Sunday, July 22, 2012

හීනය

අපට හීන පෙනෙන්නෙ කොහොමදැයි කල්පනා කරලා තියෙනවද?

දෙවියෝ තමන්ගෙ දරුවට දී තියෙන සෙල්ලම් බඩු තමයි, මේ හීන.

බොහොමයක් පොඩි දරුවන්ගෙ සෙල්ලම් බඩු අඩුක් කරලා තියෙන්නෙ පෙට්ටියක. ඉතින් දෙවියන්ගෙ දරුවටත් ඒ විදිහෙ විශාල පෙට්ටියක් තියෙනවා. හීන අඩුක් කරලා තියෙන්නෙ මේ පෙට්ටියෙ.

සෙල්ලම් කරන්ට ඕන වුණහම, හැම පොඩි ළමයෙක්ම වගේ දේව දරුවත් ගිහින් සෙල්ලම් බඩු පෙට්ටිය අදිනවා. අතට අහු වෙන හැම එකම එහෙට මෙහෙට විසි කරනවා. ඕනෑම විටෙක, අප හොයන්නේ මොකක්ද, ඒ දේ තියෙන්නෙ අඩියෙම බව අපි කවුරුත් දන්නවා. දෙවියන්ටත් මේ නියමය පොදුයි. ඉතින් තමන්ගෙ හිතේ තියෙන හීනය අහු වෙනතුරු දේව දරුවා අතට එන හැම හීනයක්ම අහු වෙන අතකට විසි කරලා දානවා.

"ඔය තියෙන හීනයක් අරන් සෙල්ලම් කරන්න. බලන්න, මේක කොතරම් අපූරු හීනයක්ද?" වෙලාවකට දෙවියෝ කියනවා.
දේව දරුවා එහෙම වෙලාවට බෙරිහන් දීලා අඬනවා; අඩි පොළොවෙ හප්පනවා.
"බෑ, මට අර හීනයමයි ඕන!"
ඉන් පස්සෙ ඔහු අතට අහු වෙන හීන සී සී කඩ විසි කරන්නෙ කලින්ටත් වඩා දරුණු තාලෙට.

කොටින්ම දෙය්යෙක් නෙවෙයි, යකෙක්!

හීන කියන්නෙ බොහොම මටසිළුටු දේවල්. ඉක්මණින්ම බිඳෙන සුළුයි. ඒ වගේම නෙළුම් කොළයක් උඩට වැටුණු වතුර බිඳු එකිනෙක හා ඉක්මණින්ම මුසු වෙලා ලොකු බිඳුවක් හදනවා වගේ, මේ හීනවලට අනෙක් හීන එක්ක මුසු වෙන්නටත් වෙලාවක් යන්නෙ නැහැ.

දේව දරුවා මේ විදිහට විසි කරන හීනත් පුංචි පුංචි බිඳුවලට බිඳෙනවා; සමහරවිට කිට්ටුව තියෙන අනෙක් හීන එක්ක මුසු වෙලා අලුත් හීන හැදෙනවා.

දිව්‍යලෝකය තියෙන්නෙ මහ පොළොවට ඉහළින්. අර විදිහට හැම තැනම විසි වෙන හීන ඔන්න මහ පොළොවටත් විසි වෙනවා. නින්ද ගිහින් ඉන්න සතුන්ගෙ මෘදු වූ හිත් ඇතුළට මේ හීන ඇතුළු වෙනවා.

අපි දකින්නෙ ඒ හීන.

දේව දරුවා තමන් කැමති හීනය තෝරගෙන සෙල්ලම් කරන්නට යනවා. දෙවියන්ගෙ සේවකයින් හැම තැනම දුවලා, එහෙ මෙහෙ විසිරුණු හීන එකතු කරනවා. ඒවා ආපහු සෙල්ලම් බඩු පෙට්ටියට දානවා.
සෙල්ලම් බඩු පෙට්ටිය ඇතුළෙදි සමහරවිට මේ හීන එක එක විදිහට අනෙක් හීන එක්ක මුසු වෙනවා.
එකම හීනය දෙවරක් දකින්නට අපහසු ඔය හින්දා.



බොහොම ඉස්සර කාලෙ මහ පොළොවෙ දරුවෙක් වාසය කළා. මේ දරුවා දවසක් නිදාගෙන ඉද්දි, හීනයක් දැක්කා. ඒ හීනය ඇතුළෙ ඔහු කැමති හැම දෙයක්ම තිබුණා: සතුට, වාසනාව, සැනසීම, ආදරය....

නින්දෙන් අවදි වන විටත් ඔහුගෙ හිතේ ඉන් ඇති වුණු ප්‍රමෝදය රැඳිලා තිබුණා. ඔහු තමන් දුටුව හීනය ආයෙ ආයෙත් සිහි කරමින් සතුටු වුණා.

"මගේ හීනය..." ඔහු හිතුවා.

මනුස්ස ලෝකයේ වාසය පහසු නැහැ. ජිවිතය කරදරයි. දරුවාට නිතරම අර ප්‍රබෝධජනක හීනය මතක් වුණා. හීනය හින්දා දුක් කම්කටොළු තාවකාලිකව අමතක කරන්නට ඔහුට හැකි වුණා. ඒත් ඔහු ඉන් පසු කවදාවත් ඒ හීනය දැක්කෙ නැහැ. එහෙම වුණේ ඇයි කියලා, අපි දැන් දන්නවා.



කාලයක් ගත වුණා. දරුවා දැන් වැඩිහිටියෙක්.

පොඩි කාලෙදි වගේ නොවෙයි. වැඩිහිටියකුට පුළුවන් තනියෙන් තීරණ ගන්නට. ඉතින් දැන් වැඩිහිටි මිනිසකුව සිටින දරුවා තීරණය කළා තමන්ගෙ හීනය හොයා යන්නට.
එකම එක වරක් ඒ හීනය තුළ ඉන්නට...
එකම එක මොහොතක්...

