Thursday, January 26, 2012

කැලෑ නීතිය

රාජකාරි අතරතුර පුංචි විවේකයක්. සමහරු උදේ ආහාරය ගන්නට සූදානම. සමහරු පොත් පෙරළාගෙන පාඩම් කරනවා. එක්කෙනෙක් පුවත්පතක් පෙරළාගෙන.

"අනේ බලන්න, අපේ අය්යගෙ පොඩි දුව, හරිම ලස්සන, සුදුම සුදු බබෙක්. ඒත් එයාගෙ උපතින්ම මුහුණෙ එක පැත්තක මාංශ පේශි වැඩ කරන්නෙ නැහැනෙ." මිහිරි කතාව පටන් ගත්තා. කවුරුත් වැඩ නවත්වලා ඇයට සවන් දෙන්නට වුණා.
"ඒ පැත්තෙ කන් පෙත්තත් නැහැ. ඒකනම් කොන්ඩෙන් වහ ගන්න පුළුවන්. ඒත් කටේ ඇදේ කොහොම වහන්නද? ඇහැ හරියට වහන්නත් බැහැ. මේ ළඟදි මොන්ටිසෝරියෙ ටීචර් නාට්‍යයකට ගන්න ළමයි තෝරලා. දුවට හිනා වෙන්න කිව්ව ගමන් එයා එක පාරටම හිනා වෙන්න ලෑස්ති වුණත් ඒ ගමන්ම ආපහු කට වහ ගත්තලු. එයා දන්නවා ටිකක්වත් ඒ ඇදේ නොපෙනෙන්නෙ කට වහගෙන ඉන්නකොට බව."
"අනේ....." "ඔච්චර පුංචි ළමයෙක් වෙලත් ඔය දේවල් තේරෙනවද?" "පව්ව්ව්ව්."
"එයාට හොඳටම ඒක තේරෙනවා. එයාගෙ උපන්දිනේට අක්කා ලස්සන ගවුමක් මහලා දීලා. එයා ඒක ඇඳලා කියනවලු, 'අම්මා, මේක කොච්චර ලස්සන වුණත් මගෙ කටේ ඇදේ වැහෙන්නෙ නෑනෙ' කියලා."
"අනේ පව්. සමහරවිට මොන්ටිසෝරියෙ අනික් ළමයි ඒ ගැන අහනවා ඇති."
"ලොකු මිනිස්සු වුණත් ඔහොම දෙයක් දැක්ක ගමන් අම්මලගෙන් ඒ ගැන අහනවනෙ, ළමයට ඇහෙන එක ගැන නොහිතා."
"නැතත් අපේ බබාලා වුණත් කොච්චරවත් කන්නාඩියෙන් එහෙම බලනවනෙ. මෙයත් එහෙම බලනකොට එයාටම පේනවා ඇතිනෙ වෙනස."
"ලොකු වෙනකොට තවත් දුක  හිතෙයි."
කවුරුත් තම තමන්ගේ අදහස් කියති.
"කෙල්ලෙකුත්නෙ." මිහිරි කල්පනාවෙන් කියයි.
"කොල්ලෙක් වුණත් එච්චර තමයි. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනකොට අනික් කොල්ලො කොච්චර සවුත්තු කරනවද? අපි වුණත් ඒ කාලෙ එහෙමයි. දැන් තමයි තේරෙන්නෙ ඒක නරකයි කියලා." සමන් කියයි.


"අනේ ඔව්." සරෝජිනි එකඟ වෙයි. "අපේ පුතාගෙ මූත්‍ර මාර්ගය හරියට පිහිටලා තිබුණෙ නෑනෙ. ඒක හරි ගස්සන්නෙත් අදියර තුනකින්, ළමයා ටික ටික ලොකු වෙනකොට. එයා වාඩිවෙලා මූත්‍රා කරන නිසා පන්තියෙ ළමයි 'ගෑනි' කියලා නමක් දාලා. ඒත් මොන්ටිසෝරි වයසෙ ළමයි. පුතා යන්නම බෑ කිව්වා ඉන් පස්සෙ. ගෙදර ආ වෙලේ ඉඳන් අඬනවා. බොහොම අමාරුවෙන්, ඉස්කෝලෙ වෙලාවෙදි වැසිකිළි යන්න ඕනෙ වුණොත් තනියම යන්න උගන්නලා, බලෙන්ම තමා අන්තිමට යවා ගත්තෙ."

