Thursday, November 24, 2011

නමක් නැත.

මහපොළොව හා ඉන් උපන් දෙය වැළඳ ගන්නට සූදානමින් අපි උපදිමු. එනමුදු වයසින් වැඩෙත්ම, ඒ සියල්ල පිළිකුල් කටයුතු ලෙස සළකන්නට අප උගනිමු. කුඩා කල පාවහන් ගලවා දුවන දරුවෝ, පාවහන් පලඳින්නට හුරු වෙති; පස්, වැලි අතගාමින්, මඩ අනිමින් වැඩුණු දරුවෝ, අත් සෝදන්නට පෙළඹෙති; මවුපියන් විසින් ඇඟ සෝදවාලීම වදයක් ලෙස දුටු දරුවෝ, කිලිටි වූවාට කම් නැතැයි හඟින ඇඳුමකින් මිස බිම වාඩි වෙන්නට මැළි කරති.

මහපොළොව ප්‍රතික්ෂේප කරන්නන්ව මහපොළොවද පෙරළා ප්‍රතික්ෂේප කරයි. අකමැත්තෙන්, බියෙන් පොළොව මත පා තබා යන්නාට, පොළොවද දඬුවම් කරයි.

මා නොවැළලුණු තැනක් මේ මහපොළොව මත නැත. එය සංකල්පයක් පමණක් වියහැකි නමුදු සිතට සතුටක් එක් කරයි. ගෙමිදුලට පා තැබුවහොත්, පය ගැටෙන පස් පිඩක, වරෙක මගේයයි සිතා සිටි කොටස් තිබෙනු විය යුතුය.

මගේ පමණක්ද?

ලොව කවුරුන් ගත්තද, ඔවුන් නොවැළලුණු තැනක් මේ මිහිපිට නැතුවා විය යුතුය. එසේනම්, මගේ පය ගැටෙන පස් පිඩෙක, යම් දිනෙක, මුළු ලොවම වැළලී සිටියා විය යුතුය.

අද බොහෝ දුරස්ව වෙසෙන මගේ ආදරණීයයන්ද, මේ පස් පිඬ තුළින් මා සමීපයෙහිම වෙසෙනු විය යුතුය. පාවහන් පැලඳ, ඔවුන්ගෙන් දුරස් වීමට මා වෑයම් කරනුයේ ඇයි?

Saturday, November 12, 2011

තේ

"මට ප්ලේන්ටියක් දෙනවද?"
මේ ඉල්ලීම මොන තරම් සරලද?


අපට තේ හඳුන්වලා දුන්නෙ සුද්දො වුණාට, සුද්දන්ට බනින සිංහලයන් පවා තේ පිළිගන්නෙ අපේ සංස්කෘතියෙ වැදගත් අංගයක් හැටියට. ලෝකෙ අනික්  මිනිස්සු ටී කියන දේට නෙවෙයි අපි ටී කියන්නෙ. අපේ ටී යනු කිරි සීනි හොඳින් දැමූ, වැඩි සැළකිල්ල පිණිස චොකලට් හෝ මෝල්ට් වර්ගත් මිශ්‍ර කෙරුණු පානයක්. ප්ලේන්ටී කිව්වත් ඒකට ආදරේ තරමට සීනි සහ ඉඟුරු මිශ්‍රව තියෙනවා; එහෙම නැත්නම් හකුරු හෝ වෙනත් පැණි රසක් එක්ක.
අමතර මුකුත්ම නැතුව, ලෝකෙ අනික් මිනිස්සු ටී කියන ජාතිය ඕනෙනම්, ඒ හැම එකක්ම වෙන වෙනම එපා කියලා ඉල්ලන්නට ඕන. එහෙම බොන කෙනාට එක්කො මොකක් හරි ලෙඩක් ඇති, එහෙමත් නැත්නම් කෙට්ටු වෙන්නට හදනවා ඇති, මළ කෝලම්, කියල තමයි මිනිස්සු හිතන්නෙ.

අගෝස්තු මාසෙ රුසියන් පූසො ලංකාවට ආවා.  මම ඒගොල්ලො හම්බෙන්නට යනවිට සති දෙකක් විතර පහු වෙලා. මාව හම්බුණාම කියන්නට කේළම් ගොඩක් ඒ දෙන්නා එකතු කරන් හිටියා. එයින් ප්‍රධාන එකක් තේ.