ඒ වෙනුවෙන් තමන්ගෙ ජීවිතයම වුණත් කැප කිරීමට ඔහු හිත හදා ගත්තා.

ඔන්න එදා පටන් මේ මිනිහා මහ පොළොව මත හැම තැනම ඇවිදින්නට පටන් ගත්තා. හැම කෙනකුගෙන්ම ඔහු හීන ගැන විමසුවා. තමන් දුටුව හීනය විස්තර කරලා, එහෙම හීනයක් දැකලා තියනවද කියලා විමසුවා.

ඔහුගෙ ඇඳුම් පැලඳුම් වියැකුණා. පාවහන් ගෙවුණා. හරිහැටි කෑමක් බීමක් නොලැබුණු, ඇවිදීමෙන් වෙහෙසට පත් සිරුර ඉක්මණින් දිරාපත් වුණා; රෝගී වුණා.
ඒත් ඔහු උත්සාහය අත හැරියෙ නැහැ.

මහ පොළොව මත කොතෙකුත් ඇවිදලාවත් තමන්ගෙ හීනය හොයා ගන්නට ඔහුට නොහැකි වුණා. ඔහුගෙ ඇස් කෙමෙන් කෙමෙන් ඇඳිරි වුණා. කොන්ද වකුටු වෙන්නට වුණා. අතපය හන්දි වේදනා දෙන්නට වුණා.
ඒත් හීනය හොයා ගන්නට බැරි වුණා.

බලාපොරොත්තු ටික ටික කඩ වෙනවිට මිනිහාගේ හිත දුර්වල වුණා. දවසක්දා පය වාරු නැතිව මිනිහා ලිස්සා වැටුණා. හිත දුර්වල වෙලා හිටිය හින්දා ඔහු හඬන්නට වුණා.

ඔහුගෙ වාසනාවට, ඒ හැඬුම හීන එකතු කරන්නට මහ පොළොවට ඇවිත් හිටිය දේව සේවකයකුට ඇහුණා. ඔහුට මිනිහා ගැන දුක හිතුණා. දෙවරක් නොහිතා, දේව සේවකයා මිනිහාව දිව්‍ය ලෝකයට එක්කගෙන ගියා. දෙවියන්ගෙ සෙල්ලම් බඩු කාමරයටම එක්කගෙන ගියා.

"දිව්‍ය ලෝකයට මිනිහෙක් ඇවිත්!" කතාව හැම තැනකම ආරංචි වුණා. දේව සභාව මිනිහා බලන්නට ආවා.

වයස්ගත මිනිහා දණින් වැටුණා. ඔහුගෙ හිසකෙස් හොඳටම සුදු වෙලා. අතපය වෙව්ලනවා. හම රැළි වැටිලා. ජීවිත කාලයක් පුරා හීනය සොයමින් ඇවිද්ද ඔහුට හොඳටම වෙහෙසයි.

"මට මගෙ හීනය හොයා දෙන්න." ඔහු හඬමින් ඉල්ලා සිටියා.

"නුඹේ හීනය?" දෙවියො ඇහුවා. අහලා මහා හය්යෙන් හිනා වෙන්නට පටන් ගත්තා. "හොහ් හොහ් හොහ්, හක හක හක, හා හා හා!"

"ඔව්, මගේ හීනය. මා ළමයකුව සිටියදී දැක්ක මිහිරි හීනය." වයස්ගත මිනිහා දෙවියන්ගෙ පාද වඳිමින් කිව්වා.

"නුඹේ හීනය!" දෙවියො ආයෙත් හිනා වෙන්නට පටන් ගත්තා. දේව සභාවත් හිනාවට එක් වුණා.

"හොහ් හොහ් හොහ්, හක හක හක, හා හා හා! නුඹේ හීනය!!"


මුළු දිව්‍ය ලෝකයම හිනාවෙන් දෙදරුම් කෑවා.

දෙවිවරු නෙවෙයි යක්කු!

මිනිහා හීල්ලුවා. දෙවියෝ හිනාව යන්තම් නවත්තා ගත්තා. ඔහු මිනිහාව ඇමතුවා.

"ඒ හීන නුඹගෙ නොවෙයි. තේරුණාද? නුඹ දැක්කෙ අපේ හීන. ඒවා අපේ, දෙවියන්ගෙ. නුඹගෙ නොවෙයි. තේරුණාද?"

මිනිහාගේ යාන්තම් පෙනෙන නොපෙනෙන ඇස්වලින් කඳුළු ආවා. ඔහුගෙ දුබල අත් එක් කරලා ඔහු දෙවියන්ට වැන්දා. බොහොම දුක්බර හඬින් ආයාචනා කළා.

"කරුණාකරලා, කරුණාකරලා, ඒ හීනය විතරක් මට දෙන්න. මම මුළු ජීවිත කාලයක් ඒ හීනය හොයමින් ඇවිද්දා. වයසක මට අනුකම්පා කරන්න. ඒක බොහොම පරණ හීනයක්. ඔබ වහන්සේලාට ඕන තරම් අළුත් හීන තියෙනවා නොවෙද? මියැදෙන්නට පෙර, එකම එක් වරක්වත් විඳින්නට මට ඒ හීනය විතරක් දෙන්න."

දෙවියන් ඇත්ත වශයෙන්ම කරුණාවත්. ඔන්න ඔහුට අනුකම්පා හිතුණා.

"පරණ සෙල්ලම් බඩු පෙට්ටිය ගෙනෙන්න."

