පුංචි දරුවන්ට සිරුරේ උෂ්ණත්වය පවත්වා ගැනීම වැඩිහිටියෙකුට වඩා අමාරුයි. ඒ හින්දා, විශේෂයෙන්ම අලුත උපන් දරුවන් ඉන්න තැන්වල, විදුලි පංකා හා වායු සමීකරණ යන්ත්‍ර පාවිච්චි කරන්නට ඕන පරිස්සමෙන්. සමහරවිට මේ ගැන වැඩිය නොහිතන සෞඛ්‍ය සේවකයින් තමන්ගෙ පහසුව ගැන හිතලා, පංකාවෙ වේගය වැඩි කරන අවස්ථා, වායු සමීකරණයෙ උෂ්ණත්වය බොහොම අඩු කරන අවස්ථා තියෙනවා.
සමහර වෙලාවට අංශක 16-17ට පවා.
"අයිස්ලන්තෙන් ආව අයද මෙතන ඉන්නෙ?" කියලා අමනාපෙන් අහපු වෙලාවල් තියෙනවා. එහෙම අහනකොට ඒ අය හිත අමාරු කරගන්නට ඇති.
චම්පික රණවක මහතා විසින් විදුලි බල අමාත්‍යවරයා විදිහට පළ කළ විදුලිය අරපිරිමැසීම පිළිබඳ අත් පත්‍රිකාවක් මට හමු වුණේ අහම්බෙන්. විදුලිය පිරිමැහීම ගැන දැන සිටි කරුණු වගේම, නොදන්න කරුණුත් සෑහෙන්න එතන තිබුණා.
ඒ කියන විදිහට, දැනට ලංකාවෙ මුළු විදුලි සැපයුමෙන් හරි අඩකට වඩා ලබා ගන්නෙ ඛණිජ තෙල් දහනය කිරීමෙන් විදුලිය නිපදවන තාප බලාගාරවලින්. (පත්‍රිකාව ලියල තියෙන්නෙ 2012දි) ඒ සඳහා දිනකට වැයවන මුදල රුපියල් මිලියන 168ක්. කර්මාන්ත හා වෙළඳ අංශයෙ දිනකට විදුලි නාස්තිය රුපියල් මිලියන 20ක්. (අර මාළු විකුණන තැන්වල ලයිට් ගොඩක් දාගෙන මාළු දිලිසවන්න එහෙමත් එක්ක, මං හිතන්නෙ. එතකොට ඇඳුම් කඩවල, ස්වර්ණාභරන සාප්පුවල එහෙම...) ගෘහස්ථ අංශයෙ විදුලි නාස්තිය දිනකට රුපියල් මිලියන 15ක්.
ටිකක් නෙවෙයි හොඳටම වැඩි වගේ.
ලංකාවෙ දිනකට විදුලිය නිෂ්පාදනයෙදි පරිසරයට කාබන් ඩයොක්සයිඩ් ටොන් 11500ක් එකතු වෙනවා. පරිසර උෂ්ණත්වය වැඩි වීමට, මුහුදු මට්ටම ඉහළ යාමට අපි දායක වෙන්නෙ එහෙමයි. කියනකොට මතක් වුණේ, දන්න කෙනෙකුගෙ ගාල්ල/මාතර පැත්තෙ තිබුණු මුල් ඉඩම්, අක්කර හතරක පොල් වත්තක් දැන් මුහුදට යට වෙලාලු. මේ මතක ඇති කාලයෙ, අවුරුදු 30ක් විතර ඇතුළත. ඒ කියන විදිහට ඒ හරියෙ මුහුදු සීමාව, දැන් කිලෝමීටරයකින් විතර ගොඩබිම කාලා.
අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න කිව්වට මදි වගේ.
ආලෝකකරණයේදී:
CFLහෝ LED බල්බ භාවිතා කරන්න.
විදුලි බල්බ දූවිලි පිස දමා පිරිසිදු කරන්න.
නිවාස සැලසුම් කිරීමේදී ස්වභාවික ආලෝකය හැකි පමණ ලැබෙන විදිහට දොර ජනෙල් ස්ථානගත කරන්න.
