Saturday, May 28, 2011

ඇනට්

"මචං ගෝපාල්." රංජිත් කණ සාක්කුවේ දමාගෙන ප්‍රශ්න කරයි. "උඹේ නම මොකක්ද?"
මත්පැන් නොබොන ගෝපාල් අමුත්තක් නැතිව පිළිතුරු දෙයි. "මචං මම ගෝපාල්."
"ගෝපාල්! උඹ දන්නවද ගෝපාල් කියන්නෙ මොකාටද කියලා?"
"මට මචං."
"මැට්ටා! ගෝපාල් කියන්නෙ යකෝ, හරක් බලන එකාට. තෝ ගෝපාල්නං හරක් බලන්ඩ ඕන. තෝ මොකද මෙහෙ කරන්නෙ?"
"මං උඹව බලනවා මචං."
නේවාසිකාගාරය දෙදරමින් සිනා හඬ පැතිරෙයි.

රංජිත් නොසැළෙයි.
"හරි. මං හරකා! එහෙනං උඹ වැඳපං මට. උඹලා වඳිනවනෙ හරක්ට? වැඳපං මට."
"හරකට පූජා කරන දවස් වෙනම තියෙනවා මචං.." ගෝපාල් ප්‍රවේශමෙන් පිළිතුරු දෙයි.

Tuesday, May 24, 2011

සෞඛ්‍ය කඳවුරු

සීමාවාසික පුහුණු කාලයෙ අපේ වාට්ටුවෙ විශේෂඥ වෛද්‍යවරිය හැම මසකටම වරක් මායිම් ගම්මානවල වෛද්‍ය සායන පැවැත්වීමට යනවා. මමත් ඒ කාලයෙ මේවට සහභාගි වුණා. ඒවට ගිහාම අපි වගේ හාල් කෑලිත් එක පාරටම විශේෂඥ වෛද්‍යවරු බවට පත් වෙනවා. මොකද, හැම දන්සැලකම දෙන්නෙ මහා නූඩ්ල්ස්, මහා බත්, මහා අයිස්ක්‍රීම් වගේ වෛද්‍ය සායනවලදි දෙන්නෙත් 'විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර' කියලා තමයි ප්‍රචාරය කරන්නෙ.

Sunday, May 22, 2011

රතු ළමයා

"අර රතු ළමයා.." වරක් වාට්ටුවේ හිටි වැඩිහිටියෙක් ජයසිංහව හැඳින්වූයේ එහෙම.

ජයසිංහ කියන්නෙ මම සීමාවාසික පුහුණුව ලැබූ වාට්ටුවෙ හිටි සුළු සේවකයෙක්. වයස 20-22ක් විතර ඇති. උස, ලස්සන, සුදු කොල්ලා. වැඩට බොහොම දක්ෂයි; කම්මැළි නැහැ. රස්සාවක් කියල නෙවෙයි, සේවයක් කියලා හිතාගෙන වැඩ කළේ. හරිම හිතවත්. හොඳටම අබල දුබල කෙනෙකුට විශේෂ අවසරයකින් මිස ළඟ කාවවත් නවත්තගන්න බැහැ. වාට්ටුවේ වැඩිහිටි පිරිමි අය බහුතරයකට කාවවත් ඕනෙ වුනේ නෑ; ජයසිංහ ඔක්කොම හොයල බලල කළා. ආයෙ මුදලකට එහෙම නෙවෙයි.

වරක් අපිට හදිසි ඒකකයෙන් එව්වා වයසක රෝගියෙක්. මොළේ අඩපණ වීමකින් පසු එක්තැන් වෙලා ඉන්න ඔහුගෙ උඩු තල්ලෙ ගෙඩියක්. ඒක කම්පනය වෙනවා- රුධිර වාහිනීවල ගෙඩියක් වෙන්නැති, හදිසියෙ පුපුරන්න ඉඩ තියෙනවා, ප්‍රවේශමෙන් බලා ගන්න කියලා තමයි එව්වෙ.
වාට්ටුවට ඇවිත් වැඩි වෙලා යන්න ඉස්සර ගෙඩිය පිපිරුවා. පුපුරලා එළියට ආවෙ ලේ නෙවෙයි- පණුවො!

