Saturday, December 1, 2012

මැනර්ස්

ඉඩක් ලැබෙන හැම විටකම, කුඩාවුන් වූ අපට මැනර්ස් උගන්වන ලදී.

කෑමක් බීමක් කෙරෙහි පෙරේත නොවිය යුතු බවද, විශේෂයෙන්ම යමක් බිව් පසු මැනර්ස් පොඩ්ඩක් ඉතිරි කළ යුතු බවද අපට කියා දෙන ලදී. ඉතිරි කළ යුත්තේ කොතරම්ද යන්න පිළිබඳව හරි හැටි වැටහීමක් නොතිබුණු නිසා, අනෙක් අයගේ මැනර්ස් සමග මගේ මැනර්ස් සැසඳීමට මම පෙළඹුණෙමි. අනෙක් අය තරම් මා මැනර්ස් ඉතිරි කර නැත්නම්, මා අශීලාචාරයයි අනුන් සිතනු ඇතැයි සිතා විස්සෝප වූයෙමි; අනුන්ට වඩා මගේ වීදුරුවේ මැනර්ස් ඉතිරි වී ඇත්නම්, ඒ වැඩිපුර ටික වෙනුවෙන් දුක් වීමි. එය එකල නිතර බීමට නොලැබෙන පලතුරු යුෂ පානයක් වීනම්, ශෝකය වඩාත් තියුණු විය.

පාසල ඇරී අම්මාත් අක්කාත් සමග මම නුවර වීදියක් ඔස්සේ එමින් සිටියෙමි. නියොන් ලාම්පුවෙක, සෝනි යන අකුරු පෙළට ඉහළින් ආර් අකුරක් තිබෙනු මම දිටිමි. සෝනි යන්න ලියැවෙන හැම තැනකම මේ ආර් අකුර තිබෙනු ඊට පෙරද දැක ඇති නිසා මම අම්මාගෙන් ඒ ගැන විමසුවෙමි: "අම්මා, ඇයි අර සෝනි කියන එකට උඩින් ආර් අකුරක් තියෙන්නෙ?"
කුලෑටි ළමයකු වූ මගේ දුබල කටහඬින් කිවු දෙය අම්මාට පැහැදිලිව ඇසුණේ නැත. එබැවින් ඇය ඇයට ඇසුණායයි සිතූ දෙයට පිළිතුරු දුන්නාය:

"චූටි දුව හරි හොඳයි; කාගෙ හරි ඇඟේ හැප්පුණහම සොරි කියනවා.."
අම්මා සිතා ඇත්තේ මා කාගේ හෝ ඇඟේ වැදී සමාව ඉල්ලුව වගකි. අහම්බෙන් ලද ප්‍රශංසාව නිසා හෝ යළිත් ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ඇති කුලෑටිකම නිසා හෝ මම නැවත සෝනි ප්‍රශ්නය නෑසුවෙමි. එහෙත් ඉන්පසු මගේ අතින් වරදක් වූ කල "සොරි" කීමට පෙළඹුණෙමි. කොටින්ම, වැරදීමකින් ගෙදර බල්ලාගේ වල්ගය පෑගුණු විටද මම සොරි කීවෙමි.

වැඩිමනත් දිනවලට මා පාසල් ගියේ ප්‍රමාද වීය. ඉඳහිට දිනයක පාන්දරම "යැවුණු" අවස්ථාද විය.
එවන් දිනයක මම ළමයින්ගෙන් තොර පාසල් භූමියේ රස්තියාදු වෙමින් සිටියෙමි. ගෘහ විද්‍යාගාරය පිහිටා තිබුණේ පාසලේ අනෙක් ගොඩනැගිලිවලට වඩා යට මට්ටමකය. එහි ඉහළ මාලය පොළෝ මට්ටමෙහි විය. පහළ මාලය වටා යා හැකි පරිද්දෙන් පටු කොරිඩෝවක් විය. කොරිඩෝවේ එක් පසෙකින් ගෘහවිද්‍යාගාරයද, අනෙක් පසින් උස් බැම්මක්ද විය. මේ මට්ටමෙහිම පිහිටි තවත් පාසල් ගොඩනැගිල්ලක් ඊට පිටුපසින්ද, අපේ විදුහල්පතිනියගේ නිල නිවස ඊටත් පිටුපසින්ද පිහිටියේය. අයාලේ යමින් සිටි මා කොරිඩෝවට පිවිසෙද්දී, විදුහල්පතිනියද අනෙක් කෙළවරින් කොරිඩෝවට පිවිසියාය.
"යන්නෙම්ද, නොයන්නෙම්ද?"
ආපසු හැරුණොත් මා මොකක් හෝ හොර වැඩකට ආ කෙල්ලක ලෙස වරදවා වටහා ගනු ඇතැයි සිතූ මම, දිගටම ගියෙමි; විදුහල්පතිනියට සුභ උදෑසනක්ද පැතීමි.
"සුභ උදෑසනක්." විදුහල්පතිනිය නැවතුණාය. අනතුරුව මගේ පන්තිය කුමක්දැයි විමසුවාය.

ඊටත් අනතුරුව මට මැනර්ස් ඉගැන්වූවාය.
"වැඩිහිටියෙක්ගෙ ඇඟේ හැපි හැපි යන්ට එන එක නුසුදුසුයි. වැඩිහිටියෙක් එනකොට, පොඩ්ඩක් නැවතිලා, ඒ තැනැත්තට යන්ට ඉඩ දීලා ඉන්ට ඕන."
දැනුදු පටු කොරිඩෝවන් ඔස්සේ එන කාට වුවත් ඉඩ දීමට නවතින මට ඇගේ අවවාදය සිහි වේ.

