Saturday, June 29, 2013

වර්ගය: අත් හළ

මාස දෙකක්වත් නැති දරුවෙක් අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කරලා. ඇඳ ළඟ තියෙන රෝග නිශ්චයපත්, ඇඳ ඉහපත්, සායන පොත් වගේ සාමාන්‍ය දේවල් අතරෙ නුහුරු ලිපිගොනුවක්. ඒ, දරුවා ඉන්න ළමා නිවාසයෙ ලිපිගොනුව. දරුවගෙ නම, උපන්දිනය, මවගෙ නම වගෙ විස්තරවලට පසුව, අමුතු සඳහනක්.

වර්ගය : අත් හළ

"බල්ලෙක්, බළලෙක් වගේ අත් ඇරලා දාලා" කියල කතාවට කියන්නෙ, බල්ලන්, බළලුන් අතහැර දැමීම, මේ රටේ බොහොම සරල ක්‍රියාවලියක් හින්දා වෙන්නට ඕන. ගෙවල් අතහැර යන, රට අත හැර යන බොහොම දෙනා, තමන්ගෙ සුරතල් සතුනුත් එහෙමම අත හැර දාලා යනවා. ගෙදර ඉන්න සතාට පැටවුන් ලැබුණහම, යන්තම් ඇස් ඇරිය ගමන්, කොහෙට හරි ගිහින් අත හැර දානවා.
ඉතින් ඒ වගේ ළමයිනුත්.

අවුරුදු ගානකට ඉස්සර, අපි ඉගෙන ගන්න කාලෙදි, මේ වගේ ළමා නිවාසයක දරුවෙක් රෝහලේ අතරමං වෙලා හිටියා. අවුරුදු 4-5ක පමණ වයසෙ හිටිය ඒ දරුවා, යම් උත්පත්ති රෝගයක් හින්දා රෝහලට ඇතුළත් කර තිබුණෙ. සුවය ලැබූ පසු, ළමා නිවාසයෙන් ආපහු ගෙන යාමට අකමැති වුණු බව තමයි කට්ටිය කිව්වෙ. ගෙන යාමට අකමැති වෙන්නේ මොකද?
රෝහල් කොරිඩෝර දිගේ දුව පැන ඇවිදින මේ දරුවව, රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයෙ පිරිමින් අවුස්සනවා. එතකොට දරුවා, අමු තිත්ත කුණුහරපයෙන් බැන වදිනවා. දරුවාගේ පියාගෙ, නැත්නම් සීයාගෙ වයසෙ විතර ඉන්නා අර පිරිමින් මහ හඬින් හිනා වෙනවා. කාන්තාවක් එහෙම අහළ පහළින් යනවනම්, මේ ඇවිස්සිලි වැඩි වෙනවා.

සමහරවිට රෝහලට ඇතුළත් වනවිට ඒ දරුවටත් "වර්ගය : අත් හළ" යනුවෙන් සඳහන් ලිපිගොනුවක් තිබෙන්නට ඇති. ඊට පසුව, ඒ ලිපි ගොනුවෙනුත් දරුවව අත් හැරෙන්නට ඇති.

ඉස්කෝලෙ යන කාලෙදි, දෙමවුපියො, ගුරුවරුන්, මුරණ්ඩු ළමයින්ව සහ කම්මැළි ළමයින්ව "හදන්නට" මහන්සි වෙනවා. බැනලා, දඬුවම් කරලා, දෙමවුපියන්ව පාසලට ගෙන්නලා, ආදරයෙන් කියලා...
සමහර ළමයින්ව හදන්නට බැහැ. ඔවුන්ට තියෙන ගැටළුවලට විසඳුම්, දෙමවුපියන්ට හෝ ගුරුවරුන්ට පහසුවෙන් පෙනෙන මායිමේ නැහැ.
ඉතින් එහෙම ළමයින්ව, ඉස්කෝලෙ යන කාලයෙදිම අතහැර දානවා.
නොයෙකුත් වර්ධන දුර්වලතාවලින් පෙළෙන ළමයින්ටත්, හුඟක් විට එහෙමයි. ඔවුන්ව උස්සගෙන පාසලට ගෙනියලා, ඔවුන්ට නොතේරෙන පාඩම් අහගෙන ඉන්නට සලස්වලා, 'සාමාන්‍ය'යයි සම්මත ළමයින්ගෙ අඩම්තේට්ටම්, උසුළු විසුළුවලට ලක් වීමට සලසනවට වඩා, ගෙදර තබා ගැනීම පහසුයි.

තවත් සමහර ළමයින් ඉගෙනීමෙ වැඩවලට බොහොම දක්ෂයි. නමුත් නොයෙකුත් මානසික සංකූලතාවලින් පෙළෙන අය. එහෙම ළමයින්ගෙන් ඇතැමෙක් සරසවියෙදි, අනෙක් ළමයින්වත් පෙළමින්, සරසවියටම අනන්‍ය "සාමාන්‍ය" තත්වයක් නිර්මාණය කරනවා.
තවත් පිරිසක්, එක්කො පළවෙනි වසරෙදි, නැත්නම් දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි හෝ පස්වෙනි වසරවලදි අත හැරෙනවා. මුලදි, මේ අයව ඇදගෙන යාමට ඔවුන්ගෙ මිතුරුමිතුරියන් උත්සාහ කළත්, එක් තැනකදි, ඔවුන් පරාජය වෙනවා.
එහෙම ළමයින් කොතරම් ඉන්නවද?

සනත්.

"අඳුනගන්න, මේ සනත්."
"සනත්? ඔයත් සනත්නෙ?"
සනත්ලා හිනා වුණා. "ඔව්, අපි දෙන්නම සනත්!"
සනත්ලා දෙන්නම අහිංසක පාටයි. ආගමදහමට ලැදියි. දෙන්නම භාවනාව පුහුණු වුණා. දෙන්නම මූලික උපාධිය අවසන් කර, පශ්චාත් උපාධියට සූදානම් වුණා.
අලුත් සනත් ටිකක් කුලෑටියි. නමුත් බොහොම ඉක්මණින් මගෙත් එක්ක සුහද වුණා.
පරණ සනත් පසුව මට හෙමින් කිව්වා, "මෙයා තමයි, අර මං කිව්ව යාළුවා."
අලුත් සනත්, බරපතල මානසික රෝගයකින් පෙළෙන කෙනෙක්. ගෙදර අයටත් ඒ හැටි වගකීමක් නැහැ. බෙහෙත් ටික වෙලාවට දෙන්නටවත්, ඔවුන් උනන්දු නැහැ. සමහරවිට, බෙහෙත් ගත යුතු මානසික රෝගියෙක් ගෙදර සිටීම, තමන්ට අවමානයක් කියලා හිතනවද දන්නෙ නැහැ. කලණ මිතුරෙක් වූ පරණ සනත්, "විටමින් වර්ගයක්" කියලා රවටලා තමයි, හැමදාම බෙහෙත් පොවන්නෙ. ටිකක් සනීපෙන් ඉන්න කාලවලට, අලුත් සනත් පන්සලට සමීප වෙනවා; ඉගෙනගන්නවා. ඒත් පරණ සනත්ට තමන්ගෙ වෙනත් කටයුතු අතරෙ, අලුත් සනත්ව බලා ගැනීම අපහසුයි. එහෙම කාලවලට ඔහු නැවතත් අසනීප වෙනවා; කාවවත් විශ්වාස නැතුව යනවා; නපුරු වෙනවා. එතකොට ගෙදර උදවිය, පොලිසියට කියලා, අලුත් සනත්ව රෝහලට ගෙනියනවා.
මා දැන සිටි කාලයෙදි, කීපවරක්ම ඔය වටය කැරකුණා.

