Sunday, June 3, 2012

තීරණ


ජීවිතේ හැම මොහොතකම මොනවා හරි දෙයක් තෝරගන්න වෙනවා. ඉන් සමහරක් තීරණ අමාරුයි.

ඉස්සරම, වැස්ස දවස්වලට උදේට නැගිටින එක පවා අමාරු තීරණයක්.
"අද නොගියොත් මොකද?" මම මගෙන්ම අහනවා.

තවත් සමහර තීරණවලට අවට ඉන්න අයගෙ බලපෑම තියෙනවා. ඉස්සර අක්කයි මමයි නිදා ගත්තෙ එකම කාමරේ. හුඟක් දවස්වලට අපි ඇඳේ ඉඳන් කතන්දර පොත් කියවනවා. ජනේලෙ වහන්නෙ කවුද, විදුලි පහන් නිවන්නෙ කවුද කියන එක තමයි ඒ දවස්වල තිබුණු ලොකුම තීරණේ. මගෙ ඇඳ තිබුණෙ ජනේලෙ ළඟ. විදුලි පහනෙ යතුර තිබුණෙ අක්කගෙ ඇඳ ළඟ. මම ජනේලෙ වහනවනම්, අක්කා විදුලි පහන් නිවිය යුතු වුණත්, මම ජනේලෙ වහනවා දකිනකොටම, දඩබඩ ගාලා, කියවමින් හිටිය පොත වහලා, අක්කා ඇඳේ වැටෙනවා; නිදි වගේ රඟපානවා. ඒ හින්දා හුඟක් දවස්වලට වැඩ දෙකම කරන්නට වුණේ මට.
ඉතින් හොඳටම හිතට අමාරු වුණු දවසක මම තීරණය කළා අක්කට පාඩමක් උගන්වන්නට. මම අක්කගෙ ඇඳ උඩට පැනලා, ඇයට හොඳට රිදෙන්නට පාගගෙන ගිහින් විදුලි පහන නිව්වා.

එතනින් එහාට කතාව හුඟක් ශෝචනීයයි...


රැකියාවකට ගියාට පස්සෙ අමාරු තීරණ කියන වර්ගය වෙනස් වෙන්නට පටන් ගත්තා.

සීමාවාසික කාලෙ මුළින්ම තනියම හිතලා ප්‍රතිකාර නියම කරනකොට ඒක අමාරු තීරණයක්. ජ්‍යෙෂ්ඨයෙකුට කතා කළ යුත්තෙ කොයි වෙලාවටද කියලා තීරණය කිරීම අමාරු දෙයක්. නමුත් ඒ කාලෙ බරපතල තීරණ ගත්තෙ ජ්‍යෙෂ්ඨ අය නිසා ගැටළු අඩුයි.

වරක් එක්තරා කාන්තාවක් ඇතුළත් වුණා සැත්කමක් උදෙසා. ඇය රුධිර පාරවිලයනයට විරුද්ධ ආගමික නිකායකට අයත් කෙනෙක්. ඇයට සිදු කළ යුතුව තිබුණු සැත්කම, අධික ලෙස රුධිරවහනය විය හැකි එකක්.
මමත් මා සමග වැඩ කළ අනෙක් සීමාවාසික වෛද්‍යවරයාත් දැන් ඇයට කරුණු පහදා දෙන්නට වෑයම් කරනවා. ඇය නොවෙයි පිළි ගන්නෙ.
"එහෙම හුඟක් ලේ ගියොත් මැරෙන්නට පුළුවනි."
"ආ, ඒකට කමක් නෑ!"
"ඔයාට කමක් නැති වුණාට අපිට කමක් තියෙනවා. අපිට බෑ බේරගන්න පුළුවන්කම තියෙද්දි බලන් ඉන්න."
"නෑ නෑ, මම මැරුණත් ලේ ගන්නෙ නැහැ."
ඇයට අවුරුදු 9ක පුතෙක් ඉන්න බව අපි දැනගෙන හිටිය හින්දා, අපි ඒ තුරුම්පුව පාවිච්චි කළා.
"දැන් ඔයාගෙ ළමයට එහෙම ඔය වගෙ ජීවිතේ බේරගන්න ලේ දෙන්නම වුණොත්, ඔයා ඒත් ලේ නොදී ඉන්නවද, නෑනෙ.."
"නැහැ, ඒත් ලේ දෙන්නෙ නැහැ. පුතාව මැරුණට කමක් නැහැ. ආගම වෙනුවෙන්.."

එතනින් එහාට කතා කරලා තේරුමක් නැති හින්දා අපි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුට ප්‍රශ්නය ඉදිරිපත් කළා. ඒ විදිහට සැත්කම් කරන වෛද්‍යවරයෙක් හොයාගෙන සැත්කම කරන ලෙස දන්වා ඇයගෙ සැත්කම අවලංගු කෙරුණා. එහෙම කරන, ඇගේ ආගමික නිකායට අයත් වෛද්‍යවරයෙක් ඒ කාලයෙ පෞද්ගලික අංශයෙ හිටියා. ඒ නිසා ඒ තීරණය පහසු වුණා.