"ඒක තමා මම කිව්වෙ. අපිත් ඒ දවස්වල ඇවිදින විදිහ, කතා කරන විදිහ බලලා ගෑනි, ලතා වගේ නම් දැම්මා. හෘදය වස්තුවෙ හිලක් තියෙන එකා හිලා. ගොතයක් තියෙන එකා ගොතයා. කන්නාඩි දාන එකා කන්නාඩි පොළඟා. ඒ ළමයින්ට ඒකෙන් කොච්චර රිදෙන්න ඇද්ද කියලා හිතෙන්නෙ දැන් තමයි." සමන් නැවතත් කියයි.

"අපේ පන්තිවලත් හිටියා ගොතයෙක්. මං ඌට ගොතයා නොකිව්ව හින්දා ඌ මගෙත් එක්ක විතරක් යාළුයි. දැන් මිනිහා හෙන ලොකු තනතුරක. ඒත් ඒ කාලෙ කා එක්කවත් කතා නැහැ. කිසි දේකට ඉදිරිපත් වෙන්නෙ නැහැ. මගෙත් එක්ක හිතවත්කමනම් තාම එහෙමමයි." කස්තුරි සිය හිතවතෙකු සිහි කරයි.

"ඕවා වැඩිහිටියන්ගෙත් වැරදි. මිනිස්සුන්ගෙ වැඩේම අනුන්ගෙ ඇදකුද හොයන එක; ඒවට හිනා වෙන එක. ළමයිනුත් ඒවා අහගෙන ඉඳලා ඉගෙන ගන්නවා ඇති."

"එහෙමම කියන්න බැහැ." සමන් කල්පනාවෙන් කියයි. "ළමයි කොහොමත් අවංකයි. උන් හිතට එන එක කියනවා. ලොකු මිනිස්සු කියා දීලා නෙවෙයි. දැන් මෙහෙම වුණාට, කැලේ ජීවත් වෙනකොට ඔය වගෙ අඩුපාඩු තිබුණු උන්, ලෙඩ උන් ඉතුරු වුණේ නෑනෙ. ශක්තිවන්තයා උන්ව පාගලා, නැති කරලම දැම්මා. ඒක තමා කැලෑ නීතිය. දැනුත් අපේ කැලෑ ගතිය ඉඩක් හම්බුණු හැටියෙම මතු වෙනවා. ළමයින්ගෙ වුණත්."

"හ්ම්."

සමහරවිට ඒ නිසා වෙන්නට ඇති මිනිස්සු ලෙඩ රෝග හංගන්නට හදන්නෙ. එහෙම නැති බව පෙන්වන්නට ගිහින් ඇතැම්විට මරණයට පවා අත වනන්නෙ. හිතන්නටත් පුදුම වුණත්, ඒ විදිහට රෝගයක් නිසා සමාජයෙන් ප්‍රතික්ෂේප වනු ලැබීමෙන් වළකිනු පිණිස, සමාජයෙ පිළිගත් ජීවන රටාවෙන් බැහැර නොවනු පිණිස, දරුපෙම, සහෝදර පෙම පවා ඉක්මවන අයුරු මම දැක තිබෙනවා.
ඉන් එක් සිද්ධියක් අපේ හෙද නිලධාරිනියකම පැවසූවක්. ඇගේ සොහොයුරිය බරපතල හෘද රෝගයකින් පෙළෙන බව සොයා ගත්තේ ඇය කුඩා කාලයෙදිමයි. සැත්කමකින් ඇයව සුවපත් කරවීමට හැකියාව තිබුණත්, එවිට ඇයව කවුරුන්වත් විවාහ කර නොගනු ඇතැයි කියන අරුම පුදුම බිය තමයි ඇගේ දෙමවුපියන්ට වැදගත් වුණේ. ඊටත් වඩා, හෙදියක වීමෙන් පසුව පවා, ඇගේ සොහොයුරියත් දෙමවුපියන්ගෙ මේ මතයම පිළි ගත්තා. ඔවුන් කළේ ඇය කිසිම රෝගයක් නැති කෙනෙකු ලෙස පෙන්වා විවාහ කර දීම. රෝග තත්වය අනුව ගැබිණියක වීම ඇගේ මරණයට හේතු විය හැක්කක්. නමුත් ඔවුන් කළේ, ඇයට ගර්භණී වීමට ඉඩ හැර, අනතුරුව ගැබිණි සමයේදී රෝගය අලුතෙන් "සොයා ගන්නට" ඉඩ හැරීමයි.