දෙවියො අණ කළා. සේවකයො පරණ සෙල්ලම් බඩු පෙට්ටිය ගෙනාවා.
ඒක මහා විශාල පෙට්ටියක්. නොයෙක් විදිහෙ හීනවලින් ඒ පෙට්ටිය පිරිලා.

"ඔන්න තියෙනවා." දෙවියො මිනිහාට කිව්වා.

"නුඹේ හීනය සමහරවිට ඔතුළ ඇති. සමහරවිට ඒ හීනය ඒ විදිහටම ඇති. නමුත් බොහොම වෙලාවට ඒ හීනය වෙන හීනත් එක්ක මුසු වෙලා වෙනස් වෙලා ඇති. කොහොම වුණත්, නුඹට හීනය මතකනම්, එක එක තැන්වලින් කොටස් එකතු කරගෙන, නුඹගෙ හීනය යළිත් හදාගන්නට හැකි වේවි. එහෙම හදා ගත්තොත්, මම නුඹට හීනය ගෙනයන්නට දෙන්නම්."

වයසක මිනිහා සුසුමක් හෙළුවා. ඔහුගෙ ඇඳිරි දෙනෙත් තුළ බලාපොරොත්තුව දිලිසුණා.
"මගේ හීනය." ඔහු මිමිණුවා.

දැඩි ආශාව නිසාම ඔහුගෙ අතපයට නැගිටින්නට පණ ආවා. තමන්ගෙ ඉතිරිව ඇති සියළුම ශක්තිය එකතු කරගෙන ඔහු සෙල්ලම් බඩු පෙට්ටියට බඩ ගෑවා.

සෙල්ලම් බඩු පෙට්ටිය මහා විශාලයි. එතුළ හීන පිරිලා. නොයෙක් විදිහෙ හීන. තෙරක් පෙනෙන්නෙ නැහැ. අබල දුබල මිනිහකුට තියා, තරුණ මිනිසුන් සිය දෙනකුටවත් තමන්ගෙ ජීවිත කාලය තුළ ඒ පෙට්ටිය බලලා ඉවර කරන්නට බැහැ.
 

වයසක මිනිහාට මහ හය්යෙන් ඇඬුණා. ජිවිත කාලය පුරාම සොයා ඇවිද්ද හීනය අසලටම ඔහු ඇවිත්. ඒත් ඒ හීනය ඔහුට සොයා ගත නොහැකි තරම් සැඟවිලා.

"දෙවියනි, මට අනුකම්පා කරන්න. වයසක මනුස්සයෙක් වන මට අනුකම්පා කරන්න. මගේ හීනය මට සොයා දෙන්න." ඔහු ඉල්ලා සිටියා.

දෙවියො හෙමින් හිස සැළුවා.

"නුඹේ හීනය හොයා දෙන්නට මට පුළුවන්කමක් නැහැ. එය නුඹම හොයා ගත යුතුයි. මම නුඹට අවසර දුන්නා. සෙල්ලම් බඩු පෙට්ටිය දුන්නා. හීනය හඳුනන්නෙ නුඹ. මට නුඹ ගැන කණගාටුයි."

"අනේ දෙවියනි, මේ දේව සභාවෙ සියල්ලන්ටම එකතු වෙලා හීනය සෙවිය හැකියි නේද?" වයසක මිනිහා කෙඳිරි ගෑවා.

දෙවියො හිස සැළුවා.
"හීනය දන්නේ නුඹ. නුඹම එය හොයා ගත යුතුයි. නුඹ ගැන අනුකම්පා කරලා මම නුඹට තවත් අවස්ථාවක් දෙන්නම්. නුඹේ මුල් හීනය හොයා ගන්නට නොහැකිනම්, නුඹ කැමති වෙනත් හීනයක් අරගෙන යන්නට අවසර දෙන්නම්."

වයසක මිනිහා හීන පෙට්ටියට බැස්සා. ඔහුගෙ ගොරහැඩි සිරුර වදිනවිට මටසිළුටු හීන බිඳුණා; එහෙ මෙහෙ විසිරුණා; එකිනෙක මුසු වුණා; වෙනස් වුණා. හීන අල්ලා ගන්නට අත් දිගු කරනවිට ඒවා ඔහුගෙ ඇඟිලි තුඩුවල වැදී තවත් ඈතට විසි වුණා. මැරෙන්නට පෙර තමන්ගෙ හීනය හොයා ගන්නට නොහැකි වනු ඇතැයි හිතුව හින්දා ඔහු කලබල වුණා. එතකොට ඔහුගෙ දුබල සිරුර තව තවත් වෙවුලන්නට වුණා; වේදනා දෙන්නට වුණා; කිසිම හීනයක් අතට අහු නොවී ගිලිහෙන්නට වුණා. හීන හරි හැටි නොපෙනෙන හින්දා ඔහු ඇස් තව තවත් පුංචි කරමින් ඕනකමින් වටපිට බැලුවා. එහෙම බලන්නට බලන්නට, ඔහුගෙ පෙනීම තව තවත් ඇඳිරි වුණා. හෘදය වස්තුව වේදනා දෙන්නට වුණා. හුස්ම ගැනීම පවා අපහසු වුණා.

දෙවියන් කණගාටුවෙන් මිනිහා දිහා බලා සිටියා. ජීවිත කාලයක් පුරා ළමා හීනයක් සොයමින් ඇවිද්ද මේ මිනිහාට ගෞරවය පිණිස, දෙවියනුත්, දේව සභාවත් නිශ්ශබ්දව නැගිට සිටියා.

වෙන කළ හැකි දෙයක් තිබුණෙ නැහැ.

