Thursday, March 31, 2011

ඩොගී

දියුණු වීගෙන යන මහ පාර අයිනේ දියුණු වීගෙන යන බේකරියකි. නිරන්තරයෙන් එය ඉදිරිපිට එකත්පස්ව ලැග සිටින දුඹුරු පැහැති බල්ලෙකි. ඌට නමක් නැත.

කුසගිනි උහුලාගත නොහැකිවිට බල්ලා කන් පාත් කරගෙන, වල්ගය කකුල් අතර රුවාගෙන, හෙමින් හෙමින් බේකරියට කිට්ටු කරයි; ඉදිරිපස වීදුරු පෙට්ටි තුළින් පෙනෙන නා නා ප්‍රකාර පාන් බනිස් වර්ග අතුරින් කුමක් පහසුවෙන් ගිල දැමිය හැකිදැයි කල්පනා කරයි; බේකරියේ කොල්ලා පෙනෙන්නට සිටීනම් යන්තමින් හූල්ලයි; කවුරුන් හෝ චිප් චිප් ගෑ විට වල්ගය තව තවත් සඟවාගෙන, කොන්ද වකුටු කරගෙන අඩියක් දෙකක් එහා මෙහා වෙයි.


හැන්දෑ වනවිට බල්ලාට කිට්ටු වීමට නොහැකි තරම් බේකරිය මිනිසුන්ගෙන් පිරෙයි. කුසගිනි වැඩි කරවන සුවඳින් යුත් පාන් වර්ග වීදුරු පෙට්ටිවල සිට කඩදාසි උර තුළට මාරු වී, මිනිසුන් විසින් ගෙන යනු ලැබෙයි. බල්ලා පෙරේතයකු මෙන් ඒ සුවඳ විඳී. රාත්‍රිය මෝරනවිට සෙනඟ අඩු වේ. විකුණාගත නොහැකිව ඉතිරිවන යමක් බේකරිය අවට රැක සිටින බල්ලන් වෙත පොදුවේ විසි කෙරේ. දුඹුරු පැහැති බල්ලාද ඉන් යමක් ඩැහැ ගනී. ඌ ආරක්ෂිත ස්ථානයකට වී, ඒ වටා දෑත් යවා බදා අල්ලාගෙන, වට පිට බලමින් ගොරවයි; දවස පුරා වියළිව තිබූ මුවින් කෙළ වෑහෙයි; වෙනත් බල්ලකු විසින් ඩැහැ ගනු ලැබීමට ප්‍රථම කටට දෙකට ආහාරය ගිල දැමෙයි.

දිනක් පාරේ ගිය විමානයකින් බට සුරංගනාවියක් බේකරියට පැමිණියාය. ඒ විශාල චීස් කෑල්ලකැයි වරදවා වටහාගත් බල්ලාට ඉබේම නැගිට්ටුණේය. කොල්ලාටද කෑ ගැස්සුණේ නැති ටික විතරය. ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ප්‍රමෝදයට පත් සුරංගනාවිය "මේ ඔයාලගෙ ඩොගීදැ" යි විමසුවාය. ඇගේ මිහිරියාවෙන් බිඳුණු තෙද ඇති බේකරියේ කොල්ලාද නගුට වනමින් "ඔව්" යයි පැවසීය.

බල්ලාට ඩොගීයයි නම වැටුණේ එසේය.

මිහිරි මතක අවුස්සන බල්ලාට යමක් විසි කිරීම කොල්ලාට ප්‍රීතියක් විය. මේ නිසා තමන් කොල්ලාට අයිති බවක් ඌට හැඟුණි. බේකරිය කෙරෙහිද තමන්ගේකමක් උගේ හිතේ ඉබේටම ලියලන්නට විය. ඉදින් ඌ තව දුරටත් නිකම්ම බල්ලෙක් නොවේ; නමක්ද, අයිතිකාරයෙක්ද, නිවහනක්ද ඇති වැදගත් සත්ත්වයෙකි. එබැවින් ඌ එතැන් පටන් නියම ශීලාචාර මහත්මයෙකු මෙන් හැසිරීමට පටන් ගත්තේය: බේකරියට කිට්ටු වන සියළු පාදඩ බල්ලන් බළලුන් පසුපස හඹා ගොස් උන්ව එළවා දැමුවේය; බේකරියේ කොල්ලා රවා බලන හිඟන්නන්ව ගොරවා හපන්නට තැත් කළේය; නිතර බේකරියට පැමිණ පාන් මිළදී ගන්නා මිනිසුන් දුටු කල, හුනස්නෙන් නැගිට වල්ගය වනා ගරු සැළකිලි දැක්වීය; කෑමක් ලද කල, "නෑ, ඉතින් බඩගිනිත් නෑ..." මෙන් හැසිරුණේය.

