Thursday, June 7, 2012

සපතේරු... :D

පිදුම: සපතේරු උන්නැහේට :-)
 
නගරයක වීදියක් ඔස්සේ තනි කෙළින් ඉස්සරහ බලාගෙන, එහෙමත් නැත්නම් බිම බලාගෙනම ගමන් කළත්, කණට ඇහෙන වචන පෙළක් තියෙනවා:
"එන්න මිස්, මොනවද බැලුවෙ?"

කඩසාප්පුවල ඉදිරි දොර ළඟ හිටගෙන ඉන්න සේවකයින් ගනුදෙනුකාරයින්ට ආරාධනා කරන්නෙ එහෙම. අහක බලාගෙන ගියත් ඒ විදිහට අඬගහන එකේ, බැරි වෙලාවත් සාප්පුවේ ඇති භාණ්ඩ දිහා බල බල ගියොත් එහෙම විනාසයි.
"ඇතුළට ගිහින් බලන්න. එන්න මිස්, මොනවද බැලුවෙ? තියෙනවා මිස්..."

"තියෙනවා" කියලා දොරටුපාලයා කියන භාණ්ඩ සාප්පුවෙ නැති වෙන අවස්ථා එමටයි.

මෙහෙම අඬගහන සේවකයින් දැක්කහම මට සාමාන්‍යයෙන් ඒ සාප්පුවට ඇතුළු වෙන්නට හිතෙන්නෙ නැහැ. එහෙමත් නැත්නම්, සාප්පුවෙ තියෙන්නට විදිහක් ඇත්තෙම නැති දෙයක්, ඒ කිව්වෙ, සපත්තු කඩේකින් අයිස්ක්‍රීම් තියෙනවද වගේ ප්‍රශ්නයක්, අහන්නට හිතෙන වෙලාවල් තියෙනවා.

ඒත් හුඟක් වෙලාවට මේ සේවකයින් දැක්කහම මට මක්සිම් ගෝර්කි මතක් වෙනවා. ඔහුත් කාලයක් සපත්තු සාප්පුවක ඉදිරි දොරටුවේ සේවකයෙක් ලෙස සේවය කළ අයුරු පොත්වල ලියවිලා තියෙනවා. අවුල් වුණු කොණ්ඩයෙන් යුතුව, නිල කබායක් ඇඳගෙන, ඥාති සොයුරු සාෂා සහ කළමණාකරු සපත්තු විකුණන දෙස බලමින්, අතේ ඇති මකුණන් විදි තුවාල කසමින් ඉන්නා මක්සිම්ව මට මැවිලා පේනවා.
මක්සිම්ට නපුරු ලෙස සළකන සාෂා සාප්පුවේ ඇතුළත සේවකයෙක්....


සාප්පු ඇතුළට ගිහාම තත්වය පාරෙ යද්දිට වඩා භයානකයි. බොහොමයක් සාප්පුවල සේවකයින් ගනුදෙනුකරුවන්ගෙන් ප්‍රශ්න අහන්නට පටන් ගන්නවා:
"මොනවද මිස් බැලුවෙ?"
"මොන වගෙ සපත්තු දෙකක්ද හොයන්නෙ?"
"මොකක්ද සයිස් එක?"
"මොන පාටද?"
"කීයක එකක්ද බලන්නෙ?"

මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම අපහසුයි. මොකද, හුඟක් වෙලාවට මම සාප්පුවකට යන්නෙ, මට හෝ, මගේ කිට්ටුම ඥාතීන් හත් අට දෙනාට හෝ, කිට්ටුම යාළුවො කීප දෙනාට හෝ හොඳයැයි මට හිතෙන දෙයක් දැක්කොත් අරන් දෙන්නටයයි හිතාගෙන. එහෙම නැතුව අහවලාට, අහවල් ප්‍රමාණයෙන්, අහවල් පාටින්, අහවල් මෝස්තරයෙන් අරන් දෙන්නට හිතාගෙන නෙවෙයි.

"මම බලලා, කැමති දෙයක් තිබුණොත් කියන්නම්." මම හුඟක් වෙලාවට මේ සේවකයින්ට කියනවා.
මම කැමති භාණ්ඩයක් තෝරා ගැන්මට නොදී, පස්සෙන් වැටීගෙන, "මේ වගෙ එකක්?" "මේ වගෙ එකක්?" "මේක තමයි අලුත් මෝස්තරය" කියමින් වද දෙන සේවකයින්ට මම කැමති නැහැ. එහෙම වෙලාවට මුකුත් එපා කියලා සාප්පුවෙන් පිටව යන අවස්ථා තියෙනවා.

වරක් සපත්තු සාප්පුවකදි මම භාණ්ඩ තේරීම නවත්තලා සේවකයා දිහාට හැරුණා.
"ඇයි ඔයගොල්ලො ඔහොම අහ අහ පස්සෙන් එන්නෙ? එහෙම කරන්නටයයි කළමණාකාරීත්වයෙන් කියලා තියෙනවද?" මම ඇහුවා.
සේවකයාට එක පාරටම උත්තරයක් හිතා ගන්නට බැරි වුණා.

"එහෙම එන එක කරදරයක්. මම කැමති දෙයක් තෝර ගන්නට බැහැ. තියෙන මෝස්තරවලින් මම කැමති එක තෝරගත්තහම, මට කතා කරලා අහන්නට පුළුවනි, ඒකෙ වෙනස් පාට, නැත්නම් ප්‍රමාණ තියෙනවද කියලා. එහෙම නැතුව පස්සෙන් කැරකෙන එක හිතට පවා කරදරයක්." මම පැහැදිලි කළා.

"ඒ වුණාට මිස්," සේවකයා කියන්නට පටන් ගත්තා. "එහෙම මුකුත් නොකියා මිස් තනියම සපත්තු තෝරන එක අපිට හිතට කරදරයක්!"


පොඩි කාලෙ එකම එක වරක් මම සාප්පු ගියා ඒ විදිහට මම කැමති මෝස්තරය, වර්ණය කලින්ම දැනගෙන.
බාලදක්ෂිකා කඳවුරු නිල ඇඳුම වුණේ කොළ පැහැති ගවුමක් සහ දුඹුරු පැහැ සපත්තු. මුළින්ම කඳවුරු බැඳ ගනිද්දි මට අවශ්‍ය නිල ඇඳුම් නොතිබුණු හින්දා, මම ඒවා යෙහෙළියකගෙන් ඉල්ලා ගත්තා.
යෙහෙළියගෙ දුඹුරු පාට සපත්තුවල පතුල තැඹිලි පාටයි; බොහොම ලස්සනයි. මම මේ සපත්තුවලට ආස වුණා.

