Monday, June 25, 2012

බැලුම්

අපි අටේ ඉද්දි, ස්ථිර විද්‍යා ගුරුතුමියක් හිටියෙ නැහැ. තාවකාලික ගුරුවරියන් කිහිපදෙනෙකුට පස්සෙ, අවසාන වාරෙදි අපිට ලැබුණා අලුත්ම අලුත් ගුරුවරියක්. අපේ පාසලේම ආදි ශිෂ්‍යාවක් වුණු ඇය මනෝරි මුතුහේවා ගුරු මෑණියන්.
මෑණියන් කිව්වට ගුරු කෙල්ලක්. රෝස මලක් වගේ බොහොම පියකරු, කඩිසර කෙනෙක්. ඒ වගේම දක්ෂ ගුරුවරියක්. අපි ඇයට බොහොම ආදරේ වුණා.

ඒ කාලෙ අපට තිබුණු එක් පාඩමක් තමා, සංඝටක දෙකක් මිශ්‍ර කර, ඉන් පිටවන වායුවෙන් බැලූන පිරවීම. අදාල ක්‍රියාකාරකම සඳහා එක්කෙනාට එක බැලුමක් ගානෙ ගෙනෙන්නටයයි ගුරුතුමී ඉල්ලා සිටියා.

දවස ආවා.

උදේ පාන්දරම එක්කෙනෙක් බැලුම එළියට ගත්තා. දැන් පන්තියම බැලුමෙන් බෝල ගහනවා. වැඩිය වෙලා යන්නට පෙර බැලුම පිපිරුවා. පාසල පටන් ගත් හින්දා, ඒ සෙල්ලම එහෙමම නැවතුණා.

විද්‍යා පාඩම තිබුණෙ දෙවෙනියට නැත්නම් තුන්වෙනියට. සීනුව නාද වෙනකොටම, ගුරුතුමිය අපට පණිවිඩයක් එව්වා, ක්‍රීඩාංගනයට පැමිණෙන ලෙසට. අපි රංචුව එක පිම්මට දිව්වා ක්‍රීඩාංගනයට.

අපි යනවිටත් ගුරුතුමිය පාඩමට සූදානම්. ඇය බෝතල් හොයාගෙන, ඒවට අවශ්‍ය සංඝටක දාලා, අම්ල බෝතලෙත් අතේ තියාගෙන බලා හිටියෙ අපි එනතුරු.

"හරි ගන්න බැලුම් බෝල."

අපි එකිනෙකා දිහා බැලුවා: කෝ ගන්න බලන්න බැලුම් බෝල...

බැලුම් නැහැ.

සමහරුන්ට අමතක වෙලා. තව සමහරුන්ට "බැරි " වෙලා. එහෙමත් නැත්නම්, අනික් අය ගෙන එන හින්දා කරදර වෙලා නැහැ.

අපි තිස් හයදෙනෙක්!

ගුරුතුමිය අපි දිහා බලා හිටියා. අපි එකිනෙකා දිහා බලලා, නිහඬ වුණා.

අපි හිතුවෙ අපට හොඳ බැණුම් වරුසාවකට මුහුණ දෙන්නට වෙයි කියලා. ඒත් අපේ ගුරුතුමිය අම්ල බෝතලය පැත්තකින් තියලා අපට කතන්දරයක් කිව්වා.

"මම ඉස්සෙල්ලම පත්වීම හම්බෙලා ගියෙ දුෂ්කර ඉස්කෝලෙකට. අකුරණින් හැරිලා තවත් කිලෝමීටර ගණනාවක් යන්නට ඕන. මම ගිය වෑන් රථය තමයි ඒ ඉස්කෝලෙ ළමයින් දැක්ක පළවෙනි වාහනය.

පත්වීම විද්‍යාවට වුණාට, ගුරුවරුන් කීප දෙනෙක් විතරක් හිටිය ඒ ඉස්කෝලෙ මම විෂයයන් කීපයක්ම ඉගැන්නුවා. ළමයින් ඉස්කෝලෙ ආවෙ අමාරුවෙන්. කුඹුරු වැඩ කාලෙට ළමයින් ඉස්කෝලෙ ආවෙ නැහැ. ළමයින්ට සපත්තු තිබුණෙ නැහැ. සමහරුන්ට නිල ඇඳුමක් තිබුණෙත් නැහැ. ඒත් ආසාවෙන් ඉස්කෝලෙ ආවා.