සම්මත තත්වයනට වෙනස් විදිහකට උපත ලැබූවිට සමාජයේ පිළිගැනීම එහෙමනම්, අපි තවමත් කැලේ බව නොසිතා කොහොමද?

Tuesday, January 10, 2012

ආදරණීය ඔබට...

මතකද...

වසර ගණනාවකට උඩදි අපි මුණ ගැහුණෙ පුහුණුවකට ඇවිත් සිටියදී. එවකට නවකයෙකු වුණු මම කොයි තරම් දේ ඔබගෙන් ඉගෙන ගත්තද? පුහුණුවට අදාල දේ පමණක් නොවෙයි, රෝගීන් වෙනුවෙන් ඔබ මහන්සි වෙන හැටි, තමන්ගෙම කෙනෙකුගේ ප්‍රශ්නයක් මෙන් කැපවීමෙන් ඒ පිළිබඳව සොයා බලා විය යුත්ත කර දෙන හැටි, ඔවුන්ගේ පවුල්වල ගැටළුවලට පවා ඔබට හැකි මට්ටමින් විසඳුම් සෙවීමට වෙහෙසෙන හැටි...... තව කොපමණද?

හමු වුණු මුල් දිනයේ පටන්ම ඔබ මට ගුරුවරියක්; මග පෙන්වන්නියක්.


ඉන් මාස කිහිපයකට පසු දිනයක, මම උදේ ගෙදර දොර අරිනකොට, කකුලක් තුවාල වුණු බැල්ලක හිටියා. දින කිහිපයක්ම පාරේ සිටියදී කෑම දී ඇතත්, මගේ ගෙදර තියෙන තැනවත් ඒ සතා දැන සිටි බවක් මම හිතුවෙ නැහැ. වාහනයකට හසු වුණු පසුපස පාදයේ අස්ථි තැන් කිහිපයකින්ම බිඳී, එළියටත් ඇවිත් තිබුණා. ගේ දොරකඩට පිහිටක් පතා ආව සතා නිසා පශු වෛද්‍යවරයෙක් හමුවට ගියවිට, ඔහු කිව්වෙ පාදය කපා දැමිය යුතු බව. මම ඊට එකඟ වුණේ නැහැ. මගේ පෙරැත්තයටම ඔහු ප්‍රතිජීවක ඖෂධ සහ තුවාලයට දැමීමට බෙහෙත් ලියා දුන්නා. දින කිහිපයක් බෙහෙත් කළත් ඉන් පසු මම වැටුණෙ ලොකු අමාරුවක. ටිකක් හොඳ වෙනකොටම බැල්ල ගිහින් ඇගේ පැටවා අරගෙන ඇවිත් තිබුණා. ඒ අතරෙම සතියකට මට නුවර යාමට සිදු වුණා. හේතු කිහිපයක් නිසා මට බැල්ල ගෙන යාමට හැකියාවක් තිබුණෙ නැහැ. ප්‍රතිකාර ගත් තැනම නැවැත්වීමට හැකියාවක් තිබුණත්, වෛද්‍යවරයා පැවසුවේ අවශ්‍ය වුවහොත් පාදය කපා ඉවත් කරන බවයි.
මගෙ මතකයට ආවෙ ඔබව. එවකට මම ඔබව එතරම් කිට්ටුවෙන් දැනගෙන හිටියෙ නැහැ. කීප වරක් ඔබේ නිවසට යාම් ඊම් කර තිබුණ නිසා බල්ලන් බළලුන් මෙන්ම කපුටන් වැනි සතුන්ටත් ඔබේ නිවස අභයභූමියක් බව පමණයි මා දැන සිටියෙ. මා සිතූ පරිදිම ඔබ දෙවරක් හිතුවෙ නැහැ. ඒ සතිය පුරාවට, දිනකට තෙවරක්, කිලෝමීටර දෙකක් පමණ දුරක සිට අවුත්, බැල්ලට බෙහෙත් පොවා, තුවාලයටත් සාත්තු කොට, බැල්ලටත් පැටවාටත් ආහාරද දීමට තරම් ඔබ කාරුණික වුණා. ඔබට පින් සිදු වන්නට, අදත් ඒ බැල්ල ඉතා නිරෝගීව සිවුපයින්ම දුව පැන ඇවිදිනවා.

