අපි පොඩි කාලෙ වැඩිහිටියන් සමග එකට එක කිව්වෙ නෑ. මේ නිසා වැඩිහිටියන්ගෙ හිත රිදවීමට අවශ්‍ය වූ විට ඒ සඳහා වෙනත් ක්‍රම භාවිතා කරන්නට සිදු වුණා.
උයන පිහන කෙනෙක්ගෙ හිත රිදවීමට තියෙන පහසුම ක්‍රමය තමා, ඒ ඉවූ දේවල් නොකා සිටීම; එහෙමත් නැත්නම් මහ ගොඩක් කෑම බීම ඉතිරි කිරීම. ඒ දවස්වල අම්මාට එරෙහි යුද්ධවලදි මම භාවිතා කළේ මේ ආයුධය.
අපේ ගෙදර ආහාර සංස්කෘතිය බොහොම නිදහස්. බඩගිනි වෙන වෙන හැටියට ඒ ඒ කෙනා ගිහින් බෙදාගෙන කෑමක් තිබුණෙ. වෙනම කෑම මතක් කිරීමක් කළානම් ඒ කළේ සාස්පාන් සේදීම සඳහා කෑම අස් කිරීමට සූදානම්ව රතු නිවේදනය නිකුත් කරද්දි. එක එක්කෙනා එක එක වෙලාවලට කෑවත්, කවුද කෑවෙ, කවුද නොකෑවෙ කියන එක හඳුනගන්න අපූරු ඉවක් අම්මාට තිබුණා.
කතන්දර පොතක් දිගහැර ගත්තහම ලෝකය අමතක වෙන ගතියක් තිබුණු නිසා මට නිතර මේ රතු නිවේදනය ලැබුණෙ තර්ජනයක හඬින්. සමහර වෙලාවට මේ නිවේදනය ලැබෙනකොටත්, මම ඊට ඉස්සර වේලට කෑ පිඟානත් ඇඳේ පැත්තකින් තියාගෙන, වේළුණු කෑම සහිත අතත් උස්සගෙන, තනි අතින් පොත පෙරළමින්, ඇඟෙන් බාගයක් හිරි වැටිලා, බොහොම අමාරුවෙන් තමයි ඉන්නෙ. පොත රස වැඩිනම් "මට බඩගිනි නෑ." කියලා කෑම ප්‍රතික්ෂේප කරන එක මගෙ පුරුද්ද. මොකද, ඔය අන්තිමට කන්න යන කෙනාට තමා සාස්පාන් හෝදන්නට වෙන්නෙ. හැම එකම අවසාන මොහොත දක්වා කල් දාන හේතුවෙන්, හුඟක් දවසට මටමයි ඒ වැඩේ කරන්නට වෙන්නෙ. එතකොට මගෙ කතන්දර කියවීමට බාධා වෙනවා. ඊට වඩා නොකා ඉන්න එක සැපයි. එහෙම දවසට අම්මත් බල කළේ නෑ. බැන්නට මට ඇහුණෙත් නෑ.
තරහ වෙන දවසට තත්වය වෙනස්.
"කන්නෙ නෑ! කන්නෙම නෑ!!" මම හිතා ගන්නවා. "හිටුකො!!!"
කන්නෙ නෑ කියලා හිතා ගන්න දවසට, එහෙමත් නැත්නම් කෑම නැති දවසට බඩගින්න වැඩිපුර දැනෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම දවසට අර තරම් ලේසියෙන් පොතක ගිලෙන්නටත් බෑ. කන්නෙ නැති එකමයි හිතේ වැඩ කරන්නෙ. ඉතින් උගුලට අහු වුණු වැලහින්න වාගෙ නොසන්සුන්ව ඇඹරි ඇඹරි ඉන්නවා.
"හිටුකො. කන්නෙම නෑ. දන්නෙ නෑ මගෙ හැටි. බඩගින්නෙ මැරෙනවා. එතකොට තේරෙයි."
අනික් අය කෑම බෙදා ගන්න සද්දෙ එහෙම, ඒ දවසට හොඳින් ඇහෙනවා. අම්මා ඇවිදින සද්දෙ, අම්මා මොකද කරන්නෙ යන වග වඩාත් හොඳින් ඇහෙනවා.
"නොකා මැරෙනවා."
