Saturday, March 17, 2012
මීනා
පරිසරයේ කාෂ්ඨකබව කෙමෙන් අඩු වී නිල් පැහැය වැඩි වෙයි. අවදියෙන් එදෙස බලා සිටින්නකුගේ නෙත් ඉදිරියේ සිට පසුපසට ඇදීගොස්, නැවත ඉදිරියට පැන අලුත් අරමුණක් අල්ලාගනී. බර කල්පනාවෙක ගිලී සිටින මීනාගේ නෙත් නොසෙල්වේ. මට කාන්සි ගතියක් දැනේ.
"ටිකක් නැවතිලා යනවද?
"ම්?" මීනා හිස හරවා බලයි.
"මහන්සිනම් ටිකක් නැවතිලා යමු." මම නැවතද කියමි.
"මහන්සි නැහැ."
"කම්මැළිද?"
"නැහැ." ඈ නැවතත් අනෙක් පසට හැරෙන්නීය. "මම වීදුරුව පල්ලෙහට දාන්නද?"
"හා හා."
මම දෙපසම වීදුරු පහළ හෙළමි. තුරුලතා පිස එන නැවුම් පවන අපව සිප ගනී. නෙත් අඩවන් කරගන්නා මීනා තමන්ටම මෙන් හෙමින් මුමුණයි.
"සාලියව අල්ලගෙන තිබුණෙ මේ හරියෙදි."
මට අපහසුවක් දැනේ. ඇගේ සිත සැනසීමට යමක් කිව යුතුමුත් සුදුසු පිළිතුරක් සිහියට නොඑයි. මනෝභාවයට උචිත පරිද්දෙන් වාහනයේ වේගය බාල කිරීමට මම තීරණය කරමි.
"පව්." මීනා ශෝකාකූල හඬින් කියන්නේ මා දෙස නොබලාය.
"ඔයා දැනං හිටියද එයා මෙහෙ ඉන්න බව?"
ඇයත් දැන සිටියානම් සාලිය සැඟව සිටි තැන තව බොහෝ දෙනා දැන සිටින්නට ඇති බව සිතමින් මම අසමි.
"ඔව්. අන්තිමට මට කතා කරපු වෙලේ එයා ඇහුවා ගිහින් බාර වෙන්නද කියලා. එහෙම බාර වෙන අයට පොදු සමාවක් දෙනවා කියලා තිබුණා ඒ දවස්වල. මම එපා කිව්වා."
"කියනකොට එහෙම කිව්වත්, බාර වුණා කියලා ආරක්ෂාවක් සහතික කරන්න බෑනෙ." මා කියන්නේ මීනාගේ සිතට සහනයක් වනු පිණිසය. "හැංගිලා ඉන්න අයව රවට්ටලා එළියට ගන්නම එහෙම කියන්නත් ඇති."
"සමාව දෙන්න වැරැද්දක් කරලා නෙවෙයිනෙ. ඇරත් එහෙම කට්ටියක් විතරක් ගිහින් බාර වෙනවා කියන්නෙ තමන්ගෙ අනික් සහෝදරයන්ට විරුද්ධ වෙනවා කියන එක." මීනාගේ හඬ වඩාත් දැඩි ස්වරයක් ගනී. "එහෙම තමන්ගෙ පණ විතරක් බේරගෙන, ඊට පස්සෙ හෘද සාක්ෂියක් ඇති මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන්ද? හැමදාම හිතින් මැරි මැරී උපදියි."
කෙනෙකුට එලෙස ජීවත් විය හැකිදැයි මම කල්පනා කර බලමි. සිත නොයෙක් අතට දිව යයි. ඉවත බලා සිටින මීනා නැවතත් සෙමින් මුමුණයි.
"පව්, මොනවා හිතුණද දන්නෙ නැහැ අන්තිම දවස්වල. කොච්චර දුක් විඳින්න ඇද්ද?"
"හ්ම්." කඩවසම් පෙණුමින් යුත් සාලිය සිය වදකයන් තුළ ඊර්ෂ්‍යාවක් ජනිත කරවීමට ඇති බව සිතමින් මම හූමිටි තබමි.
මග දෙපස නිල්ල තුනී වෙයි. කිලිටි පැහැ ගොඩනැගිලි එකිනෙක මතු වී නගරයකට අප සමීප බැව් හඟවයි. දුහුවිල්ල නැගෙනුයේ අලුතින් ඉදිවන මාවතින් විය යුතුය. අපේ සෙමින් ගමන නුරුස්සන වාහනයක් වියරුවෙන් නළාව හඬවා අපව පසුකොට යන්නේ හුස්ම හිරකරවන ඝන දුම් වළාවක් විදිමිනි.
"වීදුරු වහමු." මීනාම යෝජනා කරයි.
Saturday, March 10, 2012
මාළු
ඒ ත්‍රිකුණාමළය ආසන්නයේ වූ කුඩා වැවකි. වැව් කණ්ඩියේ සිට ඈතට විහිදෙන කුඹුරුවල ලා ගොයම් සෙමින් සැලේ. වැව් තලාව පිස එන සුළඟ සුව දනවයි. ආගන්තුකයින් වූ අපි සෙමෙන් ගමන් කරමින් සිටියෙමු.
අප ඉදිරියට ආ කුඩා කොළු රෑනකි. ඔවුන් අත බිලි පිති කිහිපයක් හා මළුද විය. විමසුම් සහගත බැලුම් දෙපසට හුවමාරු විණි.
ඔවුන් පසු කර ඉදිරියට ඇදෙන අපට තවත් බටු ඇට කොල්ලන් දෙදෙනෙක් හමු විය. ඔවුන් අතද බිලි පිත්තකි.
මද්දහනේ මුළු ගමේම කොල්ලන් මාළු බෑමට යන සෙයකි.
වැව් බැම්ම ඔස්සේ ඇදුණු වැලි පාර, වැවෙන් ඈත්ව ගම දෙසට හැරෙන සන්දියෙහි අපි නැවතුණෙමු. එතැන තරමක තණ බිස්සකි. වැව දෙසට බෑවුම් වෙන පටු අඩි පාරකි. ඒ දිගේ පහළ බසින අප ඉදිරියට ආවේ මේ දැන් අල්ලා ගත් මාළු කිණිත්තක් අතින් ගත් සෙබළුන් දෙදෙනෙකි. ඔවුහු හොර බැල්මක් හෙළා අඩියට දෙකට අප පසුකොට ගියහ.
අඩි පාර කෙළවර වූයේ ගල් තලාවකිනි. එය තරමක ගල් පව්වකින් ආවරණය වෙයි.
