Sunday, June 16, 2013

ඩෙංගු

ඉස්සර අපි සීමාවාසික පුහුණුව ලබන කාලෙ තමා මම ඉස්සෙල්ලම ඩෙංගු ලෙඩෙක් දැක්කෙ. ඒ කාලෙ ලෙඩේ ගැන හරිහැටි වැටහීමක් තිබුණෙ නැහැ. අපි ඉගෙනගත්තු බටහිර පොත්වල ඒ ලෙඩේ ගැන තිබුණෙ අඟලක විතරක තීරුවක පොඩි සටහනක් විතරයි. ඩෙංගු කියලා සැක කරන කෙනෙක් ආවනම්, සේලයින් බෝතල් තුනක් දවසට ලියලා, පට්ටිකා සංඛ්‍යාව දවස්පතා හෝ දවසකට දෙවරක් බලලා, අඩු වෙනවනම් පට්ටිකා දීලා, ඒවා වැඩි වෙනකොට/ උණබහිනකොට ටිකට් කපලා ගෙදර යවන තත්වයක් තමයි තිබුණෙ.

පස්සෙ කාලෙක ඩෙංගු ගැන ආසියාතික රටවලින්ම අධ්‍යයනය කරලා, රෝගය ගැන සෑහෙන පැහැදිලි අදහසක් ඇති කරගත්තා. මේ සඳහා මුල් වුණේ තායිලන්තය. ඒ වෙනකොට අතුරු ආබාධ වැඩි බව සළකලා, පාවිච්චියෙන් අයින්ම කරලා තිබුණු ඩෙක්ස්ට්‍රෑන් ආයෙත් කරළියට ආවෙ මේ අධ්‍යයනයන් නිසා. අමාත්‍යාංශය මුල් වෙලා ප්‍රතිකාර කළ යුතු ආකාරය පැහැදිලි කරන පොත් පිංචකුත් නිකුත් කළ හින්දා, හුඟක්ම පිළිවෙලකට ඒ ප්‍රතිකාර දැන් කෙරෙනවා.

කියන විදිහට, ඩෙංගු විෂබීජය ශරීර ගත වුණු රෝගීන් 10000ක් ගත්තොත්, රෝග ලක්ෂණ පෙන්නන්නෙ 1000ක් විතර. එයිනුත් 900ක් විතර ඩෙංගු උණ. 100ක් විතර ඩෙංගු රක්තපාත උණ. ඒ සීයෙනුත් එක්කෙනෙක් විතර තමා රුධිර සංසරණය හරිහැටි පවත්වා ගත නොහැකි මට්ටමට ගිහින් අසාධ්‍ය වෙන්නෙ.
ඉතින් අර කවුද අවුරුද්දක් තිස්සෙ ඩෙංගු ලෙඩ්ඩු 100ක් සනීප කරාය කිව්වහම, ඒක එච්චර සම්පූර්ණ ප්‍රකාශයක් නෙවෙයි.