අම්මා මට කතා කරයිද කියා නොඉවසිල්ලෙන් ඉන්න ගමන් මම මටම මතක් කර ගන්නවා.
අම්මා ඒ තරම් හදිසි වෙන්නෙ නෑ. ටිකක් වෙලා බලලා, තමන්ගෙ ආඩම්බරෙත් තියාගෙන, හරියට හැමදාම කරන සාමාන්‍ය කතාබහක් වගේ, දොර රෙද්ද මෑත් කරල, "කන්ඩ." කියනවා.
මට ඉතින් එච්චර ඕනත් නෑ; "ක" යන්න ඇහෙනකොට මම නැගිටලා දුවනවා.
අවුලක් නෑනෙ. අම්මා පැරදිලා ඉවරයිනෙ.
ඔහොම දවසක් මම තරහ වුණා.
"කන්නෙ නෑ. කන්නෙම නෑ...."
ඉතින් මම ඉන්නවා.
අනික් අය කන බොන සද්දෙ මට ඇහෙනවා. අම්මා එහෙ මෙහෙ යන සද්දෙ මට ඇහෙනවා.
ගෙදර වෙන දේවල් සේරම මට ඇහෙනවා.
මට කන්ඩ කතා කරන සද්දෙ විතරක් මට ඇහෙන්නෙ නෑ.
ඒත් මම ඉන්නවා.
වේලක් විතර පහු වුණා.
මම නිකං අම්මට පේන්ඩ වගෙ එළියට ගිහින් වතුර බීලා ආවා. අම්මා වෙන වැඩක්.
හවස තේ හදන සද්දයක් ආවා. මම මගේ තීරණය ප්‍රවේශමෙන් සළකා බැලුවා: මම හිතා ගත්තෙ, මම ඒ හිතා ගන්න වෙලාවෙ අදහස් කළේ කෑම නොකා ඉන්නවා කියලනෙ. තේ වෙනස්....
මම තේ බිව්වා.
රෑටනම් අම්මා කොහොමත් සාස්පාන් අස් කරන්නට පෙර කතා කරන බව මම දැනගෙන හිටියා. උනන්දුවෙ තරමට පරිණාමය වන්නට කන්වලට හැකියාවක් තිබුණනම් එදා මට හාවෙක් වෙන්නට තිබුණා.
අම්මට එච්චර ගානක් නැතුවා වගෙයි. සමහරවිට අනික් උන් මගෙ පංගුවත් එක්කම කාලා ඇති; එතකොට කොහොමද අම්මා දන්නෙ මං නොකෑ බව?
මම ටිකක් ගිහින් කුස්සිය පැත්තෙ කැරකුණා. ප්‍රතිඵල නැත.
මම ස්ව කැමැත්තෙන් සාස්පාන් සේදීම භාර ගත්තා.
ප්‍රතිඵල නැත.
පහුවදාද එසේමය. එක්කෝ අම්මාට ගානක් නැත. එහෙමත් නැත්නම්, රැයක් ගෙවුණා කියා අම්මාට අමතකව නැත!
මම මගෙ තීරණය නැවත විමර්ශනයට ලක් කළා.
මම හිතා ගත්තෙ, අම්මා ඉව්ව කෑම නොකා ඉන්නවය කියලා. වෙන කෑම ජාති ගැන එතනදි අදහස් වෙන්නෙ නෑ.
ඒ දවස්වල අප්පච්චි වැඩ කළේ දුර පළාතක නිසාත්, මල්ලි පුංචි නිසාත් විස්කෝතු වගෙ දේවල් ගෙදර නිතර තිබුණා. ඒවා අම්මා ඉවූ දේවල් නොවේ. ඒවා මට කැපයි.
එක වේලක් නොකා ඉන්නකොට ඇවිත් "කන්ඩ" කියන අම්මාට දවස් ගානක් එහෙම නොතේරෙන්නෙ කොහොමද මම අම්මා උයන දේවල් නොකා ඉන්න බව? මම දවස් පහක් එහෙම හිටියා.
අනික් මිනිස්සු කනබොන වෙලාවලදි මම නිතරම එළිපහළියෙ ගැවසුණා; විශේෂයෙන් අම්මා කන බොන වෙලාවලදි.