"ඕගොල්ලන්ගෙ හෝටල්වල තේ දෙන්නෙ නෑනෙ." ඔවුන් කියා සිටියා. "අපි ආවෙ ලෝකෙ හොඳම තේ මෙහෙ තියෙනවා කියල හිතාගෙන.."
"රෝමෙට ගිහාම රෝමන් කාරයො විදිහට ඉන්න ඕන." මමත් ඇරියෙ නෑ. "ඕගොල්ලොන්ගෙ විදිහට තේ ජීවිත කාලෙ පුරාම බොනවනෙ. මෙහෙ විදිහට තේ හම්බෙන්නෙ මෙහෙදි විතරයි. ලංකාව රස විඳින්නනම්, අපි වගේ තේ බොන්නත් ඕන."
"ඒ වුණාට ත්‍රිකුණාමළයෙදි අපි හිටිය හෝටලයෙන් ඔය විදිහට තේ දුන්නහම, එක් යුරෝපීයයෙක් තේ ප්‍රතික්ෂේප කළා."
"හරි මෝඩයි. ගෙදරදි වගේම තේ බොන්නනම් ගෙදරම ඉන්න තිබුණනෙ."

මම කොච්චර තර්ක කළත් හැන්දෑ වෙනකොට විතාලි බොහොම අහිංසක ඉල්ලීමක් කළා. "අනේ, හෝටලේ අයට කියන්න පුළුවන්ද අපිට පෝච්චියකට තේ ගෙනත් දෙන්න කියලා? අපි කියන එක සමහරවිට ඒ අයට තේරෙන්නෙ නැතුව ඇති."
හෝටලේ අයට පැහැදිලි කරලා කිව්වහම ඔවුන් එක්කෙනාට තේ දෙකක් පමණ තියෙන විදිහට පෝච්චියක් ගෙනත් දුන්නා. රාත්‍රී ආහාරයෙන් පසුව අපි තේ පානයට සූදානම් වුණා.

මම අමාරුවෙන් තේ බිව්වා.
රුසියන් පූසො සන්තෝසෙන් තේ බිව්වා.

තේ බොන ගමන් අපි සමොවාරයන් ගැන කතා කළා. හැම දෙනාම එක්ව මුල සිට අග දක්වා, මේසයෙහි ඇති සියළු කෑම බීම වර්ග අවසන් කරන, එක්කෙනෙක් පානය නවතන්නේනම් සියල්ලන්ම ඒ පානය නවතන ඔවුන්ගෙ සංස්කෘතිය ගැන ඔවුන් කිව්වා.

අපේ ගෙදර ගිය දවසෙ හවස, අම්මා විශාල තේ පෝච්චි දෙකක්ම හදලා දුන්නා. සමූහ පානයේ සංස්කෘතිය අමතක කරලා, දෙන්නත් එක්ක අර තේ පෝච්චි දෙකම බීගෙන බීගෙන ගියා. ඊට පස්සෙ බොහොම සන්තෝසෙන් හිනා වෙලා, මුරු මුරු ගාලා තෘප්තිමත් හඬින් මෙහෙම කිව්වා:
"ලංකාවට ආවත් හරි, හිතේ හැටියට තේ බිව්වෙ අද. බොහොම ස්තුතියි."


එහෙම දවසුත් තියෙනවා.



රෝහලේ රෝගීන්ට හා කනිටු කාර්ය මණ්ඩලයට රෝහලෙන්ම තේ සපයනවා. අනික් සේවකයන්ට තේ අවශ්‍යනම්, තමන් සපයගන්නට ඕන. ඒ නිසා හුඟක් තැන්වල තේ සමාජ තියෙනවා. කට්ටියම එකතු වෙලා, මාසෙකට යම් මුදලක් දාලා, තේ හදාගෙන බොනවා. හුඟක් වෙලාවට හෙදියනුත් වෛද්‍යවරුනුත් එකම තේ සමාජයක ඉන්නෙ. එහෙම වෙලාවට තේ හදන්නෙ හෙදියන්ගෙන් කෙනෙක්. ඔවුන්ගෙ සංඛ්‍යාව වැඩි නිසා, ඒ වැඩේට පහසුවෙන් එක්කෙනෙක් නිදහස් කරන්නට පුළුවන් නිසා. එයිනුත් බොහෝවිට ඒ වැඩේට අහු වෙන්නෙ කනිටු හෙදියන්.

එක එක්කෙනාගෙ රුචිකත්වය වෙනස්.

සමූහයක් එකතු වෙලා තේ හදාගෙන බොන මෙහෙම තැන්වල කොහොමත් පොඩි ගැටුම් තියෙනවා. කවදාවත් කවුරුවත් සෑහීමකට පත් වෙන්නෙ නෑ.

මම හිටිය සමහර තැන්වල මේ ගැටුම් උග්‍රයි.
"මේකෙ කහට මදි. මේ විදිහට බොන්න පුළුවන්ද?"
"මෙච්චර කිරි දාලා බොන්න පුළුවන්ද? පුඩිමක් වගෙ! කිරි තේ බොන්නයි ඉල්ලුවෙ, කන්න නෙවෙයි!!"
"අය්යෝ කට ඇලෙනවා. ඇයි මෙච්චර සීනි දාන්නෙ?"
"අනේ කට ගාවට එනකම් පුරවලා!"
"මට ප්ලේන්ටි."
"මට අඩු සීනි ප්ලේන්ටියක්. ඇයි අනේ, හැමදාමත් කියන්න ඕනද?"