රක්තපාත කියන වචනෙ ඇහුණ ගමන් හිතෙන්නෙ, ලේ ගැල්ම ඇති වෙන්නෙ ඒ උණටය කියලා. එහෙම නෙවෙයි. නිකං ඩෙංගු උණටත් එහෙම වුණහැකි. ඩෙංගු රක්තපාත උණේ වෙනස, රුධිර නාලවල ගම්‍යතාවය වැඩි වෙලා, තරලය පිටතට යාම. එහෙම ගිහින්, එක්කො පෙණහළු වටේ, නැත්නම් බඩ ඇතුළෙ එකතු වෙනවා. ඒක තමා උණ වර්ග දෙකේ වෙනස.
ඩෙංගු රක්තපාත උණ හැදුණහම, හුඟක් වෙලාවට දවස් හතරක් පහක් උණ තියෙනවා. ඒ අතරෙ ටිකෙන් ටික සුදු රුධිරාණු සංඛ්‍යාවත් රුධිර පට්ටිකා සංඛ්‍යාවත් අඩු වෙන්න පටන් ගන්නවා. උණ වැළඳිලා පැය 48කින් පූර්ණ රුධිරාණු සංඛ්‍යා පරීක්ෂණයක් කරගන්න කියලයි කියන්නෙ.
දැන් ඩෙංගුවල විෂබීජයෙම කොටස් අනුසාරයෙන් ආසාදනය මුළින් හොයන්න පුළුවන් පරීක්ෂණයකුත් තියෙනවා. ඒකත් ඔය මුල් දවස් දෙකතුනේ කළ හැකි නමුත් ඒක හොඳින්ම වැඩ කරන්නෙ, මුල් වරට ඩෙංගු හැදුණු කෙනෙකුට. අනික් අතින්, ගොඩක් අමාරු වෙන්නෙ දෙවන වරට ඩෙංගු හැදෙන කෙනෙකුට. ඒ අයගෙ ඉහත පරීක්ෂණය වැරදි බව පෙන්නන්න පුළුවන් 50%කගෙ විතර. ඒ හින්දා ඒ තරම් ප්‍රයෝජනවත් පරීක්ෂණයක් නෙවෙයි. වඩා ප්‍රයෝජනවත් රුධිර සෛල සංඛ්‍යා පරීක්ෂණය සහ ඒ එක්ක කෙරෙන රුධිර ඝනත්ව පරීක්ෂණය. උණෙන් දවස් හයහතකට පස්සෙ කෙරෙන ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂණයෙන් හැදුණෙ ඩෙංගුමද, කලිනුත් හැදිලා තියෙනවද කියලා බලාගත්තැහැකි.

ඉතින් උණ.
උණ බැස්සට පස්සෙ ලෙඩේ ඉවර වෙන්නෙ නෑ. නිකං ඩෙංගු උණනම් ඔන්න එයින් පස්සෙ හොඳ වෙන්න ගන්නවා. ඩෙංගු රක්තපාත උණ එහෙම නෙවෙයි. සුදු රුධිරාණු සංඛ්‍යාව ආයෙත් වැඩි වෙන්නට පටන් ගන්න අතර පට්ටිකා සංඛ්‍යාව දිගටම අඩු වෙනවා. රුධිර පට්ටිකා සංඛ්‍යාව ලක්ෂයකටත් වඩා අඩු වෙනකොට, ඔන්න අපි දන්නවා අර රුධිර වාහිනීවලින් පිටතට තරලය වැඩිපුර ගිහින්, එකතු වෙන කාලය එළඹිලා බව.

ඒ අනතුරු කාලය හුඟක්විට පැය හතළිස් අටක් පවතින්නෙ. නමුත් සමහර අයගෙ ඊට වඩා අඩු හෝ වැඩි වීමට පුළුවන්. රුධිර පරිමාව අඩු වෙන හින්දා, අවයවවලට හරිහැටි රුධිරය නොලැබීමෙන් හානි වෙන්නට පුළුවනි මේ කාලයෙ. ඒ නිසා පැයෙන් පැයට රෝගියාගෙ තත්වය පිරික්සමින්, පිටතට ගලන තරලයට සමාන්තරව සේලයින් ලබා දීම කෙරෙනවා. හුඟක්ම තරලය ඉවත් වෙලානම් සේලයින් විශාල ප්‍රමාණයක් එකවර දීමටත්, එහෙමත් හරි යන්නෙ නැත්නම් ඩෙක්ස්ට්‍රෑන් දීමටත් සිදු විය හැකියි. ඒ අතරෙ රුධිර වහනයක් ඇති බව හැඟුණොත්, එහෙම නැත්නම් හුඟක් දියර ලබා දීමට සිදු වෙනවානම්, රුධිරය දීමටත් සිදු වෙනවා.
පැය විසිහතරක් විතර යනකොට, මේ තරලය පිටතට ගලා යාම උපරිම වෙලා. එයින් පස්සෙ ටිකෙන් ටික යථා තත්වයට පත් වෙනවා. එතකොටත් ප්‍රශ්නයක්. පිටතට ගිය තරලය වෙනුවට දැන් සේලයින් දීලා තියන හින්දා, ආපහු ඒ තරලය රුධිර වාහිනීවලට එනවිට රුධිරවාහිනී තුළ පරිමාව වැඩි වෙන්නට පුළුවනි. එහෙම වුණොත් ඒ තරලය පෙණහළුවලට එහෙම එකතු වෙන්නට, හෘදය අඩපණ වීමට පුළුවනි.