ඒ ඉස්කෝලෙ, ඕගොල්ලොන්ගෙ වයසෙ පන්තියටත් මම මේ පාඩම කළා. ඒ ළමයින්ගෙ අම්මලා තාත්තලාට බැලුම් අරන් දෙන්නට සල්ලි තිබුණෙ නැහැ. ළමයි බැලුම් ගෙනාවෙ තමන්ට දවල්ට බනිස් ගෙඩියක් කන්නටයයි දී තිබුණු මුදලින්. එදා එක ළමයෙකුටවත් දවල්ට කෑම නැහැ. නමුත් හැම කෙනෙක්ම බැලුමක් ගෙනාවා."

අපි බිම බලාගෙන හිටියා.

"අපි ඊලඟ දවසෙ මේ ක්‍රියාකාරකම කරමු. අද පන්තියට ගිහින් වෙන පාඩමක් කරමු." ගුරුතුමිය කිව්වා.

බැන්නාට වඩා අපිට අපේ වරද හිතට දැනුණා. ඒ සතියෙ අග තිබුණු විද්‍යා පාඩමට, හැම කෙනෙක්ම බැලුම් කීපයක් බැගින් අරගෙන ආවා. විවිධ මූණු ඇඳලා, වගන්ති ලියලා, අපි බැලුම් පා කළා. ගුරුතුමිය අපේ විකාර වැඩවලට හිනා වුණා.

ඇය අපට කලින් සිද්ධිය මතක් කළේ නැහැ.

Thursday, June 7, 2012

සපතේරු... :D

පිදුම: සපතේරු උන්නැහේට :-)
 
නගරයක වීදියක් ඔස්සේ තනි කෙළින් ඉස්සරහ බලාගෙන, එහෙමත් නැත්නම් බිම බලාගෙනම ගමන් කළත්, කණට ඇහෙන වචන පෙළක් තියෙනවා:
"එන්න මිස්, මොනවද බැලුවෙ?"

කඩසාප්පුවල ඉදිරි දොර ළඟ හිටගෙන ඉන්න සේවකයින් ගනුදෙනුකාරයින්ට ආරාධනා කරන්නෙ එහෙම. අහක බලාගෙන ගියත් ඒ විදිහට අඬගහන එකේ, බැරි වෙලාවත් සාප්පුවේ ඇති භාණ්ඩ දිහා බල බල ගියොත් එහෙම විනාසයි.
"ඇතුළට ගිහින් බලන්න. එන්න මිස්, මොනවද බැලුවෙ? තියෙනවා මිස්..."

"තියෙනවා" කියලා දොරටුපාලයා කියන භාණ්ඩ සාප්පුවෙ නැති වෙන අවස්ථා එමටයි.

මෙහෙම අඬගහන සේවකයින් දැක්කහම මට සාමාන්‍යයෙන් ඒ සාප්පුවට ඇතුළු වෙන්නට හිතෙන්නෙ නැහැ. එහෙමත් නැත්නම්, සාප්පුවෙ තියෙන්නට විදිහක් ඇත්තෙම නැති දෙයක්, ඒ කිව්වෙ, සපත්තු කඩේකින් අයිස්ක්‍රීම් තියෙනවද වගේ ප්‍රශ්නයක්, අහන්නට හිතෙන වෙලාවල් තියෙනවා.

ඒත් හුඟක් වෙලාවට මේ සේවකයින් දැක්කහම මට මක්සිම් ගෝර්කි මතක් වෙනවා. ඔහුත් කාලයක් සපත්තු සාප්පුවක ඉදිරි දොරටුවේ සේවකයෙක් ලෙස සේවය කළ අයුරු පොත්වල ලියවිලා තියෙනවා. අවුල් වුණු කොණ්ඩයෙන් යුතුව, නිල කබායක් ඇඳගෙන, ඥාති සොයුරු සාෂා සහ කළමණාකරු සපත්තු විකුණන දෙස බලමින්, අතේ ඇති මකුණන් විදි තුවාල කසමින් ඉන්නා මක්සිම්ව මට මැවිලා පේනවා.
මක්සිම්ට නපුරු ලෙස සළකන සාෂා සාප්පුවේ ඇතුළත සේවකයෙක්....