පසුව මම මටම කියා දුඹුරු සපත්තු ජෝඩුවක් මිළට ගැනීමට ගියා. පිටතින් අර වගේම වුණත්, සපත්තුවෙ පතුල තද දුඹුරු පාටයි. මම ඒකට කැමති වුණේ නැහැ.

ඒ කාලෙ මම "මට අර දේ ඕනමයි." කියලා ඉල්ලලා කරදර කරන ළමයෙක් නෙවෙයි. දෙන දෙයක් අරන් සද්ද නැතුව ඉන්න ළමයෙක්. 'මේ විදිහෙ දෙයක් ඕන' කියලා ඉල්ලුව වාර දෙකතුනෙන් එකක් මේක. ඒ හින්දා අම්මා මාව නගරයේ ඇති හැම සපත්තු සාප්පුවකටම පාහේ එක්ක ගියා. ඒ හැම සාප්පුවකම අර වගේ දුඹුරු සපත්තු තිබුණා.
ඒත් ඒ හැම එකකම පතුල තද දුඹුරු පැහැතියි.

"තැඹිලි පාට පතුල සහිත සපත්තු එන්නෙ නැහැ." සපත්තු සාප්පු සේවකයින් බොහොම විශ්වාසයෙන් කිව්වා. කොහොමත් සාප්පු සේවකයින් මේ වගෙ පච අතාරින්නට දක්ෂයි. ඒ වනවිටත් මම ඒ විදිහෙ සපත්තු දෙකක් දැක තිබුණ බව ඔවුන්ට අමතක වෙලා.

මම යෙහෙළියගෙන් ඇහුවා කොහෙන්ද අර සපත්තු ගත්තෙ කියලා. ඈ ගත්තු සාප්පුවෙම ගිහින් හෙව්වත් මට තැඹිලි පාට පතුල සහිත සපත්තු ජෝඩුවක් හොයා ගන්නට බැරි වුණා.

අන්තිමේදි මම බොහොම අකමැත්තෙන් තද දුඹුරු පැහැ පතුල සහිත හම් සපත්තු ජෝඩුවක් මිළට ගත්තා.

සති කීපයක් ගත වුණා.

දවසක් මම පාසල ඇරී ගෙදර එනකොට අම්මා ටිකක් හිත කරදරෙන් හිටියා.

"ඔයාගෙ සපත්තු බල්ලො කෑවා!" අම්මා කිව්වා.

මට හුඟක්ම දුක හිතුණා. ඒ එක්කම බල්ලොත් එක්ක තද තරහක් හිතට ආවා. ඒ දවස්වල සපත්තු කුට්ටමක් ගන්නවා කියන එක එතරම් පහසු දෙයක් නෙවෙයි. අනික මේ කුට්ටම ගන්නට ඇවිද්ද තරම දන්නෙ අම්මයි මමයි. බල්ලන් හපා විනාශ කළ සපත්තුව බැලීමට කලින් මම බල්ලන්ට දඬුවම් කරන්නට දිව්වා. බල්ලො දෙන්නටම හුඟක් පහර දුන්නා. දුකෙන් අඬ අඬම බල්ලන්ට පහර දුන්නා. අම්මා මාව නැවැත්තුවෙ නැහැ.

බල්ලන් හැපුව මගෙ සපත්තු අම්මා වෙනම අරන් තියලා තිබුණා. මම ඒවා පිරික්සා බලන්නට ගියෙ බොහොම දුකෙන්. අම්මා පණිවිඩේ කිව් ආකාරයට මම බලාපොරොත්තු වුණු තරම් හානියක් ඒවාට වෙලා තිබුණෙ නැහැ. සපත්තුවල වටේ දාරය කීප පලකින් ඉරී තිබුණා.  අඩිය තැන් තැන්වලින් යන්තම් කැඩී තිබුණා. එක් සපත්තුවක පතුලේ හම...

ඔව්, පතුලේ තද දුඹුරු පැහැ හම් කොටස ගැලවිලා උඩට එසවිලා තිබුණා. මම ඒ කොටස ඉවත් කළා.

සපත්තුවෙ පතුල ලස්සන තැඹිලි පාටයි!

මම අනික් සපත්තුවත් අරගෙන පතුල වසාගෙන තිබුණු හම් කොටස ඉවත් කළා.


ඉන් පස්සෙ ගිහින් බල්ලො දෙන්නවම හුඟක් වෙලා යනතුරු සුරතල් කළා.

66 comments:

  1. හිනාවක් ආවේ අනේ පව් අර බලු පැටව් දෙන්නා..උන් දෙන්නා හන්දානේ අක්කගේ හිතේ තිබ්බ ආසාවක් ඉශ්ට උනේ..එ කියන්නේ යාලුවගේ සපත්තු දෙකත් බල්ලෝ කාලද..

    මමත් ආසම නැති දෙයක් තමා වධයක් වගේ පස්සෙන් එන වෙලද සේවකයෝ..විශේෂයෙන්ම මෙහේ නම් පස්සෙන් එනවා මයි..එහෙමත් කඩේක තමයි පස්සෙන් එන්නේ නැත්තේ..එ මොකද මෙහේ ඇදුමක් පැලදුමක් උනත් ගිනි ගනන්..ඉතින් මෙහේ හුගක් අය හිතන් ඉන්නේ එ කඩවල තියෙන වටිනකමින් ඇති ඇදුම් අත පත ගාලා යන්න කියලා..නමුත් අර ගැනු ගතියට එහෙම නොකරන අයත් මෙහේ නැතුවම නෙවෙයි..එත් මම නම් ආසම නැ නැ මල වදකාරයෝ වගේ පස්සෙන් එනවට..ගන්න යන දෙයවත් ගන්න හිතෙන් නැහැ.

    ReplyDelete
    Replies
    1. හපෝ ඔයාද..? අපි නොදන්න ඔයාගේ ෂොපින්...:D

      ඉතාලියේ කඩකාරයෝ ඔයා එනවා පේනකොට සාප්පු වහලා හැංගෙනවා කියන්නේ බොරුද..? කොටින්ම අර ඉට් ගර්ල්ද මොකක්ද එකකින් එවන රික්වෙස්ට් ඉවසා දරාගන්න බැරිව බුකිය වහලා ගිය අයම කීයක් උන්නද පහුගිය කාලේ..:P

      Delete
    2. අම්මෝ මෙයා නම් මට ෆලෝ කරලා මඩ ගහනවා.. ගෙම්බා...