ඕවට අමතරව ඩෙංගු විෂබීජය හෘදයට බලපාලා, හෘදය දුර්වල වීමටත් පුළුවනි.

ඉතින් රෝගියාගේ තත්වය නිතරම සොයා බැලීමත්, ගැලපෙන විදිහට දියර ලබා දීමත්, වැදගත්. රෝගියාගේ තත්වය සොයා බැලීම පිණිස, පැයකට පිටවන මුත්‍ර ප්‍රමාණය දැන ගැනීම හුඟක්ම වැදගත්. ඊට අමතරව උෂ්ණත්වය, රුධිර පීඩනය, ශ්වසන වේගය වගෙ තව දර්ශකත් භාවිතා වෙනවා.

ආපහු තරලය රුධිරවාහිනී තුළට ආවට පස්සෙ, සුව වීම පටන් ගැනෙනවා. නමුත් අර අමාරු කාලය තුළ අවයවවලට ලැබුණු රුධිර ප්‍රමාණය මදි වෙලා එහෙම තිබුණොත්, ඒ අවයව දුර්වල වෙන නිසා, තව තවත් අසාධ්‍ය තත්වයට පත් වෙන්නට පුළුවනි.

උණ හැදුණු ළමයෙක් පැය හයක් විතර මුත්‍ර කරලා නැත්නම්, සිහි කල්පනාව අඩුයි වගේනම්, අතපය සීතල වෙලානම්... බය වෙන්නට ඕන.

ළමයා මහතනම් තවත් බය වෙන්නට ඕන. එහෙම ළමයින්ට වැඩිපුර අමාරු වෙනවා වගේම සේලයින් දෙන්නට කටුවක් දාගන්න එහෙමත් අමාරුයි.
අවුරුද්දට වඩා අඩු ළමයි ගැන, බබාලා හම්බෙන්නට ඉන්න අය ගැන, වයසක, වෙනත් රෝගවලින් පෙළෙන අය ගැන එහෙම, වැඩිපුර බය වෙන්නට ඕන.

හුඟක් දෙනා හිතන්නෙ "අපිට එහෙම කරදරයක් වෙන්නෙ නෑ." කියලා. රෝහලකට එන්නට පමා වෙන්නෙ ඒ හින්දා.
එහෙම කරදර වෙන්නෙ මිනිස්සුන්ටම තමා. "අපිට" නොවෙන කරදරයක් නැහැ.

45 comments:

  1. මේක නම් හරිම වටිනවා නලිනි. ගොඩාක් අය මේ තරම් ඩෙංගු විස්ටර නොදන්නවා ඇති. ( මාත් දැනගෙන හිටියේ නෑ. මා ඉන්න රටේ මේ වගේ අසනීප නැති නිසා වෙන්න පුළුවන්)
    අර කීවත් වගේ ගොඩාක් අය හිතන්නේ අපිට එහෙම කරදරයක් වෙන්නේ නෑ කියලා. ඔය උගත් වැදගත් ගෑණු ළමයි/ පිරිමි ළමයි එක්ක මා නිතර රණ්ඩු වෙනවා බ්ලඩ් ටෙස්ට් වලට මෙඩිකල් කොන්ට්‍රෝල් වලට. ඔක්කොම කියන්නේ අපිට එහෙම වෙන්නේ නෑ කියලා. නොදන්න කමට නොකරන එක වෙනයි කියමුකෝ. දනන් එවුනුත් එහෙම කියලා නෙග්ලෙක්ට් කරනකොට කොළඹට උස්සලා පොලොවේ ගහන්න හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. තමන් ජීවත් වෙන්නෙ ඉහළ සමාජ ආර්ථික තලයකය, ළමයි යන්නෙ ඉහළම පාසලකටය වගෙ දේවල් අදාල වෙන්නෙ නෑ. තමන් ගැන තමන් වගකීමෙන් නොඉඳ, අන්තිමට කාටවත් දොස් පවරලා වැඩක් නැහැ.

      Delete
  2. ගොඩක් ස්තුතියි නලිනි ඔයාට මේ ලිපියට

    ReplyDelete
    Replies
    1. වියට්නාමෙ ඩෙංගු නැතුව ඇතිනෙ?

