Tuesday, September 27, 2011

ආදරණීය ෆොනී

අපේ ඉස්කෝලෙ සාමාන්‍ය පෙළට එනතුරු පන්ති බෙදලා තිබුණෙ ගණිතයට ලකුණු ගන්න අනුපිළිවෙලට. ලකුණු 98-100ක් ගන්න අය ඒ පන්තියෙ; ඊට එකක් දෙකක් අඩු වෙන අය බී පන්තියෙ. ඔහොම ඔහොම ඊ වෙනකම් තිබුණා.
එක එක පන්තිවලට තිබුණු සැළකිල්ල, පිළිගැනීම එහෙමත් ටිකක් වෙනස්. ඒ හා බී පන්තිවල ළමයින් සැළකුණේ බුද්ධිමතුන් විදිහට; ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතියකුත් තිබුණා. ඒ පන්ති දෙකේ ළමයින් එකිනෙකා හා වැඩිපුර යාළුයි.
ඩී හා ඊ පන්ති දෙකත් එහෙමයි. ඒ අය එකිනෙකාට වඩාත් සමීප වෙන්න තව හේතුවක් තිබුණා. කලා, තාක්ෂණික විෂයයන් සඳහා කණ්ඩායම් බෙදීමෙදි, ඩී හා ඊ පන්ති එක් ඒකකයක් ලෙසද, අනෙක් පන්ති තුන තවත් ඒකකයක් ලෙසද සැළකුණා.

අපි හිටියෙ සී පන්තියෙ. එහාටත් නැති මෙහාටත් නැති. අනික් පන්තිවල යාළුවෙක් දෙන්නෙක් හිටියට, අපි කෑ ගැහුවෙ එහෙම තනියම.

ඒ කාලෙ රටේ තිබුණෙ හරිම චංචල තත්වයක්. අපි හිටියෙත් ඒ වගේම වයසක. අපේ පන්තියත් එහෙමයි. අපට නිශ්චිත පන්තිභාර ගුරුතුමියක් හිටියෙ නැහැ; එකම වසර තුළ කීප වතාවක් එකිනෙකා මාරු වුණා. එහෙම හිටිය අපිට, සාමාන්‍ය පෙළ පන්තියට එනකොට ස්ථිර පන්ති භාර ගුරුතුමියක් ලැබුණා.
ඒ ශ්‍රියානි ෆොන්සේකා ගුරු මෑණියන්.

ඇය උසස් පෙළ සිංහල ගුරුතුමියක්. මොන හේතුවක් නිසා, සාමාන්‍ය පෙළ පන්තියට ඉගැන්වීමට ඇයට භාර වුණාද දන්නෙ නැහැ. දඬුවමක් නිසාද, ගුරු අතිරික්තයක්ද?

මොකක් නිසා වුණත්, ඇය ඒ ගැන අපට දැනගන්නට ඉඩ තිබ්බෙ නැහැ.


අපි කිව්වෙ ෆොනී කියලා.
මට ඒ දවස්වල ඇයව පෙන්නන්නට බැහැ. සමහරවිට මම ඇගෙන් වැඩිපුර බැණුම් අහන්නට ඇති. සම වයසේ ඇතැම් ළමයින් තහනම් දේශපාලනයේ නියැළෙද්දි, ඇතැමෙක් රූප ලාවන්‍යය ගැන උනන්දු වෙද්දි, මම හුණු කොට්ටයෙන් බෝල ගහන, ඩෙස්ක් උඩ නැගගෙන කෑ ගහන, අපිළිවෙල, මෝඩ ළමයකුව හිටියා. මම එවකට පන්ති නායිකාවත් වුණු හින්දා, කරන පුංචි වරදෙ වුණත් බරපතලකම වැඩි වුණා. මම හිතුවෙ, මට ඇයව පෙන්නන්නට බැරි තරමටම ඇයටත් මාව පෙන්නන්නට බැරුව ඇති කියලයි.

ෆොනී අපට දුරස්ථයි. විද්‍යාව, ගණිතය ඉගැන්වූ ගුරුමෑණිවරුන් අපට වඩාත් සමීපයි; ඒ වගේම ඔවුන් බොහොම ප්‍රියමනාප පෙණුමැති අයද වුණා. අළු පාට වළාකුලක් වගේ තනිවම පාවුණු ෆොනීගෙ හොඳක්, ලස්සනක් දකින වයසක නෙවෙයි අපි හිටියෙ.