පොඩි කාලයේ ඉගෙන ගත් ඇතැම් මැනර්ස් ටිකක් තේරෙන වයසට එනවිට කඩන්නට පටන් ගත්තෙමි. පාරේ යන එන ගමන් ආහාර ගැනීම එවන් එකකි. අයිස්ක්‍රීම්, චොකලට් ආදිය දවටා ඇති කඩදාසිවල හෝ ඊයම්වල ගෑවී ඇති අයිස්ක්‍රීම්/ චොකලට් ලෙව කෑම තවත් එකකි.
ඇත්ත වශයෙන්ම, එලෙස දවටනවල ගෑවී ඇති කොටස් වඩාත්ම රසවත් වෙයි; අයිස්ක්‍රීම් හෝ චොකලට් තව කොපමණ ඉතිරිව තිබුණත් පළමුව අර ටික ලෙව කන තුරු සිත පිරෙන්නේ නැත.
වැඩිහිටි වයසේ පසු වූ මම එලෙස දවටනයෙහි ගෑවී ඇති අයිස්ක්‍රීම් ලෙව කමින් මහ මග ගිය දිනෙක, බසයක සිටි ළමයින් පිරිසක් නෝන්ඩියට සිනාසෙනු දිටිමි. මට ඔවුන් ගැන අනුකම්පාවක් ඇති විණි.
පැකට්ටුවල ඇති බීම වර්ග අන්තිම බින්දුව දක්වා ඉරීමේදී, "සුරූස්" ගා මහ ශබ්දයක් නගමින් හුළං ඇදී එන්නේ කලාතුරකින් නොවේ. දැන් ඉස්සර මෙන් ඊට ලැජ්ජා හිතෙන්නේ නැත.

Thursday, October 18, 2012

පොකුටු බණ්ඩෙ

ළමයින් අසභ්‍ය වදන් අසා සිටීම සාමාන්‍ය සංසිද්ධියක් ලෙස අපේ දෙමවුපියෝ පිළිගත්හ. ඒ නිසා අපට දේශපාලන සංවාදවලට සවන් දීමට තහනමක් නොවීය.

මට මතක මුල්ම දේශපාලන සාකච්ඡාව පැවැත්වුණේ රාත්‍රී කාලයේය. ඒ එහා ගොඩේ පොකුටු බණ්ඩේ හා අල්ලපු කන්දේ ගලේ බණ්ඩේ අතරය. ගෙවල් දෙකම මෙහා කන්දේ වූ අපේ ගෙයට අඩු වැඩි වශයෙන් සම මට්ටමෙක පිහිටි හෙයින් ඔවුන්ගේ සංවාදයට හා අපගේ සවන් දීමට ගෙවල් අතර දුර බාධාවක් නොවිණි. නිදි බව හැඟවීමට විදුලි පහන් නිවා දමා, ඒ පැත්තේ වූ ජනෙල් දෙක අසලට අපි ගුලි වුණෙමු.

මට අපැහැදිලි යම් වචනයක තේරුම මා විමසූ විට, අය්යා "ෂ්, ෂ්" කියා මා නිහඬ කළේ වැදගත් යමක් අතපසු වේයැයි බියෙනි.

ඒ මිනිහාට පොකුටු බණ්ඩේ කියන්නේ ඇයිදැයි මම කාගෙන්දෝ ඇසීමි. "ඒ මිනිහාගේ කොණ්ඩය පොකුටු හින්දාය" යනුවෙන් පිළිතුරු ලැබිණි.

පහළ කුඹුරේ වූ පොදු නාන ළිඳට පැමිණෙන මේ මිනිහා සහ ඔහුගේ කොලු කෙලි බුරුත්තද මම දැක ඇත්තෙමි. ඔවුන් සියලු දෙනාගේ කොණ්ඩ පොකුටුය. මගේද කොණ්ඩය පොකුටු වූයෙන් මම සිතින් ඔවුන්ට පක්ෂ වූයෙමි.

මෙසේ මම මගේ මුල්ම දේශපාලන හිතෛෂීභාවය ඇති කරගතිමි.



පසු කාලීනව පාසලේ සමාජ අධ්‍යයනය විෂයට මම ලංකාවේ දේශපාලනය පිළිබඳව හැදෑරුවෙමි.

මා තේරුම් ගත් ආකාරයට ලංකාවට නායකයෙක් සිටී; ඔහුට ආණ්ඩුවක් ඇත; ආණ්ඩුවට ක්‍රමයක්ද, වර්ෂයක්ද, සභාවක්ද ඇත; සභාවට සංඛ්‍යාවක් ඇත. මේ සියල්ල ඇත්තේ තාකටපාඩම් කිරීම පිණිසය. ඒ ඒ කාල වකවානුවලට අදාලව මේ දත්ත විමසන ප්‍රශ්නයක් සෑම විභාගයකදීම අසන ලදී.

ඒ ප්‍රශ්නයට හැමවිටම මට බින්දුව ලැබුණේ, පාසල් විභාග වලදී ප්‍රශ්න තෝරා ගැනීමට නොතිබුණු බැවිනි. සාමාන්‍ය පෙළ විභාගයට එම ප්‍රශ්නය අත හැරීමට මම මුල සිටම තීරණය කරගෙන සිටියෙමි.



දේශපාලනය නීරස විෂයයක් ලෙස මා හඟින්නට හේතුව, සමහරවිට ඒ පිළිබඳව ලොකු උනන්දුවක් අපේ දෙමවුපියන් තුළ නොතිබීම විය හැකිය. දේශපාලකයන්ට බැනීම සහ ඡන්ද කාලයේදී පොදු මාධ්‍යවල ප්‍රචාරය වූ ඡන්ද කතා ඇසීම හැරුණුවිට, ඔවුන් කළ එකම ක්‍රියාකාරී දේශපාලනය රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමය.

වරක් එක්තරා ඡන්ද කාලයකදී රූපවාහිනියෙන් දිනපතා එක් එක් අපේක්ෂකයාගේ කතාව බැගින් විකාශනය කරන්නට විය. මේ කථික තරගයට සවන් දී බැන වැදීම වැඩිහිටියන්ගේ දෛනික අංගයක් විය. දිනක් අදාල වේලාවේදී රූපවාහිනිය දැමූ අපේ අය්යා "කොල්ලෙක්, කොල්ලෙක්, කොල්ලෙක්.." යයි හඬ නැගුවේ අප්පච්චිට ඇසෙන්නටය. කොල්ලෙක් ඡන්දෙ ඉල්ලනවා බැලීමට මමද කඩාගෙන බිඳගෙන සාලයට දිව්වෙමි.

මා කොල්වින් දැක්කේ එදාය. ඔහුගේ කොණ්ඩය පොකුටු නැත.