      Delete
    2. අපොයි තිබේ ..අපේ ගෙවල් අවට ස්ප්‍රේ කරනවා . ඉතින් මදුර්ස් අඩුයි..නැත්තන් ආයේ මෙහෙ අඩියෙන් අඩිය වතුර වලවල් ..

      හැබැයි එච්චර මැරෙන බවක් නම් කියවෙන්නේ නැහැ . සින්ගප්පුරුවෙත් තියේ කියලා පත්තරේ තිබුණ .

      Delete
  3. අද ඉරිදා උදේ කියවපු දෙවැනි ලිපිය.ලිපි දෙකම ඉතාමත් වැදගත් හරවත් විම ගැන මට සතුටුයි.පුංචි තුවාලය ගැන නොදක්වන නොසැලිකිල්ල අවසානයේ විශාල සැත්කමක් කර ගැනිමට යන තත්වයට පත් කර ගන්නේ අපේම නොසැලිකිල්ල නිසායි.

    ReplyDelete
    Replies
    1. ඔව්, යමක් කළ හැකි මට්ටමේදි නොසළකා හැරලා, පස්සෙ දුක් වෙන්නයි වෙන්නෙ

      Delete
  4. මෙයා ඒ පාර කට්ටිය බය කරනවනේ... :D

    ReplyDelete
  5. 'උණ හැදුණු ළමයෙක් පැය හයක් විතර මුත්‍ර කරලා නැත්නම්, සිහි කල්පනාව අඩුයි වගේනම්, අතපය සීතල වෙලානම්... බය වෙන්නට ඕන'
    කවුද ඒ වෙලාවට බය නොවී ඉන්නෙ.

    හොඳ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා ඔහොම හිතුවට, අන්ත දෙකේම කට්ටිය ඉන්නවා. මම සීමාවාසික පුහුණුව ලබන කාලෙ එක අම්මා කෙනෙක් නවයහමාරට විතර "ළමයා" එල්ලගෙන ආවා, අටට විස්සක් තියලා උණ ගත්තයි කියලා. (ළමයට අවුරුදු 31ක් වීම වෙනම කාරණයකි.)

      නමුත් හුඟක් දෙමවුපියො "හේතු" හොයනවා.
      "මෙයාලට එහෙම ලෙඩක් හැදෙන්න විදිහක් නෑනෙ."
      "දෙය්යන්ගෙ පිහිටෙන් අපිට එහෙම කරුම ලෙඩ හැදෙන්නෙ නෑ."
      "තාත්තා ගෙදර ආවයින් පස්සෙ, රෑට කාලා, නාට්ටිය බලලා, ඒත් උණ අඩු වුණේ නැත්නම් යමු..."
      "තව දවසක් දෙකක් බලමු නේද? මෙයාව සාමාන්‍යයෙන් බලන ඩොක්ට පිටරට ගිහින් අනිද්දට එන්නෙ"
      "කෑමක් බීමක් නෑනෙ ඉතින්, කොහෙ මුත්‍ර යන්නද?"
      "ලෙඩ වුණහම ඉතින් ඔහොම තමා, ඔහේ වැටිලා ඉන්නවා..."
      "අතපය සීතල වෙලාද? ආ, ඒ උණ බහින්න."

      Delete
  6. කාලීන ඉතාම වටිනා ලිපියක්. වෛද්යවරියක්ම ලියූ එකක් නිසා ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. දැන් වැස්සෙන් පස්සෙ ආයෙ ඩෙංගු වාරයක් පටන් ගන්න යන්නෙ

      Delete
  7. ඒ වගේම පෞද්ගලික රෝහල් වල, මොන තරම් ඉහල මට්ටමේ එකක් වුනත් ඩෙංගු ප්‍රතිකාර වලට අදාළ ප්‍රවීණතාව කාර්යමණ්ඩල සතුව නැහැ කියල අහල තියෙනව. ඒ නිසාම අපේ ප්‍රදේශයේ පාසැල් ගුරුවරියක් මිය ගියා නිසි ප්‍රතිකාර ප්‍රමාද වීමෙන්. මේ තත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙනුත් කියල තිබුනා ළඟදී.