දෙන දෙයක් දෙන හැටියකට කාලා බීලා ඉන්න මම ඔහේ බලා ඉන්නවා.
"ඔයාට බොන්න පුළුවන්ද ඔහොම?"
"ගානක් නෑ." මම කියනවා.
"එහෙම පුළුවන්ද? තේ එක හොඳට ගානට තියෙන්න ඕන. කැමති විදිහ කියලා හදවගන්න."
"කියන්න කියන්න. කොහොමද ඕන?" හැමෝම අහනවා.
"එහෙනං ඔය අනික් අයගෙන් අඩු කරන කිරි සීනි සේරම මගෙ එකට දාලා ලොකු මග් එකක් ගෙනත් දෙන්න."



එහෙම දවසුත් තියෙනවා.



ඉස්සර දවසක වෙනත් දැඩි සත්කාර ඒකකයක රාත්‍රී සේවයෙ යෙදී සිටියදී වාට්ටුවකින් ඇමතුමක් ලැබුණා. ඒ උදව්වකට. ඔවුන්ගෙ අධි උපස්ථාන ඒකකයෙ සිටින රෝගියෙකුට බෙහෙත් වගයක් ලබා දීම පිණිස විශේෂිත නාලයක් ඇතුළු කර දෙන ලෙසටයි ඉල්ලීම.

මම යනකොට හෘද ඒකකයෙ ජ්‍යෙෂ්ඨ රෙජිස්ත්‍රාර්වරයා ඇවිත්. රෝගියා දහසය හැවිරිදි ගැහැණු දරුවෙක්. නුවර එළිය හෝ බදුල්ල වගෙ කඳුකර පැත්තකින් මාරු කර එවූ හෘද රෝගියෙක්. තදබල උණෙන් පෙළුණු ඇගේ හෘදය වටා දියර පිරෙන්නට පටන්ගෙන. එතකොට හෘදයට හරි හැටි ක්‍රියා කිරීමට බැහැ. හෘද ඒකකයෙ වෛද්‍යවරයා සිරින්ජයකින් ඒ දියර ඉවත් කරමින් හිටියෙ. ඔහුගෙ වැඩේ අවසන් වෙන තුරු මම ළඟට වෙලා බලා හිටියා. ඔහු බොහොම මහන්සියෙන් ඉවසීමෙන් දියර ඉවත් කිරීමේ නියැළුණා. හුස්ම ගැනීමේ අපහසුවෙන් හා පපුවේ වේදනාවෙන් පෙළුණු දැරිය දිගටම කෙඳිරි ගාමින් හිටියෙ. ඇගේ අම්මා හොඳටම වෙහෙසට පත් වෙලා පැත්තකින් වාඩි වෙලා හිටියා. වාට්ටුවෙ වෛද්‍යවරියටත්, හෙදියටත් හොඳටම තෙහෙට්ටුයි. ඔවුනුත් මුළු රාත්‍රියම මේ රෝගියා වෙනුවෙන් මහන්සි වෙන්නට ඇති. ඔවුන් ටිකක් ඈතින් අසුන් ගෙන බලා සිටියා.

"මට ප්ලේන්ටියක් දෙනවද?" දැරිය හදිසියෙම  ඇහුවා.

"චුට්ටක් ඉන්න දුව. මේ වැඩේ ඉවර වෙලා දෙන්නම්." මම කිව්වා.

පැයක් විතර ගත වෙන්නට ඇති. මමත් ටිකක් නොසන්සුන්. මොකද, මගෙ ඒකකයෙ රෝගීන්ව පොඩ්ඩකට අනාථ කරලා තමයි මම මෙතනට ඇවිත් ඉන්නෙ.
කොතෙක් උත්සාහ කළත් තවත් දියර ඉවත් කළ නොහැකි වුණු තැන හෘද ඒකකයෙ වෛද්‍යවරයා වැඩේ නැවැත්තුවා. ඊලඟට මගේ වාරය. කෙමෙන් දුර්වල වෙමින් යන ඇගේ හෘදයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන බෙහෙත් ලබා දීම පිණිසත්, හෘදයෙ තත්වය මැන ගැනීම පිණිසත් තමයි ඒ නාලය ඇතුළු කළ යුතුව තිබුණෙ. කල් දාන්නට පුළුවන්කමක්  තිබුණෙ නැහැ.
ප්ලේන්ටිය කල් දැමුණා.