පසු කාලීනව දැඩි සත්කාර ඒකකවල, ශල්‍යාගාරවල සේවය කරනවිට, වෙනස් ආකාරවල තීරණ ගැටළු සහගත වුණා. මේ වගේ සීමිත පහසුකම් ඇති විටෙකදි, ඒ සඳහා අවශ්‍යතා ඇති රෝගීන් බොහොමයක් ඉද්දි, කාටද මූලිකත්වය දෙන්නෙ කියන එක කොහොමත් ප්‍රශ්නයක්. ඒ ඒ කෙනා, තමන්ට හැඟෙන විදිහට තීරණ ගන්නවා.
සමහර දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරගන්නා රෝගීන් තීරණය වෙන්නෙ පොරොත්තු ලේඛනයක් අනුව. බැලු බැල්මට බොහොම සාධාරන වගේ පෙනුණත්, ඒ ක්‍රමයෙ අඩුපාඩු තියෙනවා. වඩාත් වැඩි අවශ්‍යතාවයක් ඇති රෝගියෙකුට, එහෙමත් නැත්නම් වඩාත් සම්පූර්ණ සුවයක් ලැබීමේ හැකියාව ඇති කෙනෙකුට අවස්ථාව ගිලිහී යන්නට ලොකු ඉඩක් තියෙනවා.
තවත් සමහර වෙලාවට බරපතල ලෙස බෝවෙන රෝගයක් සහිත රෝගියෙක් එවන් ඒකකයකට ඇතුළත් කරගත්විට, ප්‍රතිශක්තිය හීන වී සිටින අනෙක් රෝගීන්ට ඒ රෝගය බෝ වීමේ අවදානම බොහොම වැඩියි. එක්කෙනෙක් බේරා ගැනීමට ගන්නා උත්සාහයෙන් තවත් කිහිපදෙනෙක් මිය යාමට ලොකු අවස්ථාවක් තියෙනවා.
"කොහොම හරි" තමන්ගෙ ලෙඩාට ඇඳක් ලබා ගැනීම පිණිස ඇතැම් පුහුණු වෙන වෛද්‍යවරුන් සුදුසුකම් "වවා" කීම මෙන්ම, නුසුදුසුකම් ලෙස සැළකිය හැකි ඇතැම් කරුණු "වැහීම"ත් දකින්නට පුළුවන්.
මේ වගේ හේතු නිසා තවත් සමහර ඒකකවලට ඇතුළත් කරගන්නා රෝගියා නිර්ණය කර ගැනීමට වෙනත් සාධක භාවිතා කරනවා. ඇතැම් තැනෙක අදාල ඒකකයෙ වෛද්‍යවරයෙක් වාට්ටුවට ගිහින් අදාල රෝගියාව පිරික්සා බලනවා ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් තියෙනවද කියලා. එතකොට, අනෙක් ඉල්ලුම්කරුවන් සමග සැසඳීමට අවස්ථාවක් ලැබෙනවා.
තවත් ඒකකවල රෝගියාට ඇති රෝගය සුව වීමේ හැකියාව, රෝගියාගෙ අනෙකුත් රෝගාබාධ ආදිය සැළකිල්ලට අරගෙන මේ තීරණය ගන්නවා.

කොහොම නමුත් මෙහෙම ගන්නා තීරණවලින් අසීරුම තීරණ ගැනීම මම දැක්කෙ එක්තරා වකුගඩු රෝග සඳහා වන ඒකකයකදි.

ලංකාවෙ වකුගඩු බද්ධය සහ රුධිර පිරිසිදු කිරීම සඳහා කාන්දුකරණය (Dialysis) අවශ්‍ය වෙන රෝගීන් විශාල සංඛ්‍යාවක් පොහොසතුන් නොවෙයි. රෝගය නිසාම සමහරවිට ඔවුන්ට රැකියාවක් කළ හැකි මට්ටමක නැහැ. නමුත් රුධිර කාන්දුකරණය මෙන්ම, වකුගඩු බද්ධයත් අධික ලෙස මුදල් වැය වෙන ප්‍රතිකාර ක්‍රම. රජයේ රෝහල්වලින් නොමිළේ ලබා දිය හැක්කෙ ඉතාම සීමිත පහසුකම් ප්‍රමාණයක්. සිටින රෝගීන් සංඛ්‍යාව සමග සැසඳීමේදී එය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ.

අදාල වකුගඩු රෝග ඒකකයේ කොටස් දෙකක් තියෙනවා, රුධිර කාන්දුකරණය සඳහා.

"ඒ" කොටසෙදි, කාන්දුකරණය සඳහා වැය වෙන්නෙ, රෝගියාට රෝහලට ඒම සඳහා වියදම විතරයි. ඉතිරි උපකරණ, දියර වර්ග රෝහලෙන්ම සපයනවා. කාන්දුකරණයත් සතියකට දින කිහිපයක් හෝ අවම වශයෙන් සතියකට වරක්වත් කෙරෙනවා.

අනෙක් කොටස "බී". එහි රෝගීන් තමන්ට අවශ්‍ය උපකරණ සපයා ගත යුතුයි. තියෙන සීමිත පහසුකම් බෙදා ගැනීම පිණිස මේ කොටසේ විශාල තරගයක් තියෙන්නෙ, මේ කොටසට රෝගීන් වැඩි හින්දයි. මුදල් කියන සාධකය මත ප්‍රතිකාර නවත්වන අය එමට ඇති.