    ReplyDelete
    Replies
    1. එතරම් ලොකු අසනීපයක් නෙවෙයිනම්, පෞද්ගලික රෝහල් පහසුයි, වෙනම කාමරයක් එහෙම ලැබෙන නිසා. නමුත් කිට්ටුවෙන් තත්වය පිරික්සන්නත් බැහැ ඒ කාරණේම නිසා. අනික මරණ හා දැඩි රෝග තත්ව ගැන මසක් පාසා සමීක්ෂණ කෙරෙනවා රජයේ රෝහල්වල. ඒ හින්දා වරදක්, නොදැනුවත්කමක් තියනවනම් හදා ගන්න ඉඩ ලැබෙනවා.
      ඩෙංගු කියල හිතනවනම්, හොඳම දේ, අමාරුවෙන් දවස් කීපයක් ඉන්න හිත හදාගෙන රජයේ රෝහලකට යන එක.

      Delete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්ව එක! මට ඩෙංගු හැදිලා මැරුණට කමක් නැද්ද? :D
      ලියන එක අතපසු වෙලා. ආයෙ පටන්ගන්න අමාරුයි.

      Delete
  9. ඔන්න බය කලා... මදෑ ඉඳල ඉඳල එන්න හැදුව...

    ඇත්තටම බොහොම වටින ලිපියක් නලිනි... ඩෙන්ගු වලදි වැඩියෙන්ම අමාරු වෙන්නෙ නිසි වෙලාවට ප්‍රතිකාර සඳහා යොමු කරන්නෙ නැති නිසා කියලයි මම අහල තියෙන්නෙ... ඒ නිසාමයි මේ වගේ දැනුවත් කිරීමක් වැදගත් වෙන්නෙ...

    ............

    ඩෙක්ස්ට්‍රෑන් දෙන්නෙ ඇයි.... ඩෙක්ස්ට්‍රෑන් කියන්නෙ ඉම්ෆෙරොන් ද... ඒත් ඒක යූස් කලේ ප්‍රෙග්නන්ට් අම්මලගෙ ඇනීමියා තත්වය ඕරල් ටැබ්ලට් එකකින් කොන්ට්‍රෝල් කරගන්න බැරිවුනාම අයන් සප්ලිමෙන්ට් එකක් විදිහට නේද... එහෙම නැත්නම් ඩෙක්ස්ට්‍රෝස් වගේ පියෝ ඩෙක්ස්ට්‍රෑන් එකක් තියෙනවද...

    ReplyDelete
    Replies
    1. ඩෙක්ස්ට්‍රෑන් කියන්නෙ සේලයින් වගේ දියර වර්ගයක්. ලේ නහර ඇතුළෙ රුධිර පරිමාව අඩු වෙලා, පීඩනය අඩු වෙනකොට, ඒ අඩුව පුරවන්නනෙ සේලයින් දෙන්නෙ. නමුත් සේලයින් ඇඟේ තරලවල සංයුතියට හුඟක් කිට්ටු හින්දා, ඉනුත් සෑහෙන තරමක් එළියට යනවා. ඩෙක්ස්ට්‍රෑන් කියන්නෙ වඩා ඝන සංයුතියකින් යුත් ද්‍රාවනයක්. ලේවලට ගිහාම, ඒකෙ අංශු තව දුරටත් එකිනෙක හා බැඳිලා, විශාල අංශු හදනවා. ඒ හින්දා, ඒ ද්‍රාවනය එළියට යනවා අඩුයි. සමහරවිට නහරවලින් පිටතට ගිහින් තියන තරලයත් නහර තුළට යළි උරා ගැනීමට උදව් වෙනවා ඩෙක්ස්ට්‍රෑන්. ඒ හින්දා රුධිර පීඩනය පවත්වා ගැනීමට උදව් වෙනවා. ඒවත් එන්නෙ සේලයින් වගෙ ලොකු බෝතල්වල.

      Delete
  10. නොදැන හිටිය ගොඩක් දේ දැනගත්ත ...
    thanks...

    ReplyDelete
  11. නගේ මේ වගේ වෘත්තීය දැනුම, අත්දැකීම් තේරෙන බාසාවෙන් බෙදාදෙන එක ලොකු පිනක්. මෙච්චර වයසට ගිහිල්ලත් ඩෙංගු නිවැරදිව තේරුම් ගත්තෙ අද ..!