මම කිසිදු පෙරැත්ත කිරීමකින් තොරව ගෙදර වැඩවල යෙදුණා- විශේෂයෙන් කුස්සිය අවට වැඩවල. සාස්පාන් හේදිලි, කුස්සියෙ මේසෙ පිහ දැමිලි, තේ හැදිලි, පොල් ගෑම්.... වැඩද නැත්තෙ කරන මිනිහෙක්ට?
ප්‍රතිඵල නැත.
දවස් පහකට පස්සෙ, මං නිකං මං නෙවෙයි වගේ ගිහින් අම්මා ඉව්ව කෑම බෙදාගෙන කෑවා. අම්මා මුකුත් කිව්වෙ නෑ.
ඊට පස්සෙ කවදාවත් මං උපවාස කළේ නෑ.
හරි ෂෝක්...ඒත් අපරාදෙ..ඔයා මේ පෝස්ට් එක කලින් දාලා තිබුන නම් ලෙමන් පෆ් කකා කරන උපවාස සාර්ථක නැහැ කියලා අහවලාට කියල දෙන්න තිබුනා..
ReplyDeleteලියන්න දේවල් වැඩිපුර මතක් වෙන්නෙ කාලය සමග අරගල කරන වෙලාවට නේද ?
අම්මලාට වඩා දුවලා ගැන දන්නේ වෙන කවුද?
ReplyDeleteඇද්ද අම්මව මට්ටු කරන්න ගියා, හොඳ වැඩේ, හූ.ඌ..ඌ..ඌ....
ReplyDeleteස්වේච්ඡාවෙන් නොකා ඉන්න පුලුවන් වුනත් බලකරාම නම් ඒක කරන්න බැහැ. බලෙන් තහංචි දමා ගත්තට උඩුහිත යටිහිතට පරාද වෙනවා ඇති.
ReplyDeleteඅම්ම දඬුවම ප්‍රමාද කරන්න ඇත්තෙ දුව දඬුවම දරා ගන්න පුළුවන් වයසට එනකන්.
ReplyDelete@ලකී
"ලියන්න දේවල් වැඩිපුර මතක් වෙන්නෙ කාලය සමග අරගල කරන වෙලාවට නේද ?" සහතික ඇත්ත
මහා ඇට්ටර කෙල්ලෙක් ...අම්ම එහෙම හිතන්න ඇති . මට නම් විහිළුවටවත් එච්චර උපවාස කරන්න බැහැනේ . කලින් කාපු පිඟාන ඇඳ උඩ....අතත් වේලිලා ..හි හි ඒ තමයි හොඳම කෑල්ල.
ReplyDeleteහරි මට දැන්නේ තේරුම් ගියේ .මේක තමයි මෙයා ඩිනර් එන්න දැන්ම බෑ කිව්වේ . උපවාස කරල පුරුද්ද .ජී එම් ඕ එක හන්ගර් ස්ට්‍රයික් කලොත් ඔන්න හටනට යවන්න පුලුවන් එක්කෙනෙක් අපි දන්නවෝ -kidding
ReplyDeleteඅම්මලාට ඉව තියෙනවා...ඒ වගේම හිතුවක්කාර කම මට්ටු කරන්න පුළුවන් තද හිතකුත් හදා ගන්න වෙලාවල් තියෙනවා...ඒ මේ වගේ දේවලින්...අන්තීමට පැරදුනේ කවුද .....
ReplyDeleteදරුවන්ව තේරුම් ගන්න අම්ම තරම් වෙන කාටද පුළුවන්...මම ඒ අතින් අවාසනාවන්තයි....මට ඕනෙ කාලෙ අම්මත් එක්ක මේ වගේ දේවල් කරන්න අවස්ථාවක් මට නැතිව ගියා....
අය්යෝ... මදැ උපවාස කලා... දවස් 5ක් ඔයා කොහොම නොකාම උන්නද ඒත් බිස්කට් විතරක් කකා...
ReplyDeleteඇත්ත අම්මලාට ඉව තියනවා
අයියෝ ඒ පාර ෂොට් එක හම්බවෙලා නේද?:D අපේ අම්ම ඉස්සර මාත් එක්ක මොකක් හරි ලොකු කේස් එකක් ගිය වෙලාවට කතා නොකර ඉන්නවා. මම ඉතින් ගිහිල්ල ඇඟේ ඇතිල්ලිලා නාහෙන් අඬල සෑහෙන වෙලා ගියාම තමයි ඔන්න කතා කරන්නේ. ඒව තමයි අපේ අම්මගේ දඬුවම්. ඒව රිදෙනව ගහනවට වැඩිය.
