Saturday, March 17, 2012

මීනා



පරිසරයේ කාෂ්ඨකබව කෙමෙන් අඩු වී නිල් පැහැය වැඩි වෙයි. අවදියෙන් එදෙස බලා සිටින්නකුගේ නෙත් ඉදිරියේ සිට පසුපසට ඇදීගොස්, නැවත ඉදිරියට පැන අලුත් අරමුණක් අල්ලාගනී. බර කල්පනාවෙක ගිලී සිටින මීනාගේ නෙත් නොසෙල්වේ. මට කාන්සි ගතියක් දැනේ.

"ටිකක් නැවතිලා යනවද?
"ම්?" මීනා හිස හරවා බලයි.
"මහන්සිනම් ටිකක් නැවතිලා යමු." මම නැවතද කියමි.
"මහන්සි නැහැ."
"කම්මැළිද?"
"නැහැ." ඈ නැවතත් අනෙක් පසට හැරෙන්නීය. "මම වීදුරුව පල්ලෙහට දාන්නද?"
"හා හා."

මම දෙපසම වීදුරු පහළ හෙළමි. තුරුලතා පිස එන නැවුම් පවන අපව සිප ගනී. නෙත් අඩවන් කරගන්නා මීනා තමන්ටම මෙන් හෙමින් මුමුණයි.


"සාලියව අල්ලගෙන තිබුණෙ මේ හරියෙදි."

මට අපහසුවක් දැනේ. ඇගේ සිත සැනසීමට යමක් කිව යුතුමුත් සුදුසු පිළිතුරක් සිහියට නොඑයි. මනෝභාවයට උචිත පරිද්දෙන් වාහනයේ වේගය බාල කිරීමට මම තීරණය කරමි.

"පව්." මීනා ශෝකාකූල හඬින් කියන්නේ මා දෙස නොබලාය.
"ඔයා දැනං හිටියද එයා මෙහෙ ඉන්න බව?"

ඇයත් දැන සිටියානම් සාලිය සැඟව සිටි තැන තව බොහෝ දෙනා දැන සිටින්නට ඇති බව සිතමින් මම අසමි.

"ඔව්. අන්තිමට මට කතා කරපු වෙලේ එයා ඇහුවා ගිහින් බාර වෙන්නද කියලා. එහෙම බාර වෙන අයට පොදු සමාවක් දෙනවා කියලා තිබුණා ඒ දවස්වල. මම එපා කිව්වා."


"කියනකොට එහෙම කිව්වත්, බාර වුණා කියලා ආරක්ෂාවක් සහතික කරන්න බෑනෙ." මා කියන්නේ මීනාගේ සිතට සහනයක් වනු පිණිසය. "හැංගිලා ඉන්න අයව රවට්ටලා එළියට ගන්නම එහෙම කියන්නත් ඇති."


"සමාව දෙන්න වැරැද්දක් කරලා නෙවෙයිනෙ. ඇරත් එහෙම කට්ටියක් විතරක් ගිහින් බාර වෙනවා කියන්නෙ තමන්ගෙ අනික් සහෝදරයන්ට විරුද්ධ වෙනවා කියන එක." මීනාගේ හඬ වඩාත් දැඩි ස්වරයක් ගනී. "එහෙම තමන්ගෙ පණ විතරක් බේරගෙන, ඊට පස්සෙ හෘද සාක්ෂියක් ඇති මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන්ද? හැමදාම හිතින් මැරි මැරී උපදියි."

කෙනෙකුට එලෙස ජීවත් විය හැකිදැයි මම කල්පනා කර බලමි. සිත නොයෙක් අතට දිව යයි. ඉවත බලා සිටින මීනා නැවතත් සෙමින් මුමුණයි.
"පව්, මොනවා හිතුණද දන්නෙ නැහැ අන්තිම දවස්වල. කොච්චර දුක් විඳින්න ඇද්ද?"
"හ්ම්." කඩවසම් පෙණුමින් යුත් සාලිය සිය වදකයන් තුළ ඊර්ෂ්‍යාවක් ජනිත කරවීමට ඇති බව සිතමින් මම හූමිටි තබමි.

මග දෙපස නිල්ල තුනී වෙයි. කිලිටි පැහැ ගොඩනැගිලි එකිනෙක මතු වී නගරයකට අප සමීප බැව් හඟවයි. දුහුවිල්ල නැගෙනුයේ අලුතින් ඉදිවන මාවතින් විය යුතුය. අපේ සෙමින් ගමන නුරුස්සන වාහනයක් වියරුවෙන් නළාව හඬවා අපව පසුකොට යන්නේ හුස්ම හිරකරවන ඝන දුම් වළාවක් විදිමිනි.

