Sunday, May 31, 2015

පොතේ හැටියට...

ඉස්සර මගේ යාළුවන්ගෙ පුරුද්දක් තිබුණා ළමයි හැදීම පිළිබඳව මගෙන් විශේෂඥ උපදෙස් ඉල්ලා සිටින. මේක තරමක විහිළු සහගත තත්වයක් වුණත්, ඒකට හේතු වුණේ මම මනෝවිද්‍යා පාඨමාලා හදාරා තිබීම. ඒ හින්දා, පොතේ හැටියට ළමයින් හැදීම පිළිබඳ උපදෙස් දීමට මට පුළුවන් වුණා.

ඉතින් පොතේ හැටියට ළමයි හැදීමට හැකියාවක් නැත්තෙත් නෑ. මනෝ විද්‍යා පොත්වල තිබුණෙ, නොයෙක් පර්යේෂණ මගින් සාක්ෂාත් කරගත්තු ක්‍රම ගැන. ළමයි හදන්න වගේම, ළමයි කරන සමහර අමුතු වැඩ ගැන අවබෝධ කරගන්නත් මේ සමහර අධ්‍යයනයන් උදව් වුණා.

උදාහරණයක් විදිහට:

මට සුළු පරිමාණයේ ගෘහස්ත පුස්තකාලයක් තියෙනවා. ඕකෙ කොටසක් තියෙන්නෙ අම්මලාගෙ ගෙදර අල්මාරියක.
අක්කගෙ පුංචි දුව ගෙදර ආව දවසට මෙතන තියෙන ළමා කතා පොත් අදිනවා. රාක්ක තිබුණෙ, එයාට පහසුවෙන් පොත් ගැනීමට හැකි සීමාවෙන් එපිට. ඒ හින්දා වරින් වර වැඩිහිටියන්ගෙ කතාබහට බාධා කරමින් "තව පොතක් අරන් දෙන්න; අර හාවගෙ කතාව තියන පොත අරන් දෙන්න; ඒ දුන්නු කතාව නෙවෙයි, අනික් හා රංචුව ගැන තියන කතාව හොයා දෙන්න"යැයි ඉල්ලීම් කළ යුතු වුණා. ආපහු පොත් පිළිවෙලකට අරන් තියන්න හුරුවක් ආවෙත් නෑ. අක්කා යන්න කලින් කඩිමුඩියෙ පොත් ගොඩ එකතු කරලා, රාක්කෙ පොත් උඩින් දාන එක තමා සිද්ධ වුණේ. පුංචි කෙල්ල පොත් කියවීම ගැන සතුටු වුණත්, පොත් අපිළිවෙල වීම ගැන, අරෙහෙම පොත් ගොඩක් කෙළින් අතට තබා ඇති පොත් උඩින් තිබ්බහම ඒ පොත් නාස්ති වීම ගැන, මට පොඩි මෙව්ව එකක් තිබුණා. තරහක්මත් නෙවෙයි. පොත් ගැන දුකක් වගේ පොඩි මෙව්ව එකක්.

ඒ හින්දා ගෙදර ගිය දවසක මම තීරණය කළා ළමා පොත්, වෙනම කුඩා අල්මාරියක අසුරන්නට.
ඒක තට්ටු දෙකක අල්මාරියක්. පහළ රාක්කෙ, බිම ඉඳන් අඟල් හයක් විතර උඩින් තිබුණෙ. අක්කගෙ පුංචි දුවට බොහොම පහසුවෙන් පොත් හොයාගන්නට පුළුවනි. ඒ එක්කම කියෙව්ව පොත් ආපහු තිබ්බ තැනින් අරන් තියන එකත් එයාටම කරන්න පුළුවනි. පොත් කියවන ළමයි ඒ වැඩෙත් කිරීමට ඉගෙනගත යුතුයයි මම කල්පනා කළා.
අල්මාරියෙ එක තට්ටුවක සිංහල කතා පොතුත්, අනික් තට්ටුවෙ ඉංග්‍රීසි කතා පොතුත් ඇසිරුවා. මේ එක් එක් පොත් ගොනුව, රචකයාගෙ රට අනුව වර්ග කරලා, ලාංකික රචකයන්ගෙ පොත් එක තැනක, එංගලන්තෙ පොත් එක තැනක, රුසියානු පොත් එක තැනක, චීන/ ජපන් පොත් එක තැනක, ඉන්දියානු පොත් තව තැනක ආදී වශයෙන් ඇසිරුවා. කතන්දර පොත් නොවන, වෙනත් පොත් එක් මුල්ලක. ඒ එක්කම පොත්වල ප්‍රමාණය අනුව ලොකු පොත් යටින්ද, පොඩි පොත් ඉහළින්ද තියෙන විදිහට ඇසිරුවා.  දැන් ඕනෑම පොතක් බොහොම පහසුවෙන් හොයාගන්නත්, ආයෙම තිබුණු තැනට දාන්නත් පුළුවනි.
ඊට පස්සෙ, බොහෝම සන්තෝසෙන් මං කොළඹ ආවා.