විශ්වසනීයත්වයේ මුල් බිජුවට වපුරා, මගේ සිත නිදහස් කළ ඔබ මට කවදත් හිතාදර යෙහෙළියක්.



මතකද...

ඉගෙනීමට උනන්දුවක් නැති මා විභාගයකට ඉල්ලුම්පත් දමා තිබුණා. විභාගයට ඔන්න මෙන්න කියා තිබියදීවත් මා දැන සිටියේ නැහැ විභාගය පිළිබඳ කිසිදු දෙයක්: පැවැත්වෙන ආකාරයවත්, ප්‍රශ්න පිළිබඳවවත්, විෂයයන් පිළිබඳවවත්. එක් ඉරිදාවක ඔබ මා කැටුව ගියා ඒ විභාගය උදෙසා පන්ති පැවැත්වෙන ස්ථානයට. දොරෙන් ඇතුළු වෙනවිටම මම දැක්කෙ මා හඳුනන කෙනෙකුගෙ රුවම ඇති අයෙක්. ආ කාරණාව පසෙක තබා, පුටුවකුත් ඇදගෙන හොඳට වාඩි වී, පැය භාගයක් හෝ ඊටත් වැඩියෙන් වෙලාවක් මා කතා කර කර ඉන්නට ඇති ඒ අමුත්තා සමග. නමුත් ඔබ ඒ අතරතුර විභාගය පිළිබඳව සියළුම තොරතුරු එක්‍ රැස් කරගෙන තිබුණා පමණක් නොවෙයි, ප්‍රශ්න පත්‍ර වගයක් ගෙන එන ලෙස කාවදෝ පොරොන්දු කරවාගෙනත් තිබුණා. මගේ වගකීම් රහිත ක්‍රියා කලාපය ගැන වචනයක විවේචනයක් ඔබ කළේ නැහැ. පසු දිනයෙක ඒ ගැන සිහිකොට සිනා වුණා පමණයි.

මගේ වැඩක්, ඔබේම වැඩක් බවට පත් කරගෙන,  මටත් වඩා උනන්දුවෙන් මගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ ඔබ මට මගේම සහෝදරියක්.



මතකද...

මම ලෝකයේ හුඟක් දේ හඳුනගත්තෙ ඔබ හරහා. ඔබ හැමවිටම උනන්දු කළා අලුත් අලුත් ඉසව් සොයා යාමට. හරියට අපේ පොළොන්නරු ගමන වගේ...
සරසවියෙ තරග සඳහා ගිය ගමනක් හැර දුම්රියේ ගමන්ගෙන නොතිබුණ මම ආශාවෙන් බලා හිටියෙ දුම්රියේ ජනේලයෙන් හිස එළියට දමාගෙන යාමට. නමුත් අපට ලැබී තිබුණෙ ජනේලයක් අසල ආසන නොවෙයි. මගෙ මූණ අඳුරු වෙන්න ඇති. ඔබ ප්‍රවේශපත් පිරික්සන මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කළා මට ජනේලයක් අසල අසුනක් ලබා දෙන ලෙස. ඔවුන්ගෙ පිළිතුර වුණේ හිස් අසුන් නැති බව. "ඇරත් මේ රෑ මොනවා බලන්නද?" ඔවුන් කිව්වෙ එහෙම.
මම ඔහේ බලා සිටියා.
නමුත් ඔබ වටපිට බලා, හොඳින් පිටත පෙනෙන ජනේලයක් අසල අසුන් ගෙන සිටි දෙදෙනෙක් වෙත ගොස් ඉල්ලීමක් කළා. මට ජනේලය අසල අසුනක් ලැබුණුවිට මම කොතරම් සතුටු වුණාද? රාත්‍රී දුම්රිය බව නොතකා, ජනේලයෙන් එළියට එබීගෙන, කෑලි කැපිය හැකි ගනඳුර දිහා බලාගෙන, වේගයෙන් දිවෙන දුම්රියෙන් නැංවෙන සුළං පහර විඳිමින්, තනිවම ගී කියමින් මම එදා පොළොන්නරු ගියෙ. රාත්‍රියේ සීතල වැඩි වනවිට ඔබ මාව ආවරණය කළේ මා වෙනුවෙන්ම ගෙන ආ පොරෝණාවකින්. ගමන නුහුරු මා එහෙම දෙයක් ගෙන නොඑන බව ඔබ දැන සිටින්නට ඇති.
ඔබ නිතරම මගේ කෑම බීම ගැන සොයා බැලුවා; කම්මැළිකමෙන් ඇත්දැයි සොයා බලා ගෙදරට ආරාධනා කළා; ඔබට යාමට අවස්ථාව ලැබුණු නාට්‍ය, නැටුම්, සර්කස් දර්ශන වැනි බොහෝ දේවලට මාවත් සහභාගි කරවගත්තා.