මේ කොටස් වෙන් කෙරෙන්නෙ, වකුගඩු බද්ධ කිරීමක් සඳහා රෝගියා සූදානම්ද කියන කාරණය පදනම් කරගෙන.

මිය ගිය කෙනෙකුගෙන් වකුගඩුවක් ලබා ගත හැකි නමුත්, එක් අතකින් එය ජීවත්ව සිටින කෙනෙකුගෙ විතර හොඳ නැහැ. අනික් අතින්, ලංකාවෙ පවතින පහසුකම් අනුව, කෙනෙක් මිය ගිය පසු අවයව හානි වීමට පෙර උකහා ගැනීම අසීරුයි. (එහෙම නොකරනවා නොවෙයි.) ඒ නිසා රෝගීන්ට උපදෙස් දෙනවා බද්ධ කිරීම පිණිස වකුගඩුවක් දීමට කැමති කෙනෙක් සොයා ගන්නා ලෙසට.

මුදල්වලට වකුගඩු දීම හෝ ගැනීම මේ රටේ තහනම්.

නමුත් ඒ දේ කෙරෙනවා. එක අතකට මට හිතෙන්නෙ, ඒ දේට වාණිජ වටිනාකමක් ආවයින් පස්සෙ, අර විදිහට පින් පිණිස ප්‍රදානය කරන එක අඩු වෙන්නට ඇති කියලා.
කොහොම වුණත්...

එහෙම උපදෙස් දීලා, ඒ අයට යම් කාල සීමාවක් දෙනවා. ඒ කාලය තුළ ඔවුන් වකුගඩු දායකයකු සොයා ගත යුතුයි.
වකුගඩුවක් බද්ධ කරනතුරු මේ අයගෙ සෞඛ්‍යය මනාව පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අර බද්ධ කරන එකෙනුත් තේරුමක් නැහැ. අන්න ඒ නිසා, මේ අයට රුධිර කාන්දුකරණය කෙරෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිළේ.

එතකොට බී කොටසෙ රෝගීන්?

ඔවුන් එහෙම බද්ධ කිරීමට කවුරුන්වත් සොයා ගත නොහැකි වුණු අය. ඒ කියන්නෙ බලාපොරොත්තුවක් තැබිය නොහැකි අය.

ඒ කොටසෙ ඉන්නා රෝගීන්ගෙන් එක්තරා ප්‍රතිශතයක් යම් දිනකදී බී කොටසට මාරු කළ යුතුයි.
ඒක හරියට මරණයට දින නියමයක් කරනවා වගෙයි මට හැඟුණෙ.

නමුත් ඒකත් යම් දිනකදී, කවුරුන් හෝ ගත යුතු තීරණයක්. 






ප.ලි. තමන්ගෙ මරණයෙන් පසු හෝ මොළයට නැවත සුව නොවන පරිදි දැඩිව හානි පැමිණීමෙන් පසු හොඳ තත්වයේ පවතින තමන්ගෙ අවයව- අක්මාව, වකුගඩු, ඇස්- බද්ධ කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර තැබිය හැකියි. දැන් ලංකාවෙත් මේ විදිහෙ සැත්කම් කෙරෙනවා.

36 comments:

  1. මම හිතන්නෙ මම එක

    ReplyDelete
  2. මම සහ මගේ බිරිද ඔය කියන ආකාරයේ අයදුම්පත් පුරවලා දුන්නා.
    ඇස් ,පටක ,අවයව , මුළු සිරැරම ලබාගත හැකි ආකාරයෙන්.
    අපිට ලැබුනා පුංචී කාඩ් පතක්.
    අපි දෙන්නට තියනවා එ පිලිබදව දැඩි අවශ්‍යතාවයක්.
    අපිට ගැටලුවක් තියනවා එය ඇත්තටම ඉටුවෙයිද කියලා.
    මොකද ඒ කාඩ්පතත් කිසිවෙකූගේ අවධානයට ලක්වන්නක් නෙමෙයි.
    දැනටමත් දිරාපත් වෙලා.

    හිතන්නකො මෙහෙම
    මම නිතරම පාරවල් වල ඉන්න මනුස්සයෙක්.
    මම පාරේදි හැප්පිලා ඉස්පිරිතාලෙට ගෙනාපුවහම මැරෙණවා.
    හාමිනේ එන්නත් පරක්කූ වෙනවා.
    කව්රැවත් මගේ කාඩ්පත දකින් නැ.(මගේ එක පේන්නැ)
    අනික ඒ කාඩ් එක රේස් බුකියක තූන්ඩුවක් වගේ බාල ජරා වටිනා කමක් නැති කොළයක්.
    සේවයට කරන අයගේ රැකියා උනන්දුව ගැනත් කියන්න ඔන නැනේ.
    අපරාදේ නිකන් වටින තරැණ නිරෝගි අවයව ටිකක් අපතේ යනවා.
    මම දන්න විදිහට (චීත්තර පටියක දැක්කා) සමහරක් රටවල්වල (ලේ ටිකක්වත් දන්දෙන් නැති) මනුස්සයෙකූට පැලදගෙන ඉන්න ආසා හිතෙන ලස්සන ශක්තිමත් , ඉක්මනට ඇස ගැටෙන අත් පළදනාවක් ලැබෙනවා අවයව ලබා දෙන්න කැමැත්ත ලබා දෙන අයට, ඒ පළදනාව තිබෙන අයගෙන් අවයව ගන්න කාගෙන්වත් අවසර ගන්න ඔන නැ.

