Sunday, October 2, 2016

අපේ සුදු සර්

අපේ රටේ ළමා මරණ අනුපාතිකය, නව ජන්ම ළදරු මරණ අනුපාතිකය පහත හෙළීමට තනි පුද්ගලයෙක් විදිහට වැඩිම දායකත්වයක් සැපයුවේ කවුද කියල ඇහුවොත්, ඒ අපේ සර්, ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රී ලාල් ද සිල්වා මහතා.





සර් ඉගෙන ගන්න කාලෙ විෂය ධාරා අඩුයි. ළමා රෝග විශේෂඥවරයෙක් වෙලා නවතින්න වුණේ ඒ නිසා. ළමා රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකය භාර ගන්නෙ එහෙම. වාට්ටුවක වැඩ කරනවට වඩා බොහොම වෙනස්. ඊට වඩා ලොකු කැපවීමක් ඕන. වෙනස් විදිහෙ සෛද්ධාන්තික හා ප්‍රායෝගික දැනුමක් ඕන. සර් මූලිකව උපයෝගී කරගන්නෙ ළමා ජීවිත සුරැකීම පිළිබඳ හැදෑරූ පාඨමාලාවක්. ඊට අමතරව දැන සිටිය යුතු දේවල් නොයෙකුත් පාඨමාලාවන්ට, පුහුණු වැඩමුළුවලට සහභාගි වෙලා, පොත්පත් කියවලා ඉගෙනගන්නවා.

හැබැයි එතනින් නවතින්නෙ නෑ. සෞඛ්‍ය සේවා දියුණු රටවල වගේ මෙහෙත් දැඩි සත්කාර ඒකක පිළිබඳ විශේෂඥවරුන් සිටිය යුතුයි කියන අදහස ඇතුව, ඒ ගැන පාඨමාලා අරඹන්න, පුහුණු කරන්න පටන් ගන්නවා. ඒ අය සුදුසුකම් සපුරා ආවහම, බොහොම කැමැත්තෙන් තමන්ගෙ තැන වැඩ භාර දෙනවා.

දැඩිව ගිලන් වෙන දරුවෙක් බේර ගන්න, ඉපදෙනකොටම හුස්ම නොගෙන දැඩි අවදානම් තත්වෙක ඉන්න දරුවෙක් බේර ගන්න, විශේෂඥ වෛද්‍යවරු හිටියට මදි. මේ වගෙ අවස්ථාවලදි හැකි ඉක්මණින් ප්‍රතිකාර ලබා දීම අවශ්‍යයි. පිටරටවල මේ සඳහා තියෙන කෙටිකාලීන පාඨමාලා මෙරටට හඳුන්වා දීලා, නේවාසික වෛද්‍යවරුන්ගෙ පටන් විශේෂඥ වෛද්‍යවරුන්ට යනකම් හැම මට්ටමක වෛද්‍යවරුන්වත්, මේ අංශවල සේවය කරන හෙද නිලධාරීන් හා වින්නඹු මාතාවන් ආදීනුත් පුහුණු කරන්න මහන්සි වෙන්නෙ අපේ සර්. රට පුරා ඉස්පිරිතාලවල ඇවිදිමින් ඒ ඒ පළාත්වල අයව පුහුණු කරනවා. මාසෙකට වතාවක්වත් කොළඹත් පාඨමාලාවක් පවත්වනවා. මේ එක් පාඨමාලාවකට විසි හතරදෙනෙක්වත් සහභාගි වෙනවා. අවුරුදු ගානක් තිස්සෙ, අඛණ්ඩව මේ පුහුණු කිරීම් කෙරෙනවා. අනික් පුහුණු කරුවන් වගේ නෙවෙයි, සර් මේ හැම එකකටම සහභාගි වෙනවා; මූලිකත්වය ගන්නවා.


මේ පාඨමාලා ඕස්ට්‍රේලියානු සංගමයකින් නිර්මිත ඒවා. නමුත් සර් ඒවයෙ අඩංගු නොවන, ශ්‍රී ලංකාවට වැදගත් වෙන ඩෙංගු වගෙ රෝග ගැනත් අපේ පාඨමාලාවට එකතු කරනවා. ඒ දේවලට සහය වෙන්නෙ, සර්ගෙ ගෝලයෙක් මෙන්ම දැඩි සත්කාර ඒකකයෙ දෙවෙනියා වෙන විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා. හැමදාම දේශනයට නියමිත කාලය ඉක්මවා යනවා කට්ටිය ප්‍රශ්න අහ අහ ඉගෙන ගන්න නිසා. නමුත් අපේ රටේ ඩෙංගු මරණ වළක්වන්න මේ දේශන මාලාවත් බොහොම උපකාරි වුණා.

කලින් කිව්ව වගේ මේ පාඨමාලාවකට සහභාගි වෙන කීප දෙනා, තම තමන්ගෙ ආයතනවලට ගිහාම, ඉගෙන ගත්තු දේ ප්‍රායෝගිකව භාවිතා කරන අතරතුර, තමන් එක්ක වැඩ කරන අනෙක් අයටත් දැනුම බෙදා දෙන බවට විශ්වාස කෙරෙනවා. ඒ කාරණාව වඩාත් හොඳින් කෙරෙනු පිණිසත්, අපේ පාඨමාලාවල ඉගැන්වීම් ක්‍රියාවලිය හොඳින් කෙරෙනු පිණිසත් ඕස්ට්‍රේලියානු පුහුණුකරුවන්ගෙ මග පෙන්වීම අනුව පුහුණු කරුවන් පුහුණු කෙරෙන පාඨමාලා පැවැත්වීමටත් සර් පියවර ගන්නවා. ඒ හින්දම, දැන් පළාත් මට්ටමින් ඒ ප්‍රදේශයෙ ඉන්න පුහුණු කරුවන්ට එකතු වෙලා, මේ පාඨමාලා පැවැත්විය හැකි මට්ටමට ඇවිත්.

දැඩි සත්කාර හා හදිසි ප්‍රතිකාර පිළිබඳ සංගමය හා එක්ව වැඩ කරන සර්, එහි සභාපති ධුරයටත් පත්වෙනවා. හදිසි ප්‍රතිකාර පිළිබඳව, දැඩි සත්කාර ඒකක පිළිබඳව, රෝගීන් ප්‍රවාහනය පිළිබඳව, විෂ වලට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳව වගේ නොයෙකුත් පාඨමාලා අපේ රටට හඳුන්වා දීමට මේ හරහා සර්ට පුළුවන් වෙනවා.

සර් ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය පමණක් නොවෙයි, හදිසි ප්‍රතිකාර ඒකකයත් භාරව හිටියා. දැඩි සේ ගිලන්ව එන දරුවන් වාට්ටුවලට යැවීමට පෙර මූලික ප්‍රතිකාර කෙරෙන්නෙ මේ ඒකකයෙ. තැනක් විදිහට ඒකකයෙ පහසුකම් වැඩි දියුණු කරන්නත්, එතන සේවය කරන කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුහුණුව ලබා දීමටත් සර් කටයුතු කළා. මේ නිසා බේරුණු ළමා ජීවිත ගණන අති විශාලයි. දැඩි සත්කාර ඒකකයට දරුවන් ප්‍රවාහනය සඳහා ප්‍රවාහන වෛද්‍ය සේවයක් ඇරඹීමටත් සර් සැලසුම් කළා.

ආයතනය වඩාත් විධිමත් කළ හැක්කේ කෙසේද කියන එක ගැන හදාරන්නත් සර් අමතක කළේ නෑ. අපිට පුරවන්න කොළ මහ ගොඩක් තිබුණා! රෝගීන්ගෙ විස්තර පරිගණකගත කිරීමට නියමව තිබුණා. එමගින් රෝගී ප්‍රතිකාරයෙ වෙනස් විය යුතු තැන්, වැඩි දියුණු කළ යුතු තැන් හඳුන ගන්න පුළුවන් වුණා.

පශ්චාත් උපාධි පාඨමාලාවලට සහ එම විභාගවලටත් සර් සහභාගි වුණා. පාඨමාලාවෙ අන්තර්ගතය කෙසේ විය යුතුද, කොතන පුහුණු පැවැත්විය යුතුද වගෙ කාරණා ගැන සර්  බොහොම මහන්සි වුණා. ශිෂ්‍යයන්ගෙ මතයත් විමසලා, වෙනත් රටවල පාඨමාලා අධ්‍යයනය කරලා, වෙන රටවල විශේෂඥවරුන් ගෙන්වලා ඔවුන්ගෙ දැනුමත් බෙදාදීලා, මේ පාඨමාලා සාර්ථක කරගන්න සර් වෙහෙසුණා.

ඔය ඉතින් පොදුවේ රට වෙනුවෙන් කෙරුණ කාරණා කීපයක්. පෞද්ගලික මට්ටමින් සර්ගෙ උදව් උපකාර ලද අය බොහොමයි.

ඉගෙනීම සඳහා උනන්දු කරවීම අතින් අම්මලා අප්පච්චිලාට වඩා ඉදිරියෙන්! බලෙන් ඇදල දාන්නෙ එක එක පාඨමාලාවලට. අපි අයදුම්පත්‍ර දාන්නෙත් "ඔන්න සර්නෙ කියන්නෙ දාන්න කියල, ඔන්න දැම්ම!" කියල. හම්බෙන දවසට සර් අහනව, "දැන් පාඩම් කරනවද? පොතේ අර කොටස් ටික තමා ගොඩක් වැදගත්; ඒ ටික බැලුවද? වාර්තා ලියලද? දැන්ම ලියන්න ගත්තොත් හොඳයි නේද? අහවලාට කියල දේශන කරවගත්තොත් හොඳයි නේද?..."

වතාවක් ඔහොම එකකට ඩිලන් අයදුම්පත්‍ර දාල. ඊට පස්සෙ ඔන්න නෑවිත් ඉන්නව.
සර් කෝල් කරල, කෝල් කරල බලහත්කාරෙන් ගෙන්න ගත්ත; උගන්නන්න ගිහාම එතනත් සර්. එදා රෑ නවතින්න ගිහාම හෝටලේට ගෙව්වෙත් සර්. පහුවදා විභාගෙ වෙලෙත් ඉඳල තියෙන්නෙ සර්. හවස ආපහු කොළඹ යන්න ටිකට් ගත්තෙත් සර්.
ඩිලන් සර්ට කියනවා: "සර් දැන් සේරම කරේ සර් හින්ද, වැඩේ සම්පූර්ණ වෙන්නනම් කෝස් ෆී එකත් සර්ම ගෙවන්න ඕන!"

ඇත්තටම නොයෙක් වෙලාවල, පාඨමාලා ගාස්තුත් අපට ගෙවන්න නැතුව සර්ම සකස් කරල දුන්නු අවස්ථා තියෙනවා. සමුගැනීමේ උත්සවයෙදි එක් විශේෂඥ වෛද්‍යවරයෙක් කිව් විදිහට, ඉගෙන ගන්න කාලෙදි ඔහුව එහෙම පාඨමාලාවකට එක්ක ගිහින්, සර් පාන්දරම ඇහැරවනවලු පාඩම් කරන්නත්!

අපේ අප්පච්චි ලෙඩ වුණු වෙලාවෙ මම ඉස්සෙල්ලම උපකාරයක් ඉල්ලුවෙ සර්ගෙන්. වරින් වර අවශ්‍ය හැම දෙයක්ම, වෙනත් විශේෂඥ වෛද්‍යවරුන් එක්ක කතා කරල ඉටු කරලා දුන්නා විතරක් නෙවෙයි, මහ ගොඩක් වැඩ අස්සෙ මළ ගෙදරත් ආවා. සමහර දේවල්වලදි, මම සර්ගෙන් උපදෙස් අරගෙන, අප්පච්චි ළඟට යද්දි තත්වෙ වෙනස් වෙලා නිසා, සැලසුම් වෙනස් කරන්න වෙලා. සර් මා වෙනුවෙන් තවත් අයගෙන් උදව් එහෙමත් ඉල්ලලා. නමුත් එහෙම කියලා සර් අමනාප වුණේ නෑ. ඒ ඒ වෙලාවට ආයෙ අවශ්‍ය වෙන්නෙ මොකක්ද, ඒ දේට උදව් දුන්නා. සේරම ඉවර වෙලා මම දුක කියන්න ගිහාම මගෙ හැම ප්‍රශ්නෙකටම විසඳුම් දීලා මාව හරි පාරට දැම්මා. ඊට පස්සෙත් හම්බෙන හැම වාරෙකම හෙමින් අහනවා, "දැන් කොහොමද?" කියලා. සර්ගෙ පිහිටක් හොයන ඕන කෙනෙකුට එහෙමයි.