අප දිවා ආහාරය ගන්නේ මෙතැනය.
කතාවත් සිනහවත් මැද ආහාරකිස නිම කළ අප තවත් සුළු මොහොතක් එහි රැඳී සිට පාරට පැමිණියෙමු. පාර දිගේ අප දෙසට එනුයේ දෙවනුව අපට හමු වූ ළමයින් දෙදෙනාය. ඔවුන් අත කැඩුණු බිලිපිත්ත වෙයි. එහෙත් අනෙක් මල්ල නැත. අල්ලා ගත් මාළුවෙක්ද පෙනෙන්නට නැත. අතිනත අල්ලාගෙන පිය නගන ඔවුන්ගේ ගමන අප දුටු කල තරමක් බාල විය.
"අහන්න දෙයක් නෑ. අර අනික් කොලු රෑන මුන්ට ගහලා, ඇම උදුර ගන්න ඇති." ඉසව්ව පළපුරුදු ඉෂාන් කීය.
"ඔව් ඔව්. ඒක තමයි වෙන්න ඇත්තෙ."
පොඩ්ඩන් දෙදෙනා හොරගල් අහුලමින් අප පසු කර යාමට එති. අපි ශ්‍රී ලාංකීය ක්‍රමයට කතාව ඇරඹුවෙමු.
"පුතාලා මාළු බාන්න ගියාද?"
ඔවුන් බලාපොරොත්තු වූ වින්නැහියම වුණාක් මෙනි. එකට බැඳුණූ දෑත් තවත් දැඩි විණි.
"ඔව්."
"ඉතින් කෝ මාළු?"
"අල්ලන්න බැරි වුණා."
දිගටම පිළිතුරු දෙන්නේ වඩාත් උසැති කොල්ලාය. අනෙකා දෙගිඩියාවෙන් බිම බලාගෙන සිටී.
"අරගොල්ලො ඇම උදුර ගත්තද?"
"ඔව්."
"ඉතින් දැන් මොකද කරන්න යන්නෙ?"
"මුහුදු යනවා."
එය අප බලාපොරොත්තු නොවූ පිළිතුරකි. මුහුදු යන්න? මේ අඩි හතරක් උස නැති බටු ඇට කොල්ලො?
"කොහොමද මුහුදු යන්නෙ?"
"ඔරුවල."
"කලින් ගිහින් තියනවද?"
"ඔව්."
"කාත් එක්කද?"
"ඔරු තියනවා. ඒගොල්ලො එක්ක යනවා."
"ඕගොල්ලන්ව එහෙම එක්ක යනවද ලොකු මිනිස්සු?"
"ඔව්."
"ගෙවල්වලින් දන්නවද?"
එය අමතර පැනයකි. එහෙම ගෙවල්වලින් දැන ගැන්මක් අවශ්‍ය කුමකටද යන වග ඔවුනට නොතේරෙන සෙයකි.
"පුතාගෙ නම මොකක්ද?"
කොල්ලා දෙතුන් පාරක් හිතා උත්තර දුන්නේය: "මගෙ නම රාජ්. මෙයා ඇන්ටන්."
ඇන්ටන් තමන්ට වඩා අඟලක් දෙකක් උස රාජ්ගේ සිරුරට මුවා වීමට වෙර දරයි. රාජ්ද සිටිනුයේ ලොකු හදිසියකිනි. එහෙත් ඒ හදිසිය ඔවුන් විමසුමට ලක් කරන වැඩිහිටියනට නැත. සොල්දාදුවන් වූ අපේ සගයින් දෙදෙනා ඔවුනට හුරු පුරුදු ආකාරයේ සංවෘත ප්‍රශ්න විමසුමකට කොල්ලන්ව ලක් කරති. ඒ ක්‍රමයෙන් තොරතුරු ලබා ගැනීම අපහසුය.
"දෙන්නා යාළුවොද?"
"නෑයො."
එහෙම නෑදෑකමක් මුහුණුවලින් නොපෙනේ.
"මේ පහළ ගමේද?"
"මම මෙහෙ. මෙයා වවුනියාවෙ."
"ඉතින් ගෙදරින් දන්නවද ඔහොම ඕගොල්ලො මුහුදු යන බව?"
"එයා දෙමළද?"
එකවර ප්‍රශ්න දෙකක් යොමු විණි. දෙකම බැරෑරුම්ය. සිවිල් ඇඳුමින් සැරසී සිටියද අපේ සගයින් දෙදෙනාගේ සොල්දාදු පෙණූම සැඟවීම අපහසුය.
"අපි දෙන්නම සිංහල." රාජ් පිළිතුරු අමුණයි.
"ඔහු දෙමළ." අක්කා සෙමින් කියයි. මම මාතෘකාව මාරු කරමි.
"පුතාලා ඉස්කෝලෙ යනවද?"
"ඔව්."
"වයස කීයද ඔයාට?"
"මට දාහතරයි. මෙයාට දහතුනයි."
දාහතරක්? දහතුනක්?
ඔවුන්ගේ පෙණුම අනුව නවයක් දහයක් මිස ඊට වඩා වයස ඇති බවක් කිව නොහැක.
"ආහාර හිඟකම නිසා වැඩීම බාල වෙලා." අක්කා නැවත පැහැදිලි කරයි.
"ඒත් මෙච්චරම?"
"අපේ ගම්වලත් ඔහොමම තමයි. හමුදාවට බැඳෙන්න එනකොට, කොච්චර ඉන්නවද ඔහොම පොඩිවට පෙනෙන කොල්ලො. ඒත් හැඳුනුම්පත් අරන් බැලුවහම වයස හරි."
"ජාතියක් විදිහට අපේ වැඩීම බාල වෙලා." අක්කා අවධාරනයෙන් කියයි. "පරම්පරා ගානක් තිස්සෙ නිසි පෝෂණයක් නැතිකම හින්දා."
"වැඩිය ඕන නෑ, ඔයා දිහාම වුණත් බලන්නකො."
"අනේ පල!"
"ජාතියක් විදිහට අපේ වැඩීම බාල වෙලා." මටද සිතෙයි. අවුරුදු දහතුනේ දාහතරේ පොඩි ළමයින්ට මුහුදු ගොස් පෝෂණය සෙවීමට සිදුව ඇත්තේ එනිසාය.

Wednesday, March 7, 2012
කලු කුමාරයා
පවත්නා තත්වයන් යටතේ, ඉදිරි සැලසුම් සහ නොසැලසුම් අනුව, මේ දිනවල මට බළල් පැටියෙකු නේවාසික කර ගැනීමට නොහැකිය. එහෙත් වරෙක පෝෂියා මාව අයිති කර ගත්තා සේම, අද සවස පටන් කලු කුමාරයා බලහත්කාරයෙන් ජීවිතයට රිංගාගෙන සිටී.