පලක් ප්‍රයෝජනයක් ඇත්නම් බල්ලාද මිනිහෙකි.

ඩොගී නිසා වෙනත් කරදරකාරයින් බේකරියට කිට්ටු නොවන බවද, බල්ලන්ට හිතවත් නෝනලාගේ ගෞරවනීය ආදරය තමන්ට හිමිවන බවද බේකරියේ කොල්ලා ඉක්මණින්ම වටහා ගත්තේය. "බල්ලා අපේ එකෙක්" යයි කියනවාට වඩා "මේ පාරෙ ඉන්න බල්ලෙක්; මම හුරතල් කරන නිසා මෙතනටම වෙලා ඉන්නවා"යයි ඇද පැද කීම තමාගේ ප්‍රතිරූපයේ කාරුණිකත්වය ඉහළ නංවන බව කොල්ලාට පෙනී ගියේය. ඩොගී බේකරිය ඉදිරිපිට රඳවා ගැනීමට අවශ්‍ය අවමය ඉටු කිරීමට කොල්ලා මැළි නොවීය.

ඩොගී ටිකෙන් ටික මහත් විය. තමාගේ බල ප්‍රදේශයද ඌ ටිකෙන් ටික වැඩි කර ගත්තේය. ඒ අනුව බේකරිය දෙපස කඩ කිහිපයක්මද, ඉදිරිපිට මහ පාරද ඌ අයිති කර ගත්තේය; අනෙක් බල්ලන්ට ප්‍රදේශය හරහා ගමනක් යාමට අවශ්‍ය වූ විට පාරේ අනෙක් පසට මාරු විය යුතු විය.

දිනක් රස්තියාදුකාර බල්ලන් කිහිපදෙනෙකු කිසිම ගරුසරුවක් නැතිව තම බල ප්‍රදේශය හරහා දුවනු දුටු ඩොගී ගොරවමින් උන් හඹා යමට යුහුසුළු විය. ඒ බල්ලන් පසුපස පැමිණෙන බලු වෑන් රථය ඌ නොදිටීය. උගේ ගෙලට හිරවුණු තොණ්ඩුව කුමක්දැයි ඌ නොදත්තේය; හුස්ම හිරවී මරු විකල්ලෙන් දඟලන අතරතුර තමන්ව ඇද ගත්තේ කුමක් තුළටද යන්න ඌ නොදත්තේය.

ඩොගී බලු වෑන් රථයට හසු වූ බව කවුදෝ බේකරියේ කොල්ලාට කී නමුත් පාරට ගොස් එදෙස බැලීමට තරම් ඉස්පාසුවක් කොල්ලාට නොවීය. බලු වෑන් රථයට හසු වූ බල්ලන් ගැන පසුව සොයා බැලිය හැකි බවක් කොල්ලා දැන සිටියේ නැත. එසේ කිරීමේ අවශ්‍යතාවයක්ද නොවීය. ඉක්මණින්ම වෙනත් බල්ලෙක් බේකරිය ඉදිරිපිට ඩොගීගේ ස්ථානය අයත් කර ගත්තේය. කොල්ලා පුරුද්දට ඌටත් ඩොගී කියා ආමන්ත්‍රණය කළේය. ඌද වෙනත් රස්තියාදුකාර බල්ලන් පන්නා හරිමින්, වැදගත් නෝනලාට හුරතල් වෙමින් කොල්ලාට සේවය කරන්නට වන්නේය.

12 comments:

  1. බල්ලො ඔහොම තමා...............
    මේ තවත් බලු කතාවක්
    බල්ලා ගොඩගත් කෙල්ල

    ReplyDelete
  2. එක හුස්මට කියෙව්වා බල්ලා ගොඩ ගත් කෙල්ල සහ තවත් කතා කිහිපයක්ම. අපූරුයි.