      Delete
    3. ඔව්, බල්ලො දෙන්නා ගැන මට තවමත් දුකයි.

      Delete
  2. හ්ම්ම්...මොකක් කියනවද කියල හිතා ගන්න බෑ.අක්කි කතා ලියන රටාවට මම මාරම ආසයි. විඳින්න ,දකින්න,අහන්න ලැබෙන අත්දැකීම් කතාවකට පෙරලන විදිය අපූරුයි. ලත්තනායි.

    ReplyDelete
  3. සුරතලේට ඇති කරන සතුන්ට ඉව තියෙනවා කියන කතාවේ ඇත්තක් තියෙනවා.

    //...සාප්පු සේවකයින් බොහොම විශ්වාසයෙන්...//
    කියන දෙය බොහෝමයක් සාප්පු සේවකයින්ට පොදු දෙයක්, අනන්තව අත්විඳලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕඕඕ, ඒගොල්ලන්ගෙ සාප්පුවෙ නැති භාණ්ඩයක් ගැන කියන්නෙ " එහෙම ඒවා නෑ; ඒවා දැන් හදන්නෙ නෑ" වගෙ දේවල්ම තමා

      Delete
  4. බල්ලන්ට දුන්න දඬුවම ගැනනම් ටිකක් දුක හිතුනා..

    වෙළද සේවකයන්ගේ වැඩ නම් ඔහොම තමයි.. කොයි රටෙත්.. අන්තිමේ තැඹිලි පාට හම්බුන හැටි නම් අපූරුයි..

    ReplyDelete
  5. කියන්න දේවල් ගොඩාක් හිතට එනව එකපාර...

    මුලින්ම මක්සිමිච් සපත්තු කඩේ වැඩකරපු කාලෙ ගැන... මම "මගේ සරසවි" කියෙව්වෙ දැනට අවුරුදු විසිපහකට විතර කලින්... ඒ සපත්තු වෙළෙන්දෙක් වෙන්න හීනෙකින්වත් හිතපු කාලෙක නෙමෙයි... දොස්තර කෙනෙක් හරි ඉන්ජිනේරුවෙක් හරි වෙන්නනෙ ඒ කාලෙ හැම ළමයෙක්වම ඉස්කෝලෙ යැව්වෙ ]. ඒත් රුසියානු සාහිත්‍යයට තදින් ආසකරපු මට තාම ඒ පොත්වල දෙබස් පවා මතකයි... දැනුත් සමහර වෙලාවක අපේ තරුණ අලෙවි සහායක ළමයි කවුරුහරි තනියම ආපු කාන්තාවකට සපත්තු දාගන්න උදව් කරනව දැක්කහම මට මතක් වෙන්නෙ මක්සීම් වැඩ කරපු කඩේ අනික් හාදය කවුරුත් නැති වෙලාවක සපත්තු ගන්න ආපු ගැහැනියට සපත්තුව දාන ගමන් කකුල ඉඹින සිද්ධිය.... ඒ ගෑනු කෙනා තරහ ගන්නව වෙනුවට [ කවුරුත් නැති නිසා වෙන්න ඇති ].. කියන්ව " මෙයා හරි දඟ කාරයෙක් නොවැ " කියල...

    ..............
    ඊලඟට අර සපත්තු ගන්න අයට උදව් කරන්න ඉන්න ළමයි උදව්වක් වෙනුවට කරදරයක් වෙන එක.... හැම දෙයක්ම පටලව ගන්න අපේ උදවිය ඒකත් පටලවගන්න එක පුදුමයක් නොමෙයි...මේ පැත්තෙ නම් ඒ බලෙන් වෙළඳාම අත් ඇරල අවුරුදු දහ පහලොවකටත් වැඩියි.....

    ඔය "මැඩම් හව් කැන් අයි හෙල්ප් යූ" කියාගෙන එන වෙලඳ සහායකයන්ට කියන්ට.. "යස් (යෙෂ් ) කැන් යූ වොෂ් මයි කා(ර්)" වගේ දෙයක්....

    ........

    තැඹිලි පාට සපත්තු කතාව නම් ලොල් ම ලොල්... :)... අපිට සමහර වෙලාවට ඔය වගේ වැඩ වෙනව... අපි එලියෙ ප්‍රදර්ශනය කරල තියෙන සපත්තු කුට්ටම් සමහර වෙලාවට තද විදුලි ආලෝකය නිසා වෙනස් පාට ගන්නව...( මැජෙන්ටා.. ලයිලැක් වගේ පාට හරි ඉක්මනට ෆේඩ් වෙනව )... ඉතින් කට්ටිය මේව බලල තමුන්ගෙ සයිස් එක ඉල්ලුවහම ගෙනැත් දෙන්නෙ වෙන පාටක් ( ඇත්ත පාට )... හයියෝ... හරි රන්ඩු අර පිච්චිච්ච පාටම ඕනැ කියල....

    ReplyDelete
    Replies
    1. ඕඕ, ඕක කිව්වහම මතක් වුණේ, මම ගත්තු සපත්තු කුට්ටමක්, ගන්නකොට තිබුණෙ බ්ලූ ඩෙනිම් පාටට. ඒ අවුරුදු පහකට විතර උඩදි. මම ඉතින් නොසෑහෙන්න අව්වෙ යනවා වගේම සපත්තු හෝදනවා හෝ වෙනත් සාත්තුවක් කරන්නෙත් නෑ. අවුරුදු දෙකක් විතර යද්දි "ඔයාගෙ කොළ පාට සපත්තු දෙක" කියලා දවසක් යාළුවෙක් මගෙ සපත්තු ගැන කිව්වා. මම බලනකොට ඇත්ත තමයි, සපත්තු දෙක ලස්සන ලා කොළ පාටයි, මගෙ හිතේ ඒක නිල් පාටටම තිබුණට.
      දැන් තවත් අවුරුදු කීපයක් ගත වෙලා. ඒ දෙක දැන් ලස්සන අළු පාටයි. :D

      Delete
  6. ඇයි දෙයියනේ මේක අර අහිංසකයටම පිදුවේ.. මෙයිට හොඳයිනේ උන්දැට වහ කුප්පියක් පිදුවනං... මොකද උන්දෑ ඔහොම පාර අයිනට වෙලා කට්ටිය අල්ල ගන්න දැල එලං බලං ඉන්නවද..? මේක දකින කොට අර අරාබි ඔටු සෙට් එක වැරදිලාවත් සපා ඉන්න අහලකින්වත් යයිද මං අහන්නේ..අහෝ සපා..මේ ඔබේ අවධානය පිණිසයි..!