"වීදුරු වහමු." මීනාම යෝජනා කරයි.

Saturday, March 10, 2012

මාළු

ඒ ත්‍රිකුණාමළය ආසන්නයේ වූ කුඩා වැවකි. වැව් කණ්ඩියේ සිට ඈතට විහිදෙන කුඹුරුවල ලා ගොයම් සෙමින් සැලේ. වැව් තලාව පිස එන සුළඟ සුව දනවයි. ආගන්තුකයින් වූ අපි සෙමෙන් ගමන් කරමින් සිටියෙමු.

අප ඉදිරියට ආ කුඩා කොළු රෑනකි. ඔවුන් අත බිලි පිති කිහිපයක් හා මළුද විය. විමසුම් සහගත බැලුම් දෙපසට හුවමාරු විණි.


ඔවුන් පසු කර ඉදිරියට ඇදෙන අපට තවත් බටු ඇට කොල්ලන් දෙදෙනෙක් හමු විය. ඔවුන් අතද බිලි පිත්තකි.

මද්දහනේ මුළු ගමේම කොල්ලන් මාළු බෑමට යන සෙයකි.

වැව් බැම්ම ඔස්සේ ඇදුණු වැලි පාර, වැවෙන් ඈත්ව ගම දෙසට හැරෙන සන්දියෙහි අපි නැවතුණෙමු. එතැන තරමක තණ බිස්සකි. වැව දෙසට බෑවුම් වෙන පටු අඩි පාරකි. ඒ දිගේ පහළ බසින අප ඉදිරියට ආවේ මේ දැන් අල්ලා ගත් මාළු කිණිත්තක් අතින් ගත් සෙබළුන් දෙදෙනෙකි. ඔවුහු හොර බැල්මක් හෙළා අඩියට දෙකට අප පසුකොට ගියහ.


අඩි පාර කෙළවර වූයේ ගල් තලාවකිනි. එය තරමක ගල් පව්වකින් ආවරණය වෙයි.


අප දිවා ආහාරය ගන්නේ මෙතැනය.


කතාවත් සිනහවත් මැද ආහාරකිස නිම කළ අප තවත් සුළු මොහොතක් එහි රැඳී සිට පාරට පැමිණියෙමු. පාර දිගේ අප දෙසට එනුයේ දෙවනුව අපට හමු වූ ළමයින් දෙදෙනාය. ඔවුන් අත කැඩුණු බිලිපිත්ත වෙයි. එහෙත් අනෙක් මල්ල නැත. අල්ලා ගත් මාළුවෙක්ද පෙනෙන්නට නැත. අතිනත අල්ලාගෙන පිය නගන ඔවුන්ගේ ගමන අප දුටු කල තරමක් බාල විය.






 

"අහන්න දෙයක් නෑ. අර අනික් කොලු රෑන මුන්ට ගහලා, ඇම උදුර ගන්න ඇති." ඉසව්ව පළපුරුදු ඉෂාන් කීය.

"ඔව් ඔව්. ඒක තමයි වෙන්න ඇත්තෙ."


පොඩ්ඩන් දෙදෙනා හොරගල් අහුලමින් අප පසු කර යාමට එති. අපි ශ්‍රී ලාංකීය ක්‍රමයට කතාව ඇරඹුවෙමු.


"පුතාලා මාළු බාන්න ගියාද?"


ඔවුන් බලාපොරොත්තු වූ වින්නැහියම වුණාක් මෙනි. එකට බැඳුණූ දෑත් තවත් දැඩි විණි.


"ඔව්."

"ඉතින් කෝ මාළු?"
"අල්ලන්න බැරි වුණා."

දිගටම පිළිතුරු දෙන්නේ වඩාත් උසැති කොල්ලාය. අනෙකා දෙගිඩියාවෙන් බිම බලාගෙන සිටී.


"අරගොල්ලො ඇම උදුර ගත්තද?"

"ඔව්."
"ඉතින් දැන් මොකද කරන්න යන්නෙ?"
"මුහුදු යනවා."

එය අප බලාපොරොත්තු නොවූ පිළිතුරකි. මුහුදු යන්න? මේ අඩි හතරක් උස නැති බටු ඇට කොල්ලො?

"කොහොමද මුහුදු යන්නෙ?"

