"අර රතු ළමයා.." වරක් වාට්ටුවේ හිටි වැඩිහිටියෙක් ජයසිංහව හැඳින්වූයේ එහෙම.
ජයසිංහ කියන්නෙ මම සීමාවාසික පුහුණුව ලැබූ වාට්ටුවෙ හිටි සුළු සේවකයෙක්. වයස 20-22ක් විතර ඇති. උස, ලස්සන, සුදු කොල්ලා. වැඩට බොහොම දක්ෂයි; කම්මැළි නැහැ. රස්සාවක් කියල නෙවෙයි, සේවයක් කියලා හිතාගෙන වැඩ කළේ. හරිම හිතවත්. හොඳටම අබල දුබල කෙනෙකුට විශේෂ අවසරයකින් මිස ළඟ කාවවත් නවත්තගන්න බැහැ. වාට්ටුවේ වැඩිහිටි පිරිමි අය බහුතරයකට කාවවත් ඕනෙ වුනේ නෑ; ජයසිංහ ඔක්කොම හොයල බලල කළා. ආයෙ මුදලකට එහෙම නෙවෙයි.
වරක් අපිට හදිසි ඒකකයෙන් එව්වා වයසක රෝගියෙක්. මොළේ අඩපණ වීමකින් පසු එක්තැන් වෙලා ඉන්න ඔහුගෙ උඩු තල්ලෙ ගෙඩියක්. ඒක කම්පනය වෙනවා- රුධිර වාහිනීවල ගෙඩියක් වෙන්නැති, හදිසියෙ පුපුරන්න ඉඩ තියෙනවා, ප්‍රවේශමෙන් බලා ගන්න කියලා තමයි එව්වෙ.
වාට්ටුවට ඇවිත් වැඩි වෙලා යන්න ඉස්සර ගෙඩිය පිපිරුවා. පුපුරලා එළියට ආවෙ ලේ නෙවෙයි- පණුවො!
පණ නැතිව එක් තැන් වෙලා ඉන්න ඒ වයසක පියා කට ඇරගෙන නිදා හිටි වෙලාවක මැස්සෙක් තල්ලෙ බිත්තර දාන්න ඇති. පණුවො එක විමානයයි. ගඳ ඉවසන්න බැහැ. පළාතක ඉන්න බැහැ. කොටින්ම ඔහුව එක්කගෙන ආව පුතාලා ඈතින් ඈතට වුණා.
ඒත් ජයසිංහ අත් ආවරණයක් දාගෙන අර පණුවො ඇහිඳලා එළියට දැම්මා; ඇහිඳලා දාන්න දාන්න තව තව ගෙඩියෙ ඇතුළෙන් පණුවො මතු වෙනවා. කවුදෝ කෙනෙක් රාජකාරි වෙලාවෙ රෝහලෙන් පිටව යාම තහනම් කෙරෙන විකාර නීතියට පිටුපාලා එළියට ගිහින් කොහොඹ තෙල් හොයාගෙන ආවා. ජයසිංහ ඒ තෙල් ලෙඩාගෙ කට ඇතුලෙ තවරමින් පණුවො ඉවත් කළා. පණුවො උගුරෙ හිරවෙලා මැරෙන්න ඇරියෙ නැහැ.
පුතාලනම් පළාතෙ ආවෙ නෑ සේරම ඉවර වෙනකම්.
එහෙම කරපු ජයසිංහ.
ලාංකීය සමාජෙ "අම්මා" කියන වචනෙ භාවිතා වෙන්නෙ කාන්තාවට ගෞරවනීය ඇමතුමක් විදිහටනෙ. ඉතින් රෝහල් ගතවන කාන්තාවන්ට වයස, විවාහක අවිවාහක තත්වය, තරාතිරම, දරුවන් සිටීද නැද්ද යන වග අමතක කරලා පොදුවේ ආමන්ත්‍රනය කෙරෙන පදය තමයි "අම්මා."
අවුරුදු හැටපහක පමණ කාන්තාවක් මොකක්ද ලෙඩක් එක්ක වාට්ටුවට ඇතුළු වෙලා. ඇයට තනිවම ඇඳේ නැගිටගන්නවත් බැහැ. ජයසිංහ ඇයව ඇඳේ හිඳුවලා මොකක් හරි එකකට ඇයව "අම්මා" කියා අමතලා.