    ReplyDelete
  3. හරිම අපූරුයි..මේ වගෙ බල්ලො හරිම සුලභයි...වෙනසකට තියෙන්නෙ උන් අන්තිමට කන්න දුන්න කොල්ලටත් ගොරවන එකයි.

    ReplyDelete
  4. Luckey: ඔව්, අපේ පාරවල් අයිනෙ වගේම, මිනිසුන් අතරත් ඔවැනි අය බොහොම ඉන්නවා. විශේෂයෙන් මිනිසුන් අතර සිටින වර්ගය කන්න දුන්න අත හපා කන්න බොහොම දක්ෂයි.

    ReplyDelete
  5. චාර්මි මට පලමු වාක්‍යයෙන්ම මතක් උනේ උඹගේ සිනාරියෝ එක තමයි.....

    ReplyDelete
  6. කොල්ලා සහ බල්ලා ගෙන් ඔබ්බට යන දාර්ශනික කතාවක්. ගොඩක් කට්ටිය ගොඩක් දේ වලට හා මිනිසුන්ට තැනක් දෙන්නෙත් මේ කොල්ලා බල්ලා ට සලකන විදිහට තමයි.

    හැබැයි නලිනි කොල්ලාට කළු පාට ගාව වැඩියි කියා හිතේ. මං මේ වගේ එව්වා ලියන්නේ පාටකයෙක් හැටියට මට හිතෙන දේ කියන්න. ඔබ එයට අමනාප නොවන්න. අපි කියන දේ ඔබ එලෙසින් ම කරනු ඇති කියා අපි කොහෙත් ම බලාපොරොත්තු වන්නේ නැහැ.

    ReplyDelete
  7. කොල්ලා ටිකක් කළු වැඩි වෙලාද? :D මම බල්ලා ගැන අවධානය වැඩි කළ නිසා වෙන්නට ඕන.

    ReplyDelete
  8. මට මේ පැත්තෙ එන්න වෙලාවක් හම්බ වුනේ දැන් තමා.......

    හිතට දැනෙන්න ලියලා තියනවා ..........

    බල්ලෙක් ආදරෙන් හදලා ඌ සදහටම වෙන් උනාම පුදුම වේදනාවක් දැනෙන්නෙ .......

    ReplyDelete
  9. කල්හාර: ඒකනම් සහතික ඇත්ත. සතෙක් නැති වුණාම මමත් හිතාගන්නවා ආයෙනම් හදන්නෙ නැහැ කියලා. වසර ගණනාවක් ගතවීත් පහ නොවෙන දුකක් ඒක.

    ReplyDelete
  10. මම බල්ලන්ට බොහොම ආදරේ කෙනෙක් නිසා කොයි බල්ලටත් මම ආදරෙයි..බල්ලෙකුට මනුස්සයෙකුට වැඩ පහතින් සලකන්න මට බැහැ..බලල තරම් හොඳ මිත්‍රයෙක් කොන්දේසි විරහිතව ආදරය දෙන කෙනෙක් මම තවම දැකල නැහැ.. ගිය ආත්මේ මමත් බල්ලෙක් වෙලා හිටියද දන්නේ නැහැ..

    ReplyDelete
  11. @ සරත් ලංකාප්‍රිය: ඇත්තම කිව්වොත් බල්ලො මිනිස්සුන්ට වැඩිය හොඳයි. ඔබ කියනවා වගේ බල්ලෙක් ආදරය කරන්නෙ කොන්දේසි විරහිතව. ඌව හදන අපි ගැහුවත් බැන්නත් උන් ඒක සිහියෙ තියාගෙන ඉන්නෙ නැහැ; ආයෙ දැක්කහම වල්ගෙ වනලා හිතවත්කම පානවා. දුකක් කරදරයක් වුණු වෙලාවට ළඟට වෙලා ඉන්නවා. මිනිස්සු වගේ "ඕකනෙ මං මුළින්ම කිව්වෙ" කියන්නෙ නැහැ. අනික අපෙන් කිසිම ප්‍රයෝජනයක් නැතුවත් උන් අපිට හිතවත් වෙලා ඉන්නවා.

    ReplyDelete
  12. මුලදි බල්ලෙක් වීමේ අමාරුවත්..මැදදී බල්ලෙක් වීමටත් ඇති වූ සිත අවසනදී කොල්ලෙක් වීමත් නරකයැයි යන තැනට ඇද වැටුනි...

    ReplyDelete