සර්ගෙ හොඳ ගතිගුණ නිසාම සර් කියන දෙයක් අනික් අයත් අහනවා. ඔය නොයෙක් පාඨමාලාවලට කට්ටිය කොහොම හරි නිවාඩු දාගෙන එන්නෙ, සර්ට බෑ කියන්න බැරි නිසා.

සර් හරි නිහතමානියි. අලුතින් ඉගෙනගන්න දෙයක් තියෙනවනම් බොහොම කැමැත්තෙන්, මහන්සි වෙලා ඉගෙනගන්නවා. වරක් සර්ම මූලිකත්වය අරගෙන, ලංකාවට හඳුන්වල දුන්න පාඨමාලාවක, ප්‍රායෝගික කොටසට සර් හිටිය කණ්ඩායමේ මමත් හිටියා. ඉගෙනීම පටන් ගන්න කලින් එකිනෙකා හඳුන්වලා දෙන්න ඕන. මොකද, අපේ පවතින දැනුම අනුව උගන්නන විදිහ වෙනස් වෙනවනෙ.
උගන්නන්න හිටිය ඕස්ට්‍රේලියානු වෛද්‍යවරයා තමන් කවුද, කොහෙද වැඩ කරන්නෙ, මොනවද සුදුසුකම් එහෙම කියල මුළින් කිව්ව. ඊලඟට අපේ කණ්ඩායමේ හිටි අනෙක් විශේෂඥ වෛද්‍යවරයා තමන් කවුද, කොහෙද වැඩ කරන්නෙ, මොන වගෙ විදිහටද මේ පාඨමාලාව තමන්ට වැදගත් වෙන්නෙ කියල කිව්ව. ඊලඟට මම. මම ඉතින් කිව්ව ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ ඉන්නවය, අරකද මේකද කියල. ඊලඟට අපේ සර්. සර් අපේ දැඩි සත්කාර ඒකකයෙ සහ හදිසි ප්‍රතිකාර ඒකකයෙ ප්‍රධානියා; එතන හිටිය අනික් විශේෂඥ වෛද්‍යවරයගෙත්, මගෙත් ගුරුතුමා; පාඨමාලාව සංවිධානය කරන සංගමයෙ සභාපති; අප අතරින් වඩාත්ම අත්දැකීම් සහිත කෙනා. ඒ වුණාට සර් කිව්වෙ වචන පහයි:
"මමත් මෙයත් එක්ක වැඩ කරන්නෙ!"

සර් එහෙමයි.

අනික, ඕන කෙනෙකුට ඇහුම්කන් දෙනවා. අපිට මොකක් හරි වැඩක් පැවරුවහම, අපිත් ඉතින් ඕවගෙ තියෙන එක එක කාරණා ගැන අපේ විවේචන ඉදිරිපත් කරනව. පිළිගත යුතු දෙයක්නම් සර් පිළිගන්නව. නැත්නම් බොහොම ඉවසීමෙන් ඇයි ඒක එහෙම විය යුත්තෙ කියල පැහැදිලි කරනව. වෙලාවකට අපි ඊට එකඟ නොවී රන්ඩුත් කරනව. ඒත් සර් තරහ වෙන්නෙ නෑ; ළමයින්ගෙ රන්ඩු දිහා දෙමව්පියො බලනව වගෙ හිනා වෙලා නිකං ඉන්නව. දිග කාලයක් මිනිස්සු ආශ්‍රය කරල ලැබුණු පළපුරුද්දෙන්ද කොහෙද, සර්ට හොඳ අවබෝධයක් තියෙනව කාට කොයි වගේ වගකීමක්ද පවරන්න පුළුවන් කියල. සර් බොහොම හෙමින්, ඉවසීමෙන්, ඒ වැඩේට ඒ කෙනාව පුහුණු කරනවා.

සර් කිසි දේකට කලබල වෙන්නෙ නෑ. ඔය තරම් වගකීම් ගොඩක් ඔළුවෙ තිබ්බනම්, වෙන කෙනෙක්ට පිස්සු හැදෙයි; කාර්ය මණ්ඩලයට බනී. සර් එහෙම නෑ. ප්‍රශ්නයකදි, කාරණාව හොයා බලා, කළ යුතු දේ කරනවා.

වතාවක් කොළඹින් බැහැර ඉස්පිරිතාලෙක, ඕස්ට්‍රේලියානු වෛද්‍ය කණ්ඩායමකත් සහභාගිත්වය ඇතුව, පාඨමාලාවක් පැවැත්වුණා. තේ පානය සඳහා අවශ්‍ය ආහාර සැපයීම භාරව තිබුණෙ එහෙ කට්ටියකට. ඒ අය උයන මනුස්සයෙක් ගෙනත් ආහාර හදවන්නෙ, අවට ගන්න තැනක් නැති නිසා. මේ පාඨමාලා බොහොම තිතට, වෙලාවට කෙරෙන ඒවා. වෙලාව වෙනස් වෙන්න බෑ.

කොහොම හරි ඔන්න තේ වෙලාව ඔන්න මෙන්න කියලවත් කෑම ඇවිත් නෑ. අපේ කෙනෙක් කෑම හදන තැනටත් ගිහින්- ඒක ලෑස්ති වෙන්න තව හුඟක් වෙලා යන විදිහයි. පණස් දෙනෙකුට විතර කෑම එහෙම හදිසියෙ හොයාගන්නෙ කොහෙන්ද? ඒ අවට ඒ විදිහෙ ආපනශාලා තිබ්බෙ නෑ. නගරයට ගිහින් එන්න වෙලා යනවා. දැන් සමහරු කෑම හදන අයට බනිනව; සමහරු කෑම සපයන්න බාර ගත් අයට බනිනව. සේරම කලබල වෙලා.

අපේ සර් එහෙම කලබල වෙයිද? ඔන්න සර් අතුරුදහන් වුණා. තේ විවේකෙ ලැබෙනකොටම මෙන්න සර් එනවා හිනා වෙවී. අත් දෙකෙන් කඩදාසි මළු දෙකක් උස්සගෙන. සර් කොහෙ හරි පෙට්ටි කඩේකින් මසල වඩේ ගෙනත්!

ඒකකයෙ අනික් වැඩවලදි වුණත් සර් මුළු හදවතින්ම සහභාගි වුණා. ඔන්න සැරයක් පිරිතක් කියනවය කියලා හෙද සොහොයුරිය ඇවිත් කිව්වෙ මමත් ඉන්න තැන. මම ඉතින් ගත්තු කටටම, " අපොයි එහෙනම් එදා රෑට කනක් ඇහිල ඉන්න වෙන එකක් නෑ." කියල කිව්ව. සර් හිනා වුණා විතරයි. පිරිත් දවසෙ හිස මත තියාගෙන කරඬුව වඩම්මලා, මුළු රෑම වාඩි වෙලා පිරිත් අහලා, පාන්දර මූණ සෝදගෙන එන්න විතරක් පැයකට ගෙදර ගිහින් තිබුණා. ඒ ගියෙත්, ඒ අතරෙ කරඬුව ආයෙ වඩම්මන්න හරි මොකක් හරි වැඩක් ආවොත් ඒ වගකීම දෙවෙනි විශේෂඥ වෛද්‍යවරයට පවරලා. කොහොම හරි පුළුවන් ඉක්මණට ආපහු ආවා.
සර් එහෙමයි.

අර කතාවක් තියෙන්නෙ බුද්ධිමතුන්ගෙ මේසෙ අවුල්ය කියල. සර්ගෙ මේසෙත් එහෙම තමා. හෙද සොහොයුරිය වරින් වර ඕක අස් කරල දානවා. මං එහෙමනම් මගෙ මේසෙ වෙන කවුරුත් අස් කරොත් තරහ ගන්නවා, ඊට පස්සෙ බඩු හොයන්න නෑ කියල. සර් එහෙම නෑ. කොහොම හරි වතාවක් එහෙම මේසෙ අස් කරපු වෙලාවක, සිස්ටට හම්බෙලා අපි තුන් දෙනෙකුගෙ වැටුප් වැඩිවීම පිණිස සර් විසින් පිරවිය යුතු පෝරම තුනක්, මාස ගානක් පරක්කු වෙලා, අර කුණු ගොඩ අස්සෙ තිබිලා!

ගමන් බිමන් යන්නත් සර් කැමතියි. අනික් අයත් ඒවට ආස බව සර් දන්නවා. නොදන්න පළාතක පාඨමාලාවකට ගිහාම, සමහරවිට සර් පැය කීපෙක දේශන තමන් තනියම කරන්න භාරගෙන, අනික් අයට පළාතෙ පොඩ්ඩක් ඇවිදලා විනෝද වෙලා එන්න අවස්ථාව දීලා තියෙනවා.

වෙන මොනවත් වැඩක් යෙදිලා නැත්නම්, සර් පාසල් පටන් ගන්න වෙලාවට පාර අවහිර වෙන්න කලින්ම වැඩට එනවා. ඒකක කිහිපයක, සංගම් කීපයක, පාඨමාලා කීපයක වැඩවලට දවස පුරා වෙහෙසෙනවා. කිසිම කම්මැළිකමක්, එපා වීමක් නෑ. සර්ගෙ කාමරේ දින දර්ශනයෙ රතු පාටින් සලකුණු පිරිලා. කොටින්ම, සර් විශ්‍රාම ගන්න තිබ්බෙ විසි වෙනිදා වුණත්,  ඒ දිනේ පහු වෙනකනුත් සර් එක දිගට වැඩ. ඒ හින්දා විශ්‍රාම ගන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඒ උත්සවේ තිබ්බෙ තිස් වෙනිදා!



ශ්‍රී ලාල් සර් ගුරුවරයෙක්; පියෙක්; මග පෙන්වන්නෙක්; මිත්‍රයෙක්; ආදර්ශය සපයන්නෙක්; නායකයෙක්. සර් කරපු තරම් වැඩ කරනව තියා කොහොම කරන්නද කියල හිතාගන්නවත් අපිට බෑ. යුග පුරුෂයො කියන්නෙ අපේ සර් වගෙ අයට වෙන්න ඕන. එහෙම කෙනෙක් යටතෙ වැඩ කරන්න, පුහුණු වෙන්න අපි වාසනාවන්ත වෙලා තියෙනවා.

Thursday, April 21, 2016

ඩෙංගු 2

වැස්ස පටන් ගන්න යන්නෙ. ආයෙත් ඩෙංගු වැඩි වෙයි.

ඩෙංගු ගැන කලින් වතාවකත් කතා කළා. ඒත් සමහර දේවල් ආයෙ ආයෙත් මතක් කරගන්න ඕන.

"ජීවත් වෙන්න ඕන කැහැට්ටො විතරද?"

එක ඩෙංගු හැදුණු ළමයෙක්ගෙ අම්මාකෙනෙක් රෝහල් කාර්ය මණ්ඩලයට එහෙම තර්ජනය කර තිබුණා. ඇගේ ළමයා වයස අවුරුදු හත අටක් වෙද්දි කිලෝ 60ක් බර කෙනෙක්.

අපේ රටේ සමහර ළමයින් දැඩි පෝෂණ ඌනතාවයකින් පෙළෙන අතර, තවත් ළමයින් අධිපෝෂණයෙන් පීඩා විඳිනවා. අධි රුධිර පීඩනය, දියවැඩියාව ආදී බෝ නොවන රෝගවලටගොදුරු වීමේ දැඩි අවදානමට අමතරව, මෙහෙම ළමයින්ට ඩෙංගු හැදුණහමත් විශාල ප්‍රශ්නයක්.