සාමාන්‍යයෙන් ගෙයි ඉදිරිපස පූස් පැටවුන් නොසිටින නිසා කවුරුන් හෝ ගෙනත් දැමූ බළල් පැටවෙකැයි මට සිතුණි. එහෙත් බැරි වෙලාවත් පොදු චින්තනයට පටහැනිව සිතන බළල් අම්මා කෙනෙකුගේ පැටවෙකුදැයි නොදන්නා නිසා ගෙට නොගෙන කිරි පීරිසියක් පමණක් සාදා දුන්නෙමි. මුලදි කෑ ගසමින් කිරි සුවඳ සෙවූ පැටියා, අමාරුවෙන් සොයාගෙන කිරි ටික බී දැම්මේය. අනතුරුව මා බලාපොරොත්තු නොවූ පරිදි මා අසලට අවුත් කකුලෙහි දැවටී පුරු පුරු ගාන්නට විය.
පැටියා සෑහෙන පමණ පැහුණු එකෙකි. ඌ "පූස්" යනු තමන් බව දනී. කකුලෙහි දැවටෙන්නට මෙන්ම උකුළට නගින්නට, එතැනින් කරට නැග ලැග ගන්නට දනී. හය්යෙන් පුරු පුරු ගෑමට දනී. මේ නිසා සමහරවිට අහල පහල ගෙදරක හදන පැටවෙකු විය හැකියයි මට ඊලඟට සිතුණි.
කෝකටත් කියා සැමන් ටිකක් තම්බා බත් අනා දුන් කල්හි පැටවා ඇති වෙන්නට කෑවේය. අනතුරුව සෙල්ලම් කරන්නට පටන් ගත්තේය. මගේ අත හපා, ලෙව කා බැලුවේය. ගෙට අඬ ගැසූමුත් නා නිසා, මමද දොර වසා මගේ වැඩක් බලා ගතිමි. එය මට පහසුය.
අඳුර බෝ වූ පසු පූස් පැටියාගේ හඬ වරින් වර ඈතින් නැගෙන්නට වූ හෙයින් නැවත එළියට ගොස් විපරම් කළෙමි. ඌ පෙනෙන්නට සිටියේ නැත. කිහිපවරක්ම එළියට ගොස් පූස් පූස් යයි හඬ නැගූ පසු ඈත මල් පාත්තිවල සිට කට්ට කලු ගුලිය මා වෙත දිව ආවේ හඬ නගමිනි. එහෙත් මා අසලට නෑවිත් මග නවතින්නට ඌ තීරණය කළේ අල්ලපු ගෙදර ඉදිරිපිට මිනිහෙක් සිටි නිසා විය යුතුය.
නැවත වරක් බත් අනා දීමට සිතා මා ගෙට ගිය අතරේ, එළියේ ශබ්දයක් ඇසුණි. එළියට එන මට ඇසුණේ අර එළියේ හිටි මිනිහා ගෙතුළ සිටි මිනිසෙකුට "නෑ,නෑ ආයෙත් එහාට එළෙව්වා." කියන හඬයි. සවසත් මෙලෙස පැටියා එළවා දමන්නට ඇති බැව් මට සිතුණි.
මගේ ගෙයි දොරකඩ කාඩ්බෝඩ් පෙට්ටියක්ද, වතුර කෝප්පයක්ද, කෑම පිඟානද තබා තාවකාලික නවාතැනක් සකස් කර දුන් මම ගෙට පැමිණියේ දුරකථන ඇමතුමක් ලද නිසාය. ඒ අතරතුර ත්‍රස්තවාදියා විසින් ගෙදර ආක්‍රමණය කරන්නට යෙදුණි.
ඉතින් දැන් මගේ කකුල මුල හොඳින් ලැග, ලොකු ඇස් ගෙඩි දෙක කරකවමින් මේ හොරා බලා සිටී. මා නැගිට යන වාරයක් පාසා මගේ පසුපසම දිව එයි.
හෙට ගැන සිතන්නට මට ඉඩක් නැත.

Monday, March 5, 2012
සේලයින්
රෝගීන් බලන වෙලාව එනතුරු අපි තුන්දෙනාවත් අල්ලගෙන අප්පච්චි හිටියෙ නොඉවසිල්ලෙන්. අපට කාලය ගෙවා ගන්නට පුංචි චොක්ලට් තුනකුත් අරන් දීලයි තිබුණෙ.
වාට්ටුව මට අලුත් තැනක්. අම්මා හිටියෙ හොඳින් පෙරවලා. ඇයට ඉහළින් සේලයින් බෝතලයක් එල්ලලා. අම්මා නිදි.
මම වටපිට බැලුවා. අම්මා ළඟම ඇඳේ හිටිය රෝගියාටත් සේලයින් එල්ලලා.
අම්මා අවදි වුණා. මම හෙමින් අම්මට කිට්ටු වුණා.
"අම්මා, මේ සේලයින් බෝතලේ ඉවර වුණහම මට අරන් තියා ගන්න හොඳද?"
අම්මා යන්තමින් කෙඳිරි ගාලා හා කිව්වා.
වෙලාව ඉක්මණින් ගත වුණා. අප්පච්චි අපව එක්කරගෙන ගෙදර දිව්වා. කඩියා වගේ එහෙ මෙහෙ පැනලා බත් ඉව්වා; අල හොද්දක් හැදුවා; කරවල හැදුවා. පිඟානකට බෙදාගෙන, ගුලි හද හද අපිට කැව්වා. ඊට පස්සෙ ආයෙමත් අපිව ඇදගෙන ඉස්පිරිතාලෙට දිව්වා.
අපි යනකොටත් අම්මා ඇඳේ. අම්මට ඉහළින් තවත් අලුත් සේලයින් බෝතලයක් එල්ලලා. ළඟ ඇඳේ රෝගියානම් නැගිටලා වාඩි වෙලත් හිටියා. අපේ අම්මා තවම වැතිරිලා. අම්මා ඇස් අරිනකම් බලා ඉඳලා මම කිට්ටු වුණා.
"අම්මා, උදේ සේලයින් බෝතලේ අරන් තියා ගත්තද?"
"නෑ දුව," අම්මා කිව්වා. "මට නින්ද ගිහින් හිටිය වෙලේ ඒක මාරු කරලා තියෙන්නෙ."
"එහෙනම් මේක ගලවනකොට අරන් තියා ගන්න හොඳද?"
