Sunday, September 23, 2012

හොදි

රාත්‍රී මුරය අවසන් වෙනකොට උදේ දහයත් පහු වෙලා. ආපන ශාලාවට ගියෙ උදේට කන්නට හිතාගෙන.

"පාන් කාලකුයි අල හොදියි."

මං හිතන්නෙ කලිනුත් කවුරු හරි ඕකම ඉල්ලල තියෙන්නට ඇති. ඒ හින්දද කොහෙද, අයකැමි තරුණයා ඇහිපිය ගහන්නට කලින් උත්තරේ දුන්නා.

"අල නැහැ. හොදි දෙන්නම්."

"ම්හු. එහෙනම් අල හොදි එපා. පරිප්පු හොදි දෙන්න."

මං හිතන්නෙ ඒකත් පරණ ඉල්ලීමක්.

"පරිප්පු තියනවා, හොදි නැහැ!"

මම කල්පනා කළා. අයකැමි තරුණයට මම කල්පනා කරනකල් ඉන්නට තරම් ඉවසිල්ලක් නැහැ.

"මාළු හොදි දෙන්නම්."

"එපා."

අයකැමි තරුණයා ආපන ශාලාවෙ පාරිභෝගිකයින්ට වැසුණු කොටසට එබුණා. මම හිතන්නෙ කවුරු හරි ඇතුළෙ ඉඳන් සංඥාවක් කළා. දෙන්නත් එක්ක තත්පර දෙකක මොකක්ද ඇසිපිය සාකච්ඡාවක්. තරුණයා මා දිහාවට හැරුණා.

"පරිප්පු හොදි දෙන්නම්!"

"පරිප්පු හොදි තියනවද?"

"හදල දෙන්නම්."

"වෙලා යයිද?"

"නෑ, හදල දෙන්නම්... ගේන්නම්!"

ගේන්නම් කියන්නෙ අපිව එතනින් එළව ගන්නට. මම ගිහින් වාඩි වුණා.
අපේ ආපන ශාලාව අනුරාධපුරේ නැත්නම් පොළොන්නරුවෙ තියෙන බී ශ්‍රේණියේ ආපන ශාලාවක් වගේ. කෑම, පහසුකම්, සේවය සේරම හරි ලාබයි. සමහරවිට බී ශ්‍රේණියේ ආපන ශාලාවකටත් වඩා ලාබයි, මොකද අපි සේවකයින්ට ටිප් දෙන්නෙ නැති හින්දා.

විනාඩියක් යනකොට මගෙ පරිප්පු හොද්ද ආවා.
පරිප්පු කියන්නෙ පරිප්පු ඇට තිබුණා.
සුවඳ, මාළු.

පරිප්පු, හොදි "හදලා"!

මම පාන් කෑල්ලක් පොඟවලා කටට අරන් බැලුවා.
මාළු රසයි.
බනිනවද? මං කල්පනා කළා.
බැනලා වැඩක් නැහැ. මට හිතුණා. මමත් ඔය වැඩේ කොච්චර කරන්නට ඇත්ද?

දවස පුරා වෙහෙසිලා ඉන්නකොට, එහෙමත් නැත්නම් නොයෙක් ප්‍රශ්න එක්ක ගැටෙමින් ඉන්න කාලවලට සමහරවිට මගෙ ළඟ අල හොදි නැහැ. නමුත් එක්කො පවුලෙ අය, නැත්නම් හිතවතුන්, ඒත් නැත්නම් පිටස්තරම අය, මගෙන් අල හොදිම ඉල්ලන වෙලාවල් තියෙනවා.

"අල හොදි නැහැ!" මට එහෙම කියන්නට වෙනවා.

සමහරවිට මොකක්ම හරි හොද්දක් දෙන්නට මම බැඳිලා ඉන්න වෙලාවල් තියෙනවා. එක්කො වගකීම හින්දා. එහෙමත් නැත්නම් වෙනත් බැඳීමක් හින්දා.

"මාළු හොදි ඕනද?" මම එහෙම අහනවා. ඒ මට දිය හැකි දේ.

ඒත් මගෙන් පරිප්පු හොදිම ඉල්ලා හිටිනවානම් මම මොනවා කරන්නද? මාළු හොදි ගන්නට අනික් කෙනා සූදානම් නැහැ. වංචා කරන්නට හිතක් නැති වුණත්, පරිප්පුවලට මාළු හොදි කලවම් කරලා දෙන වෙලාවල් නැත්තෙ නැහැ. පරිප්පුත් යහමින් තියෙනවා. ඒත් පරිප්පු හොදිම නෙවෙයි. කන මිනිහා ඒ මිරිස් සැර පරිප්පු හොදි කියලා හිතාගෙන කනවා වෙන්නටත් පුළුවනි. එහෙම නැත්නම්, ඇත්ත දැනගෙන මට හිතෙන් බනිනවා වෙන්නටත් පුළුවනි.

"මෙන්න මාළු හොදි. කනවනම් කන්න. පරිප්පු හොදි නෑ කියන්නෙ නැති හින්දා!"

මං හිතන්නෙ සමහරවිට මම එහෙම කිව යුතුව ඇති.