Saturday, December 1, 2012

මැනර්ස්

ඉඩක් ලැබෙන හැම විටකම, කුඩාවුන් වූ අපට මැනර්ස් උගන්වන ලදී.

කෑමක් බීමක් කෙරෙහි පෙරේත නොවිය යුතු බවද, විශේෂයෙන්ම යමක් බිව් පසු මැනර්ස් පොඩ්ඩක් ඉතිරි කළ යුතු බවද අපට කියා දෙන ලදී. ඉතිරි කළ යුත්තේ කොතරම්ද යන්න පිළිබඳව හරි හැටි වැටහීමක් නොතිබුණු නිසා, අනෙක් අයගේ මැනර්ස් සමග මගේ මැනර්ස් සැසඳීමට මම පෙළඹුණෙමි. අනෙක් අය තරම් මා මැනර්ස් ඉතිරි කර නැත්නම්, මා අශීලාචාරයයි අනුන් සිතනු ඇතැයි සිතා විස්සෝප වූයෙමි; අනුන්ට වඩා මගේ වීදුරුවේ මැනර්ස් ඉතිරි වී ඇත්නම්, ඒ වැඩිපුර ටික වෙනුවෙන් දුක් වීමි. එය එකල නිතර බීමට නොලැබෙන පලතුරු යුෂ පානයක් වීනම්, ශෝකය වඩාත් තියුණු විය.

පාසල ඇරී අම්මාත් අක්කාත් සමග මම නුවර වීදියක් ඔස්සේ එමින් සිටියෙමි. නියොන් ලාම්පුවෙක, සෝනි යන අකුරු පෙළට ඉහළින් ආර් අකුරක් තිබෙනු මම දිටිමි. සෝනි යන්න ලියැවෙන හැම තැනකම මේ ආර් අකුර තිබෙනු ඊට පෙරද දැක ඇති නිසා මම අම්මාගෙන් ඒ ගැන විමසුවෙමි: "අම්මා, ඇයි අර සෝනි කියන එකට උඩින් ආර් අකුරක් තියෙන්නෙ?"
කුලෑටි ළමයකු වූ මගේ දුබල කටහඬින් කිවු දෙය අම්මාට පැහැදිලිව ඇසුණේ නැත. එබැවින් ඇය ඇයට ඇසුණායයි සිතූ දෙයට පිළිතුරු දුන්නාය:

"චූටි දුව හරි හොඳයි; කාගෙ හරි ඇඟේ හැප්පුණහම සොරි කියනවා.."
අම්මා සිතා ඇත්තේ මා කාගේ හෝ ඇඟේ වැදී සමාව ඉල්ලුව වගකි. අහම්බෙන් ලද ප්‍රශංසාව නිසා හෝ යළිත් ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ඇති කුලෑටිකම නිසා හෝ මම නැවත සෝනි ප්‍රශ්නය නෑසුවෙමි. එහෙත් ඉන්පසු මගේ අතින් වරදක් වූ කල "සොරි" කීමට පෙළඹුණෙමි. කොටින්ම, වැරදීමකින් ගෙදර බල්ලාගේ වල්ගය පෑගුණු විටද මම සොරි කීවෙමි.

වැඩිමනත් දිනවලට මා පාසල් ගියේ ප්‍රමාද වීය. ඉඳහිට දිනයක පාන්දරම "යැවුණු" අවස්ථාද විය.
එවන් දිනයක මම ළමයින්ගෙන් තොර පාසල් භූමියේ රස්තියාදු වෙමින් සිටියෙමි. ගෘහ විද්‍යාගාරය පිහිටා තිබුණේ පාසලේ අනෙක් ගොඩනැගිලිවලට වඩා යට මට්ටමකය. එහි ඉහළ මාලය පොළෝ මට්ටමෙහි විය. පහළ මාලය වටා යා හැකි පරිද්දෙන් පටු කොරිඩෝවක් විය. කොරිඩෝවේ එක් පසෙකින් ගෘහවිද්‍යාගාරයද, අනෙක් පසින් උස් බැම්මක්ද විය. මේ මට්ටමෙහිම පිහිටි තවත් පාසල් ගොඩනැගිල්ලක් ඊට පිටුපසින්ද, අපේ විදුහල්පතිනියගේ නිල නිවස ඊටත් පිටුපසින්ද පිහිටියේය. අයාලේ යමින් සිටි මා කොරිඩෝවට පිවිසෙද්දී, විදුහල්පතිනියද අනෙක් කෙළවරින් කොරිඩෝවට පිවිසියාය.
"යන්නෙම්ද, නොයන්නෙම්ද?"
ආපසු හැරුණොත් මා මොකක් හෝ හොර වැඩකට ආ කෙල්ලක ලෙස වරදවා වටහා ගනු ඇතැයි සිතූ මම, දිගටම ගියෙමි; විදුහල්පතිනියට සුභ උදෑසනක්ද පැතීමි.
"සුභ උදෑසනක්." විදුහල්පතිනිය නැවතුණාය. අනතුරුව මගේ පන්තිය කුමක්දැයි විමසුවාය.

ඊටත් අනතුරුව මට මැනර්ස් ඉගැන්වූවාය.
"වැඩිහිටියෙක්ගෙ ඇඟේ හැපි හැපි යන්ට එන එක නුසුදුසුයි. වැඩිහිටියෙක් එනකොට, පොඩ්ඩක් නැවතිලා, ඒ තැනැත්තට යන්ට ඉඩ දීලා ඉන්ට ඕන."
දැනුදු පටු කොරිඩෝවන් ඔස්සේ එන කාට වුවත් ඉඩ දීමට නවතින මට ඇගේ අවවාදය සිහි වේ.

පොඩි කාලයේ ඉගෙන ගත් ඇතැම් මැනර්ස් ටිකක් තේරෙන වයසට එනවිට කඩන්නට පටන් ගත්තෙමි. පාරේ යන එන ගමන් ආහාර ගැනීම එවන් එකකි. අයිස්ක්‍රීම්, චොකලට් ආදිය දවටා ඇති කඩදාසිවල හෝ ඊයම්වල ගෑවී ඇති අයිස්ක්‍රීම්/ චොකලට් ලෙව කෑම තවත් එකකි.
ඇත්ත වශයෙන්ම, එලෙස දවටනවල ගෑවී ඇති කොටස් වඩාත්ම රසවත් වෙයි; අයිස්ක්‍රීම් හෝ චොකලට් තව කොපමණ ඉතිරිව තිබුණත් පළමුව අර ටික ලෙව කන තුරු සිත පිරෙන්නේ නැත.
වැඩිහිටි වයසේ පසු වූ මම එලෙස දවටනයෙහි ගෑවී ඇති අයිස්ක්‍රීම් ලෙව කමින් මහ මග ගිය දිනෙක, බසයක සිටි ළමයින් පිරිසක් නෝන්ඩියට සිනාසෙනු දිටිමි. මට ඔවුන් ගැන අනුකම්පාවක් ඇති විණි.
පැකට්ටුවල ඇති බීම වර්ග අන්තිම බින්දුව දක්වා ඉරීමේදී, "සුරූස්" ගා මහ ශබ්දයක් නගමින් හුළං ඇදී එන්නේ කලාතුරකින් නොවේ. දැන් ඉස්සර මෙන් ඊට ලැජ්ජා හිතෙන්නේ නැත.