Thursday, January 5, 2017

ලකී

අම්මත් එක්ක ජනවාරි පළවෙනිදා උදේ පන්සල් ගියා. අපි විහාර ගේ ඉන්න අතරෙ එළියෙ බල්ලෙක් අඬනව ඇහුණා. ඇවිත් බලද්දි, පන්සල් ආව ළමයි දෙන්නෙක් බල්ලන්ට ගල් අහුල, අහුල, ගහලා පන්නනවා. බාල ළමයට අවුරුදු හතරක් විතර ඇති. අනික් ළමයට දහයක් විතර ඇති. මේ බල්ලො පන්සල් වත්තෙ ජීවත් වෙන බල්ලො.

"ඇයි බල්ලන්ට ගහන්නෙ?" මම ඇහුවා. "පන්සල් ඇවිත් නේද ඉන්නෙ? සත්තුන්ට හිංසා කරන්න එපා."
ළමයි දෙන්නා මං දිහා බල බල දිව්වා. බලද්දි ඒගොල්ලන්ගෙ වැඩිහිටියොත් ඒ අහලම බලං ඉඳලා! සත්තුන්ට ගහන්න එපා කියල ඒ වැඩිහිටියො කියන්නෙ නැතුව ඇති.

අපි පොඩි කාලෙ අපිට ලකී කියල බල්ලෙක් හිටියා. සම්පූර්ණ නම ලකී බුකී පෙරේරා.

අපි ළඟ හිටියට, අපේම බල්ලෙක් නෙවෙයි. කාගෙ හරි ගෙදරක ඇතිදැඩි වුණු බල්ලෙක්, මොකක් හරි හේතුවක් නිසා එහෙන් ඇවිත් චූටි මාමලගෙ ගෙදර පදිංචි වෙලා හිටියා. අපි ආවහම, අපේ ගෙදරට හේත්තු වුණා. මං හිතන්නෙ, ඌ ළමයින්ට ආස බල්ලෙක්.

ලකී අපේ පොඩි කාලෙ සෙල්ලම්වල සෑහෙන පංගු කාරයෙක්.

සැරයක් අපිට මැරිච්ච කටුස්සෙක් හම්බුණා. අපි ඌව පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව වළලන්න තීරණය කළා. කෙසෙල් පිතිවලින් මිණී පෙට්ටියක් හදලා, මැරුණු කටුස්සව ඒකෙ තියලා, පල්ලෙහ අත්තම්මගෙ වත්තෙ තැනකට පෙරහැරකින් ඌව වැඩැම්මුවා. ලකීව ගත්තෙ පාංශුකූලෙ දෙන හාමුදුරුවන්ට. කටුස්සව වළදානකම් ලකිත් බොහොම සන්සුන්ව වැඩ හිටියා.

ඊට පස්සෙ අපිට දානෙ දෙන්න ඕන වුණා. මළගිය ප්‍රාණකාරයා කන්න කැමති දෙයක් වෙන්නත් ඕන හින්දා, පොලුයි බතුයි අනාගෙන, සුදු රෙද්දකින් දානෙ වහගෙන, ඉස්මුදුනෙ තියාගෙන කටුසු සොහොනට අරන් ගියා. ලකී හාමුදුරුවොත් අපේ පෙරහැරේ මැද්දෙන් වැඩම කළා. දානෙ ටික කටුසු සොහොන උඩින් තියල, ගාතා කියල ඉවර කරල, දානෙ පිළිගන්නනකම් ඉඳල ඒක වැළඳුවා.

එහෙම වැදගත් සතා!

ඒ දවස්වල අපිත් එක්ක සෙල්ලම් කළ ළමයෙකුට රේස් කරත්තයක් තිබුණා. පුංචි රෝද හයි කරපු, ලෑලි තට්ටුවක්. ඕක කන්දක් මුදුනට ඇදගෙන ගිහින්, වේගෙන් පල්ලෙහට එන එක අපේ එක සෙල්ලමක්. අර ළමයා සමහර වෙලාවට එන්නෙ ඔලුවෙන් හිටගෙන! ඒ දවස්වල තිබ්බ ජනප්‍රිය සටන් පාඨයක් වෙච්ච "ගව මස් නොකනූ" කියන වාක්‍යය යටිගිරියෙන් කියමින් තමයි අපි එන්නෙ. ලකිත් ඉතින් අපිත් එක්ක කිටිකිටියෙ තදවෙලා කරත්තෙ එනවා.

පස්සෙ අපි වෙන ගෙදරකට පදිංචියට ගියා. කලින් ගෙදරින් කිලෝමීටරයක් විතර ඈත. අපේ ගෙදර ළමයි වැඩි හින්දද කොහෙද, ලකී අපිත් එක්ක ආවා.