Friday, May 20, 2011

කළු පාට සොබාදහම

පිදුම: කුණාටුවට හසුව බිම වැටුණු තුරුණු පතට

නපුරු වෙසින් කළු කරගෙන
ගොරවා ලොව බය කරගෙන
අහස ඉරා කඩා හැලෙන
මහ වැස්සට

වියළුණු පත් බිම වැටුණට
දිරූ කඳන් බිම වැටුණට
නොසැලෙයි කිසිවෙක් කිසිවිට
විය යුත්තක් සේ

තුරුණු සුනිල පතක් වුණොත්
මහ රූස්ස ගසක් වුණොත්
දැරිය නොහැක දසුන වුවත්
හද රිදවයි


දුටුවත් සිත පිළි නොගන්න
එරෙහිව යන්නට වෙහෙසෙන
බැරි වුණු කල හද පෑරෙන

සොබා දහම

Tuesday, May 17, 2011

අප්පිය සම්පයෝග

අපි ත්‍රිකුණාමලය බලා යමින් සිටියෙමු. නන්දාමාලිනියගේ ගී තැටියක් වාදනය වෙමින් තිබිණ.
"ඔය සින්දුව මට පේන්ඩ බෑ." යම් කිසි ගීතයක් ඇරඹෙද්දීම මම පැවසුවෙමි. මට කොහොමත් බොහෝ දේවල් පේන්ඩ බැරිය.
"මමත් ඒකට කැමති නෑ." නිල්වලා පැවසුවාය.
"එහෙනං ඕක ඇරලා ඊලඟ එක අහමු." මගේ අත ගී තැටි යන්ත්‍රය වෙත ගියේය.
"නෑ, නෑ තියන්ඩ." නිල්වලා කීවාය. "ඕක ඔහෙ ගිහිං ඉවර වෙයිනෙ."
"නිකං අමාරුවෙං ඉන්ඩ ඕනෙ නෑනෙ. ඒක ඇරලා ඊලඟ එක අහමු."
"නෑ එපා. මම බබාලටත් එහෙම කරන්ඩ දෙන්නෙ නෑ. අකමැතිනම් සද්ද නැතුව ඉන්ඩ කියනවා ඒක ඉවර වෙනකම්. නහකුණු ගෑම තහනම්."
"ග්ර්ර්ර්ර්ර්."
"දෙයකට අකමැතියි කියලා චෝදනා කරන්ඩයි වෙනස් කරන්ඩයි දඟලනකොට අමාරුව වැඩියි."