දවසක් පරණ සනත් මට කතා කළා.
"වැඩක් නැහැ.
සනත්ට හොඳට සනීප වෙලා හිටියෙ. එයාගෙ බාප්පා කෙනෙක් මහණ වෙලා ඉන්නවනෙ, වනගත ආරණ්‍යයක. සනත් එයා ළඟ හිටියෙ. භාවනා කටයුතු කරගෙන.
ගෙදර මිනිස්සු හිතුවෙ, සනීපෙන් ඉන්න එකේ, එහෙම පන්සලකට ගිහින් ඉන්න එක අපරාධයක් කියලා. ඒ මිනිස්සු ගිහින්, මෙයාගෙ කාමයන් ඇවිස්සුවා; ව්‍යාපාරයක් කරගෙන, සල්ලි හම්බ කරගෙන, කසාදයක් බැඳගෙන ඉන්න පුළුවන්නෙ කියලා හැගිස්සුවා.
මම ගිහින් ගෙදර අයට කතා කළා. සරලව, වගකීම් අඩුවෙන් ඉන්නකොට, සනත් හොඳින් ඉන්න බව පැහැදිලි කළා. ඒ මිනිස්සු මං කියන එක පිළිගත්තෙ නෑ විතරක් නෙවෙයි, මට විරුද්ධව සනත්ට ගතු කිව්වා.
සනත් ගෙදර ඇවිත් ව්‍යාපාරයක් පටන් ගත්තත්, ඉක්මණින්ම බංකොලොත් වෙලා. අසනීපෙත් ආයෙ මතු වෙලා. දැන් මාස ගානක් ඉස්පිරිතාලෙ. මේ පාරනම් සනීප වෙන පාටක් නැහැ. ගෙදරිනුත් දැන් යන්නෙ නැහැ. මටත් මීට වඩා දෙයක් කරන්න බැහැ."

සනත්, සනත්ව අතෑරලා.

සනත්, සමහරවිට, මුළු ජීවිත කාලයම රෝහලේ ඉඳියි. තවත් සමහර අයට එහෙමවත් නැහැ. ප්‍රකාශ්ට වගේ.

තරුණ වයසෙදිම මතට ඇබ්බැහි වුණු ප්‍රකාශ්ව, ආයෙත් හරි පාරට ගන්නට දෙමව්පියනුත්, සහෝදරයිනුත් බොහොම මහන්සි වුණා. ඒත් ඉර දිහාවට සූරියකාන්ත මල හැරෙනවා වගේ, ප්‍රකාශ් හැරෙන්නෙම මතට.
සහෝදරයා නේද කියලා මව්පියන්ගෙ ඇවෑමෙනුත් ඔහුව බලා කියා ගත්තා ගිය අවුරුද්ද වෙනතුරුත්. ඒත්, ප්‍රකාශ් දිගින් දිගටම තමන්ගෙ සහෝදරයින්ගෙනුත් හොරකම් කරමින්, මත් කුඩු සඳහා වියදම් කරන්නට වුණු නිසා, දැන් ඔහුව ගෙදරට භාර ගන්නෙ නැහැ.
ගෙදර මිනිස්සුන්ට එයින් පහසුවක් ඇතැයි මම හිතන්නෙ නැහැ. හොරකම් නැවතෙන්නට ඇති. නමුත් දවස් කීපයක්වත්, ප්‍රකාශ් ගේ දොරකඩට ඇවිත් කතා කරන්නට ඇති. පවුලෙ අයට, තමන්ගෙ සහෝදරයා කතා කරන හඬ අසමින්, ගෙතුළට වෙලා නිශ්ශබ්දව හිඳින්නට සිදු වෙන්නට ඇති.

දැන් මැදි වයස ඉක්මවූ ප්‍රකාශ්, ගෙයක් දොරක් නැති, පවුලක් නැති, රැකියාවක් නැති, ඒ දේවල් කවදා හෝ ලැබේයයි විශ්වාසයක්වත් නැති අනාථයෙක්.
අත් හළ කෙනෙක්.

මහමග එවැනි අය අපි නිතර දකිනවා. සිහි විකල් වුණු අය, අඩුම ගානෙ සිඟමන් යැදීමටවත් මහන්සි නොවී, කිලිටි රෙදි වැරහැලි හැඳගෙන, ඔහේ පාර අයිනෙ ලැග සිටින්නන්; හිස හැරුණු අතේ අයාලේ යන්නන්.

තිදරු මවක් වන මගේ හොඳම යෙහෙළිය, මෙහෙම මනුස්සයෙක් දැකලා, දවසක් කිව්වා...

"එහෙම අය දකිනකොට, මට හැම වෙලේම කල්පනා වෙනවා...
ඒ අයටත් අම්මා කෙනෙක් ඉන්න ඇති. අම්මා ඒ අයව වඩාගෙන, තුරුල් කරගෙන ඉන්න ඇති. ඉඹින්න ඇති. උපන්දිනයක් දවසට මතක් කරලා, මොනවා හරි විශේෂයක් කරන්න ඇති.
මේ අයට ඒ දේවල් මතක් වෙන්නෙ නැද්ද?

මතක් වෙනවා ඇති."




Friday, June 21, 2013

රක්ෂණේ

රංගියි සුරංගයි සේවය කරන්නෙ එකම තැන. සාමාන්‍ය ශ්‍රී ලාංකික පවුලක් වගේ ගන්න පුළුවන් හැම තැනකින්ම ණය අරගෙන, ගෙයක් දොරක්, ඉඩමක් කඩමක්, වාහනයක් කරත්තයක්... ඔය ආදී වශයෙන්. ගත්තු ණය ගෙවන්ඩත් එපෑ. ඒ හින්දා දිවා රාත්‍රී සේවය. ආණ්ඩුවෙ රාජකාරියෙන් පස්සෙ පෞද්ගලිකව.
අනාගතය ගැන හිතන රංගි, සුරංගගෙ නමට රක්ෂණයක් අරගෙන, තමන්ම ඒකෙ වාරික ගෙවනවා. නැතුව, සුරංග ඒක කරනකං බලං හිටියොත් දවසක අනාථ වෙන්නෙ තමන් නිසා. රක්ෂණ නියෝජිතයා තමන්ව රැවටීමකට ලක් කරලද කියලා රංගිට සාධාරන සැකයක් ඇති වෙන්නෙ ඔය අතරෙ. ඉතින් සේවා ස්ථානයෙ විවේක වෙලාවෙ, රක්ෂණ නියෝජිතයව ගෙන්නලා, රංගි ප්‍රශ්න කරනවා. කලින් දවසෙ අමතර රාත්‍රී මුරයක් කළ සුරංග, ලැබුණු විවේකයෙදි, මේසෙ උඩ ඔළුව ගහගෙන නිදි.