සාප්පු ඇතුළට ගිහාම තත්වය පාරෙ යද්දිට වඩා භයානකයි. බොහොමයක් සාප්පුවල සේවකයින් ගනුදෙනුකරුවන්ගෙන් ප්‍රශ්න අහන්නට පටන් ගන්නවා:
"මොනවද මිස් බැලුවෙ?"
"මොන වගෙ සපත්තු දෙකක්ද හොයන්නෙ?"
"මොකක්ද සයිස් එක?"
"මොන පාටද?"
"කීයක එකක්ද බලන්නෙ?"

මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම අපහසුයි. මොකද, හුඟක් වෙලාවට මම සාප්පුවකට යන්නෙ, මට හෝ, මගේ කිට්ටුම ඥාතීන් හත් අට දෙනාට හෝ, කිට්ටුම යාළුවො කීප දෙනාට හෝ හොඳයැයි මට හිතෙන දෙයක් දැක්කොත් අරන් දෙන්නටයයි හිතාගෙන. එහෙම නැතුව අහවලාට, අහවල් ප්‍රමාණයෙන්, අහවල් පාටින්, අහවල් මෝස්තරයෙන් අරන් දෙන්නට හිතාගෙන නෙවෙයි.

"මම බලලා, කැමති දෙයක් තිබුණොත් කියන්නම්." මම හුඟක් වෙලාවට මේ සේවකයින්ට කියනවා.
මම කැමති භාණ්ඩයක් තෝරා ගැන්මට නොදී, පස්සෙන් වැටීගෙන, "මේ වගෙ එකක්?" "මේ වගෙ එකක්?" "මේක තමයි අලුත් මෝස්තරය" කියමින් වද දෙන සේවකයින්ට මම කැමති නැහැ. එහෙම වෙලාවට මුකුත් එපා කියලා සාප්පුවෙන් පිටව යන අවස්ථා තියෙනවා.

වරක් සපත්තු සාප්පුවකදි මම භාණ්ඩ තේරීම නවත්තලා සේවකයා දිහාට හැරුණා.
"ඇයි ඔයගොල්ලො ඔහොම අහ අහ පස්සෙන් එන්නෙ? එහෙම කරන්නටයයි කළමණාකාරීත්වයෙන් කියලා තියෙනවද?" මම ඇහුවා.
සේවකයාට එක පාරටම උත්තරයක් හිතා ගන්නට බැරි වුණා.

"එහෙම එන එක කරදරයක්. මම කැමති දෙයක් තෝර ගන්නට බැහැ. තියෙන මෝස්තරවලින් මම කැමති එක තෝරගත්තහම, මට කතා කරලා අහන්නට පුළුවනි, ඒකෙ වෙනස් පාට, නැත්නම් ප්‍රමාණ තියෙනවද කියලා. එහෙම නැතුව පස්සෙන් කැරකෙන එක හිතට පවා කරදරයක්." මම පැහැදිලි කළා.

"ඒ වුණාට මිස්," සේවකයා කියන්නට පටන් ගත්තා. "එහෙම මුකුත් නොකියා මිස් තනියම සපත්තු තෝරන එක අපිට හිතට කරදරයක්!"


පොඩි කාලෙ එකම එක වරක් මම සාප්පු ගියා ඒ විදිහට මම කැමති මෝස්තරය, වර්ණය කලින්ම දැනගෙන.
බාලදක්ෂිකා කඳවුරු නිල ඇඳුම වුණේ කොළ පැහැති ගවුමක් සහ දුඹුරු පැහැ සපත්තු. මුළින්ම කඳවුරු බැඳ ගනිද්දි මට අවශ්‍ය නිල ඇඳුම් නොතිබුණු හින්දා, මම ඒවා යෙහෙළියකගෙන් ඉල්ලා ගත්තා.
යෙහෙළියගෙ දුඹුරු පාට සපත්තුවල පතුල තැඹිලි පාටයි; බොහොම ලස්සනයි. මම මේ සපත්තුවලට ආස වුණා.

පසුව මම මටම කියා දුඹුරු සපත්තු ජෝඩුවක් මිළට ගැනීමට ගියා. පිටතින් අර වගේම වුණත්, සපත්තුවෙ පතුල තද දුඹුරු පාටයි. මම ඒකට කැමති වුණේ නැහැ.