"ඔරුවල."
"කලින් ගිහින් තියනවද?"
"ඔව්."
"කාත් එක්කද?"
"ඔරු තියනවා. ඒගොල්ලො එක්ක යනවා."
"ඕගොල්ලන්ව එහෙම එක්ක යනවද ලොකු මිනිස්සු?"
"ඔව්."
"ගෙවල්වලින් දන්නවද?"

එය අමතර පැනයකි. එහෙම ගෙවල්වලින් දැන ගැන්මක් අවශ්‍ය කුමකටද යන වග ඔවුනට නොතේරෙන සෙයකි.


"පුතාගෙ නම මොකක්ද?"

කොල්ලා දෙතුන් පාරක් හිතා උත්තර දුන්නේය: "මගෙ නම රාජ්. මෙයා ඇන්ටන්."

ඇන්ටන් තමන්ට වඩා අඟලක් දෙකක් උස රාජ්ගේ සිරුරට මුවා වීමට වෙර දරයි. රාජ්ද සිටිනුයේ ලොකු හදිසියකිනි. එහෙත් ඒ හදිසිය ඔවුන් විමසුමට ලක් කරන වැඩිහිටියනට නැත. සොල්දාදුවන් වූ අපේ සගයින් දෙදෙනා ඔවුනට හුරු පුරුදු ආකාරයේ සංවෘත ප්‍රශ්න විමසුමකට කොල්ලන්ව ලක් කරති. ඒ ක්‍රමයෙන් තොරතුරු ලබා ගැනීම අපහසුය.


"දෙන්නා යාළුවොද?"

"නෑයො."
එහෙම නෑදෑකමක් මුහුණුවලින් නොපෙනේ.
"මේ පහළ ගමේද?"
"මම මෙහෙ. මෙයා වවුනියාවෙ."
"ඉතින් ගෙදරින් දන්නවද ඔහොම ඕගොල්ලො මුහුදු යන බව?"
"එයා දෙමළද?"

එකවර ප්‍රශ්න දෙකක් යොමු විණි. දෙකම බැරෑරුම්ය. සිවිල් ඇඳුමින් සැරසී සිටියද අපේ සගයින් දෙදෙනාගේ සොල්දාදු පෙණූම සැඟවීම අපහසුය.


"අපි දෙන්නම සිංහල." රාජ් පිළිතුරු අමුණයි.


"ඔහු දෙමළ." අක්කා සෙමින් කියයි. මම මාතෘකාව මාරු කරමි.


"පුතාලා ඉස්කෝලෙ යනවද?"

"ඔව්."
"වයස කීයද ඔයාට?"
"මට දාහතරයි. මෙයාට දහතුනයි."

දාහතරක්? දහතුනක්?

ඔවුන්ගේ පෙණුම අනුව නවයක් දහයක් මිස ඊට වඩා වයස ඇති බවක් කිව නොහැක.

"ආහාර හිඟකම නිසා වැඩීම බාල වෙලා." අක්කා නැවත පැහැදිලි කරයි.

"ඒත් මෙච්චරම?"
"අපේ ගම්වලත් ඔහොමම තමයි. හමුදාවට බැඳෙන්න එනකොට, කොච්චර ඉන්නවද ඔහොම පොඩිවට පෙනෙන කොල්ලො. ඒත් හැඳුනුම්පත් අරන් බැලුවහම වයස හරි."

"ජාතියක් විදිහට අපේ වැඩීම බාල වෙලා." අක්කා අවධාරනයෙන් කියයි. "පරම්පරා ගානක් තිස්සෙ නිසි පෝෂණයක් නැතිකම හින්දා."

"වැඩිය ඕන නෑ, ඔයා දිහාම වුණත් බලන්නකො."
"අනේ පල!"


"ජාතියක් විදිහට අපේ වැඩීම බාල වෙලා." මටද සිතෙයි. අවුරුදු දහතුනේ දාහතරේ පොඩි ළමයින්ට මුහුදු ගොස් පෝෂණය සෙවීමට සිදුව ඇත්තේ එනිසාය.

Wednesday, March 7, 2012

කලු කුමාරයා

පවත්නා තත්වයන් යටතේ, ඉදිරි සැලසුම් සහ නොසැලසුම් අනුව, මේ දිනවල මට බළල් පැටියෙකු නේවාසික කර ගැනීමට නොහැකිය. එහෙත් වරෙක පෝෂියා මාව අයිති කර ගත්තා සේම, අද සවස පටන් කලු කුමාරයා බලහත්කාරයෙන් ජීවිතයට රිංගාගෙන සිටී.

