Sunday, July 22, 2012

හීනය

අපට හීන පෙනෙන්නෙ කොහොමදැයි කල්පනා කරලා තියෙනවද?

දෙවියෝ තමන්ගෙ දරුවට දී තියෙන සෙල්ලම් බඩු තමයි, මේ හීන.

බොහොමයක් පොඩි දරුවන්ගෙ සෙල්ලම් බඩු අඩුක් කරලා තියෙන්නෙ පෙට්ටියක. ඉතින් දෙවියන්ගෙ දරුවටත් ඒ විදිහෙ විශාල පෙට්ටියක් තියෙනවා. හීන අඩුක් කරලා තියෙන්නෙ මේ පෙට්ටියෙ.

සෙල්ලම් කරන්ට ඕන වුණහම, හැම පොඩි ළමයෙක්ම වගේ දේව දරුවත් ගිහින් සෙල්ලම් බඩු පෙට්ටිය අදිනවා. අතට අහු වෙන හැම එකම එහෙට මෙහෙට විසි කරනවා. ඕනෑම විටෙක, අප හොයන්නේ මොකක්ද, ඒ දේ තියෙන්නෙ අඩියෙම බව අපි කවුරුත් දන්නවා. දෙවියන්ටත් මේ නියමය පොදුයි. ඉතින් තමන්ගෙ හිතේ තියෙන හීනය අහු වෙනතුරු දේව දරුවා අතට එන හැම හීනයක්ම අහු වෙන අතකට විසි කරලා දානවා.

"ඔය තියෙන හීනයක් අරන් සෙල්ලම් කරන්න. බලන්න, මේක කොතරම් අපූරු හීනයක්ද?" වෙලාවකට දෙවියෝ කියනවා.
දේව දරුවා එහෙම වෙලාවට බෙරිහන් දීලා අඬනවා; අඩි පොළොවෙ හප්පනවා.
"බෑ, මට අර හීනයමයි ඕන!"
ඉන් පස්සෙ ඔහු අතට අහු වෙන හීන සී සී කඩ විසි කරන්නෙ කලින්ටත් වඩා දරුණු තාලෙට.

කොටින්ම දෙය්යෙක් නෙවෙයි, යකෙක්!

හීන කියන්නෙ බොහොම මටසිළුටු දේවල්. ඉක්මණින්ම බිඳෙන සුළුයි. ඒ වගේම නෙළුම් කොළයක් උඩට වැටුණු වතුර බිඳු එකිනෙක හා ඉක්මණින්ම මුසු වෙලා ලොකු බිඳුවක් හදනවා වගේ, මේ හීනවලට අනෙක් හීන එක්ක මුසු වෙන්නටත් වෙලාවක් යන්නෙ නැහැ.

දේව දරුවා මේ විදිහට විසි කරන හීනත් පුංචි පුංචි බිඳුවලට බිඳෙනවා; සමහරවිට කිට්ටුව තියෙන අනෙක් හීන එක්ක මුසු වෙලා අලුත් හීන හැදෙනවා.

දිව්‍යලෝකය තියෙන්නෙ මහ පොළොවට ඉහළින්. අර විදිහට හැම තැනම විසි වෙන හීන ඔන්න මහ පොළොවටත් විසි වෙනවා. නින්ද ගිහින් ඉන්න සතුන්ගෙ මෘදු වූ හිත් ඇතුළට මේ හීන ඇතුළු වෙනවා.

අපි දකින්නෙ ඒ හීන.

දේව දරුවා තමන් කැමති හීනය තෝරගෙන සෙල්ලම් කරන්නට යනවා. දෙවියන්ගෙ සේවකයින් හැම තැනම දුවලා, එහෙ මෙහෙ විසිරුණු හීන එකතු කරනවා. ඒවා ආපහු සෙල්ලම් බඩු පෙට්ටියට දානවා.
සෙල්ලම් බඩු පෙට්ටිය ඇතුළෙදි සමහරවිට මේ හීන එක එක විදිහට අනෙක් හීන එක්ක මුසු වෙනවා.
එකම හීනය දෙවරක් දකින්නට අපහසු ඔය හින්දා.