නාලය ඇතුළු කර, බෙහෙත් පටන් ගත් පසු මම ඉක්මණින් ආපසු ගියා. මගේ ඒකකයට ගිහින් විනාඩි කිහිපයක් එතන ප්‍රශ්න සමග ගැටෙන අතරතුර මට කල්පනා වුණා අර ළමයට තවත් ඖෂධයක් දුන්නනම් හොඳයි කියලා. ඒ ගැන වාට්ටුවෙ අයට කීම පිණිස මම එතනට දුරකථන ඇමතුමක් ගත්තා.
දුරකථනය සෑහෙන වෙලාවක් නාද වුණා. අන්තිමේදි එතන හෙදිය රිසිවරය එසවූවා.
"අර ලෙඩාට.."
"එයාගෙ හෘදය නැවතුණා. බේර ගන්න බැරි වුණා.." ඇය කිව්වා.
පසුබිමින් දැරියගේ අම්මා විලාප තියන හඬ නොකඩවා ඇසුණා. මම රිසිවරය තැබුවා.


"මට ප්ලේන්ටියක් දෙනවද?"
ඇගේ අහිංසක ඉල්ලීම මගේ කන්වලට ආයෙ ආයෙත් ඇහුණා.


එහෙම දවසුත් තියෙනවා.

Wednesday, November 9, 2011

උපවාසය

අපි පොඩි කාලෙ වැඩිහිටියන් සමග එකට එක කිව්වෙ නෑ. මේ නිසා වැඩිහිටියන්ගෙ හිත රිදවීමට අවශ්‍ය වූ විට ඒ සඳහා වෙනත් ක්‍රම භාවිතා කරන්නට සිදු වුණා.

උයන පිහන කෙනෙක්ගෙ හිත රිදවීමට තියෙන පහසුම ක්‍රමය තමා, ඒ ඉවූ දේවල් නොකා සිටීම; එහෙමත් නැත්නම් මහ ගොඩක් කෑම බීම ඉතිරි කිරීම. ඒ දවස්වල අම්මාට එරෙහි යුද්ධවලදි මම භාවිතා කළේ මේ ආයුධය.

අපේ ගෙදර ආහාර සංස්කෘතිය බොහොම නිදහස්. බඩගිනි වෙන වෙන හැටියට ඒ ඒ කෙනා ගිහින් බෙදාගෙන කෑමක් තිබුණෙ. වෙනම කෑම මතක් කිරීමක් කළානම් ඒ කළේ සාස්පාන් සේදීම සඳහා කෑම අස් කිරීමට සූදානම්ව රතු නිවේදනය නිකුත් කරද්දි. එක එක්කෙනා එක එක වෙලාවලට කෑවත්, කවුද කෑවෙ, කවුද නොකෑවෙ කියන එක හඳුනගන්න අපූරු ඉවක් අම්මාට තිබුණා.

කතන්දර පොතක් දිගහැර ගත්තහම ලෝකය අමතක වෙන ගතියක් තිබුණු නිසා මට නිතර මේ රතු නිවේදනය ලැබුණෙ තර්ජනයක හඬින්. සමහර වෙලාවට මේ නිවේදනය ලැබෙනකොටත්, මම ඊට ඉස්සර වේලට කෑ පිඟානත් ඇඳේ පැත්තකින් තියාගෙන, වේළුණු කෑම සහිත අතත් උස්සගෙන, තනි අතින් පොත පෙරළමින්, ඇඟෙන් බාගයක් හිරි වැටිලා, බොහොම අමාරුවෙන් තමයි ඉන්නෙ. පොත රස වැඩිනම් "මට බඩගිනි නෑ." කියලා කෑම ප්‍රතික්ෂේප කරන එක මගෙ පුරුද්ද. මොකද, ඔය අන්තිමට කන්න යන කෙනාට තමා සාස්පාන් හෝදන්නට වෙන්නෙ. හැම එකම අවසාන මොහොත දක්වා කල් දාන හේතුවෙන්, හුඟක් දවසට මටමයි ඒ වැඩේ කරන්නට වෙන්නෙ. එතකොට මගෙ කතන්දර කියවීමට බාධා වෙනවා. ඊට වඩා නොකා ඉන්න එක සැපයි. එහෙම දවසට අම්මත් බල කළේ නෑ. බැන්නට මට ඇහුණෙත් නෑ.

තරහ වෙන දවසට තත්වය වෙනස්.
"කන්නෙ නෑ! කන්නෙම නෑ!!" මම හිතා ගන්නවා. "හිටුකො!!!"

කන්නෙ නෑ කියලා හිතා ගන්න දවසට, එහෙමත් නැත්නම් කෑම නැති දවසට බඩගින්න වැඩිපුර දැනෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම දවසට අර තරම් ලේසියෙන් පොතක ගිලෙන්නටත් බෑ. කන්නෙ නැති එකමයි හිතේ වැඩ කරන්නෙ. ඉතින් උගුලට අහු වුණු වැලහින්න වාගෙ නොසන්සුන්ව ඇඹරි ඇඹරි ඉන්නවා.
"හිටුකො. කන්නෙම නෑ. දන්නෙ නෑ මගෙ හැටි. බඩගින්නෙ මැරෙනවා. එතකොට තේරෙයි."

