Thursday, December 22, 2011

හෙණ ගැහුව මාසය

ඒ ඒ රටවල මිනිස්සුන්ට වැදගත්යයි හිතෙන කරුණුවලට වැඩි අවධානයක් දීම පිණිස, ඒ වෙනුවෙන් දිනයක්/ මාසයක්/ අවුරුද්දක් වෙන් කිරීම සාමාන්‍ය දෙයක්.

හුඟාක් ඉස්සරත් නෙවෙයි, හුඟාක් ළඟදිත් නෙවෙයි, ඊට වෙනස් කාලෙක රටේ අනෙක් නගරවලින් වෙන්ව පිහිටි කුඩා නගරයක් තිබුණා. මේ නගරයේ මිනිස්සු අදහස් අතින් බැලුවොත්, එක මනුස්සයෙක් අනික් මනුස්සයාගෙන් වෙන් කර ගන්නට අමාරුයි. ඒ හැමෝම කැමති වුණා තමන්ට හොඳක් වෙනවට; තමන්ට හැම දෙයක්ම ලැබෙනවට. ඊටත් වඩා ඒ ගොල්ල කැමති වුණා අනික් අයට නරකක් වෙනවට; අනික් අයගෙ දේවල් නැති නාස්ති වෙනවට. මොකද, තමන්ට තියෙන සුළු දේ පවා අනිකාට නැත්නම්, ඒකෙ වටිනාකම ඉහළ යන නිසා.

ඒ නගරයේ නගරාධිපති ජනතාවගෙ මේ පිරිසිදු මනුෂ්‍ය හැඟීම තේරුම් ගත්තු නියම ජනතාවාදී නායකයෙක්. ඒ නිසා එයා තීරණය කළා ජනතාවගෙ අදහස් උදහස් පිළිගන්නා, ඒවා පෝෂණය කරන, වගකීමෙන් යුත් රජයක් හැටියට, ඒ වෙනුවෙන් දිනයක්, නැහැ, මාසයක්ම වෙන් කරන්නට.

ඒ මාසය නම් කෙරුණා "මට ඇරුණුකොට අනික් හැම එකාටම හෙණ ගහපං මාසය" හැටියට.

ජනතාව බොහොම සන්තෝස වුණා. ඒගොල්ලන්ට අඩුවකට තිබුණෙ මෙහෙම මාසයක් තමයි.

මාසය පටන් ගත් දිනේ පටන් මිනිස්සු අනික් අයට හෙණ ගස්සන හැටි කල්පනා කළා. ගෑණු උදවියට යකඩ කූරුවලින් නිර්මිත විවිධ කොණ්ඩ කටු වර්ග තෑගි ලැබුණා. සපත්තු, මළු, පසුම්බි වගේ හැම භාණ්ඩයකටම ලෝහ වර්ග මිශ්‍ර කෙරුණා. විදුලි උපකරණ හදන සමාගම් මිහි කාන්දු වයරය රහිත උපකරණ විශාල සංඛ්‍යාවක් හඳුන්වා දුන්නා. ප්ලාස්ටික් උපකරණ සෑදීම නවතා දමා, ලෝහ වර්ගවලින් ඒවා නිමවන්නට පටන් ගත්තා. ඉහළින් විවෘත වාහන වැඩිපුර හදන්න පටන් ගත්තා. ප්‍රධානීන් තම සේවකයන් උදෙසා ජලාශ අසල කඳවුරු චාරිකා සංවිධානය කළා. රූපවාහිනී ආයතන "වැඩිපුරම අනුන්ට හෙණ ගස්සන තරුව" තේරීමේ තරග සංවිධානය කළා. මිනිස්සු රෑට අල්ලපු ගෙවල්වල වහළට නැගලා යකඩ කූරු සවි කළා.

ඔන්න ඔහොමයි.

නගරයේ එක්තරා වීදියක දක්ෂ මිනිස්සු දෙන්නෙක් ජීවත් වුණා. ඒ දෙන්නා කවදාවත් එක්කෙනෙක් අනිකට දෙවෙනි වුණේ නෑ. වීදියේ උසම ගෙදර තමන්ගෙ කර ගැනීමට දෙන්නාම මහන්සි වුණා. කොච්චර උසට ඒ දෙන්නගෙ ගෙවල් හැදුවාද කිව්වොත්, ඉර හා සඳ ගමන් කළේ ඒ ගෙවල්වල උඩම තට්ටු මැද්දෙන්.