73 comments:

  1. පට්ටයි නලිනි. ගී ද මෝ'පසන් වගේ' නේ දැන් ලියන්නේ. අනේ මන්ද කොහේ තියෙන ටැලන්ට් එකක්ද කියල. ජයෙන් ජයයි කිව්වා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඊයෙ උදේ නැගිට්ට වෙලේ ඉඳලා හිතේ ඔය කතාව තෙරපෙන්නට ගත්තා. අකුරට හරවන්නට වෙලාවක් ආවෙ රෑ මැද, නිදිමත බේරි බේරි, මහන්සිය පෙරි පෙරී.

      Delete
  2. නියමයි සුපිරිම සුපිරියි .සෑහෙන්න කාලෙකට පස්සේ නලිනිගෙන් විකාර රූපී කෙටි කතාවක් :)

    වැඩිහිටියෙක් වෙලත් පොඩි කාලේ දැක්ක හීනය පස්සේ පන්නනකොට මනුස්ස ලෝකේ ඉන්න සම වයස් වැඩිහිටියන්ට අපිව පෙන්නේ පිස්සො , කිසි වැදගැම්මකට නැති එවුන් ,විකාර කාරයො හැටියට .අන්තිමට ඉතින් අපිටත් සිද්දවෙනවා අර මුල් හීනය වෙන වෙන හීන කෑලි ගොඩක් එක්ක මුසු වෙලා වෙනස් වෙලා හැදුන වෙනත් "අච්චාරු හීනයකින් " සැනසිලා වැඩිහිටි සමය ගෙවන්න .ඒ වුනාට අර මුල් හීනේ අංශු මාත්‍රයක් දෙකක් මියැදෙනකන්ම අපි එක්ක ඉන්නවා .ඒ නිසා තමයි සමහර සම වයස් වැඩිහිටි උදවිය අපිට බණින්නේ "තාම මැචුවර් වෙලා නෑ " කියලා :)අපි අහයිද ඕවා :)

    ඒක නෙවේ අවසන් වරට කෑව බිව්ව ,මුණගැහුණ ,කතාකල පුද්ගලයන්ගෙන් මුකුත් බලපෑමක් වුනාද මෙහෙම විකාර රූපී කතාවක් ලියන්න :) ?

    ReplyDelete
    Replies
    1. ඔහ්, ඔළුව විකාරද කියලා අහ ගන්න පුළුවන් මේවා කියන්න ගියොත්නම්. හැබැයි එහෙම විකාරකාරයො ආස්සරේ කරන එක මටනම් ලොකු පහසුවක්. මැචුවර් වෙන්න අදහසක් නැහැ: Growing old is inevitable; Growing up is optional. ;-)

      Delete
  3. හොදයි, තව පාරක් කියවන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කියවලා බලන්නකො.

      Delete
  4. මේකත් හීනයක්ද මංද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද. උදේ ඇහැරුණු වෙලේ ඉඳල හිතේ ලියවෙන්න ගත්තු කතාව. හීනයක්ද වෙන්න තිබ්බ එකක්ද මන්ද.

      Delete
  5. අක්කත් හොද දවල් හීනයක් දෑකල වගේ. :P

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ හොඳටම ලෙඩ වෙලා හිටියනෙ. මේව තාම මේ උණ විකාරෙට පේන හීන. :D

      Delete
  6. කවුද කියලා තියෙනවළු දෙයියන්ගේ දේ දෙයියන්ටම දෙන්න කියලා...

    "කොටින්ම දෙය්යෙක් නෙවෙයි, යකෙක්!"
    "දෙවිවරු නෙවෙයි යක්කු!"

    බලං ගියාම දෙයියන්ගේ හීනය කියලා යක්කුන්ගේ ඒවද අප දකින්නේ...

    ReplyDelete
    Replies
    1. ඔහ්, හෙළු යක්කුන්ගෙ ඒවවත්ද? :D

      Delete
  7. ශෝකාන්තයක්.
    ඔබ කොයිවෙලේ හරි ඔහුට (මට) අර හීනය ලබාදෙයි කියල හිතාගෙන හිටියා...
    එහෙම කලානං good post කියල කමෙන්ට් එකක් දාල හරි නොදා හරි හිත හදාගෙන යන්ඩ තිබුණා.....

    ReplyDelete
    Replies
    1. චාමියා... මම නං වෙනස් කරගෙන මෙහෙම කියෙව්වේ... හීන මරන කතා මට පේන්න බෑ... :D


      හීන හරි හැටි නොපෙනෙන හින්දා ඔහු ඇස් තව තවත් පුංචි කරමින් ඕනකමින් වටපිට බැලුවා. එහෙම බලන්නට බලන්නට, ඔහුගෙ පෙනීම තව තවත් ඇඳිරි වුණා. හෘදය වස්තුව වේදනා දෙන්නට වුණා. හුස්ම ගැනීම පවා අපහසු වුණා.

      දේවතාවියකගේ සලුපොටකට මුවාවෙලා හිටි පුංචි කුමාරයෙක් හෙමින් හෙමින් වයසක මිනිහා අපහසුවෙන් හීන තෝරන සෙල්ලම් බඩු පෙට්ටිය ළඟට ආවේ මේවෙලාවේ... පෙට්ටිය ලඟින් වාඩිවුණ කුමාරයා හීන තෝරන්නට ඔහුට උදව්වෙන්නට වුනා... ඒක දැකපු තවත් පුංචි කුමාරයෙක්... ඊට පස්සෙ පුංචි කුමාරියක්... ඔය විදියට මුළු දේව සභාවෙම හිටිය පුංචි අය සෙල්ලම් බඩු පෙට්ටියට වට වුණා...

      වැඩිහිටියන්ගෙන් ඉස්සෙල්ලාම ඉස්සරහට ආවේ පිස්සුයැයි අවඥාවෙන් දේවසභාවෙන් බැහැර කරවලා හිටි දේව දූතයෙක්... ඊට පස්සේ බේබදු දේවදූතයෙක්... මේ විදියට එකින් එක අන්තිමට මුළු දේව සභාවම හරි හරියට වයසක මනුස්සයට හීන පෙට්ටියෙන් හීන තෝරන්න එකතු වුනා...