බිත්ති, සිවිලිම්, තිර රෙදි ආදිය සඳහා ලා වර්ණ භාවිතා කරන්න.
ශීතකරණ:
ගෙදරක මුළු විදුලි පරිභෝජනයෙන් 30%-50%ක් යන්නෙ ශීතකරණයට.
ශීතකරණයෙ දොර නිසි පරිදි වසා තබන්න.
එය අරින වහන වාර ගණන හැකි පමණ අඩු කරන්න.
එහි පිටුපස කොටස කෙළින්ම සූර්යාලෝකයට හෝ උණුසුම් පරිසරයකට නිරාවරණය නොවන පරිදිද, බිත්තියෙන් අඟල් 10කවත් පරතරයක් ඇතිවද තබන්න.
ශීතකරණය තුළ උණුසුම් ආහාර තැබීමෙන් වළකින්න. (මමනම් මේ වැඩේ කරලා තියෙනවා- කෑම ඉක්මණින් නිවා ගන්න රස්නෙ පිටින් ශීතකරණයට දාන එක. ආයෙ නොකරමි.)
ඊලඟට පිසීමට නියමිත, අධිශීතකරණ කුටිය තුළ ඇති ආහාර, පැය 10-12කට පමණ පෙර ඉන් පිටතට ගෙන, සාමාන්‍ය ශීතකරණ කුටියේ තැබීමෙන් වැයවන විදුලිය අඩු වේ. (ඒ කියන්නෙ, හෙට උදේට මාළු එහෙම උයන්න ඉන්නවනම්, අද රෑ ඒවා සාමාන්‍ය කුටියට මාරු කරන්න පුළුවනි.)
එළවළු, පලතුරු ආදිය පොලිතින්වල ඔතා අසුරන්න; දියර වර්ග වසන ලද බඳුන්වල තබන්න. එවිට තෙතමනය මුදාහැරීමා සීමා වන නිසා විදුලි පරිභෝජනය අඩු වේ.
අවශ්‍යම දේ පමණක් ශීතකරණයේ තබන්න.( ඒ කිව්වෙ, කූඹි වහන හින්දා සීනි බෝතලේ ෆ්‍රිජ් එකේ තැබීම වගෙ වැඩ කරන්න එපා. මමනං ඉස්සර එහෙම කළා. පස්සෙ, හොඳට සීල් වෙන බෝතලයක් ගත්තා, නැත්නම් තේ එක හදන්න කලින් නිවෙන නිසා. ඒත් විදුලිය ගැනනං කල්පනා වුණේ නෑ.)
ශීතකරණයක් ගන්නකොට, තමන්ගෙ අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයෙන් මිස, අනවශ්‍ය තරම් විශාල එකක් ගන්න එපා කියලත් පත්රිකාවෙ තිබුණා. ඊට අමතරව, ඉන්දික කියනවා වගේ ඉන්වර්ටර් තාක්ෂණය භාවිතා කරන ශීතකරණයක් මිළට ගන්නට පුළුවන්නම්, විදුලි පරිභෝජනයෙන් 30-50% පමණ ඉතිරියක් වෙන බවත් පැවසෙනවා.
http://www.bijlibachao.com/Refrigerators/refrigerators-with-inverter-technology-can-help-save-electricity.html
රෙදි මැදීමේදී:
තෙත රෙදි මදින්න එපා. (මම ඉස්සර මේ වැඩෙත් කළා. විශේෂයෙන් වහින දවස්වලට, රෙදි වේළෙන්නත් කල් යන නිසා, සමහර වෙලාවට අයන් කරලම තමා වේලෙන්න දැම්මෙ.)
රෙදි මදින ලෑල්ලට යටින් තුනී ඇලුමිනියම් කොළයක් තබන්න. එමගින් උෂ්ණත්වය පරාවර්තනය වන බැවින් දෙපැත්තෙන් එකවර මැදේ.
රෙදි මැදීම අතරතුර ඉස්තිරික්කය පසෙකින් තබනවිට එහි පතුළ සිරස්ව තබන්න.