අනුන්ට හෙණ ගස්සන මාසය පටන් ගත් දා සිට මේ දෙන්නා හුඟක් කල්පනා කළෙත් නැහැ; ටිකක් කල්පනා කළෙත් නැහැ. ඊට වෙනස් තරමක් කල්පනා කළා. ඉතින් එහෙම කල්පනා කරනකොට, එක්කෙනෙකුට බොහොම අපූරු කල්පනාවක් පහළ වුණා. ඔහු පහුවදාම තමන්ගෙ කල්පනාව ක්‍රියාවට නැංවූවා.

උදෙන්ම නැගිටලා, තමන්ගෙ සේවකයන් කැඳවලා, ඔහු මෙන්න මෙහෙම අණ කළා:
"මගේ ගෙදර ඉහළම තට්ටු කීපය කඩා දමන්න."
ඔහුගෙ සේවකයන් ඉතාම බුද්ධිමත් නිසා ප්‍රශ්න කිරීමක් නැතිවම ඒ තට්ටු කිහිපය කඩා දැමුණා. තමන්ගෙ තරගකාරයා කරන්නට හදන වැඩේ අල්ලපු ගෙදර මිනිහා තේරුම් ගත්තා. ඔහු ඊට දෙවැනි වුණේ නැහැ. ඔහුගෙ සේවකයන් කැඳවලා මෙන්න මෙහෙම අණ කළා:
"මගේ ගෙදර මැද තට්ටු කිහිපයක් කඩා දමන්න."
ඔහුගෙ සේවකයන් වහාම මැද තට්ටු කඩා දමන්නට පටන් ගත්තා. එතකොට ඉහළ තට්ටුත් කඩා වැටුණා.
තමන්ගෙ ප්‍රයෝගය අනිකා තේරුම් ගත් බව දුටු පළමුවැන්නා තමන්ගෙ සේවකයන්ට අණ කළා මුළු නිවසම කඩා බිඳ දමන ලෙසට. දෙවැනියාට අවශ්‍ය වුණේ නැහැ වීදියේ උසම ගොඩනැගිල්ල බවට පත්ව හෙණ වද්දාගැනීමට. ඒ හින්දා ඔහුත් තමන්ගෙ මුළු නිවසම පොළොවට සමතලා කර දැම්මා.

මේ දෙන්නගෙ සේවකයන් තම තමන්ගෙ නිවාසත් මේ විදිහට කඩා දමන්නට පටන් ගත්තා. ඔවුන්ගෙ ක්‍රියාව තේරුම් ගත් අනෙක් නගර වැසියනුත් තම තමන්ගෙ නිවාස කඩා දමන්නට පටන් ගත්තා. හුඟ දවසක් ගියෙත් නැහැ, ටික දවසක් ගියෙත් නැහැ, ඊට වෙනස් දවසක් යද්දි මුළු නගරයම පොළොවට සමතලා වුණා. මිනිස්සු කඩා බිඳ දැමුණු සුන්බුන් මත හිඳගෙන, අවට බලමින්, තමන්ගෙ දක්ෂකම ගැන සන්තෝස වුණා.

දවසක් මේ නගරයට සංචාරකයෙක් ආවා. සුන්බුන් බවට පත් නගරය දුටු ඔහු පුදුමයට පත් වුණා. ළඟම හිටිය නගර වැසියාගෙන් ඔහු ඒ ගැන ප්‍රශ්න කළා:
"මොන හෙණයක් පාත් වෙලාද මේ නගරෙට? මොකද වුණේ??"
නගර වැසියා හුඟක් කල්පනා කළෙත් නැහැ, ටිකක් කල්පනා කළෙත් නැහැ, ඊට වෙනස් තරමක් කල්පනා කළා. සත්‍යය පැහැදිලි කළාට වැඩක් වෙන්නෙ නැහැ. පිටස්තරයෙකුට බැහැ මේ නගරයේ සංස්කෘතිය හරිහැටි තේරුම් ගැනීමට. ඔවුන් තම තමන්ගෙ නගර එක්ක සන්සන්දනය කරලා වැරදි චිත්‍රයක් මවා ගනීවි. ඒ හින්දා නගරවැසියා කෙටියෙන් මෙහෙම උත්තර දුන්නා:

"ඔව්, අපිට හෙණ ගැහුවා!"