    ReplyDelete
    Replies
    1. ඩෙංගු ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයත් තවම තේරුම් ගනිමින් ඉන්නෙ අය්යා. මං කිව්වෙ, දැනට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා අඳුරේ අතපත ගෑමක් තිබුණෙ. තව අවුරුදු කීපෙකින් හිතෙයි, මේ කාලෙදිත් අපි මොනවද දැනං හිටියෙ කියලා

      Delete
    2. අඳුරේ අතපත ගානවා කියන්නේ සමහරවිට ඩෙංගුද කියලා හරියටම කන්ෆර්ම් කරන්න බැරි වෙලාවලුත් තියෙනවාද..?

      අපේ අම්මාටත් තාත්තාටත් දෙන්නටම හැදුනා... අම්මාට ඩෙංගු කියලා ඊට පහුවෙනිදා කිව්වා ඩෙංගු නැහැ කියලා... අදටත් අපි දන්නේ නෑ එයාට ඇත්තටම ඩෙංගු හැදුනද නැද්ද කියලා...

      ඒ දවස්වල මැච් එකේ ස්කෝර් එක බලනවා වගේ සැරින් සැරේට platelet count එක තමයි චෙක් කලේ....

      අර කිව්වා වගේ "අපිට නොවෙන කරදරයක් නැහැ" කියලා තේරුම් ගියේ ඔය සිද්ධියෙන් පස්සේ තමයි...

      Delete
    3. ඉස්සරම, ඩෙංගුද කියලා බලන්න හරි ටෙස්ට් එකක් තිබුණෙ නැහැ. දැන් පරීක්ෂණ දෙකක් තියනවා. එකක් ඩෙංගු ඇන්ටිජන් ටෙස්ට් එක. ඒක මුල් දවස් දෙකතුනේදිම කරන්න පුළුවන්. පළවෙනි වතාවට ඩෙංගු හැදෙන කෙනෙක්ගෙ මේක ඉහළ ප්‍රතිශතයකින් පොසිටිව් වෙනවා. නමුත් දෙවන වතාවට හැදෙන අයගෙන් 50%කගෙ විතර, හැදිලා තියෙද්දිත් නෙගටිව් වෙනවා. වැඩිපුර අමාරු වෙන්නෙ දෙවෙනි තුන්වෙනි වතාවට ඩෙංගු හැදෙද්දි නිසත්, ටෙස්ට් එක නෙගටිව් වුණහම, ආ ලෙඩක් නෑ කියල සන්තෝස වෙන්න බැරි හින්දත්, මේකෙ වටිනාකම එච්චර නැහැ.

      අනික් ටෙස්ට් එක ඩෙංගු ඇන්ටිබොඩි ටෙස්ට් එක. ඒක ලෙඩේ හැදිලා දවස් 6ක් විතර ඉන්න ඕන කරන්න. හැබැයි ඒක ඉතාම ඉහළ ප්‍රතිශතයකින් නිවැරදි ප්‍රතිපල දෙනවා. නමුත් සාමාන්‍යයෙන් ඩෙංගුවලින් ගොඩක් අමාරු වෙන්නෙ, දවස් 4-5 අතරෙ වගෙ. ඇතැම් අයට ඊටත් කලින්. එහෙම බැලුවහම, හොඳටම අමාරු වෙලා, සනීප වෙනකොට වගේ කන්ෆර්ම් කරගන්න පුළුවන්. :P මේකෙදි, IgM පොසිටිව්නම්, වත්මන් ආසාදනය ඩෙංගු ලෙසත්, IgG පොසිටිව්නම්, කලින් ඩෙංගු වැළඳී ඇති ලෙසත් සැළකෙනවා.

      තෙරියා?

      ඉතින්, ඔය විදිහට බැලුවහම, ලෙඩේ "කන්ෆර්ම්" කරගැනිල්ල ටිකක් පැටලිලි සහගතයි. ඒ හින්දා, ඩෙංගි වෙන්න පුළුවන් කියන ලක්ෂණ සැළකිල්ලට අරගෙනයි ප්‍රතිකාර කරන්නෙ. රෝග ලක්ෂණ ඇරුණහම, රුධිර පට්ටිකා සංඛ්‍යාව (platelet count), සුදු රුධිරාණු සංඛ්‍යාව (WBC), PCV/ HCT අගය ඒ සඳහා උපකාරී වෙනවා.