බොහොම ඉස්සර කාලෙ මහ පොළොවෙ දරුවෙක් වාසය කළා. මේ දරුවා දවසක් නිදාගෙන ඉද්දි, හීනයක් දැක්කා. ඒ හීනය ඇතුළෙ ඔහු කැමති හැම දෙයක්ම තිබුණා: සතුට, වාසනාව, සැනසීම, ආදරය....

නින්දෙන් අවදි වන විටත් ඔහුගෙ හිතේ ඉන් ඇති වුණු ප්‍රමෝදය රැඳිලා තිබුණා. ඔහු තමන් දුටුව හීනය ආයෙ ආයෙත් සිහි කරමින් සතුටු වුණා.

"මගේ හීනය..." ඔහු හිතුවා.

මනුස්ස ලෝකයේ වාසය පහසු නැහැ. ජිවිතය කරදරයි. දරුවාට නිතරම අර ප්‍රබෝධජනක හීනය මතක් වුණා. හීනය හින්දා දුක් කම්කටොළු තාවකාලිකව අමතක කරන්නට ඔහුට හැකි වුණා. ඒත් ඔහු ඉන් පසු කවදාවත් ඒ හීනය දැක්කෙ නැහැ. එහෙම වුණේ ඇයි කියලා, අපි දැන් දන්නවා.



කාලයක් ගත වුණා. දරුවා දැන් වැඩිහිටියෙක්.

පොඩි කාලෙදි වගේ නොවෙයි. වැඩිහිටියකුට පුළුවන් තනියෙන් තීරණ ගන්නට. ඉතින් දැන් වැඩිහිටි මිනිසකුව සිටින දරුවා තීරණය කළා තමන්ගෙ හීනය හොයා යන්නට.
එකම එක වරක් ඒ හීනය තුළ ඉන්නට...
එකම එක මොහොතක්...

ඒ වෙනුවෙන් තමන්ගෙ ජීවිතයම වුණත් කැප කිරීමට ඔහු හිත හදා ගත්තා.

ඔන්න එදා පටන් මේ මිනිහා මහ පොළොව මත හැම තැනම ඇවිදින්නට පටන් ගත්තා. හැම කෙනකුගෙන්ම ඔහු හීන ගැන විමසුවා. තමන් දුටුව හීනය විස්තර කරලා, එහෙම හීනයක් දැකලා තියනවද කියලා විමසුවා.

ඔහුගෙ ඇඳුම් පැලඳුම් වියැකුණා. පාවහන් ගෙවුණා. හරිහැටි කෑමක් බීමක් නොලැබුණු, ඇවිදීමෙන් වෙහෙසට පත් සිරුර ඉක්මණින් දිරාපත් වුණා; රෝගී වුණා.
ඒත් ඔහු උත්සාහය අත හැරියෙ නැහැ.

මහ පොළොව මත කොතෙකුත් ඇවිදලාවත් තමන්ගෙ හීනය හොයා ගන්නට ඔහුට නොහැකි වුණා. ඔහුගෙ ඇස් කෙමෙන් කෙමෙන් ඇඳිරි වුණා. කොන්ද වකුටු වෙන්නට වුණා. අතපය හන්දි වේදනා දෙන්නට වුණා.
ඒත් හීනය හොයා ගන්නට බැරි වුණා.

බලාපොරොත්තු ටික ටික කඩ වෙනවිට මිනිහාගේ හිත දුර්වල වුණා. දවසක්දා පය වාරු නැතිව මිනිහා ලිස්සා වැටුණා. හිත දුර්වල වෙලා හිටිය හින්දා ඔහු හඬන්නට වුණා.

ඔහුගෙ වාසනාවට, ඒ හැඬුම හීන එකතු කරන්නට මහ පොළොවට ඇවිත් හිටිය දේව සේවකයකුට ඇහුණා. ඔහුට මිනිහා ගැන දුක හිතුණා. දෙවරක් නොහිතා, දේව සේවකයා මිනිහාව දිව්‍ය ලෝකයට එක්කගෙන ගියා. දෙවියන්ගෙ සෙල්ලම් බඩු කාමරයටම එක්කගෙන ගියා.

"දිව්‍ය ලෝකයට මිනිහෙක් ඇවිත්!" කතාව හැම තැනකම ආරංචි වුණා. දේව සභාව මිනිහා බලන්නට ආවා.