එකක්, මේ අයට හදිසියකට සේලයින් හෝ බෙහෙත් දීම සඳහා කැනියුලාවක් දමා ගැනීමට නහර සෙවීමේ අපහසුව.
තවත් එකක්, මේ අයගෙ අක්මාව දැනටමත් මේද තැන්පත් වෙලා දුර්වලව තිබීම.
බරපතලම දේ, මේ අයට අවශ්‍ය දියර ප්‍රමාණය, පැයකට තිබිය යුතු මූත්‍ර ප්‍රමාණය වගෙ දේවල්, සාමාන්‍ය ළමයෙකුට වඩා වෙනස් වීම; ඒවා අනුමාන කිරීමට අපහසු වීම කරනකොට, සිරුරට අවශ්‍ය තරම් දියර නොලැබීමෙන් අවයව දුර්වල වීමට ඇති ඉඩකඩ.

සාමාන්‍ය බරක් සහිත දරුවෙකුට සාපේක්ෂව, මහත දරුවෙක්ගෙ අභ්‍යන්තර අවයවවලට හානි වීමටත්, මිය යාමටත් ඇති ප්‍රවණතාවය ඉහළයි.

ඒ හින්දා, ළමයට දැනට ඩෙංගු නැත්නම්, ළමයගෙ උසට, වයසට සුදුසු බරක් පවත්වා ගැනීම සඳහා පියවර ගැනීම දෙමව්පියන්ගෙ, භාරකාරයන්ගෙ වගකීමක්. තමන් ඇඟ හොලවන්නට තියෙන කම්මැළිකම හින්දා, ළමයවත් එහෙම කුසීත ජීවන රටාවකට යොමු නොකර, අනවශ්‍ය තරම් තෙල් සහ පැණිරස කෑම ගිල්ලවන්නෙ නැතුව ළමයා බලා ගැනීම ඒ ළමයට ආදරය පෙන්වන්නට තියෙන හොඳ විදිහක්.


"මුකුත්ම කෑවෙ බිව්වෙ නෑ. ඉතින් ඒ හින්දා චූ ගියෙත් නෑ."

කතාව ඇත්ත. බොන දියර ප්‍රමාණය අඩුයිනම්, හැදෙන මූත්‍ර ප්‍රමාණයත් අඩුයි. එහෙම වෙන්නෙ, වකුගඩු වෙත සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වෙන හින්දා. නමුත් ඒක මුත්‍ර ප්‍රමාණය අඩු වෙනවා කියන තැනින් නැවතෙන සරල කාරණයක් නෙවෙයි. මොකද, වකුගඩුවලට රුධිරය සැපයෙන්නෙ මූත්‍ර නිෂ්පාදනය සඳහා පමණක් නෙවෙයි. වකුගඩුවලට අවශ්‍ය පෝෂණය, ඔක්සිජන් එන්නෙත් රුධිර සැපයුමත් එක්ක. ඉතින් බොන ප්‍රමාණය අඩුයිනම්,වකුගඩුවලටත් ඒක බලපානවා. වඩාත්ම වැදගත් දේ, මූත්‍ර ප්‍රමාණය හෝ එහි පැහැය කියන්නෙ අපිට පැහැදිලිව පෙනෙන දේ. වකුගඩුවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වීමට තරම් රුධිර පීඩනය අඩු වෙලානම්, අනෙක් අවයවවලටත් ඒ සෙතේම තමා. මූත්‍ර වගෙ එකවරම නොපෙනුණාට, ඒ එක්කම අක්මාව, මොළය, බඩවැල් ආදී අනෙක් අවයවවලටත් හානි සිදුව තිබිය හැකියි.

ඒ නිසා ලෙඩ වුණහම, පිටවෙන මූත්‍ර ප්‍රමාණය, වාර ගණන, පාට ආදිය ගැන සැළකිලිමත් වීම වැදගත්. විශේෂයෙන්ම, ළමයින්, ගැබිනි මව්වරුන්, වෙනත් අසනීප තියෙන අය, වයසක අය, වමනය හෝ පාචනය වගෙ ඇඟෙන් දියර ඉවත් වෙන අය.
ඒවගෙ වෙනස්කමක් තේරෙන්නනම් ඉතින් සාමාන්‍යය කෙසේද කියන කාරණය ගැනත් අවබෝධයක් තියෙන්නට ඕන.

ඒ වගේම, ලෙඩ වුණහම බොන ප්‍රමාණය ගැන වැඩි අවධානයක් යොමු කරලා, ඒ ඒ වයසට ලැබෙන්නට ඕන අවම දියර ප්‍රමාණයවත් ලබා දීම වැදගත්. ඕක ඉස්පිරිතාලෙදි අපි ගණනය කරන්නෙ මෙහෙමයි:
පළවෙනි කිලෝ දහයට, එක කිලෝවට මිලි ලීටර් 4ක් ගානෙ
දෙවෙනි කිලෝ දහයට, එක කිලෝවට මිලි ලීටර් 2ක් ගානෙ
ඊලඟ ඒවට, කිලෝවට මිලි ලීටර් 1 ගානෙ

වැඩිහිටියෙක්ටනම්, සාමාන්‍යයෙන් කිලෝ පණහෙ ගාන තමා- 10*4+ 10*2+30*1= 90=> සාමාන්‍යයෙන් පැයකට මිලිලීටර් 100ක් විතර හිටින්න.

වමනෙ යනවනම්, පාචනය තියනවනම්, ඔය කියන ගණන් මදි.

අනික බොන දේවල්. ඉස්පිරිතාලෙට එන ළමයි වැඩි දෙනෙක් ඉල්ලන්නෙ කාබනේටඩ් බීම වර්ග. නමුත් ලෙඩ වුණහම දෙන්නට ඕන ලවණ වර්ග අඩංගු, ජීවනී, තැඹිලි, කැඳ, සුප්, ගෙදර හදාගත්තු පලතුරු යුෂ වගෙ දේවල්. මව්කිරි බොන වයසෙ දරුවෙක්නම්, මව්කිරි.

ඩෙංගු රෝගයෙදි ලේ ගැල්මේ අවදානමක් තියන හින්දා, එහෙම දෙයක් වුණොත් හඳුනාගැනීමේ පහසුව සඳහා, රතු/දුඹුරු වගෙ පාට ආහාරපාන වලින් වැළකී ඉන්න එක හොඳයි.

අනික් එක ප්‍රතිකාර සඳහා යොමු වීම. සමහරු උණ අරන් පැයක් යද්දි රෝහල්ගත වන අතර, තවත් අය එද්දි පෙරහැර ගිහින් ඉවරයි. විශේෂයෙන් ඉස්කෝලෙ වාර විභාග එහෙම තියෙද්දි

සමහර වැඩිහිටියන් උණ තියෙන ළමයින්ව පාසල් යවනවා. එහෙම උණ තියාගෙන වාර විභාගෙට ගිය පුංචි කෙල්ලක්, විභාගෙ ඉවර වෙලා ඉස්පිරිතාලෙ ගෙනෙද්දි වෙන්ඩ ඕන හරිය වෙලා ඉවරයි.

දැඩි අවදානම් සහිත අය, ඒ කිව්වෙ, වයස අවුරුද්දට අඩු ළමයින්, මහත ළමයි, වෙනත් රෝග තියන අය, ගැබිනියන්, වයසක අය දවසකට වඩා උණ තියෙද්දි ඇවිත් පෙන්නන එක හොඳයි. එහෙම නැත්නම් අධික වමනය, පාචනය වගෙ තියනවනම්, සිහි කල්පනාව අඩුයි වගෙ තියෙනවනම්, මුත්‍ර යාම අඩුයිනම්, වෙනත් බරපතල රෝග ලක්ෂණයක් ඇත්නම් කලින් පෙන්නන්න වෙනවා. එහෙම නැත්නම් ඩෙංගුවලට ලේ පරීක්ෂණ කරන්නෙ පැය හතළිස් අටක් පහු වුණහම.

ඒ එක්කම, ඩෙංගු ඇරුණුකොට වෙනත් ලෙඩත් ඕන තරම් තියනවා. ඩෙංගු කියන්නෙ වෛරස් උණක්. ඒ නිසා මුලදි ඩෙංගුම තමයි කියල කියන්න අමාරු වෙන්න පුළුවන්. "හරියට කියන්නෙ නෑ" කියල කලබල වෙන්න ඕන නෑ ඒ නිසා.

Thursday, April 14, 2016

සීගිරි සිංඤෝ

බින්දිගෙ අවුරුදු මතකයන් කියවන්න ගිහාම, පරණ අවුරුදු, අලුත් අවුරුදු බවට පත් වෙනවා. පරණ සිද්ධි, පිළිවෙලක් නැතුව හිතට එබිකම් කරන්න ගන්නවා.

බින්දිගෙ අප්පච්චි වගේම, අපේ අප්පච්චිත් රත්නපුර පළාතෙ. ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ වයස තුනහමාරෙන්. ශිෂ්‍යත්වෙ සමත් වුණාට පස්සෙ, සීවලියෙ නේවාසික වෙලා. උසස් පෙලට ලියල එන ගමන්, රැකියා සම්මුඛ පරීක්ෂණේට ගිහින් තියෙන්නෙ. ඒ රස්සාව හම්බුණ හින්දා, කෙළින්ම වැඩට ගියා මිස, උසස් පෙල ප්‍රතිඵලවත් බලන්න ගිහින් නෑ.

රස්සාව හම්බුණේ මහනුවරට. අම්මව හම්බුණේ ඒ හින්ද. අර්බුදකාරී වාතාවරණයක් තිබ්බ හින්ද, නෑ ගමන් ඒ හැටි කෙරුණෙ නෑ.

මට හිතෙන්නෙ, අප්පච්චි තමයි ගෙදර සාම්ප්‍රදායික චරිතෙ. අම්මට පස්සෙ පස්සෙ ඒ ගති ආරෝපණය වෙන්න ඇති.

අපි පොඩි කාලෙදි අප්පච්චි අවුරුද්ද ගැන උනන්දුයි. නැකත් අනුව ඒ ඒ කටයුතු කරන්න මූලික වෙන්නෙ අප්පච්චි. නොනගතේට අපි හොරෙන් කෑව. නැකතට පත්තු කරන්න බිම ලිපක් හදන්න ඕන. ඕකට ගන්න වෙනම රවුම් ටකරමක් තිබ්බ. ඒව ගෙනල්ල හරි ගස්සන්නෙ අප්පච්චි. කන නැකතට කන්න බලං හිටියට, ඉස්සෙල්ලම වැඩ අල්ලන්න ඕන. අපිට වැඩ අල්ලන්න තිබුණෙ පාඩම් පොතක් කියෝලා. අපි ඒව කියවන අතරෙ අම්මයි අප්පච්චියි ගිහින් කිරි ගස්වලට කොටල, ලිඳ එක්ක ගනුදෙනු කරල ආව වෙන්න ඕන.
අවුරුදු මේසෙට හුඟක් වෙලාවට ගෙදරම කෙසෙල් කැනක් තිබුණා. අප්පච්චි වගාවට උනන්දුයි. වත්තෙ එළවළු පලතුරු වර්ග, පලා වර්ග, අල වර්ග වගේම නා නා ප්‍රකාර කෙසෙල් වර්ග වැව්ව.
නැව් කෙහෙල් කියන පුංචි ගස් ජාතිය මම දැක්කෙ අපේ වත්තෙ විතරමයි.
කෙසෙල් කැන කපලා ඉදවන්න, පොළොවෙ වලක් හාරලා, ඒක ලෑලිවලින් වට කරලා, පුංචි කවුළුවක් හදන්න ඕන දුම් ගහන්න. ඒ සේරම කරාට අප්පච්චිගෙ හිතේ තියනව, අප්පච්චි කැන තිබ්බොත්, ඒක ඉදෙන්නෙ නෑ කියල. ඒ වැඩේට අල්ලගන්නෙ අය්යව.