ඊලඟට අපි අම්මා බලන්නට යනකොට අම්මට තවත් සේලයින් බෝතලයක් එල්ලලා. මම ආයෙත් අම්මගෙන් සේලයින් බෝතලේ ගැන ඇහුවා. එවර අම්මා අරන් තියා ගත් සේලයින් බෝතලේ ළඟ ඇඳේ රෝගියාව බලන්නට ආ ළමයෙක් ඉල්ලාගෙන.
මම වටපිට බැලුවා. ළඟ ඇඳේ ඒ වෙනකොට රෝගියෙක් නැහැ. සුන්දර තරුණ හෙදියක් අසලින් ගමන් කළා. ඇගේ පා මේස්වල පුංචි රෝස මල් රඳවා තිබුණා. මම ආසාවෙන් ඒ දිහා බැලුවා. මටත් එහෙම මේස්වල රඳවා ගැනීමට රෝස මල් ඇත්නම් කියා හිතුණා.
"සනීප වෙලා ගිය කෙනෙක්ගෙ ගෙදරින් එයාට රෝස මල් දුන්නා. " මගේ නෙත් යොමු වෙලා තියෙන දිහා දුටුව අම්මා කිව්වා.
"මේ සේලයින් බෝතලේ අරන් තියා ගන්න හොඳද?" මම යන්නට පෙර අම්මාට මතක් කළා.
ඒත් ඉස්පිරිතාලෙන් එනකම්ම අම්මට මා වෙනුවෙන් සේලයින් බෝතලයක් අරන් තියා ගන්නට බැරි වුණා.
දැන් මට සේලයින් බෝතල් ඕනෙ නැහැ, මං හිතන්නෙ.
ඒත්, සැත්කම් සඳහා එන තේරෙන වයසෙ දරුවන්ගෙන් මම සමහරවිට අහනවා, "ඔයාට ගෙදර ගෙනියන්න සේලයින් බෝතලයක් දෙන්නද? සිරින්ජයක් දෙන්නද?"
සමහර දරුවන් ඒවා ආසාවෙන් ගත්තට, තවත් සමහර දරුවන් ඒවට ආස නැහැ. මම පුදුම වෙනවා.
"මේ බලන්න, මේකෙන් මෙහෙම සෙල්ලම් කරන්න පුළුවන්; වතුර විදින්න පුළුවන්." මම වතුර විදලා පෙන්නනවා.
ඒත් ඒ ළමයි ඒවා ඉවතට තල්ලු කරලා අඬනවා.
මම බොහොම කණගාටුවෙන් මේ වටිනා සෙල්ලම් බඩු ඉවත හෙළනවා.

Thursday, January 26, 2012
කැලෑ නීතිය
රාජකාරි අතරතුර පුංචි විවේකයක්. සමහරු උදේ ආහාරය ගන්නට සූදානම. සමහරු පොත් පෙරළාගෙන පාඩම් කරනවා. එක්කෙනෙක් පුවත්පතක් පෙරළාගෙන.
"අනේ බලන්න, අපේ අය්යගෙ පොඩි දුව, හරිම ලස්සන, සුදුම සුදු බබෙක්. ඒත් එයාගෙ උපතින්ම මුහුණෙ එක පැත්තක මාංශ පේශි වැඩ කරන්නෙ නැහැනෙ." මිහිරි කතාව පටන් ගත්තා. කවුරුත් වැඩ නවත්වලා ඇයට සවන් දෙන්නට වුණා.
"ඒ පැත්තෙ කන් පෙත්තත් නැහැ. ඒකනම් කොන්ඩෙන් වහ ගන්න පුළුවන්. ඒත් කටේ ඇදේ කොහොම වහන්නද? ඇහැ හරියට වහන්නත් බැහැ. මේ ළඟදි මොන්ටිසෝරියෙ ටීචර් නාට්‍යයකට ගන්න ළමයි තෝරලා. දුවට හිනා වෙන්න කිව්ව ගමන් එයා එක පාරටම හිනා වෙන්න ලෑස්ති වුණත් ඒ ගමන්ම ආපහු කට වහ ගත්තලු. එයා දන්නවා ටිකක්වත් ඒ ඇදේ නොපෙනෙන්නෙ කට වහගෙන ඉන්නකොට බව."
"අනේ....." "ඔච්චර පුංචි ළමයෙක් වෙලත් ඔය දේවල් තේරෙනවද?" "පව්ව්ව්ව්."
"එයාට හොඳටම ඒක තේරෙනවා. එයාගෙ උපන්දිනේට අක්කා ලස්සන ගවුමක් මහලා දීලා. එයා ඒක ඇඳලා කියනවලු, 'අම්මා, මේක කොච්චර ලස්සන වුණත් මගෙ කටේ ඇදේ වැහෙන්නෙ නෑනෙ' කියලා."
"අනේ පව්. සමහරවිට මොන්ටිසෝරියෙ අනික් ළමයි ඒ ගැන අහනවා ඇති."
"ලොකු මිනිස්සු වුණත් ඔහොම දෙයක් දැක්ක ගමන් අම්මලගෙන් ඒ ගැන අහනවනෙ, ළමයට ඇහෙන එක ගැන නොහිතා."
"නැතත් අපේ බබාලා වුණත් කොච්චරවත් කන්නාඩියෙන් එහෙම බලනවනෙ. මෙයත් එහෙම බලනකොට එයාටම පේනවා ඇතිනෙ වෙනස."
"ලොකු වෙනකොට තවත් දුක හිතෙයි."
කවුරුත් තම තමන්ගේ අදහස් කියති.
"කෙල්ලෙකුත්නෙ." මිහිරි කල්පනාවෙන් කියයි.
"කොල්ලෙක් වුණත් එච්චර තමයි. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනකොට අනික් කොල්ලො කොච්චර සවුත්තු කරනවද? අපි වුණත් ඒ කාලෙ එහෙමයි. දැන් තමයි තේරෙන්නෙ ඒක නරකයි කියලා." සමන් කියයි.
"අනේ ඔව්." සරෝජිනි එකඟ වෙයි. "අපේ පුතාගෙ මූත්‍ර මාර්ගය හරියට පිහිටලා තිබුණෙ නෑනෙ. ඒක හරි ගස්සන්නෙත් අදියර තුනකින්, ළමයා ටික ටික ලොකු වෙනකොට. එයා වාඩිවෙලා මූත්‍රා කරන නිසා පන්තියෙ ළමයි 'ගෑනි' කියලා නමක් දාලා. ඒත් මොන්ටිසෝරි වයසෙ ළමයි. පුතා යන්නම බෑ කිව්වා ඉන් පස්සෙ. ගෙදර ආ වෙලේ ඉඳන් අඬනවා. බොහොම අමාරුවෙන්, ඉස්කෝලෙ වෙලාවෙදි වැසිකිළි යන්න ඕනෙ වුණොත් තනියම යන්න උගන්නලා, බලෙන්ම තමා අන්තිමට යවා ගත්තෙ."