සති දෙකකට පස්සෙ මං ගෙදර ගිය ගමන්, අම්මා ටිකක් හිත කරදරෙන් මගෙ ළඟට ආවා.
"අනේ චූටි දුව, තරහ ගන්න එපා. චූටි හුඟාක් සන්තෝස වුණා එයා කියවන පොත් වෙනම තිබ්බ එක ගැන. එයා ඒ පොත් ටික ආයෙම "පිළිවෙලට" අස් කළා- එයාට තේරෙන පිළිවෙලට!"

මං අල්මාරිය ඇරලා බැලුහම, වනසලා!!
මට ටිකක් තරහ යන්න වගෙත් ආවා.

චූටිගෙ "පිළිවෙල" මට තේරුණෙ ඊට පස්සෙ. ඒ වෙද්දි එයාගෙ වයසෙ හැටියට, එයාට යමක් ගොනු කළ හැක්කෙ, එක් නිර්ණායකයකට අනුව විතරයි. ඒ කියන්නෙ, එක්කො ප්‍රමාණය අනුව; එහෙම නැත්නම් වර්ණය අනුව; එහෙම නැත්නම් හැඩය අනුව; එහෙම නැත්නම් භාෂාව අනුව. නිර්ණායක දෙකකට හෝ වැඩි ගණනකට අනුව ගොනු කිරීමේ හැකියාව එන්නෙ, තව අවුරුද්දක් දෙකක් තුනක් යද්දි.
ඒ හින්දා කෙල්ල, පොත් සේරම එළියට අරන්- චූටම්මා ඉතාම අපිළිවෙලටනෙ පොත් අහුරලා තිබ්බෙ.
ඊට පස්සෙ, සේරම පොත් 'පිළිවෙලට' ප්‍රමාණය අනුව ආපහු අහුරලා!

කෙල්ල කියවන පොත් හින්දා, කෙල්ල කැමති තාලෙකටම පොත් තියාගත්තාවෙ කියලා, මම ඒක එහෙමම තියෙන්න ඇරියා. ඕක මම මගෙ ක්‍රමේට ආයෙ හරි ගස්සන්න ගියානම්, එක්කො ආරාවුලක්; එහෙමත් නැත්නම් කෙල්ල ඒ වයසෙදි ඉගෙනගත යුතු පාඩමක් ඉගෙන නොගෙන යනවා- චූටි, ඒ පුංචි වයසෙදිත්, තමන් ගත් දෙයක් ආපහු තිබ්බ තැනින් තිබ්බ හැටියට තැබිය යුතුයි කියන කාරණාව ප්‍රායෝගිකව ඉටු කළා.
ඕක අදාල කාලෙදි ඉගෙන නොගත් අය නිසා තමයි මට මගෙ පොත්වලින් වැඩි හරිය අහිමි වුණේ!

හුඟ දෙනෙක්ට අදාල කාලෙදි අදාල දේවල් ඉගෙන ගන්න නොලැබෙන්නෙ, වැඩිහිටියන් ඊට ඉඩ නොදෙන නිසා. මොකද, ළමයි වනසගන්න දේවල් අස් කරනවට වඩා, ළමයි හෙමිහෙමින් ඒ දේවල් කරනකං ඉවසීමෙන් බලා ඉන්නවට වඩා, "හා, හා, ඒක මං කරන්නං" කියලා වැඩිහිටියම ඒක කරන එක ගොඩක් පහසුයි. කෙටි කාලීනව ඒක පහසුවක් වුණාට, ළමයගෙ පැත්තෙන්, එයාගෙ වර්ධනයට බාධාවක්.

මට මතකයි, වරක් මගෙ යාළුවෙක් දරුවෙක් හදාගන්න ගත්තා. වයස අවුරුද්දයි මාස දෙකක් විතර වෙනතුරු ළමා නිවාසෙක හැදුණු පුංචි කෙල්ල, එයාගෙ ඉස්සරහින් බත් පිඟානක් තිබ්බහම, ඒක තනියෙන් කෑමට දැනගෙන හිටියා. ඒ පළවෙනි දවසෙ.
ඊට දවස් දෙකකට විතර පස්සෙ මම යද්දි, දරුවව තාත්තා වඩාගෙන. අම්මා කෝප්පෙකට බත් දාගෙන, පුංචි හැන්දකින් කවනවා. කවන ගමන් කියනවා,
"මේ වැඩේ හොඳයි; අහක යන්නෙත් නෑ."
ඇත්ත. ළමයා තනියෙන් කද්දි, වටේම බත් විසුරුවලා.
හැබැයි ළමයා ස්වාධීනයි. ඒ එක්කම, අතේ ඇඟිලි හැසිරවීමට ඇයට හුරුවකුත් ලැබෙනවා. දෙමව්පියො එකතු වෙලා, ආදරේට නැති කරලා දාන්නෙ ඒක.
ඒක ඉතින් 'පොතේ හැටියට' එහෙම කියන්න පහසු වුණාට, කවන්න පුරුදු වුණාට පස්සෙ, යම් යම් හේතු නිසා ඒ විදිහ ලේසි වෙනවා. අස් කරන එකටත් වඩා, කෑමවල මිළ වගෙ දේවල් එක්ක බලද්දි!