    _______________
    අරෙහෙම පස්සෙන් ඇවිත් කරදර කරන වෙළඳ සේවකයෝ ඇත්තටම කරදරයක් තමා..හැබැයි ඕක කවදාවත් නවතින දෙයක් නෙවෙයි..මොකද සීයයකට එකයි දෙන්නයි ඉන්නේ ඔයා වගේ අනිත් පැත්ත හැරිලා කියන අය.."වද දෙන්න එපා" කියන ටික... හැග දෙනෙක් එහෙම කරන්නේ නැහැ..තමුන්ගේ අවශ්‍යතාවය මොකක් උනත් අවසානයේදී සාප්පු සේවකයගේ කැමැත්ත තමන්ගේ කැමැත්ත කරගෙන අධික මිලක් ගෙවා..එතැනට එනකල්ම තමන්ගේ හිතේ කොනකවත් නොතිබුන දේකුත් කිහිලි ගන්නගෙන සාප්පුවෙන් එළියට එනවා මිසක්... එතනදී බේරිලා එන්නේ එහෙමත් කෙනෙක් තමා...

    මට කියනකොටම මතක් උනේ දැනට අවුරුදු 14කට විතර කලියෙන් මට බඳ පටි 10ක විතර එකතුවක් තිබුනා.. සුදු පාට..දුඹුරු පාට..කළු පාට..එක එක හැඩ.. කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ එයා බඳ පටිවලට ආසයි කියලා..එහෙම නැත්තං එයාගේ විනෝදාංශය බඳ පටි එකතු කිරීම කියලා හරි විලාසිතාවලට කැමතියි කියලා හරි..ඒත් ඒක එහෙම නෙවෙයි කියලා දන්නේ මම විතරයි..

    ඇත්තටම හැමදාම වෙන්නේ පිටකොටු යද්දී පේමන්ට් කාරයෙක් ඇවිත් ආ එන්න මහත්තයා බෙල්ට් එක හැටායි කියලා මං ඒ දිහා බලන පරක්කුවට ඌ ඒක මගේ ඉන වටේ ඔතලා මිම්ම අරං හිලුත් විදලා අයිලට් ගහමු නේද මහත්තයා කියලා කියන ගමන්ම මං එපා කියන්නත් කලින් අයිලටුත් ගහලා ආ මහත්තයා මෙන්න එකසිය පනහයි..කියලත් ඉවරයි... මුලදි මුලදිනං මං අහනවා හැටයි නේද කිව්වේ කියලා... ආ ඔව් මහත්තයා බෙල්ට් එක හැටයි..හිල් හය විදින්න තිහයි..අයිලට් එකක් දහයයි... ඔන්න පුල්මුඩේ තත්වේ...ඇ‍ඩෙනවා...

    දැන්නං යන්තං බණ්ඩා කොළඹ යන්න දන්නවා.. මේ ඊයේ පෙරෙදා ඔය කිව්ව විදියටම මං කොළඹ ගියා සෙරෙප්පු දෙකක් ගන්න.පිටකොටුවේ කඩ තුනකම අයියලා ටිකක් එදා සපත්තු ඇද්දා බර ගානක්... සුපුරුදු විදියටම අර කැමැත්ත වෙනතක ගෙනයාමට හුගාක් උත්සහ කරන ගමන්... ඒත් වැඩේ උනේ නැහැ... සෑහෙන්න මහන්සි වීමකින් පස්සේ මට ඕන දේ නැති හින්දා කමක් නැහැ මං තව එහෙක බලන්නම් කියලා මං ආවා..අන්තිමට මට ඕන දේ එක තැනක තිබුනා.. ඒකත් අරං ගෙදර ආවා...

    ඒකෙත් හොඳම හරිය මෙහෙමයි...

    මං හුගාක් කාලය ගත කරලා කල්පනා කරලා..හොයලා හොයලා ගත්ත සෙරෙප්පු දෙක දාගෙන මං ගියා මඩකලපු... අහෝ... ඔක්කෝමත් හරි හුගාක් ඇවිදිනකොට ඒකේ ඇති අළුත් ගතියට කකුල කැපෙන ගතියක් ආවා...මඩකලපුවේ ස්ටේෂන් එකේ ඉඳන් කිලෝමීටරයක් විතර අමාරුවෙන් අද්ද අද්ද බඩ ගාලා ගෙහුන් බොහෝම අමාරුවෙන් කඩයක් හොයං රබර් සෙරෙප්පු දෙකක් ගත්තා..හැබැයි එකෙදි මට තෝරන්න දෙයක් තිබුනේ නැහැ..කඩේ තිබුන මගේ කකුල් දෙකට හරියන එකම සෙරෙප්පු දෙක කිසිම කේවල් කිරීමකින් තොරව එකේ හිටිය එකා මගේ කරේ ගැහුවා... ඒ වෙනකොට කකුල් කැපිලා විඳ විඳ හිටිය වේදනාව හින්දා කිසි කතාවක් නැතිව මං ඒකත් අරං ආපහු ආවා... පැය ගානක් පිටකොටුවේ ගත කරලා ගත්තු සෙරෙප්පු දෙක රේල් ස්ටේෂමේ තියලා මඩකලපුවේදී තත්පර ගානකදී මගේ ඇගේ ගහපු රබර් සෙරෙප්පු කුට්ටමකුත් දාං මං එයිට ටික වෙලාවකට පස්සේ මඩකලපුවේ පාරක් දිගේ දුර ගමනක් ගියා...ඔන්න කතාව...

    මේ ඇති නේද කමෙන්ට් එක පෝස්ට් එකක් වීගෙන එනවා...

    ReplyDelete
    Replies
    1. අහ්, දැන් බෙල්ට් එකතු කරන එක නවත්තලා සපත්තු සෙරෙප්පු එකතු කරනවද?
      සපා, මේ ඔබේ අවධානය පිණිසයි! :P

      Delete
  7. අහ් වැදගත්ම දේ...

    බල්ලෝ මොනවා උනත් හොඳයි කවදත් පූසන්ට වඩා... මේ කතාවෙන් මම ගත්ත ආදර්ශය ඒක තමා..:D:D:D

    ReplyDelete
    Replies
    1. මමත් එකඟයි අලේ එකට..

      පුසෝ අපෝ ..වධකාරයෝ..අහංකාරයෝ..

      Delete
    2. ම්හු. බල්ලො ලෙව කනවා. සපත්තු කනවා. පූසෝ තනියම ජීවත් වෙන්න දන්න නිදහස් සත්තු. උන් හොඳයි.