ReplyDeleteඇත්තටම පුංචි කාලෙ ඔය ආයුධෙ පාවිච්චි නොකරපු කෙනෙක් නැතුව ඇති. ..ගෙදර ලොකු කෙනෙක්ගෙ අවධානය , ආදරය ලබා ගන්න ඕනි උනහම කියන්නෙම.."බඩගින්නෙ මැරුනත් කන්නෙ නෑ" කියලා.. ඒ උනාට හිත යට තියෙන්නෙ.. "මගේ රත්තරනෙ කාපන්කො" කියන වචන ටික අහ ගන්න විතරයි..මේ මතකය ආවර්ජනය කරන්න ඉඩ අරං දීපු ඔබට නම් ණයගැති වෙන්න ඕනි !
ReplyDeleteදවස් 5ක් හිටියා? අපෝ මහා නරක ළමයෙක්නේ! මම නම් එක වේලකට වඩා ඉන්නේ නෑ :D (එහෙම ඉඳලත් නැද්ද මන්දා)
ReplyDeleteවෙන කිසිම නෙමෙයි නෙමෙයි මම මගේ ළමා කාලෙට ගියා...... අපි කොයිතරම් මේ වගේ දෙමව්පියෝ එක්ක තරහා වෙලා ඉඳලා තියනවද කියන එක මතක් උනා...හැමදාම මැවෙන චිත්‍රය මැවුනා මගේ මනසේ....ජය !!!
ReplyDelete//දවස් පහකට පස්සෙ, මං නිකං මං නෙවෙයි වගේ ගිහින් අම්මා ඉව්ව කෑම බෙදාගෙන කෑවා.//
ReplyDeleteහූ... !!
ජිවිතේ යම් කාලයක මේ තරමටම නොවුනත් මේ දේ වෙනුවෙන් බලාගෙන ඉදපු කාලයක් හිතුමතේටත් තියනවා.. ඒ නිසා හිතුමතේට මේ දේ ගොඩාක් දැනෙනවා...
ReplyDeleteදැනුයි දැක්කේ මේක...
ReplyDeleteපව් ළමයා ඊයේ සෑහෙන්න බඩගින්නේ ඉඳලා වගේ...:(
මට දැනුයි තේරුනේ තාමත් දවස් හත අට බිස්කට් වලින් කේක් වලින් බඩ පුරෝගෙන ඉන්න පුරුද්ද ආවේ කොහොමද කියලා...:)
මාත් ඉද හිට පාවිච්චි කරපු ආයුධයක් තමා..... හැබැයි ඉතින් වදින්නෙම මට වැඩිම උනොත් දවස් භාගයයි..........
ReplyDelete" සමහර වෙලාවට මේ නිවේදනය ලැබෙනකොටත්, මම ඊට ඉස්සර වේලට කෑ පිඟානත් ඇඳේ පැත්තකින් තියාගෙන, වේළුණු කෑම සහිත අතත් උස්සගෙන, තනි අතින් පොත පෙරළමින්"
ReplyDeleteතවමත් මේ මජර ගතිය තියෙනවද? :)
කිව්වේ නැතුවට, ඒ අම්මා ජීවිතේ ගතකළ අමාරුම දවස් පහක් වෙන්න ඇති :)
ReplyDeleteහප්පා...... මුලින්ම අර මුල් කොමෙන්ට් එක ගැන කියලා ඉන්නං. ඒක නං සහතික ඇත්ත. වැඩියේ ලොකු නැතත් විභාගයක් අත ලඟ. හැබැයි හිත බ්ලොග් එක ලඟ. කාලයක් ලියා ගන්න මොකුත් නැතුව හිටපු මටත් දැන් නානා ප්‍රකාර දේවල් හිතෙනවා. දෙකක් ලියා ගත්තා. තුන්වෙනි හතරවෙනි එව්වා රෑට හීනෙන් ඇවිත් හොල්මන් කරනවා. ලියපං ලියපං කියලා. හලේ මට වෙච්චි දේ..............
ReplyDeleteදැන් ලිපියට...