ඒ දවස්වල ගෙදර හැම වැඩක්ම වගෙ කරගත්තෙ අපිමයි. ගෙදර සායම් ගාන එක පවා අපිම කර ගත්ත. ළමයි තම තමන්ගෙ කාමර සායම් ගාගන්න ඕන. පස්සෙ පස්සෙ අපි වැඩේ කර ඇරිය. අප්පච්චි අන්තිමට එහෙම සායම් ගෑවෙ අනූ හයේදි විතර. ඊට පස්සෙ අප්පච්චිට පපුවෙ අමාරුව ආවා. අපි හිතුවෙ සායම් ගෑව මහන්සියට කියල. පස්සෙ දැන ගත්තෙ ඊට වඩා තත්වෙ බරපතල බව.

අපි පොඩි කාලෙ අප්පච්චි අපිට කතන්දර කියනව නින්ද යනකං. හැමදාම අපි අහන්න ආස සීගිරි සිංඤොගෙ කතා. ඒව අප්පච්චි ගොතල කියන කතා. සීගිරි සිංඤො කියන්නෙ, කරත්තෙක නැගල දුර ගමන් යන කෙනෙක් කියල විතරයි මට මතක. වෙන කිසිම කතාවක් මතක නෑ. ඒත් තාමත් සීගිරි සිංඤො කියන චරිතෙට අපි සේරම ආදරෙයි.

අප්පච්චිට මාරු වීම් හම්බෙනකොට, අපිත් ඉබේම මාරු වුණා. නොච්චියාගම, අප්පච්චිගෙ කාර්යාලෙ උඩ තට්ටුවෙ අපි පදිංචි වෙලා හිටියෙ. පෙළට ඇඳන් තියල, අපි සේරම එකට නිදියන්නෙ. ඒ දවස්වල රෑට මම ඇඳ තෙමනව. උදේට මමම නැගිටල ඇඳ යට පරීක්ෂා කරල බලනව ඊයෙ රෑත් වැඩේ වෙලාද කියල. එක දවසක් බලද්දි, දිය දහරාව ගලා ගොස් රැඳී තිබුණෙ අප්පච්චි නිදියං හිටිය තැන. මම වහාම පල්ලෙහ අප්පච්චිගෙ කාර්යාලෙට දුවල ගිහින්, හැමෝටම ඇහෙන්න නිවේදනය කළා, "ඔන්න ඊයෙ රෑනං චූ කරල තියෙන්නෙ අප්පච්චි" කියල.

එහෙ ඉද්දි දවසක් මට උණ හැදිලා හොඳටම අමාරු වුණා. වලිප්පුව හැදිලා, සිහිය නැති වෙලා. බෙහෙත් ගන්න යන්න ඕන අනුරාධපුරේට. රෑ මැද, අප්පච්චි මාව කරේ තියාගෙන පයින්ම අනුරාධපුරේට අරන් ගියා. මට මගදි සිහිය ආවා. අප්පච්චිගෙ උරහිසේ මම ඔලුව තියාගන ඉද්දි, අහසෙ හඳත් අපිට පිටිපස්සෙන් ඉස්පිරිතාලෙ ආව හැටි මට තාම මතකයි.
අපේ නැති වුණු මල්ලිවත් එහෙම අරන් යන්න ඇත්තෙ. ඉස්පිරිතාලෙට යද්දි එයා නැති වෙලා. පස්සෙ අපි අනුරාධපුරේ යන වාරවල, ඒ මල්ලි වළලපු තැන පළු ගහ බලන්නත් යනවා.

පස්සෙ අපි ආපහු නුවර ආවා.

කොහේ හිටියත්, අප්පච්චි හැමදාම ගෙදර ආවා. නෑවිත් හිටියනම් ඒ බැරිම දුරකනම් විතරයි. අම්පාරෙ වැඩ කරද්දිත්, සතිය මැද දවසක් ඇවිත් ගියා. හැත්තැ ගණන්වල ජේවීපී කාලෙ, කොයි පැත්තෙන් මැරුම් කන්න වෙයිද නොදැනත් කොහොම හරි ගෙදර ඇවිත් තියෙනව.
එහෙම එක සැරේක, අප්පච්චි වැඩ කරල තියෙන්නෙ හඟුරන්කෙත. හදිසියෙ ඇඳිරි නීතිය දැම්මහම, ගෙදර එන්න විදිහක් නැතුව ඩිපෝවට ගිහින් බස් එකක් ඉල්ලල තියනව කට්ටියම. ඩ්‍රයිවර් කෙනෙක් කැමති කරවගන්නවනම් බස් එකක් දෙන්නම් කියල ඩිපෝවෙ ලොක්ක කිව්වලු. එක ඩ්‍රයිවර් කෙනෙක් කැමති වෙලා.

ඒ මනුස්සය බස් එකට නගිනකොට ඇඳිරි නීතිය පටන් ගන්න පැයයිලු. "මහත්තයල, හෙමින් ගියොත් වෙඩි කාල මැරෙන්න වෙනව; ඒ හින්ද වේගෙන් යමු; හොඳට අල්ලගන්න." කියල, විනාඩි විස්සෙන් හඟුරන්කෙත ඉඳන් නුවරට ආවලු.
හරියට පාරවල්වත් නැති කාලෙ.

ආයෙ සැරයක් ගම්පොළද කොහෙද වැඩ කරන කාලෙ, ගං වතුරක් ඇවිත්.  ගං වතුරට යට වුණු රේල් පාරක, ඉණ හරියට විතර වතුර තියෙද්දි, රෑ කලුවරේ, පීලි තියන තැන් කකුලෙන් බල බල තමා ඇවිත් තියෙන්නෙ.

මම ශිෂ්‍යත්වෙ පාස් වුණහම, අප්පච්චි මාව එක්ක ගියා තෑග්ගක් අරන් දෙන්න කියල. නුවර සීවලී එකට. එතන තිබුණ එක එක විදිහෙ පැන්සල් පෙට්ටි. ස්පේස් ෂිප් එකක රූපයක් තිබුණ නිල් පාට පෙට්ටියකුත් තිබුණ. අප්පච්චි මගෙන් ඇහුව "ස්පේස් ෂිප් එක අරන් දෙන්නද?" කියල.

මගෙ හිතේ තිබ්බෙ ඕගන් එකක්. මම සාමාන්‍යයෙන් එහෙම අහවල් දේ ඕන කියල ඉල්ලන ළමයෙක් නෙවෙයි. ඒ හින්ද සද්ද නැතුව ඒක අරන් ආව. ඒත් ගෙදර ඇවිත් මට ඉවසගන්න බැරිම තැන, හීන් සීරුවෙ අම්මට කාරණාව කිව්ව. ඊට පස්සෙ අප්පච්චි ආයෙම මාව එක්ක ගිහින් ඕගන් එකකුත් අරන් දුන්න.

ඊට පස්සෙ තිබ්බ විභාගවලටනං මුකුත් හම්බුණ මතකයක් නෑ!

අප්පච්චි ගමන් බිමන් යන්න හරිම ආසයි. අවුරුද්දකට සැරයක් අනුරාධපුරේ  යනවමයි. ගමන් බිමන් කිව්වට, හුඟක්ම ආස වන්දනා ගමන් යන්න. අප්පච්චිගෙ රස්සාව හින්ද, රට පුරාම යන්න හම්බුණා. ඒ ගිහාම දැන ගත්ත තැන්වලට, පස්සෙ අපිවත් එක්ක ගියා. ඒත් වන්දනා ගමනක් නොවෙන තැනකට යන පුරුද්දක් තිබ්බෙ නෑ. දෙහිඅත්තකණ්ඩිය, අම්පාර වගෙ පළාත් බලන්නනම් ගියා. නුවර එළිය, හලාවත වෙරළ වගෙ තැන් බලන්න එක්ක යන්න කියල අපිට කැරලි ගහන්න සිද්ද වුණා. නුවර එළියෙ ගියා, ආව! එහෙ අප්පච්චිට බලන්න දෙයක් තිබ්බෙ නෑ! ඒ වුණාට පස්සෙ කාලෙක, මම බලහත්කාරෙන් අප්පච්චිව හෝට්න් තැන්න එහෙම බලන්න එක්ක ගියා. පස්සෙ ගොඩක් ලෙඩ වෙලා ඉද්දිත් එහෙම ගමන් ගියා. අප්පච්චි ගමන් යන්න ආසයි. සැරයක් එහෙම කොහෙ හරි ගියාට පස්සෙ, මට මතක විදිහට මැදිරිගිරියෙද කොහෙද, ඊට පස්සෙ සති අන්තෙ ගෙදර දානයක් තිබ්බ. ඕකට එන්න බෑ කියල මම වාර්තා කළහම අප්පච්චි කිව්ව, " දානෙට ආවෙ නැතුවට කමක් නෑ, ආයෙත් දවසක නිවාඩු දාල එන්න ට්‍රිප් එකක් යන්න" කියල.

අප්පච්චිට හරි අපූරු මතකයක් තිබ්බා. විශ්‍රාම ගිහින් ඉද්දිත් කාර්යාලෙන් කතා කළ අවස්ථා තිබුණා, අවුරුදු විසිතිස් ගානකට උඩදි වෙච්ච සිද්ධිවලට අදාල ගිණුම් අංක අහන්න! ඒගොල්ලන්ට එහෙ වාර්තා අවුස්සලාවත් හොයා ගන්න නැහැ. අප්පච්චිට මතකයි.

අප්පච්චිට උයන්නත් පුළුවන්, මට වගේ. අම්ම කැමති නෑ කුස්සිය හැඩි කරනව කියල. අම්ම මල්ලි හම්බෙන්න ඉස්පිරිතාලෙ ඉද්දි, අප්පච්චි අපි තුන්දෙනාවත් ඇදගෙන ඉස්පිරිතාලෙටත් දුවනව; ආයෙම ගෙදර ඇවිත් බතුයි අලයි උයල, ගුලි හදල අපිට කවල, ආයෙම ඇදගෙන ඉස්පිරිතාලෙ දිව්ව මට මතකයි.

කොහොමත් ඒ දවස්වල අප්පච්චි එහෙම බත්ගුලි හදල කවනවට අපි හරි කැමතියි. අපි කුරුල්ලො වෙලා, වටේ පියඹ පියඹ ඉන්නව. අප්පච්චි කුරුල්ලන්ට බත්ගුලි කවන්න කතා කරහම ළඟට ගිහින් කාල එනව. හරි මෝඩයි.

ඒ දවස්වල මට කවන්න අමාරු හින්ද, බත්මුල් ඔතාගෙන, පේරාදෙණියෙ මල්වත්තට හරි නුවර ළමා උයනට හරි එක්ක යනව. නුවර ගිහින් බස් එකෙන් බැස්ස ගමන් මං අහනව "දැං කමුද?" කියල.

කැවිල්ල වගේම තමා අප්පච්චිගෙ තෙල් ගෑමත්. රෑට අපේ ඔලුවෙ තෙල් ගානව. තෙල් ගොඩක් අරගෙන, ඔලුවට දාල අත ගාල, තලල එක වැඩයි. හරි සනීපයි. පොඩි කාලෙ ආසාවෙන් තෙල් ගාව ගත්තට, පස්සෙ අපි තෙල් බේරි බේරි ඉන්න අකමැති වෙලා, තනියෙන් තෙල් චුට්ටක් ගාගන්න පටන් ගත්ත.

අප්පච්චි කැමති ගෙදර ඉව්ව කෑම කන්න. විශේෂයෙන් බත්. අපි ගෙදරින් පිට ගිහින් ඉන්නකොට, අපි කෑවෙ මොනවද කියන එක අප්පච්චිට හරි වැදගත්. මම ඒ දවස්වල කැමතිත් නෑ ගෙදරට කෝල් කර වෙලාවට, අප්පච්චි උත්තර දෙනවට. එතකොට මම අහන්නෙ "කෝ අම්ම?" කියල. "ඇයි මගෙත් එක්ක කතා කරන්න බැරිද?" කියල අප්පච්චි අහනව. අම්ම මොකක් හරි වැඩක්නම් ඒ එනකං අප්පච්චි එක්ක කතා කරන්න වෙනව.