ඒත් ළමයින්ගෙ වයසට උචිත පරිදි, ළමයගෙ වැඩ තනියම කරගන්න හුරු කරන්න වගේම, ගෙදර නොයෙකුත් වැඩවලට ළමයින්ව දායක කරගන්නත් ඕනෙ. ඒක ළමයගෙ වර්ධනයට රුකුලක්. චූටි මගෙ පොත් අස් කළා වගෙ වැඩ වෙන්න පුළුවන්, එයාලා හිතන විදිහ වැඩිහිටියන්ට වඩා වෙනස් නිසා. ඉතින් ටිකක් ඉවසීමත් ඕන.

ළඟදි දැක්කා මගෙ යාළුවෙක් වත්පොතේ බෙදාගෙන තිබුණු සටහනක්- මරියා මොන්ටිසෝරි නමින් කෙරෙන පිටුවකින් ගත් මේ සටහනෙහි, එක් එක් වයසෙදි ළමයින්ව දායක කරගත හැක්කෙ කොයි වගෙ වැඩවලටද කියලා සඳහන් වුණා. මේ වගෙ සටහන් බොහොමයක් අන්තර්ජාලයෙන් සොයා ගත හැකියි.

උදාහරණයක් විදිහට:

අවුරුදු  2-3
1. ඇඳ ඇතිරිලි සැකසීමට උපකාරී වීම
2. සෙල්ලම් බඩු එකතු කර, ආපසු තිබුණු තැන්වල තැබීම
3. තමන්ගෙ කිලිටි රෙදි, ඒ සඳහා ඇති බඳුනකට ගෙන ගොස් දැමීම
4. සුරතල් සතුන්ට කෑම/ වතුර දැමීම
5. ඉහිරුණු වතුර, ඉඳුල් ආදිය පිස දැමීම
6. ලේන්සු වැනි රෙදි නැමීම
7. තමන්ගෙ හෝ බාල දරුවෙකුගෙ ඇඳුම් ගෙනැවිත් දීම
8. රාක්කයක පොත් තැබීම

අවුරුදු 4-5
1. මල් පැලවලට වතුර දැමීම
2. මේස, දොරගුළු ආදිය පිස දැමීම
3.තනිවම හැඳගැනීම
4. තනිව ඇඳ අස් කර ගැනීම
5. සේදූ රෙදිවලින් එකිනෙකට ගැලපෙන මේස් තෝරා එක්තැන් කිරීම
6. ආහාර සැකසීමට උදව් වීම

වයස 6-7
1. තනිව දත් මැදීම, හිස පීරා ගැනීම, අඳින ඇඳුම තෝරාගෙන ඇඳගැනීම
2. ගෙතුළ බිම පිරිසිදු කිරීම, අතු ගෑම
3. සේදූ රෙදිපිළි නැවීම
4. තමන්ගෙ රෙදිපිළි අස් කරගැනීම
5. ආහාර සැකසීමට උදව් වීම
6. දුරකථනයට පිළිතුරු දීම

වයස 8-11
1. ඉස්කෝලෙන් දුන් ගෙදර වැඩ සඳහා වගකීම ගැනීම
2. තමන්ගෙ උපකරණ ආදිය පරිස්සම් කරගැනීම ගැන වගකීම දැරීම
3. කාමරය පිරිසිදුව තබා ගැනීම
4. එලාම් ඔර්ලෝසුවක් භාවිතා කර වෙලාවට අවදි වීම
5. පිඟන් කෝප්ප, සාස්පාන් ආදිය සේදීම
6. සරල ආහාර වර්ග තනිවම සැකසීම
7. නානකාමරය පිරිසිදු කිරීම
8. මිදුල අතු ගෑම, බිම වැටී ඇති කොළ ආදිය රේක්කයකින්/ කරුවකින් ඉවත් කිරීම
9. කුණු බක්කි අස් කිරීම



ඒවා කියෙව්වහම තේරෙනවා, අපේ වර්ධනය නතර වුණේ කොයි වයසෙදිද කියලා!


Thursday, May 21, 2015

ප්‍රගීත්

ඉස්සර මම හිතං හිටියෙ සෙබළා කියන්නෙ හමුදාවක ඉන්න ඕනම කෙනෙකුට කියල. ඒ කියන්නෙ රජෙක් වුණත් තමන්ගෙ හමුදාවත් එක්ක එකතු වෙලා හතුරු හමුදා එක්ක කඩු ෆයිට් කරනවනං, එයත් සෙබළෙක් කියලා. හමුදා නිලධාරියා කියන වචනෙ, සෙබළා ගැන ගෞරව සම්ප්‍රයුක්තව සඳහන් කිරීමේදී යොදා ගන්න වචනයක් කියලා හිතුවා. හරියට නිකං හෙදිය කියන එකයි, හෙද නිලධාරිනිය කියන එකයි අතරෙ වෙනස වගෙ. නැත්තං තමුසෙයි තමුන්නාන්සෙයි වගෙ.