      Delete
    3. වැරදියි.. පුසෝ කිසිම කෙලෙහි ගුණයක් නැති සත්තු.. කොටි පවුලේ කියල හිතාගෙන අහන්කාරකමත් තියෙනවා. ඔක්කොටම වැඩිය විඳින්න බැරි ලේනෙක් ඔලුවෙන් අල්ලාගෙන ඇවිත් ඔලුව කාල කඳ මගේ පාමුල දාල ගිය හින්දයි.. අර අහිංසකයාගේ කඳ කෑල්ල ගැහිලා ගැහිලා නිසල උනදාට පස්සේ මට පුසෝ අරහන්..

      Delete
    4. පූසෝ තනියම ජීවත් වෙන්න දන්නවා... අනේ යකෝ.. රෑ දෙගොඩ හරියේ හැමදාම පූස් පූස් කිය කිය ගේවල් වටේ යන්ට වෙලා තියෙන්නේ ඒක තමයි..
      බල්ලොන්ට ගැහුවා කියලා දැනන් හිටියා නම් දනියි මම කරන දේ..

      Delete
  8. අර මක්සිම් ගෝර්කිව මතක්වුණු විදිහටම වෙන්න ඇති, මගේ හිතේ ඇඳුනෙ බල්ලො දැන්නව හුරතල් කරන "නලිනි කෙල්ල" :P නොසෑහෙන්න ගුටි කෑවා වුනත් උන් තමා කැමතිම සපත්තු දෙක හොයලා දුන්නෙ. :D

    ReplyDelete
  9. මටත් ආව ප්‍රශ්නේ යාළුවාගේ සපත්තුත් බල්ලා කාලද කියන එක තමා...:D
    මොනවා උනත් අපි හොයය ගොඩක් දේ අප ලඟම ඇතත් අපට පේන්නේ නැති එක තමා අවුල....:D

    ReplyDelete
    Replies
    1. ඇත්ත. සමහරවිට අප හොයන දේ අප අසලම. ඒත් අපි ඒ බව දන්නෙ නැහැ. වෙන කෙනෙක් අපට පෙන්වනතුරු

      Delete
  10. අනේ පවු කුක්කෝ දෙන්නා. කතාව කියෙවුවම මට මතක් උනේ බොහොම කාලෙකට ඉස්සර මට හිටිය කුක්කා. මිනිහාට නම් ගොඩයි.. මීෂා ,මික්කා. මිකී මවුස් , මීකොරිස් , මී මහත්තයා , මී පැට්ටා.. තරහ ගියාම මීහරකා. වරදක් කලාම දඬුවම තමයි ගේට්ටුවේ හයි කරලා තිබ්බ ලියුම් පෙට්ටිය උඩ තියන එක.. උස වැඩි හින්දා පනින්නත් බැහැ. යන්තම් කකුල් හතර තියලා ඉඳගෙන බොහොම අසරණ විදිහට බලන් ඉන්නවා. ඒ මදිවාට ඔලුව උඩ යට කරකවලා බලනවා. බලු ගීතයත් ගායනා කරනවා බොහොම දුක හිතෙන විදිහට .. දැක්කම දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕඕ, දඬුවම් කළාට ඉන් පස්සෙ දුක හිතෙනවා.

      Delete
  11. "සූදානම්ව සිටිනු" :D

    බාලදක්ෂිකා ආදර්ශ පාඨෙත් ඒකමයි නේද ???

    ReplyDelete
  12. කාලෙකින් මම නලිනිගේ කතාවක් කියවූයේ. වෙනද වගේම බොහෝ දුර හිතන්න හැකි කතාවක්. මතුපිටින් පෙනෙන දෙයට වඩා දෙයක් කවදත් ඔබේ නිර්මාණ වලින් මට පේනවා.

    ReplyDelete
    Replies
    1. වෙදමහතාගෙ බ්ලොග් එකේ කාලෙකින් ලිපියක් ලියවිලා නෑනෙ.

      Delete
  13. බල්ලො සැට් එක අන්තිමට කරල තියෙන්නේ ලොකු උදව්වක්නේ බලනකොට...!!

    ReplyDelete
  14. අනපේක්ශිත අවස්ථාවක තමන් ආසාවෙන් හිටි දෙයක් ලැබිල නේද . එහෙම වෙලාවට අපිට දැනෙන සතුට වැඩි .
    …සුපුරුදු විදියටම සිත බැඳගත් කතාවක් .

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ ගැන අදහස අතෑරලා ඉද්දි. :)

      Delete
  15. අනේ පව් බව්වෝ දෙන්නා.... :-)

    ReplyDelete
  16. අනේ මංදා ...ගෑල්ලමයින්ගෙ තේරීම්..! මේගොල්ලොත් එක්ක බඩුවක් ගන්න ගියොත් පික්ෂු..හැදෙනවා...

    ReplyDelete
  17. පව් බව්වො දෙන්න....

    මමත් පොඩි සාප්පු වලට යන්න අකමැති ඒකෙ වෙළඳ සහායකයන්ගෙ ඉවසගන්න බැරිතරමේ සත්කාර නිසා තමයි....

    හිතන්න දෙයක් ඉතුරු කරපු හොඳ පෝස්ටුවක්...

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔය විදිහට වද දෙනවා වගේම තමා, අපි ඒගොල්ලො පෙන්වන භාණ්ඩ කීපයක් ප්‍රතික්ෂේප කළහම, ඊලඟට එක්කො "ඔය හොයන විදිහෙ ඒවා නැහැ." කියලා බොහොම සැරෙන් කියනවා. එහෙම නැත්නම් ඈතට ගිහින් අහක බලාගෙන ඉන්නවා, ආයෙ මුකුත් තෝරගෙන ඒකෙ මිළ ගණන්/ වෙනත් වර්ණ වගේ දේවල් ගැන අහන්නවත් කෙනෙක් නැහැ.