    අපිට බැරිද ඒ වගේ දෙයකට එකතූවේලා මුල පුරන්න.
    දෙන්න කැමති අයත් වැඩි වෙනවා පලක් වෙනවා කියලා දැන ගත්තහම.
    සමහරක් විට මෝස්තරයක්වෙයි ඒකත් අද රට යන විදිහට,
    අපේ රටේ ඇස් තරමක් දුරට ලබා ගත්තත් මිල කල නොහැකි වටිනා තරැණ සිරැරැ අපරාදේ පස්වලට යටකරලා දානවා.
    අපි ඒකතූ වෙමු මේ වැඩේ කරන්න ,
    වටිනා කමක් දෙන්න බලමු ඒ කැපකිරිම කරන්න කැමති අයට.
    ඔබතූමියට ඒ පිලිබදව දැනුමක් තිබෙන නිසා චුට්ටක් හොයලා බලන්න විවේකයක් ලැබුන වේලාවක.
    බ්ලොග් කියවන අය ගොඩක් ඉන්නව අද අපේ රටේ.
    අපිට පුළුවන් ඒ ගැන හඩක් නගන්න

    *(අදහසක් පමණි යම්කිසි ගැටලුවක් ඇති උනානං සමාවෙන්න)*

    ReplyDelete
    Replies
    1. ඉඩ ලැබුණු වහාම ඔය සම්බන්ධව කටයුතු කරන අංශයට මම ඔබේ අදහස දැණුම් දෙන්නම්. අවයව බද්ධය සම්බන්ධයෙන් පමණක් නොවෙයි, තමන්ගෙ රෝග, අසාත්මිකතා ආදිය සම්බන්ධයෙනුත් රුධිර ගණය සම්බන්ධයෙනුත් මෙවැනි පහසුවෙන් දැකිය හැකි, කියවිය හැකි කාඩ්පතක් තිබීම හුඟක් වටිනවා.

      Delete
    2. මේක ඇත්තටම වටින කමෙන්ටුවක්

      Delete
    3. What's required is a centralised database with potential donors and an established set procedures to act upon when someone dies.

      Delete
    4. ඇත්තම හොඳ අදහසක්. බැරිද මේ දන් දීමට කැමැත්ත දුන් අයගේ විස්තර දත්ත ගබඩාවකට දාන්න? එතකොට පුද්ගලයා හඳුනා ගන්න විතරයි තියෙන්නේ.

      blood doners ලාටත් මෙහෙම කාඩ් එකක් දෙන්න පුළුවන් නම් වටිනවා. දැන් ලංකාවේ දෙන්නේ පොඩි පොතක් නේ. ඒ පොත ඉතින් යන යන තැන අරන් යන්නනේ නැහැ නේ.

      Delete
    5. //එක අතකට මට හිතෙන්නෙ, ඒ දේට වාණිජ වටිනාකමක් ආවයින් පස්සෙ, අර විදිහට පින් පිණිස ප්‍රදානය කරන එක අඩු වෙන්නට ඇති කියලා.//
      මේක ඇත්ත කියල මටත් හිතෙනවා. මම ලඟදි කියෙව්වා එක්තරා රටක කෙරුණු පර්ශේයනයක්. එකේදී ලේ දීමට 'monetary incentives' දුන් විට නොසිතු ලෙස දායකන් අඩු වුනා පමණක් නොවෙයි - හම්බෙන ලේ වල quality එකත් බාල වෙලා තියෙනවා.

      Delete
    6. ++++ අයිඩියා එකක්

      Delete
    7. කතන්දරගෙ අදහස ක්‍රියාත්මක කෙරෙනවනම් කොයිතරම් හොඳද. ඒක අදාල වගකිවයුතු අංශවලට කරන්න අමාරු දේකුත් නෙමෙයිනෙ.

      Delete
    8. ගොඩක් හොඳ අදහසක්.

      Delete
    9. +++++++ අදහස මල් හතයි.
      අපේ අම්මත් මේ වගෙ ශරීරය ප්‍රදානය කිරීමකට ලියවිල්ලක් ලියලා තියෙන්නේ. එයා නම් ඉතින් අපිව දෑනුවත් කරලා තියන්නේ ඒ ගෑන අවුරුදු ගානකට කලින් ඉඳන්.
      අක්ක පුලුවන් නම් මේ වැඩපිලිවෙලට දායක වෙන විදියක් තරහ නැතුව තවත් ලිපියක ලියන්න පුලුවන්ද?