"මොකද්ද අනේ ඕගොල්ලො රක්ෂණේ ඇඟේ ගහනකං කියන විදිහ නෙවෙයිනෙ ආපහු ගන්න ගිහාම." රංගි, රක්ෂණ නියෝජිත ලාල්ට කෙළින්ම අභියෝග කරනවා.

"ඇයි දැං මොකක්ද ප්‍රශ්නෙ? ඔයා තවම වන්දි ගන්න ගියෙ නෑනෙ?"

"වන්දි ගැනිල්ල තමයි ප්‍රශ්නෙ. දැන් මම දැම්ම එක මොකක්ද, ජීවිත රක්ෂණයක් නේද?"

"ඔව්. ඔයා දැම්ම එක කියන්නෙ, සුරංගගෙ නමට තියන එක." ලාල් පැහැදිලිව වචනයෙන් වචනය ප්‍රකාශ කරන්නෙ, ආයෙ පස්සෙ වැරද්දක් නොකියන්නට වගේ.

"ඉතින් එතකොට, මෙයා," රංගි, නිදාගෙන ඉන්න සුරංගව පෙන්නනවා. "මෙයා මැරුණහම, මට වන්දිය කීයක් හම්බෙනවද?"

"ඒක තීරණය වෙන්නෙ මොකක් හින්දද මැරෙන්නෙ කියන එක මත." ලාල් කියනවා.

"අන්න ඒක තමා ප්‍රශ්නෙ!" මාතෘකාව රංගිට ඕන ඉසව්වට ඇවිත්. "මට මුළින් රක්ෂණ ඔප්පුව ගන්නකොට කිව්ව වන්දිය හම්බෙන්නෙ, මොකක් හින්දා මැරුණහමද?"

"අසාමාන්‍ය මරණයක්නම්."

"ඔන්න ඔතන තමා ප්‍රශ්නෙ. මොනවද ඔයගොල්ලො කියන ඔය අසාමාන්‍ය මරණ?"

"ඒ කියන්නෙ හදිසි අනතුරක් එහෙම වෙලා..."

"එතකොට ලෙඩ වෙලා මැරුණොත්?"

"ඒක සාමාන්‍ය මරණයක්!"

"ඒක කොහොමද සාමාන්‍ය මරණයක් වෙන්නෙ?"

"ඒක ඉතින් එහෙම තමා!" ලාලුත් අරින්නෙ නැහැ.

"දැන් එතකොට මට කියන්නකො." රංගි හරියටම පැහැදිලි කර ගන්නවා, "මෙයා," (සුරංගව පෙන්වමින්), "මෙයා වාහනේ හැප්පිලා මැරෙනවා. එතකොට මට කීයක් හම්බෙනවද?"

"මෙච්චරයි." ලාල් ලොකු ගානක් කියනවා.

"මෙයා, " (නැවතත් සුරංගව පෙන්වමින්), "හෘදයාබාධයක් හැදිලා මැරෙනවා. එතකොට මට කීයක් හම්බෙනවද?"

"අච්චරයි. ඒක සාමාන්‍ය මරණයක්නෙ." ලාල් සැහැල්ලුවෙන් අඩු ගානක් කියනවා.

"ඒක කොහොමද සාමාන්‍ය මරණයක් වෙන්නෙ? ඇයි අනේ, වාහනේනං පරිස්සමට ගිහෑකි. ලෙඩවලින්නෙ බේරෙන්න අමාරු. දැන් තරුණ වයසෙ අයට කොච්චර පිළිකා හැදෙනවද? හෘදයාබාධ හැදෙනවද? ඉතින් ඒවා කොහොමද සාමාන්‍ය මරණ වෙන්නෙ?"

"ඒ ඉතින් ඕගොල්ලොන්ගෙ අර්ථ දැක්වීම. මේ අපේ අර්ථ දැක්වීම." ලාල්ට ගානක්වත් නෑ.

"එහෙනං ඉතින් වෙන කරන්න දෙයක් නෑ." රංගි තනියම කල්පනා කර කර කියවනවා. "මෙයාට හෘදයාබාධයක් එහෙම හැදුණොත්, පඩිපෙළක් ළඟට ගෙනිහින් පහළට තල්ලු කරන්න තමා තියෙන්නෙ!"

"අන්න එහෙම කරානං හරි." ලාලුත් සම්පූර්ණ සහයෝගය දෙනවා අදහසට. "එතකොට අර අසාමාන්‍ය මරණ ගොඩට අහු වෙන්නෙ.."


මේසෙට ඔලුව ගහගෙන හිටියට, සුරංග නිදිම නැහැ. ටිකක් ඔලුව උස්සලා, හිනා වෙනවා. ලාල් ඒ හිනාවට බය වෙලා පාදයක් පසුපසට ගෙන ප්‍රවේශමෙන් මුහුණ දුන්නට, රංගිටනම් ගානක් නැහැ.

"කොහොමත් එහෙම කළහම මට දෙපැත්තකින් වාසියි." රංගි හිනා වෙවී කියනවා. "රක්ෂණ වන්දියත් හම්බෙනවා; දැන් වාරික ගෙවන්නෙත් මමමනෙ, මෙයාගෙ නමට රක්ෂණේ තිබුණට; ඒකත් ඉතුරුයි!"

"අපි තව රක්ෂණයක් දාමු." ලාල් යාප්පුවෙන් රංගිට කියනවා. "ඔයාගෙ නමට."

"නෑ, නෑ, ඕන නෑ." රංගි විරුද්ධයි.

"නෑ දැන් ඔය දාලා තියන එක බොහොම ප්‍රාථමික රක්ෂණයක්නෙ. වෙන වර්ග තියනවා, හදිසියෙ මැරුණොත් එහෙම, එයා අරන් තියන ණය, රක්ෂණ සමාගමෙන් ගෙවනවා..."

ඉතින් රංගි ආයෙම රක්ෂණ නියෝජිතයට අහු වෙනවා. සුරංග ඔලුව ගහගෙන නිදියනවා.


හවස් වෙලා. ආයෙම පොඩි විවේකයක්.
සුරංග ඔලුව මේසෙ ගහගෙන නිදි. රංගි අත ඔලුවෙ ගහගෙන බර කල්පනාවක.

"මොකද රංගි?" සෞ‍ම්‍යා අහනවා.

"නෑ අනේ, මං මේ කල්පනා කරන්නෙ, මගෙ මල් පැල වලට මුකුන්ද කෘමි සත්තු වගයක් බෝ වෙලා. කොළ සේරම කනවා. දුකේ බෑ..."

"අපෝ, ඕකද? මං හිතුවෙ වැඩකාර නෝනා ගෙදර ගිහින් වගෙ බරපතල ප්‍රශ්නයක් කියලා."

"වැඩකාර නෝනනං එහෙම ලේසියෙන් යන්නෙ නෑ අනේ, මං එයාලට වඳින ගාතාව දන්නවනෙ. මට මේ මල් පැල ටික බේරගන්න විදිහක් නැතුව."