එහෙම නෙවෙයි කියන එක තේරුණේ පස්සෙ කාලෙක. ඊට අමතරව සෙබළු ඇතුළෙත් තවත් උස්මිටිකම් තියෙන බව තේරුණේ දවසක් ප්‍රගීත් කිව්ව කතාවක් නිසා.

ප්‍රගීත්.

බොහොම ඉස්සර මේ රටේ යුද්ධයක් තිබුණු කාලෙක, නැගෙනහිර පළාතෙ ගමනක් යාමට ලැබුණා. අප සමග ගමන් කළ හමුදා සොහොයුරන් අතර එක් නිලධාරියෙකුත්, සෙබළුන් කිහිපදෙනෙකුත් හිටියා. ප්‍රගීත් ඉන් එක්කෙනෙක්.
නිලධාරියා බොහොම ප්‍රසන්න නමුත්, අවශ්‍ය විටක අවශ්‍ය ප්‍රමාණයට කතාබහ කරන කෙනෙක්. සෙබළුන් අපට නෑසෙන පරිදි හෙමින් මුණු මුණු ගා එකිනෙකා අතර කතාබහ කළා විනා, ඇහෙන්නට කතා කළේ ගමන් මග ගැන යමක් දැනගන්නට ඕන කළ විට පමණයි.

ඒ සියල්ලන්ටම සරිලන තරම් ප්‍රගීත් කතා කළා!

ඒකට හේතුත් තිබුණා. එකක් ඔහු ඒ පළාතෙම වැසියෙක් වීම. ඒ නිසා, පළාතෙ ගහකොළ ගැන, කුඩා අතු පාරවල් ගැන, පාරවල් වගේ පේන ඒවා ගැන, මිනිසුන් ගැන ඔහුට කියන්නට අනන්තවත් දේ තිබුණා. ඒ හැම දෙයක් එක්කම බැඳුණු එක් කතාවක් හෝ ඔහු සතුව තිබුණා. ඒ වගේම ඔහුට අපූරු මතකයකුත් තිබුණා. නොයෙක් සිද්ධීන් ගැන, දින වකවානු සහිතව, පැහැදිලිව විස්තර කිරීමට ඔහුට හැකියාව තිබුණා. ඊටත් අමතරව, හිතට එන ඕනම දෙයක්, එය කීමෙන් සිදු වෙන පල විපාක නොසළකා කියන/ අසන පුරුද්දකුත් ඔහුට තිබුණා.

ප්‍රගීත්ගෙ කතාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තෙ මගේ ගමන් සගයා. පළාතෙ සිතියමකුත් දිගෑරගෙන, මග දිගට දකින හැම පොඩි පාරක්ම ඒ පැරණි සිතියමේ කොතනට අයත්ද කියලා ඒ දෙන්නා සාකච්ඡා කළා.  (නෑ, ඒ කාලෙ ජීපීඑස්, ස්මාට් ෆෝන්ස් වගෙ දේවල් තිබුණෙ නෑ. අපි දෙන්නටම තිබුණෙ බලං ඉද්දි බැට්‍රි බහින එක ෆෝන් කබලක් විතරයි.) අප ගිය මාර්ගයෙන් වැඩි හරියක් නිශ්චිත පාරක් නොතිබුණු තැන් නිසා, වාහනය ගමන් ගත්තේ ඉතාම රළු විදිහට; ඝෝෂාකාරීව. ඒ නිසා, ඔවුන් දෙදෙනාගෙ සාකච්ඡාවෙ වැඩි කොටසක් මට ඇහුණෙ නැහැ. මම අහගෙන හිටියෙත් නැහැ.

ඔය අතරෙ, අහම්බෙන් එහෙන් මෙහෙන් ඇහුණු විදිහට, ප්‍රගීත් අර සෙබළු අතරෙ යම් ඉහළ තනතුරක් දරන කෙනෙක් බව මට තේරුණා. නිකං පන්ති නායකයෙක් වගෙ. ඒ ඒ අයට අයත් පහසුකම් පිළිබඳ කතාබහක් ඔය අස්සෙ ඇදුණා. එතරම් වෙලා වැඩිය සද්ද නැතුව හිටිය එක් සෙබළෙක් ඔවුන්ගෙ නිවස්නයේ ඇති යම් ගැටළුවක් පැවසුවා. එහෙම ගැටළුවක් ඇති බව, තමන් නොදැන සිටි බව නිලධාරියා පැවසුවා. ප්‍රගීත් ගත් කටටම කිව්වා:
"මම දැනගෙන හිටියෙත් නෑ. සර්ලා, අපේ ප්‍රශ්න ගැන බලන්නෙ නෑ; අපි මේගොල්ලොන්ගෙ ප්‍රශ්න ගැන බලන්නෙත් නෑ. අපි හැමෝම තමතමන්ගෙ පහසුව ගැන විතරයි හිතන්නෙ."