      Delete
    10. පොලිසියට අපරාධ කාරයන්ව හොයාගන්නත් centralized database එකක් නැති එකේ මේ ලංකාවේ ඔව්වා ??
      දවල් හීන පමණයි ...
      සමාවෙන්න කොමෙන්ටුව නෙගටිවේ උනාට .. එත් මේක තමයි රියලිටි ... ඔන්න බොලිවුඩ් තරු ගෙනල්ල සාජ්ජයක් දාන්න නම්
      ඉතින් බිලියන ගණන් සල්ලි තියේ !

      Delete
  3. අප්පා පොඩි කාලේ මොන තරම් ලේසියෙන්ද තීරණ ගත්තේ.....

    ReplyDelete
  4. තීරණ නේද..?

    ඕකත් හරියට අහස වගේ.. කොයි අතට පෙරලෙයිද මංදා..? සමහරු ඒ අතට මේ අතට පෙරල පෙරලා බල බල තීරණ ගද්දී..තවත් අය මේ හිතුවා මේ ගත්තා... තවත් සමහරු නොහිතාම ගත්තා...

    හැබැයි ඔය කොහොම ගත්තත් ඒ ඒ තීරණ හරිම ඒවා වෙන්න වගේම නොවෙන්නත් පුළුවන්... ඒක තමා එක අතකට බලපුවාම තීරණ කියන්නේ මිනිස්සුන්ට ලැබුන දඩුවමක් වගේ දෙයක්.. අනිත් අතින් මිනිසාට ලැබුන දේව වරමක් වගේ දෙයක්...

    මංනං ඉක්මන් තීරණ ගන්න හාදයා..හරි උනත් වැරදි උනත්... හරි නං ඒ පිල්ලෙම යනවා..වැරදිනං ගත්ත තීරනේ වැරදියි කියලා කාටවත් කියන්න බැරි වෙන විදියට ඒ ගත්ත තීරනේ ගොඩ දාන්න උපරිම දඟලනවා...හරි සරලයි..:D

    ReplyDelete
  5. ජීවිතයක තිබෙන වටිනාම හා දුෂ්කරම කරුණක් වන තීරණ පිළිබඳව වෙදැසක දැක්ම. අගෙයි !

    ReplyDelete
  6. මම තවම පාසල් ශිෂ්‍යාවක්.ඉතින් දැන් මට සෑහෙන්න බරපතළයි කියල දැනෙන තීරණ අනාගතේ වෙන කොට කිසිම වැදගත්කමක් නැති දේවල් බවට පත් වෙන්න ඉඩ තියෙනවා.ඒ ගැන හිතන කොටත් දැනෙන්නෙ හරි පුදුමාකාර හැගීමක්.

    මට වෛද්‍යවරියක් වෙන්න අදහසක් නැති වුණත් ඔබේ වෘත්තීය අත්දැකීම් මගේ ජීවිතේට ගොඩක් දේවල් එකතු කරලා තියෙනව.හැමදාම කමෙන්ට් කළේ නැතත් සිත් ආරට ගොඩ වැදිලා යන්න අමතක කරන්නෙ නැහැ.

    ReplyDelete
  7. සල්ලිම ජීවිතය කර නොගත් ''මනුස්සයෙක්ට '' දොස්තර කෙනෙක් වුනහම හරිම අමාරුයි නේද . තීරණ ගන්න වෙන්නේ කජු ඇට කොස් ඇට ගැන නෙමේ පන ගැහෙන මිනිස් ජිවිත ගැන . අවයව බද්ධය ගැන අටම්පහුර කිව්ව දේත් හරිම වටිනවා . මමත් කැමතියි එහෙම කරන්න . නිකන් පස් වෙලා යන ශරීරය කෙනෙක්ට පලක් වෙනවා නම් කොච්චර දෙයක්ද .

    පොඩි කාලේ තීරණ ..අපේ දිහාත් ඕක තදින්ම තිබුන . අක්කයි මමයි නුලට වැඩ . එක්කෙනෙක් මිදුල අතු ගෑවොත් අනික ගේ . වළං සේදීමයි පිඟන් සේදිමයිත් එහෙමයි . එව්වා කලින් කතා කර නොගෙන ඇති වුන සම්මුති. අපි නම් එව්වා නොකඩවා පිළිපැද්ද .මොකද නැත්නම් තත්වය ශෝචනීය වන නිසා . අපි ගහගනිද්දීත් නියමිත සම්මුතියක් තිබුන . මුලින් පාර ගහපු කෙනා අන්තිම ගුටිය කන්න ඕන . නැතුව ඔව්ව හොටු පෙරාගෙන අම්ම ලඟට ගෙනියන්න ඕන වුනේ නැහැ . අම්මලට එයිට වඩා ප්‍රශ්න තිබුන .

    එයිට වඩා තදබල තීරණ ගන්න වෙච්ච අවස්ථා තිබුන . කළා විෂයන්ද විද්‍යාවද කියල තෝරා ගද්දි ..රැකියා තෝරා ගනිද්දී ...කෝකටත් වඩා කසාද බඳිද්දී . පහුගිය කාලේත් හරිම ලොකු තීරණ ගන්න වුනා .