ඒත් ෆොනී අපට ඉගැන්නුවා, සිංහල සාහිත්‍යය.


අපිට ඉගෙන ගන්නට තිබුණා ගුත්තිල කාව්‍යය.
ඕකෙ ඉතින් මොනවා ඉගෙන ගන්නද? පොඩි කාලෙ ඉඳන් අහලා තියෙන කතාව; පටාචාරට විතරයි දෙවෙනි වෙන්නෙ. ඒ මදිවට කවි. මට කවි අසාත්මිකයි. ඒත් අද වෙනතුරු මතක තියෙන්නෙ ෆොනී ඒ කාව්‍යය ඉගැන්නුව හැටි තමයි.

අපි ඔහේ කිරා වැටි වැටී ගුත්තිල පඬිවරයාට සිද්ධ වෙච්ච අසාධාරනය ගැන කවි කියනවා. ෆොනී අපෙන් අහනවා:
"දැන් මේ කියන දේ හරිද?"
ඔන්න අපි බාගෙට ඇහැරලා ආයෙමත් කවිය බලනවා.
"මූසිලට පුළුවන්නම් ගුත්තිල තරම්ම හොඳින් වීණාව වාදනය කරන්න, ඇයි මූසිලට අඩුවෙන් ගෙවන්නෙ? මොකද හිතන්නෙ ඒ ගැන? ගුත්තිලට අයිතියක් තියෙනවද එහෙම දෙන්න එපා කියල කියන්න?" ෆොනී නැවතිල්ලෙ අහනවා.
"දැන් මනෝරි මගෙ ගෝලයෙක්. එහෙම කියල මට පුළුවන්ද මනෝරිට මට වඩා අඩු පඩියක් දෙන්න කියන්න?"
මනෝරි කියන්නෙ අපේ ඉස්කෝලෙ හිටපු විද්‍යාව ගුරුතුමියක්; අපි හුඟක් ආදරේ කළ, අපිටත් හුඟක් ආදරෙන් ඉගැන්නුව, ලස්සන, තරුණ ගුරුවරියක්. එහෙම පුළුවන්ද එයාට අඩු පඩියක් දෙන්න කියන්න? අපි කැමතියි එයාට ෆොනීට වඩා පඩි හම්බෙනවනම්...

"ඒ වුණාට ඒ කාලෙ එහෙමයි!" ෆොනී ඇඟට පතට නොදැනි කාලයත් එක්ක වෙනස් වෙන සමාජ සම්මතයන්, අගයයන් ගැන වටහලා දෙනවා.

අපිත් දැන් වැරදි අල්ලගන්නට බලාගෙන, තර්ක කර කර ගුත්තිල කාව්‍යය කියවනවා.

"දැන් බලන්න මේ දිනන විදිහ. දෙවිවරු, රජවරු, මිනිස්සු හැමෝම ඒ පැත්තෙ. මූසිල තනියම අනික් පැත්තෙ. ඒත් කමක් නෑ. තනිකර වංචාවක්නෙ කරන්නෙ........

ඒ කාලෙ එහෙමයි!"

***************

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කියන්න පන්ති ගානෙ පරණ ගුරුවරු හොයන් යනකොට මට ෆොනීව හම්බුණේ නෑ වෙන්නට ඕන. මට ඒ ගැන ඒ හැටි මතකයක් නෑ.

උසස් පෙළ පටන් ගත්තා.

විද්‍යා අංශයෙ ඒ පන්තිය වෙන් වුණේ ගණිත සිසුවියන්ට. පොඩි කාලෙ ඒ, බී පන්තිවල හිටි අය වැඩි දෙනෙක් ඒ පන්තියෙ.
බී සිට ඊ දක්වා ජීව විද්‍යා පන්ති. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව මේවට සිසුන් වෙන් කෙරුණා. මම වැටුණෙ බී පන්තියට. බී පන්තියෙත් අති මහත් බහුතරය, අර ඒ සහ බී පන්තිවල සිටි ළමයින්ම තමයි. පිටස්තරයින්ට හිටියෙ, මමත්, මගෙ සාමාන්‍ය පෙළ පන්තියෙ හිටි යෙහෙළියකුත් තව හතරපස් දෙනෙකුත් පමණයි.