"ඒක තමා මම කිව්වෙ. අපිත් ඒ දවස්වල ඇවිදින විදිහ, කතා කරන විදිහ බලලා ගෑනි, ලතා වගේ නම් දැම්මා. හෘදය වස්තුවෙ හිලක් තියෙන එකා හිලා. ගොතයක් තියෙන එකා ගොතයා. කන්නාඩි දාන එකා කන්නාඩි පොළඟා. ඒ ළමයින්ට ඒකෙන් කොච්චර රිදෙන්න ඇද්ද කියලා හිතෙන්නෙ දැන් තමයි." සමන් නැවතත් කියයි.
"අපේ පන්තිවලත් හිටියා ගොතයෙක්. මං ඌට ගොතයා නොකිව්ව හින්දා ඌ මගෙත් එක්ක විතරක් යාළුයි. දැන් මිනිහා හෙන ලොකු තනතුරක. ඒත් ඒ කාලෙ කා එක්කවත් කතා නැහැ. කිසි දේකට ඉදිරිපත් වෙන්නෙ නැහැ. මගෙත් එක්ක හිතවත්කමනම් තාම එහෙමමයි." කස්තුරි සිය හිතවතෙකු සිහි කරයි.
"ඕවා වැඩිහිටියන්ගෙත් වැරදි. මිනිස්සුන්ගෙ වැඩේම අනුන්ගෙ ඇදකුද හොයන එක; ඒවට හිනා වෙන එක. ළමයිනුත් ඒවා අහගෙන ඉඳලා ඉගෙන ගන්නවා ඇති."
"එහෙමම කියන්න බැහැ." සමන් කල්පනාවෙන් කියයි. "ළමයි කොහොමත් අවංකයි. උන් හිතට එන එක කියනවා. ලොකු මිනිස්සු කියා දීලා නෙවෙයි. දැන් මෙහෙම වුණාට, කැලේ ජීවත් වෙනකොට ඔය වගෙ අඩුපාඩු තිබුණු උන්, ලෙඩ උන් ඉතුරු වුණේ නෑනෙ. ශක්තිවන්තයා උන්ව පාගලා, නැති කරලම දැම්මා. ඒක තමා කැලෑ නීතිය. දැනුත් අපේ කැලෑ ගතිය ඉඩක් හම්බුණු හැටියෙම මතු වෙනවා. ළමයින්ගෙ වුණත්."
"හ්ම්."
සමහරවිට ඒ නිසා වෙන්නට ඇති මිනිස්සු ලෙඩ රෝග හංගන්නට හදන්නෙ. එහෙම නැති බව පෙන්වන්නට ගිහින් ඇතැම්විට මරණයට පවා අත වනන්නෙ. හිතන්නටත් පුදුම වුණත්, ඒ විදිහට රෝගයක් නිසා සමාජයෙන් ප්‍රතික්ෂේප වනු ලැබීමෙන් වළකිනු පිණිස, සමාජයෙ පිළිගත් ජීවන රටාවෙන් බැහැර නොවනු පිණිස, දරුපෙම, සහෝදර පෙම පවා ඉක්මවන අයුරු මම දැක තිබෙනවා.
ඉන් එක් සිද්ධියක් අපේ හෙද නිලධාරිනියකම පැවසූවක්. ඇගේ සොහොයුරිය බරපතල හෘද රෝගයකින් පෙළෙන බව සොයා ගත්තේ ඇය කුඩා කාලයෙදිමයි. සැත්කමකින් ඇයව සුවපත් කරවීමට හැකියාව තිබුණත්, එවිට ඇයව කවුරුන්වත් විවාහ කර නොගනු ඇතැයි කියන අරුම පුදුම බිය තමයි ඇගේ දෙමවුපියන්ට වැදගත් වුණේ. ඊටත් වඩා, හෙදියක වීමෙන් පසුව පවා, ඇගේ සොහොයුරියත් දෙමවුපියන්ගෙ මේ මතයම පිළි ගත්තා. ඔවුන් කළේ ඇය කිසිම රෝගයක් නැති කෙනෙකු ලෙස පෙන්වා විවාහ කර දීම. රෝග තත්වය අනුව ගැබිණියක වීම ඇගේ මරණයට හේතු විය හැක්කක්. නමුත් ඔවුන් කළේ, ඇයට ගර්භණී වීමට ඉඩ හැර, අනතුරුව ගැබිණි සමයේදී රෝගය අලුතෙන් "සොයා ගන්නට" ඉඩ හැරීමයි.
සම්මත තත්වයනට වෙනස් විදිහකට උපත ලැබූවිට සමාජයේ පිළිගැනීම එහෙමනම්, අපි තවමත් කැලේ බව නොසිතා කොහොමද?

Tuesday, January 10, 2012
ආදරණීය ඔබට...
මතකද...
වසර ගණනාවකට උඩදි අපි මුණ ගැහුණෙ පුහුණුවකට ඇවිත් සිටියදී. එවකට නවකයෙකු වුණු මම කොයි තරම් දේ ඔබගෙන් ඉගෙන ගත්තද? පුහුණුවට අදාල දේ පමණක් නොවෙයි, රෝගීන් වෙනුවෙන් ඔබ මහන්සි වෙන හැටි, තමන්ගෙම කෙනෙකුගේ ප්‍රශ්නයක් මෙන් කැපවීමෙන් ඒ පිළිබඳව සොයා බලා විය යුත්ත කර දෙන හැටි, ඔවුන්ගේ පවුල්වල ගැටළුවලට පවා ඔබට හැකි මට්ටමින් විසඳුම් සෙවීමට වෙහෙසෙන හැටි...... තව කොපමණද?
හමු වුණු මුල් දිනයේ පටන්ම ඔබ මට ගුරුවරියක්; මග පෙන්වන්නියක්.