අනික් අය කෑම බෙදා ගන්න සද්දෙ එහෙම, ඒ දවසට හොඳින් ඇහෙනවා. අම්මා ඇවිදින සද්දෙ, අම්මා මොකද කරන්නෙ යන වග වඩාත් හොඳින් ඇහෙනවා.
"නොකා මැරෙනවා."
අම්මා මට කතා කරයිද කියා නොඉවසිල්ලෙන් ඉන්න ගමන් මම මටම මතක් කර ගන්නවා.

අම්මා ඒ තරම් හදිසි වෙන්නෙ නෑ. ටිකක් වෙලා බලලා, තමන්ගෙ ආඩම්බරෙත් තියාගෙන, හරියට හැමදාම කරන සාමාන්‍ය කතාබහක් වගේ, දොර රෙද්ද මෑත් කරල, "කන්ඩ." කියනවා.

මට ඉතින් එච්චර ඕනත් නෑ; "ක" යන්න ඇහෙනකොට මම නැගිටලා දුවනවා.
අවුලක් නෑනෙ. අම්මා පැරදිලා ඉවරයිනෙ.

ඔහොම දවසක් මම තරහ වුණා.
"කන්නෙ නෑ. කන්නෙම නෑ...."

ඉතින් මම ඉන්නවා.

අනික් අය කන බොන සද්දෙ මට ඇහෙනවා. අම්මා එහෙ මෙහෙ යන සද්දෙ මට ඇහෙනවා.
ගෙදර වෙන දේවල් සේරම මට ඇහෙනවා.
මට කන්ඩ කතා කරන සද්දෙ විතරක් මට ඇහෙන්නෙ නෑ.

ඒත් මම ඉන්නවා.
වේලක් විතර පහු වුණා.
මම නිකං අම්මට පේන්ඩ වගෙ එළියට ගිහින් වතුර බීලා ආවා. අම්මා වෙන වැඩක්.

හවස තේ හදන සද්දයක් ආවා. මම මගේ තීරණය ප්‍රවේශමෙන් සළකා බැලුවා: මම හිතා ගත්තෙ, මම ඒ හිතා ගන්න වෙලාවෙ අදහස් කළේ කෑම නොකා ඉන්නවා කියලනෙ. තේ වෙනස්....
මම තේ බිව්වා.

රෑටනම් අම්මා කොහොමත් සාස්පාන් අස් කරන්නට පෙර කතා කරන බව මම දැනගෙන හිටියා. උනන්දුවෙ තරමට පරිණාමය වන්නට කන්වලට හැකියාවක් තිබුණනම් එදා මට හාවෙක් වෙන්නට තිබුණා.
අම්මට එච්චර ගානක් නැතුවා වගෙයි. සමහරවිට අනික් උන් මගෙ පංගුවත් එක්කම කාලා ඇති; එතකොට කොහොමද අම්මා දන්නෙ මං නොකෑ බව?
මම ටිකක් ගිහින් කුස්සිය පැත්තෙ කැරකුණා. ප්‍රතිඵල නැත.
මම ස්ව කැමැත්තෙන් සාස්පාන් සේදීම භාර ගත්තා.
ප්‍රතිඵල නැත.

පහුවදාද එසේමය. එක්කෝ අම්මාට ගානක් නැත. එහෙමත් නැත්නම්, රැයක් ගෙවුණා කියා අම්මාට අමතකව නැත!

මම මගෙ තීරණය නැවත විමර්ශනයට ලක් කළා.
මම හිතා ගත්තෙ, අම්මා ඉව්ව කෑම නොකා ඉන්නවය කියලා. වෙන කෑම ජාති ගැන එතනදි අදහස් වෙන්නෙ නෑ.

ඒ දවස්වල අප්පච්චි වැඩ කළේ දුර පළාතක නිසාත්, මල්ලි පුංචි නිසාත් විස්කෝතු වගෙ දේවල් ගෙදර නිතර තිබුණා. ඒවා අම්මා ඉවූ දේවල් නොවේ. ඒවා මට කැපයි.

එක වේලක් නොකා ඉන්නකොට ඇවිත් "කන්ඩ" කියන අම්මාට දවස් ගානක් එහෙම නොතේරෙන්නෙ කොහොමද මම අම්මා උයන දේවල් නොකා ඉන්න බව? මම දවස් පහක් එහෙම හිටියා.