සුළු මොහොතකට හැමෝම නිශ්ශබ්ද වුණා. හරියට හැමෝම තම තමන් අතින් වුණු අඩුපාඩු ගැන මෙනෙහි කරනවා වගෙ. අපි හැම කෙනෙක්ම වගෙ වැඩියෙන්ම දකින්නෙ, තමන්ගෙම පෞද්ගලික ප්‍රශ්න; පොදු ප්‍රශ්න දකිනවා කියලා කියන වෙලාවලදිත්, වැඩියෙන් දකින්නෙ තමතමන්ගෙ තරාතිරමට අයත් ප්‍රශ්න.

වාහනයෙ ඝෝෂාවත් එක්ක මට හැම දෙයක්ම නෑසුණත්, වරින් වර ප්‍රගීත් ඒ වගෙ හිතන්නට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කළා. මගේ ගමන් සගයා සෑහෙන කලක් යනතුරු ඔහු ගැන ඉතා ඉහළින් කතා කරන්නට එය හේතු වෙන්නට ඇති. මට ඇහුණෙ එහෙම ප්‍රකාශ දෙකතුනක් විතරයි. ඒ ප්‍රකාශවල චෝදනා ස්වරූපයක්වත්, අනුකම්පාව යදින ස්වරූපයක්වත්, ආත්මානුකම්පාවක්වත් තිබුණෙ නැහැ. හුදෙක් සත්‍යයක් ප්‍රකාශ කිරීමක් පමණයි.

ඔය වගෙ එක් කාරණාවක් අධ්‍යාපනය ගැන.

'අකුරු කියවීමට, ගණන් සෑදීමටවත් නොදත් සෙබළුත් ඉන්නවාය' යනුවෙන් පරිභවයක් 'ඇහෙන' බව කතාබහට ලක් වුණා.

"එහෙම ඉන්නවා තමයි." ප්‍රගීත් කිව්වා. "අපිට ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. ජීවත් වුණෙත් කැලේ හැංගි හැංගි, කොයි වෙලේ කොටින්ගෙන් මැරුම් කන්න වෙයිද නොදැන. ගුරුවරු ආවෙත් නෑ මේ පළාත්වලට. ඉස්කෝලෙකට හුඟක් දුර යන්නත් ඕන. ඒ නිසා අපිට ඉගෙනගන්න බැරි වුණා. හැබැයි අපිට දැන් උගන්නනවනම්, අපිට ඉගෙන ගන්න පුළුවන්. අපිට උගන්නන එකයි කරන්න ඕන."

ප්‍රගීත්ට පසු කාලෙක හෝ ඉගෙනගන්නට අවස්ථාවක් ලැබෙන්නට ඇතැයි මම හිතනවා. එහෙම ලැබුණානම්, ඔහු මහන්සි නොබලා ඉගෙනගනු ඇති.

ඇත්තටම ප්‍රගීත් මහන්සිය පෙන්වන කෙනෙක් නොවේ. එදා උදෑසන හතරහමාරට පමණ ඇරඹුණු අපේ ගමන, අවසාන වුණේ හොඳටම රෑ වෙලා. සල්ලඩයක හෙළවෙන්නාක් මෙන් කෙරුණු ගමනෙ අවසන් භාගයට එද්දි අපි හොඳටම හෙම්බත් වෙලා. දෙසරයක් උණ ගැනිලා වගේ මුළු ඇඟම රිදෙනවා. මාවිල් ආරු සොරොව්ව බලලා, සිත්තාරු පාළම ඔස්සේ ආපහු එද්දි, පාං කියා ගන්නට බැරිව අපි හිටියෙ. නමුත් ගමන පුරාවටම එක දිගට කතා කළ ප්‍රගීත්, ඒ වෙද්දිත් අපේ වෙහෙස නිවන්නට මෙන්, නොයෙක් දේවල් කතා කළා. ඒ එද්දි ප්‍රගීත් කිව් අවසන් කතාව තමයි කාලෙකට උඩදි සිත්තාරු පාළම නමින් ලිව්වෙ. එහෙම මිය ගිහින් තිබුණෙ ප්‍රගීත්ගෙ මල්ලි.
 

Saturday, April 18, 2015

ඉව

ඒ කාලෙ මම හිටියෙ තට්ටු නිවාසයක, සිව්වැනි මහළෙ. ස්නායු ආබාධයක් නිසාවෙන් හරිහැටි ඇවිදීමට නොහැකි, සුදු පාට, කෙට්ටු බළල් පැටියෙකුත් මට හිටියා.

තට්ටු නිවාසයෙ කුස්සිය පිහිටලා තිබුණෙ, ගොඩ නැගිල්ලෙන් වෙනමම නෙරා ගිය කුඩා හතරැස් කොටසක. ඒ කොටසට ගිය විට එක් පැත්තකින් අල්ලපු නිවාසයේ කුස්සියත්, අනෙක් පැත්තෙන් මගේ නිවාසයේ ඉස්තෝප්පු කොටසත් දැකිය හැකියි. තේ හැදීමට සහ බළල් පැටියාට කෑම සැකසීමට මිස, මේ කුස්සිය එතරම් පාවිච්චි වුණේ නැහැ. විදුලි දඟර ලිපක් හා ගෑස් ලිපක් මා සතුව තිබුණ අතර, එකම ගෑස් සිලින්ඩරය මම අවුරුද්දකට වඩා පාවිච්චි කළා.