"මොනවද කෑවෙ?" අප්පච්චි අහනව.
මම ආස ඔය පැටිස් රෝල්ස් වගෙ ඒවට. තුන්වේලටම කන්නෙ ඒව. ගෙදර කෑමක් හදාගත්තොත්, ඒ බිත්තරයක් තම්බල, බටර් ගාගන පාන් කන්න වගෙ තමා.

අප්පච්චිට ඕක කිව්වහම හරි යන්නෙ නෑ.

"අය්යෝ ළමයො, බත් එකක් ගෙනත් කන්ඩ එපෑ." කියනව.

"අප්පච්චි කැමති වුණාට මම බත් කන්ඩ ආස නෑ." කියල මම රන්ඩු කරනව.

පස්සෙ පස්සෙ මම හිතුව මෙහෙම රන්ඩු කරන එක හරි නෑ කියල. නිකං මොකටද අප්පච්චිගෙ හිත නරක් කරන්නෙ කියල, මං අප්පච්චි කෑම ගැන ඇහුවහම බොරු කිව්ව.

"මොනවද කෑවෙ?"

"බත්!"

"මොනවත් එක්කද?"

ඉතින් මං හිර වෙනවා. එහෙම එකකට උත්තර දෙන්න ප්ලෑන් කරල තිබ්බෙ නෑ. මට යකා වැහිල ආයෙම අප්පච්චි එක්ක රන්ඩු කරනව.

එහෙම නැත්තං ඉතිරි කිරිල්ල ගැන; නැත්තං ගෙදර එන එක ගැන; ගෙදර ඇවිල්ල ඒගොල්ලො එක්ක කතා කර කර ඉන්නෙ නැතුව නිදියන එක ගැන...
මට රන්ඩු කරන්ඩ හේතු ගොඩයි.

එහෙම නැත්තං ගෙදර ඇවිල්ල ආපහු යන එක ගැන. ගිහින්, ගිය වෙලාවට ආපහු කෝල් කරන්ඩ ඕන.
"ඒ වෙලාවට අප්පච්චිලා නිදි." මං කියනව.
"ඒ වුණාට කෝල් කරන්ඩ." අප්පච්චි කියනව. මං කතා නොකළොත් අප්පච්චි කතා කරල, කීයටද ආවෙ කියල අහනව.
යන එන ගමන් මග තැන් තැන්වල නවතිනවට අප්පච්චි කැමති නෑ.
"කෑගල්ලෙ පොත් සේල් එකක් තිබුණ. මම කොළඹ යන ගමන් ඒකට යනව." දවසක් මං කිව්ව.
"අතන මෙතන නතර වෙන්නෙ නැතුව යන ගමන දිගටම යන්ඩ." අප්පච්චි කිව්ව.

ඒව එච්චර වැදගත් දේවල් කියල මං නොහිතුවට, මම ගියෙ කීයටද, ගමනට පැය කීයක් ගියාද කියන එක සටහන් කරල තියාගන්ඩ තරම් වැදගත් දේවල් කියල අප්පච්චි හිතල තියනව.

අප්පච්චි බොහොම අරපරිස්සම්. බොහොම වගකීමෙන් වැඩ. ඉතුරු කරන එක, ඉතුරු කරපු දෙයක් ආයෝජනය කරන එක ගැන තිබුණ උනන්දුව, දැනීම අපිට ලොකු ආරක්ෂාවක්, හය්යක් වුණා. ලේසි නෑනෙ, නාස්තිකාරයො හයදෙනෙක් විතර එක්ක!

එක සැරයක් අපේ ගෙදර වහළෙ පරෙය්යෙක් ආවා පදිංචියට. අප්පච්චි මේකට කැමති වුණේ නෑ. ඒ වෙද්දි සැරයක් අය්යලගෙ ඉස්කෝලෙ සති ගානක් වහල තියන්නත් වෙලා තිබ්බ පරෙයි මැක්කො කියල. ඉතින් එහෙම කරදරයක් වෙයි කියල අප්පච්චි අකමැති වුණා. අකමැති වෙලා, ඉණමගක් තියල නැග්ග උඩට පරෙය්යව බය කරල එළවන්න. පරෙය්යා බය වුණේ නෑ. අප්පච්චි පරෙය්යව බොහොම ආදරෙන් වඩාගෙන, කට උල් කරල, හුරතල් කරල, අලුත උපන් බබෙක් වගෙ පරෙස්සමට ආපහු තියල, පාඩුවෙ බැස්ස!

පත්තර කියවිල්ල. අප්පච්චි පත්තර කියවන්න ආසයි. ඉරිදට තියන සේරම සිංහල, ඉංග්‍රීසි පත්තර අරං එනව. ඒවගෙ පිටු කඩනවට කැමති නෑ. පත්තරේ සම්පූර්ණයෙන් තියෙන්ඩ ඕන. ඉතින් අපිත් එක්ක ගෝරි.

පොඩි කාලෙ අපි හවසට කාඩ් ගහනව; නැත්තම් කැරම්; නැත්තම් චෙස්. අප්පච්චි අපිට නොදැනෙන්න හොර කරනව. එක දවසක් පොඩ්ඩක් එහා මෙහා වෙලා, බිෂොප්ලා දෙන්නම සුදු කොටුවල! හිනා කෝටියයි. කාඩ් ගහන්නනම් අප්පච්චිට හොඳටම පුළුවන්. මට කොහෙත්ම මතක හිටින්නෙ නෑ කලින් අත්වල ගිය කොළ මොනවද වගෙ ඒව. අප්පච්චි ඒව හොඳට හිතල තමා සෙල්ලම් කරන්නෙ.

ළමයින්ට දෙමවුපියො එක ගානට ආදරෙයි කියන එක බොරුවක්. අප්පච්චි ඒ දවස්වල වැඩියෙන්ම ආදරේ අක්කට. ඒක අපි හැමෝම දැනං හිටිය. අක්කත් අප්පච්චි වගේමයි. දැන් වුණත් අපි කියන්නෙ අප්පච්චිගෙ දුව කියල.

දුව වගේම ගෙදර ඇති කරපු සත්තුන්ගෙනුත් සමහරු ගැන එහෙම වැඩි ආදරයක් අප්පච්චිට තිබුණ. එක සැරයක් අපේ ගෙදර පූසො හය දෙනෙක් හිටිය කාලයක් තිබුණ. ඔය අතරින් අප්පච්චි වැඩියෙන් ආදරේ ලස්සන නිල් හුරු අළු පැහැයක් එක්ක පපුවයි මේසුයි සුදු පාට, බූෂි නැට්ටක් තියන, "අලුවා" කියන පූසට.
එක දවසක් අප්පච්චි ගෙදර ඉන්න සත්තු වැඩියි කියල ලොකු චෝදනාවක්. අලුවත් ඒ අහළම ඉන්නව. අපි කැමති ඕන තරම් සත්තු ඉන්නවට. අප්පච්චි කියනව, "එක ගෙදරකට එක බල්ලෙකුයි, එක පූසෙකුයි විතරක් හිටියහම ඇති. නේද, අලුව?" කියල අලුවගෙන් අහනව! ගෙදර ඉන්න ඕන "එක පූස" අප්පච්චි කැමති එකා!!

ඉස්සර අප්පච්චි ධර්මය ගැන උනන්දුවක් තිබ්බෙ නෑ. වැරදි දේවල් නොකර හිටියහම ඇති කියන හිතුවිල්ලෙ. ඒත් පස්සෙ පස්සෙ ඒ ගැන අපිට වඩා උනන්දු වුණා. අවුරුදු කාලෙට මුලදි මුලදි වර්ජන පටන් ගත්තෙ අපි. එක්කො නැකත් කියන්නෙ මිත්‍යාදෘෂ්ටි කියල; එහෙමත් නැත්තං පාන්දර තියන නැකත්වලට නැගිටින්න තියන කම්මැළිකමට; නොනගතේ දිග වැඩි වුණහම බඩගින්නට එහෙම. පස්සෙ අප්පච්චිලාම අවුරුදු වර්ජනය කරන්න ගත්ත. ඒ වෙද්දි මම නිකං අවුරුද්දට ආස වෙන කාලෙ, කට්ටිය එකතු වෙන අවස්ථාව හින්ද. කොහොම හරි ගිය අවුරුද්දෙ ගෙදර ගිහින් කැරකි කැරකි හිටියට කිරිබත් හම්බුණෙත් නෑ.


මේ සැරේ මෙහෙ වටේටම අවුරුදු තියනව වගේ. රතිඤ්ඤා ඇහෙනව. ග්‍රවුන්ඩ් එකේ අවුරුදු උත්සවයකුත් තිබුණ.

ඒ වුණාට කොහෝ අඬන්නෙ නෑ.

Sunday, May 31, 2015

පොතේ හැටියට...

ඉස්සර මගේ යාළුවන්ගෙ පුරුද්දක් තිබුණා ළමයි හැදීම පිළිබඳව මගෙන් විශේෂඥ උපදෙස් ඉල්ලා සිටින. මේක තරමක විහිළු සහගත තත්වයක් වුණත්, ඒකට හේතු වුණේ මම මනෝවිද්‍යා පාඨමාලා හදාරා තිබීම. ඒ හින්දා, පොතේ හැටියට ළමයින් හැදීම පිළිබඳ උපදෙස් දීමට මට පුළුවන් වුණා.

ඉතින් පොතේ හැටියට ළමයි හැදීමට හැකියාවක් නැත්තෙත් නෑ. මනෝ විද්‍යා පොත්වල තිබුණෙ, නොයෙක් පර්යේෂණ මගින් සාක්ෂාත් කරගත්තු ක්‍රම ගැන. ළමයි හදන්න වගේම, ළමයි කරන සමහර අමුතු වැඩ ගැන අවබෝධ කරගන්නත් මේ සමහර අධ්‍යයනයන් උදව් වුණා.

උදාහරණයක් විදිහට:

මට සුළු පරිමාණයේ ගෘහස්ත පුස්තකාලයක් තියෙනවා. ඕකෙ කොටසක් තියෙන්නෙ අම්මලාගෙ ගෙදර අල්මාරියක.
අක්කගෙ පුංචි දුව ගෙදර ආව දවසට මෙතන තියෙන ළමා කතා පොත් අදිනවා. රාක්ක තිබුණෙ, එයාට පහසුවෙන් පොත් ගැනීමට හැකි සීමාවෙන් එපිට. ඒ හින්දා වරින් වර වැඩිහිටියන්ගෙ කතාබහට බාධා කරමින් "තව පොතක් අරන් දෙන්න; අර හාවගෙ කතාව තියන පොත අරන් දෙන්න; ඒ දුන්නු කතාව නෙවෙයි, අනික් හා රංචුව ගැන තියන කතාව හොයා දෙන්න"යැයි ඉල්ලීම් කළ යුතු වුණා. ආපහු පොත් පිළිවෙලකට අරන් තියන්න හුරුවක් ආවෙත් නෑ. අක්කා යන්න කලින් කඩිමුඩියෙ පොත් ගොඩ එකතු කරලා, රාක්කෙ පොත් උඩින් දාන එක තමා සිද්ධ වුණේ. පුංචි කෙල්ල පොත් කියවීම ගැන සතුටු වුණත්, පොත් අපිළිවෙල වීම ගැන, අරෙහෙම පොත් ගොඩක් කෙළින් අතට තබා ඇති පොත් උඩින් තිබ්බහම ඒ පොත් නාස්ති වීම ගැන, මට පොඩි මෙව්ව එකක් තිබුණා. තරහක්මත් නෙවෙයි. පොත් ගැන දුකක් වගේ පොඩි මෙව්ව එකක්.