අනික් මිනිස්සු කනබොන වෙලාවලදි මම නිතරම එළිපහළියෙ ගැවසුණා; විශේෂයෙන් අම්මා කන බොන වෙලාවලදි.
මම කිසිදු පෙරැත්ත කිරීමකින් තොරව ගෙදර වැඩවල යෙදුණා- විශේෂයෙන් කුස්සිය අවට වැඩවල. සාස්පාන් හේදිලි, කුස්සියෙ මේසෙ පිහ දැමිලි, තේ හැදිලි, පොල් ගෑම්.... වැඩද නැත්තෙ කරන මිනිහෙක්ට?

ප්‍රතිඵල නැත.

දවස් පහකට පස්සෙ, මං නිකං මං නෙවෙයි වගේ ගිහින් අම්මා ඉව්ව කෑම බෙදාගෙන කෑවා. අම්මා මුකුත් කිව්වෙ නෑ.

ඊට පස්සෙ කවදාවත් මං උපවාස කළේ නෑ.

Friday, November 4, 2011

දන්න අය දන්නවා.....

නොයෙක් දේවල් ගැන මිනිස්සු විවිධාකාර මත දරනවා. උදාහරණයක් විදිහට ඇඳුම් අඳින්නෙ ඇයි කියන කාරණාව ගත්තොත්, නොයෙකුත් උත්තර හම්බෙන්නට පුළුවන්. නමුත් දන්න අය දන්නවා, මිනිස්සු ඇඳුම් අඳින්නට පුරුදු වුණේ අත පිහ ගැනීමට බව.

බොහෝම ඉස්සර කාලෙ මිනිස්සු ඇඳුම් ඇන්දෙ නෑ. කෑවට පස්සෙ, අත් හෝදගෙන, අත් දෙක ඉස්සරහට දික් කරගෙන ඉන්නවා වේළෙනකම්. කොටින්ම ආපන ශාලා ආදියෙහි වෙනම කොටසක් වෙන් කරලා තිබුණා මෙහෙම අත් වේළන්නන් වෙනුවෙන්. අව්වෙන් අත් වේළන්නට මිනිස්සු අකමැති වුණු හින්දා, සිසිල් මඳ පවන සහිත එළිමහනක, වාඩි වෙන්නට බංකු තියලා, ඒ ඉදිරියෙන් අත් වේළෙනතුරු බල බල ඉන්නට මලින් බර පුංචි උයන් කෑල්ලක් එහෙමත් හදලා තිබුණා. කොටින්ම, මිනිස්සු ආපනශාලාවකට යන්නට පෙර සොයා බලන්නෙ එතන කෑම හොඳද කියලා නොවෙයි, අත් වේළන උයනෙ තියෙන මල් මොනවද කියලා. මේ හින්දා ආපනශාලා හිමියන් අතර තරගයක් ඇති වුණා තමන්ගෙ අත් වේළන උයනෙ වෙනසක් තුළින් පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමට; මොකද, කෑමනම් ඉතින් හැමතැනම එක වගේනෙ.

එක් ආපනශාලා හිමියෙක් වෙනස්ම විදිහකට කල්පනා කළා. මොන මල්ද කියලා තෝරනු වෙනුවට ඔහු තමාගෙ අත් වේළන උයනට ගෙන්නුවා මිනිහෙක්.

ඔව්, මිනිහෙක්.
මිනිහෙක් කිව්වට නිකම්ම මිනිහෙක් නෙවෙයි. බොරු කීමට දක්ෂ මිනිහෙක්. මේ මිනිහා අත් වේළන අය ඉදිරියෙ හිටගෙන බොරු කියන්නට වුණා. මිනිස්සු මේ මිනිහගෙ බොරු අහලා පුදුමයට පත් වුණා. ඒවා විශ්වාස කරලා රැවටුණා. පස්සෙ ඒවා බොරු බව දැනගෙන තවත් පුදුම වුණා. පුදුම වෙලා ඉවර වුණාට පස්සෙ තමන්ටම හිනා වුණා.

ඉක්මණීන්ම අනික් ආපන ශාලා හිමියනුත් බොරු කාරයන්ව හොයා ගත්තා. බොරු කීම රැකියාවක් කර ගත් මිනිස්සු එන්න එන්නම වැඩි වුණා. ඔවුන් අතරෙත් තරගයක් ඇති වුණා. සමහර විශාල ආපනශාලාවල බොරු කියන මිනිස්සු කීපදෙනෙක් එකවර, එක පෙළට සේවය කරන වෙලාවල් පවා තිබුණා. වඩා හොඳින් බොරු කියන්නට දත් මිනිස්සු තමන්ගෙ හැකියාව වෙනුවෙන් වැඩිපුර සැළකිලි බලාපොරොත්තු වුණා. වඩාත් හොඳින් බොරු කියන බොරු කාරයින් ඉන්නා තැන්වලට ගොස් අත් වේළීම නම්බුවක්යැයි සාමාන්‍ය මිනිස්සු කල්පනා කළා.