"ඕවට ගහන්න බෙහෙත් තියනවා නේද? අර ජයසුන්දර දන්නවා."

"ඒක තමා ප්‍රශ්නෙ. මම බෙහෙත් වගයක් අරගෙනත් ගියා. අපි දෙන්නා ගෙදර ඉන්නෙ ඉරිදට විතරයිනෙ අනේ. එදාට තමා බෙහෙත් ගහන්න හිටියෙ."

"ඇයි, දැන් එදාට වෙන වැඩක් වැටිලද?"

"නෑ අප්පා, මේ පෝය වැටිලනෙ ගානට ඉරිදටම. ඉතින් මේ බෙහෙත් ගහන්න විදිහක් නැතුව ඉන්නෙ. ඊලඟ ඉරිදා වෙනකං පැළ ටික තියෙන එකක් නෑ."

"අය්යො, ඕකත් මහ දෙයක්ද? ඔයා ඔන්නොහෙ පෝය වෙන දවසකට ගන්න. ඉරිදට පැළවලට බෙහෙත් ගහල දාන්න." සෞම්‍යා විශේෂඥ උපදෙස් දෙනවා.

"එහෙම පුළුවන්ද?"

"මොකද බැරුව? සිල් ටික ගන්නව සෙනසුරාදට. බෙහෙත් ටික ගහනව ඉරිදට. කොහොමත් වැඩ හින්දා ඔලුව උස්සන්ඩ බැරුව ඉද්දි සිල් රකින්ඩත් ලේසිනෙ."


මෙච්චර වෙලා ඔලුව ගහගෙන හිටිය සුරංග ඔන්න අවදි වෙලා.
"ඒක ලේසි වෙන්නෙ නෑ. මෙයාලගෙ අම්මා කීයටවත් පෝය කල් දාන්න දෙන්නෙ නෑ. ඔයා කියන්නෙ, හැමදාම භාවනා කරනවා!"

"අනේ යන්න අනේ." රංගිට හිත අමාරු වෙලා. "ඔය කිව්වට බෑනත් අපෙ අම්මටමයි හරි යන්නෙ. අර ගිය සතියෙ කරගෙන ආව වැඩේ මතකනෙ?"

"මොකක්ද අනේ?" සෞම්‍යා අහනවා.

"සුරංග ඉතින් ඕන කෙනෙක් කියන දේකට ඔලුව වනන හින්දා, මම වැඩිය මෙයාව පාරට යවන්නෙ නෑ. ගිය සතියෙ දවසක මෙයාව යවන්න වුණා හන්දියෙ කඩේට. හන්දිය කිව්වට මහ දුරකුත් නෙවෙයි.."

"මහ දුරක් නොවෙන්නෙ මොකද? කිලෝ මීටර් බාගයක් විතර යන්න ඕන, වංගු වංගු පාරක, පාළු ඉඩමක් එහෙමත් පහු කරගෙන. මෙයා ඔය කෑ ගැහුවට, ඔය පාළු ඉඩම ළඟින් යන්න බයයි." සුරංග විත්තිකරු විදිහට සාක්කි දෙනවා.

"හරි ඉතින් ඉන්නකො කියන්න." රංගි නැවතත් පැමිණිල්ල ඉදිරිපත් කරනවා. "ඔය පාළු ඉඩම ළඟින් යන්න, ඕන කෙනෙක් බයයි. මං විතරක් නෙවෙයි. ගෙවල් ළඟ සමිතියෙන්, ඔය ඉඩමෙ මුල්ලෙ බුදු පිළිමයක් හදන්න ලෑස්ති කරලා."

"පාළු කපන්නද?"

"පාළු කපන්න හරි, බය නැති කරන්න හරි..." රංගි කතාව කියාගෙන යන්න හදන්නෙ. ඒත් සුරංග මැදින් පනිනවා.
"ආය අමුතුවෙන් බුදු පිළිමයක් නොතිබ්බට, ඒ පැත්තෙ ගෑණු ඔතනින් යන්නෙ ඉතිපිසෝ කිය කිය තමයි."

"ඉතිපිසෝ කිය කිය තමා මම හිටියෙ, මෙයා ගියාට පස්සෙ." රංගි නැවතත් කතාව හරි පාරට ගේනවා. "මොකද, ඔය බුදු පිළිම තිවිල්ලට ආධාර එකතු කර කර සමිතියෙ කට්ටිය කැරකෙනවා. මෙයා ඉතින් මෝරා කරගන්න ලේසිනෙ."

"ආ, මෙයා ඒකට ලොකු ආධාරයක් කරයි කියලද පරිස්සම් කරේ?" සෞම්‍යත් පොහොර දාලා කතාව අහ ගන්නයි වෑයම.

"ආධාරයක් කියන්නෙ, මෙයාගෙ හැටි දන්න හින්දා, මං බයේ හිටියෙ බුදු පිළිමෙම දෙන්න පොරොන්දු වෙලා එයි කියලා. තනියම පාරට අරින්නෙ නැතුව හිටියෙ සුමානයක් දෙකක්.."

සුරංගට හොර හිනාවක් යයි.

"හිනාවෙ හැටියට," සෞම්‍යා අනුමාන කරයි." අහන්න දෙයක් නෑ, එළියට දැම්ම දවසෙ බුදු පිළිමෙ පොරොන්දු වෙලා එන්න ඇත්තෙ."

"බුදු පිළිමෙ විතරක්නම් මදෑ අනේ, සැරියුත් මුගලනුත් දෙන්න පොරොන්දු වෙලා ඇවිත්!"


"එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ, රංගි." සෞම්‍යා සියලු කරුණු සළකා බලා,  ජූරියේ තීරණය දෙනවා. "ඔයා ඔය මල් පැල අනිත්‍යයි කියල හිතාගෙන, අර ගෙනාව මැහි තෙල් ටික බීලා දාන්න."

"මේ, මේ, මේ." මෙච්චර වෙලා සන්සුන්ව හිටපු සුරංග හිටි ගමන් කලබල වෙලා. "ඕන මැහි තෙලක් බොන්න, ඔයාගෙ අද පුරවපු රක්ෂණේ ඔප්පුව එනකං ඉඳල!"

Sunday, June 16, 2013

ඩෙංගු

ඉස්සර අපි සීමාවාසික පුහුණුව ලබන කාලෙ තමා මම ඉස්සෙල්ලම ඩෙංගු ලෙඩෙක් දැක්කෙ. ඒ කාලෙ ලෙඩේ ගැන හරිහැටි වැටහීමක් තිබුණෙ නැහැ. අපි ඉගෙනගත්තු බටහිර පොත්වල ඒ ලෙඩේ ගැන තිබුණෙ අඟලක විතරක තීරුවක පොඩි සටහනක් විතරයි. ඩෙංගු කියලා සැක කරන කෙනෙක් ආවනම්, සේලයින් බෝතල් තුනක් දවසට ලියලා, පට්ටිකා සංඛ්‍යාව දවස්පතා හෝ දවසකට දෙවරක් බලලා, අඩු වෙනවනම් පට්ටිකා දීලා, ඒවා වැඩි වෙනකොට/ උණබහිනකොට ටිකට් කපලා ගෙදර යවන තත්වයක් තමයි තිබුණෙ.