හප්පේ අක්කේ අම්මලා මට්ටු කරන්න යන අපට නං හොඳම වැඩ තමයි වෙන්නේ නේද? මට මතකයි පොඩි කාලේ ආනමාලු ගෙඩියක් මං උර උර කකා හිටියා. ඒ අම්මායි තාත්තායි එක්ක තාත්තාගේ බයික් එකේ ඉස්කෝලේ යන ගමන්. අම්මා දෙපාරක් තුන් පාරක් කිව්වා ඕක කලා ඉවර කරන්න කියලා. කොහෙද මගේ චූන් මට මනේ චූන්. මං එහෙමම කකා හිටියා. අම්මා හතරවෙනි පාර කිව්වේ නැහැ. තත්පර භාගයක් විතර ඇතුලත කෙසෙල් බාගේ ගත්තා අතට උසික්කා කලා. ඊට එහා කථාවක් නැහැ. එදා ඉඳන් දුව හැදුනා.
මාත් දැන් අර මග එක්කෙනෙක් කොමෙන්ට් කලා වගේ, මගේ දුවත් සමහර දේවල් තේරුම් ගන්න වයසට එනකම් කල් මරණවා. එයා ඔය සමහර සමහර වචන (අම්මට සිරි, අම්මට උඩු, බං වගේ එව්වා) එහෙම කොහෙන් හරි අහුලගෙන කියනවා. කට්ටිය හා ඔහොම කියන්නේ නැහැ කියලා තර්ජන දාන නිසා වැඩියෙන් වැඩියෙන් කියනවා. මට කිව්වහම මං ඇහුනේ නැහැ වගේ ඉන්නවා. සමහර වෙලාවට එයා දිහාම බලාගෙන සද්ද නැතුව ඉන්නවා. තර්ජනේ එයාට වැටිලද මන්දා එතකොට එයා අඬනවා. ඒත් තාම හරිම තර්ජනය එළියට දැම්මේ නැහැ. ඔහොම හිටුකෝ තව කල් තියෙනවානේ...... :D
හිකිස්.....
ReplyDeleteඋනන්දුවෙ තරමට පරිණාමය වන්නට කන්වලට හැකියාවක් තිබුණනම් එදා මට හාවෙක් වෙන්නට තිබුණා.
මේන් මම් ආසම කෑල්ල.... හිකි හිකි....
ලකී කිව්ව මේ කෑල්ලත් ඈත්තම ඈත්ත අප්පා..........
ලියන්න දේවල් වැඩිපුර මතක් වෙන්නෙ කාලය සමග අරගල කරන වෙලාවට නේද ?
පෝස්ට් එක ගෑන..
හිකිස්. මම නම් ඕක කලා. ඒත් නලිනි අක්කගෙ අම්මා කාලකෙට පස්සෙ දුන්නු දඬුවම මට මුල් හරියෙදිම ලෑබුනා. හැබැයි දවස් 5ක් නම් නෙවෙයි :) හිකිස් ...
ඉතාමත් නරක ආදුරුස. අපි එහෙම නොකා හිටියාම අපට වඩා බාල ළමයින් අපව ආදුරුසයට ගන්නවා.., මම කවදාවත් මාව අභියෝහයට ලක් කරගෙන නෑ.., විශේෂයෙන් මගේ බත්පත.., කුමන හේතුවක් නිසාවත් මම එය අභියෝගයට ලක්කරගන්නේ නෑ.., එහෙම දෙයක් කලත් මම උපවාස කරන්නේ මගේ මේස ලාච්චුව අස්සේ වේලක පරිමාණයට අඩුමකුඩුම තැම්පත් කරගෙන..! මිනිස්සුන්ගේ ළමාකාලය මොනතරම් අනාගතය තුලදී කතා මවනවද..!
ReplyDeleteඅම්මෝ අක්කෙ කොහොමද දවස් පහක් බත් නොකා හිටියෙ.