ඔය කාලය වනවිට මගේ පන්තිවල ඉගෙනුම ලැබූ ඇතැම් සිසුවියන්ද, චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක්ද ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරත වු වග මම දැන සිටියෙමි. එහෙත් ඔවුන්ගේ දේශපාලනය සහ මා ප්‍රිය කළ රුසියානු නවකතාවන්හි එන අරගල අතර සමානත්වයක් දැකීමට මම අපොහොසත් වීමි. මා දැන සිටි, දේශපාලනය කතා කළ සියලු දෙනා අනුනට ගරුසරුවක් නොදැක්වූ "හිතට ගත්" අය වූ අතර, පාවෙල් කොර්චාගින් මංකි කැප් එකක් දමාගෙන රෑට රෑට හැඳුනුම් පත් එකතු කිරීමට ගිය වගක් ගැන කොතැනකවත් සඳහනක් නොවිණි.

වෙනස් චරිතයක් ලෙස මා හැඳින ගත්තේ එක් අයෙක් පමණි. වාර විභාගවලින් අපේ පන්තිවල ප්‍රථම ස්ථානය එක දිගටම දිනූ ඇය නිහඬ සිසුවියකි. එක්තරා විවෘත චෙස් තරග වාරයකට අප සහභාගිව සිටියදී, යෞවනියන්ට පොදු ලැජ්ජාවකින් අපේ තවත් මිතුරියක් පෙළෙන්නට වූවාය. පමා වී ශාලාවට පැමිණි ඇයට තරග අයදුම් පත්‍රය භාර දීමට යාමට මහා ලැජ්ජාවක් ඇති විණි. එලෙස ලැජ්ජා වීමට තරම් මනස මෝරා නොතිබූ මම වහාම අයදුම් පත්‍රය ඉල්ලාගෙන ගොස් භාර දුනිමි.
සෙමින් මා ඇමතූ මගේ නිහඬ දේශපාලන මිතුරිය "ඔයා කළේ හරි හොඳ වැඩක්." යැයි කීවාය. 

ඇය ජීවත් වන බව මා දැන ගත්තේ මේ කුඩා සිද්ධිය නිසාය.

පසු කාලයකදී ඇයව සිර භාරයට ගත් පසු, ඇගේ දෙමවුපියන්ද පෙර අරගලයක ක්‍රියාකාරී සාමාජිකයින් බව අනාවරණය විය. ඇගේ අධ්‍යාපනය කඩාකප්පල් වන්නට ඇතැයි සිතා මා තනිව දුක් වූ නමුදු, නිදහස්ව පැමිණි ඈ දැන් විශේෂඥ වෛද්‍යවරියක වීමට උගන්නා බව දැන ගත් විට මම ඉතා ප්‍රීති වීමි.
ඇත්ත වශයෙන්ම ඈ රුසියානු කතාවල වීරවරියකට වඩාත් සමීපය.



මෙලෙසම දැඩි දේශපාලනික පසුබිමක් සහිත තවත් යෙහෙළියක මට හමුවූයේ රැකියාව තුළිනි. ඒ පසුබිම කෙතරම් දැඩිද කිවහොත්, රුසියාව හා චීනය එකිනෙකා හා විරසක වූ කල්හි, මගේ යෙහෙළියගේ පියා සිය මිතුරන්ගෙන් භාගයක් අහිමි කර ගත්තේය.

අප හඳුනා ගත් කාලය වනවිට මා වඩාත් ආගම ධර්මයට නැඹුරු වූ අතර මගේ යෙහෙළියගේ දේශපාලනය, මතවාද දැරීමට සීමාව පැවතිණි. පොදුවේ අපි දේශපාලනය හෝ ආගම ගැන කතා නොකිරීමට ප්‍රවේශම් වීමු. යම් හෙයකින් අනෙකා අදාල විෂයයට එළඹුණහොත් උනන්දුවෙන් සවන් දිනිමු. එකඟ විය හැකි යම් කරුණකදී එකඟ වූවා මිස, කිසි විටෙක විරුද්ධ මතයක් ඇද නොගත්තෙමු. එකිනෙකාගේ අදහස් කෙරෙහි අප කෙතරම් ගරු කළාද කිවහොත්, පසු කලෙකදී මා දේශපාලනය කතා කළ අතර ඈ සිල් ගැනීමට ගියාය.



එහෙත් පාසල් වියේදී මම දේශපාලනය කතා නොකළෙමි.
ආණ්ඩු ක්‍රම ගැන පාසලේදී කොතෙක් ඉගැන්වුවද, තේරෙන වයසට එනවිට රටේ ලෝකයේ දේශපාලන තත්වය පිළිබඳව මගේ දැණුම කෙමෙන් අඩු වන්නට විය. ඊට ප්‍රධාන හේතුව විජය පත්‍රයේ අතිරේක එකතු කිරීම හා රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීම යන දෙකම නවතාලීම විය යුතුය. මගේ විජය බලන වයස පසු විය; මිණී දැක දැක පාසල් ගොස් ආ අප දෙස, මල් වට්ටි රැගත් දේශපාලකයෝ ප්‍රවෘත්ති හරහා ඉතා ශෝකයෙන් බලන්නට වූහ. මට ප්‍රවෘත්ති බැලීම අප්‍රිය විය.
නමුත් මුල් වරට ඡන්දය දීමට ලැබෙනවිට මට දේශපාලනය හා දේශපාලකයන් පිළිබඳව මනා අවබෝධයක් තිබිණි. බලය ලද පසු ඕනෑම කෙනෙකු හැසිරෙන්නේ එකම ආකාරයට නිසාද, මල් වට්ටියක් සමග දුටු කළ අප්‍රිය නොවිය යුතු නිසාද මම වඩාත්ම කඩවසම් අපේක්ෂකයින් තෝරා ඡන්දය දුනිමි. ඒ අනුව මුල්ම ඡන්දය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකුටද, ඊලඟ ඡන්දය මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙකුටද දුන්නෙමි. "දිනන පැත්තකට ඡන්දෙ දෙන" ලෙස අපේ අප්පච්චි මට එවර අවවාද කළේය. තෙවන බලවේගයක් පිළිබඳ සංකල්පය ඊට වඩා ආකර්ශණීය වූ හෙයින් මම තවත් සුළු පක්ෂ කිහිපයකට ඉන් පසු ඡන්දය දුන්නෙමි. එපමණක් නොව, එවන් පක්ෂවල ඡන්ද රැස්වීම් කිහිපයකටද ගොස් හිටගෙන අහගෙන සිටියෙමි; ස්ටිකර් එකතු කරගෙන ආවෙමි. මේ පක්ෂ දිනුවාද නැද්ද යන්න අපැහැදිලිය.