Monday, May 9, 2011

සිත්ති නෝනා




සිත්ති නෝනා
බලාපන්
මොහොමඩ් ඇවිත්

පුත්තලමේ සිට
මග ගෙවාගෙන
අත් වැඩට නොගිහින් අද
නුඹ බැලීමට ඇවිත්

නුඹේ සිහිසුන් සිරුර
වැලඳගෙන, සිප දෙපා,
වියළි කෙහෙ කැරලි
පිරිමදියි සෙනෙහසින්

නුඹේ නෑසෙන කණට
කිට්ටු වී මුමුණයි
ගෙවුණු විසි වසර තුළ
කියා ගත නුහුණු දේ

නුඹේ දරු සයදෙනට
කන්ට දිය යුතු හෙයින්
නොහැක හෙට මෙහි එන්ට
නුඹ බලන විලසින්


යා යුතුය බොහෝ දුර
තනිව, දරුවන් පිණිස
ඒ නිසා යනු මිසෙක
නුඹව හැර යනු නොවේ

සිත්ති නෝනා
විවර කර දෑස
සමුදෙන් මොහොමඩ්ට
අවසාන වරට


සයවන දරුවා ලබා සති දෙකකින් හදිසියේ අසනීපව, පුත්තලමෙන් කොළඹට එවා, කොළඹින් අපට එවූ සිත්ති නෝනා.... උපන් දා සිට දුක් විඳි ඇගේ පෙණුම තිස් හතක් නොව පනස් හතක් මෙනි. ජීවිතයත් මරණයත් අතර දෝලනය වන ඈ බොහෝවිට ආපසු නිවෙසට නොයනු ඇත.
විසි වසරක් පුරා ඈ හා ජීවිතය බෙදාගත් මොහොමඩ්ගේ කඳුලින් අද ඇගේ සිරුර නෑවෙන්නට ඇති.
"මම හෙට වැඩට ගියොත් තමා කන්ඩ හම්බ වෙන්නෙ." දරුවා ලැබුණු පසු දින එකොළහක්ම රැකියාවට නොගොස් සිටි ඔහු අතේ සතයක්වත් ඉතිරි නැතිව ඇති. මග වියදම් සපයා ගැනීම තබා අලුත උපන් දරුවා ඇතුලුව දරු කැලකගේ කුසගිනි නිවන්නේ කොහොමද? සිත්ති නෝනා අසාධ්‍ය තත්වයෙන් සිටියදීත් ඔහුට මේසන් වැඩට අත් උදවු දීමට යාමට සිදුව ඇත්තේ ඒ නිසා. "මම හෙට ආවෙ නැතුවට කමක් නැද්ද?" ඔහු දොර ළඟ සිට ආයෙමත් ඇහුවා. "ළමයිනුත් හුඟක්නෙ. මම වැඩ කරොත් තමා කන්ඩ හම්බවෙන්නෙ....මම ආයෙ සැරයක් එයාව බලලා එන්ඩද?" සිත්ති නෝනාව තනිකර ආපසු යන මොහොමඩ්ගේ හදවත රිදුම් දෙන්නට ඇති.
ඒත්...... මෙතරම් ආදරය කරන මොහොමඩ්ව යළි දකින්නට නොලැබෙන බව නොදැනදෝ සිත්ති නෝනා තද නින්දක.

Friday, May 6, 2011

බේබද්දා

බේබද්දාගේ මරණය මා කම්පාවට පත් කරනු ඇතැයි මම කිසි කලෙකත් නොසිතුවෙමි. මා සිතූ දෙයක් ඉටුව ඇත්තේ කලාතුරකිනි.
********************************

බේබද්දා විවාහ වී සිටියේ සුදු නැන්දා සමගය. මුහුණට මාමා, අය්යා ආදී වශයෙන් ආමන්ත්‍රණය කළද, නැති තැන අප භාවිතා කළේ බේබද්දා, අරූ, අර යකා වැනි වදන්ය.

දිනූ පක්ෂයේ දේශපාලනඥයකු විසින් අපේ නිවෙස් අසළ තැබෑරුමක් විවෘත කරන ලදින්, බේබද්දා දිනපතා අපේ නිවසට යාම් ඊම් කරන්නට විය. අප්පච්චීට කලාවැව හිතවතෙකු විසින් දෙන ලද නාගවල්ලිය බුලත් වැලෙන් සුදු නැන්දාට බුලත් ගෙන යාම මේ ගමන්වල මුඛ්‍ය අරමුණ විය. නාග කන්‍යාවියන් සපන්නේ මේ බුලත්ම බවට ඒ හිතවතා පුන පුනා පැවසූයේ මහත් විශ්වාසයෙනි.  අපේ නිවසේ කිසිවෙක් පුරුද්දක් ලෙස බුලත් නොකෑ නිසා 'බුලත් වැල දවස ගානෙ හූරං යෑම' ගැන වාද කිරීමට සාධාරන හේතුවක් නොතිබිණි. 


විශ්‍රාමික රජයේ ලිපිකරුවකු වූ බේබද්දා සිය වෘත්තීය ගරුත්වය පසෙක ලා, මත්පැන් සඳහා වියදම් සපයා ගනුවස් කුලී වැඩ කළ හෙයින් අපේ නිවසේ ඇතැම් බර වැඩ ඔහු සවසට එනතුරු තබා ගැනිණි.  ඔහු පිට මිනිසුන්ගේ කුලී වැඩ කිරීම කිට්ටු ඥාතීනට රුචි නොවුණු නමුත් මේ පිළිබඳව සාකච්ඡා කිරීම ඵල විරහිතයයි සැළකුණේ "කොහොම හම්බ කළත් සල්ලි සල්ලිම" බව බේබද්දා ප්‍රකාශ කළ හෙයිනි.

Monday, May 2, 2011

සිල්

සිල් ගන්ඩ පන්සල්ම යන්ඩ ඕනයැ? අර දවසක් මහමෙවුනාවෙ හාමුදුරුකෙනෙකුත් කිව්වෙ කඩයක් කරන ගමන් හැමදාම අටසිල් ගත්ත කියල. ඉතිං මට මොකද බැරි ගෙදර ඉඳං සිල් ගන්ඩ? අද පොසොන් නිසා පන්සල්වල සෙනගත් ඇති. මේ වැස්සෙ ඕවගෙ ගිහිං තෙරපෙන්ඩ වුණහම නිකං හිත නරක් වෙනව.

අද සිල් ගන්නෙ ගෙදර ඉඳං.