ඒ හින්දා ගෙදර ගිය දවසක මම තීරණය කළා ළමා පොත්, වෙනම කුඩා අල්මාරියක අසුරන්නට.
ඒක තට්ටු දෙකක අල්මාරියක්. පහළ රාක්කෙ, බිම ඉඳන් අඟල් හයක් විතර උඩින් තිබුණෙ. අක්කගෙ පුංචි දුවට බොහොම පහසුවෙන් පොත් හොයාගන්නට පුළුවනි. ඒ එක්කම කියෙව්ව පොත් ආපහු තිබ්බ තැනින් අරන් තියන එකත් එයාටම කරන්න පුළුවනි. පොත් කියවන ළමයි ඒ වැඩෙත් කිරීමට ඉගෙනගත යුතුයයි මම කල්පනා කළා.
අල්මාරියෙ එක තට්ටුවක සිංහල කතා පොතුත්, අනික් තට්ටුවෙ ඉංග්‍රීසි කතා පොතුත් ඇසිරුවා. මේ එක් එක් පොත් ගොනුව, රචකයාගෙ රට අනුව වර්ග කරලා, ලාංකික රචකයන්ගෙ පොත් එක තැනක, එංගලන්තෙ පොත් එක තැනක, රුසියානු පොත් එක තැනක, චීන/ ජපන් පොත් එක තැනක, ඉන්දියානු පොත් තව තැනක ආදී වශයෙන් ඇසිරුවා. කතන්දර පොත් නොවන, වෙනත් පොත් එක් මුල්ලක. ඒ එක්කම පොත්වල ප්‍රමාණය අනුව ලොකු පොත් යටින්ද, පොඩි පොත් ඉහළින්ද තියෙන විදිහට ඇසිරුවා.  දැන් ඕනෑම පොතක් බොහොම පහසුවෙන් හොයාගන්නත්, ආයෙම තිබුණු තැනට දාන්නත් පුළුවනි.
ඊට පස්සෙ, බොහෝම සන්තෝසෙන් මං කොළඹ ආවා.

සති දෙකකට පස්සෙ මං ගෙදර ගිය ගමන්, අම්මා ටිකක් හිත කරදරෙන් මගෙ ළඟට ආවා.
"අනේ චූටි දුව, තරහ ගන්න එපා. චූටි හුඟාක් සන්තෝස වුණා එයා කියවන පොත් වෙනම තිබ්බ එක ගැන. එයා ඒ පොත් ටික ආයෙම "පිළිවෙලට" අස් කළා- එයාට තේරෙන පිළිවෙලට!"

මං අල්මාරිය ඇරලා බැලුහම, වනසලා!!
මට ටිකක් තරහ යන්න වගෙත් ආවා.

චූටිගෙ "පිළිවෙල" මට තේරුණෙ ඊට පස්සෙ. ඒ වෙද්දි එයාගෙ වයසෙ හැටියට, එයාට යමක් ගොනු කළ හැක්කෙ, එක් නිර්ණායකයකට අනුව විතරයි. ඒ කියන්නෙ, එක්කො ප්‍රමාණය අනුව; එහෙම නැත්නම් වර්ණය අනුව; එහෙම නැත්නම් හැඩය අනුව; එහෙම නැත්නම් භාෂාව අනුව. නිර්ණායක දෙකකට හෝ වැඩි ගණනකට අනුව ගොනු කිරීමේ හැකියාව එන්නෙ, තව අවුරුද්දක් දෙකක් තුනක් යද්දි.
ඒ හින්දා කෙල්ල, පොත් සේරම එළියට අරන්- චූටම්මා ඉතාම අපිළිවෙලටනෙ පොත් අහුරලා තිබ්බෙ.
ඊට පස්සෙ, සේරම පොත් 'පිළිවෙලට' ප්‍රමාණය අනුව ආපහු අහුරලා!

කෙල්ල කියවන පොත් හින්දා, කෙල්ල කැමති තාලෙකටම පොත් තියාගත්තාවෙ කියලා, මම ඒක එහෙමම තියෙන්න ඇරියා. ඕක මම මගෙ ක්‍රමේට ආයෙ හරි ගස්සන්න ගියානම්, එක්කො ආරාවුලක්; එහෙමත් නැත්නම් කෙල්ල ඒ වයසෙදි ඉගෙනගත යුතු පාඩමක් ඉගෙන නොගෙන යනවා- චූටි, ඒ පුංචි වයසෙදිත්, තමන් ගත් දෙයක් ආපහු තිබ්බ තැනින් තිබ්බ හැටියට තැබිය යුතුයි කියන කාරණාව ප්‍රායෝගිකව ඉටු කළා.
ඕක අදාල කාලෙදි ඉගෙන නොගත් අය නිසා තමයි මට මගෙ පොත්වලින් වැඩි හරිය අහිමි වුණේ!

හුඟ දෙනෙක්ට අදාල කාලෙදි අදාල දේවල් ඉගෙන ගන්න නොලැබෙන්නෙ, වැඩිහිටියන් ඊට ඉඩ නොදෙන නිසා. මොකද, ළමයි වනසගන්න දේවල් අස් කරනවට වඩා, ළමයි හෙමිහෙමින් ඒ දේවල් කරනකං ඉවසීමෙන් බලා ඉන්නවට වඩා, "හා, හා, ඒක මං කරන්නං" කියලා වැඩිහිටියම ඒක කරන එක ගොඩක් පහසුයි. කෙටි කාලීනව ඒක පහසුවක් වුණාට, ළමයගෙ පැත්තෙන්, එයාගෙ වර්ධනයට බාධාවක්.

මට මතකයි, වරක් මගෙ යාළුවෙක් දරුවෙක් හදාගන්න ගත්තා. වයස අවුරුද්දයි මාස දෙකක් විතර වෙනතුරු ළමා නිවාසෙක හැදුණු පුංචි කෙල්ල, එයාගෙ ඉස්සරහින් බත් පිඟානක් තිබ්බහම, ඒක තනියෙන් කෑමට දැනගෙන හිටියා. ඒ පළවෙනි දවසෙ.
ඊට දවස් දෙකකට විතර පස්සෙ මම යද්දි, දරුවව තාත්තා වඩාගෙන. අම්මා කෝප්පෙකට බත් දාගෙන, පුංචි හැන්දකින් කවනවා. කවන ගමන් කියනවා,
"මේ වැඩේ හොඳයි; අහක යන්නෙත් නෑ."
ඇත්ත. ළමයා තනියෙන් කද්දි, වටේම බත් විසුරුවලා.
හැබැයි ළමයා ස්වාධීනයි. ඒ එක්කම, අතේ ඇඟිලි හැසිරවීමට ඇයට හුරුවකුත් ලැබෙනවා. දෙමව්පියො එකතු වෙලා, ආදරේට නැති කරලා දාන්නෙ ඒක.
ඒක ඉතින් 'පොතේ හැටියට' එහෙම කියන්න පහසු වුණාට, කවන්න පුරුදු වුණාට පස්සෙ, යම් යම් හේතු නිසා ඒ විදිහ ලේසි වෙනවා. අස් කරන එකටත් වඩා, කෑමවල මිළ වගෙ දේවල් එක්ක බලද්දි!

ඒත් ළමයින්ගෙ වයසට උචිත පරිදි, ළමයගෙ වැඩ තනියම කරගන්න හුරු කරන්න වගේම, ගෙදර නොයෙකුත් වැඩවලට ළමයින්ව දායක කරගන්නත් ඕනෙ. ඒක ළමයගෙ වර්ධනයට රුකුලක්. චූටි මගෙ පොත් අස් කළා වගෙ වැඩ වෙන්න පුළුවන්, එයාලා හිතන විදිහ වැඩිහිටියන්ට වඩා වෙනස් නිසා. ඉතින් ටිකක් ඉවසීමත් ඕන.

ළඟදි දැක්කා මගෙ යාළුවෙක් වත්පොතේ බෙදාගෙන තිබුණු සටහනක්- මරියා මොන්ටිසෝරි නමින් කෙරෙන පිටුවකින් ගත් මේ සටහනෙහි, එක් එක් වයසෙදි ළමයින්ව දායක කරගත හැක්කෙ කොයි වගෙ වැඩවලටද කියලා සඳහන් වුණා. මේ වගෙ සටහන් බොහොමයක් අන්තර්ජාලයෙන් සොයා ගත හැකියි.

උදාහරණයක් විදිහට:

අවුරුදු  2-3
1. ඇඳ ඇතිරිලි සැකසීමට උපකාරී වීම
2. සෙල්ලම් බඩු එකතු කර, ආපසු තිබුණු තැන්වල තැබීම
3. තමන්ගෙ කිලිටි රෙදි, ඒ සඳහා ඇති බඳුනකට ගෙන ගොස් දැමීම
4. සුරතල් සතුන්ට කෑම/ වතුර දැමීම
5. ඉහිරුණු වතුර, ඉඳුල් ආදිය පිස දැමීම
6. ලේන්සු වැනි රෙදි නැමීම
7. තමන්ගෙ හෝ බාල දරුවෙකුගෙ ඇඳුම් ගෙනැවිත් දීම
8. රාක්කයක පොත් තැබීම

අවුරුදු 4-5
1. මල් පැලවලට වතුර දැමීම
2. මේස, දොරගුළු ආදිය පිස දැමීම
3.තනිවම හැඳගැනීම
4. තනිව ඇඳ අස් කර ගැනීම
5. සේදූ රෙදිවලින් එකිනෙකට ගැලපෙන මේස් තෝරා එක්තැන් කිරීම
6. ආහාර සැකසීමට උදව් වීම

වයස 6-7
1. තනිව දත් මැදීම, හිස පීරා ගැනීම, අඳින ඇඳුම තෝරාගෙන ඇඳගැනීම
2. ගෙතුළ බිම පිරිසිදු කිරීම, අතු ගෑම
3. සේදූ රෙදිපිළි නැවීම
4. තමන්ගෙ රෙදිපිළි අස් කරගැනීම
5. ආහාර සැකසීමට උදව් වීම
6. දුරකථනයට පිළිතුරු දීම

වයස 8-11
1. ඉස්කෝලෙන් දුන් ගෙදර වැඩ සඳහා වගකීම ගැනීම
2. තමන්ගෙ උපකරණ ආදිය පරිස්සම් කරගැනීම ගැන වගකීම දැරීම
3. කාමරය පිරිසිදුව තබා ගැනීම
4. එලාම් ඔර්ලෝසුවක් භාවිතා කර වෙලාවට අවදි වීම
5. පිඟන් කෝප්ප, සාස්පාන් ආදිය සේදීම
6. සරල ආහාර වර්ග තනිවම සැකසීම
7. නානකාමරය පිරිසිදු කිරීම
8. මිදුල අතු ගෑම, බිම වැටී ඇති කොළ ආදිය රේක්කයකින්/ කරුවකින් ඉවත් කිරීම
9. කුණු බක්කි අස් කිරීම



ඒවා කියෙව්වහම තේරෙනවා, අපේ වර්ධනය නතර වුණේ කොයි වයසෙදිද කියලා!


Thursday, May 21, 2015

ප්‍රගීත්

ඉස්සර මම හිතං හිටියෙ සෙබළා කියන්නෙ හමුදාවක ඉන්න ඕනම කෙනෙකුට කියල. ඒ කියන්නෙ රජෙක් වුණත් තමන්ගෙ හමුදාවත් එක්ක එකතු වෙලා හතුරු හමුදා එක්ක කඩු ෆයිට් කරනවනං, එයත් සෙබළෙක් කියලා. හමුදා නිලධාරියා කියන වචනෙ, සෙබළා ගැන ගෞරව සම්ප්‍රයුක්තව සඳහන් කිරීමේදී යොදා ගන්න වචනයක් කියලා හිතුවා. හරියට නිකං හෙදිය කියන එකයි, හෙද නිලධාරිනිය කියන එකයි අතරෙ වෙනස වගෙ. නැත්තං තමුසෙයි තමුන්නාන්සෙයි වගෙ.

එහෙම නෙවෙයි කියන එක තේරුණේ පස්සෙ කාලෙක. ඊට අමතරව සෙබළු ඇතුළෙත් තවත් උස්මිටිකම් තියෙන බව තේරුණේ දවසක් ප්‍රගීත් කිව්ව කතාවක් නිසා.

ප්‍රගීත්.