අර කාන්තාවට ඒකට මළ පැනලා- ඇය විශ්‍රාමික හෙද මේට්‍රන්වරියක්. ඉතින් ඇගේ මිණුම්දණ්ඩට අනුව රෝහලේ ඉතාම පහළ මට්ටමේ තනතුර වන සුළු සේවකයෙක් විසින් ඇයව "අම්මෙක්" ගානට දැමීම විශාල අවනම්බුවක්. ඇය ඇඳ උඩ ඉඳගෙන බනින්න තියා ගත්තා.
ජයසිංහටත් ඌරු ජුවල්. ජයසිංහ වාට්ටුවටම ඇහෙන්න "අනේ බැල්ලි තෝ....." කිය කියා බනින්න තියාගත්තා.
අපිට හරි ජොලි. "අම්මා" කියන එක බැනුම් අහන්න තරම් නරක වචනයක්යැ? කොහොමත් ඔය යුනිෆෝම් එක දාගත්තට පස්සෙ බහුතරයක් මේට්‍රන්ලා අපිට පෙන්නන්ඩ බැරි ගති ලක්ෂණ දරනවා. මේ කාන්තාව හොඳටම ඔළුව ඉදිමුණු කෙනෙක් වෙන්න ඕනෙ. අපිටත් වඩා ජොලි වාට්ටුවෙ හෙදියන්ටත් හෙද ශිෂ්‍යාවන්ටත්. මොකද, මේට්‍රන්ලා ඒගොල්ලොන්ට හුඟක් සද්දෙ දාන නිසා. ඇරත් ජයසිංහට හැමෝම කැමතියි.
ඉතිං ජයසිංහට ඇති වෙනතුරු බනිනකම් හෙදියො කවුරුත් කිව්වෙ නෑ නවත්තන්න කියලා.
හිතේ තෙතමනය තියෙන එකා රත්වෙනවා කියලා දෙමල කියමනක් තියෙනවා.
ReplyDeleteපාසම් උල්ලවනුක්කු රෝසම් ඉරික්කුම්
පාසම් කියන්නේ ආදරය, හිතවත්කම
රෝසම් කියන්නේ කෝපවීම
ඒ කියමනනම් හරිම ඇත්ත කියලා මටත් හිතෙනවා. ඕනෙ දේකට පතෝල වගේ ඉන්න කෙනෙක් හරි, හිත බොහෝ දියුණු කරපු කෙනෙක් හරිනම් හැඟීම්වලින් ඔච්චර ඇවිස්සෙන්නෙ නැතුව ඇති.
ReplyDeleteටිකක් විතර මේ වගේම කතාවක්. කොන්දොස්තර මහත්තයෙක් ගැන
ReplyDeletehttp://sun-ge-lookaya.blogspot.com/2011/05/blog-post_22.html
ඒ තරම් හිත හොද මනුස්සයකුට ඔහොම කතාවක් කිව්වම තදවෙන එක සාධාරණයි
ReplyDeleteජයසිංහ වගේ අය අද කාලේ දකින්න ලැබෙන එකත් අපේ වාසනාවක් ........
ReplyDeleteඅද කාලේ හුඟග් හොස්පිටල් වල තනියෙන් වැඩ ටික කරගන්න බැරි ලෙඩුන්ගෙ මල, මුත්‍ර අයින් කරන්න ඕන ලෙඩාගේ කවුරු හරි එහෙම නැතුව හොස්පිටල් එකේ වැඩ කරන කවුරුවත් කැමති නැහැ ඒ වැඩේ කරන්න ........ මම අත්දැකීමෙන් කියන්නෙ .......
අන්න මිනිස්සු
ReplyDeleteඅම්මා කියද්දි තරහ යන්නෙ ?
ReplyDeleteඑයත් අවුරුදු 60ක විතර කෙනෙක් කියන්නෙ බොහෝවිට අම්ම කෙනෙක්,මිත්තණියක් වෙන්න ඇතිනේ.අම්මා කියන්නෙ කොච්චර සුන්දර වචනයක්ද?අපේ අක්කගෙ බබත් හිටපුගමන් වැරදිලා මට අම්මා කියනව.එතකොට මට දැනෙන්නෙ හරිම අමුතු හැගීමක්,ඒක මෙහෙමයි කියල කියන්න තේරෙන්නෙ නැ.