පස්සෙ කාලෙක ඩෙංගු ගැන ආසියාතික රටවලින්ම අධ්‍යයනය කරලා, රෝගය ගැන සෑහෙන පැහැදිලි අදහසක් ඇති කරගත්තා. මේ සඳහා මුල් වුණේ තායිලන්තය. ඒ වෙනකොට අතුරු ආබාධ වැඩි බව සළකලා, පාවිච්චියෙන් අයින්ම කරලා තිබුණු ඩෙක්ස්ට්‍රෑන් ආයෙත් කරළියට ආවෙ මේ අධ්‍යයනයන් නිසා. අමාත්‍යාංශය මුල් වෙලා ප්‍රතිකාර කළ යුතු ආකාරය පැහැදිලි කරන පොත් පිංචකුත් නිකුත් කළ හින්දා, හුඟක්ම පිළිවෙලකට ඒ ප්‍රතිකාර දැන් කෙරෙනවා.

කියන විදිහට, ඩෙංගු විෂබීජය ශරීර ගත වුණු රෝගීන් 10000ක් ගත්තොත්, රෝග ලක්ෂණ පෙන්නන්නෙ 1000ක් විතර. එයිනුත් 900ක් විතර ඩෙංගු උණ. 100ක් විතර ඩෙංගු රක්තපාත උණ. ඒ සීයෙනුත් එක්කෙනෙක් විතර තමා රුධිර සංසරණය හරිහැටි පවත්වා ගත නොහැකි මට්ටමට ගිහින් අසාධ්‍ය වෙන්නෙ.
ඉතින් අර කවුද අවුරුද්දක් තිස්සෙ ඩෙංගු ලෙඩ්ඩු 100ක් සනීප කරාය කිව්වහම, ඒක එච්චර සම්පූර්ණ ප්‍රකාශයක් නෙවෙයි.

රක්තපාත කියන වචනෙ ඇහුණ ගමන් හිතෙන්නෙ, ලේ ගැල්ම ඇති වෙන්නෙ ඒ උණටය කියලා. එහෙම නෙවෙයි. නිකං ඩෙංගු උණටත් එහෙම වුණහැකි. ඩෙංගු රක්තපාත උණේ වෙනස, රුධිර නාලවල ගම්‍යතාවය වැඩි වෙලා, තරලය පිටතට යාම. එහෙම ගිහින්, එක්කො පෙණහළු වටේ, නැත්නම් බඩ ඇතුළෙ එකතු වෙනවා. ඒක තමා උණ වර්ග දෙකේ වෙනස.
ඩෙංගු රක්තපාත උණ හැදුණහම, හුඟක් වෙලාවට දවස් හතරක් පහක් උණ තියෙනවා. ඒ අතරෙ ටිකෙන් ටික සුදු රුධිරාණු සංඛ්‍යාවත් රුධිර පට්ටිකා සංඛ්‍යාවත් අඩු වෙන්න පටන් ගන්නවා. උණ වැළඳිලා පැය 48කින් පූර්ණ රුධිරාණු සංඛ්‍යා පරීක්ෂණයක් කරගන්න කියලයි කියන්නෙ.
දැන් ඩෙංගුවල විෂබීජයෙම කොටස් අනුසාරයෙන් ආසාදනය මුළින් හොයන්න පුළුවන් පරීක්ෂණයකුත් තියෙනවා. ඒකත් ඔය මුල් දවස් දෙකතුනේ කළ හැකි නමුත් ඒක හොඳින්ම වැඩ කරන්නෙ, මුල් වරට ඩෙංගු හැදුණු කෙනෙකුට. අනික් අතින්, ගොඩක් අමාරු වෙන්නෙ දෙවන වරට ඩෙංගු හැදෙන කෙනෙකුට. ඒ අයගෙ ඉහත පරීක්ෂණය වැරදි බව පෙන්නන්න පුළුවන් 50%කගෙ විතර. ඒ හින්දා ඒ තරම් ප්‍රයෝජනවත් පරීක්ෂණයක් නෙවෙයි. වඩා ප්‍රයෝජනවත් රුධිර සෛල සංඛ්‍යා පරීක්ෂණය සහ ඒ එක්ක කෙරෙන රුධිර ඝනත්ව පරීක්ෂණය. උණෙන් දවස් හයහතකට පස්සෙ කෙරෙන ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂණයෙන් හැදුණෙ ඩෙංගුමද, කලිනුත් හැදිලා තියෙනවද කියලා බලාගත්තැහැකි.

ඉතින් උණ.
උණ බැස්සට පස්සෙ ලෙඩේ ඉවර වෙන්නෙ නෑ. නිකං ඩෙංගු උණනම් ඔන්න එයින් පස්සෙ හොඳ වෙන්න ගන්නවා. ඩෙංගු රක්තපාත උණ එහෙම නෙවෙයි. සුදු රුධිරාණු සංඛ්‍යාව ආයෙත් වැඩි වෙන්නට පටන් ගන්න අතර පට්ටිකා සංඛ්‍යාව දිගටම අඩු වෙනවා. රුධිර පට්ටිකා සංඛ්‍යාව ලක්ෂයකටත් වඩා අඩු වෙනකොට, ඔන්න අපි දන්නවා අර රුධිර වාහිනීවලින් පිටතට තරලය වැඩිපුර ගිහින්, එකතු වෙන කාලය එළඹිලා බව.

ඒ අනතුරු කාලය හුඟක්විට පැය හතළිස් අටක් පවතින්නෙ. නමුත් සමහර අයගෙ ඊට වඩා අඩු හෝ වැඩි වීමට පුළුවන්. රුධිර පරිමාව අඩු වෙන හින්දා, අවයවවලට හරිහැටි රුධිරය නොලැබීමෙන් හානි වෙන්නට පුළුවනි මේ කාලයෙ. ඒ නිසා පැයෙන් පැයට රෝගියාගෙ තත්වය පිරික්සමින්, පිටතට ගලන තරලයට සමාන්තරව සේලයින් ලබා දීම කෙරෙනවා. හුඟක්ම තරලය ඉවත් වෙලානම් සේලයින් විශාල ප්‍රමාණයක් එකවර දීමටත්, එහෙමත් හරි යන්නෙ නැත්නම් ඩෙක්ස්ට්‍රෑන් දීමටත් සිදු විය හැකියි. ඒ අතරෙ රුධිර වහනයක් ඇති බව හැඟුණොත්, එහෙම නැත්නම් හුඟක් දියර ලබා දීමට සිදු වෙනවානම්, රුධිරය දීමටත් සිදු වෙනවා.
පැය විසිහතරක් විතර යනකොට, මේ තරලය පිටතට ගලා යාම උපරිම වෙලා. එයින් පස්සෙ ටිකෙන් ටික යථා තත්වයට පත් වෙනවා. එතකොටත් ප්‍රශ්නයක්. පිටතට ගිය තරලය වෙනුවට දැන් සේලයින් දීලා තියන හින්දා, ආපහු ඒ තරලය රුධිර වාහිනීවලට එනවිට රුධිරවාහිනී තුළ පරිමාව වැඩි වෙන්නට පුළුවනි. එහෙම වුණොත් ඒ තරලය පෙණහළුවලට එහෙම එකතු වෙන්නට, හෘදය අඩපණ වීමට පුළුවනි.