      Delete
  18. ඔහ් සපත්තු කතා ගොඩාක් මතක් වුනා මේක කියවලා

    ඉස්කෝලේ යන කාලේ අර කිව්ව වගේ සපත්තු දෙකක් කියන්නේ ගොඩක් ලොකු දෙයක් .අලුත් පන්තියට යනකොට තමයි සපත්තු කුට්ටම හම්බවෙන්නේ .ඒ කාලේ සුදු කැන්වස් සපත්තුනේ දාන්න වුනේ . අපේ ගෙදර නීතිය වුනේ හැම සති අන්තෙම ඔය සපත්තු මැදලා හෝදලා , අර සුදු කිරි පාට දියර පොලිෂ් ගාලා තාත්තට පෙන්නන්න ඕනේ .සඳුදට කිලුටු සපත්තු දැම්මොත් විනාසයි :)

    අපේ බලු පැටවු නිතරම කන්නේ තාත්තා වැඩට දාන සපත්තු . එතකොට සෝචනීය වෙන්නේ අපේ තත්වේ :)

    හපෝ අර උදව්වට පස්සෙන් එන , අපිට ගන්න ඕනේ ලේටස්ට් ඩිසයින් කියන වෙලඳ සේවකයො මටත් පෙන්නන්න බෑ

    මගේ ඉතින් ඔය අඟල් දෙක තුන උස වැල් පටි දිලිහෙන කෑලි තියෙන ලලිතකලා මිරිවැඩි සඟල දැම්මිලක් නෑනේ . ඉතින් කෙලින්ම සැන්ඩල්ස් පැත්තට ගිය හැටිය ඔය සේල් මල්ලිලා බය බිරාන්ත වෙලා "හ හා මිස් ඔවා ජෙන්ට්ස් වෙයාර් මේ තියෙන්නේ ලේඩීස් වෙයාර්" කියලා මාව අනික් පැත්තට හරවන්න හදනවාමයි . මම ඉතින් "නෑ මේවා යුනි සෙක්ස්" කියලා දිවිරුවත් එයාල අහන්නේ නෑ අර කිව්ව වගේ හරි විස්වාසෙන් කියන්නේ ජෙන්ට්ස් සපත්තුමයි කියලා . ගොඩක් හොඳ කම්ෆටබල් ලස්සන සැන්ඩල් ඒ පැත්තේ තියෙනවා ඉතින් මගේ සයිස් පෙයාර් එකක් ඉල්ලුව හැටියේ අර සේල්ස් කට්ටිය බලන්නේවත් නැතුව කියනවා "හය්යෝ මිස් මේවගේ තියෙන්නේ ලොකු සයිස් ජෙන්ට්ස්ලට 37 / 5 සයිස් නෑ . මේව පටන්ගන්නේ 42 ඉඳලා කියලා .ඉඳහිට කෙනෙක් තමා ආස වර්ගේ සපත්තුව සොයන්න උත්සාහ කරන්නේ .ඔය වදේ නිසාම මට හිතට හරියන සපත්තු ජාතියක් දැක්කොත් මම එයින් කුට්ටම් දෙකක් ගන්නවා .ඔය ශොපින් වදේ විඳින්න බැරි නිසා .

    ඇවිදින්න දාන සපත්තු කුට්ටම් ගන්න ගියත් මට මහ වදේ .හැම තිස්සේම කඩ වල එවුන් ලේටස්ට් කියලා මට පෙන්නන්නේ අර සකර මුටයි රෝස පාට , එහෙම නැත්නම් ලා නිල් පාට සුදු ලේස් බඳින, හා පැටවු මෝස්තර තියෙන ඒවා .මට ඕනේ ලේස් නැති කකුල සපත්තුවට ඔබලා ටක් ගාලා එක පැත්තකින් අලවන්න තියෙන ඒවා .එහෙම ගොඩක් සපත්තු දුඹුරු හරි කාකි පාට හරි ,ඉතින් අර පොරවල් සෑහෙන්න දුකක් විඳිනවා මට අර ලලිතකලා පාට ඒවම විකුණන්න .මම රැවටෙයි ඕවට .සෑහෙන්න කාලයක් පට්ට ගැහුව වෝර්කින්ග් ශූස් විසි කරන්න වුනා මේ සැරේ අලුත් ඒවට මාරු වුනා.ඒ වුනාට මම අතෑරියේ නෑ කඩ පහක හයක බලලා මට ඕනේ වර්ගෙම තමා ගත්තේ .

    මේ සපතේරුවො හරිම ජෙන්ඩර් බයස් එයාලා තමයි ගෑණු අපි දාන්න ඕනේ සපත්තු ඩිසයිඩ් කරන්නේත් :)

    ReplyDelete
    Replies
    1. ඕඕ, හුඟක් වෙලාවට කාන්තාවන්ට වෙන් කරලා තියෙන සපත්තු උල් වුණු ඉදිරි කොටසක් සහිත, පහසුවෙන් කැඩෙන විදිහෙ පටි සහිත, ඔක්කොටමත් වඩා වමනෙ යන විදිහෙ රෝස ආදී පාටවලින් කෙරුණු සපත්තු. මම ආස විදිහෙ සපත්තු තිබුණෙ එක කඩේක විතරයි. දැන් ඒගොල්ලොත් කියන්නෙ අර මෝස්තර අලුතින් හදන්නෙ නැහැ, විකිණෙන්නෙ නැහැ කියලා. "අලුත් මෝස්තරේ" කිය කිය අර ජරා සපත්තු විකුණන්නෙ ඒගොල්ලොමනෙ. ඒකෙන් මට පයට පහසු සපත්තු දෙකක් ගන්න විදිහක් නෑ. තියෙන ජෝඩුව කැඩිලා ගිහාම මම පව්. :(

      Delete
  19. කඩවල ඉන්න සේල්ස් ඉස්ටාප් වල ඉන්න අය හිතන් ඉන්නේ ඒ අය ඒ භාන්ඩ ගැන විශාරදල කියලා,බැරිවෙලා හරි "පාරිභෝගික පණත" ගැන ඇහුවොත් උන් දන්නෙවත් නැහැ එහෙම එකක් ගැන .....

    ReplyDelete
    Replies
    1. පාරිභෝගික පනතක් ගැනනම් කළමණාකරුවන්වත් දන්නවද මන්දා. :D

      Delete
  20. නියම උදව්වක්නෙ බල්ලො දෙන්න කරල තියෙන්නෙ.
    සේවිකාවො ගැන ඔයවගේම සිද්ධියක් මටත් උනා. මම හෝමාගම වැඩකල කාලෙ ටී ෂර්ට් එකක් ගන්න ගියා. එතන ඉන්නව ගැල්ලමයි තුන්දෙනෙක්. එක්කෙනෙක් මගේ පස්සෙන් වැටුන. මම ටීෂර්ට් එකක් අතට අරගෙන ටික වෙලාවක් බැලුව. මෙයා කියනව "සර්ට ඕක ගැලපෙනව" කියල. මම සද්ද නෑ. ඊට පස්සෙ තව එකක් අතට අරගෙන බලනව. ආයෙත් අර කතාවමයි. ඔය සිද්ධිය හතර වතාවක් විතර උනාට පස්සෙ මම අහනව "මෙතන මට හරියන්නෙ නැති ටී ෂර්ට් නැද්ද?" කියල. ඊට පස්සෙ කතා නෑ.