    ReplyDelete
  8. පොඩි කාලේ තමා මරු. ඔය තීරණ වලට එච්චර හිතන්ඩ දෙයක් නෑනේ. :)

    ReplyDelete
  9. අපි වයසින් මුහුකුරා යන විට තීරණ ගන්න එකත් ලේසි නෑ නේද ඩොක්?

    ReplyDelete
  10. මාතෘකාව දැක්කගමන් ඔළුවට ආවේ ඩිසීශන් මේකිං සබ්ජෙච්ට් එක... එපාකරපු විෂයක් හින්දා කම්මැලි කමින් කියවන්න පටන් ගත්තේ.. ඒත් කියවද්දි තමා තේරුණේ කොච්චර වටින ලිපියක්ද කියලා.

    ReplyDelete
  11. ජීවිතයෙ මඟ.. තීරණය.. වෙන්නෙ, අපි ජීවිතයෙ එක් එක් අවස්තාවලදි ගන්නා තීරන වලින්නෙ. ඔබ වගේ කෙනෙක්ගෙ තීරන..තවත් කෙනෙක්ගෙ ජීවිතයට සෘජු ලෙසම බලපානව..නේද..?

    ReplyDelete
  12. තුන්වෙනි ලෝකේ රටවල සම්පත් සීමිත වීම , ක්‍රොනිකල් රේනල් ඩිසීසස් වගේ ලෙඩ රෝග වැඩි වීම ,ඊට සාපේක්ෂව රජයේ සෞඛ්‍ය සේවා සතුව ඇති සීමිත සම්පත් , එවැනි අවස්ථාවල ප්‍රථිකාර කල යුතු රෝගීන් වරණයට ලක් කිරීම (තේරීමක් කිරීම ) , ඒ සඳහා රෝහල් තුල යම් මිණුම් දණ්ඬු ,ගයිඩ් ලයින්ස් තිබීම , අනික් පැත්තෙන් ලෙඩුන්ගේ සෞඛ්‍ය හිමිකම් , ජීවත් වීමේ අයිතිය කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතීන් , අයිතීන් හා අනික් කරුණු අතරගැටීම හා මෙවැනි අවස්ථාවක සිදුවිය යුතු දේ ( එනම් ප්‍රථිකාර දිය යුතු රෝගීන් ගැන අපක්ෂපාතී තෝරා ගැනීම -එය කල යුත්තේ වෛද්‍ය නිගමන උඩ මිස අපේ රටේ වගේ වෙනත් බලපෑම් අනුව නොවේ ) කියවෙන හොඳ දකුණු අප්‍රිකානු කන්ස්ටිටියුෂනල් කෝර්ට් එක දුන්න නඩු තීන්දුවක් තියේ -කියවල බලන්න. අකමැති වුනත් අන්තිමට සමහර තීරණ වලට එන්න වෙනවා .නමුත් මම පිලිගන්නවා හැඟීම් එක්ක බැලුවොත් එය ඉතා අපහසු දෙයක් .මැරෙන බව දැනගෙන මනුස්සයෙක් ඇත්හැර දැමීමක් වගේ වැඩක්

    මේකත් රේනල් ඩිසීස් කේස් එකක් .සුබ්‍රමනී ක්‍රොනිකල් රේනල් ඩිසීස් වලින් පෙලෙනවා .ඒ එක්කම හදවතත් දුර්වලයි .එවැනි විටක කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න බැරි බව වෛද්‍ය නිගමනය වෙනවා .එනිසා ඔහුට තව දුරටත් ඩයලිසිස් ප්‍රථිකාර කරමින් රෝහලේ තියාගැනීම නොකල හැකි බව රෝහල කියනවා . මොකද සුබ්‍රමනීට වඩා ජීවත් කල හැකි රෝගීන් වෙනුවෙන් රෝහල සතු සීමිත සම්පත් යෙදිය යුතු නිසා .සුබ්‍රමනී උසාවි යනවා හදිසි ප්‍රතිකාර හා ජීවිතයට ඇති අයිතිය කියන දකුණු අප්‍රිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ප්‍රයෝජනේට අරන් .උසාවිය මෙහෙම කියනවා

    Soobramoney v. Minister of Health Decided in 1997

    http://www1.umn.edu/humanrts/edumat/IHRIP/circle/modules/module14b.htm

    "There were many more patients who were suffering from chronic renal failure than there were dialysis machines to treat them. In this context, the court said, it was legitimate to adopt guidelines to determine who should receive treatment. It agreed that by using the dialysis machines in accordance with the guidelines, more patients were benefited than would be the case if they were used to keep persons with chronic renal failure alive. The outcome of the treatment would also be more beneficial, because it was being directed at curing patients and not simply at maintaining them in a chronically ill condition. Even in the most advanced countries access to life-prolonging treatment is rationed. Providing all persons with chronic renal failure with dialysis treatment would make substantial inroads into the health budget. The provincial administration had to make difficult choices with regard to the resources that should be spent on health care and how they should be spent. Where the decision was rational and taken in good faith the Court would not intervene. Agonizing decisions have sometimes to be made on how a limited budget could be stretched to benefit the maximum number of patients, the court said."