ඉන් මාස කිහිපයකට පසු දිනයක, මම උදේ ගෙදර දොර අරිනකොට, කකුලක් තුවාල වුණු බැල්ලක හිටියා. දින කිහිපයක්ම පාරේ සිටියදී කෑම දී ඇතත්, මගේ ගෙදර තියෙන තැනවත් ඒ සතා දැන සිටි බවක් මම හිතුවෙ නැහැ. වාහනයකට හසු වුණු පසුපස පාදයේ අස්ථි තැන් කිහිපයකින්ම බිඳී, එළියටත් ඇවිත් තිබුණා. ගේ දොරකඩට පිහිටක් පතා ආව සතා නිසා පශු වෛද්‍යවරයෙක් හමුවට ගියවිට, ඔහු කිව්වෙ පාදය කපා දැමිය යුතු බව. මම ඊට එකඟ වුණේ නැහැ. මගේ පෙරැත්තයටම ඔහු ප්‍රතිජීවක ඖෂධ සහ තුවාලයට දැමීමට බෙහෙත් ලියා දුන්නා. දින කිහිපයක් බෙහෙත් කළත් ඉන් පසු මම වැටුණෙ ලොකු අමාරුවක. ටිකක් හොඳ වෙනකොටම බැල්ල ගිහින් ඇගේ පැටවා අරගෙන ඇවිත් තිබුණා. ඒ අතරෙම සතියකට මට නුවර යාමට සිදු වුණා. හේතු කිහිපයක් නිසා මට බැල්ල ගෙන යාමට හැකියාවක් තිබුණෙ නැහැ. ප්‍රතිකාර ගත් තැනම නැවැත්වීමට හැකියාවක් තිබුණත්, වෛද්‍යවරයා පැවසුවේ අවශ්‍ය වුවහොත් පාදය කපා ඉවත් කරන බවයි.
මගෙ මතකයට ආවෙ ඔබව. එවකට මම ඔබව එතරම් කිට්ටුවෙන් දැනගෙන හිටියෙ නැහැ. කීප වරක් ඔබේ නිවසට යාම් ඊම් කර තිබුණ නිසා බල්ලන් බළලුන් මෙන්ම කපුටන් වැනි සතුන්ටත් ඔබේ නිවස අභයභූමියක් බව පමණයි මා දැන සිටියෙ. මා සිතූ පරිදිම ඔබ දෙවරක් හිතුවෙ නැහැ. ඒ සතිය පුරාවට, දිනකට තෙවරක්, කිලෝමීටර දෙකක් පමණ දුරක සිට අවුත්, බැල්ලට බෙහෙත් පොවා, තුවාලයටත් සාත්තු කොට, බැල්ලටත් පැටවාටත් ආහාරද දීමට තරම් ඔබ කාරුණික වුණා. ඔබට පින් සිදු වන්නට, අදත් ඒ බැල්ල ඉතා නිරෝගීව සිවුපයින්ම දුව පැන ඇවිදිනවා.
විශ්වසනීයත්වයේ මුල් බිජුවට වපුරා, මගේ සිත නිදහස් කළ ඔබ මට කවදත් හිතාදර යෙහෙළියක්.
මතකද...
ඉගෙනීමට උනන්දුවක් නැති මා විභාගයකට ඉල්ලුම්පත් දමා තිබුණා. විභාගයට ඔන්න මෙන්න කියා තිබියදීවත් මා දැන සිටියේ නැහැ විභාගය පිළිබඳ කිසිදු දෙයක්: පැවැත්වෙන ආකාරයවත්, ප්‍රශ්න පිළිබඳවවත්, විෂයයන් පිළිබඳවවත්. එක් ඉරිදාවක ඔබ මා කැටුව ගියා ඒ විභාගය උදෙසා පන්ති පැවැත්වෙන ස්ථානයට. දොරෙන් ඇතුළු වෙනවිටම මම දැක්කෙ මා හඳුනන කෙනෙකුගෙ රුවම ඇති අයෙක්. ආ කාරණාව පසෙක තබා, පුටුවකුත් ඇදගෙන හොඳට වාඩි වී, පැය භාගයක් හෝ ඊටත් වැඩියෙන් වෙලාවක් මා කතා කර කර ඉන්නට ඇති ඒ අමුත්තා සමග. නමුත් ඔබ ඒ අතරතුර විභාගය පිළිබඳව සියළුම තොරතුරු එක් රැස් කරගෙන තිබුණා පමණක් නොවෙයි, ප්‍රශ්න පත්‍ර වගයක් ගෙන එන ලෙස කාවදෝ පොරොන්දු කරවාගෙනත් තිබුණා. මගේ වගකීම් රහිත ක්‍රියා කලාපය ගැන වචනයක විවේචනයක් ඔබ කළේ නැහැ. පසු දිනයෙක ඒ ගැන සිහිකොට සිනා වුණා පමණයි.
මගේ වැඩක්, ඔබේම වැඩක් බවට පත් කරගෙන, මටත් වඩා උනන්දුවෙන් මගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ ඔබ මට මගේම සහෝදරියක්.
මතකද...
මම ලෝකයේ හුඟක් දේ හඳුනගත්තෙ ඔබ හරහා. ඔබ හැමවිටම උනන්දු කළා අලුත් අලුත් ඉසව් සොයා යාමට. හරියට අපේ පොළොන්නරු ගමන වගේ...
සරසවියෙ තරග සඳහා ගිය ගමනක් හැර දුම්රියේ ගමන්ගෙන නොතිබුණ මම ආශාවෙන් බලා හිටියෙ දුම්රියේ ජනේලයෙන් හිස එළියට දමාගෙන යාමට. නමුත් අපට ලැබී තිබුණෙ ජනේලයක් අසල ආසන නොවෙයි. මගෙ මූණ අඳුරු වෙන්න ඇති. ඔබ ප්‍රවේශපත් පිරික්සන මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කළා මට ජනේලයක් අසල අසුනක් ලබා දෙන ලෙස. ඔවුන්ගෙ පිළිතුර වුණේ හිස් අසුන් නැති බව. "ඇරත් මේ රෑ මොනවා බලන්නද?" ඔවුන් කිව්වෙ එහෙම.
මම ඔහේ බලා සිටියා.
නමුත් ඔබ වටපිට බලා, හොඳින් පිටත පෙනෙන ජනේලයක් අසල අසුන් ගෙන සිටි දෙදෙනෙක් වෙත ගොස් ඉල්ලීමක් කළා. මට ජනේලය අසල අසුනක් ලැබුණුවිට මම කොතරම් සතුටු වුණාද? රාත්‍රී දුම්රිය බව නොතකා, ජනේලයෙන් එළියට එබීගෙන, කෑලි කැපිය හැකි ගනඳුර දිහා බලාගෙන, වේගයෙන් දිවෙන දුම්රියෙන් නැංවෙන සුළං පහර විඳිමින්, තනිවම ගී කියමින් මම එදා පොළොන්නරු ගියෙ. රාත්‍රියේ සීතල වැඩි වනවිට ඔබ මාව ආවරණය කළේ මා වෙනුවෙන්ම ගෙන ආ පොරෝණාවකින්. ගමන නුහුරු මා එහෙම දෙයක් ගෙන නොඑන බව ඔබ දැන සිටින්නට ඇති.