    ReplyDelete
    Replies
    1. හහ් හා. සේල්ස් ගර්ල්ට පුංචි පාඩමක්. :D

      Delete
  21. ඇත්තමයි, කඩේකට ගිය වෙලාවෙ ඉඳන් පස්සෙන් එන එක තරම් එපා කරපු දෙයක් තවත් නෑ. එයාලට එහෙම කරන්න කියලා ඇති. ඒත් ආරක්ෂක කැමරා ආදී සියල්ල තියන කඩවල් වල වුණත් මේ දේ එහෙමම තියනවනෙ.
    "මේක තමයි මිස් "ලේටස්" ෆැෂන් එක"
    "මිස්ගෙ කකුලට ගැලපෙන්නෙම මේ සපත්තු දෙක"
    "මිස්ගෙ පාටට මේ පාට ලස්සනට යනවා"
    මේවා මාකටින් වෙන්න ඇති. ඒ වුණාට හරිම කරදරයක්. පාරිභෝගිකයන්ට වදයක් වෙන්නෙ නැත්නම්, එයාලගෙ බිස්නස් වඩා හොඳ වෙයි කියලා හිතෙන්නෙ නැත්තෙ ඇයිද මන්දා.

    අනේ පව් අක්කෙ බලු පැටවු දෙන්නා. ඇත්තමයි,මාරයියා කිවුවා වගේ බල්ලො හොඳයි.
    "Nalini akki hit me, I like it"
    "Nalini akki cuddled me, I like it"

    ReplyDelete
    Replies
    1. බල්ලන්ගෙ තියෙන එක හොඳ ගුණයක් තමා තරහ හිතේ තියන් ඉන්නෙ නැති එක. මේ පොඩ්ඩකට ඉස්සෙල්ලා තමන්ට රිදෙව්ව කෙනාම ආයෙ ඇවිත් හුරතල් කරනවනම්, බල්ලා කිසි කහටක් නැතුව අවංකවම අනික් පැත්තට ආදරය පෙන්වනවා.

      Delete
    2. ඒ "හොඳ" කියන එක සාපේක්ෂයි නෙව. හිතෙන වෙලාවට තඩි බාන්ටයි, ආයෙ හුරතල් කරන්නයි, අපි සපත්තුද? :p

      Delete
  22. වෙලාවකට මලවදේ වගේ වුනාට සමහර වෙලාවට බේතකට කෙනෙක් නැහැ බඩුවක් ගැන අහන්න . අපිට ඕක නිතරම වෙනවා . ඉංග්‍රීසි දන්නේ නැති දන්නැති බව පෙන්නන්න අකමැති අය ඉන්න කඩවලට ගියහම .

    අය්යෝ බල්ලෝ දෙන්නට තැලුවේ අපරාදෙනේ . මටත් තිබුන DI දුඹුරු සපත්තු දෙකක් . ගොඩක් කල් දැම්ම . මට මතකයි අපේ අක්කට ඔහොම ආසාවල් ඇති වුනා . ටි ෂර්ට් කියන ජාතිය එච්චර ජනප්‍රිය නැහැ ඒ කාලේ . අම්ම පිටකොටුව පුරාම ඇවිදලා දෙනාපු එකෙත් අත් බෝරිච්චි කියල ආයෙම යැව්වා මාරු කරන එන්න . පස්සේ එයාට ස්නුපි ඉන්න ටි ෂර්ට් එකක් ලැබුන . මන් නම් ඔය දුන්න දෙයක් ඇඳලා නිකා හිටිය .

    ReplyDelete
    Replies
    1. ඕඕ, මමත් ඔය දුන්නු දෙයක් ඇඳල හිටි මනුස්සය. ඔච්චරම වෙන්නැති ආස දෙයක් කියල මහන්සි වෙලා හෙව්වෙ.

      Delete
  23. ඇත්තටම නලිනි සපතේරු උන්නැහේට චෝදනාවක් කරනවද මන්දා...? මම ටිකක් දිග කමෙන්ටුවක් දාන්න පස්සෙ එන්නම්.....! දැන් රෑ 2.00යි වෙලාව. හෙට දිහාට කමෙන්ටුවක් දාන්නම්......!

    කෙටියෙන් කියනවානම් සපතේරු වගේ සුන්දර මනුස්සයෙක්ට ඒ චෝදනාව බරපතල වැඩියි.....!

    ReplyDelete
    Replies
    1. අපොයි නැතෝ. සපතේරු සුන්දර මනුස්සයෙක් බව සහතික ඇත්ත. ඒත් මගෙ ඔළුවෙ වැඩ කරන්නෙ, "සපත්තුනම් සපතේරු" කියලා. සපත්තු කතා ලිව්ව හින්දා සපාට ලිව්වෙ.

      Delete
  24. ඕවා තමා මාර්කටින් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕඕ, ඒ ළමයි ඉගෙනගෙන තියෙන්නෙ එහෙම වෙන්න ඇති. සමහරවිට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් බැණුම් අහන්න වෙනවා ඇති පාරිභෝගිකයින්ට කතා කරේ නැත, බඩු තෝරගන්න උදව් කළේ නැත කියලා.

      Delete
  25. මම හිතුවේ යාලුවගේ සපත්තු දෙකේ පාට පිච්චිලායි තැඹිලි වෙලා තියෙන්නෙ කියලා. බල්ලොත් එක්ක බෑ කිව්වට එහෙමමත් නෑ නේද?

    අනිත් කාරණා‍ කාරණා සියල්ලනම් ඇත්ත.

    දවසක් මම කූරපයියක් ගන්න ගිහිල්ලා, මං ඔය අද්දැකීම් වල උපරිම අවස්ථාව අත්වින්දා. අර නලිනි අක්කා කිව්ව වගේ ඒකේ වැඩ කරන ගෑල්ලමයි දෙන්නෙකුත් මම අරක තෝරනකල් වටේ කැරකුනා.

    ඛේදවාචකය ඒක නෙමේ. ඒ ගොල්ල මම එකක් තොරගන්නකල් නොයිවසිල්ලෙන් හිටියේ. ඇත්තටම ඒ දෙන්නා අතර හෙන තරගයක්. මම ඒක කාට තොරලා දෙයිද කියලා. හේතුව මේකයි. ඒයාලා අපිට බඩු ගන්න මග පෙන්නලා අපි බඩු ගත්තම එයාට අමතර දීමනාවක් ලැබෙනවලු. ඒ ගොල්ල ඒකට කියන්නෙ "කොමිස්" කියලා.

