටයක් පාවිච්චි වෙනවනෙ. ඒක කැඩෙන්න පුපුරන්න එහෙම ඉඩ වැඩි නැද්ද?

      Delete
    2. මේ බින්දියි ඉන්දිකයි කියන බට ලයින් ලංකාවේ වගේ නෙමෙයි නළිනි. ඒවා අර ටෙලිපෝන් කරන්ට් වයර් වගේ තමා. මැදදි කැඩෙන්නේ නෑ. බ්‍රෝන්ස් බට වල එන්නේ. අපිටත් තියෙන්නේ ඔය සිස්ටම්මයි.
      එකම දේ ගෙදර ලිපටයි බිත්ති වලටයි ජොයින්ට් කරන බටේ අවුරුදු දෙකින් තුනෙන් මාරු කරන්න ඕනේ ප්‍රිකෝසන්ස් වලට. ඒක රබර් නිසා. ( ඒ වුනාට මේ මටත් ඒක නම් හිටි ගමන් අමතක වෙනවා.)
      සාමාන්‍යයෙන් අපි නම් පාවිච්චි කරන්නේ මීතෙන් ගෑස්. ලංකාවේ මම දන්න තරමට එල් පී ජී. ඔය එල් පී ජී එකක් පුපුරලා මේ ළඟකාලෙක මුලු බිල්ඩින් එකක්ම පිපිරුවා බෝම්බ ගැහුවා වගේ මම ඉන්න නගරේ. (කොහොමත් මෙහේ සිලින්ඩර් ගෑස් තියෙන්නේ අඩුවෙන්.)
      සාමාන්‍යයෙන් හොඳ වාතාශ්‍රයක් නැති තැනකට මීතෙන් නම් දෙන්නේ නෑ. නීතියෙන්ම තහනම්. ඒ අය තමයි ඔය සිලින්ඩර් මෙහේ නම් පාවිච්චි කරන්නේ.

      Delete
    3. නෑ, ඒව තඹ බට ( සමහරවිට යකඩ බට ) අග ගේ ඇතුලෙ පොඩි කෑල්ලක් විතරයි රබර් හෙඔස් එකක් දාන්නෙ. ඒ නිසා කැඩෙන්නෙ නෑ.

      නයි 4 වෙනි තට්ටුවට යන්නෙ නැද්ද :D

      Delete
  10. මට මතක් වුනේ මොනාද දන්නවද?
    අපි පොඩි කාලේ දර ලිපේ කේතලේ තේ හදන්න වතුර උණුකරනකොට මාත් ලිප ළඟට යනවා ඔය සද්දේ අහන්න.

    කොහෙද මට දැන් කේටහ්ලයක් නෑ නේ ටෙස්ට් කරලා බලන්න...

    ඔව් සමහර නෝනලා ඉන්නවා ඩ්‍රයිවින් කරනවා ලයිසන් එක වෙන කොහේවත්. අහිංසක අපි වගෙ උන් බය වෙද්දි එයා සේෆ්ටි වෙනුවෙන් නීති හදනවා... );

    පව් අර අහිංසක පූසා සේෆ්ටි කෙසේවෙතත් එයා බඩගින්නේ මෙයාගේ බයට.

    ReplyDelete
    Replies
    1. ඕඕ, වතුර උණු වෙද්දි සද්දෙ වෙනස් වෙන විදිහ අහං ඉන්න එක, මමත් ඉස්සර කරනවා. ඒත් දැන් තියන කේතල්වලින් එහෙම සද්දයක් එන්නෙ නැද්ද, නැත්නම් දැන් පාවිච්චි කරන කේතලේ වතුර පරිමාව අඩු නිසා සද්දෙ වෙනස කැපී පෙනෙන්නෙ නැද්ද මන්දා.

      Delete
  11. ඇත්තටම ගෑස් ලීක් එකක් උණු අත්දැකීමක් නම් මට තියෙනවා. ඒ ඔය වගේ මාත් තට්ටු නිවාසෙක හිටි කාලේ. නිවාස සන්කීර්නේ වෙන ගෙදරක ලීක් වෙලා. ඒ මහ පාන්දර 3 ට විතර. අපි හැමෝම නිදි. ආරක්ෂක අංශයෙන් ඇවිත් දොරට ගහල ගහල අපිව නැගිට්ටුවේ. නැගිටලා බලද්දී ගෑස් ගඳ සැරේටම. හැමෝම ගොඩනැගිල්ලෙන් පිට කරා ලීක් එක හදන කන්. වින්ටර් එකේ ඔය. අපි ගැහි ගැහි නිදි මතේ එළියට හියේ.

    //ඒත් දැන් තියන කේතල්වලින් එහෙම සද්දයක් එන්නෙ නැද්ද//
    මගේ විස්ලින් කෙට්ල් එකෙන් නම් එහෙම සද්දේ වෙනස් වෙනවා. ඒක ලංකාවෙන් ගත්තේ

    ReplyDelete
    Replies
    1. පාන්දර තුනට! අර විදිහට ඇහැරෙව්ව නිසා මිස, නැත්නම් ගෑස් ගඳට ඇහැරෙන වෙලාවක්නම් නෙවෙයි.