දින කීපයක රෙදි එකවර මැදගන්න. මුළින් ගනකම රෙදිද, අන්තිමට සිනිදු රෙදිද මැදගන්න. එවිට ඉස්තිරික්කය නිවා, එහි ඉතිරිව ඇති රස්නයෙන් මැදගත හැක.
විදුලි පංකා:
හැකි පමණ ස්වභාවික වාතාශ්‍රය ලැබෙන පරිදි දොර ජනෙල්, තිර රෙදි සකසාගන්න.
සිවිලිං පංකා වෙනුවට අඩු බලශක්තියක වැයවන මේස පංකා හෝ සිටුවා තබන පංකා භාවිතා කරන්න.
කිසිවෙක් කාමරයේ නැතිවිට පංකාව නිවා තබන්න. (මේකනම් රැකියා ස්ථානවලදි හොඳින් සිහිපත් කළ යුතු දෙයක්.)
රෙදි සෝදන යන්ත්‍ර භාවිතය:
අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයේ යන්ත්‍රයක් මිළට ගන්න. පුද්ගලයින් 4-6ක් සහිත පවුලකට කි.ග්රෑ. 5ක ධාරිතාවයක් සෑහේ.
අනවශ්‍ය ලෙස වැඩි වාර ගණනක් භාවිතා කිරීමෙන් වැළකිය යුතු සේම, අතිශයින් අඩු හෝ වැඩි බරක් රෙදි යන්ත්‍රයට පැටවීමෙනුත් වළකින්න. කාර්යක්ෂමතාවය අඩු වීම නිසා විදුලි පරිභෝජනය වැඩි වේ.
වියළීමේ යන්ත්‍රය භාවිතය සීමා කර, හැකි සෑමවිටම හිරු එළියෙන් වියළා ගන්න.
හැකිනම්, ඉදිරිපසින් රෙදි ඇතුළු කරන යන්ත්‍රයක් මිළට ගන්න. ඒවා වඩා කාර්යක්ෂමය.
වායු සමීකරණ යන්ත්‍ර:
හැකි සැමවිටම මේ වෙනුවට විදුලි පංකා භාවිතා කරන්න.
දොර ජනෙල් තුළින් වාතය පිට නොවන සේ හොඳින් වසා තබන්න.
කාමරය තුළට කෙළින්ම හිරු රැස් වැටේනම්, තිර රෙදි දැමීමෙන් හෝ තුරුලතා වැවීමෙන් එය මග හරවන්න.
උෂ්ණත්ව පාලකය අංශක 26ට පිහිටවන්න. අංශක එකක අඩු වීමක් සඳහා වියදම 40%කින් වැඩි වේ. (සෙල්ලම් නෙවෙයි. මං ගණන් හදල බැලුවෙ, අපේ සමහර අය කරනවා වගේ අංශක 16-17ට අඩු කළහම වියදම කොහොමද කියලා. තව මේ නිතරම ඇරෙන දොරවල් සහිත අංශවල.)
රූපවාහිනී යන්ත්‍ර:
නරඹා අවසන, දුරස්ථ පාලකයෙන් පමණක් නොව, ස්විචයෙන්ම නිවා දමන්න. දුරස්ථ පාලකයෙන් පමණක් නිවූවිට ස්ටෑන්ඩ් බයි තත්වයේ ඇති නිසා, වර්ණ රූපවාහිනියක් සඳහා වොට් 18-25 අතර විදුලිය වැය වීමක් සිදු වේ.
රූපවාහිනිය නරඹනවිට, නිවසේ අනෙක් ස්ථානවල විදුලි පහන් නිවා දමන්න.
මේ පත්‍රිකාව දැකලා ටික දවසක් වුණත්, ආයෙම මතක් වුණේ, කාබන් විමෝචනය හා ගෝලීය උෂ්ණත්වය ගැන මය්යා පළ කළ ලිපිය දැකලා.
http://maiyyagelokaya.blogspot.com/2013_10_01_archive.html
http://maiyyagelokaya.blogspot.com/2013/03/blog-post.html
පත්‍රිකා පිට පත්‍රිකා බෙදුවත් .. ලයිට් බිල ඩබල් උනත් .. අපේ උන් ඔය එපා කියන ටික ඔක්කොම කරනවා. වැඩිම උනොත් බිල වැඩි වෙලා මාසයක් අරපරිස්සම් කරයි. එහෙම කරන්නෙත් තමන්ගෙ ගෙදර විතරයි..