සාමාන්‍යයෙන් ගෙයි ඉදිරිපස පූස් පැටවුන් නොසිටින නිසා කවුරුන් හෝ ගෙනත් දැමූ බළල් පැටවෙකැයි මට සිතුණි. එහෙත් බැරි වෙලාවත් පොදු චින්තනයට පටහැනිව සිතන බළල් අම්මා කෙනෙකුගේ පැටවෙකුදැයි නොදන්නා නිසා ගෙට නොගෙන කිරි පීරිසියක් පමණක් සාදා දුන්නෙමි. මුලදි කෑ ගසමින් කිරි සුවඳ සෙවූ පැටියා, අමාරුවෙන් සොයාගෙන කිරි ටික බී දැම්මේය. අනතුරුව මා බලාපොරොත්තු නොවූ පරිදි මා අසලට අවුත් කකුලෙහි දැවටී පුරු පුරු ගාන්නට විය.


පැටියා සෑහෙන පමණ පැහුණු එකෙකි. ඌ "පූස්" යනු තමන් බව දනී. කකුලෙහි දැවටෙන්නට මෙන්ම උකුළට නගින්නට, එතැනින් කරට නැග ලැග ගන්නට දනී. හය්යෙන් පුරු පුරු ගෑමට දනී. මේ නිසා සමහරවිට අහල පහල ගෙදරක හදන පැටවෙකු විය හැකියයි මට ඊලඟට සිතුණි.

කෝකටත් කියා සැමන් ටිකක් තම්බා බත් අනා දුන් කල්හි පැටවා ඇති වෙන්නට කෑවේය. අනතුරුව සෙල්ලම් කරන්නට පටන් ගත්තේය. මගේ අත හපා, ලෙව කා බැලුවේය. ගෙට අඬ ගැසූමුත් නා නිසා, මමද දොර වසා මගේ වැඩක් බලා ගතිමි. එය  මට පහසුය.

අඳුර බෝ වූ පසු පූස් පැටියාගේ හඬ වරින් වර ඈතින් නැගෙන්නට වූ හෙයින් නැවත එළියට ගොස් විපරම් කළෙමි. ඌ පෙනෙන්නට සිටියේ නැත. කිහිපවරක්ම එළියට ගොස් පූස් පූස් යයි හඬ නැගූ පසු ඈත මල් පාත්තිවල සිට කට්ට කලු ගුලිය මා වෙත දිව ආවේ හඬ නගමිනි. එහෙත් මා අසලට නෑවිත් මග නවතින්නට ඌ තීරණය කළේ අල්ලපු ගෙදර ඉදිරිපිට මිනිහෙක් සිටි නිසා විය යුතුය.

නැවත වරක් බත් අනා දීමට සිතා මා ගෙට ගිය අතරේ, එළියේ ශබ්දයක් ඇසුණි. එළියට එන මට ඇසුණේ අර එළියේ හිටි මිනිහා ගෙතුළ සිටි මිනිසෙකුට "නෑ,නෑ ආයෙත් එහාට එළෙව්වා." කියන හඬයි. සවසත් මෙලෙස පැටියා එළවා දමන්නට ඇති බැව් මට සිතුණි.

මගේ ගෙයි දොරකඩ කාඩ්බෝඩ් පෙට්ටියක්ද, වතුර කෝප්පයක්ද, කෑම පිඟානද තබා තාවකාලික නවාතැනක් සකස් කර දුන් මම ගෙට පැමිණියේ දුරකථන ඇමතුමක් ලද නිසාය. ඒ අතරතුර ත්‍රස්තවාදියා විසින් ගෙදර ආක්‍රමණය කරන්නට යෙදුණි.

ඉතින් දැන් මගේ කකුල මුල හොඳින් ලැග, ලොකු ඇස් ගෙඩි දෙක කරකවමින් මේ හොරා බලා සිටී. මා නැගිට යන වාරයක් පාසා මගේ පසුපසම දිව එයි.

හෙට ගැන සිතන්නට මට ඉඩක් නැත.

Monday, March 5, 2012

සේලයින්

රෝගීන් බලන වෙලාව එනතුරු අපි තුන්දෙනාවත් අල්ලගෙන අප්පච්චි හිටියෙ නොඉවසිල්ලෙන්. අපට කාලය ගෙවා ගන්නට පුංචි චොක්ලට් තුනකුත් අරන් දීලයි තිබුණෙ.

වාට්ටුව මට අලුත් තැනක්. අම්මා හිටියෙ හොඳින් පෙරවලා. ඇයට ඉහළින් සේලයින් බෝතලයක් එල්ලලා. අම්මා නිදි.