ඕවට අමතරව ඩෙංගු විෂබීජය හෘදයට බලපාලා, හෘදය දුර්වල වීමටත් පුළුවනි.

ඉතින් රෝගියාගේ තත්වය නිතරම සොයා බැලීමත්, ගැලපෙන විදිහට දියර ලබා දීමත්, වැදගත්. රෝගියාගේ තත්වය සොයා බැලීම පිණිස, පැයකට පිටවන මුත්‍ර ප්‍රමාණය දැන ගැනීම හුඟක්ම වැදගත්. ඊට අමතරව උෂ්ණත්වය, රුධිර පීඩනය, ශ්වසන වේගය වගෙ තව දර්ශකත් භාවිතා වෙනවා.

ආපහු තරලය රුධිරවාහිනී තුළට ආවට පස්සෙ, සුව වීම පටන් ගැනෙනවා. නමුත් අර අමාරු කාලය තුළ අවයවවලට ලැබුණු රුධිර ප්‍රමාණය මදි වෙලා එහෙම තිබුණොත්, ඒ අවයව දුර්වල වෙන නිසා, තව තවත් අසාධ්‍ය තත්වයට පත් වෙන්නට පුළුවනි.

උණ හැදුණු ළමයෙක් පැය හයක් විතර මුත්‍ර කරලා නැත්නම්, සිහි කල්පනාව අඩුයි වගේනම්, අතපය සීතල වෙලානම්... බය වෙන්නට ඕන.

ළමයා මහතනම් තවත් බය වෙන්නට ඕන. එහෙම ළමයින්ට වැඩිපුර අමාරු වෙනවා වගේම සේලයින් දෙන්නට කටුවක් දාගන්න එහෙමත් අමාරුයි.
අවුරුද්දට වඩා අඩු ළමයි ගැන, බබාලා හම්බෙන්නට ඉන්න අය ගැන, වයසක, වෙනත් රෝගවලින් පෙළෙන අය ගැන එහෙම, වැඩිපුර බය වෙන්නට ඕන.

හුඟක් දෙනා හිතන්නෙ "අපිට එහෙම කරදරයක් වෙන්නෙ නෑ." කියලා. රෝහලකට එන්නට පමා වෙන්නෙ ඒ හින්දා.
එහෙම කරදර වෙන්නෙ මිනිස්සුන්ටම තමා. "අපිට" නොවෙන කරදරයක් නැහැ.

Friday, June 14, 2013

හිරු ලප

හැමදාම ඉර පායන එක බොහොම කම්මැළි වැඩක්. නොදන්න කෙනෙකුට හිතෙන්නෙ, ඒක බොහොම ලෙහෙසි වැඩක් කියලා. නමුත්, උදෙන්ම පායන්නට ඕන; නැත්නම්, සත්තු කලබල වෙනවා; ගහකොළ කලබල වෙනවා. ඊට පසුව, දවස පුරා එකම ලතාවට ගමන් කරන්නට ඕන. දහවල් වෙනකොට පොළොව ගිනියම් වෙලා, රස්නෙ උහුලන්නට බැහැ. ඒත් වේගයෙන් යන්නට හැටියක් නැහැ; හැම කෙනෙක්ම වෙලාව ගණන් හදන්නෙ ඉර දිහා බලලා. හවසට ඉර බැහැලා ගියාට පසු හැම කෙනෙක්ම විවේක ගන්නවා. නමුත් ඉරට විවේකයක් නැහැ. ලෝකෙ අනික් පැත්තෙන් දුවලා ගිහින්, නැගෙනහිරට වෙලා රැකලා ඉන්නට ඕන, ආපහු උදා වෙන්නට වෙලාව එනතුරු.
ලෙහෙසි වැඩක් නොවෙයි. ඒ විතරක්ද? හරිම ඒකාකාරියි.

ඔන්න ඉරට කම්මැළි හිතුණා. ඉතින් ඉර තීරණය කළා නැගෙන්නෙ නැතුව ඉන්නට.

නැගෙනහිර හන්දියට කිට්ටුවෙන්ම, අන්ධකාර සාළුව පොරවාගෙන, ඉර හැංගුණා.

අලුයමින් අවදි වන කුරුල්ලො පුරුදු වෙලාවට කිචි බිචි ගාන්නට වුණා.
ගහකොළවල පිණි බින්දු මතුපිටට ආවා.
මිනිස්සුන්ට, අනික් සත්තුන්ට පුරුදු වෙලාවට ඇහැරුණා.

ඉර නැහැ.

කිචි බිචි ගෑව කුරුල්ලො කච බච ගාන්නට වුණා; කොචෑස් බචෑස් ගාන්නට වුණා.
පිණිබින්දු, ලොකු වතුර බින්දු වෙලා බිමට වැටුණා.
මිනිස්සු, සත්තු කලබල වෙලා කලුවරේම නැගිට්ටා.

ඉර නැහැ!

කලබල වුණු වෙලාවට හැසිරෙන හැටියෙන් එක එක්කෙනාගෙ ආකල්ප, පරණ අත්දැකීම්, පරිණතභාවය එහෙම බලා ගන්නට පුළුවනි.

සමහරු පරණ කතා කියන්නට පටන් ගත්තා: බොහෝම ඉස්සර කාලෙ, එක සැරයක් ඉර ඔහොම නොනැග තිබුණා නෙව! ඒ දවස්වල අපි තරුණයි...
තවත් සමහරු පහන් දල්වාගෙන, එහෙමත් නැත්නම් ඉව අල්ලාගෙන, පුරුදු වැඩ කටයුතු එහෙමම කරගෙන ගියා: ඉර නැගුණෙ නෑ කියලා, මේ වැඩ නවත්තලා බෑ නෙව.
තව තවත් සමහරු ඉහේ ඉඳන් පොරවාගෙන ගුලි වුණා: සීතලයි; අපිට බෑ; නැගිටලා මුකුත් කරන්නට විදිහක් නෑ; ඉරට හොඳනම්, අපිට මොකද?
තවත් සමහරු උද්ඝෝෂණය කළා: වහා ඉර උදා කරව්!

ඉර හැංගිලා බලාගෙන හිටියා.

ඔය අතරෙ ලෝකෙ අනික් පැත්තෙ වෙනමම ප්‍රශ්නයක්.

හඳත් තරුත් අහසින් බැහැලා ගිහින්, තමන්ගෙ පාඩුවෙ, පොළොව යටින් නැගෙනහිරට එනවා, රෑට උදා වෙන්නට තියෙන හින්දා.
ඉස්සරහින් ගිය තරු දැක්කා, නැගෙනහිර හන්දියෙ හැංගිලා ඉන්න තඩි, කළු රාස්සයා. දැකලා, බය වුණා. බය වෙලා, පස්සට පැන්නා.
ඊලඟට ආව තරුවලට ඉස්සරහට යන්නට හැටියක් නැහැ. ඉතින් ඔහොම ඔහොම, නැගෙනහිර හන්දියේ තරු පොදි ගැහෙන්නට වුණා. එතන ලොකු තදබදයක්. පිටිපස්සෙන් ඉන්න තරු ඉස්සි ඉස්සි, රාස්සයා බලා ගන්නට උත්සාහ කරනවා. ඉස්සරහින් ඉන්න තරු, තමන්ව තල්ලු වෙලා රාස්සයා ළඟට යැවෙයි කියලා පිටිපස්සට තෙරපෙනවා.