ReplyDeleteඔව්, පොදු ස්ථානවලදි, විශේෂයෙන්ම තමන්ගෙ සේවා ස්ථානයෙදි අරපරිස්සම අඩුයි.
Deleteඅපෙ ගෙදර නම් ෆෑන් භාවිතයෙන් තොරයි.. ශීතකරණය තමා කේස් එක.. ගෙදර එල්.ඊ.ඩී සහ සි.ඇෆ්.ඇල් තමා තියෙන්නෙ.
ReplyDeleteජය !
ශීතකරණයෙන් පරිස්සම් කරගන්න එක අමාරුයි ගෙදර කීපදෙනෙක් ඉන්නකොට. වරින් වර විවෘත කරනවනෙ.
Deleteමම වතුර උණු කරන්න පහුගිය කාලෙ භාවිතා කළේ විදුලි කේතලයක්. ඒක අතහැරලා දැම්මාම සෑහෙන යුනිට් ගානක් ඉතුරු වුණා.
හොඳ ලිපියක්. මෙහි අන්තර්ගතය ගැන කතාකලයුතු තර්ක කලයුතු තැන් බොහොමයි. නමුත් තව ටිකකින් ගුරු දිනයට කෑමකට යන්න තියෙනවා.
ReplyDeleteඒක නෙවෙයි. මොහෝ අනේ මේ බ්ලොග අතෑරලා දාලා තියෙන්නේ?
කරන්ට් බිල අඩු කරගන්ට කියලා බ්ලොග් ලිවිල්ල නවත්තලා ලු.. ;)
Deleteඔන්න බුරාට තේරිලා හරියටම කාරණේ. :D
Deleteහෙන්රි, දන්නා තොරතුරු බෙදාගමු. මම මේ තොරතුරු ගත්තෙ අත්පත්රිකාවකින්. ඒවා තව තැනකින් චෙක් කරලා නැහැ. මීට අමතරව වෙනත් විදිහවලුත් ඇති විදුලිය පිරිමහින්න.
උපදෙස් ටික සෑහෙන වටිනවා...
ReplyDeleteචම්පික රණවකට සහ විදුලිබල අමාත්‍යාංශයට තමා ස්තුති කරන්න ඕන.
Deleteෂෙහ්.. මටනං මේ ඒසී එක නැතිව හරි අමාරුයි... පුංචි කාලේ ඉදන් පුරුදු වෙච්ච දේවල්නේ අප්පා...
ReplyDelete:P
Deleteඕකට එකතු කරන්න "අළුත් ෆ්‍රිජ් එකක් හරි ඒසී එකක් හරි ගන්නවනම් ඉන්වර්ටර් ටයිප් ඒවම ගන්න" කියලති. මොකද විදුලිය එකකට එකක් අඩුවෙන් යන්නෙ.
ReplyDeleteඇත්තටම ඔය ඉන්වර්ටර් එකේ ක්‍රියාකාරිත්වය පොඩ්ඩක් පැහැදිලි කරපං ඉන්දික.
Deleteඔන්න ඒ කොටස එකතු කළා. ඉන්දිකට පුළුවන්නම් ඒ ගැන පැහැදිලි කරන්න. මට තේරුණූ විදිහට, පරිසරයෙ උෂ්ණත්වය අනුව, ශක්තිය වැයවීම පාලනය කරගනිමින්, ශීතකරණය තුළ උෂ්ණත්වය ස්ථාවරව පවත්වා ගැනීමක් වෙන්නෙ.