ඔබ නිතරම මගේ කෑම බීම ගැන සොයා බැලුවා; කම්මැළිකමෙන් ඇත්දැයි සොයා බලා ගෙදරට ආරාධනා කළා; ඔබට යාමට අවස්ථාව ලැබුණු නාට්‍ය, නැටුම්, සර්කස් දර්ශන වැනි බොහෝ දේවලට මාවත් සහභාගි කරවගත්තා.
මා ගැන සොයා බලමින්, මගේ රුචිඅරුචිකම්වලට ඉඩ දෙමින්, මා රැක බලාගත් ඔබ මට ආදරණීය මවක්.
මතකද....
අහස, වැව් තලාවන්, වන අරණ ඈ නොයෙක් දේ දිහා වරු ගණන් බලා සිටින්නටත්, පැරණි ලෝකවල නිහඬව සැරි සරන්නටත් මට සහයෝගය ලැබුණෙ ඔබගෙන්. වරක් සන්ධ්‍යාවේ හිරු ගිලෙන්නට ඔන්න මෙන්න තිබියදීයි අපි පොළොන්නරු පුරා විද්‍යා භූමියෙන් පිට වෙන්නට හිතුවෙ. අපි හිටියෙ පැරණි රෝහල ළඟ. අප වෙත ආ මිනිසුන් දෙදෙනෙක් කියා සිටියා සංරක්ෂණය කර නැරඹීමට සකස් කොට නැති මුත්, තරමක දුරින් පිහිටා ඇති වඩාත් විශාල පුරාණ පොකුණක් පිළිබඳව. අපි ඔවුන් පසුපසින් වනය හරහා ගමන් ගත්තෙ පොකුණ බැලීමේ ආශාවෙන්. ඒත් ඔබත් බියට පත්ව ඇති බව මා දැන ගත්තෙ ඔබ ඔබේ සොයුරාට අමතා අප යන ඉසව්ව පිළිබඳව හෝඩුවාව ඔහුට දැනුම් දෙනවිට. හිතේ දෙගිඩියාවෙන්, බියෙන් සැකෙන් අපි පැය භාගයක්වත් ඇවිද යන්නට ඇති. ඒත් අවසන ඒ වනයට යට වී ඇති සුවිසල් පොකුණ දුටු කල මොන තරම් ප්‍රීතියට පත් වුණාද?
ත්‍රාසය, කුතුහලය සමග ජීවිතය විඳීමට අනුබල දුන් ඔබ මට කිසිදා අමතක නොවෙන ගමන් සගයෙක්.
වසර කිහිපයකට උඩදී, ඔබ දුරු රටකට ගිය පසු, මා හිඳ ගත්තේ ඔබට ලිපියක් ලිවීමට හිතාගෙන.
"ආදරණීය.." මම ලිපිය පටන් ගත්තා. ඉන් පසුව තනිවම කල්පනා කරන්නට වුණා. ආදරණීය කවුද?
මම ඔබට ඉන් පෙර කවදාවත් නමින් ආමන්ත්‍රණය කර තිබුණෙ නැහැ. පුරුද්දක් විදිහට හැම කෙනාටම සහෝදර ආමන්ත්‍රණය භාවිතා කරන මම ඔබට අක්කා කියා තිබුණෙත් නැහැ. විහිළු කරන වෙලාවට, පැරණි විහිළුවක ශේෂයක් වුණු "මෙයා" යන වචනය භාවිතා වුණත් අනෙක් වෙලාවට මම කිසිම ආමන්ත්‍රණ පදයක් භාවිතා කර තිබුණෙ නැහැ. අප හඳුනාගෙන වසර කීයක්ද? හිතනකොටත් පුදුමයි.
ඒත් පුදුම වෙන්නට දෙයක් නැහැ. විටෙක යෙහෙළියක්, විටෙක මවක්, විටෙක සහෝදරියක්, විටෙක ගුරුවරියක්, විටෙක මග පෙන්වන්නියක් වන ඔබව එහෙම එකම වචනයකින් ඇමතිය හැකිද?
අද දවස ගෙවී අවසන් වෙන්නටත් ආසන්නයි. ආදරණීය ඔබට වාසනාවත් උපන්දිනයක් වේවා.

Thursday, December 22, 2011
හෙණ ගැහුව මාසය
ඒ ඒ රටවල මිනිස්සුන්ට වැදගත්යයි හිතෙන කරුණුවලට වැඩි අවධානයක් දීම පිණිස, ඒ වෙනුවෙන් දිනයක්/ මාසයක්/ අවුරුද්දක් වෙන් කිරීම සාමාන්‍ය දෙයක්.
හුඟාක් ඉස්සරත් නෙවෙයි, හුඟාක් ළඟදිත් නෙවෙයි, ඊට වෙනස් කාලෙක රටේ අනෙක් නගරවලින් වෙන්ව පිහිටි කුඩා නගරයක් තිබුණා. මේ නගරයේ මිනිස්සු අදහස් අතින් බැලුවොත්, එක මනුස්සයෙක් අනික් මනුස්සයාගෙන් වෙන් කර ගන්නට අමාරුයි. ඒ හැමෝම කැමති වුණා තමන්ට හොඳක් වෙනවට; තමන්ට හැම දෙයක්ම ලැබෙනවට. ඊටත් වඩා ඒ ගොල්ල කැමති වුණා අනික් අයට නරකක් වෙනවට; අනික් අයගෙ දේවල් නැති නාස්ති වෙනවට. මොකද, තමන්ට තියෙන සුළු දේ පවා අනිකාට නැත්නම්, ඒකෙ වටිනාකම ඉහළ යන නිසා.
ඒ නගරයේ නගරාධිපති ජනතාවගෙ මේ පිරිසිදු මනුෂ්‍ය හැඟීම තේරුම් ගත්තු නියම ජනතාවාදී නායකයෙක්. ඒ නිසා එයා තීරණය කළා ජනතාවගෙ අදහස් උදහස් පිළිගන්නා, ඒවා පෝෂණය කරන, වගකීමෙන් යුත් රජයක් හැටියට, ඒ වෙනුවෙන් දිනයක්, නැහැ, මාසයක්ම වෙන් කරන්නට.
ඒ මාසය නම් කෙරුණා "මට ඇරුණුකොට අනික් හැම එකාටම හෙණ ගහපං මාසය" හැටියට.