කෑම බීම වලට වඩා බොරු කාරයින් ගැන මිනිස්සු සැළකිලිමත් බව දුටු ආපනශාලා හිමියන් බොරු කාරයින්ට වඩාත් හොඳින් සැළකුවා. ආපනශාලාවල ඉතිරි වෙන සියළුම කෑම ඔවුන්ට නොමිළේ දුන්නා. මේ නිසා බොරු කාරයන් ටික ටික තරබාරු වුණා. කොහොමත් කෑම ටික හම්බෙන හින්දා ඔවුන් කම්මැළි වුණා. අලුතින් බොරු ගොතා කියනු වෙනුවට, ඔවුන් හැමදාම එකම බොරු ටික කියන්නට වුණා.

අත් වේළන මිනිස්සුන්ට හැමදාම අහන මේ බොරු අහලාම එපා වුණා. ඒ නිසා ඔවුන් බොරු කාරයන් කියන දේවල් අහන් ඉන්නවා වගේ පෙනුණට, ඉන් එපිට තියෙන උයනෙ මල් දිහා බලන්නට පෙළඹූණා.

ඕනෑවට වඩා කෑම ලැබීමෙන් තරබාරු වී සිටි බොරු කාරයින්ගේ විනිවිදභාවය අඩු වෙලා තිබුණා. මේ නිසා මිනිස්සුන්ට උයනෙ මල් හොඳින් පෙනුණෙ නෑ. එතකොට මිනිස්සු කලබල වුණා.

ඔවුන් ආපනශාලා හිමියන්ට පැමිණිළි කළා. විනිවිදභාවයක් නැති බොරු කාරයින්ව ඉවත් කර නැවත මල් උයන් බැලීමට පහසුකම් සපයන ලෙස ඉල්ලා සිටියා. ඒත් බොරු කාරයින් බොරු ගොඩක් කියා ආපනශාලා හිමියන්ව රැවැට්ටුවා; තමන්ව දිගටම සේවයේ යෙදවිය යුතු බව ඔවුන් ආපනශාලා හිමියන්ට ඒත්තු ගැන්නුවා.

තමන් කැමති පරිදි අත් වේළීමේ මානව අයිතිවාසිකම අහිමි වීම නිසා මිනිස්සු කෝප වුණා. ඔවුන් එකතු වෙලා නඩු කාරයෙක් හොයාගෙන ගියා.

ඒ කාලෙ නඩු අහන්නෙ දැන් වගේ නොවෙයි. නඩු කාරයා කාමරේකට වෙලා ඉන්නවා. එක් එක් පක්ෂය ගිහින් වෙන වෙනම නඩු කාරයා හම්බෙනවා. ඊට පස්සෙ නඩු කාරයා අපක්ෂපාතී තීරණයක් දෙනවා.

ඉතින් නඩු කාරයා කාමරේට වෙලා හිටියා. මුළින්ම ඇතුළට ගියෙ සාමාන්‍ය මිනිස්සු. ඔවුන් තමන්ගෙ චෝදනාව ඉදිරිපත් කළා.
"නඩුකාරතුමනි, ආපනශාලා හිමියන් බොරු කාරයින්ව සේවයේ යොදවා ඇති හින්දා, අපට අත් වේළෙනතුරු මල් බලන්නට විදිහක් නෑ."
ඔවුන් කියා සිටියා. නඩු කාරයා බොහොම කෝප වුණා. ඔහු නැගිටලා අඩි පොළොවෙ හප්පලා මෙහෙම කිව්වා:
"මොනවා?"

ඉතින් මිනිස්සු ආයෙමත් තමන්ගෙ චෝදනාව ඉදිරිපත් කළා. එතකොට නඩුකාරයා ආයෙත් සන්සුන් වෙලා ඉඳගත්තා. ඉඳගෙන අත දික් කළා.
"මොනවද ඔබලා ළඟ තියෙන්නෙ?"
මිනිස්සු මූණෙන් මූණ බලා ගත්තා. හැමෝම ළඟ එක එක දේවල් තිබුණු නමුත් කවුරුත් කැමති වුණේ නෑ තමන් ළඟ තිබුණු දේවල් නඩු කාරයට දීමට. තමන් ළඟ තිබුණු දේවල් දුන් පසු, අනෙක් අය නොදී හිටියොත් තමුන් මෝඩයෙක් වෙන බව හැමෝම කල්පනා කළා.

නඩු කාරයා අත ආපහු ගත්තා. "කමක් නැහැ." ඔහු කිව්වා.