Deleteදැනුයි දැක්කෙ ඉල්ලීම. better late than never :)
Deleteඉන්වටර් තාක්ෂනයෙ වෙනස තමයි සාමාන්‍ය ක්‍රමයෙදි වගේ ශීතකරනයක හරි වායුසමීකරණකයක හරි තියෙන මෝටරය තර්මොස්ටැට් එකෙන් දෙන සඥාව අනුව සම්පූර්ණයෙන්ම නැවතීම හෝ පූර්ණ බලයෙන් ක්‍රියා කිරීම වෙනුවට අර තර්මොස්ටැට් සඥාව අනුව අදාල කාමරයෙ හෝ ශීතකරනයේ උශ්නත්වය නියත මට්ටමකට පවත්වාගන්න මෝටරයෙ වේගය ඉලෙක්ට්‍රොනිකව පාලනය කිරීම. මේකෙදි වෙන හොඳ දෙකක් තියෙනව. එකක් තමයි මෝටරය නැවිතී තිබිල නැවත බලගැන්වෙනකොට වෙන අධි විදුලි හානිය නවතිනව හෝ අවම වෙනව. අනික සම්පූර්ණ ධාරිතාවයෙන් මෝටරය දුවන වෙලාව අඩු නිසා විදුලි හානිය අවම වෙනව.
ඉන්වර්ටර් තාක්ෂනය වායුසමීකරණ සහ ශීතකරන කියන දෙකටම යොදා ගන්නව. මේ ක්‍රමයෙදි මෝටරයක ගෙවීම අඩු නිසා බොහෝ නිෂ්පාදකයො වසර දහයක පමණ දිගු වගකීමක් "කම්ප්‍රෙසරය" සඳහා ලබාදීමත් තව වාසියක්.
බොහොම ස්තුතියි ඉන්දික
Deleteමාතෘකාව දැක්කම මම හිතුවෙ නලිනි අයිස්ලන්තෙ ගල් වෙලා ඉඳල යංතං බේරිලා ඇවිල්ල බ්ලොග් එක ලියන්න පටංගත්ත කියලයි. :D
ReplyDeleteවායු සමීකරන පාවිච්චිය ගැනනං අපේ සමහර අයගෙ හැකියාව අන්තිමයි. සමහර අය හිතාගෙන ඉන්නෙ ඒසී කරනව කියන්නෙ නිකං ෆ්‍රිජ් එකක් ඇතුලට දාල තියෙනව වගේ කූල් එකේ ඉන්න ඕන කියලයි. ලයිට් බිල වගේම ඒකෙන් තමංගෙ ශරීරයට වෙන අහිතකර ප්‍රතිඵල ගැනත් මිනිස්සුන්ට තේරුමක් නෑ.
කියලා වැඩක් නැහැ. ආයතන ඇතුළෙ විතරක් නෙවෙයි, සමහර වාහන ඇතුළෙත් ඉන්න බැහැ. :(
Deleteයන්නෙ කාන්තාරෙ ඉඳල, ඒ උනාට ෆෑන් නැතුවම බෑ. එපා කියලා තියෙන ඒවා මාත් කරල තියෙනව ඕන තරම්. කොම්පැනියෙන් බිල ගෙවන හින්ද තාමත් කරන වැරදිත් තියෙනෝ. කාගෙ උනත් සල්ලිනෙ දෙයියනෙ. මම හොඳ ළමයෙක් වෙමි.!
ReplyDeleteඕඕ, තමන්ගෙ අතින් ගෙවන්න වුණහමවත්, ඒ ගැන අරපරිස්සම් වෙන එක අතපසු වෙනවා, පුරුදු වෙනස් කරන්න තියන අමාරුව හින්දා.
Deleteපොදු තැන්වල වියදමුත්, අවසාන වශයෙන් අපි හැමෝගෙම තමා. ඒ විතරක්ද, නාස්ති වෙන බලශක්තියත්, ලෝකෙම ඉන්න අයටනෙ
ඒ මෙයා තාම ඉන්නවද? මන් උන්නෙ බ්ලොග් අතෑරල ගිහින් කියල!