    (ගැලපෙන්නේ නැති දිග කමෙන්ට් එකක් වගේ නම් මකලා දාන්න )

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මේ හැම තැනකම මුහුණ දෙන ගැටළුවක්. රුධිර කාන්දුකරණය, දැඩි සත්කාර ඒකක භාවිතය, විශේෂිත සැත්කම් ඒකක භාවිතය, මිළ අධික ඖෂධ වර්ග භාවිතය වගේ අවස්ථාවලදි මෙහෙම තෝරා ගැනීම් නොකර බැහැ. ඒ වැඩි දෙනෙකුගෙ හිත සුව පිණිස.

      Delete
    2. හ්ම් මෙහෙමත් හිතන්න පුලුවනි .ලංකාවේ සෞක්‍යට තියෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් . ඒත් සියලුම රෝහල් ඒ සීමිත සම්පත් නොමිලේම ලෙඩුන්ට දෙනවා කිසිම ගෙවීමක් නැතුව ඕනෙම කෙනෙකුට . එහි විපාක තමයි ෆ්‍රී රයිඩර් කෙනෙක් බිහිවීම . එයාට හැම දේම නිකන් ලැබෙන නිසා එහි පිරිවැය අනික් අය දැරිය යුතු අතර , සීමිත සම්පත් නොමිලේම ලැබෙන නිසා එවැනි අපහසුතා ඇතිව අනාගතයේ එන අනික් අයට සම්පත් නොමැති වීම වගේ වෙනවා .මේකට මම යෝජනා කරන්නේ නම් රෝහලකින් බෙහෙත් ලබාගන්න යම් යම් අවස්ථාවල පොඩි හරි මුදලක් අය කරගන්න පුලුවනි නම් ඕ.පී.ඩී එකේන් බෙහෙත් ගනිද්දී රුපියල් 5 ක් ගෙවලා ගියොත් ජාතික රෝහල වගේ තැනකට ලොකු උදව්වක් වේවි නේ එතැන නඩත්තුවට ? මහා පරිමාණ සැත්කම් වලදී රෝගියෙක්ට ජනාධිපති අරමුදලින් යම් මුදලක් දෙනවා ඒක ලක්ෂ එකහමාරේ සිට ඉහලට .එවැනි අවස්ථාවක රජයේ රෝහලක සිදුකල සැත්කමෙන් පස්සේ ඒ මුදලින් රුපියල් 5000 ක් වත් රෝහල අය කරගන්නවා නම් ඊලඟ ප්‍රථිකාර වලට එන ලෙඩ්ඩුන්ට ලොකු යහපතක් වෙනවා ඒ සැත්කම් ඒකකයේ නඩත්තුවට .

      මෙහෙම කිව්වම මට සමහරු බණියිද මන්දා සෞඛ්ය පුද්ගලිකකරණය කරනවා කියලා .ඒත් සල්ලි නැති කුලී වැඩ කරන දුප්පත්ම මිනිහෙක් වුනත් තමන්ගේ කසිප්පු කාලට , සිගරට් එකට ( මේවා මොනතරම් ගනන් වුනත් ) යන වියදම අඩු නොකරන රටක් වෙච්චි මේ රටේ රුපියල් පහක් දහයක් කියන්නේ නතින්ග් .

      මෙහෙම වුනොත් තව ලෙඩ්ඩු කීප දෙනෙක්ට හරි සෙතක් සැලසෙනවා

      Delete
    3. ඉස්සර කාලෙක තිබුණා රජයේ රෝහලක ඕ.පී.ඩී ගමන් වාරයකදීම සත 25ක මුද්දරයක් ගන්න නියමිතව තිබුණා. මතක හැටියට ඒ 77ට කලින්, ඒ කියන්නේ පාන් ගෙඩිය රුපියලට තිබුණ කාලේ.

      Delete
    4. @ TG, Totally agreed. Initial implementation will be difficult due to political resistance. But it should be started at some point. Free health cannot be sustained in long run and it will deteriorate day by day under the current system.

      Delete
  13. ඇස් සහ සිරුර දන් දී නිවනට එක් පියවරක් තබමු.

    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
    විද්‍යා මාවත,
    කොළඹ 7.

    ලිපිනයට තමාගේ ලිපිනය ලියූ මුද්දර ඇලවූ ලියුමි කවරයක් එවීම තුලින් මේ සඳහා අවශ්‍ය පොරොන්දු පත්‍රය සහ විස්තර ලබාගත හැකියි. ඊට අමතරව 0112692051, 2698040/41/43 යන දුරකථන අංක සමඟ සම්බන්ධ වීමෙන් ද අවශ්‍ය තොරතුරු ඔබට ලබා ගැනීමට පුළුවන්.

    තොරතුරු - බුද්ධ රශ්මි බ්ලොග් අඩවියෙන්.

    ReplyDelete
  14. කාලෙන් කාලෙට ගන්න ඕන තීරණ වෙනස් වෙනවා වගේම ඒ තීරණ ගද්දී හිතන්න ඕන පරාසයනුත් වෙනස් වෙනවා..

    ReplyDelete
  15. පොදුවේ කාරනාව අනුව තීරණය කරන්න සිදුවන කාලය වෙනස් වෙනවා කියන්න පුලුවන්. පමණක් වෙලාවට තීරණය කිරීම පමා කරන්න තීරණය කරන්න පුළුවන් වගේම ජීවිතයක් බේරා ගැනීම වගේ දෙයකට කලයුතු තීරණය ඉක්මන් කිරීමත් අවශ්‍ය වෙනවා.