ඒ කාලෙ මම "මට අර දේ ඕනමයි." කියලා ඉල්ලලා කරදර කරන ළමයෙක් නෙවෙයි. දෙන දෙයක් අරන් සද්ද නැතුව ඉන්න ළමයෙක්. 'මේ විදිහෙ දෙයක් ඕන' කියලා ඉල්ලුව වාර දෙකතුනෙන් එකක් මේක. ඒ හින්දා අම්මා මාව නගරයේ ඇති හැම සපත්තු සාප්පුවකටම පාහේ එක්ක ගියා. ඒ හැම සාප්පුවකම අර වගේ දුඹුරු සපත්තු තිබුණා.
ඒත් ඒ හැම එකකම පතුල තද දුඹුරු පැහැතියි.

"තැඹිලි පාට පතුල සහිත සපත්තු එන්නෙ නැහැ." සපත්තු සාප්පු සේවකයින් බොහොම විශ්වාසයෙන් කිව්වා. කොහොමත් සාප්පු සේවකයින් මේ වගෙ පච අතාරින්නට දක්ෂයි. ඒ වනවිටත් මම ඒ විදිහෙ සපත්තු දෙකක් දැක තිබුණ බව ඔවුන්ට අමතක වෙලා.

මම යෙහෙළියගෙන් ඇහුවා කොහෙන්ද අර සපත්තු ගත්තෙ කියලා. ඈ ගත්තු සාප්පුවෙම ගිහින් හෙව්වත් මට තැඹිලි පාට පතුල සහිත සපත්තු ජෝඩුවක් හොයා ගන්නට බැරි වුණා.

අන්තිමේදි මම බොහොම අකමැත්තෙන් තද දුඹුරු පැහැ පතුල සහිත හම් සපත්තු ජෝඩුවක් මිළට ගත්තා.

සති කීපයක් ගත වුණා.

දවසක් මම පාසල ඇරී ගෙදර එනකොට අම්මා ටිකක් හිත කරදරෙන් හිටියා.

"ඔයාගෙ සපත්තු බල්ලො කෑවා!" අම්මා කිව්වා.

මට හුඟක්ම දුක හිතුණා. ඒ එක්කම බල්ලොත් එක්ක තද තරහක් හිතට ආවා. ඒ දවස්වල සපත්තු කුට්ටමක් ගන්නවා කියන එක එතරම් පහසු දෙයක් නෙවෙයි. අනික මේ කුට්ටම ගන්නට ඇවිද්ද තරම දන්නෙ අම්මයි මමයි. බල්ලන් හපා විනාශ කළ සපත්තුව බැලීමට කලින් මම බල්ලන්ට දඬුවම් කරන්නට දිව්වා. බල්ලො දෙන්නටම හුඟක් පහර දුන්නා. දුකෙන් අඬ අඬම බල්ලන්ට පහර දුන්නා. අම්මා මාව නැවැත්තුවෙ නැහැ.

බල්ලන් හැපුව මගෙ සපත්තු අම්මා වෙනම අරන් තියලා තිබුණා. මම ඒවා පිරික්සා බලන්නට ගියෙ බොහොම දුකෙන්. අම්මා පණිවිඩේ කිව් ආකාරයට මම බලාපොරොත්තු වුණු තරම් හානියක් ඒවාට වෙලා තිබුණෙ නැහැ. සපත්තුවල වටේ දාරය කීප පලකින් ඉරී තිබුණා.  අඩිය තැන් තැන්වලින් යන්තම් කැඩී තිබුණා. එක් සපත්තුවක පතුලේ හම...

ඔව්, පතුලේ තද දුඹුරු පැහැ හම් කොටස ගැලවිලා උඩට එසවිලා තිබුණා. මම ඒ කොටස ඉවත් කළා.

සපත්තුවෙ පතුල ලස්සන තැඹිලි පාටයි!

මම අනික් සපත්තුවත් අරගෙන පතුල වසාගෙන තිබුණු හම් කොටස ඉවත් කළා.


ඉන් පස්සෙ ගිහින් බල්ලො දෙන්නවම හුඟක් වෙලා යනතුරු සුරතල් කළා.

Sunday, June 3, 2012

තීරණ


ජීවිතේ හැම මොහොතකම මොනවා හරි දෙයක් තෝරගන්න වෙනවා. ඉන් සමහරක් තීරණ අමාරුයි.

ඉස්සරම, වැස්ස දවස්වලට උදේට නැගිටින එක පවා අමාරු තීරණයක්.
"අද නොගියොත් මොකද?" මම මගෙන්ම අහනවා.

