Thursday, January 5, 2017

ලකී

අම්මත් එක්ක ජනවාරි පළවෙනිදා උදේ පන්සල් ගියා. අපි විහාර ගේ ඉන්න අතරෙ එළියෙ බල්ලෙක් අඬනව ඇහුණා. ඇවිත් බලද්දි, පන්සල් ආව ළමයි දෙන්නෙක් බල්ලන්ට ගල් අහුල, අහුල, ගහලා පන්නනවා. බාල ළමයට අවුරුදු හතරක් විතර ඇති. අනික් ළමයට දහයක් විතර ඇති. මේ බල්ලො පන්සල් වත්තෙ ජීවත් වෙන බල්ලො.

"ඇයි බල්ලන්ට ගහන්නෙ?" මම ඇහුවා. "පන්සල් ඇවිත් නේද ඉන්නෙ? සත්තුන්ට හිංසා කරන්න එපා."
ළමයි දෙන්නා මං දිහා බල බල දිව්වා. බලද්දි ඒගොල්ලන්ගෙ වැඩිහිටියොත් ඒ අහලම බලං ඉඳලා! සත්තුන්ට ගහන්න එපා කියල ඒ වැඩිහිටියො කියන්නෙ නැතුව ඇති.

අපි පොඩි කාලෙ අපිට ලකී කියල බල්ලෙක් හිටියා. සම්පූර්ණ නම ලකී බුකී පෙරේරා.

අපි ළඟ හිටියට, අපේම බල්ලෙක් නෙවෙයි. කාගෙ හරි ගෙදරක ඇතිදැඩි වුණු බල්ලෙක්, මොකක් හරි හේතුවක් නිසා එහෙන් ඇවිත් චූටි මාමලගෙ ගෙදර පදිංචි වෙලා හිටියා. අපි ආවහම, අපේ ගෙදරට හේත්තු වුණා. මං හිතන්නෙ, ඌ ළමයින්ට ආස බල්ලෙක්.

ලකී අපේ පොඩි කාලෙ සෙල්ලම්වල සෑහෙන පංගු කාරයෙක්.

සැරයක් අපිට මැරිච්ච කටුස්සෙක් හම්බුණා. අපි ඌව පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව වළලන්න තීරණය කළා. කෙසෙල් පිතිවලින් මිණී පෙට්ටියක් හදලා, මැරුණු කටුස්සව ඒකෙ තියලා, පල්ලෙහ අත්තම්මගෙ වත්තෙ තැනකට පෙරහැරකින් ඌව වැඩැම්මුවා. ලකීව ගත්තෙ පාංශුකූලෙ දෙන හාමුදුරුවන්ට. කටුස්සව වළදානකම් ලකිත් බොහොම සන්සුන්ව වැඩ හිටියා.

ඊට පස්සෙ අපිට දානෙ දෙන්න ඕන වුණා. මළගිය ප්‍රාණකාරයා කන්න කැමති දෙයක් වෙන්නත් ඕන හින්දා, පොලුයි බතුයි අනාගෙන, සුදු රෙද්දකින් දානෙ වහගෙන, ඉස්මුදුනෙ තියාගෙන කටුසු සොහොනට අරන් ගියා. ලකී හාමුදුරුවොත් අපේ පෙරහැරේ මැද්දෙන් වැඩම කළා. දානෙ ටික කටුසු සොහොන උඩින් තියල, ගාතා කියල ඉවර කරල, දානෙ පිළිගන්නනකම් ඉඳල ඒක වැළඳුවා.

එහෙම වැදගත් සතා!

ඒ දවස්වල අපිත් එක්ක සෙල්ලම් කළ ළමයෙකුට රේස් කරත්තයක් තිබුණා. පුංචි රෝද හයි කරපු, ලෑලි තට්ටුවක්. ඕක කන්දක් මුදුනට ඇදගෙන ගිහින්, වේගෙන් පල්ලෙහට එන එක අපේ එක සෙල්ලමක්. අර ළමයා සමහර වෙලාවට එන්නෙ ඔලුවෙන් හිටගෙන! ඒ දවස්වල තිබ්බ ජනප්‍රිය සටන් පාඨයක් වෙච්ච "ගව මස් නොකනූ" කියන වාක්‍යය යටිගිරියෙන් කියමින් තමයි අපි එන්නෙ. ලකිත් ඉතින් අපිත් එක්ක කිටිකිටියෙ තදවෙලා කරත්තෙ එනවා.