නිරන්තරයෙන් මැතිවරණ පැවැත්වෙන හෙයින් ඡන්දය දීම තව දුරටත් වැදගත් වැඩක් නොවූ කල්හිත් මම ඡන්දය දීමට මග ගෙවාගෙන ගෙදර ආවෙමි. ඒ සේවා ස්ථානයේ සිට දුර සළකා බැලූ කල්හි මට දින තුනක නිවාඩුවක් හිමි වන නිසාය. "ඡන්දෙ දෙන්ඩ යන්නෙ." යන වචනය බොරු කළ නොහැකි නිසා නිකමට මෙන් ඡන්දය දීමටද ගියෙමි. ඡන්දය දුන්නේ කාටදැයි බහුතරයක් ඡන්ද වලදී මම නොදැන සිටියෙමි.

එසේ දැන ඡන්දය දීමට මහත් උවමනාවක් පසුගිය ජනාධිපතිවරණයේදී ඇති වූයේ යුද්ධය අවසන් වූ හෙයිනි. එහෙත් ඒ ඡන්දයට මට ගෙදර යා නොහැකි විය.

Thursday, October 11, 2012

අමන ප්‍රශ්න

"අහන්ඩකො ඒයි... මං අර එදා වගේම අමන ප්‍රශ්නයක් අහන්ඩද ඔයාගෙන්?"


(පළවෙනි අමන ප්‍රශ්නය:
"වෘත්තිය සමිතියෙ ඡන්දෙට සෙනග ගෙනියන්ඩ, මෙච්චර හොඳ වාහන අරන්, මෙහෙම කී සැරයක්දෝ එහා මෙහා ගෙනියන්ඩ සල්ලි කොහෙන්ද ඒයි?"

කිරා මැන ලබා දුන් අවංක පිළිතුර:
"ඒ ඒ පැත්තට සහයෝගය දෙන අය සල්ලි දෙනවා....ඕන තරම්!")

එදා ප්‍රශ්නය මතක නිසාදෝ, ප්‍රශ්න අපේක්ෂකයා වටපිට බලා, සෙනග අඩු වනතුරු සිට ප්‍රවේශමෙන් ප්‍රශ්නය භාර ගනී: "ඔව්?"

"ඔයා මෙච්චර වෘත්තීය සමිති වැඩවලට බැහැගෙන වැඩ කරන්නෙ,
අර ක්‍රීඩා කරන අය හරි වෙන තමන් ආස කරන දෙයක නියැළෙන අය එහෙම වගේ මේ වැඩවලින් ලබන තෘප්තිය හින්දා, එන්ඩෝෆීන් ශ්‍රාවය වෙලා, මනස කුල්මත් වෙලා එක කෙළියක් වෙන හින්දද,
එහෙම නැත්නම් අපේ වෘත්තිකයින්ට සේවයක් සැලසීමේ පරාර්ථකාමී චේතනාවෙන්ද,
එහෙමත් නැත්නම් දේශපාලනේට ආස හින්දද,
නැත්නම් ඒවගේ මොකක් හරි හින්දද?"

ප්‍රශ්න අපේක්ෂකයා හිඳ ගනී. සෙමින් කියයි:
"මගෙ ළමයා ඉස්කෝලෙ දාගන්ඩ තියන හින්දා."

මම මේ අවංක පුද්ගලයා විශ්වාස කරමි. ඔහුට පක්ෂව ඡන්දය දෙමි.


Tuesday, October 2, 2012

බුදිමත

අපට වාණිජ්‍යය ඉගැන්වීමට ආ ගුරුතුමිය මැණික් ව්‍යාපාරිකයකුගෙ සහකාරියක්. "බුදිමත" කියන වචනෙ අපට ඉගැන්වූයෙ ඇය.

අපේ වාණිජ්‍යය කාලඡේදය තිබුණෙ විවේක කාලයෙන් පස්සෙ. පන්තියට එන අපේ ගුරුතුමිය, "ළමයි, කාලා ඉවර වුණාට පස්සෙ දැනෙන නිදිමතට තමයි බුදිමත කියන්නෙ. ඕගොල්ලොත් ටිකක් නිදා ගන්න." කියා ගුරු මේසය මත ඉහ ගහගෙන නිදා ගත්තා.

අපෙත් ලොකු අකමැත්තක් තිබුණෙ නෑ වැඩේට. මොකද, ඉගැන්වීම යනුවෙන් ඇය අදහස් කළේ පාඩම් පොත කියවීම වූ අතර, පන්තියේ සිටි හතළිහක් පමණ වූ සිසුන් සඳහා මුද්‍රිත පෙළ පොත් තිබුණෙ අතළොස්සක්. ඒවත් වසර ගණනාවක් පාවිච්චි වුණු කිලිටි, ඉරුණු පොත්. කලින් වසර වලදිත් මේ වගේම පොත් කිහිපයක් තමයි පන්තියට ලැබිලා තියෙන්නෙ.
"පොත් නැහැ. ආවහම දෙන්නම්. එතකම් බෙදාගෙන පාවිච්චි කරන්න." එහෙමයි අපට කිව්වෙ.

ගුරුතුමියට බුදිමත වෙලා නිදිය ගත්තා. ළමයිනුත් සමහරවිට නිදිය ගත්තා. එහෙම නැත්නම් නිදා සිටින කොටි ඇහැරවගන්නෙ නැතුව පරිස්සමින් පන්තියෙන් පිට වෙලා පාසල් වත්ත දෙවනත් කළා.

එදා එක්කො නිවාඩු දිනයක්. එහෙමත් නැත්නම් සවස් කාලය. මම ඒ වෙලාවෙ පාසලේ හිටියෙ මොකක් නිසාද කියලා මට මතක නැහැ. රස්තියාදු වෙමින් හිටිය අපව අවේලාවෙ වීදි සංචාරය කරමින් සිටි අංශ භාර ගුරුතුමියකගෙ ඇසට හසු වුණා. ඇය අපව දක්කාගෙන ගියා අපේ සියවස් සැමරුම් ගොඩනැගිල්ලෙ හතරවැනි තට්ටුවට. එතන අපේ රැස්වීම් ශාලාව. වේදිකාව දෙපසින් අගුළු ලෑ කාමර දෙකක් තිබුණා. ගුරුතුමිය මේ කාමර විවෘත කළා.

කාමර පුරවා තිබුණෙ මුද්‍රිත පෙළ පොත්වලින්.