      Delete
  12. “මේ අල්ලපු ගෙදර මිනිස්සුන්ගෙ කන්වල පිට්ටුද කොහෙද...“ ඔන්න ඕකට තමා කියන්නෙ තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාල ඇනේ පේන්නෑ අනුන්ගෙ ඇහේ තියෙන පොල් කෙන්ද පේනව කියල කියන්නෙ.....හැක් හැක්....අන්තිමේට අල්ලපු ගෙමර මිනිස්සු වැරදියි...ඇයි අනේ ඔය නහ පුඩුවලට මක් වෙලා තිබ්බැයි ඔච්චරටම

    ReplyDelete
    Replies
    1. :D ඉතිං මං බය වෙලානෙ හිටියෙ. අල්ලපු ගෙදර මිනිස්සු බය වෙලා නොහිටිය නිසා ඒ අයට ඇහෙන්න ඕනනෙ. ;)

      Delete
    2. ඒකත් ඇත්තනෙ නේද ආය බය වෙන වෙලාවට තමන් අදහන ආගමක් මතක් කර ගන්න ඕනෙ එතකොට හරි

      Delete
  13. කොකටත් පරෙස්සම හොඳයිනෙ නේද! ඩෙන් තියෙනවා නේද ගෑස් ලීක් එකක් තිබුනොත් ඔටෝ වැහිල යන රෙගුයුලේටර්.

    ReplyDelete
    Replies
    1. ඕඕ, එහෙම දේවල් තියෙනවනම් හුඟක් හොඳයි. අර උඩින් කියල තියෙනවා වගෙ රෑක ගෑස් ලීක් වුණොත් එහෙම; ඒත් නැත්නම් දවාලක ගෙවල්වල සත්තු/ වයසක අය විතරක් ඉන්න වෙලාවක එහෙම, ඒ වගෙ රෙගියුලේටර් එකක් තියෙනවනම් කොච්චර ප්‍රයෝජනද? දැන් තියෙන සිලින්ඩරේට එහෙම රෙගියුලේටර් එකක් සවි කරන්න පුළුවන්ද දන්නෙ නැහැ

      Delete
    2. ලාෆ් එකෙන් එහෙම එකක් හදල තියෙනව. හරියටම වැඩ කරනවා. පුංචි ලීක් එකක් ආවත් ගෑස් එන එක නතර වෙනවා. ටිකක් ගාන නම් වැඩියි. ඒත් වටිනවා. මේ තියෙන්නෙ ඒ ගැන විස්තරයක්.

      http://www.dailymirror.lk/56147/laugfs-gas-introduces-safety-regulator

      Delete
    3. ස්තුතියි, ගිමන් නිවන්නා= ගිනි නිවන්නා

      Delete
  14. හපොයි. බයෙන් බයෙන් කියවගෙන ගියේ. හි..හි..

    ReplyDelete
  15. ගෑස් එනවද කියල ලේසියෙන්ම බලා ගන්න පුලුවන්ලු ගිනිකූරක් ගැහුව නං... අනේ මන්ද..

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලිට වෙනුවට එදා සපාට කෝල් කළානම්, මට හරි ක්‍රියාමාර්ගෙ ගන්න තිබ්බා, නෙහ්? :P

      Delete
  16. ඔයවගේ වෙලාවට ජනෙල් දොරවල් හොඳට වහල ලයිට් එහෙමත් ඕෆ් කරල ගිනිකූරක් ගහල බලන්න :-)

    ReplyDelete
  17. ගෑස් ගඳ පහසුවෙන් හඳුනාගත හැකියි නේද...අපහසුම නම් ලිප පත්තු කරන්න..දෙකෙන් එකක් වෙයි...

    ReplyDelete
    Replies
    1. :P ඔන්න මේගොල්ලො දෙන උපදෙස්

      Delete
  18. මම හිතුවෙම ගෑස් ලීක් එකක් කියලා... කොයි මොහොතේ හරි ගිනි ගන්න සීන් එකක්... එතකොට බර්න්ස් වලට ට්‍රීට් කරන හැටි එහෙම.. හම්මේ ඇති ඔයින් ගියා... ! කාන්දු වුන සිලින්ඩරයක් ගෙදරට ගෙනත් තිබ්බා... සයිනසයිටිස් නිසා මට ගඳ දැනුනේ නෑ..හොඳ වෙලාවට ගෙදර අනික් මිනිස්සුන්ගේ නහයවල් නිරුපද්‍රිතව තිබුනා...

    ReplyDelete
    Replies
    1. ඕඕ, හොඳ වෙලාවට. බලං ගිහාම, සෑහෙන්න භයානක ගෘහ උපකරණයක් ගෑස් සිලින්ඩරේ කියන්නෙ

      Delete