තවත් සමහර තීරණවලට අවට ඉන්න අයගෙ බලපෑම තියෙනවා. ඉස්සර අක්කයි මමයි නිදා ගත්තෙ එකම කාමරේ. හුඟක් දවස්වලට අපි ඇඳේ ඉඳන් කතන්දර පොත් කියවනවා. ජනේලෙ වහන්නෙ කවුද, විදුලි පහන් නිවන්නෙ කවුද කියන එක තමයි ඒ දවස්වල තිබුණු ලොකුම තීරණේ. මගෙ ඇඳ තිබුණෙ ජනේලෙ ළඟ. විදුලි පහනෙ යතුර තිබුණෙ අක්කගෙ ඇඳ ළඟ. මම ජනේලෙ වහනවනම්, අක්කා විදුලි පහන් නිවිය යුතු වුණත්, මම ජනේලෙ වහනවා දකිනකොටම, දඩබඩ ගාලා, කියවමින් හිටිය පොත වහලා, අක්කා ඇඳේ වැටෙනවා; නිදි වගේ රඟපානවා. ඒ හින්දා හුඟක් දවස්වලට වැඩ දෙකම කරන්නට වුණේ මට.
ඉතින් හොඳටම හිතට අමාරු වුණු දවසක මම තීරණය කළා අක්කට පාඩමක් උගන්වන්නට. මම අක්කගෙ ඇඳ උඩට පැනලා, ඇයට හොඳට රිදෙන්නට පාගගෙන ගිහින් විදුලි පහන නිව්වා.

එතනින් එහාට කතාව හුඟක් ශෝචනීයයි...


රැකියාවකට ගියාට පස්සෙ අමාරු තීරණ කියන වර්ගය වෙනස් වෙන්නට පටන් ගත්තා.

සීමාවාසික කාලෙ මුළින්ම තනියම හිතලා ප්‍රතිකාර නියම කරනකොට ඒක අමාරු තීරණයක්. ජ්‍යෙෂ්ඨයෙකුට කතා කළ යුත්තෙ කොයි වෙලාවටද කියලා තීරණය කිරීම අමාරු දෙයක්. නමුත් ඒ කාලෙ බරපතල තීරණ ගත්තෙ ජ්‍යෙෂ්ඨ අය නිසා ගැටළු අඩුයි.

වරක් එක්තරා කාන්තාවක් ඇතුළත් වුණා සැත්කමක් උදෙසා. ඇය රුධිර පාරවිලයනයට විරුද්ධ ආගමික නිකායකට අයත් කෙනෙක්. ඇයට සිදු කළ යුතුව තිබුණු සැත්කම, අධික ලෙස රුධිරවහනය විය හැකි එකක්.
මමත් මා සමග වැඩ කළ අනෙක් සීමාවාසික වෛද්‍යවරයාත් දැන් ඇයට කරුණු පහදා දෙන්නට වෑයම් කරනවා. ඇය නොවෙයි පිළි ගන්නෙ.
"එහෙම හුඟක් ලේ ගියොත් මැරෙන්නට පුළුවනි."
"ආ, ඒකට කමක් නෑ!"
"ඔයාට කමක් නැති වුණාට අපිට කමක් තියෙනවා. අපිට බෑ බේරගන්න පුළුවන්කම තියෙද්දි බලන් ඉන්න."
"නෑ නෑ, මම මැරුණත් ලේ ගන්නෙ නැහැ."
ඇයට අවුරුදු 9ක පුතෙක් ඉන්න බව අපි දැනගෙන හිටිය හින්දා, අපි ඒ තුරුම්පුව පාවිච්චි කළා.
"දැන් ඔයාගෙ ළමයට එහෙම ඔය වගෙ ජීවිතේ බේරගන්න ලේ දෙන්නම වුණොත්, ඔයා ඒත් ලේ නොදී ඉන්නවද, නෑනෙ.."
"නැහැ, ඒත් ලේ දෙන්නෙ නැහැ. පුතාව මැරුණට කමක් නැහැ. ආගම වෙනුවෙන්.."

එතනින් එහාට කතා කරලා තේරුමක් නැති හින්දා අපි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුට ප්‍රශ්නය ඉදිරිපත් කළා. ඒ විදිහට සැත්කම් කරන වෛද්‍යවරයෙක් හොයාගෙන සැත්කම කරන ලෙස දන්වා ඇයගෙ සැත්කම අවලංගු කෙරුණා. එහෙම කරන, ඇගේ ආගමික නිකායට අයත් වෛද්‍යවරයෙක් ඒ කාලයෙ පෞද්ගලික අංශයෙ හිටියා. ඒ නිසා ඒ තීරණය පහසු වුණා.