    ReplyDelete
  16. සමහර රෝහල්වල එහෙම මියයන අයගේ කොටස් ගැනීමට පහසුකම් නැති බව අපි අත්දුටුවේ අම්මගේ ඇස් දෙක ගන්න විදිහක් නැති බව මහනුවර රෝහලෙන් දැනුම් දුන්නාමයි .. මම අම්ම බලන්න ගිය හැම වතාවකම මගෙන් ගත්ත පොරොන්දුව අපි කාටවත් ඉටු කරන්න බැරි උනා. සිරුරනම් පේරාදෙණියේ වෙද විදුහලට දුන්නා. ඒත් අපේ හිත්වල ලොකු තැවිල්ලක් තියෙනවා. අම්මගේ ඇස් දෙකින් තව කෙනෙකුට ලෝකය දකින්න ලැබුනේ නැහැනේ..
    හැම රජයක්ම අනවශ්‍ය දේ වලට විනාශකරන ධනස්කන්ධය මේ වගේ දෙකට වැය කලානම්..

    ReplyDelete
  17. "රුධිර කාන්දුකරණය" කියන්නේ මොකද්ද කියල දැනීමක් නෑ
    පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම්..

    ReplyDelete
    Replies
    1. වකුගඩු කියන්නෙ සිරුරේ විෂ අපද්‍රව්‍ය සහ වැඩි ජලය ඉවත් කරන මාර්ගයක්. වකුගඩු අක්‍රිය වුණහම, ඒ විෂ ද්‍රව්‍යත්, අමතර ජලයත් සිරුරේ එකතු වෙන්න පටන් ගන්නවා. එහෙම එකතු වෙන ද්‍රව්‍ය සිරුරෙන් ඉවත් කිරීම පිණිස තියෙන කෘතිම "වකුගඩුව"ක් තමයි රුධිර කාන්දුකරණය. රෝගියාගෙ රුධිර නාලයකට බටයක් සවි කරනවා මේ සඳහා ඇති යන්ත්‍රයට. යන්ත්‍රයෙදි ඒ රුධිරය පෙරීමකට ලක් වෙනවා: එහි ඇති අපද්‍රව්‍ය, වැඩිපුර ජලය, ලවණ වර්ග ආදිය ඉවත් කෙරෙනවා. ඉතිරි රුධිරය නැවත වෙනත් නාලයක් හරහා රෝගියාගේ වෙනත් රුධිර වාහිනියකට යැවෙනවා. (haemodialysis)

      Delete
  18. අර කිව්වත් වගේ රුධිර පාරවිලයන ප්‍රතික්ෂේප කරන කෙනෙක් මටත් හම්බවෙලා තියනව. ඇයට නම් ආවෙ බබා ලැබෙන්නට හැබැයි සීසර් ශල්‍යකර්මයක් කරන්න වුනොත් හරි ස0කූලතා වුනොත් හරි ලේ දෙන්න එපාය කියල ඉල්ලපු නිසා මමත් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙන්ගෙ උපදෙස් පැතුව. අන්තිමට ඇද ඉහපතේ ඒ රෝගියට කියලම ලියවල අත්සන් ගන්න වුනා. හැබැයි පස්සෙ ඒ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරය මාත් එක්ක කිව්වෙ අවශ්‍ය වුනොත් ජීවිතය බේරාගැනීමට ලේ දෙන්න (රෝගියගේ කැමැත්ත නැති වුනත්) විශේෂ්හ වෛද්‍යතුමෙකුට තීරණය කරන්න පුළුවන් කියලයි.. මම තවමත් හරියටම දන්නෙ නෑ මේකෙ හරිම නීතිමය තත්වය

    ReplyDelete
  19. ඇත්තටම නලිනිගෙ ලිපියෙ මාතෘකාව "තීරණ"නෙ. තීරණ ගැන මම අහලා තියෙන ලස්සන කියමනක් මේක.
    Decision is like a sharp knife, it cuts clean.
    On the other hand indecision is like a blunt knife that hacks leaving jagged ends.
    මේකෙ ඇත්තම wordings මට මතක නෑ. නැවත ලිව්වා ආසන්න වශයෙන්.

    henryblogwalker the Dude

    ReplyDelete
  20. ශ්‍රීමාJune 21, 2012 at 2:26 AM

    හරිම වැදගත් ලිපියක්. බෙදාහදාගත්තට ස්තුතියි. ඔය රුධිර කාන්දුකරණය මමත් දැක්ක මීට අවුරුදු 10කට විතර ඉස්සර අපේ තාත්තට මී උණ හැදිල ගොඩක්ම අමාරු වෙලා ඔය කියන කෘතීම වකුගඩුව පාවිච්චි කලා. වාසනාවකට කරාපිටිය රෝහලේ හැම පහසුකමක්ම තිබ්බ.

    ReplyDelete
  21. වටිනා කියන අදහස් ටිකක්....ස්තුතියි කිව්ව බර දාලම

    ReplyDelete