පස්සෙ අපි වෙන ගෙදරකට පදිංචියට ගියා. කලින් ගෙදරින් කිලෝමීටරයක් විතර ඈත. අපේ ගෙදර ළමයි වැඩි හින්දද කොහෙද, ලකී අපිත් එක්ක ආවා.

ඒ ආවට මොකද, ලකීට පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑ, හිත රිදෙනවා. හරි සියුමැලි හිත!

යන්තං ඩිංගක් එහාමෙහා වෙලා හිත රිදුණද, ලකී අපිත් එක්ක තරහ වෙනවා; තරහ වෙලා, චූටි මාමලගෙ දිහා යනවා. එහෙ දවස් කීපයක් ඉද්දි, අර වගේම කොහෙ හරි අහක යන දේකට හරි හිත අමාරු කරගෙන, ඔන්න ආපහු අපේ දිහා එනවා. මග පාරෙ ඉන්න බල්ලොත් එක්ක රන්ඩුවට නොයා, බොහොම ප්‍රවේසමෙන් ගිරි දුර්ග තරණය කරගෙන ඔය විදිහට දෙපැත්තට යනවා, එනවා.

අපේ මල්ලි ඒ දවස්වල පොඩියි. ලකී තමා මල්ලිගෙ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා.

මල්ලිව පොඩි කරත්තෙක තියාගෙන, හවසට පාරට එක්ක යනවා. ලකිත් වටපිට අධීක්ෂණය කරමින් ඒ අසලම ගැවසෙනවා. එක දවසක් පාරෙ ලොරියක් ඇවිත්. පාර තරමක් පටුයි. ලකී පාර මැදට පැනලා, බුරා හැලෙන්න වුණා. මල්ලිව පරිස්සම් ඇති තැනකට කරගන්නකම්, ලොරියට එන්න ඉඩ දුන්නෙ නෑ.

අවුරුදු කාලෙට අපිට නිලා හම්බුණා. අපි නිලා කූරු පත්තු කරනවට ලකී බයයි. සමහරවිට ලකී බය වුණේ අපි තුවාලයක් කරගනී කියල වෙන්න ඕන. බයට හැංගෙනවා වෙනුවට ලකී කරේ දැල්වෙන නිලාව වටේ උඩ පනිමින් බුරමින්, අපිව අදින එක. පස්සෙ අපි නිලා ගේන එක නතර කළා.

ඒ දවස්වල ගෙදර විල්බැරැක්කයක් තිබුණා. එක්කෙනෙක් ඒකෙ නැගල වාඩි වුණහම, තව කෙනෙක් තල්ලු කරං යන එකත් අපෙ සෙල්ලමක්. සමහර වෙලාවට වාඩි වෙලා යන්නෙ ලකී. කලබලයක් නැතුව, හරි සන්තෝසෙන් ඉඳගෙන යනවා.

ලකී කිරිබත් කන්නයි වැලවරකා කන්නයි ආසයි. අපේ වත්තෙ වැලවරකා ගස් තිබ්බ නිසා, බිම වැටෙන ගෙඩිවලට වග කිව්වෙ ලකී. "ලකී, කිරිබත් කිරිබත්" කිව්වොත් ඉන්න තැනක ඉඳලා දුවගෙන එනවා.

අපේ ලකී වයසට ගිහින් අබලදුබල වුණා. නිරන්තරෙන් ලැගගෙන සිටීම පිණිස ලකී තෝරගත්තෙ, බාගෙට හදල තිබුණු උඩ තට්ටුවෙ තැනක්. එතනට ගෙදර සද්දබද්ද හොඳට ඇහෙනවා. කුස්සිය තිබුණෙ එතනම පහළින්. එළියට ආවහම අම්මට ලකීව පහසුවෙන් පේනවා. ලකිත් හිටියෙ එතනින් පහළ බලාගත්තු ගමන්මයි. ගෙදර සිද්ද වෙන්නෙ මොකද කියල හොඳ අවධානෙන් හිටියෙ.