ජනතාව බොහොම සන්තෝස වුණා. ඒගොල්ලන්ට අඩුවකට තිබුණෙ මෙහෙම මාසයක් තමයි.
මාසය පටන් ගත් දිනේ පටන් මිනිස්සු අනික් අයට හෙණ ගස්සන හැටි කල්පනා කළා. ගෑණු උදවියට යකඩ කූරුවලින් නිර්මිත විවිධ කොණ්ඩ කටු වර්ග තෑගි ලැබුණා. සපත්තු, මළු, පසුම්බි වගේ හැම භාණ්ඩයකටම ලෝහ වර්ග මිශ්‍ර කෙරුණා. විදුලි උපකරණ හදන සමාගම් මිහි කාන්දු වයරය රහිත උපකරණ විශාල සංඛ්‍යාවක් හඳුන්වා දුන්නා. ප්ලාස්ටික් උපකරණ සෑදීම නවතා දමා, ලෝහ වර්ගවලින් ඒවා නිමවන්නට පටන් ගත්තා. ඉහළින් විවෘත වාහන වැඩිපුර හදන්න පටන් ගත්තා. ප්‍රධානීන් තම සේවකයන් උදෙසා ජලාශ අසල කඳවුරු චාරිකා සංවිධානය කළා. රූපවාහිනී ආයතන "වැඩිපුරම අනුන්ට හෙණ ගස්සන තරුව" තේරීමේ තරග සංවිධානය කළා. මිනිස්සු රෑට අල්ලපු ගෙවල්වල වහළට නැගලා යකඩ කූරු සවි කළා.
ඔන්න ඔහොමයි.
නගරයේ එක්තරා වීදියක දක්ෂ මිනිස්සු දෙන්නෙක් ජීවත් වුණා. ඒ දෙන්නා කවදාවත් එක්කෙනෙක් අනිකට දෙවෙනි වුණේ නෑ. වීදියේ උසම ගෙදර තමන්ගෙ කර ගැනීමට දෙන්නාම මහන්සි වුණා. කොච්චර උසට ඒ දෙන්නගෙ ගෙවල් හැදුවාද කිව්වොත්, ඉර හා සඳ ගමන් කළේ ඒ ගෙවල්වල උඩම තට්ටු මැද්දෙන්.
අනුන්ට හෙණ ගස්සන මාසය පටන් ගත් දා සිට මේ දෙන්නා හුඟක් කල්පනා කළෙත් නැහැ; ටිකක් කල්පනා කළෙත් නැහැ. ඊට වෙනස් තරමක් කල්පනා කළා. ඉතින් එහෙම කල්පනා කරනකොට, එක්කෙනෙකුට බොහොම අපූරු කල්පනාවක් පහළ වුණා. ඔහු පහුවදාම තමන්ගෙ කල්පනාව ක්‍රියාවට නැංවූවා.
උදෙන්ම නැගිටලා, තමන්ගෙ සේවකයන් කැඳවලා, ඔහු මෙන්න මෙහෙම අණ කළා:
"මගේ ගෙදර ඉහළම තට්ටු කීපය කඩා දමන්න."
ඔහුගෙ සේවකයන් ඉතාම බුද්ධිමත් නිසා ප්‍රශ්න කිරීමක් නැතිවම ඒ තට්ටු කිහිපය කඩා දැමුණා. තමන්ගෙ තරගකාරයා කරන්නට හදන වැඩේ අල්ලපු ගෙදර මිනිහා තේරුම් ගත්තා. ඔහු ඊට දෙවැනි වුණේ නැහැ. ඔහුගෙ සේවකයන් කැඳවලා මෙන්න මෙහෙම අණ කළා:
"මගේ ගෙදර මැද තට්ටු කිහිපයක් කඩා දමන්න."
ඔහුගෙ සේවකයන් වහාම මැද තට්ටු කඩා දමන්නට පටන් ගත්තා. එතකොට ඉහළ තට්ටුත් කඩා වැටුණා.
තමන්ගෙ ප්‍රයෝගය අනිකා තේරුම් ගත් බව දුටු පළමුවැන්නා තමන්ගෙ සේවකයන්ට අණ කළා මුළු නිවසම කඩා බිඳ දමන ලෙසට. දෙවැනියාට අවශ්‍ය වුණේ නැහැ වීදියේ උසම ගොඩනැගිල්ල බවට පත්ව හෙණ වද්දාගැනීමට. ඒ හින්දා ඔහුත් තමන්ගෙ මුළු නිවසම පොළොවට සමතලා කර දැම්මා.
මේ දෙන්නගෙ සේවකයන් තම තමන්ගෙ නිවාසත් මේ විදිහට කඩා දමන්නට පටන් ගත්තා. ඔවුන්ගෙ ක්‍රියාව තේරුම් ගත් අනෙක් නගර වැසියනුත් තම තමන්ගෙ නිවාස කඩා දමන්නට පටන් ගත්තා. හුඟ දවසක් ගියෙත් නැහැ, ටික දවසක් ගියෙත් නැහැ, ඊට වෙනස් දවසක් යද්දි මුළු නගරයම පොළොවට සමතලා වුණා. මිනිස්සු කඩා බිඳ දැමුණු සුන්බුන් මත හිඳගෙන, අවට බලමින්, තමන්ගෙ දක්ෂකම ගැන සන්තෝස වුණා.
දවසක් මේ නගරයට සංචාරකයෙක් ආවා. සුන්බුන් බවට පත් නගරය දුටු ඔහු පුදුමයට පත් වුණා. ළඟම හිටිය නගර වැසියාගෙන් ඔහු ඒ ගැන ප්‍රශ්න කළා:
"මොන හෙණයක් පාත් වෙලාද මේ නගරෙට? මොකද වුණේ??"
නගර වැසියා හුඟක් කල්පනා කළෙත් නැහැ, ටිකක් කල්පනා කළෙත් නැහැ, ඊට වෙනස් තරමක් කල්පනා කළා. සත්‍යය පැහැදිලි කළාට වැඩක් වෙන්නෙ නැහැ. පිටස්තරයෙකුට බැහැ මේ නගරයේ සංස්කෘතිය හරිහැටි තේරුම් ගැනීමට. ඔවුන් තම තමන්ගෙ නගර එක්ක සන්සන්දනය කරලා වැරදි චිත්‍රයක් මවා ගනීවි. ඒ හින්දා නගරවැසියා කෙටියෙන් මෙහෙම උත්තර දුන්නා:
"ඔව්, අපිට හෙණ ගැහුවා!"

Subscribe to:
Posts (Atom)