"මේවා කාර්යාලයට ගෙනියලා, එතැන තියෙන  ලොරියට පටවන්න." ගුරුතුමිය අපට විධානය කළා.
අවශ්‍ය තරමට වඩා ලැබුණු අමතර පොත්යයි සළකා වසර කිහිපයක් තිස්සේ ගබඩා කොට තබාගෙන, ආපසු දෙපාර්තමේන්තුවට යැවීමට නියමිතව තිබුණ මේ පොත් ගොඩ අස්සේ ඇති තරම් අළුත් වාණිජ්‍යය පොත් තිබුණා.
කවදාවත් පාවිච්චි නොකළ අළුත්ම අළුත් පොත්.

ගුරුතුමියට මේ බව දැන්වූවිට, මගේ පන්තියට අවශ්‍ය තරම් වාණිජ්‍යය පොත් වෙන් කර ගැනීමට ඇගේ අවසරය ලැබුණා.

බුදිමත විෂය සඳහා අපට පෙළපොත් හම්බුණේ එහෙමයි. අහම්බෙන්...

Sunday, September 23, 2012

හොදි

රාත්‍රී මුරය අවසන් වෙනකොට උදේ දහයත් පහු වෙලා. ආපන ශාලාවට ගියෙ උදේට කන්නට හිතාගෙන.

"පාන් කාලකුයි අල හොදියි."

මං හිතන්නෙ කලිනුත් කවුරු හරි ඕකම ඉල්ලල තියෙන්නට ඇති. ඒ හින්දද කොහෙද, අයකැමි තරුණයා ඇහිපිය ගහන්නට කලින් උත්තරේ දුන්නා.

"අල නැහැ. හොදි දෙන්නම්."

"ම්හු. එහෙනම් අල හොදි එපා. පරිප්පු හොදි දෙන්න."

මං හිතන්නෙ ඒකත් පරණ ඉල්ලීමක්.

"පරිප්පු තියනවා, හොදි නැහැ!"

මම කල්පනා කළා. අයකැමි තරුණයට මම කල්පනා කරනකල් ඉන්නට තරම් ඉවසිල්ලක් නැහැ.

"මාළු හොදි දෙන්නම්."

"එපා."

අයකැමි තරුණයා ආපන ශාලාවෙ පාරිභෝගිකයින්ට වැසුණු කොටසට එබුණා. මම හිතන්නෙ කවුරු හරි ඇතුළෙ ඉඳන් සංඥාවක් කළා. දෙන්නත් එක්ක තත්පර දෙකක මොකක්ද ඇසිපිය සාකච්ඡාවක්. තරුණයා මා දිහාවට හැරුණා.

"පරිප්පු හොදි දෙන්නම්!"

"පරිප්පු හොදි තියනවද?"

"හදල දෙන්නම්."

"වෙලා යයිද?"

"නෑ, හදල දෙන්නම්... ගේන්නම්!"

ගේන්නම් කියන්නෙ අපිව එතනින් එළව ගන්නට. මම ගිහින් වාඩි වුණා.
අපේ ආපන ශාලාව අනුරාධපුරේ නැත්නම් පොළොන්නරුවෙ තියෙන බී ශ්‍රේණියේ ආපන ශාලාවක් වගේ. කෑම, පහසුකම්, සේවය සේරම හරි ලාබයි. සමහරවිට බී ශ්‍රේණියේ ආපන ශාලාවකටත් වඩා ලාබයි, මොකද අපි සේවකයින්ට ටිප් දෙන්නෙ නැති හින්දා.

විනාඩියක් යනකොට මගෙ පරිප්පු හොද්ද ආවා.
පරිප්පු කියන්නෙ පරිප්පු ඇට තිබුණා.
සුවඳ, මාළු.

පරිප්පු, හොදි "හදලා"!

මම පාන් කෑල්ලක් පොඟවලා කටට අරන් බැලුවා.
මාළු රසයි.
බනිනවද? මං කල්පනා කළා.
බැනලා වැඩක් නැහැ. මට හිතුණා. මමත් ඔය වැඩේ කොච්චර කරන්නට ඇත්ද?

දවස පුරා වෙහෙසිලා ඉන්නකොට, එහෙමත් නැත්නම් නොයෙක් ප්‍රශ්න එක්ක ගැටෙමින් ඉන්න කාලවලට සමහරවිට මගෙ ළඟ අල හොදි නැහැ. නමුත් එක්කො පවුලෙ අය, නැත්නම් හිතවතුන්, ඒත් නැත්නම් පිටස්තරම අය, මගෙන් අල හොදිම ඉල්ලන වෙලාවල් තියෙනවා.

"අල හොදි නැහැ!" මට එහෙම කියන්නට වෙනවා.

සමහරවිට මොකක්ම හරි හොද්දක් දෙන්නට මම බැඳිලා ඉන්න වෙලාවල් තියෙනවා. එක්කො වගකීම හින්දා. එහෙමත් නැත්නම් වෙනත් බැඳීමක් හින්දා.

"මාළු හොදි ඕනද?" මම එහෙම අහනවා. ඒ මට දිය හැකි දේ.

ඒත් මගෙන් පරිප්පු හොදිම ඉල්ලා හිටිනවානම් මම මොනවා කරන්නද? මාළු හොදි ගන්නට අනික් කෙනා සූදානම් නැහැ. වංචා කරන්නට හිතක් නැති වුණත්, පරිප්පුවලට මාළු හොදි කලවම් කරලා දෙන වෙලාවල් නැත්තෙ නැහැ. පරිප්පුත් යහමින් තියෙනවා. ඒත් පරිප්පු හොදිම නෙවෙයි. කන මිනිහා ඒ මිරිස් සැර පරිප්පු හොදි කියලා හිතාගෙන කනවා වෙන්නටත් පුළුවනි. එහෙම නැත්නම්, ඇත්ත දැනගෙන මට හිතෙන් බනිනවා වෙන්නටත් පුළුවනි.

"මෙන්න මාළු හොදි. කනවනම් කන්න. පරිප්පු හොදි නෑ කියන්නෙ නැති හින්දා!"

මං හිතන්නෙ සමහරවිට මම එහෙම කිව යුතුව ඇති.

Saturday, August 4, 2012

යැපෙනු පිණිස

කෑම පාර්සලය ලිහා ගන්නා සුසන්ත ප්‍රවේශමෙන් බත් කටක් අනා, පසෙකින් තබයි. අනතුරුව බත්පත දෙස බලාගෙන කල්පනාවක නිමග්න වෙයි.