ගෙදරට කවුරුහරි අමුත්තෙක් ආහම තත්වෙ වෙනස්. එතකොට ලකී පහළට බැහැලා ඇවිත් සාලෙ මැදින් ටොක් ටොක් ගගා, කොර ගගහ, එහාට මෙහාට ඇවිදිනවා. හරියට "ඇයි මොකද? මාත් මේ ගෙදරම තමා ඉන්නෙ. මුං උඹලට මං ගැන කිව්වෙ නැද්ද?" කියල අහන්න වගෙයි.

ලකීගෙ අවසාන වෙලාව ආවහම, ලකී හිටිය තැනින් පහළට එබිලා, අම්මට කතා කළා. අම්මා උඩට යද්දි ලකී නැති වෙලා.

ලකීගෙ හොල්මන...
එක්කො ඒ කතා ඕන නෑ.

19 comments:

  1. ඒ ලකීද එතකොට අයියා එළියට දැම්මේ...?

    ReplyDelete
  2. ලකී අන්ලකී නෑ බලාගෙන යනකොට.
    හොල්මන ගැනත් කිවුවනං.

    ReplyDelete
    Replies
    1. හොල්මනේ සද්ද තමා ඇහුණෙ. විස්තරේ පහළ අටම්ට කියල ඇති

      Delete
  3. මම නම් බල්ලන්ට එච්චර අසා නැහැ.ඇයි කියන්න දන්නේ නැහැ.එත් එච්චර කැමැත්තක් නැහැ.හැබැයි මේ "ලකී බුකී පෙරේරා" ගැන නම් මගේ හිතෙත් ආදරයක් උපන්නා මේ සටහනින් පස්සේ.

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනා කැමති දේ වෙනස්නෙ. විශේෂ කැමැත්තක් නැතුවත්, වැඩි දෙනෙක් සතුන්ට හිංසා කරන්නෙ නෑ. සමහරු අර ළමයි වගේ, හේතුවක් නැතුව සතුන්ට ගහනවා, එළවනවා.
      ලකී බුකී පෙරේරනම් හොඳ බල්ලෙක්

      Delete
  4. මනුස්ස ආත්මයකට කිට්ටු වෙලා ඉන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ එහෙමයි.

      Delete
  5. නලිනිගේ මේ ලියමන හා අර සීතල කතාව කියවලා මගේ නොස්ටැල්ජික් මතකයන් ගොඩාක් ඔළුවට ආවා.
    අපි හැමවෙලේම අපේ ධාර්මික බව අපේ මනුස්සකම අපේ සංස්කෘතිය ආගම අරවා මේවා ගැන හෙන උජාරුවෙන් කතා කරනව.
    ඒත් කොහේ හරි ඉන්න බල්ලෙක් දැකපු ගමන් අපේ මොකක් හරි කහන්න ගන්නවා ඌට ගලකින් ගහනකම්.
    මේක මම නිතර ලංකාවේදි දැකපු දෙයක්. ඒ කිසිම වෙලාවක මම දැකලා නෑ ඕයි ඕක කරන්න එපා කියන මිනිස්සු.
    එක දවසක් මම එහෙම කියලා තව පොඩ්ඩෙන් මටත් අම්බානට කන්න වෙනවා. හොඳ වෙලාවට හමේ පාට හින්දා බේරුනා..;)
    ඇයි අපිට අනෙකාගේ වේදනාව තේරුම් ගන්න මේ තරම්ම අමාරු?
    අපේ රටේ හරි සංස්කෘතියේ අවුලක්ද?