ReplyDeleteඅම්මා ලමයගෙ තරම තේරුම් අරන් වගෙයි... :)))
ඒ ආහාර නිදහස නම් ගොඩක් වටිනවා!අපේ ගෙදර අපි කන්න ඕනේ බඩගිනි නිසා නෙවෙයි මේසේ අස්කරන්න ඕන නිසා! :) ඉතින් අම්මත් එක්ක හැමදාම වලි!අම්ම කියනවා බඩගිනි තියන තරමට කාපං මේසේ අස්කරන්න කියල!මං කියනවා මං කන්නේ මගේ බඩගින්නට මට බඩගිනි උනාම!ඒ නිසා මේසේ ඕක ටිකක් වෙලා තියන්න අමාරුනම් අස්කරන්න මට කමක් නෑ කියල!පස්සේ අම්මත් වැඩේ අත අරින පාටක් නෑ මාත් වෙලාවට කන්නේ නෑ!අම්ම ඊට පස්සේ අර පිඟානක් ගෙනත් තිබ්බා බත් දාන්න වැන්ජන දාන්න කොටු කොටු පැත්තෙන් බෙදල තියන!අම්ම ඒකට මගේ පංගුව බෙදලා මේසේ අස්කරල දානවා!
ReplyDeleteමාරයට අමු ( ඇඹරැල්ලා) කැවිලද ? මේක දැක්කෙ දැන් කියන්නෙ... පැය 6 කට ඉස්සර වෙලා මේ පොස්ට් එක මූ මුණු පොතේ share කලේ කියවන්නෙත් නැතිවද ?
ReplyDeleteමම කමෙන්ට්ස් ටික පෝස්ට් කළේ දැන්නෙ ලකී. අද මට ක්ලාස්.
ReplyDeleteටිකක් වැඩ වැඩි හින්දා එකින් එකට කමෙන්ට් කරන්න අමාරුයි.
මට හූ කිව්ව උන් ඔක්කොටම හූ හූ.
ඒ කාලෙ ගෙදර උයන නිසා කන පුරුද්ද තිබුණට, දැනුත් මට බත්ම කන්න ඕන කියල එකක් නෑ, ඉන්ටර්න්ෂිප් කාලෙ මාස හයක් විතර ගත කළා තනිකරම කෝන් ෆ්ලේක්ස්වලින්. ඊට අමතරව දෙයක් ලැබුණනම් අහම්බෙන් වෝඩ් එකේදි කවුරු හරි ගෙනත් දුන් දෙයක්. ඊටත් පස්සෙ අවුරුදු පහ හයක්ම ෂෝට් ඊට්ස් වලින් හිටියා. දැන් අවුරුද්දක් දෙකක් තමා ආයෙම බත් කන්න පටන්ගෙන. :D
ඕක පුරුද්ද අනුව ඕනෙ වෙන දෙයක්නෙ.
කෝ මේ බ්ලොග් එක බලන උදවිය..?
ReplyDeleteගන්න කොළයක් පැන්සලක්..ලියා ගන්න "සිහින් සිරුරක රහස්" කියලා මාතෘකාව..ගහන්න යටින් ඉරක්.. ඊට පස්සේ ලියන්න ඔය කියලා තියෙන ආහාර වට්ටෝරු ටික..
(නොමිලේ වෛද්‍ය උපදෙස් හැමදාම නැහැ හරිද..? දුන්න වෙලාවේ අල්ල ගන්ට ඕන..)
අපෝ දවස් 5 හොඳටම වැඩි .මමනම් එක වේලයි උපවාසය.. දැන්නම් එකේ අනිත් පැත්ත. අනිත් අයගේ ඒවත් එක්කම කනව තරහ උනාම...
ReplyDeleteතරහ ගියාම නොකා ඉන්න එක මහ මෝඩ වැඩක්
ReplyDeleteඒකට විකල්ප ක්‍රම සහ විධි තිබේ
මෙන්න මේ වගේ එවුවා
http://status-chanaka.blogspot.com/2010/07/blog-post.html
මම පොඩි කාලෙ අම්ම එක්ක තරහ ගියාම මම කියන්නෙ අද රෑට අම්ම ගාව නිදියන්නෙ නෑ කියල . ඔන්න ඔහොමයි මම තරහ පෙන්නන්නෙ :)
ReplyDeleteඔයා "හිටුකො.." කියල හිතනකොට අම්මත් හිතන්න ඇති ඒ විදියටම... :D
ReplyDelete"...කතන්දර පොතක් දිගහැර ගත්තහම ලෝකය අමතක වෙන ගතියක් තිබුණු නිසා මට නිතර මේ රතු නිවේදනය ලැබුණෙ තර්ජනයක හඬින්. සමහර වෙලාවට මේ නිවේදනය ලැබෙනකොටත්, මම ඊට ඉස්සර වේලට කෑ පිඟානත් ඇඳේ පැත්තකින් තියාගෙන, වේළුණු කෑම සහිත අතත් උස්සගෙන, තනි අතින් පොත පෙරළමින්, ඇඟෙන් බාගයක් හිරි වැටිලා, බොහොම අමාරුවෙන් තමයි ඉන්නෙ..." මෙන්න මේ ටික මටත් අදාලයි... අම්ම කෑ ගහනව පංගුවෙ මොනවා තිබුනද කියා මං දන්නෙ නෑ කියල...