      “අන්න එකක් අස්සට වැටුණා... ඒකද බලන්න..” අන්තිමට දෙවියොත් දන්නෙම නැතුව හීන තෝරන වැඩේට උදව් වෙන්න පටන් අරගෙන...

      මේ තරම් පිරිසක් හීන තේරුවත් වයසක මනුස්සයාගේ හීනය හොයාගන්න මේ කාටවත් බැරිවුනා... හීන නම් එකතු වෙවී, වෙන් වෙවී හරි හුඟක් මහ පොළවට විසිවුණා... පසුගිය වස්සානේ ඔබ එක දිගට හීන දැක්කා නේද..? ඇත්තටම ඒ දවස්වල මුළු ලෝකෙම මිනිස්සු අසාමාන්‍ය විදියට හීන දැක්කා... ඒ දිවියලෝකේ හැමෝම වයසක මනුස්සයට හීන තෝරන්න උදව් වුන නිසයි...

      ජීවිත කාලයක් පුරා ළමා හීනයක් සොයමින් ඇවිද්ද මේ මිනිහාට හුස්ම ගන්නට හොඳටම අපහසු උනා... මැරෙන්න කලින් මේ මිනිහගේ හීනය අපි කොහොම හරි හොයන්න ඕනේ..දිවියලෝකේ හැමෝම කලබල වුනා...

      “ඔහේ හොඳින් නේද..? අපි මේක ඉක්මණින් හොයාගමු..” දෙවියන් කෑගැසුවා...

      “මට මගේ හීනේ හම්බවුනා... ඒක තියෙන්නේ හීන පෙට්ටියේ නෙමෙයි...” වයසක මිනිහා හරි සැහැල්ලුවකින් උත්තර දුන්නා...

      “හීන පෙට්ටියේ නෙමෙයි..? එහෙනම් කොහෙද..? මොකද්ද ඔහේගේ හීනේ..?” හැමෝම පුදුමයෙන් ඇහුවා...

      “මගේ හීනේ උනේ දෙවියෝ යක්කු වගේ නැතුව දෙවියෝ වගේ හැසිරෙන දවසක්...”

      එහෙම කියපු වයසක මිනිහා සැනසීමෙන් ඇස් පියා ගත්තා…

      Delete
    2. ඔන්න බීට්ල් චාමිගේ හිත සනසලා. චාමිගෙ හීනය හැබෑ කරලා දීලා. මොකක්ද මේකට කියන්නෙ? පොසිටිව් තින්කිං? :D

      Delete
    3. දැන් අපිට බීට්ල්ට ගුඩ් කමෙන්ට් කියන්න පුළුවන් හිත සතුටු කළ හින්දා

      Delete
    4. එකම හීනේ කොටස් කෝමද දෙන්නෙකුට පේන්නේ......!!!!

      Delete
  8. මරුවට ලියලා තියනවා අක්කේ,
    අපි හැමදාම කරන්නේ හීන පස්සේ දුවන එක, පොඩ්ඩක් හරි හීනයක් අල්ල ගත්තොත්, අපි තව ටිකක් ඒ පරන හීනේ මොඩිෆයි කරගෙන හති දාගෙන හීන අල්ලන්න දුවනවා, අන්තිමට රියන් 4 කට උරුම වෙනවා

    ReplyDelete
    Replies
    1. රියන් හතර ගැන නිතරම සිහිපත් කරමින් ඉන්න එක හොඳයි ජීවිතේ අර්ථවත් වෙන්න. ඒත් එදිනෙදා ජීවිතයෙදි අමතකම කරන්නෙත් ඒකනෙ.

      Delete
  9. Replies
    1. :D වැඩිය හිතන්න එපා. සුරංගනා කතාවක් කියල ගමු.

      Delete
  10. බෑ බෑ හීන හැබෑ වෙන්න දෙන්න බෑ..කෝ එතකොට නැලවි නැලවි ජීවත් වෙන්න හීනයක් ?.. දකින්න හිටිය හීනෙ මන් විතරක් දන්න නිසා හැබෑ වේ ගෙන එනකොටම මුල වෙනස් කරනවා මන් හැබෑ කර ගන්න හිටියෙ වෙන හීනයක් කියලා..

    ReplyDelete
    Replies
    1. :D හීන කොච්චර ඉපදිලා මැරිලා යනවද හිත ඇතුළෙම වෙනි? කාටවත් නොකියම වෙනස් කරගන්න හීනත් අනන්තයි. එකක් අල්ලගෙන නොඉඳ, එන හැටියකට හීනෙ වෙනස් කර ගැන්මෙන් සැනසීමක් ඇති කරගන්නත් පුළුවන්; තියෙන සැනසීම නැති කරගන්නත් පුළුවන්.

      Delete
  11. දිවියලෝකෙත් Murphy's Law තියෙනවා කියල දැනගත්තම සතු‍ටු හිතුනා. (හැමතිස්සෙම ඕනැ කරන දේ තියෙන්නෙ පෙට්ටියෙ අඩියෙනෙ).:D
    දිවිය ලෝකෙ ඉන්න කට්ටියත් බලං යනකොට මෙහෙ ආණ්ඩුවෙ හෝ පෞද්ගලික ආයතන වගෙ තමයි ප්‍රතිපත්ති අතින් නේද? ඕං තියෙනවා හොයාගන්න එකයි. අපේ යුතුකමකරලා තියෙන්නෙ.
    එතකොට මේ මිනිහගෙ හීනය මොකක් වෙන්න ඇත්ද. හප්පට සිරි! සදාකාලිය යෞවනයවත්ද?
    දිවියලෝකයට 5S නිර්දේශ කරමි. එහෙම තිබ්බා නම් ඔය මනුස්සයා අමාරුවෙ වැටෙන්නෑ.
    හුටා එතකොට අපිට හීන පේන්නෙත් නෑ නේ?
    එක්කො ඕනැ ඇති 5S එකක් නෑ ඔය යන විදියට යං! :)
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. දිව්‍ය ලෝකෙට 5 S. බුදු අම්මෝ! :D සාමාන්‍යයෙන් මෙහෙ යම් කිසි දෙයක් 5S වෙනවය කියන්නෙ, හොයා ගන්නම නැතුව යනවට!