සමහර විට ජයසිංහ,ඇයට මැඩම් කිව්වනම් තරහ යන එකක් නැ:ඩී
@ Chanaka Aruna Munasinghe: කොන්දොස්තර මහත්මයාගේ කතාව කියෙව්වා. ඔය වගේ හිත හොඳ මිනිස්සු ගැන අහන්න ලැබෙන එකත් සතුටක්.
ReplyDeleteබොහොම ස්තුතියි.
@ Soda ගුනේ: ඒක ඇත්ත. ඔතනදිනම් මොනවා කියලා බැන්නත් ඒ මනුස්සයට වැරැද්දක් කියන්න බැහැ.
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.
@ කල්හාර දිසානායක: අපි වැඩිපුර කතා කරන්නෙ අඩුපාඩුවක්, අසාධාරනයක් වුණහමනෙ. මෙහෙම යහපත් අය ගැනත් ලියවෙනවනම්, අපි හිතන තරම් ඒ අය දුලබ නැති බව අපටම පෙනෙයි.
හොස්පිට්ල් එකේදි නොයෙකුත් අපහසුකම්වලට මුහුණ දෙන්න වෙන අවස්ථානම් බොහොම තිබෙනවා. ඒ අයගෙ පැත්තෙනුත් ප්‍රශ්න තියෙනවා- නිසි පුහුණුවක් නොලැබීම, එක් අයෙකුට පැවරෙන වැඩ කොටස වැඩි වීම, කරන එකාටම කරන්ඩ ඇරලා අනික් අය කට්ටි පැනීම වගේ දේවල්. ඒ ඇරුණුකොට පසු ගිය කාලෙදි රෝහලේ සුළු සේවක තනතුරු බොහෝ විට ලැබුණෙ දේශපාලන පත්වීම් විදිහට.
@ බුද්ධි: ඔව් ඔව්. ඔන්න නියම මිනිස්සු.
@ නදී: බොහොම ස්තුතියි ඔබේ අත්දැකීමත් බෙදාගත්තාට. එක් එක්කෙනාගෙ ආකල්ප වෙනස්නෙ. මේ කාන්තාව සමහරවිට අම්මා කියනවට අකමැති ඇති. ඒත් ඉතින් ඇඟෙන් කෑල්ලක් යන්නෙ නැති හින්දා කට පියාගෙන ඉන්ඩ තිබුණා.
ඔයා කියලා තියෙනවා වගේ මේට්‍රන්වරියන්ට සුළු සේවකයන්, හෙදියන් ආමන්ත්‍රණය කරන්නෙ "මැඩම්" කියලා. ඒක නැතිවුණු නිසා තමයි එච්චර සද්දෙ දැම්මෙ.
මේට්‍රන් නෝනා ලෙඩෙක් කියලා හිතන්නේ නැතුව ඉස්පිරිතාලෙට එනකොට එයාගේ ලොකු කමත් අරන් ආපු එකට ජයසිංහ හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙන්නේ . .
ReplyDeleteනියමයි . .
මිනිස්සු ඉන්න ඕන මෙන්න මෙහෙම තමයි . .
අසාධාරණය දැක්කම ඒ වෙලාවෙක ඊට එරෙහි වෙන්න ඕන . .
ජයසිංහට මගේ ආචාරය පුදකලා කියන්න . ..
ජයසිංහට හංස පැටියාගේ උත්තමාචාරය... මේක කියවද්දි මගේ ශරීර කූඩුව හිරි වැට්ච්ච විදියට ජය සිංහ කියන්නේ පුදුමාකාර ගුනයහපත් කෙනෙක්.. මම කියන්නේ රෝගියාට සලකපු විදිය ගැන... අම්මා කියද්දි මල පැන්න ආච්චිට නම් අමතපු එක හොදයි...
ReplyDeleteඅපේ රෝහල් වලින් අපිට ලොකු සේවයක් වෙනවා.. හැබැයි සමහර වෙලාවට මේ මේට්‍රන්ලා නිසා මල පනින වේලාවලුත් තියනවා..
ReplyDelete@ දුකා: ඒක තමයි. මේට්‍රන් සද්දෙ දාන්ඩ ඇත්තෙ ඇගේ පැත්තෙන් වුණු 'අසාධාරනයකට' වෙන්ඩැති. ;-) ජයසිංහ හමුවුණොත් කියන්නම්. මම දැන් ඒ ඉස්පිරිතාලෙ නෙවෙයිනෙ ඉන්නෙ.