බත්පත දිගහරින්නටත් පෙර පපඩම අතට ගෙන කෑම අරඹන මයුරි හොරැහින් එදෙස බලන්නීය.

"සුසන්ත අය්යනම් කන්ඩ කලින් භාවනා කරනවා. මටනම් උදේට කන්නෙත් නැති හින්දා කනකම් ඉවසුම් නෑ."

"පුළුවන් වෙලේක හරි කන්ඩ ඉස්සෙල්ලා තමන්ටම මතක් කර ගන්ඩ, 'මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහා පමණයි; රසය පිණිස නොවේ; මදය පිණිස නොවේ...'"

"ඔච්චරනම් කිය කිය ඉන්ඩ බෑ බං." සංජය කටේ කෑම පුරවාගෙනම හරස් කපයි. "ඕනෙනං 'මේ ආහාරය හු!' කියල විතරක් කියන්නං."

කෑම කටේ තියාගෙනම සිනාසෙන මයුරිට කැස්සක් එයි. සුසන්ත සිනාවට එක් වෙමින් බත් අනයි.

"කට්ටියම ඉන්නවා නේද?" අතුල කොහෙන්දෝ කඩා පාත් වී, දේශපාලන හිනාවක් පා, සගයන්ගේ පිටට තට්ටු දමයි. "මේ සැරේ අපි වෙනම ඉල්ලනවා, ආරංචි ඇතිනෙ?"

මයුරි පපඩම ටිකක් සද්දෙන් හපා, බත් අනාගෙන අනාගෙන යයි. ඇයට වෘත්තීය සමිතිකාරයන් පෙන්නන්නට බැරිය.

සුසන්ත නිවුණු මුහුණින් මයුරිගේ ක්‍රියාව නරඹා අදහස් දක්වයි.
"ඉස්සර ලංකාවෙ හාමුදුරුවරු ඉඳල තියෙනවා, දන් වළඳන ගමන් රහත් වුණු. දන්නවද මයුරි?"

"උඹ තාම නංගිලට බණ කියන එක නවත්තල නැද්ද බං?" අතුල අසල මේසයකින් පුටුවක් ඇදගෙන වාඩි වෙයි. අනතුරුව තවත් කාලය නාස්ති නොකර, අතැති ලිපිගොනුව මේසය මත තබා ප්‍රේක්ෂකයන් දෙස බලයි.
"මෙන්න තියෙනවා කට්ටිය කියවල බලන්ඩ."

"මොකද්ද? උඹේ ප්‍රතිපත්ති ප්‍රකාශනයද?" සංජය හොරැහින් එදෙස බලයි.

"කියවලම බලන්ඩ." අතුල ලිපිගොනුව විවර කර අතින් දක්වයි.

වෘත්තීය සමිති කටයුතු සහ ඉන් ලැබිය හැකි ප්‍රතිලාභ ගැන උනන්දු වන කීපදෙනෙක් ලිපිගොනුව වෙත ඇදෙති. හිතින් මැන ගත් ගණ පූරණය සම්පූර්ණ වූ කල අතුල කතාව අරඹයි.

"පහුගිය අවුරුදු දහය ඇතුළත, අපේ කණ්ඩායම මුල් වෙලා දිනා ගත්තු දේවල්.
මම පටන් ගන්නම් ගිය අවුරුද්දෙන්. ගිය අවුරුද්දෙ කාරක සභාවෙන් පස් දෙනෙක් මේ සැරේ අපිත් එක්ක වෙනම ඉල්ලනවා..."

"මට ප්‍රශ්නයක් තියෙනවා." චාමර කතාවට බාධා කරමින් එක එල්ලේ අතුල දෙස බලයි.

"හරි." අතුල පුටුව මඳක් පසුපසට ඇද, කකුලක් පිට කකුලක් දමා ගනී. දකුණත පහසුවෙන් කකුලක් මත රඳයි. වම් අත කතාවට අනුව ලෙළ දෙයි.
"මම ලෑස්තියි ඕනෙම ප්‍රශ්නෙකට උත්තර දෙන්ඩ. නමුත් මට ඕනෙ මුළින්ම පැහැදිලි කරන්ඩ....."

කතාව ඇදී යයි. ප්‍රතිවාදී පිලෙහි කිසිවෙකු භෝජනාගාරයෙහි නොමැත්තෙන් අතුලට රිසි පරිදි ප්‍රධාන නළු චරිතයට ආවේශ විය හැක.

"අය්යා කළු වෙලා..." කතාව තත්පර ගණනකට නිහඬ වු විටෙක සොනාලි ඇද පැද කියයි. පුරුෂ පක්ෂය කට කොණකින් සිනාසී ඈ දෙස බලත්.

"කළු වෙලා කියන්නෙ, පහුගිය ටිකේ හරියට කෑවෙත් නෑ. මට ඒකනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි එදා ඇමතිතුමා හම්බෙන්ඩ ගිය වෙලාවෙ..."

අතුල සොනාලිගේ සිත නොරිදවා නැවතත් නිවැරදි පීල්ලට කතාව මෙහෙයවයි. සුසන්ත අවසරයක් ලැබුණාක් මෙන් පුටුවෙන් නැගිටියි.

"උඹ යන්ඩද මචං?" අතුල හැම ඡන්දයක්ම තමාට වැදගත් බව හඟවන බැල්මකින් සුසන්තට සංග්‍රහ කරයි.

"වැඩ වගයක් තියනව, ඉවර කරල දැම්මනම් ලේසියි."

"කොළයක් ගත්තෙ නෑනෙ? මෙන්න. නිකං ඉන්න වෙලාවක කියවල බලන්ඩ." අතුල පත්‍රිකා කිහිපයක්ම සුසන්ත අත තබයි. මයුරිද නැගිටින බව දකින ඔහු ඇයට පත්‍රිකා කිහිපයක් දීම පිළිබඳව සිතෙන් සළකා බලා, ඒ අදහස බැහැර කරයි.


*****************************************

"මට දික්කරානං එහෙම එතෙන්දිම ඒකෙන් අත පිහින්ඩ හිටියෙ මං." මයුරි සුසන්ත සමග පවසන්නේ අත් සෝදන අතරතුරය.