Deleteඅනිත් ඒවා කෙසේ වෙතත් තෙත රෙදි මැදිල්ල නං ඉතිං නවත්තන්න අමාරුයි... වහින කාලෙට යුනිෆොම් වේලගන්නෙ කොහොමද නැත්තං... හි හි...
ReplyDeleteෆ්‍රිජ් ගන්න ගියාම අනේ කම්පැණි වලින් කියන බයිලා වලට නං අහුවෙන්න එපා... ඩෝ කූලින් අර කූලින් මේ කූලිං කියලා විකිණුවට ඔය කියන තරම් විදුලිය වැය කිරීම අඩු වෙන්නෙ නෑ... අනිත් එක ඉතිං අපි අවුරද්දෙන් අවුරුද්ද ෆ්‍රිජ් මාරු කරන අය නෙවෙයිනෙ... ඒක නිසා ජීවිතකාලෙටම එකයි කියලා තියෙන ලොකුම ෆ්‍රිජ් එකනේ ගන්නෙත්... හි හි
ඒක ඇත්ත. අලුත් තාක්ෂණය ආවයි කියලා අපි වැඩි දෙනෙකුට අලුතින් උපකරණ ගන්න බැහැ. නමුත් මම අර ඉන්දික කිව්ව ඉන්වර්ටර් තාක්ෂණය ගැන හෙව්වහම, ඒ ලිපියක තිබුණා, අලුත් එකකට ආයෝජනය කරන එක වඩා හොඳයි, විදුලි පරිභෝජනය අඩුවීමෙන් ලැබෙන වාසිය 50%ක් විතර වන නිසා
Deleteබොහොම ස්තූතියි අක්කා, ගොඩක් වටින උපදෙස් සහිත ලිපියක්. තියටර් එකේ ඒසී ඕෆ් කරන්නේ මොකද කියලා රණ්ඩු වෙනවා, සීසර් කරලා ගන්න බබාට සීතලවෙයිලු... මාර තියරි... බබා ගත්තු ගමන් ඔතලා දෙනවනේ ගෙනියන්න වෝමර් එකට. සමහර විට මිනිස්සු එච්චර දුර හිතන්නේ නෑ. මේ දේවල් කරන්නේ ඇයි කියලා තර්කානුකූලව හිතන්නේ නෑ.
ReplyDeleteඕඕ, බබාව එතනින් අයින් කරනවනම් ගැටළුවක් නැහැනෙ. සීසර් එකට ප්ලාස්ටික් ඒප්‍රන් එකත් දාලා, උඩින් ගවුමත් ඇඳලා ඉන්නකොට කොච්චර රස්නෙද
Deleteදැන සැහෙන නාස්ති කරනවා . හැබැයි ඔය ඒ සි නම් වැඩිය ඕනෑම නැහැ මට.
ReplyDeleteහුඟක්ම ඒසී හොයන්නෙ මහත අයනෙ.
Deleteමම නං හිතන්නේ උවමනාව විතරයි ඕන දේකට අවශ්‍ය. දැනුම තියෙනවා. අන්න ඒකයි මිනිස්සු අතර වර්ධනය කල යුත්තේ...
ReplyDeleteඔව්, මේ වගේ කරුණු වැඩි හරියක් හුඟ දෙනෙක් දන්නවා. ඉතින් හුඟක් වෙලාවට ආකල්ප වෙනස් කිරීමක්, මතක් කිරීමක් විතරයි ඕන කරන්නෙ.
Delete//රෙදි මදින ලෑල්ලට යටින් තුනී ඇලුමිනියම් කොළයක් තබන්න. එමගින් උෂ්ණත්වය පරාවර්තනය වන බැවින් දෙපැත්තෙන් එකවර මැදේ.//
ReplyDeleteමේක ගැන නම් ඇහුවමයි....
කරල බලන්න ඕනී.
මමත් ඒකනම් තවම අත්හදා බැලුවෙ නෑ. ඒ තියා එකවර රෙදි මැද ගැනීමකුත් කරලම නෑ
Deleteසාමාන්යෙන් අයන්බෝඩ් වල මෙහෙම ඇලුමිණියම් තහඩුවක් එනවා. ඒකෙන් රත්වීමේ වේගය වගේම ඇඳුම පිළිවෙළට මැඳගැනීමේ වේගයත් වැඩියි.