වයස්ගත මිනිහා දණින් වැටුණා. ඔහුගෙ හිසකෙස් හොඳටම සුදු වෙලා. අතපය වෙව්ලනවා. හම රැළි වැටිලා. ජීවිත කාලයක් පුරා හීනය සොයමින් ඇවිද්ද ඔහුට හොඳටම වෙහෙසයි.

"මට මගෙ හීනය හොයා දෙන්න." ඔහු හඬමින් ඉල්ලා සිටියා.

"නුඹේ හීනය?" දෙවියො ඇහුවා. අහලා මහා හය්යෙන් හිනා වෙන්නට පටන් ගත්තා. "හොහ් හොහ් හොහ්, හක හක හක, හා හා හා!"

"ඔව්, මගේ හීනය. මා ළමයකුව සිටියදී දැක්ක මිහිරි හීනය." වයස්ගත මිනිහා දෙවියන්ගෙ පාද වඳිමින් කිව්වා.

"නුඹේ හීනය!" දෙවියො ආයෙත් හිනා වෙන්නට පටන් ගත්තා. දේව සභාවත් හිනාවට එක් වුණා.

"හොහ් හොහ් හොහ්, හක හක හක, හා හා හා! නුඹේ හීනය!!"


මුළු දිව්‍ය ලෝකයම හිනාවෙන් දෙදරුම් කෑවා.

දෙවිවරු නෙවෙයි යක්කු!

මිනිහා හීල්ලුවා. දෙවියෝ හිනාව යන්තම් නවත්තා ගත්තා. ඔහු මිනිහාව ඇමතුවා.

"ඒ හීන නුඹගෙ නොවෙයි. තේරුණාද? නුඹ දැක්කෙ අපේ හීන. ඒවා අපේ, දෙවියන්ගෙ. නුඹගෙ නොවෙයි. තේරුණාද?"

මිනිහාගේ යාන්තම් පෙනෙන නොපෙනෙන ඇස්වලින් කඳුළු ආවා. ඔහුගෙ දුබල අත් එක් කරලා ඔහු දෙවියන්ට වැන්දා. බොහොම දුක්බර හඬින් ආයාචනා කළා.

"කරුණාකරලා, කරුණාකරලා, ඒ හීනය විතරක් මට දෙන්න. මම මුළු ජීවිත කාලයක් ඒ හීනය හොයමින් ඇවිද්දා. වයසක මට අනුකම්පා කරන්න. ඒක බොහොම පරණ හීනයක්. ඔබ වහන්සේලාට ඕන තරම් අළුත් හීන තියෙනවා නොවෙද? මියැදෙන්නට පෙර, එකම එක් වරක්වත් විඳින්නට මට ඒ හීනය විතරක් දෙන්න."

දෙවියන් ඇත්ත වශයෙන්ම කරුණාවත්. ඔන්න ඔහුට අනුකම්පා හිතුණා.

"පරණ සෙල්ලම් බඩු පෙට්ටිය ගෙනෙන්න."

දෙවියො අණ කළා. සේවකයො පරණ සෙල්ලම් බඩු පෙට්ටිය ගෙනාවා.
ඒක මහා විශාල පෙට්ටියක්. නොයෙක් විදිහෙ හීනවලින් ඒ පෙට්ටිය පිරිලා.

"ඔන්න තියෙනවා." දෙවියො මිනිහාට කිව්වා.

"නුඹේ හීනය සමහරවිට ඔතුළ ඇති. සමහරවිට ඒ හීනය ඒ විදිහටම ඇති. නමුත් බොහොම වෙලාවට ඒ හීනය වෙන හීනත් එක්ක මුසු වෙලා වෙනස් වෙලා ඇති. කොහොම වුණත්, නුඹට හීනය මතකනම්, එක එක තැන්වලින් කොටස් එකතු කරගෙන, නුඹගෙ හීනය යළිත් හදාගන්නට හැකි වේවි. එහෙම හදා ගත්තොත්, මම නුඹට හීනය ගෙනයන්නට දෙන්නම්."

වයසක මිනිහා සුසුමක් හෙළුවා. ඔහුගෙ ඇඳිරි දෙනෙත් තුළ බලාපොරොත්තුව දිලිසුණා.
"මගේ හීනය." ඔහු මිමිණුවා.