"නිකං මිනිස්සු තරහ කරගන්ඩ ඕන නෑ. මොනව වුණත් අතුලයා හිතවත් අපිට."

"ඒ වුණාට මට අල්ලන්නෙ නෑ. ඉස්සරම මතකද, 'අපේ ඇමතිතුමා' කියා ගත්තු ගමන් හිටියෙ. ඊට පස්සෙ ඒ මිනිහටම පළු ගැලවෙන්ඩ බැන බැන හිටියා. දැන් ආයෙමත් මෙලෝ ලැජ්ජාවක් නැතුව ඇමතිගෙ ගෙදරට රිංගුව කතා කියනව."

"ආ, ඒ පාර මයුරි බණ කියනවද සුසන්තට?" චට පට ගා කියවන මයුරි දෙස බලමින් සංජය සිනාසෙයි. ඔහුද අතුලගේ කතාවෙන් මිදී පැමිණ ඇත.


"කට්ටිය ඔහේ අහගෙන ඉන්නව නේද?" මයුරි  පිරිස දෙස බලමින් භෝජනාගාරයෙන් පිටවෙයි.

"මේකනෙ මයුරි, හැම මිනිහටම ඕනෙ තමන්ගෙ මොකක් හරි වැඩක් කරවගන්ඩ විදිහක්. එක්කො ළමයෙක් ඉස්කෝලෙ දාගන්ඩ. එක්කො කීයක් හරි වැඩියෙන් හම්බ කරගන්ඩ. එක්කො ශිෂ්‍යත්වයක්. මොකක් හරි දෙයක්. ඉතින් කාගෙන් හරි ඒ දේවල් කර ගන්ඩ පුළුවන්ද කියල බලනවා. ඒකට වැරැද්දක් කියන්ඩත් බෑ."සංජය දැනුම් තේරුම් ඇති විලසින් පැහැදිලි කරයි.

"මොකද බැරුව?"

"ඔයාට ඒ දේවල් ඕනෙ නැතුව ඇති දැන්. ඒත් අවශ්‍යතාවය තියෙන මිනිහ..."

"අය්යෝ, මේ, ඕක ගැන කතා කරන්ඩ ගියොත් දැන් අපි දෙන්න නිකං ගහ ගන්නවා." මයුරි කතාව නවත්වයි.

"මනුස්සයෙකුට වෙනස් වෙන්ඩ බැරිද?" සුසන්ත හදිසියේම පැණයක් නගයි.

"ඇයි බැරි? අර හිටියෙ කටුස්සෙක්, එහෙම්පිටින්."

"අපි හැමෝම කටුස්සො." සුසන්ත කල්පනාවෙන් කියයි.

"මම කටුස්සෙක් නෙවෙයි." මයුරි තදින් කියයි.

"නෑ නේන්නං. ඔයා කටුස්සියක්." සංජය පිළිතුරු දෙයි. මයුරි ඔහුගේ ඉලයට අනී.

"මම මෙතනින් යනවා." සුසන්ත කාර්යාලය දෙසට හැරෙයි.

"මම බැංකුවට යන්ඩ ඕන. ටාර් ගාල දුවල එන්නම්." මයුරි ගේට්ටුව දෙසට පිය මනී.


*****************************************


"හැම එකාටම මේ වෙලාවමද මන්ද තියෙන්නෙ මෙතනට එන්ඩ."

බැංකුවේ පෝළිමෙහි සිටින මයුරි ඔරලෝසුව  දෙස බලමින් කල්පනා කරයි. දැනටමත් ඇය පැය භාගයකට ආසන්න වේලාවක් සිට ඇත. අනෙක් පෝළිම් සියල්ල ඉදිරියට ඇදේ. මේ පෝළිමට පමණක් කුමක් වීද? ඈ පැත්තකින් එබී බලයි. නමුත් කවුන්ටරය නොපෙනේ.

"කාගෙද සල්ලි මිටි වගයක් ගනිනව.." මයුරි බලන්නේ කුමක්දැයි අනුමාන කළ ඉදිරියෙන් සිටින තැනැත්තා කියයි.

"මයුරි?"

අතුල ළඟට එනතුරුම නොදැකීම පිළිබඳව මයුරි තමන්ටම සාප කර ගනී.

"මොකක්ද වැඩේ?"

මූට මොකටද ඒක?

එහෙත් මයුරි වෙහෙසට පත් හඬින් තමන් ආ කාරණය කෙටියෙන් කියයි. නොඑසේනම් අහල පහළ සිටින මිනිසුන් යමක් හිතන්නට පුළුවන. අතුල තරමක් ඇයට කිට්ටු වී, අවට සිටින්නන්ට නෑසෙන පරිදි සෙමෙන් මුමුණයි.

"හදිසියක් නැත්නම්, මගෙ යාළුවෙක් ඉන්නවා බැංකුවෙ, එයා අතට දීලා ගිහෑකි. හවසට යන ගමන් රිසිට් එක අරගෙන, මම හෙට ඔයාට ගෙනත් දෙන්නම්."

මයුරිගේ සිත දෙපැත්තට වැනේ. දැනටමත් ඇයට වෙහෙසය; එසේම කාර්යාලයට යාමට ප්‍රමාද වේ. අතුලගෙන් උදව් ලබා ගැනීමටද ඇය අකමැතිය. එහෙත් හතුරෙක් වුණත්, උදව්වක් කිරීමට ඉදිරිපත් වූ මිනිහාගේ හිත රිදවිය නොහැක.

"නෑ, කමක් නෑ අතුල, තව ටික වෙලාවයිනෙ."

"දෙන්ඩකො..." අතුල අත දිගු කරයි. "දෙන්ඩ, දෙන්ඩ. ඕක පොඩි වැඩක්."
මයුරි අදාල කඩදාසි සහ මුදල් ඔහුට ගන්නට ඉඩ හරින්නේ පැකිළෙමිනි.

"අතනින් වාඩි වෙලා ඉන්ඩ."

පෝළිමේ සිටි මිනිසුන් තමන් දෙස බලන බව ඇයට පෙනේ. එහෙත් ඇය ඒ නොපෙනෙන්නාක් මෙන් අතුල බැංකුවේ සේවකයන්ට වෙන් වූ කොටසකට එබෙනු බලා සිටී.


*****************************************

"මාර දාඩියයි නෙහ්?" බැංකුවෙන් පිටතට බසින ගමන් අතුල විමසයි. "අයිස්ක්‍රීම් එකක් කාලා යමුද?"