විවේකයක් ලැබුණු විට පාසල් වත්ත පුරා, ගොඩනැගිලි පුරා, තනියම ඇවිදින එක ඒ කාලෙ මගෙ පුරුද්දක්. හේතුවක් ඇතුව නෙවෙයි; ඔහෙ එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්නවා.
එහෙම ඇවිදින්න ගිය වෙලාවක, පන්තියකට යමින් හිටි ෆොනීව මට මුණ ගැහුණා. ඈතින්ම දැක්කනම් මම මග හරින්නත් ඉඩ තිබුණා.  හිනා වෙලා ඇඹරිලා මාරු වෙලා යන්නට හැදුවත් ෆොනී කතා කළා; ඉගෙනීමෙ කටයුතු ගැන, පන්තියෙ අනික් ළමයින්ගෙ විස්තර ආදිය ඇහුවා. මමත් ඉතින් ඇපෙන් බේරෙන්නට වගේ උත්තර දුන්නා.


යන්නට සූදානම් වුණු ෆොනී මගේ හිස අත ගාලා කිව්වා, "පන්තියෙ අනික් ළමයින්ව බලාගෙන, ඒ අයටත් හරි පාර පෙන්නගෙන, හොඳින් ඉගෙන ගන්න." කියලා.
ඔය වචනම නෙවෙයි වෙන්නැති; ඒත් ඔය අදහස.

මම උඩ ගිහින් බිම වැටිලා කල්පනා කළා: "හරි පාර පෙන්නන්න? මම? අර බුද්ධිමත් ළමයින්ට?"

මම එහෙම කරන්න ගියෙ නෑ; අනුන්ට හරි පාර පෙන්නනවා තියා, මම දැනං හිටියෙත් නෑ ඒක.
ඔය කාලෙ වෙනකොට රටේ චංචලකම තුනී වේගෙන යනවා. අපේ පන්තිවල සමහර ළමයින් අතුරුදහන් වෙලා; තවත් ළමයින් පොලිසියෙන් බේරීම පිණිස පාසල හැර ගිහින්; තරහකාරයන්ව ත්‍රස්තවාදීන් විදිහට අල්ලලා දුන් පියවරුන්ගෙ ළමයින් උසස් පෙළ සඳහා අපේ පාසලට ඇවිත්. එක මුස්ලිම් ළමයෙක්ව ගෙදරින් කසාද බන්දලා දීලා. බහුතරයක් ළමයින්  අනාගතය ගැන හීන මවන්නට පටන්ගෙන.

කාලය එහෙම ගෙවුණා.

ඒත් තවමත් පොතක් අතට ගන්න වෙලාවට, කතන්දරයක් කියවන වෙලාවට, මට ෆොනීව මතක් වෙනවා.

එදා මට නොදැනුණු ඇගේ අගය දවසින් දවස වැඩි වැඩියෙන් දැනෙනවා.

Saturday, September 10, 2011

නෙළුම් පොහොට්ටු

පෙරදා ගෙන ආ නෙළුම් පොහොට්ටු කළඹෙහි සෙවණැල්ල බිත්තියෙහි වැටී ඇත. වඩාත් පුළුල්ව ඇති සෙවණැලි කොටස්, ඉන් මලක් දෙකක් පිපෙන්නට වෙර දරන බව කියා පායි. මගේ නෙත් ඉබේම මල් කළඹ වෙත යොමු වෙයි. සෙවණැල්ලෙහි ඇති මල් එකම වර්ණයකින් යුතු වුවද, සැබෑ මල් එසේ නොවේ. පිපීගෙන එන මල් වඩාත් සුදු පැහැතිය. තවමත් නොපිපී ඇති මල්, පලා පැහැ පතින් වටව ඇත. පෙරදින සවස, නෙළාගත් විගසම මේ මල් එකිනෙක හා සමාන වූ බැව් මට සිහි වේ.

වැව, සන්ධ්‍යාව ගත කිරීම පිණිස විවේකී පරිසරයක් සැපයීය. නිසංසල වැව් තලයේ ඈතින් කඩොලාන තුරු සමූහයෙකි. එහි සිට ඝනව විහිදුණු නෙළුම් යාය, ඉවුරට ආසන්න වත්ම තුනී වෙයි. වඩාත් නිදහස්ව වැඩෙන නෙළුම් පත් ජල තලය මත සැරිසරන්නේ නටුවෙන් මිදී ඇතුවාක් මෙනි. ඉවුර අසබඩ පඳුරු තුළින් කුරුළු හඬ නැගෙයි.