ReplyDelete@ සුදු හංසි: ඔව් නංගි, ජයසිංහ කියන්නෙ හුඟක් හොඳ කෙනෙක්. ඒ වයසෙ තව බොහෝ දෙනෙක් එක්ක බලද්දි පරිණත විදිහට කටයුතු කළ කෙනෙක්.
@ ශ්‍රී: ඇත්ත. අපි බොහෝ වෙලාවට පුරුදු වෙලා තියෙන්නෙ කොයි දේත් වැරදි පැත්තම දකින්න; ඒ ගැනම අනෙක් අය සමග කියන්න. නමුත් නොමිළේ ලැබෙන අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් නිසා සිදුවන යහපත ගැන, ඒ තුළ සිටිනා යහපත් පුද්ගලයන් බහුතරය ගැන කතා කෙරෙනවා අඩුයි.
සමහර වෙලාවට බස් කොන්දස්තරලා අක්කේ, අම්මේ කියද්දී සමහරුන්ට තරහ යන්නේ.... ඒ ඉතින් එක එක්කෙනාගේ හැටි තමා :))
ReplyDeleteමට ගෙදර ගිහිනුත් මතක් උනේ රතු ළමයගේ උපස්ථානය අර ලෙඩාට.....
ReplyDeleteහැමතැනම ඉන්නව මෙහෙම උත්තරීතර මිනිස්සු. සමහරුන් ඒ චරිතෙට එන්නෙ නැහැ කල හොඳ පස්සෙන් ඇවිත් වද දීල තියෙන නිසා....
@ Heeniyata: ඔව්, සමහර අත්දැකීම් හින්දා මිනිස්සු වෙනස් වෙනවා. එකක්, අපිට වැඩිපුර හොඳට මතක තියෙන්නෙ නරක අත්දැකීම් (හැම තැනම ගිහින් කිය කිය බැනලා, දුක කියලා, ඒක අමතක වෙන්න දෙන්නෙ නෑනෙ අපි.); අනික් අතට හොඳ වැඩක් කරන කෙනෙකුගෙ ඒ ගුණය ඇගයීමට අපේ සමාජය ඉදිරිපත් වෙන්නෙත් අඩුවෙන්. කවුරු හරි උදව්වක් කරත්, "ඒක එයා කරන්න එපායැ" කියල හිතන අය වැඩියි "ස්තුතියි" කියන අයට වඩා.
ReplyDelete“දෙවියෝත්... යක්ෂයාත් අපේ ඇතුලේ ජීවත් වෙනවා කියලා මන් විශ්වාස කරනවා.. ඒ අතරින් දෙවියෝ මතු කරගන්න අයට අපි හොඳ මිනිස්සු කියනවා.. යක්ෂයා මතු කරගන්න අයට අපි නරකයි කියනවා..මම ඔය දෙගොල්ලෝ අඳුනගන්න උත්සහ කරන කෙනෙක්..“ මේ ජයසිංහ කියන්නේ මේ මං විශ්වාස කරන දෙවියෝ මතු කරගත් චරිතයක්..අර බස් කථාවට අදාල දෙන්න යක්ෂයෝ මතු කරගත් චරිත.
ReplyDelete@ බස්සා: ඔව්, එක්කෙනෙක් තුළ මොහොතින් මොහොත, කාලයෙන් කාලයට ඉස්මතු වෙන්නෙ දෙය්යොද යකාද කියන එකත් වෙනස් වෙනවා.
ReplyDeleteමේ වගේ නියම මිනිස්සු බොහෝවිට ඉන්නේ පහල ශ්‍රේණිවල තමයි.. මගේ දිගුකල් රාජ්‍ය සේවයේදී මං අත්දැකපු දෙයක් තමයි ඒක.. අපේ සමාජය පුහු මාන්නයෙන් ඔද්දල් වෙලා.
ReplyDelete@ සරත් ලංකාප්‍රිය: එහෙම අය එන්න එන්නම අඩු වෙනවා. තරගකාරී සමාජයේ එහෙම අයට ඉන්න අමාරු ඇති. හැමෝම බලන්නෙ "තත්ත්වයක් තියාගෙන" ඉන්නනෙ.
ReplyDelete