අපේ අම්මගෙත් ආන්ඩු මට්ටු කිරීමේ ක්‍රියාපටිපාටිය මේකමයි... සැරයක් දෙසැරයක් ඇනගත්තට පස්සෙ ආයෙ ට්‍රයි කොලේ නෑ....
අවසානයේ අම්ම දින්නා නේද....
ReplyDeleteඅපොයි අක්කි පැටිස්, මමත් ඔය ටිකම කරල තියෙනවා, ඒත් අපේ අම්මනම් වගක් නෑ ඔය කිසි දවසක, වේල් 2යි උපරිම ඉඳල තියෙන්නෙ.ඊට පස්සෙ මමම කනවා ,හැමදාම මම පරාදයි...
ReplyDeleteබලාගෙන යද්දි අක්කාගේ උපවාසෙත් අරයගේ උපවාසේ වගේම තමයි.. බිසකට් කාලා.. හැබැයි හොරෙන් නෙමෙයි.. අන්තිමේ අම්මා දිනුවා එහෙනම්.. මං නම් කවදාවත්ම ගෙදර එක්ක කොච්චර රණ්ඩු උනත් කෑම නම් අත අරින්නේ නෑ.. එදාට වෙනදට වඩා කනවා... :)
ReplyDeleteපුංචි කාලේ මං බරපතල දේශපාලන ජීවියෙක්.
ReplyDeleteඅපේ ගෙදරට අල්ලපු ගෙදර එකා කොඩිවින කළා කියල කතාවක් තිබ්බ [ඒක කරලා තියෙන්නේ මං උපන්නට පස්සේ හොඳේ]. ඔය අස්සේ අපේ තාත්තත් මිය ගියාම ඕක සනාත වුනා අපේ අයට. ඉතින් අර ලෝකේ වටේ තියෙන සාත්තර පොළවලින් උපදෙස් අරගෙන බොහොම දක්ෂ යකදුරෙක් ගෙන්නලා අපේ කට්ටියත් කැපුවා කොඩි විනේ.
වැඩේට ලස්සන කුකුලෙක් ගෙනාවා. මගේ වැඩේ උගේ ළඟ කැරකි කැරකි ඉන්න එක. ගෙදර වෙන එවුන් හිටියට ඌ මාර ලස්සනයි. මට තරු පැන්නේ කුකුලව අද රෑට බිල්ලට දෙනවා කියල දැන ගත්තම.
මට මාර දුකයි. මං එපා කිව්වා වලි දැම්මා. කවුරුත් ඇහුවේ නැහැ. ඒ පාර මහා හයියෙන් ඇඬුවා. ඒත් මදි අවධානය. මං දවල්ට කන්නේ නැතුව කාමරේකට වෙලා හඬමින් හිටියා. පොඩි එකාව නලවන්න ට්‍රයි කරනවා මිසක්ක කුකුළා ගැන නොවේ කවුරුත් නෙගොශියෙට් කලේ.
මගේ වලිය වත්තේ කොනක වැඩේට ලැහැස්ති වෙමින් හුන් කට්ටඩියටත් ඇහුනා. මං ඉතින් බෝ පැලේ වගේ නිසා ඕන කෙනෙක් හරි ආදරෙයි [ඒ කාලේ]. පොර ඇවිත් මාව නලවන්න ට්‍රයි කළා. හරි ගියේ නැහැ. හැමෝම මට කෑම කවන්න හැදුවා. ඒත් මගේ සාගිනි උපවාසය රෑ කෑම දක්වාම ඇදුනා.