විනෝදය පිණිස මසුන් අල්ලන්නන් කිහිපදෙනෙක් ඉවුරේ සිටියහ. පාන් කැබැලි අමුණන ලද බිලී පිති දියට විසිකොට ඔවුහු නිසොල්මන්ව බලා සිටියහ. ඔවුන්ගේ සගයෙක් ජීවිතාරක්ෂක කබායක්ද පැලඳ ඈත ඉවුරේ රඳවන ලද ඔරුවෙක සිටියේය. ඔහු අතද බිලි පිත්තක් විය.
තවත් එබඳුම කුඩා ඔරුවෙක නැගී, නෙළුම් වනය පීරමින් සිටි අනෙකා දිය මත දිවියට වඩාත් හුරු වූවෙකැයි සිතිය හැකි විය; ඔහු ජීවිතාරක්ෂක කබායක් තබා කමිසයක්වත් හැඳ නොසිටි හෙයිනි. නෙළුම් කොළ අතරින් සීරුවට ඔරුව හසුරුවන ඔහු මල් නෙළමින් සිටියේය.

ඉවුරෙහි තැනින් තැන බංකු ඇත. අපිදු එක් බංකුවෙක හිඳගෙන, ආහාර මළු දිග හැරියෙමු: රෝස් පාන්, පරිප්පු වඩේ, කට්ට සම්බල්, වඩේ කඩෙන් දෙන ලද සුදු පැහැති දියාරු සම්බලය හා උම්බලකඩ පැකට්ටුවක්ද එහි විණි. අප නොදැනුවත්වම අපගේ කතාබහ පරිසරයේ සන්සුන්කම අඩු කරන්නට ඇත. මසුන් මරන්නන් අප දෙස හොරැහින් බලමින්, වෙනත් තැනකට පියමන් කළහ. අපි පාන් කැබලි මසුන්ට විසි කළෙමු.
"ඔරු පදිමුද?"
"කීයක් ගන්නවද දන්නෙ නෑ."
"ඔයාට පීනන්ඩ පුළුවන්ද?"
"මටනං බෑ."
"මටත් බෑ."
"මටත් බෑනෙ."
"මෝටර් බෝට්ටු නෙවෙයි නේද තියෙන්නෙ?"
"අපිමද දන්නෑ පදින්ඩ ඕන."

අප සිටි තැන ඉවුරෙහි ඔරු තොටුපොළකි. කුඩා ලී නිවස්නයක් ජල තලය මතට විහිදෙන පරිදි නිමවා ඇත. එහි ගොඩබිමට යා වෙන කොටස ලී වැටක් සහිත තට්ටුවකි. ඒ දෙපසින් ජල මට්ටමට වඩාත් ආසන්නව, ඔරුවට නැගීම හා ඉන් බැසීම පිණිස සකසන ලද ලී අට්ටාල දෙකකි. වම් පසින් වූ අට්ටාලය මත යටිකුරු කරන ලද ලී ඔරුවකි. කෑම අවසන් කළ අපි මේ ඔරු කඳ මත අසුන්ගෙන, වැව් සිරිය නැරඹීමු. මල් නෙළාගත් ඔරුව මේ වනවිට ගොඩට වුත් තිබිණි. මල් නෙළන්නා කුටිය සහිත තට්ටුව මත වූ කුඩා අසුනෙහි අපට පිටුපා හිඳ සිටියේ, ලී වැටෙහි දෙපසට දෑත් විහිදාගෙනය. දෙවනුව ගිය තැන මසුන් අඩු නිසාදෝ නැවත පැමිණි මසුන් මරන්නෝ, අනෙක් ලී අට්ටාලය අයිති කරගත්හ.