මේ හඳ විවේක ගන්න වෙලාව. හැමදාම යන පාර නිසා, ඇසුත් පියාගෙන ඔහේ පාවෙවී එමින් හිටිය හඳ එක පාරටම කටු ඇනිලා අවදි වුණා.
කටු, තරුවල වටේ තියෙන කටු.


"මොකද මේ? ඇයි නැවතිලා?" හඳ ඇහුවා.
"රාස්සයෙක්." තරු උත්තර දුන්නා.
හඳත් තරුවල කරට උඩින් ඉස්සිලා බැලුවා. ඇත්ත තමයි. තඩි කළු රාස්සයෙක්, ලෝකෙ දිහා හොරෙන් බලා ඉන්නවා.

"මොකද කරන්නෙ?" තරු හඳෙන් ඇහුවා. හඳ කල්පනා කළා.
"අපි සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නෙ විසඳ ගනිමු." හඳ කිව්වා.
තරු වළල්ල මැද ඉඳන්, හඳ රාස්සයාට කතා කළා.
"මේ... ඔතන කවුද?"



ඔන්න, එතකොට තමයි ඉර ආපහු හැරිලා බැලුවෙ. එතකොට තමයි ඉර දැක්කෙ, තමන් මග අහුරාගෙන ඉන්න හින්දා, තරුත් හඳත් හිර වෙලා බව.

"මම, ඉර." කියලා උත්තර දෙන්නට ඉර හිතුවා විතරයි; ඉරට දඟකාර හිතක් පහළ වුණා.

"මම, රාස්සයෙක්!" ඉර අන්ධකාර සළුව අස්සෙ හැංගිලා උත්තර දුන්නා.

තරු බය වෙලා තව තවත් හඳට කිට්ටු වුණා. තෙරපෙන තරුවල කටු හැම පැත්තෙන්ම ඇනිලා, හඳට හුඟක් තුවාලයි.
බය වෙලා ඉන්න තරු දැක්කහම, ඔවුන්ව තවත් බය කරන්නට ඉරට ආස හිතුණා. ඒ හින්දා ඉර බොහොම භයානක විදිහට හිනා වුණා.

"හොහ් හොහ් හොහ්! හොහෝහ් හොහ් හොහ් හොහ්!!"

තරු තව තවත් හඳට තුරුල් වුණා.
"අපි මොකද කරන්නෙ?" ඔවුන් ඇහුවා.

හඳ කල්පනා කළා. බොහොම කල්පනා කළා.
හඳත් බය වෙලා බව ඉරට තේරුණා. ඉරට තව තවත් දඟ කරන්නට හිතුණා. ඒ හින්දා ඉර ඔවුන් ඉස්සරහට පැනලා ආයෙමත් භයානක විදිහට හිනා වුණා.
"හොහ් හොහ් හොහ්! හොහෝහ් හොහ් හොහ් හොහ්!!"

හඳත් බය වෙලා පස්සට පැන්නා. ඉස්සරහින්ම හිටිය තරුත් පස්සට පැන්නා. පිටිපසින් හිටිය තරුවල කටුත්, ඉස්සරහින් පැන්න තරුවල කටුත් ඇනිලා හඳට තවත් තුවාල වුණා. හඳේ වැදිලා, තරුවල කටු අග කැඩිලා තුවාල වුණා.
තුවාල වුණු හින්දා හඳටත් තරුවලටත් තරහ ආවා. තරහ ආව හින්දා බය අමතක වුණා.

"අපි රාස්සයව පන්නමු." පුංචි තරුවක් යෝජනා කළා.
"පන්නමු! පන්නමු!! පන්නමු!!!" හැම තරුවක්ම තරහෙන් කෑ ගහන්නට පටන් ගත්තා. හඳ පවා රවා බැලුවා.

ඉර, තමන්ගෙ දඟකාර සෙල්ලම නතර කළ යුතුව තිබුණා....
මං එහෙම කියන්නෙ, එයින් පස්සෙ සිදු වුණු දේ බොහොම භයානක හින්දයි.

බොහොම නිසංසල කෙනෙක් වෙන හඳට තරහ ආ විට, බොහොම දරුණුයි. කල්පනා කරන්නටවත් නොනැවතී, හඳ, තමන්ගෙ අතට අහු වෙන අහුවෙන දෙයින් ඉරට දමා ගහන්නට වුණා.
අතට අහු වෙන්නට හිටියෙ තරු.
ලෙහෙසියෙන්ම අතට අහු වෙන්නට හිටියෙ, පුංචි තරු.

විශාල ඉරෙහි වැදුණු තරු බොහොමයක් එතැනම අවසන් ගමන් ගියා. තවත් තරු බොහොමයක කටු කැඩී බිඳී ගියා. තරුවලට තුවාල කරන හින්දා, සමහර තරු හඳත් එක්ක තරහ වුණා.

තරු වැදිලා ඉරටත් තුවාල වුණා. ඉර පොරවාගෙන හිටිය අන්ධකාර සළුව, තරු හින්දා සිදුරු වුණා. සිදුරු වුණු සළුව අතරින්, හැංගිලා හිටිය රාස්සයා ඉර බව පෙනෙන්නට පටන් ගත්තා. එතකොට තරුවල බයත් නැතිව ගියා. බය නැති තරු ඉදිරියට පැන, ඉරට පහර දෙන්නට වුණා.
ඉරුණු අන්ධකාර සළුවත් එහෙන් මෙහෙන් එල්ලෙද්දි, ඉර ඉස්සරහට පැනලා දුවන්නට වුණා.

"අන්න ඉර පායනවා." මිනිස්සු සතුටින් කිව්වා. "බොහොම ප්‍රමාද වෙලා ඉර පායනවා."
සත්තු ඈනුම් ඇරලා නැගිට්ටා.
ගහකොළ අවදි වුණා. මල් පිපුණා.

මිනිස්සු, සත්තු, ගහකොළ ඉරට කැමති බව පෙනුණ හින්දා, හඳත් තරුත් ටිකක් අදිමදි වුණා ඉර පසුපස දිගට පන්නන්නට. පසුපසින් පන්නන්නට කෙනෙක් නැති බව දැක්ක ඉර, බොහොම අහංකාරෙට හෙමින් ගමන් කරන්නට වුණා.

ඒ වුණාට, ඉරුණු අන්ධකාර සළුවෙ කෑලි තවමත් ඉරේ එල්ලෙනවා. ඒවට තමයි මිනිස්සු හිරු ලප කියන්නෙ.

හිරු බැස ගියාට පසු, නැත්නම් බැස යන්නට කිට්ටු වූ පසු තවමත් හඳත් තරුත් පායනවා. හඳේ තුවාල සුව වෙලා වුණත්, කැළැල් තවම පේනවා. ඉස්සර තිබුණ පුංචි තරු සෑහෙන ගණනක් අඩු වෙලා. ඒත් ඒ බව එතරම් පෙනෙන්නෙ නැහැ.