පසු කාලීනව දැඩි සත්කාර ඒකකවල, ශල්‍යාගාරවල සේවය කරනවිට, වෙනස් ආකාරවල තීරණ ගැටළු සහගත වුණා. මේ වගේ සීමිත පහසුකම් ඇති විටෙකදි, ඒ සඳහා අවශ්‍යතා ඇති රෝගීන් බොහොමයක් ඉද්දි, කාටද මූලිකත්වය දෙන්නෙ කියන එක කොහොමත් ප්‍රශ්නයක්. ඒ ඒ කෙනා, තමන්ට හැඟෙන විදිහට තීරණ ගන්නවා.
සමහර දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරගන්නා රෝගීන් තීරණය වෙන්නෙ පොරොත්තු ලේඛනයක් අනුව. බැලු බැල්මට බොහොම සාධාරන වගේ පෙනුණත්, ඒ ක්‍රමයෙ අඩුපාඩු තියෙනවා. වඩාත් වැඩි අවශ්‍යතාවයක් ඇති රෝගියෙකුට, එහෙමත් නැත්නම් වඩාත් සම්පූර්ණ සුවයක් ලැබීමේ හැකියාව ඇති කෙනෙකුට අවස්ථාව ගිලිහී යන්නට ලොකු ඉඩක් තියෙනවා.
තවත් සමහර වෙලාවට බරපතල ලෙස බෝවෙන රෝගයක් සහිත රෝගියෙක් එවන් ඒකකයකට ඇතුළත් කරගත්විට, ප්‍රතිශක්තිය හීන වී සිටින අනෙක් රෝගීන්ට ඒ රෝගය බෝ වීමේ අවදානම බොහොම වැඩියි. එක්කෙනෙක් බේරා ගැනීමට ගන්නා උත්සාහයෙන් තවත් කිහිපදෙනෙක් මිය යාමට ලොකු අවස්ථාවක් තියෙනවා.
"කොහොම හරි" තමන්ගෙ ලෙඩාට ඇඳක් ලබා ගැනීම පිණිස ඇතැම් පුහුණු වෙන වෛද්‍යවරුන් සුදුසුකම් "වවා" කීම මෙන්ම, නුසුදුසුකම් ලෙස සැළකිය හැකි ඇතැම් කරුණු "වැහීම"ත් දකින්නට පුළුවන්.
මේ වගේ හේතු නිසා තවත් සමහර ඒකකවලට ඇතුළත් කරගන්නා රෝගියා නිර්ණය කර ගැනීමට වෙනත් සාධක භාවිතා කරනවා. ඇතැම් තැනෙක අදාල ඒකකයෙ වෛද්‍යවරයෙක් වාට්ටුවට ගිහින් අදාල රෝගියාව පිරික්සා බලනවා ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් තියෙනවද කියලා. එතකොට, අනෙක් ඉල්ලුම්කරුවන් සමග සැසඳීමට අවස්ථාවක් ලැබෙනවා.
තවත් ඒකකවල රෝගියාට ඇති රෝගය සුව වීමේ හැකියාව, රෝගියාගෙ අනෙකුත් රෝගාබාධ ආදිය සැළකිල්ලට අරගෙන මේ තීරණය ගන්නවා.

කොහොම නමුත් මෙහෙම ගන්නා තීරණවලින් අසීරුම තීරණ ගැනීම මම දැක්කෙ එක්තරා වකුගඩු රෝග සඳහා වන ඒකකයකදි.

ලංකාවෙ වකුගඩු බද්ධය සහ රුධිර පිරිසිදු කිරීම සඳහා කාන්දුකරණය (Dialysis) අවශ්‍ය වෙන රෝගීන් විශාල සංඛ්‍යාවක් පොහොසතුන් නොවෙයි. රෝගය නිසාම සමහරවිට ඔවුන්ට රැකියාවක් කළ හැකි මට්ටමක නැහැ. නමුත් රුධිර කාන්දුකරණය මෙන්ම, වකුගඩු බද්ධයත් අධික ලෙස මුදල් වැය වෙන ප්‍රතිකාර ක්‍රම. රජයේ රෝහල්වලින් නොමිළේ ලබා දිය හැක්කෙ ඉතාම සීමිත පහසුකම් ප්‍රමාණයක්. සිටින රෝගීන් සංඛ්‍යාව සමග සැසඳීමේදී එය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ.