      සාමාන්‍ය වෛරස් උණකට වුණත් ප්ලේට්ලට් කවුන්ට් එක අඩු වෙනවා. කලින් කිව්වා වගේ, එක දෙයකින් විතරක් ඔන්න ඩෙංගු, ඔන්න ඩෙංගු නෑ කියන්න අපහසුයි. හුඟක් කරුණු සැළකිල්ලට අරගෙනයි ඒ බව නිශ්චය කරගන්න පුළුවන් වෙන්නෙ.

      Delete
    4. ඔව් තේරුණා... ඒ කියන්නේ ටෙස්ට් එකටත් වඩා ඩොක්ටගේ පලපුරුද්දයි වටින්නේ වගේ... ස්තුතිවේවා... :)

      Delete
  12. අම්මේ ඩෙංගු... මගේ පුතාට හැදුනේ මාස 5 දී....පොඩිම පොඩි අතට කටු ගහනකොට අඬපු හැටි මතක් වෙනකොට තවත් බය හිතෙනවා.යන්තම් හොඳ උනා.දැන් වයස 3යි.තවම ඔය ඩෙංගු වසංගතය අඩු වෙලා නැහැනේ....

    ReplyDelete
    Replies
    1. ඕඕ, කාලෙන් කාලෙට වැඩි වෙනවා වසංගතේ.

      Delete
  13. මේ රෝගී තත්වය සම්බන්දව නොදන්න බොහෝ දේ ගැන දැනුවත් කර පොස්ටුවට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  14. බොහොම වැදගත් ලිපියක් නංගි. නොදන්නා දේ බොහොම‍යි. අපේ ගෙදරත් පොඩි පැටියෙක් ඉන්න නිසා මට වටිනවා මේ ලිපිය. බොහොම පින් මේ සත්කාරයට.

    ReplyDelete
  15. මටනම් සැහෙන්න වැදගත් ලිපියක් බොහෝම ස්තුතියි

    ReplyDelete
  16. එතකොට නලිනි, ඩෙංගු රක්තපාත උණ හැදුනම අනිවාර්යයෙන් මැරෙනවා කියල එකක් නෑ නේ? බලාපොරොත්තු තියාගන්න පුලුවන්?.

    මම කල්පනා කරන්නේ ඔයා කලාවගේ සරල බාසාවෙන් මේ වගේ ලෙඩරෝග ගැන දන්න ටික අපිට කියලා දෙන්න හරි හැටි වැඩපිළිවෙලක් නැති එක ගැනයි.

    ReplyDelete
    Replies
    1. නැහැ, ඉන් 1%ට එකකට තමයි දරුණු විදිහට රුධිර පීඩනය අඩු වෙලා අවයවවලට හානි වෙන්නෙ.
      නමුත් හරි විදිහට නිරීක්ෂණය කරලා, නිසි අයුරු දියර නුදුන්නොත්, අනික් අයටත් සෑහෙන්න අමාරු වෙන්න පුළුවන්.

      Delete
  17. හ්ම්ම් ඔන්න අපේ දොස්තර නෝනා කතන්දර වලට අමතරව දැනුමත් දෙනවා. අර එක කතාවක අපි දාපු කමෙන්ට් කෝ ? ඔක්කොම හිඳිලනෙ..

    ReplyDelete
    Replies
    1. ඔහ්, ඒ කොයි කතාවෙද? මම පබ්ලිෂ් කරනව කියල හිතාගෙන ඩිලීට් කරලද?

      Delete
  18. හප්පා.. එහෙම බැලුවාම මේකත් මහ කරුම වසංගතයක්නේ.... ලෙඩේ හොයාගන්නත් පුදුම සටනක් කරන්න වෙනවා...