      Delete
  12. අන්න කාලෙකට පස්සේ නලිනි වර්ගයේ කතාවක්.. බොහොම රසයි.. සිහින අයිති දෙවියන්ටයි දෙවියන් කියන්නෙත් සිහිනයක් තමයි ... ඒ හීන වලින් අවදි වෙන්න හැබෑ ජීවිතෙය් දකින්න පුළුවන් මිනිසාට විතරයි කියල බුදු හිමියෝ දේශනා කළා..

    ReplyDelete
    Replies
    1. සැනසිල්ල තියෙන්නෙ අන්තිමට බලද්දි බුද්ධ දේශනාව තුළම පමණයි. අපි වෙන දේවල් පස්සෙ දුවනවා. ඒ මිනිස්සුන්ගෙ හැටිද මන්දා

      Delete
  13. කතාවත් හීනයක් වගේ

    ReplyDelete
    Replies
    1. ජීවිතේ වැඩි හරියක් හීන වගේ..

      Delete
  14. සුපිරි ලිපියක් උනාට, මට නං කේන්තියි මෙහෙම ලිව්වාට. ඇයි නිකං කළකිරිලා වගේ? අපේ හීන දැකීමෙ අයිතියට කෙලවීමට සැරසීම ගැන මගේ බුර,බුරා නගින සංවේගය:)

    1.හීන, බලාපොරොත්තු තමයි මිනිසුන්ව ජීවත් කරවන්නෙ.

    2.හීනය ‍තෝරා ගැනීමත්, හීනය සැබෑවීමේ සම්භාව්‍යතාවය අනුව එය අප්ග්‍රෙඩ් හෝ ඩවුන්ග්‍රෙඩ් කිරීමේ බලය හීන දකින්නාට තියනව. ඒ කියන්නෙ කලකිරෙනවද, හිත හදාගන්නවද, තියන දෙයින් සැනසෙනවද කියන එක තීරණය කරන්නෙ අපිමයි.

    3. පොඩ්ඩක් මෙන්න මේක බලන්න. මෙහෙම තත්ත්වයක ඉන්න ඒ අයගේ හීන ගැන බලන්න. මට හිතෙන්නෙ, අපේ ජීවන තත්ත්වය ඉහල යනකොට , සතු‍ටු වියහැකි හීන ඩෝසේජ් එක ඉහල යනවා - ඇබ්බැගිවීම.

    4.ලෝකයේ අළුත් දේවල් , හොඳ දේවල් දීපු අය ඔක්කොම දවල් හීන බලපු අය.

    අන්තිමට කියන්න තියෙන්නෙ චීන කියමනක්: ජීවිතේ සුළු දේවල් වලින් සතු‍ටු වෙන්න පුරුදු වෙන්න - ඔය කිව්වට මාත් තාම උත්සාහ කරනව:)

    ReplyDelete
    Replies
    1. සුඛාන්තයක් වුණානම්, ටොමියා අතින් මෙච්චර සටහනක් නොලියවෙන්න ඉඩ තිබුණා. :) මමත් සාමාන්‍යයෙන් ශෝකාන්තවලට කැමති නැහැ. ඒත් විවිධ රසයන් මුසු වෙන්න එපායැ.

      Delete
  15. කථාව නම් හරිම ලස්සනයි නංගී. එක හුස්මටම කියවාගෙන ගියා. තව පුංචි දෙයක් එක් කරන්න ඕනෙ. අපේ ජීවිතවල එක එක හීන දකිනව. ඒ හීන හැම එකම සුන්දර නෑ. සමහර හීන බොඳවෙලා යනව , සමහර හීන සැබෑ වෙනව. කොහොම උනත් ජීවිතේ හීන තියාගන්න එක හරිම හොඳයි. එතකොට අපිට ඉලක්ක කරා යන්න පුළුවනි. ඒ හීනෙ සැබෑ කරගන්නයි අපි උත්සාහ කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඕඕ, ඉස්සර අපේ රසායන විද්‍යාව ගුරුතුමා නිතරම කියනවා, ඉලක්කය ලොකු එකක් තියාගන්න, එතකොට අඩු ගානෙ බාගයක් දුර හරිවත් යැවෙයි කියලා. :)

      Delete
  16. හීන ගබඩා කර ඇති පෙට්ටිය = Pandora's Box..?

    ReplyDelete
  17. එතකොට දෙයියනේ අපි දකින හීනයක්වත් අපිට අයිති නැද්ද ? ඒකත් බලන්න ඕන දෙයියන්ගෙ ළමයින්ට ඕන විදියටද ?
    මේක මාර කෙළියක්නෙ...

    එක අතකින් ඔය ටික දේව දූතයො ආපහු එකතු කරගෙන යන එක හොඳයි...නැත්නම් අපි හැමදාමත් හීන ඇතුලෙම ඉඳීවි...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න. මම දැන් ඉස්සෙල්ලම හොයල බලන්න ඕන ලකී මේ සීරියස් කමෙන්ට් එකක්ද දාල තියෙන්නෙ, නැද්ද කියල..... :D
      දෙය්යන්ගෙ ළමයින්ට කෙසේ වෙතත්, ගොඩක් දෙමවුපියො (විශේෂයෙන් ඔටුවො) හීන දකින්නෙනම් ළමයින්ට ඕන විදිහට තමයි. :P

      Delete
  18. හීන නේද?
    බලාගෙන ගියාම හීනයක්වත් දැන් අපේ නෙමෙයිනේ.