Deleteමාළු නම් ඉතින් ෆෝමලින් දැනටමත් දාල හින්දා අධි ශීතකරනෙ තියන්න ඕනෙම නෑ...
ReplyDelete:D අපේ විදුලි බිල ගැන හිතල, ඒගොල්ලො එහෙම කරල තියෙන්නෙ
Deleteවටිනා ලිපියක් නලිනි......ගෙවල්වල නම් ගොඩක් පරිස්සම්. මේ ඔෆිස්වල තමයි ප්‍රශ්ණේ. අපි ඉන්න පලාතේ ප්‍රශ්ණේ Heaters..... .දැන් බොහොමයක් අඩු ප්‍රතිශතයක් තමයි Wood logs, coal පාවිච්චි කරන්නේ. සමහර ගෙවල්වල ඒ Fireplaces තාම තියෙනවා. හැබැයි කරදර වැඩක් නිසා සමහරු ඒවත් ගෑස් හෝ විදුලියට හරවලා.
ReplyDeleteඕඕ, ඒසී ප්‍රශ්නෙ අනික් පැත්ත නේද? ඔය එක්කම, උණු වතුර පහසුකම අරපරිස්සමට පාවිච්චි කරන ප්‍රශ්නෙත් එනවනෙ
Deleteඅලුත් කාර්යාලයේ සීතලේ ගැහෙමින් ඉන්නෙ...පුදුම සීතලක්...සමහර කෙල්ලො සීතලට අදින ඇදුම් පවා අදිනවා ඔපීසිය ඇතුලෙ...හුග කාලෙකින් නේද සටහනක් තිබ්බෙ සිත් ආරෙ...
ReplyDeleteඔව්, හුඟ කාලෙකින්.
Deleteවැඩි දෙනෙකුට අපහසුවක් වෙද්දිවත්, සීතල පාලනය කරන්න හැකියාවක් නැද්ද? මම වැඩ කරන තැනත් හුඟක් වෙලාවට වෙන්නෙ, පලපුරුද්දෙන්/වයසින්/තනතුරින්/ කටකාරකමින් ජ්‍යෙෂ්ඨ කෙනෙක් අඩු උෂ්ණත්වයකට සැකසුවහම, අනික් අය ඒක වෙනස් කරන්න බයයි; අඩුම ගානෙ "මේ සීතල වැඩියි නේද?" කියල අහන්නවත් බයයි.
තමන් බිල් නොගෙවන තැන් වල වගකීමක් ගන්න බොහෝ අය කැමති නෑ ඒ කියන්නේ අනවශ්‍ය විදුලිය භාවිතා නොකර ඉන්න පෙළඹෙන්නේ නෑ. අතින් ගෙවන්න වුනාම ඕක වෙනස් වෙනවා. අපිට පොඩි කාලේ ඉඳන් වගකීම් ගන්න කියලා දෙනවා නම් ඔය හැමදේම ගැන අපි හුරු වෙනවානේ.
ReplyDeleteකොළඹ සමහර තැන්වලට ගියාම අයිස්ලන්තෙ ඉන්නවා වගේ. ඒක කීවම ඒ මිනිස්සු නිකම් අමුතු සතෙක් දිහා බලන විදිහට හිනාවෙනවා මිසක් ඒකට පිළියමක් යොදන්නේ නෑ. කොහොමද අව්වේ ඉඳලා එක පාරට ඔය තද වායු සමීකරණය කල තැනකට ගියාම. හවසට නැති ඔළුවෙ කැක්කුම.
ඒ සී, උණු වතුර නැති වුනොත් නම් බුරු බබා ට මොනවා වෙයිද මන්දා? ඒත් අඩුම ගාණක පාවිච්චියක් තමයි. කොහෙද මදුරුවෝ නැත්නම් කමක් නෑ. මම ඒ සී භාවිතා කරන්නේ මදුරුවෝ නැති වෙන්න. ඔන්න අපෙ පරෙස්සමේ හැටි.