අන්තිමේදී කට්ටඩියා [අන්කල්] කිව්වා හරි පුතා අද රෑ කෑම කන්නකෝ, මං කුකුලව බේරලා දෙන්නම් කියලා. කුකුලගේ කරමලෙන් ලේ බින්දුවක් ගන්නවා හැබැයි මරන්නේ නැහැ කියලා පොරොන්දු උනා. කෑම කෑවාට මමත් පොරට තේරෙන්න ඇරියා පොඩි එකා උනාට මාත් එක්ක සෙල්ලම් බැරි බව. කුකුලා ළඟ මුරට ඉන්න එක ඌට කරණ හැම දෙයක් ගැන ම රිපෝට් ඉල්ලන එක වගේ වැඩ කළා.
අන්තිමට එදා රෑ කුකුලාව මරන්න නියමිත වෙලාවේ, පොර ඌව යක්ෂයට මරලා නොදී, ඔන්න මරා ගනින් කියලා උඩ විසික කළා. බුවා "කෑක් කැක කැක කැකක්" කියලා කුකුල් සද්දේ දාලා පියාඹලා ගියේ යකාටත් පොඩි කින්ඩියක් දාගෙන. මම සටන දිනුවා.
ඊට පස්සේ ඔය කුකුලා දකින දකින වාරයක් ගානේ මට අපමණ සතුටුයි. ඌත් එල බුවා. නොමැරී හිටියා බොහෝ කලක්.
අන්තිමට කුකුලා පරෙයියා මොනරා ළමා වියේ අත හැර දමා උසස් අධ්‍යාපනේට විදෙස් ගත වෙලා ඉද්දි [මොන කුකුල්ලුද ඊට පස්සේ අපි මුහුණ දුන් ප්‍රශ්න වල හැටියට], කොටින්ම එලොලු ජීවිතෙන් මස් ජීවිතේටත් ආවට පස්සේ කෝල් කල වෙලාවක අම්මා කිව්වා, "පුතේ අර කුකුලා මැරුණා" කියලා. "මොන කුකුලද?" ඇහැව්වම කිව්වා "ඇයි පුතේ ඔයාගේ කුකුලා. ඔයා අර බේර ගත්තේ. හොඳටම නාකි වෙලා මලේ" කියලා.
ඒ කියන්නේ යකාට එරෙහි පුංචි මගේ සටන යකාට බයේ හුන් ඒගොල්ලන්ටත් ලොකු සිද්ධියක් වෙලා.
එදා ඉඳං මං හොල්මන් වලට බය උනාට යක්කුන්ට දෙයියන්ට බය නැහැ. හා හා ඔහොම කරන්න එපා කියල කියන ඒවා කරන්න බය නැහැ. වැඩිම උනොත් තව පාරක් උපවාසයක් කරලා යකා එක්ක නෙගොශියෙට් කරනවා.
ආ දේශපාලන ජීවියෙක් කිව්වනේ පුංචි කාලේ. ලොකු වෙද්දී මං රිටයර් වුනා. දැන් විශේෂ දර්ශනයක් අදහන්නේ නැහැ.
මාත් නොකා හිටියා..ගෙදරින්..අවුරුද්දක් විතර.. හැබැයි අම්මා එක්ක තරහ වෙලා නෙවෙයි. ගෙදර වෙන කෙනෙක් එක්ක.. සමහර දාට කන්න විදිහක් තිබුණෙ නෑ..ඒත් අම්මාට කියන්නෙ බඩ පැලෙන්න කාලා ආවා කියලා.. නැත්නං අම්මා කන ඒවත් අම්මට අල්ලන්නේ නැතිවෙන බව දන්න නිසා.. :( දුක තමා.. දැන්නම් ගෙදරින් කනවා.. දිව්‍ය ලෝක රහ තමා දැනෙන්නේ.. අද දවල්ට කෑවා ඔන්න කොස්, පරිප්පු, කුරිඤ්ඤං කොළ මැල්ලුම, පොල් සම්බෝල, තැළුම්බටු, තෙල් දාපු බතල, අමු හාල්මැස්සෝ මිරිසට.. :D
ReplyDeleteහූ හූ පරාදයිනේ,, මම නම් තරහ උනහම වැඩිපුරත් එක්ක කනවා, අනිත් අයගෙ ටිකත් එක්කම.
ReplyDelete