    ReplyDelete
    Replies
    1. ඔය සතෙක් දැක්ක ගමන් ගහන්න එළවන්න හදන එක මට හිතෙන්නෙ පහුගිය අවුරුදු විස්ස තිහ විතර ඇතුළත බෝ වුණු දෙයක්. මෙහෙ අපේ ගම්වල හැම ගෙදරකම වගේ බල්ලො පූසො හිටියා. ඒත් දැන් අපේ ජෙනරේෂන් එකේ අය අම්මලා තාත්තලා වුණහම, ගෙවල්වල සත්තු හදන්නෙ නෑ. ඒකත් අර බාගෙට ඉගෙනගත්තු සයිකොලොජි එක්ක ළමයින්ට ඕනෑ ඕනෑ තාලෙට නටන්න ඇරල ඉන්නව වගෙ දෙයක්. බල්ලෙක් පූසෙක් හින්ද ලෙඩ බෝවෙයි කියල සමහරු හිතන්නෙ. (ඒත් ඇත්තටම සත්තු, ගහකොළ, පස් වැලි එක්ක නොහැදෙන නිසා අද කාලෙ ළමයින්ගෙ ප්‍රතිශක්තිය අඩු වෙලයි තියෙන්නෙ.) තවත් සමහරු ඒක තමන්ගෙ හීනවලට බාධාවක් විදිහට දකිනව ඇති.
      සත්තුන්ට හිංසා කරන්න එපා කියල කිව්වහම අනික් පැත්තට රන්ඩු වෙන්න එන මිනිස්සු සෑහෙන්න ඉන්නව. මමත් සෑහෙන්න ප්‍රශ්නවලට මැදි වෙලා තියෙනව සතා වෙනුවෙන් කතා කරන්න ගිහින්.
      අනික් අයගෙ වේදනාව තේරුම් ගැනිල්ල ගැනනම් කතා කරල වැඩක් නෑ. දවස ගානෙ පේන දේ තමා අඩු ගානෙ දෙමව්පියන්ට ළමයින්ගෙ වේදනාවවත් තේරෙන්නෙ නැති බව. අනික් අය ගැන කවර කතාද?

      Delete
  6. ලකීගෙ හොල්මන මොන වගේද

    ReplyDelete
    Replies
    1. :D මම දැක්කෙනම් නෑ. හැබැයි ගෙදර සමහර අයට ලකී ඇවිදින හඬ කාලයක් ඇහුණා. මට එහෙම ඇහුණෙත් නෑ. හොල්මන් ඇහෙන්නෙ පේන්නෙ සමහරුන්ට විතරනෙ. සද්දෙ ඇහුණු කවුරුත් බය වුණෙත් නෑ, ගෙදර හිටපු සතානෙ. ඌ වෙනුවෙන් පන්සලට දානෙ එහෙමත් දුන්නා.

      එහෙම ඉඳලා, කාලෙකට පස්සෙ අපේ ගෙදර ගිහි පිරිතක් කිව්වා. සාමාන්‍ය පින්කමක් විදිහට තමයි කෙරුණෙ. ඒත් ඒකට ඇවිත් හිටපු එක්කෙනෙක් පිරිත් ඉවර වෙලා, පින් පමුණුවලා එහෙම ඉවර වෙලා, ඊට පස්සෙ හිටි ගමන් කිව්වා, "උඩ ඉඳන් කලු පාට බල්ලෙක් බලං ඉන්නව; පින් බලාපොරොත්තු වෙනව" කියල. ඒ මනුස්සයා අපේ ගෙදර විස්තර දන්න කෙනෙක් නෙවෙයි. කොහොම හරි ඉතින් ආයෙම දාන එහෙම දීලා, ලකීට පින් දුන්නා. ඊට පස්සෙ සද්ද ඇහෙන එක නැතුව ගියාලු. :D

      Delete
  7. බල්ලෙක් දැක්කොත් සමහරුන්ගෙ ක්ෂනික ප්‍රතිචාරය ඌට ගහන්න ගලක් හෙවීම. මම මේ ලඟදි සපත්තු ලේස් එකක් ගැට ගහන්න නැවුන ගමන් ලඟ හිටපු බල්ලෝ පැනලා දිව්වා. අපිටම හිමි බල්ලන්ට අහිමි ලෝකයක් තනන්න එක්වෙමු.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්, සමහර බල්ලොන්ව අල්ලන්න කියල අත දික්කළත්, උන් බය වෙලා පස්සට පනිනව. හරි පව්.
      සමහර මිනිස්සු හිතන්නෙ, ලෝකෙ අයිති මිනිස්සුන්ට විතරයි කියල. :(

      Delete
  8. මම දන්න කෙනෙක් හිටියා බුකි ලකී කියල
    ඔය පෙරේරා වගේමයි පොඩ්ඩ ඇත්නම් හිත රිද්ද ගන්නව
    හිටිගමන් අතුරුදහන් වුණා

    ReplyDelete
    Replies
    1. :D බුකී ලකී සළකුණක්වත් නැතුව අතුරුදහන් වුණා නේන්නම්!

      Delete
  9. පූසන්ට වඩා බල්ලෝ හොඳයි කියන්නේ ඒකනේ.... ;-)

    ReplyDelete
    Replies
    1. බල්ලො ලෙව කෑහම කෙළ ගෑවෙනවනෙ. :D

      Delete