මම වටපිට බැලුවා. අම්මා ළඟම ඇඳේ හිටිය රෝගියාටත් සේලයින් එල්ලලා.

අම්මා අවදි වුණා. මම හෙමින් අම්මට කිට්ටු වුණා.
"අම්මා, මේ සේලයින් බෝතලේ ඉවර වුණහම මට අරන් තියා ගන්න හොඳද?"

අම්මා යන්තමින් කෙඳිරි ගාලා හා කිව්වා.

වෙලාව ඉක්මණින් ගත වුණා. අප්පච්චි අපව එක්කරගෙන ගෙදර දිව්වා. කඩියා වගේ එහෙ මෙහෙ පැනලා බත් ඉව්වා; අල හොද්දක් හැදුවා; කරවල හැදුවා. පිඟානකට බෙදාගෙන, ගුලි හද හද අපිට කැව්වා. ඊට පස්සෙ ආයෙමත් අපිව ඇදගෙන ඉස්පිරිතාලෙට දිව්වා.

අපි යනකොටත් අම්මා ඇඳේ. අම්මට ඉහළින් තවත් අලුත් සේලයින් බෝතලයක් එල්ලලා. ළඟ ඇඳේ රෝගියානම් නැගිටලා වාඩි වෙලත් හිටියා. අපේ අම්මා තවම වැතිරිලා. අම්මා ඇස් අරිනකම් බලා ඉඳලා මම කිට්ටු වුණා.
"අම්මා, උදේ සේලයින් බෝතලේ අරන් තියා ගත්තද?"
"නෑ දුව," අම්මා කිව්වා. "මට නින්ද ගිහින් හිටිය වෙලේ ඒක මාරු කරලා තියෙන්නෙ."
"එහෙනම් මේක ගලවනකොට අරන් තියා ගන්න හොඳද?"

ඊලඟට අපි අම්මා බලන්නට යනකොට අම්මට තවත් සේලයින් බෝතලයක් එල්ලලා. මම ආයෙත් අම්මගෙන් සේලයින් බෝතලේ ගැන ඇහුවා. එවර අම්මා අරන් තියා ගත් සේලයින් බෝතලේ ළඟ ඇඳේ රෝගියාව බලන්නට ආ ළමයෙක් ඉල්ලාගෙන.

මම වටපිට බැලුවා. ළඟ ඇඳේ ඒ වෙනකොට රෝගියෙක් නැහැ. සුන්දර තරුණ හෙදියක්  අසලින් ගමන් කළා. ඇගේ පා මේස්වල පුංචි රෝස මල් රඳවා තිබුණා. මම ආසාවෙන් ඒ දිහා බැලුවා. මටත් එහෙම මේස්වල රඳවා ගැනීමට රෝස මල් ඇත්නම් කියා හිතුණා.
"සනීප වෙලා ගිය කෙනෙක්ගෙ ගෙදරින් එයාට රෝස මල් දුන්නා. " මගේ නෙත් යොමු වෙලා තියෙන දිහා දුටුව අම්මා කිව්වා.
"මේ සේලයින් බෝතලේ අරන් තියා ගන්න හොඳද?" මම යන්නට පෙර අම්මාට මතක් කළා.

ඒත් ඉස්පිරිතාලෙන් එනකම්ම අම්මට මා වෙනුවෙන් සේලයින් බෝතලයක් අරන් තියා ගන්නට බැරි වුණා.

දැන් මට සේලයින් බෝතල් ඕනෙ නැහැ, මං හිතන්නෙ.

ඒත්, සැත්කම් සඳහා එන තේරෙන වයසෙ දරුවන්ගෙන් මම සමහරවිට අහනවා, "ඔයාට ගෙදර ගෙනියන්න සේලයින් බෝතලයක් දෙන්නද? සිරින්ජයක් දෙන්නද?"

සමහර දරුවන් ඒවා ආසාවෙන් ගත්තට, තවත් සමහර දරුවන් ඒවට ආස නැහැ. මම පුදුම වෙනවා.
"මේ බලන්න, මේකෙන් මෙහෙම සෙල්ලම් කරන්න පුළුවන්; වතුර විදින්න පුළුවන්." මම වතුර විදලා පෙන්නනවා.
ඒත් ඒ ළමයි ඒවා ඉවතට තල්ලු කරලා අඬනවා.


මම බොහොම කණගාටුවෙන් මේ වටිනා සෙල්ලම් බඩු ඉවත හෙළනවා.