නොයෙක් වල්පල් කියවමින් සිටි අපේ කතාබහ සාමාන්‍යයෙන් සිදුවන පරිදි දේශපාලනයට පිවිසීමට වැඩි වේලාවක් ගත නොවීය. අරූගේ හා මුගේ වැරදිවලින් අනතුරුව අපගේ ඡන්ද ප්‍රතිපත්ති සාකච්ඡා විණි.
"මමනං එකම එක සැරයයි ඡන්දෙ දෙන්ඩ ගියෙ. ඒ .......ට ...... හින්දා."
"මමත් ඒ හින්දා එයාට ඡන්දෙ දුන්නා. ඒත්......."
"බලන්ඩ දැන් ....."
"ඒක තමයි, ඡන්දෙ දෙන්ඩ කෙනෙක් නෑ දැං.."
"මං කරන විදිහට කරාම ඉවරයි." මම මගේ ඡන්ද ප්‍රතිපත්තිය පැහැදිලි කළෙමි. "මංනං ඡන්දෙ දෙන්නෙ ලස්සන අයට."
"ආ, එහෙනං ඔයා ඡන්දෙ දෙයි අහවලාට, නේද?"
අහවලාගේ නම ඇසෙත්ම මල් නෙළන්නා ක්ෂණිකව හැරී අප දෙස බලනු මම දිටිමි. මා අසුන් ගෙන සිටියේ ඔහුගෙන් වඩාත් ඈත කෙළවරෙහිය.
"එයාට ඡන්දෙ දෙනවා තමයි. මිනිහා ලස්සනයිනෙ. ඇයි ඕගොල්ලො ඡන්දෙ දුන්නෙ ගිය සැරේ අහවලීට."
"මං ගිය සැරේ ඡන්දෙ දැම්මෙ නෑ. හැබැයි අපෙ අම්මලනං අර අනික් අහවලීට ඡන්දෙ දුන්නා."
"ඊයා!"
මල් නෙළන්නා නැවත හැරී නොබැලුවද, ඔහු වඩාත් උනන්දුවෙන් අපේ කතාබහට සවන් දෙන බව මට හැඟිණි. අපේ කතාබහ මඳකට ඇණහිටියේ එතැන නවතන ලද රියකින් වරින් වර නලා ශබ්දය නැගෙන්නට වූ හෙයිනි. රියෙහි ආ වැඩිමහලු පුද්ගලයා සිය මල් ඇණවුම භාර ගනිමින් සිටියේය. රිය තුළ සිටි කුඩා දරුවෙක් ඒ අතර සිය නිදහස භුක්ති විඳියි.

බාධාවෙන් අනතුරුව අප ඇදගත් මාතෘකාව අපේ තෙවැනි සගයාට එතරම් හුරු විෂයයක් නොවූයෙන්දෝ, ඔහු මල් නෙළන්නා වෙතට ඇදිණි. ඔහු එසේ ගිය බවක්වත් මා දුටුවේ මඳ වේලාවක් ගතවීය. ඔරු ගමන්වල විස්තර විමසීමට ඔහු යන්නට ඇතැයි මම අනුමාන කළෙමි. මල් නෙළන්නා බොහෝ ලෙන්ගතු  විලසින් ඔහු හා දොඩමළුව සිටියේය. අපිදු, අපේ කතාබහෙහි (එනම් කාටදෝ බැනීමෙහි) ගැඹුරටම බැස්සෙමු.

"ඒ මල්ලි පොළොන්නරුවෙ." අපේ සගයා පසුව අපට විස්තර කළේය. "මේක අහවලාගෙලු; මේගොල්ලන්ට අච්චරක් ගෙවනවලු; මෙතන අරවයි මේවයි තියෙනවලු; ඔරුවෙ යන්ඩ හතරදෙනෙක්ට මෙච්චරක් ගන්නවලු..."

ඔරුවෙහි යාම පිණිස ඒ වේලායෙහි අපට ලොකු උනන්දුවක් නොවීය. සන්ධ්‍යා අඳුර කෙමෙන් පැතිරෙමින් තිබිණි. අහසෙහි වලාකුළු තත්පරයක් පාසා විවිධ පැහැයන්ට හැරෙන අයුරු බැලීම වඩාත් ප්‍රියජනක විය.
"අන්න අර වලාකුළ පූසෙක් වගේ. අර.. බුෂි වල්ගෙ.."
"චික් උගෙ පස්ස ලොකු වැඩි."
"ඌ කුරුමාණම් අල්ලනවා වගේ."
"අර වලාකුළ ඉබ්බෙක් වගේ..."