අදාල වකුගඩු රෝග ඒකකයේ කොටස් දෙකක් තියෙනවා, රුධිර කාන්දුකරණය සඳහා.

"ඒ" කොටසෙදි, කාන්දුකරණය සඳහා වැය වෙන්නෙ, රෝගියාට රෝහලට ඒම සඳහා වියදම විතරයි. ඉතිරි උපකරණ, දියර වර්ග රෝහලෙන්ම සපයනවා. කාන්දුකරණයත් සතියකට දින කිහිපයක් හෝ අවම වශයෙන් සතියකට වරක්වත් කෙරෙනවා.

අනෙක් කොටස "බී". එහි රෝගීන් තමන්ට අවශ්‍ය උපකරණ සපයා ගත යුතුයි. තියෙන සීමිත පහසුකම් බෙදා ගැනීම පිණිස මේ කොටසේ විශාල තරගයක් තියෙන්නෙ, මේ කොටසට රෝගීන් වැඩි හින්දයි. මුදල් කියන සාධකය මත ප්‍රතිකාර නවත්වන අය එමට ඇති.

මේ කොටස් වෙන් කෙරෙන්නෙ, වකුගඩු බද්ධ කිරීමක් සඳහා රෝගියා සූදානම්ද කියන කාරණය පදනම් කරගෙන.

මිය ගිය කෙනෙකුගෙන් වකුගඩුවක් ලබා ගත හැකි නමුත්, එක් අතකින් එය ජීවත්ව සිටින කෙනෙකුගෙ විතර හොඳ නැහැ. අනික් අතින්, ලංකාවෙ පවතින පහසුකම් අනුව, කෙනෙක් මිය ගිය පසු අවයව හානි වීමට පෙර උකහා ගැනීම අසීරුයි. (එහෙම නොකරනවා නොවෙයි.) ඒ නිසා රෝගීන්ට උපදෙස් දෙනවා බද්ධ කිරීම පිණිස වකුගඩුවක් දීමට කැමති කෙනෙක් සොයා ගන්නා ලෙසට.

මුදල්වලට වකුගඩු දීම හෝ ගැනීම මේ රටේ තහනම්.

නමුත් ඒ දේ කෙරෙනවා. එක අතකට මට හිතෙන්නෙ, ඒ දේට වාණිජ වටිනාකමක් ආවයින් පස්සෙ, අර විදිහට පින් පිණිස ප්‍රදානය කරන එක අඩු වෙන්නට ඇති කියලා.
කොහොම වුණත්...

එහෙම උපදෙස් දීලා, ඒ අයට යම් කාල සීමාවක් දෙනවා. ඒ කාලය තුළ ඔවුන් වකුගඩු දායකයකු සොයා ගත යුතුයි.
වකුගඩුවක් බද්ධ කරනතුරු මේ අයගෙ සෞඛ්‍යය මනාව පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අර බද්ධ කරන එකෙනුත් තේරුමක් නැහැ. අන්න ඒ නිසා, මේ අයට රුධිර කාන්දුකරණය කෙරෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිළේ.

එතකොට බී කොටසෙ රෝගීන්?

ඔවුන් එහෙම බද්ධ කිරීමට කවුරුන්වත් සොයා ගත නොහැකි වුණු අය. ඒ කියන්නෙ බලාපොරොත්තුවක් තැබිය නොහැකි අය.

ඒ කොටසෙ ඉන්නා රෝගීන්ගෙන් එක්තරා ප්‍රතිශතයක් යම් දිනකදී බී කොටසට මාරු කළ යුතුයි.
ඒක හරියට මරණයට දින නියමයක් කරනවා වගෙයි මට හැඟුණෙ.

නමුත් ඒකත් යම් දිනකදී, කවුරුන් හෝ ගත යුතු තීරණයක්. 






ප.ලි. තමන්ගෙ මරණයෙන් පසු හෝ මොළයට නැවත සුව නොවන පරිදි දැඩිව හානි පැමිණීමෙන් පසු හොඳ තත්වයේ පවතින තමන්ගෙ අවයව- අක්මාව, වකුගඩු, ඇස්- බද්ධ කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර තැබිය හැකියි. දැන් ලංකාවෙත් මේ විදිහෙ සැත්කම් කෙරෙනවා.