දැඩි ආශාව නිසාම ඔහුගෙ අතපයට නැගිටින්නට පණ ආවා. තමන්ගෙ ඉතිරිව ඇති සියළුම ශක්තිය එකතු කරගෙන ඔහු සෙල්ලම් බඩු පෙට්ටියට බඩ ගෑවා.

සෙල්ලම් බඩු පෙට්ටිය මහා විශාලයි. එතුළ හීන පිරිලා. නොයෙක් විදිහෙ හීන. තෙරක් පෙනෙන්නෙ නැහැ. අබල දුබල මිනිහකුට තියා, තරුණ මිනිසුන් සිය දෙනකුටවත් තමන්ගෙ ජීවිත කාලය තුළ ඒ පෙට්ටිය බලලා ඉවර කරන්නට බැහැ.
 

වයසක මිනිහාට මහ හය්යෙන් ඇඬුණා. ජිවිත කාලය පුරාම සොයා ඇවිද්ද හීනය අසලටම ඔහු ඇවිත්. ඒත් ඒ හීනය ඔහුට සොයා ගත නොහැකි තරම් සැඟවිලා.

"දෙවියනි, මට අනුකම්පා කරන්න. වයසක මනුස්සයෙක් වන මට අනුකම්පා කරන්න. මගේ හීනය මට සොයා දෙන්න." ඔහු ඉල්ලා සිටියා.

දෙවියො හෙමින් හිස සැළුවා.

"නුඹේ හීනය හොයා දෙන්නට මට පුළුවන්කමක් නැහැ. එය නුඹම හොයා ගත යුතුයි. මම නුඹට අවසර දුන්නා. සෙල්ලම් බඩු පෙට්ටිය දුන්නා. හීනය හඳුනන්නෙ නුඹ. මට නුඹ ගැන කණගාටුයි."

"අනේ දෙවියනි, මේ දේව සභාවෙ සියල්ලන්ටම එකතු වෙලා හීනය සෙවිය හැකියි නේද?" වයසක මිනිහා කෙඳිරි ගෑවා.

දෙවියො හිස සැළුවා.
"හීනය දන්නේ නුඹ. නුඹම එය හොයා ගත යුතුයි. නුඹ ගැන අනුකම්පා කරලා මම නුඹට තවත් අවස්ථාවක් දෙන්නම්. නුඹේ මුල් හීනය හොයා ගන්නට නොහැකිනම්, නුඹ කැමති වෙනත් හීනයක් අරගෙන යන්නට අවසර දෙන්නම්."

වයසක මිනිහා හීන පෙට්ටියට බැස්සා. ඔහුගෙ ගොරහැඩි සිරුර වදිනවිට මටසිළුටු හීන බිඳුණා; එහෙ මෙහෙ විසිරුණා; එකිනෙක මුසු වුණා; වෙනස් වුණා. හීන අල්ලා ගන්නට අත් දිගු කරනවිට ඒවා ඔහුගෙ ඇඟිලි තුඩුවල වැදී තවත් ඈතට විසි වුණා. මැරෙන්නට පෙර තමන්ගෙ හීනය හොයා ගන්නට නොහැකි වනු ඇතැයි හිතුව හින්දා ඔහු කලබල වුණා. එතකොට ඔහුගෙ දුබල සිරුර තව තවත් වෙවුලන්නට වුණා; වේදනා දෙන්නට වුණා; කිසිම හීනයක් අතට අහු නොවී ගිලිහෙන්නට වුණා. හීන හරි හැටි නොපෙනෙන හින්දා ඔහු ඇස් තව තවත් පුංචි කරමින් ඕනකමින් වටපිට බැලුවා. එහෙම බලන්නට බලන්නට, ඔහුගෙ පෙනීම තව තවත් ඇඳිරි වුණා. හෘදය වස්තුව වේදනා දෙන්නට වුණා. හුස්ම ගැනීම පවා අපහසු වුණා.

දෙවියන් කණගාටුවෙන් මිනිහා දිහා බලා සිටියා. ජීවිත කාලයක් පුරා ළමා හීනයක් සොයමින් ඇවිද්ද මේ මිනිහාට ගෞරවය පිණිස, දෙවියනුත්, දේව සභාවත් නිශ්ශබ්දව නැගිට සිටියා.

වෙන කළ හැකි දෙයක් තිබුණෙ නැහැ.