    දැන් මේ ටිකේ ඩෙංගු වලින් මැරිච්ච කතා අඩු මදුරුවෝ අඩු නිසාද මන්දා... දැන් අවුරුද්දකට කලින් නම් මේ වෙලාවට ගේ ඇතුලේ ඉන්න බැරිවෙන තරම් මදුරුවො පිරිලා... ඒත් දැන් නෑ... කාණු ටික එහෙම සුද්ධ කරලා දැම්ම තමයි.. ඒත් මේ අවට ඉන්න මිනිස්සුන්ට නම් ඒවයේ ගානක් නෑ.. තාමත් කුණු බෑග් එක උදේ පාන්දර ගෙනල්ලා කාණුවට දාලා යනවා...

    ReplyDelete
  19. බොහොම ස්තුතියි ඩොක්ටර් මේ වගේ වැදගත් දෙයක් බොහොම සරලව ලස්සනට කියල දීපු එකට. ඩෙංගු වලට අර ගස්ලබු දළු එහෙම දෙන එක හොඳද? සමහරු හොඳයි කියල කියනවා. එක එක පත්තර වලත් ලියල තිබුණ නේද?

    ReplyDelete
  20. හරිම වැදගත් මේ දැන ගත් කරුණු.. ආයෙම ඩෙංගු වසංගතය පැතිරීගෙනනෙ... මේ දේවල් දැනගෙන ඉන්න එක වටිනවා...

    අවිවේකී ජීවිතේ ලියන්නත් වෙලාවක් හොයා ගන්න අපි වෙනුවෙන්..

    ReplyDelete
  21. ගස්ලබු දළු ගැනනම් මම කියන්න දන්නෙ නැහැ. දැනට ප්‍රතිකාරවලට රෝහලේනම් පාවිච්චි කරන්නෙ නැහැ. පට්ටිකා සංඛ්‍යාව අඩු වීම රෝගයේ එක් ලක්ෂණයක් වුණත්, හුඟක්ම මරණ සිද්ධ වෙන්නෙ ඒක හින්දා නෙවෙයි.

    ReplyDelete
  22. හොඳ සටහනක්. අනේ මේක මනක්කල්පිත කෙටිකතාවක් වේවා කියා හිතෙන දෙයක්. ඒත් අවාසනාවට මේක තමා සත්‍ය තත්වය. හාට් බීට් එක කොන්ටෝර්ල් කරගෙන කියෙව්වේ. මට මෙඩිකල් සීන්ස් කියෙව්වත් කලන්තේ දානවා.

    මම මාධ්‍ය වලින් අහලා තියෙනවා පිරිසිඳු ජලයේ ඉන්නේ එකෙක් විනා පල් වතුරේ ඉන්න එකෙක් නොවේය, බිත්තර වියලි ස්ථානයක වසරකට වඩා අක්‍රීයව පැවතී සක්‍රිය විය හැක [ඒ කිව්වේ මීට වසරකට පෙර ඒ පළාතේ උන්නු ඩෙංගු ලෙඩෙකු ගේ රෝගය ඔබට බෝ කරන්න උන්ට පුළුවන්] වගේ කතා. මේකා බෝ වෙන්නේ නොසිතු විරු තැන්වල නිසා මිනිස්සු ලොකු ලොකු වලවල් වහලා මූට ඉන්න පුළුවන් පුංචි තැන් ඉතුරු කරන එක පුදුමයක් නොවේ.


    ReplyDelete

  23. 2004 අප්රෙල් මසේ දවසක, මම අපේ නෝනාව ඉස්පිරිතාලේ නැවත්තුවා. දුවට වයස අවුරුදු දෙකයි.
    නෝනාගේ blood count එක එන්න එන්න අඩු උනා. මම හිතට ආපු නරක සිතුවිලි බලෙන් අයින් කරා.හවස රොහලේ ඉදන් ගෙදර ඇවිත් කෙල්ල එක්ක හිටපු අපේ අම්මව ගෙදර බස්සලා , රෑ එලි වෙනකන් කල්පනා කලා.තෙරුවන් සරනින්,එහෙම කරදරයක් නම් උනේ නෑ
    සමාවෙන්න දිගට දිගට මගේ වල් පල් ලිව්වට. ඔබ ඒ අඳුරු මතකය අවදි කලා

    ReplyDelete
  24. හොඳ සටහනක්.

    ReplyDelete