බොහොම ඉස්සර මේ රටේ යුද්ධයක් තිබුණු කාලෙක, නැගෙනහිර පළාතෙ ගමනක් යාමට ලැබුණා. අප සමග ගමන් කළ හමුදා සොහොයුරන් අතර එක් නිලධාරියෙකුත්, සෙබළුන් කිහිපදෙනෙකුත් හිටියා. ප්‍රගීත් ඉන් එක්කෙනෙක්.
නිලධාරියා බොහොම ප්‍රසන්න නමුත්, අවශ්‍ය විටක අවශ්‍ය ප්‍රමාණයට කතාබහ කරන කෙනෙක්. සෙබළුන් අපට නෑසෙන පරිදි හෙමින් මුණු මුණු ගා එකිනෙකා අතර කතාබහ කළා විනා, ඇහෙන්නට කතා කළේ ගමන් මග ගැන යමක් දැනගන්නට ඕන කළ විට පමණයි.

ඒ සියල්ලන්ටම සරිලන තරම් ප්‍රගීත් කතා කළා!

ඒකට හේතුත් තිබුණා. එකක් ඔහු ඒ පළාතෙම වැසියෙක් වීම. ඒ නිසා, පළාතෙ ගහකොළ ගැන, කුඩා අතු පාරවල් ගැන, පාරවල් වගේ පේන ඒවා ගැන, මිනිසුන් ගැන ඔහුට කියන්නට අනන්තවත් දේ තිබුණා. ඒ හැම දෙයක් එක්කම බැඳුණු එක් කතාවක් හෝ ඔහු සතුව තිබුණා. ඒ වගේම ඔහුට අපූරු මතකයකුත් තිබුණා. නොයෙක් සිද්ධීන් ගැන, දින වකවානු සහිතව, පැහැදිලිව විස්තර කිරීමට ඔහුට හැකියාව තිබුණා. ඊටත් අමතරව, හිතට එන ඕනම දෙයක්, එය කීමෙන් සිදු වෙන පල විපාක නොසළකා කියන/ අසන පුරුද්දකුත් ඔහුට තිබුණා.

ප්‍රගීත්ගෙ කතාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තෙ මගේ ගමන් සගයා. පළාතෙ සිතියමකුත් දිගෑරගෙන, මග දිගට දකින හැම පොඩි පාරක්ම ඒ පැරණි සිතියමේ කොතනට අයත්ද කියලා ඒ දෙන්නා සාකච්ඡා කළා.  (නෑ, ඒ කාලෙ ජීපීඑස්, ස්මාට් ෆෝන්ස් වගෙ දේවල් තිබුණෙ නෑ. අපි දෙන්නටම තිබුණෙ බලං ඉද්දි බැට්‍රි බහින එක ෆෝන් කබලක් විතරයි.) අප ගිය මාර්ගයෙන් වැඩි හරියක් නිශ්චිත පාරක් නොතිබුණු තැන් නිසා, වාහනය ගමන් ගත්තේ ඉතාම රළු විදිහට; ඝෝෂාකාරීව. ඒ නිසා, ඔවුන් දෙදෙනාගෙ සාකච්ඡාවෙ වැඩි කොටසක් මට ඇහුණෙ නැහැ. මම අහගෙන හිටියෙත් නැහැ.

ඔය අතරෙ, අහම්බෙන් එහෙන් මෙහෙන් ඇහුණු විදිහට, ප්‍රගීත් අර සෙබළු අතරෙ යම් ඉහළ තනතුරක් දරන කෙනෙක් බව මට තේරුණා. නිකං පන්ති නායකයෙක් වගෙ. ඒ ඒ අයට අයත් පහසුකම් පිළිබඳ කතාබහක් ඔය අස්සෙ ඇදුණා. එතරම් වෙලා වැඩිය සද්ද නැතුව හිටිය එක් සෙබළෙක් ඔවුන්ගෙ නිවස්නයේ ඇති යම් ගැටළුවක් පැවසුවා. එහෙම ගැටළුවක් ඇති බව, තමන් නොදැන සිටි බව නිලධාරියා පැවසුවා. ප්‍රගීත් ගත් කටටම කිව්වා:
"මම දැනගෙන හිටියෙත් නෑ. සර්ලා, අපේ ප්‍රශ්න ගැන බලන්නෙ නෑ; අපි මේගොල්ලොන්ගෙ ප්‍රශ්න ගැන බලන්නෙත් නෑ. අපි හැමෝම තමතමන්ගෙ පහසුව ගැන විතරයි හිතන්නෙ."

සුළු මොහොතකට හැමෝම නිශ්ශබ්ද වුණා. හරියට හැමෝම තම තමන් අතින් වුණු අඩුපාඩු ගැන මෙනෙහි කරනවා වගෙ. අපි හැම කෙනෙක්ම වගෙ වැඩියෙන්ම දකින්නෙ, තමන්ගෙම පෞද්ගලික ප්‍රශ්න; පොදු ප්‍රශ්න දකිනවා කියලා කියන වෙලාවලදිත්, වැඩියෙන් දකින්නෙ තමතමන්ගෙ තරාතිරමට අයත් ප්‍රශ්න.

වාහනයෙ ඝෝෂාවත් එක්ක මට හැම දෙයක්ම නෑසුණත්, වරින් වර ප්‍රගීත් ඒ වගෙ හිතන්නට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කළා. මගේ ගමන් සගයා සෑහෙන කලක් යනතුරු ඔහු ගැන ඉතා ඉහළින් කතා කරන්නට එය හේතු වෙන්නට ඇති. මට ඇහුණෙ එහෙම ප්‍රකාශ දෙකතුනක් විතරයි. ඒ ප්‍රකාශවල චෝදනා ස්වරූපයක්වත්, අනුකම්පාව යදින ස්වරූපයක්වත්, ආත්මානුකම්පාවක්වත් තිබුණෙ නැහැ. හුදෙක් සත්‍යයක් ප්‍රකාශ කිරීමක් පමණයි.

ඔය වගෙ එක් කාරණාවක් අධ්‍යාපනය ගැන.

'අකුරු කියවීමට, ගණන් සෑදීමටවත් නොදත් සෙබළුත් ඉන්නවාය' යනුවෙන් පරිභවයක් 'ඇහෙන' බව කතාබහට ලක් වුණා.

"එහෙම ඉන්නවා තමයි." ප්‍රගීත් කිව්වා. "අපිට ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. ජීවත් වුණෙත් කැලේ හැංගි හැංගි, කොයි වෙලේ කොටින්ගෙන් මැරුම් කන්න වෙයිද නොදැන. ගුරුවරු ආවෙත් නෑ මේ පළාත්වලට. ඉස්කෝලෙකට හුඟක් දුර යන්නත් ඕන. ඒ නිසා අපිට ඉගෙනගන්න බැරි වුණා. හැබැයි අපිට දැන් උගන්නනවනම්, අපිට ඉගෙන ගන්න පුළුවන්. අපිට උගන්නන එකයි කරන්න ඕන."

ප්‍රගීත්ට පසු කාලෙක හෝ ඉගෙනගන්නට අවස්ථාවක් ලැබෙන්නට ඇතැයි මම හිතනවා. එහෙම ලැබුණානම්, ඔහු මහන්සි නොබලා ඉගෙනගනු ඇති.

ඇත්තටම ප්‍රගීත් මහන්සිය පෙන්වන කෙනෙක් නොවේ. එදා උදෑසන හතරහමාරට පමණ ඇරඹුණු අපේ ගමන, අවසාන වුණේ හොඳටම රෑ වෙලා. සල්ලඩයක හෙළවෙන්නාක් මෙන් කෙරුණු ගමනෙ අවසන් භාගයට එද්දි අපි හොඳටම හෙම්බත් වෙලා. දෙසරයක් උණ ගැනිලා වගේ මුළු ඇඟම රිදෙනවා. මාවිල් ආරු සොරොව්ව බලලා, සිත්තාරු පාළම ඔස්සේ ආපහු එද්දි, පාං කියා ගන්නට බැරිව අපි හිටියෙ. නමුත් ගමන පුරාවටම එක දිගට කතා කළ ප්‍රගීත්, ඒ වෙද්දිත් අපේ වෙහෙස නිවන්නට මෙන්, නොයෙක් දේවල් කතා කළා. ඒ එද්දි ප්‍රගීත් කිව් අවසන් කතාව තමයි කාලෙකට උඩදි සිත්තාරු පාළම නමින් ලිව්වෙ. එහෙම මිය ගිහින් තිබුණෙ ප්‍රගීත්ගෙ මල්ලි.
 

Saturday, April 18, 2015

ඉව

ඒ කාලෙ මම හිටියෙ තට්ටු නිවාසයක, සිව්වැනි මහළෙ. ස්නායු ආබාධයක් නිසාවෙන් හරිහැටි ඇවිදීමට නොහැකි, සුදු පාට, කෙට්ටු බළල් පැටියෙකුත් මට හිටියා.

තට්ටු නිවාසයෙ කුස්සිය පිහිටලා තිබුණෙ, ගොඩ නැගිල්ලෙන් වෙනමම නෙරා ගිය කුඩා හතරැස් කොටසක. ඒ කොටසට ගිය විට එක් පැත්තකින් අල්ලපු නිවාසයේ කුස්සියත්, අනෙක් පැත්තෙන් මගේ නිවාසයේ ඉස්තෝප්පු කොටසත් දැකිය හැකියි. තේ හැදීමට සහ බළල් පැටියාට කෑම සැකසීමට මිස, මේ කුස්සිය එතරම් පාවිච්චි වුණේ නැහැ. විදුලි දඟර ලිපක් හා ගෑස් ලිපක් මා සතුව තිබුණ අතර, එකම ගෑස් සිලින්ඩරය මම අවුරුද්දකට වඩා පාවිච්චි කළා.

එක දවසක් රෑ වැඩ අවසන් කර ගෙදර පැමිණි මම නිදිමතේම කුස්සියට ගියෙ බළල් පැටියට කෑමට යමක් හදා දෙන අරමුණින්. ඒත්...

කුස්සියෙන් මොකක්දෝ සූ හඬක් එනවා!

මම කෝකටත් ඉස්සෙල්ලම කුස්සියෙන් එළියට පැන්නා. ඊට පස්සෙ ඉව කළා: ගෑස් ගඳක් එනවද?
කුස්සියෙ තිබුණු බඩුවලින් එහෙම අනතුරුදායක දේකට තිබුණෙ ගෑස් සිලින්ඩරේ විතරයි. ගෑස් සිලින්ඩරේ මොකක් හරි කාන්දු වීමක් වෙන්නට ඕන. ඇහෙන සද්දෙ, සිහින් සිදුරක් හරහා වාතය ගමන් කරනවිට එන සද්දෙ.

ගෑස් සිලින්ඩරේ ටික ටික කාන්දු වෙනවා! තව ටිකකින් ගේ පුරා ගෑස් පිරෙයි; සමහරවිට ගෑස් සිලින්ඩරය පුපුරයි; එහෙමත් නැත්නම් පොඩි හරි දේකින් ගින්නක් ඇවිලිලා, මුළු ගෙදරම ගිනි ගනී!

මම ප්‍රශ්නෙ විවරණය කරන අතරෙ, බළල් පැටියා කුස්සියට ගිහින් අඬනවා- එයාට බඩගිනියි. මම වැඩට ගිහින් එනතුරු පැය 15-16ක් විතර එයා ඉන්නෙ බඩගින්නෙ. ඒත් පවතින තත්වය යටතෙ, බඩගින්නට වඩා ගින්නෙ තර්ජනය බරපතලයි. මම බළල් පැටියට අඬ ගැහුවා. අඬ ගහගෙන, ගෙයින් එළියට පැන්නා. දොරත් වහලා දැම්මා. කුස්සිය පැත්තෙන් අර කාන්දු සද්දෙ තාමත් එනවා. ඒත් එක්ක, තවත් මොකක්ද ඩිඩිග් ඩිඩිග් සද්දෙකුත් එනවා. ඒකනං ඇහෙන්නෙ මගෙ ඇඟ ඇතුළෙන්ම වගෙ!