ඊලඟට ආපනශාලා හිමියන් ඇතුළට ගියා. ඔවුන් කිසිම දෙයක් කිව්වෙ නැහැ; නඩු කාරයා අත දික් කරන තුරු හිටියෙත් නැහැ. ඔවුන් තමන්ගෙ සේවකයන්ට අණ කළා ආපනශාලාවල තියෙන හොදම කෑම නඩු කාරයගෙ නිවසට ගෙන යන ලෙසට. ඒ නඩු කාරයට කරන ගෞරවයක් විදිහට. නමුත් අණ කරන ගමන් ඔවුන් සේවකයන්ට ඇස් ගැහුවා.

නඩු කාරයා ඔහුගෙ බුද්ධිමත් ඇස්වලින් ආපනශාලා හිමියන් දිහා බැලුවා.
"කමක් නැහැ." ඔහු කිව්වා.

ඊලඟට ඇතුළට ගියෙ බොරු කාරයින්. ඔවුන් දක්ෂ විදිහට කතා කළා; තමන් දිගටම සේවයේ යෙදී සිටිය යුත්තෙ මන්ද, හෙමින් පිපෙන මල් දෙස බලා සිටීමෙන් මිනිසුන්ගෙ ඉවසීම නැති වී ඔවුන්ට අධික රුධිර පීඩනය හැදෙන්නේ කෙසේද, අසා සිටීම වෙනුවට බලා සිටීම තෝරා ගැනීමෙන් වැඩ කරන කාලය අඩු වන්නේ කෙසේද  වගේ බරපතල කරුණු ඔවුන් සාකච්ඡා කළා.

නඩු කාරයා ඔහුගෙ අත දික් කළා.
"මොනවද ඔබලා ළඟ තියෙන්නෙ?"
බොරු කාරයින් එකිනෙකා සමග තරගයට කතා කරන්නට වුණා. තමන් නඩු කාරයා වෙනුවෙන් කරන්නට සිටින බොහෝ දේවල් ගැන ඔවුන් කිව්වා; එකිනෙකට නොදෙවෙනි ආකර්ෂණීය පොරොන්දු රාශියක් ඔවුන් නඩු කාරයාට දුන්නා. එකවර දිය හැකි දේවල්, කොටස් වශයෙන් දිය හැකි දේවල්, වසර දහයකින් දිය හැකි දේවල් ආදී වශයෙන් විවිධ දේවල් ගැන ඔවුන් පොරොන්දු වුණා.

නඩු කාරයා අත ආපහු ගත්තා. ඔහු බලාපොරොත්තු පිරි දෑසින් බොරුකාරයින් දිහා බැලුවා.
"කමක් නැහැ." ඔහු කිව්වා.

ඊට පස්සෙ නඩු කාරයා කාමරෙන් එළියට ඇවිත් තීරණය දුන්නා.
"මිනිස්සු අත් වේළීම සඳහා අනවශ්‍ය තරම් කාලයක් වැය කරන බව පෙනී යනවා. මේ පිළිබඳව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනවා." ඔහු කිව්වා.

ත්‍රිපුද්ගල කමිටුව කාමරේක රැස් වුණා. අත් වේළීම වෙනුවට මිනිස්සු අත් පිස දැමීමට පුරුදු විය යුතුයයිද, ඒ සඳහා නිරතුරුව බෙල්ලේ රෙදි පටියක් එල්ලාගෙන සිටිය යුතුයයිද ඔවුන් නිර්දේශ කළා.

ඊට පස්සෙ මිනිස්සු බෙල්ලෙ රෙදි පටියක් ගැට ගහගෙන ඉන්නට පුරුදු වුණා. කාලයත් එක්ක වෙනස් වෙවී ඇවිත් අද තියෙන ඇඳුම් බවට පෙරළුණේ ඒ රෙදි පටිය. ඒත් අදත්, මුල අමතක නොකරන හොඳ මිනිස්සු බෙල්ලෙ රෙදි පටියක් ගැට ගහගෙන ඉන්නවා; තමන් මල් බැලීමටවත්, අත් වේළීමටවත් කාලය නාස්ති නොකරන බවත්, අණට කීකරු බවත් ඔවුන් එයින් පෙන්නුම් කරනවා.


ඒ තරම්ම නිහතමානී නොවුණත්, අනික් මිනිස්සුත් වට පිට බලලා, ඇඳන් ඉන්න ඇඳුමෙ අත් පිහින එක අදටත් කරනවා.

මිනිස්සු අත් පිහ දමන්නට පටන් ගත් නිසා බොරු කාරයින්ට ආපනශාලාවල රස්සාව නැති වුණා. නමුත් ඔවුන්ගෙ හැකියාව නිසා වෙනත් රැකියා අවස්ථා ලැබුණා.

හැකියාවට රැකියාවක් කියන කියමන හැදුණෙ ඒ හින්දා.


ප.ලි. මං පව්. මට වැඩ වැඩියි මේ දවස්වල.