    දැන් ඉස්සර වගේ බඩු උස්සං යන්ඩෝනත් නෑ. ඒ ගොල්ලම ගිහිල්ලා කැෂියර් කූඩුවට හලනවා. අපිට තියෙන්නෙ සල්ලි දෙන්ඩ විතරයි.:)

    ReplyDelete
  26. සේවකයින්ට ඔය විදියට ගනුදෙනු කාරයින් එක්ක "සුහදශීලීව" කටයුතු කරන්න කියලා දෙන්නෙ ෂොප් එකේ අයිතිකාරයාමයි. අපිට ඒක වධයක් වුනාට ඒක එයාලගේ වෘත්තියේ ස්වභාවය....
    කවුරුත් මේගැන කියලා තියෙන නිසා වෙනස් විදියෙ කතාවක් කියන්න හිතුනා,හැබැයි මේක මගේ අතේ රෝලක්නම් නෙවෙයි උපුටා ගැනීමක්.....

    සිල්ලර බඩු කඩේකට අලුතෙන් ආව සේවකයෙක්ගෙන් ගනුදෙනු කාරයෙක් තෝර කරවල ඉල්ලනවා...ඒත් බඩු නෑ. කොල්ලා ගත් කටටම "තෝර කරවල නෑ" කියනවා...ගනුදෙනු කාරයා ආපහු යනවා. මුදලාලි මේක දකිනවා...අලුත් එකා හින්දා බනින්නත් බෑ. ඒක හින්දා සුදුසු උපදේසයක් දෙනවා..
    "ළමයා කවුරුහරි ඇවිල්ල යමක්ඉල්ලුවාම, ඒක නැත්නම් එකපාරට ඥැඃ ගාන්න එපා..... දැන් තෝර කරවලනම් ඉල්ලන්නෙ... තෝර කරවල මේ දැන් තිබිලා ඉවරවුනා විතරයි, හැබැයි නොම්මර එකේ කට්ටා කරවලනම් තියෙනවා...එහෙම කිව්වම අර මනුස්සයා තෝර කරවල නැතත් කට්ටා කරවල හරි අරගෙන යනවා....තේරුනාද....?" කොළුවා මේක හොදට මතක තියා ගත්තා.
    තවත් දවසක නෝනා කෙනෙක් ඇවිත්,
    "ළමයා ටොයිලට් පේප තියෙනවද...?" කියලා අහනවා.,(බඩු නෑ) කොළුවා නෝනට මෙහෙම කියනවා..
    "නෝනා ටොයිලට් පේපර් තිබිලා මේ ඉවර වුනා විතරයි...හැබැයි නොම්මර එකේ වැලි කඩදාසිනම් තියෙනවා..."

    ReplyDelete
  27. හපොයි සාප්පු සේවකයන්ගෙ හැසිරීම ගැන මම බ්ලොග් පෝස්ට් එකකුත් ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නේ. මම හිතුවෙ මේ අය වාත කරන්නෙ මට විතරයි කියලා. අපි හරියට හොරු වාගේ පස්සෙන් ඇවිත් අපිට දෙන වදයක්!! අන්න ඒකයි මම සුපර් මාකට් වලින් බඩු ගන්න කැමති. තේරීමේ, තීරණ ගැනීමේ නිදහස තියෙනවනෙ. අපි බඩුවක් ‍තෝරාගන්න නොදන්න, ඒ අය කියන දෙය පිළිගතයුතු අමනයො කියලා හිතන සාප්පු සෙවකයො පස්සෙන් එන්නෙ නෑනේ. පාරිභෝගිකයා shop lifting කරයි කියන ප්‍රශ්නෙට ඔය තියෙන්නෙ කැමරාවල්...
    henryblogwalker the Dude

    ReplyDelete
  28. මේ වගේ වෙනස්ම ආකාරයේ කතා ලියන්නේ කොහොමද කියා පුදුමත් හිතෙනවා. ගොඩ කාලෙකින් ආවෙ අක්කා. අක්කගේ කතා සේරම එකකට එකක් වෙනස්. විශිෂ්ඨයි. මට පෙනෙන්නම බැරි දේ ෂොපින්ග් යෑම. අවශ්‍ය දේ හිතලා ලියාගෙන ගිහින් ටක් ටක් ගාල අරගෙන එන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. අවශ්‍ය දේ තිබුනොත් හොඳයි. නැතත් කමක් නෑ වගෙයි.

    ReplyDelete
  29. සාප්පු වල සේවකයන්ගේ කරදරේ ගැන කියපු කාරණාව නම් ඇත්ත, කවදාවත් හිතේ හැටියට මුකුත් තෝර ගන්න දෙන්නෙ නැහැනෙ. ඔය කියවිල්ල නැවැතතුවා නම් ඔයිට වැඩිය වෙලඳාම් වෙයි මම හිතන්නෙ.

    ReplyDelete
  30. ඔලුව කොලොප්පන් වුනා වගේ . . කතාවක් මැද්දේ කතා ගොඩක් කියලා මට හිතුනා . . .

    ReplyDelete
  31. ශ්‍රීමාJune 20, 2012 at 12:52 AM

    බොහොමයක් කඩවල සහායකයින්ගේ වැඩි කරුනාවත් වෙලාවකට හරිම හිසරදයක් තමා

    ReplyDelete
  32. ශ්‍රීමාJune 21, 2012 at 2:34 AM

    හැබැයි ඕකෙ මානුෂික පැත්තකුත් තියෙනව. බොහොමයක් කඩ අයිතිකාරයෝ තමුන්ගේ සේවකයින්ට දැනුම් දීල තියෙනව ඇති පාරිභෝගිකයො එනකොටම ගිහින් සහාය වෙන්න කියල. ඉතින් එයාල ගිරව් වගේ ඕක කියනව. මම දැක්ක දැනට මාස කීපයකට ඉස්ස්සරවෙලා තරුවකට මොකකටද කොහෙද හරියට ගනන් ගත්තෙ නෑ කියල පැමිණිලි කරල ඒ අහිංසකයොන්ගෙ රස්සාවල් නැති කරල තිබ්බ නිවුස් එකක්. කතාකරල පාරිභෝගිකයොන්ගෙන් බැනුම් අහනවද කතා නොකර අයිතිකාරයොන්ගෙන් බැනුම් අහනවද කියන එක සේවකයින්ට තියන ප්‍රශ්නයක් වෙන්නත් ඇති.

    ReplyDelete
  33. අයියෝ කකුල් දෙක....

    ReplyDelete