එක දවසක් රෑ වැඩ අවසන් කර ගෙදර පැමිණි මම නිදිමතේම කුස්සියට ගියෙ බළල් පැටියට කෑමට යමක් හදා දෙන අරමුණින්. ඒත්...

කුස්සියෙන් මොකක්දෝ සූ හඬක් එනවා!

මම කෝකටත් ඉස්සෙල්ලම කුස්සියෙන් එළියට පැන්නා. ඊට පස්සෙ ඉව කළා: ගෑස් ගඳක් එනවද?
කුස්සියෙ තිබුණු බඩුවලින් එහෙම අනතුරුදායක දේකට තිබුණෙ ගෑස් සිලින්ඩරේ විතරයි. ගෑස් සිලින්ඩරේ මොකක් හරි කාන්දු වීමක් වෙන්නට ඕන. ඇහෙන සද්දෙ, සිහින් සිදුරක් හරහා වාතය ගමන් කරනවිට එන සද්දෙ.

ගෑස් සිලින්ඩරේ ටික ටික කාන්දු වෙනවා! තව ටිකකින් ගේ පුරා ගෑස් පිරෙයි; සමහරවිට ගෑස් සිලින්ඩරය පුපුරයි; එහෙමත් නැත්නම් පොඩි හරි දේකින් ගින්නක් ඇවිලිලා, මුළු ගෙදරම ගිනි ගනී!

මම ප්‍රශ්නෙ විවරණය කරන අතරෙ, බළල් පැටියා කුස්සියට ගිහින් අඬනවා- එයාට බඩගිනියි. මම වැඩට ගිහින් එනතුරු පැය 15-16ක් විතර එයා ඉන්නෙ බඩගින්නෙ. ඒත් පවතින තත්වය යටතෙ, බඩගින්නට වඩා ගින්නෙ තර්ජනය බරපතලයි. මම බළල් පැටියට අඬ ගැහුවා. අඬ ගහගෙන, ගෙයින් එළියට පැන්නා. දොරත් වහලා දැම්මා. කුස්සිය පැත්තෙන් අර කාන්දු සද්දෙ තාමත් එනවා. ඒත් එක්ක, තවත් මොකක්ද ඩිඩිග් ඩිඩිග් සද්දෙකුත් එනවා. ඒකනං ඇහෙන්නෙ මගෙ ඇඟ ඇතුළෙන්ම වගෙ!

මම කල්පනා කළා: ඉස්සර පොඩි කාලෙ සඟරාවකින් කියෙව්ව කතාවක් මට මතක් වුණා. ඒකෙ තිබුණෙ, ගිනිගෙන වැටුණු (හෝ වැටිලා ගිනි ගත්තු) ගුවන් යානාවක හිටිය ගුවන් සේවිකාවක්, ගින්නට බය නොවී, ඇගේ වගකීම වුණු මගීන් ආරක්ෂිතව එළියට එක්කගෙන ගිය විස්තරයක්. අවසානයෙදි, ඇය එළියට ඒමට පෙර ගුවන් යානය පුපුරලා, ඇය මැරෙනවා. ඔය කතාව කියෙව්වයින් පස්සෙ, මමත් සෑහෙන කාලයක් යනකං හිතෙන් ඒ වගෙ ගින්නවල්වලට මැදි වුණු මිනිස්සු බේර ගත්තා. හැබැයි, ඒ හිතළුවල මම මැරුණෙ නෑ; මාත් අන්තිමට බේරුණා.

මෙතන තත්වය ටිකක් වෙනස්. ගිනි ගත්තනං කරන්නට ඕන හරිය මම දන්නවා; ඒත් තාම ගිනි අරගෙන නෑනෙ.

මම කාට හරි කතා කරලා උදව් ඉල්ලිය යුතුද? අවට නිවාසවල අයව මම අඳුනන්නෙ නෑ. ඇඳිනුවත්, ඒ අයට කරන්නට පුළුවන් දෙයක් නෑ. එහෙනම් ගිනි නිවන හමුදාවට කතා කළ යුතුයි.
කෝකටත් කියලා, මම මුළින්ම අපේ මල්ලිට කතා කරන්නට තීරණය කළා. බඩගින්නෙ අඬන බළල් පැටියව එළියෙ රඳවලා, කාමරේට දුවලා ගිහින් දුරකථනය අරගෙන මම ආපහු එළියට ආවා.

"මල්ලි, ගෑස් සිලින්ඩරේ කාන්දු වෙනවා වගෙයි. සූඌඌඌ ගාලා සද්දෙ එනවා දැන් සෑහෙන වෙලාවක්."

සහෝදරයො කියන ජාතිය වාසනාවන්.
"ඔයා එළියට වෙලා ඉන්න. මම දැන්මම එන්නම්." මල්ලි කිව්වා.