මා ගැන සොයා බලමින්, මගේ රුචිඅරුචිකම්වලට ඉඩ දෙමින්, මා රැක බලාගත් ඔබ මට ආදරණීය මවක්.



මතකද....

අහස, වැව් තලාවන්, වන අරණ ඈ නොයෙක් දේ දිහා වරු ගණන් බලා සිටින්නටත්, පැරණි ලෝකවල නිහඬව සැරි සරන්නටත් මට සහයෝගය ලැබුණෙ ඔබගෙන්. වරක් සන්ධ්‍යාවේ හිරු ගිලෙන්නට ඔන්න මෙන්න තිබියදීයි අපි පොළොන්නරු පුරා විද්‍යා භූමියෙන් පිට වෙන්නට හිතුවෙ. අපි හිටියෙ පැරණි රෝහල ළඟ. අප වෙත ආ මිනිසුන් දෙදෙනෙක් කියා සිටියා සංරක්ෂණය කර නැරඹීමට සකස් කොට නැති මුත්, තරමක දුරින් පිහිටා ඇති වඩාත් විශාල පුරාණ පොකුණක් පිළිබඳව. අපි ඔවුන් පසුපසින් වනය හරහා ගමන් ගත්තෙ පොකුණ බැලීමේ ආශාවෙන්. ඒත් ඔබත් බියට පත්ව ඇති බව මා දැන ගත්තෙ ඔබ ඔබේ සොයුරාට අමතා අප යන ඉසව්ව පිළිබඳව හෝඩුවාව ඔහුට දැනුම් දෙනවිට. හිතේ දෙගිඩියාවෙන්, බියෙන් සැකෙන් අපි පැය භාගයක්වත් ඇවිද යන්නට ඇති. ඒත් අවසන ඒ වනයට යට වී ඇති සුවිසල් පොකුණ දුටු කල මොන තරම් ප්‍රීතියට පත් වුණාද?

ත්‍රාසය, කුතුහලය සමග ජීවිතය විඳීමට අනුබල දුන් ඔබ මට කිසිදා අමතක නොවෙන ගමන් සගයෙක්.



වසර කිහිපයකට උඩදී, ඔබ දුරු රටකට ගිය පසු, මා හිඳ ගත්තේ ඔබට ලිපියක් ලිවීමට හිතාගෙන.
"ආදරණීය.." මම ලිපිය පටන් ගත්තා. ඉන් පසුව තනිවම කල්පනා කරන්නට වුණා. ආදරණීය කවුද?

මම ඔබට ඉන් පෙර කවදාවත් නමින් ආමන්ත්‍රණය කර තිබුණෙ නැහැ. පුරුද්දක් විදිහට හැම කෙනාටම සහෝදර ආමන්ත්‍රණය භාවිතා කරන මම ඔබට අක්කා කියා තිබුණෙත් නැහැ. විහිළු කරන වෙලාවට, පැරණි විහිළුවක ශේෂයක් වුණු "මෙයා" යන වචනය භාවිතා වුණත් අනෙක් වෙලාවට මම කිසිම ආමන්ත්‍රණ පදයක් භාවිතා කර තිබුණෙ නැහැ. අප හඳුනාගෙන වසර කීයක්ද? හිතනකොටත් පුදුමයි.

ඒත් පුදුම වෙන්නට දෙයක් නැහැ. විටෙක යෙහෙළියක්, විටෙක මවක්, විටෙක සහෝදරියක්, විටෙක ගුරුවරියක්, විටෙක මග පෙන්වන්නියක් වන ඔබව එහෙම එකම වචනයකින් ඇමතිය හැකිද?

අද දවස ගෙවී අවසන් වෙන්නටත් ආසන්නයි. ආදරණීය ඔබට වාසනාවත් උපන්දිනයක් වේවා.