    ReplyDelete
    Replies
    1. ඕඕ, කිසි දෙයක් තමන්ගෙ නෙවෙයි!

      Delete
  19. අපි මුළු ජීවිත කාලෙම කරන්නේ හීන පස්සේ දුවන එක. ඇති වීමක් නෑ. එක හීනයක් දිගේ යනකොට සමහර වෙලාවට තව හීනයක් දැකලා ඒ පස්සේ යනවා. අන්තිමේ මැරෙන මොහොතෙත් අර මහළු මනුස්සයාට වගේ අපිටත් හිතේවි. අනේ මට අර හීනේ හැබෑ කරගන්න බැරි උනානේ කියලා. සමහර වෙලාවට පොඩි කාලේ ඉඳං ළමයි(අපි) ගිහින් තියෙන්නේ ඒ ළමයිගේම(අපේම) හීන පස්සේ නෙමෙයි දෙවියන්ගේ(දෙගුරුන්ගේ) හීන පස්සේ!

    ReplyDelete
    Replies
    1. ඒකත් එක් වැදගත් පැත්තක්. සමහර දෙමවුපියො තමන්ට හැබෑ කරගන්නට නොහැකි වුණු හීන ළමයින් හරහා හැබෑ කරගන්න හදනවනෙ.

      Delete
  20. ලස්සන පණිවිඩයක් රැගත් වෙනස් විදියක කතාවක්... අපිත් ජීවිත ‍කාලෙම අපේ හීනය පස්සෙ දුවද්දි අපේම සුන්දර හීන ගොඩක් පයට පෑගිලා යනවා නොදැනීම. ඒ වගේම අනිත් අයගෙ හීනත් අපි කුඩුපට්ටම් කරල දානව ඇති... අදයි මේ බ්ලොග් එක ඇහැ ගැටු‍ණෙ.. විදේශගත යාළුවෙක් කිව්වා සිත්ආර හොද බ්ලොග් එකක් කියල... ඒ කතාව නම් ඇත්තමයි වගේ....

    ReplyDelete
    Replies
    1. ඔව්, සමහරවිට මග හැරෙන හීන වඩාත් සුන්දර ඒවා වෙන්නටත් ඉඩ තියෙනවා.

      Delete
  21. දෙපාරක් කියෙව්ව.. ක්ලෝස් කරන්න හිතෙන්නේ නෑ... එහෙම්මම ඕපන් කරල තිබ්බ... කතුවරියගෙන් ස්වායත්තව කථාව විතරක් අරන් බැලුව.. කතුවරියගේ 'සේලයින් බෝතලේ' කථාවයි, 'අභූත' කථාවයි එක්ක අරන් බැලුව.. මගේ ජීවිතෙත් එක්ක අරන් බැලුව.. කතුවරියට කථාකරන්නත් හිතුන..

    මොකවුණත් පුංචි කාලේ ගුවන් විදුලි රඟ මඬල ඇහුව වාගේ ගතියක්ම තමා ඉතිරි වෙන්නේ - කව්දෝ ගී ද මෝපසාං මතක් කරල තිවූණු එක හරි

    හීනයි - බලාපොරොත්තුයි කවලං කරගන්නවද මිනිස්සු?
    සමහර බලාපොරොත්තු හීන වලට කිට්‍ටුයි එක අතකට

    අවුරුදු විසිපන්දාහක් විතර අම්මගේ ආදරේ බලං උන්නු Artificial Intelligence එකේ රොබෝ දරුවට තිබ්බේ හීනයක් වගේ බලාපොරොත්තුවක්

    මගේ ජීවිතෙත් එක්ක ගත්තම හීන තිබුනෙම නෑ මට.. ඒත් තිබුණු හීන වගේ බලපොරොත්තු, අමනුස්සයෙක් (දෙවියෙක් /යකෙක්) වාගේ වැඩකරල හැබෑ කරගත්ත

    කතුවරියනම් හැබෑවටම ප්‍රතිභා සම්පන්නයි - ඒත් එයත් එක්ක කථාබහ කරලනම් ඒක දැන ගන්න එක, හීනයක්ම තමා!

    ReplyDelete
    Replies
    1. මේක අහන්න තැනක් නොවුනත්... කොහේද බං මකබෑ වුනේ...?

      Delete
    2. තිස්ස අය්යගෙ කමෙන්ට් එක මම සිය පාරක් විතර කියෙව්වා. ඒක තිස්ස අය්යගෙන් ස්වායත්තව අරන් බැලුව. පස්සෙ තිස්ස අය්ය හම්බුණු වෙලේ කතා බහ කරපු දේවල් එක්ක පරායත්තව බැලුව. ඉන් පස්සෙ එදා තිස්ස අය්ය කෝල් කරපු වෙලේ කිව් දේවල් එක්ක සසඳලා බැලුව. ඉන් පස්සෙ තීරණය කළා මං විහිළු කළාට තිස්ස අය්යට තරහ යන එකක් නෑය කියල. :D

      අය්යා සේලයින් බෝතලේට කිව්ව එක මට මතකයි. :D ඒක ලියවුණේ අප්පච්චි හින්දා.

      සපා: ඔන්න අහු වුණු වෙලේ අල්ල ගමු. :D

      Delete
  22. කමෙන්‍ට් කරලා අදහසක් කියන්න බැරි උනත් කතාව නම් උපරිමයෙන් රස වින්දා.