මල්ලිත් තව ටිකකින් එන හින්දා හරි, සෑහෙන වෙලාවක් ගිහින් හින්දා හරි, කලින් දවසෙ නිදි මැරුව එකෙන් ආව තෙහෙට්ටුව අමතක වුණු හින්දා හරි, ඔන්න මගෙ හිත ටික ටික පැහැදිලි වෙන්නට පටන් ගත්තා.

මෙච්චර වෙලා සද්දෙ ඇවිල්ලත් තාම ගෑස් ගඳක් නෑ නේද?

මම ගෙට ගියා. ඉව කළා. ම්හු.

ටික ටික කුස්සිය පැත්තට ගියා. ම්හු.

කුස්සියටම ගියා. ම්හු.

සද්දෙට හොඳින් ඇහුම් කන් දුන්නා. සිලින්ඩරේ පැත්තෙ... ම්හු.

සද්දෙ එන්නෙ ජනේලෙ පැත්තෙන් වගෙ.

එහා පැත්තෙ ගෙදර කුස්සියෙන් වගෙ.

මම ඒ පැත්ත බලද්දිම වගෙ තමයි ඒ ගෙදර කවුද ඇවිත් කේතලේ නිව්වෙ.

මම මල්ලිට කතා කරලා කිව්වා, එන්න ඕන නෑ කියල. මේ අල්ලපු ගෙදර මිනිස්සුන්ගෙ කන්වල පිට්ටුද කොහෙද...

Sunday, April 12, 2015

අවුරුදු 2

අවුරුදු වසන්තයේ මගේ පංගුව.


"අද හවස එන්නම්." අක්කා කිව්වා. "නැත්නම් හෙට උදේට."

හවස ආවෙ නෑ. එහෙනම් හෙට උදේට එයි. මං හිතන්නෙ අක්කා කැවිලි හදනවා ඇති. අම්මට කැවිලි හදන්න අමාරු හින්දා අක්කා හදාගෙන එනවා අවුරුද්දට. කැවුම්, කොකිස්, කේක්, කිරි ටොෆි...

කිරි ටොෆි හදනකොට බටර් දාන්න ඉගැන්නුවෙ අක්කා. අක්කට කොහොමත් ඔය උයන පිහන වැඩ, මැහුම් ගෙතුම් වැඩ පුළුවන්. පොඩි කාලෙ, ඉස්කෝලෙ මැහුම්වලට දෙන එක එක ඒවා මහල දුන්නෙ අක්කා. මං කියලා නෙවෙයි. එයා ආසයි මහන්න. දෙකේ තුනේ පංතිවල ඉද්දිම එයාට හොඳට, පිළිවෙලට මහන්න පුළුවන්.

අක්කා දෙකේ ඉද්දි මං එකේ පන්තියෙ. ඒ දවස්වල අම්මා දවල්ට කන්න අපි දෙන්නට රොටී බාගෙ ගානෙ දෙනවා. මං මගෙ රොටී කෑල්ල කාලා, අක්කගෙ පන්තියට ගිහින්, විවේකෙ ඉවර වෙනකං එයා ළඟ ඉඳගෙන ඉන්නවා. අක්කා ඔය ගැන මතක් කළා අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා: "මෙයා ඒ දවස්වල, එයාගෙ රොටී බාගෙ ඉක්මණට කාලා ඇවිත්, මගෙ රොටීකෑල්ලෙනුත් බාගයක් කනවා!"
එහෙම එයාගෙ රොටී කෑල්ලෙන් බාගයක් කාපු බවක් මට මතක නෑ. මං හිතුවෙ අක්කා මට බාගයක් දෙනවා කියලා.
ආදරේට...

ආදරේ බලන්න තිබ්බා හැබැයි එයාගෙ කාමරේට මාවත් දැම්මහම. පොඩි කාලෙ මම නිදා ගත්තෙ අත්තම්මා හිටිය කාමරේ. අක්කට තනියම කාමරයක් හම්බෙලා තිබ්බා. පස්සෙ මාවත් ඒකට දැම්මා. මං හිතන්නෙ අම්මලා අදහස් කරේ කාමරේ අපි දෙන්නගෙම කියලා වෙන්න ඕන. ඒත් අක්කා හිටියෙ නිකං එයාගෙ දේශයට නීතිවිරෝධී සංක්‍රමිකයෙක් ආව ගානට. මගෙත් එක්ක යකා නැග්ග දවසට කියනවා, "ඔයාට අයිති ඇඳ විතරයි; කාමරේ බිමට අඩිය නොතියා කෙළින්ම දොර ගාවට පනින්න." කියලා.
බිම අඩිය ගෑවුණොත් යුද්ධෙ.
පස්සෙ පස්සෙ මමත් නිකං හිටියෙ නෑ; අතට අහු වෙන එකෙන් දමල ගහනව. මං කැහැටු නිසා ඈත ඉඳන් ප්‍රහාර දියත් කරනවා මිස, අතින් පයින් ගහ ගන්න අමාරුයි. එක දවසක් මම ලී කෑල්ලකින්ද කොහෙද දමල ගැහුව පාර, අක්කා මාව රවට්ටන්න බොරුවට සිහිය නැති වුණා වගේ වැටිලා හිටියා. මම කොච්චර බය වුණාද කිව්වොත්, බැරි වෙලාවත් අම්මලා ඒ හරියෙන් ගියොත් නොපෙනෙන්න, දොර රෙද්ද ඇදලා කාමරේ වහලා දැම්මා. පස්සෙ අක්කා පාඩුවෙ නැගිට්ටා.