ඒ ආවට මොකද, ලකීට පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑ, හිත රිදෙනවා. හරි සියුමැලි හිත!

යන්තං ඩිංගක් එහාමෙහා වෙලා හිත රිදුණද, ලකී අපිත් එක්ක තරහ වෙනවා; තරහ වෙලා, චූටි මාමලගෙ දිහා යනවා. එහෙ දවස් කීපයක් ඉද්දි, අර වගේම කොහෙ හරි අහක යන දේකට හරි හිත අමාරු කරගෙන, ඔන්න ආපහු අපේ දිහා එනවා. මග පාරෙ ඉන්න බල්ලොත් එක්ක රන්ඩුවට නොයා, බොහොම ප්‍රවේසමෙන් ගිරි දුර්ග තරණය කරගෙන ඔය විදිහට දෙපැත්තට යනවා, එනවා.

අපේ මල්ලි ඒ දවස්වල පොඩියි. ලකී තමා මල්ලිගෙ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා.

මල්ලිව පොඩි කරත්තෙක තියාගෙන, හවසට පාරට එක්ක යනවා. ලකිත් වටපිට අධීක්ෂණය කරමින් ඒ අසලම ගැවසෙනවා. එක දවසක් පාරෙ ලොරියක් ඇවිත්. පාර තරමක් පටුයි. ලකී පාර මැදට පැනලා, බුරා හැලෙන්න වුණා. මල්ලිව පරිස්සම් ඇති තැනකට කරගන්නකම්, ලොරියට එන්න ඉඩ දුන්නෙ නෑ.

අවුරුදු කාලෙට අපිට නිලා හම්බුණා. අපි නිලා කූරු පත්තු කරනවට ලකී බයයි. සමහරවිට ලකී බය වුණේ අපි තුවාලයක් කරගනී කියල වෙන්න ඕන. බයට හැංගෙනවා වෙනුවට ලකී කරේ දැල්වෙන නිලාව වටේ උඩ පනිමින් බුරමින්, අපිව අදින එක. පස්සෙ අපි නිලා ගේන එක නතර කළා.

ඒ දවස්වල ගෙදර විල්බැරැක්කයක් තිබුණා. එක්කෙනෙක් ඒකෙ නැගල වාඩි වුණහම, තව කෙනෙක් තල්ලු කරං යන එකත් අපෙ සෙල්ලමක්. සමහර වෙලාවට වාඩි වෙලා යන්නෙ ලකී. කලබලයක් නැතුව, හරි සන්තෝසෙන් ඉඳගෙන යනවා.

ලකී කිරිබත් කන්නයි වැලවරකා කන්නයි ආසයි. අපේ වත්තෙ වැලවරකා ගස් තිබ්බ නිසා, බිම වැටෙන ගෙඩිවලට වග කිව්වෙ ලකී. "ලකී, කිරිබත් කිරිබත්" කිව්වොත් ඉන්න තැනක ඉඳලා දුවගෙන එනවා.

අපේ ලකී වයසට ගිහින් අබලදුබල වුණා. නිරන්තරෙන් ලැගගෙන සිටීම පිණිස ලකී තෝරගත්තෙ, බාගෙට හදල තිබුණු උඩ තට්ටුවෙ තැනක්. එතනට ගෙදර සද්දබද්ද හොඳට ඇහෙනවා. කුස්සිය තිබුණෙ එතනම පහළින්. එළියට ආවහම අම්මට ලකීව පහසුවෙන් පේනවා. ලකිත් හිටියෙ එතනින් පහළ බලාගත්තු ගමන්මයි. ගෙදර සිද්ද වෙන්නෙ මොකද කියල හොඳ අවධානෙන් හිටියෙ.

ගෙදරට කවුරුහරි අමුත්තෙක් ආහම තත්වෙ වෙනස්. එතකොට ලකී පහළට බැහැලා ඇවිත් සාලෙ මැදින් ටොක් ටොක් ගගා, කොර ගගහ, එහාට මෙහාට ඇවිදිනවා. හරියට "ඇයි මොකද? මාත් මේ ගෙදරම තමා ඉන්නෙ. මුං උඹලට මං ගැන කිව්වෙ නැද්ද?" කියල අහන්න වගෙයි.

ලකීගෙ අවසාන වෙලාව ආවහම, ලකී හිටිය තැනින් පහළට එබිලා, අම්මට කතා කළා. අම්මා උඩට යද්දි ලකී නැති වෙලා.

ලකීගෙ හොල්මන...
එක්කො ඒ කතා ඕන නෑ.