මම කල්පනා කළා: ඉස්සර පොඩි කාලෙ සඟරාවකින් කියෙව්ව කතාවක් මට මතක් වුණා. ඒකෙ තිබුණෙ, ගිනිගෙන වැටුණු (හෝ වැටිලා ගිනි ගත්තු) ගුවන් යානාවක හිටිය ගුවන් සේවිකාවක්, ගින්නට බය නොවී, ඇගේ වගකීම වුණු මගීන් ආරක්ෂිතව එළියට එක්කගෙන ගිය විස්තරයක්. අවසානයෙදි, ඇය එළියට ඒමට පෙර ගුවන් යානය පුපුරලා, ඇය මැරෙනවා. ඔය කතාව කියෙව්වයින් පස්සෙ, මමත් සෑහෙන කාලයක් යනකං හිතෙන් ඒ වගෙ ගින්නවල්වලට මැදි වුණු මිනිස්සු බේර ගත්තා. හැබැයි, ඒ හිතළුවල මම මැරුණෙ නෑ; මාත් අන්තිමට බේරුණා.

මෙතන තත්වය ටිකක් වෙනස්. ගිනි ගත්තනං කරන්නට ඕන හරිය මම දන්නවා; ඒත් තාම ගිනි අරගෙන නෑනෙ.

මම කාට හරි කතා කරලා උදව් ඉල්ලිය යුතුද? අවට නිවාසවල අයව මම අඳුනන්නෙ නෑ. ඇඳිනුවත්, ඒ අයට කරන්නට පුළුවන් දෙයක් නෑ. එහෙනම් ගිනි නිවන හමුදාවට කතා කළ යුතුයි.
කෝකටත් කියලා, මම මුළින්ම අපේ මල්ලිට කතා කරන්නට තීරණය කළා. බඩගින්නෙ අඬන බළල් පැටියව එළියෙ රඳවලා, කාමරේට දුවලා ගිහින් දුරකථනය අරගෙන මම ආපහු එළියට ආවා.

"මල්ලි, ගෑස් සිලින්ඩරේ කාන්දු වෙනවා වගෙයි. සූඌඌඌ ගාලා සද්දෙ එනවා දැන් සෑහෙන වෙලාවක්."

සහෝදරයො කියන ජාතිය වාසනාවන්.
"ඔයා එළියට වෙලා ඉන්න. මම දැන්මම එන්නම්." මල්ලි කිව්වා.

මල්ලිත් තව ටිකකින් එන හින්දා හරි, සෑහෙන වෙලාවක් ගිහින් හින්දා හරි, කලින් දවසෙ නිදි මැරුව එකෙන් ආව තෙහෙට්ටුව අමතක වුණු හින්දා හරි, ඔන්න මගෙ හිත ටික ටික පැහැදිලි වෙන්නට පටන් ගත්තා.

මෙච්චර වෙලා සද්දෙ ඇවිල්ලත් තාම ගෑස් ගඳක් නෑ නේද?

මම ගෙට ගියා. ඉව කළා. ම්හු.

ටික ටික කුස්සිය පැත්තට ගියා. ම්හු.

කුස්සියටම ගියා. ම්හු.

සද්දෙට හොඳින් ඇහුම් කන් දුන්නා. සිලින්ඩරේ පැත්තෙ... ම්හු.

සද්දෙ එන්නෙ ජනේලෙ පැත්තෙන් වගෙ.

එහා පැත්තෙ ගෙදර කුස්සියෙන් වගෙ.

මම ඒ පැත්ත බලද්දිම වගෙ තමයි ඒ ගෙදර කවුද ඇවිත් කේතලේ නිව්වෙ.

මම මල්ලිට කතා කරලා කිව්වා, එන්න ඕන නෑ කියල. මේ අල්ලපු ගෙදර මිනිස්සුන්ගෙ කන්වල පිට්ටුද කොහෙද...

Sunday, April 12, 2015

අවුරුදු 2

අවුරුදු වසන්තයේ මගේ පංගුව.


"අද හවස එන්නම්." අක්කා කිව්වා. "නැත්නම් හෙට උදේට."

හවස ආවෙ නෑ. එහෙනම් හෙට උදේට එයි. මං හිතන්නෙ අක්කා කැවිලි හදනවා ඇති. අම්මට කැවිලි හදන්න අමාරු හින්දා අක්කා හදාගෙන එනවා අවුරුද්දට. කැවුම්, කොකිස්, කේක්, කිරි ටොෆි...

කිරි ටොෆි හදනකොට බටර් දාන්න ඉගැන්නුවෙ අක්කා. අක්කට කොහොමත් ඔය උයන පිහන වැඩ, මැහුම් ගෙතුම් වැඩ පුළුවන්. පොඩි කාලෙ, ඉස්කෝලෙ මැහුම්වලට දෙන එක එක ඒවා මහල දුන්නෙ අක්කා. මං කියලා නෙවෙයි. එයා ආසයි මහන්න. දෙකේ තුනේ පංතිවල ඉද්දිම එයාට හොඳට, පිළිවෙලට මහන්න පුළුවන්.

අක්කා දෙකේ ඉද්දි මං එකේ පන්තියෙ. ඒ දවස්වල අම්මා දවල්ට කන්න අපි දෙන්නට රොටී බාගෙ ගානෙ දෙනවා. මං මගෙ රොටී කෑල්ල කාලා, අක්කගෙ පන්තියට ගිහින්, විවේකෙ ඉවර වෙනකං එයා ළඟ ඉඳගෙන ඉන්නවා. අක්කා ඔය ගැන මතක් කළා අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා: "මෙයා ඒ දවස්වල, එයාගෙ රොටී බාගෙ ඉක්මණට කාලා ඇවිත්, මගෙ රොටීකෑල්ලෙනුත් බාගයක් කනවා!"
එහෙම එයාගෙ රොටී කෑල්ලෙන් බාගයක් කාපු බවක් මට මතක නෑ. මං හිතුවෙ අක්කා මට බාගයක් දෙනවා කියලා.
ආදරේට...

ආදරේ බලන්න තිබ්බා හැබැයි එයාගෙ කාමරේට මාවත් දැම්මහම. පොඩි කාලෙ මම නිදා ගත්තෙ අත්තම්මා හිටිය කාමරේ. අක්කට තනියම කාමරයක් හම්බෙලා තිබ්බා. පස්සෙ මාවත් ඒකට දැම්මා. මං හිතන්නෙ අම්මලා අදහස් කරේ කාමරේ අපි දෙන්නගෙම කියලා වෙන්න ඕන. ඒත් අක්කා හිටියෙ නිකං එයාගෙ දේශයට නීතිවිරෝධී සංක්‍රමිකයෙක් ආව ගානට. මගෙත් එක්ක යකා නැග්ග දවසට කියනවා, "ඔයාට අයිති ඇඳ විතරයි; කාමරේ බිමට අඩිය නොතියා කෙළින්ම දොර ගාවට පනින්න." කියලා.
බිම අඩිය ගෑවුණොත් යුද්ධෙ.
පස්සෙ පස්සෙ මමත් නිකං හිටියෙ නෑ; අතට අහු වෙන එකෙන් දමල ගහනව. මං කැහැටු නිසා ඈත ඉඳන් ප්‍රහාර දියත් කරනවා මිස, අතින් පයින් ගහ ගන්න අමාරුයි. එක දවසක් මම ලී කෑල්ලකින්ද කොහෙද දමල ගැහුව පාර, අක්කා මාව රවට්ටන්න බොරුවට සිහිය නැති වුණා වගේ වැටිලා හිටියා. මම කොච්චර බය වුණාද කිව්වොත්, බැරි වෙලාවත් අම්මලා ඒ හරියෙන් ගියොත් නොපෙනෙන්න, දොර රෙද්ද ඇදලා කාමරේ වහලා දැම්මා. පස්සෙ අක්කා පාඩුවෙ නැගිට්ටා.

එදා එහෙම පාඩුවෙ නැගිට්ටට, පස්සෙ දවසක අක්කා මට වරදට දඬුවම් ලබා දුන්නා. ඒක වුණේ මෙහෙම.
ඒ දවස්වල අපි දෙන්නම පිස්සො වගේ පොත් කියවනවා. නිදාගන්න ඇඳට ගියාට පස්සෙ, රෑට රෑ වෙනකල් අපි පොත් කියවනවා. අම්මලගෙනුත් තහංචියක් තිබ්බෙ නෑ. කාමරේ ලයිට් එක දාලා. ජනේලෙ ඇරලා.
නිදියන වෙලාවට ලයිට් එකයි ජනේලෙයි වහන්න ඕන.
මං ප්‍රජාතන්ත්‍රවාදී මනුස්සයා. මං හිතන්නෙ, මං මගෙ ඇඳට කිට්ටුවෙන් තියෙන ජනේලෙ වහනවනං, අක්කා එයාගෙ ඇඳට කිට්ටුවෙන් තියෙන ලයිට් ස්විච් එක නිවන්න ඕන.
අක්කගෙ බුද්ධිය නහරයක් නහරයක් ගානෙ. මං පොත වහලා, ඇඳෙන් බැහැලා ගිහින්, ජනේලෙ වහලා හැරිලා බලනකොට, ඒ වෙනකං පොත බල බල හිටිය අක්කා, ඒක වහලා දාලා, පෙරවගෙන බුදි!
මං අසාධාරනයට විරුද්ධව හඬ නැගුවොත් එයා කියන්නෙ, "මං කලින් නිදියගත්තෙ; ඔයා පහුවෙලා නිදියන හින්දා, ලයිට් එකත් ඔයා ඕෆ් කරන්න ඕන."
ඒ උත්තරේ හරි හම්බෙන්නෙ ඉඳහිට. සාමාන්‍යයෙන් මං කියන ඒවා ඇහෙන්නෙවත් නෑ; එයා "නිදි". මට වැඩිය ප්‍රශ්න කරන්නත් බෑ. රෑ ඇහැරගෙන පොත් කියවනවට විරුද්ධ නැති වුණාට, රෑට බෙරිහන් දෙනවට අම්මලා තදින් විරුද්ධයි.

එක දවසක් මට කොච්චර යකා වැහුණද කිව්වොත්, මං අසාධාරනයට එරෙහිව නැගී සිටියා- අක්කගෙ ඇඳට; නැගලා, අක්කව පාගගෙන ගිහිල්ලා බිමට පැනලා ගිහින් ලයිට් එක නිව්වා.

අක්කා නේද? බෙරිහන් දිදී අඬන්න පටන් ගත්තා.

එතනින් එහාට මගේ තත්වය හුඟක් ශෝචනීයයි.

ඒත් හැමදාම එහෙම ශෝචනීය නෑ. සමහර දවස්වලට අක්කයි මමයි රෑ වෙනකං කුටු කුටු ගගා කතා කර කර ඉන්නවා. කතාව කුටු කුටු වුණාට, හිනාව කිසි කිසි. අම්මලා කාමරේ ඉඳන් බනිනවා. අක්කා කියනවා, ලයිට් ඕෆ් කරාට පස්සෙ, එයා සුරංගනාවියක් වෙනවලු; ඊට පස්සෙ එයා සුරංගනා සමාජෙට යනවලු; ඊට පස්සෙ එහෙ විස්තර වර්ණනා.
මං ඊට දෙවෙනි වෙයිද? මං කියනවා, මමත් සුරංගනාවියක් වෙලා, සුරංගනා සමාජෙට යනවා. හැමදාම. ඇත්තද ඈ?
අක්කට ඕක හරියටම හගිස්සවන්න ඕන නිසා, අක්කට සුරංගනා සමාජෙදි හම්බෙන අයව, මටත් හම්බෙන බව කියනවා. මං බොරු කියන බවට පොඩි හරි සැකයක් ඇති නොවෙන්න, සුරංගනා ලෝකෙදි සිද්ද වෙන ජාති රස කර කර කියනවා.
වෙලාවකට අක්කට මගෙ කියවිල්ල ඇති වෙලා කියනවා, "හා, හා. ගුඩ් නයිට්!"
මං උත්තර දෙනවා, "මුවා, මුවා, ගුඩ් නයිට්."
ඒ දවස්වල අපි ගුඩ් නයිට් කියන්නෙ "දැන් ඇති, නිදියමු" කියන්න.

දැන් ඇති. මම නිදියන්න ඕන. අක්කා හෙට කැවිලි හදාගෙන එයි.