Tuesday, June 4, 2013

වියගහ

ඊයෙ යනකොට ඇඳ හතේ අලුත් ළමයෙක්.
කලින් ළමයගෙ අම්මා මහණ වෙන්ඩ ඇති. මම හිතුවා.

කලින් හිටියෙ මාස පහක විතර ළමයෙක්. ඒ වුණාට ප්‍රමාණයෙන් අලුත උපන් ළමයෙක් වගේ. වැඩීම කොහොමත් දුර්වල වෙලා හිටිය ළමයට මාසෙකට වැඩි නිව්මෝනියාවක් හැදිලා, අසාධ්‍ය වෙලා හිටියෙ.
ඇඳ ළඟ ඉන්නවා දැක්කෙ ළමයගෙ අම්මා විතරයි. ඇය හැම තිස්සෙම පොතක් එක අතකින් අරගෙන, අනික් අතින් දරුවගෙ හිස අත ගාමින් පිරිත් කිව්වා.

"ඒ අම්මට ගෙදර ප්‍රශ්න. ළමයා මැරුණොත් ඒ අම්මා මහණ වෙනවා කිව්වා." හෙදියක් දවසක් කිව්වා.

අනික් අය වගේ ඒ අම්මා දරුවගෙ තත්වය අහන්නෙ නැහැ; ඇවිදින්නෙ බිම බලාගෙන. දරුවා ළඟට ආවොත්, පිරිත් කිය කියා දරුවගෙ හිස අත ගානවා විතරයි.
ගිය සතියෙ දවසක මම මේ අම්මට කතා කළා. අම්මා හුඟක් ඇඬුවා.
"මගේ ජීවිතේ හැම දෙයක්ම නැති වුණා. ඉතුරු වෙලා ඉන්නෙ මේ පුතා විතරයි. ජිවිතේ මට බලාපොරොත්තු ගොඩක් දීලා, ඒ හැම එකක්ම ආපහු මගෙන් උදුර ගත්තා." ඈ කිව්වා.

ගැහැණු දරුවන් පස් දෙනෙක් හා වැඩිමල් පිරිමි දරුවෙක් හිටිය පවුලෙ හතරවෙනියා වුණු ඇය, සාමාන්‍ය පෙළ පන්තියෙ ඉද්දිමයි ඇඟළුම් කම්හලක රැකියාවට ගිහින් තියෙන්නෙ. ඉන් පස්සෙ අවුරුදු කිහිපයක් මැදපෙරදිගට කඹුරන්නට ගිහින්. ඒ ආවට පස්සෙ ඇයට වඩා බොහොම වැඩිමහල් පුද්ගලයෙක් එක්ක විවාහ වෙලා. දරුවන් නැතිව අවුරුදු අටක් හිටියායින් පසුව ලැබුණු දරුවා මේ.

දරුවගෙ තාත්තා එන්නෙ නෑ ඇයවත් දරුවවත් බලන්නට. ඉඳහිට එන්නෙ අම්මයි තාත්තයි.
ආපහු යනවනම් යන්නට තියෙන්නෙ අම්මලා ළඟට. මහගෙදර තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඔවුනුත් ඉන්නෙ පවුල් එක්කම.
එක ගෙදර පවුල් තුනක්.

අවුරුදු තිස්පහකට ඇය විඳින්නට තියෙන හැම දුකක්ම විඳලා, අවසන් කරලා වගෙයි.


මේ අම්මා ගැන කල්පනා කර කර ඉද්දි, හුඟ කාලෙකට කලින් දැක්ක තාත්තා කෙනෙක්ව මට මතක් වුණා. ඔහුගෙ වයස පණහකට ආසන්නයි වෙන්නට ඕන. එහෙම නැත්නම් පෙණුම ඒ වගේ; දුක් විඳින මිනිස්සු ඉක්මණින් වයසට යනවා නෙව.
ඔහුගෙ දරුවා අවුරුදු දහසයකට පසුව උපන්නෙක්. ඉපදුණු දවසේ සිටම අම්මත් දරුවත් රෝහල්වලමයි. බරපතල උත්පත්ති ආබාධයක් සහිතව උපන් මේ දරුවාට සැත්කමක් කළත් සුවය ලැබීම අඩමානයෙයි තිබුණෙ.  දර කෑල්ලකට වඩා යන්තම් ඩිංගක් පණ තිබුණා විතරයි.

තාත්තා හිටියෙ දැඩි සත්කාර ඒකකය ළඟටම වෙලා.

"එක දවසකට හරි අපිට දරුවව ගෙදර ගෙනියන්නට තිබුණොත් ඇති." ඔහු කිව්වා. "එක දවසක් ගෙදරට ගෙනියලා, අපට දරුවෙක් ලැබුණු බව පෙන්නන්නට ඇත්නම්, ඒ ඇති."

දරුවන් නැතිකම නිසා ගමෙන්, නෑයින්ගෙන් බොහොම කෙණෙහිළිකම්වලට ලක් වුණු මේ යුවල අවුරුදු ගණනාවක් ගත කොට තිබුණෙ ගමෙන් පිට.දරුවා සුව කළ නොහැකි බව, ඉක්මණීන් මිය යන බව ඔවුන් පිළි ගත්තා.
නමුත් ගැටළුව ඔවුන්ට යළිත් පොදු සමාජයට අනුගත වීමට ඇති එකම පහුර මේ දරුවා වීම.

දිගු කාලයක් දැඩි සත්කාර ඒකකයෙ හිටිය දරුවාව පසුව වාට්ටුවට යැවුණා. ඒ ගිය දවසෙම වාට්ටුවෙදි දරුවගෙ හෘදය නැවතී තිබුණා. වාට්ටුවෙන් යළිත් දැඩි සත්කාර ඒකකයෙ ඇඳක් ඉල්ලා සිටියමුත්, ඒ වෙනකොට ඇඳක් තිබුණෙ නැහැ. දරුවා සමග වාට්ටුවේ හිටිය මේ තාත්තා දැඩි සත්කාර ඒකකයට දුවගෙන ආවෙ ඇඳක් ඉල්ලන්නටයි. ඔහු ගැන අනුකම්පා කළ විශේෂඥ වෛද්‍යවරිය දැඩි සත්කාර ඒකකයෙ වෛද්‍යවරයෙක්ව වාට්ටුවට පිටත් කළේ, කළ හැකි දෙයක් ඇත්නම් කිරීමටයි. ඒ අතරෙ දැඩි සත්කාර ඒකකයෙ වීදුරු දොරෙන් එහා කොරිඩෝවෙ තාත්තා හිටියා. මිට මොළවාගත් අත් දෙකින් පපුවට ගහගනිමින් ඔහු කෑ ගසා හැඬුවා.
වැඩිහිටිවියට පත් හැම කෙනෙක්ම කසාද බැඳ දරුවන් දෙන්නෙක්වත්  හැදිය යුතුයයි බල කර සිටින සම්ප්‍රදායික සමාජය කෙරෙහි මට ඒ වෙලේ ඇති වුණේ තද පිළිකුලක්.