එදා එහෙම පාඩුවෙ නැගිට්ටට, පස්සෙ දවසක අක්කා මට වරදට දඬුවම් ලබා දුන්නා. ඒක වුණේ මෙහෙම.
ඒ දවස්වල අපි දෙන්නම පිස්සො වගේ පොත් කියවනවා. නිදාගන්න ඇඳට ගියාට පස්සෙ, රෑට රෑ වෙනකල් අපි පොත් කියවනවා. අම්මලගෙනුත් තහංචියක් තිබ්බෙ නෑ. කාමරේ ලයිට් එක දාලා. ජනේලෙ ඇරලා.
නිදියන වෙලාවට ලයිට් එකයි ජනේලෙයි වහන්න ඕන.
මං ප්‍රජාතන්ත්‍රවාදී මනුස්සයා. මං හිතන්නෙ, මං මගෙ ඇඳට කිට්ටුවෙන් තියෙන ජනේලෙ වහනවනං, අක්කා එයාගෙ ඇඳට කිට්ටුවෙන් තියෙන ලයිට් ස්විච් එක නිවන්න ඕන.
අක්කගෙ බුද්ධිය නහරයක් නහරයක් ගානෙ. මං පොත වහලා, ඇඳෙන් බැහැලා ගිහින්, ජනේලෙ වහලා හැරිලා බලනකොට, ඒ වෙනකං පොත බල බල හිටිය අක්කා, ඒක වහලා දාලා, පෙරවගෙන බුදි!
මං අසාධාරනයට විරුද්ධව හඬ නැගුවොත් එයා කියන්නෙ, "මං කලින් නිදියගත්තෙ; ඔයා පහුවෙලා නිදියන හින්දා, ලයිට් එකත් ඔයා ඕෆ් කරන්න ඕන."
ඒ උත්තරේ හරි හම්බෙන්නෙ ඉඳහිට. සාමාන්‍යයෙන් මං කියන ඒවා ඇහෙන්නෙවත් නෑ; එයා "නිදි". මට වැඩිය ප්‍රශ්න කරන්නත් බෑ. රෑ ඇහැරගෙන පොත් කියවනවට විරුද්ධ නැති වුණාට, රෑට බෙරිහන් දෙනවට අම්මලා තදින් විරුද්ධයි.

එක දවසක් මට කොච්චර යකා වැහුණද කිව්වොත්, මං අසාධාරනයට එරෙහිව නැගී සිටියා- අක්කගෙ ඇඳට; නැගලා, අක්කව පාගගෙන ගිහිල්ලා බිමට පැනලා ගිහින් ලයිට් එක නිව්වා.

අක්කා නේද? බෙරිහන් දිදී අඬන්න පටන් ගත්තා.

එතනින් එහාට මගේ තත්වය හුඟක් ශෝචනීයයි.

ඒත් හැමදාම එහෙම ශෝචනීය නෑ. සමහර දවස්වලට අක්කයි මමයි රෑ වෙනකං කුටු කුටු ගගා කතා කර කර ඉන්නවා. කතාව කුටු කුටු වුණාට, හිනාව කිසි කිසි. අම්මලා කාමරේ ඉඳන් බනිනවා. අක්කා කියනවා, ලයිට් ඕෆ් කරාට පස්සෙ, එයා සුරංගනාවියක් වෙනවලු; ඊට පස්සෙ එයා සුරංගනා සමාජෙට යනවලු; ඊට පස්සෙ එහෙ විස්තර වර්ණනා.
මං ඊට දෙවෙනි වෙයිද? මං කියනවා, මමත් සුරංගනාවියක් වෙලා, සුරංගනා සමාජෙට යනවා. හැමදාම. ඇත්තද ඈ?
අක්කට ඕක හරියටම හගිස්සවන්න ඕන නිසා, අක්කට සුරංගනා සමාජෙදි හම්බෙන අයව, මටත් හම්බෙන බව කියනවා. මං බොරු කියන බවට පොඩි හරි සැකයක් ඇති නොවෙන්න, සුරංගනා ලෝකෙදි සිද්ද වෙන ජාති රස කර කර කියනවා.
වෙලාවකට අක්කට මගෙ කියවිල්ල ඇති වෙලා කියනවා, "හා, හා. ගුඩ් නයිට්!"
මං උත්තර දෙනවා, "මුවා, මුවා, ගුඩ් නයිට්."
ඒ දවස්වල අපි ගුඩ් නයිට් කියන්නෙ "දැන් ඇති, නිදියමු" කියන්න.

දැන් ඇති. මම නිදියන්න ඕන. අක්කා හෙට කැවිලි හදාගෙන එයි.