නැවත ඔරුවෙහි නැගුණු මල් නෙළන්නා දියඹට ඇදුණේ මෙවේලායෙහිය. එනිසා අපේ අවධානය ඔහු කෙරෙහි යොමු විය.
"අච්චරක් හම්බෙනවනම් මාසෙකට හොඳයිනෙ. කරදරේකුත් නෑනෙ."
"සෙනසුරාදට ගොඩක් සෙනගලු. එතකොට අමාරු ඇති."
"ඒ වුණාට ඉතින් අපිට වගේ කාගෙන්වත් බැණුම් අහන්ඩ, උදේ නැගිටින්ඩ එහෙම නෑනෙ. හිතන්ඩ ලොකු දේවල් නෑ; නඩු නෑ; වාර්තා හදන්ඩ නෑ; ඔලුව මහන්සි කරන්ඩ නෑ..."
"ඇඟට මහන්සිය තමා."
"මිනිහා ඉතින් ඕක පුරුදු වෙන්ඩ කරනවා නෙවෙයිනෙ. දැක්කනෙ මෙතනින් ගිය ඉක්මණ."
"අපි එක දවසක් ඕක පදිනවා වගේ නෙවෙයිනෙ, මිනිහට අමාරුවක් නැතුව ඇති හැමදාම කරනකොට."
"ඒත් නෙළුම් කොළ අතරෙ පදිනකොට අමාරුයි. අර බලන්ඩ..."
"නෙළුම් කොළ අතරෙ පදිනකොට පදින්ඩ ඕනෙ විදිහක් තියෙනවා. ඔය කොළේ හැඩෙන් හිතා ගන්ඩ ඕන දණ්ඩ තියෙන අත. එහෙම නැතුව නිකම් එහෙ මෙහෙ කරන්ඩ ගියොත් දඬුවල පැටළෙනවා. එතකොට තමයි අමාරු."

අපි මල් නෙළන්නා දෙස බලා සිටියෙමු. ඔහු නෙළුම් යාය මැදින් වඩාත් සෙමෙන් ඔරුව හැසිරවීය. යා යුතු දිශාවට එක එල්ලේ නොයා, නෙළුම් කොළ ප්‍රවේශමෙන් එහා මෙහා කරමින්, සිය මග පාදා ගත්තේය. ඔහුගේ කෙසඟ සිරුරද, හබලද, ඔරුවද එකම ඒකකයක් බඳුය. නෙළුම් යාය නොතළා, වැවෙහිම කොටසක් බවට පෙරැළී ඔහු යාත්‍රා කරන සැටියෙකි.

ඔහු, ඔහුගේ කලාව නිසියාකාරව දන්නෙකි.

නැවතත් අහසෙහි වර්ණ අතර සිරවුණු අපි, අඳුර බෝවත්ම, එතැනින් නික්ම යාමට මගට පිවිසුණෙමු. මගට බට අප පසුපස නගන හඬක් නිසා, අපි නැවතී හැරී බැලීමු.

මල් නෙළන්නා මේ දැන් නෙළා ගත් නෙළුම් පොහොට්ටු කළඹක් අතැතිව, සිනාසිසී අප වෙත දිව එමින් සිටියේය.
"මල්..."
මම නෙළුම් කළඹ අතට ගත්තෙමි.
"සල්ලි එපා." ඔහු සිනාසෙමින්ම කීය.
"අපි එන්නම් ආයෙ දවසක, ඔරු පදින්ඩත් එක්ක."

 


නෙළුම් පොහොට්ටු.... ඒවා නෙළූ දෑත් අයිති මිනිසා මෙනැයි මට සිතේ. ඒවා පිවිතුරු බව සංකේතවත් කරන සුදු පැහැයෙන් යුතුය. බඳුනෙහි ඇති දිය උරාගෙනදෝ, තවමත් පොහොට්ටු සියල්ල ප්‍රාණවත්ව පවතී. ඇතැම් පොහොට්ටුවක් පිපෙන්නට වෙර දරයි. එහෙත් දියෙහි නිසි පෝෂණයක් නැති හෙයින්, එකදු පොහොට්ටුවක් හෝ මුළුමණින් පිපේදැයි අවිනිශ්චිතය. හෙට හෝ අනිද්දා, නොපිපීම ඒ මල් පරවනු ඇත.