    මම බැලුවේ නලිනිට පේන හීනෙම දිගුවක් කෝමද බීටල්ට පෙනුනෙ කියලා. සමහර විට වෙනත් හීනෙක කෑල්ලක් මේ හිනෙත් එක්ක එක්කහු වෙලා බීටලේට පෙනුන ද කව්ද දන්නෙ නේද?

    නලිනි නෝනාගේ ගෝලයෙක් ද බීටල් මහත්තයා. කොහොම උනත් බීටල් මහත්තයා මේ වගේ කතා ලියලා එක අවස්ථාවක දී ඒක අපි ජීවත්වෙන ලෝකෙ සංසිද්ධියක‍ට කෙලින් ම සම්බන්ධ කරන හැටි නම් අපුරුයි.......

    ReplyDelete
    Replies
    1. මම ගෝලයෙක් තමා :D

      Delete
    2. ඕඕ, මම බැලුව හීනයක් ආපහු දෙය්යන්ගෙ සෙල්ලම් බඩු පෙට්ටියෙ තිබිලා, වෙන හීනෙක කෑල්ලක් එක්ක මිශ්‍ර වෙලා, බීට්ල්ට පෙනිලා! :D

      Delete
  23. මෙහෙම ලියන්න අක්කට කොහොම හිතෙනවාද මන්දා.. ලස්සනයි,ගුප්ත රසයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගී.

      Delete
  24. //නුඹේ හීනය හොයා දෙන්නට මට පුළුවන්කමක් නැහැ. එය නුඹම හොයා ගත යුතුයි. මම නුඹට අවසර දුන්නා. සෙල්ලම් බඩු පෙට්ටිය දුන්නා. හීනය හඳුනන්නෙ නුඹ. මට නුඹ ගැන කණගාටුයි.//

    අපි හැමෝම ඒ මිනිහ වගේ... සෙල්ලම් බඩු පෙට්ටියෙ බැහැල... ශෝක් හීන කුඩුපට්ටම් කරගේන අර හීනයම හොයනව... අපෙත් දෑස් දුරුවලයි... අපේම හීනෙ අපිටම අඳුරගන්න බෑ... දෙයියන්ටත් බෑ...

    ReplyDelete
    Replies
    1. යෙෂ්! හීනෙ එන හැටියකට වෙනස් කරගන්නම වෙනවා.

      Delete
  25. අමුතුම කතාවක්නෙ! හැබැයි මුල ඉදන් අගටම ආසාවෙන් කියෙව්වා.
    මම නම් හීන සංස්කරණය කරගෙන බැලිමේ හැකියාවක් ඇති කෙනෙක් ඒ කියන්නෙ හිනයක් නරක අතට යද්දි ඇහැරුනොත් හොඳ අතට සකස් කරගෙන අයේ බලනවා. අනෙක සමහර හීන කොටස් වශයෙනුත් දැකල තියෙනවා. :)

    ReplyDelete
    Replies
    1. අහ්, මටත් ඒ ජාතියෙ හීන පෙනිලා තියෙනවා. සමහරවිට, එකම හීනෙ, පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙවී ආයෙ ආයෙ එකම නින්දෙදි පේන වෙලාවලුත් තියෙනවා. :D ගිමන් නිවන්නත් හීන රස විඳින කෙනෙක් වගේ.

      Delete
  26. හීන කියන්නෙත් හීනද මන්දා

    ReplyDelete
  27. මිනිස්සුන්ට විතරක් නෙවේ සත්තුන්ටත් හීන පේනවා..අපේ ගෙදර බල්ල ඉස්සර හීනෙන් කියවනවා..:D:D

    ReplyDelete
    Replies
    1. ඕඕ, ඒක ඇත්ත. සමහර සත්තු හීනෙන් බුරනවා; දුවනවා; රැවුල් කරකවනවා; වල්ග වනනවා...

      Delete
  28. කලින් කියවල ගියත් මේ ටිකේ බිසී නිසා කමෙන්ට් එකක් දාන්න බැරි වුනා . මේ දවස්වල පොඩි උන් පිරිලා ගෙදර . උන්ගේ බෝනික්කෝ නිදිකරන්න දෙන්නේ මට . එක්තරා විදිහක හින ලෝකයක් . කතන්දරයක් විදිහට උපරිමයෙන් රසවින්දා මේක නලිනියෝ. අනෙක් අතට මෙතන තියෙන ජිවන දර්ශනය . ..'' ළමා හින පසුපස ජීවිතේම ඇවිදින මිනිස්සු '' ඒත් ඒ හින අපේ නෙමේ . මන් මේ කල්පනා කරන්නේ මේ ලියවිල්ල බෙදා හරින ක්‍රමයක් . මෙහෙ බ්ලොග් කියවීම අපහසු නිසා ලින්ක් දීම එච්චර වැඩක් නැහැ . ඔයා මොකද කියන්නේ කට් ඇන්ඩ් පේස්ට් කරලා ඔයාගේ නමත් දාලා මගේ යාළුවන්ට ඊ මේල් කලාට කමක් නැද්ද .

    such a beautiful thinking. what a waste only few people get to read.

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ.
      මම දැක්කා බෝනික්කො නළවන බව කියල තිබුණා කොහෙදිදෝ. ෆේස් බුක් එකේදි වෙන්න ඕන. බබාලට නිවාඩු කාල කියන්නෙ අම්මලට වැඩ වැඩි කාලනෙ.
      ස්තුතියි බින්දි

      Delete
  29. අමුතු කථාවක් එත් හරිම ලස්සනයි.. ඉගෙන ගත යුතු දේවල් ගොඩයි..

    ReplyDelete
  30. අලුත් හීනයක් දැක්ක...

    ReplyDelete
    Replies
    1. ඔහ්, හීන අලුත් කරගැනීම කොහොමත් හොඳයි. :)

      Delete