මයුරි තීරණයකට එළඹෙන්නටත් පෙර අතුල බැංකුවට යාබද රසහල වෙත යයි. මයුරිද ඒ පිටුපස ඇදේ; මතක ඇති කාලෙකින් පලතුරු සලාද සමග හිමකිරම කා නැත.

මේ රසහලට මින් පෙර ඇය පැමිණ ඇත්තේ එක්වරකි. ආහාර පිණිස ගන්නා පලතුරු ආදිය වීදුරු අල්මාරියක් තුළ අඩුක් කර ඇත. කහ පැහැ නිල ඇඳුම් හැඳි සේවක සේවිකාවෝ කඩිසරව ඇනවුම් භාර ගනිති; ගනුදෙනුකරුවන්ට පෙනෙන්නටම පලතුරු කපා සූදානම් කරති. බිත්තියෙහි රේඛා සිතුවම් කිහිපයක් එල්ලා ඇත.

"කලින් නොකිව්වට, මට මයුරිව ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා මතකයි, දන්නවද?"

අතුල වෘත්තීය සමිති කතාබහ අරඹනු ඇතැයි බලාපොරොත්තුව සිටි මයුරිට, මේ අනපේක්ෂිත මාතෘකාවකි.

"ඔයා අපේ ඉස්කෝලෙමද?"

"නැහැ. ඒත් ඔයා නවෝදෙ පන්ති ආවා නේද?"

"ඔව්. ඒත් මට ඔයාව මතක නැහැ."

"මතක හිටින්නෙ කොහෙද? ඔයා ඔලුව උස්සල බලන්නෙ නෑනෙ ඒ කාලෙ."

නීරස ළමා කාලය සිහි කිරීම නිසා මයුරිට පාළු ගතියක් දැනේ. සේවකයා පලතුරු සලාදය පිළි ගැන්වීමට පැමිණීම නිසා තත්වය මඳක් සමනය වේ. උඩින් හිමකිරම දමා ඇති හෙයින් යටින් ඇති පලතුරු හරි හැටි නොපෙනේ.

"මේ දවස්වල ඉතින් පැණි කොමඩුම තමයි." පැත්තෙන් බඳුන පිරික්සන අතුල කියයි.

මයුරි හිමකිරම ටික කාගෙන කාගෙන යන්නීය. බොහෝ වේලා පෝළිමේ සිටි ඇයට දැඩි පිපාසයක් තිබුණු බව හරිහැටි තේරෙන්නේ, සීතල හිමකිරම කැටිති දිවෙහි දියවෙන විටය. ඇය කතාබහ නොකර සිටීම අතුලට අපහසුවකි. සංවාදයට රිසි ඔහු තවත් මාතෘකාවක් ඇද ගනී.

"සුසන්ත හුඟක් බණ දහම් දන්නවා නේද?"

එය ප්‍රවේශමෙන් ඉදිරිපත් කළ මුට්ටියකි; මයුරි බණට ලැදිද නැද්ද යන වග අතුලට හරියටම පැහැදිලි නැති නිසාවෙනි.

"ඔව්..." පැණිකොමඩු කෑල්ලක ඇටයක් හැන්දෙන් ඉවත් කිරීමට වෙර දරමින් මයුරි පිළිතුරු දෙයි. ඒ පිළිතුරෙන් සුසන්ත පිළිබඳව ඇගේ ස්ථාවරය පැහැදිලි නොවන මුත් මාතෘකාවට ඇගේ අකමැත්තක් නැති බව අතුල අනුමාන කරයි.

"සංජය ඒකෙ අනික් පැත්ත..." ඔහු තවත් අදහසක් ඉදිරිපත් කරයි.

"ඔව්..." මොට්ට හැන්දකින් කොමඩු ඇටයක් ඉවත් කිරීම පහසු නැත. කොමඩු කෑල්ල එහාට මෙහාට පනී. එය කටට ගෙන හපා, අනතුරුව ඇටය එළියට පිම්බහොත් අතුල තමන් ගොඩේ එකියකැයි සිතනු ඇත්ද? කොමඩු කෑල්ල ඉතිරි කිරීමටද ඇය අකමැතිය. රසහලෙහි වෙන සිටින්නේ කවුරුන්දැයි මයුරි අල්මාරියේ වීදුරුවෙන් පිරික්සයි. තරමක සෙනගක් එහි වෙත්. මයුරි කරන්නාක් මෙන්ම වීදුරුවෙන් මයුරිව පිරික්සන තවත් දෑස් කීපයක්ම ඇයට හමු වෙයි.

"ඔයා කොතනද එතකොට?" අතුල මයුරිගේ කොමඩු කෑල්ල දෙස විමසුම් බැල්මක් හෙළමින් අසයි.

මේ ඉලව් කොමඩු... හදිසියේම මයුරිට දහවල් සංජය කියූ කතාවක් සිහි වෙයි: මේ ආහාරය හු!

"ඇති යන්තං ඩිංගක් හිනා වුණා." අතුල කියයි. "මෙච්චර වෙලා රවාගෙන හිටියෙ. මට හීන් දාඩිය දාල හිටියෙ මගෙත් එක්ක තරහෙන්ද කියලා."

"නෑ, මේ දවල් සංජය කිව්ව කතාවක් මතක් වුණා."

"මොකක්ද?"

"සුසන්ත අය්යා කිව්වා කන්ඩ ඉස්සෙල්ල භාවනා කරන්ඩ කියල, මේ ආහාරය හුදෙක් යැපීම සඳහාය, අරක මේක පිණිස නෙවේය කියලා. දිග විස්තරයක්..."

"සුසන්තයනං කියයි; ඉතිං?"

"එතකොට සංජය කිව්වා, එච්චර කියන්ඩ බැරිය, ඕනෙමනං මේ ආහාරය හු! කියල කියන්නංය කියල."

මයුරිගෙන් දිගු පිළිතුරක් ලැබුණේ බොහෝ වේලාවකට පසුව නිසා, ඊට අනුග්‍රහ වශයෙන් අතුල ටිකක් වැඩිපුර සිනාසෙයි. ඒ සිනහව අමතර බව වැටහීම නිසා මයුරි අසන්තෝෂයට පත් වෙයි. තමන් දැන් මේ මිනිහාගෙන් උදව්වක් ලබාගෙන ඇත. ඒ නිසා ඔහුගේ හිත රිදෙන යමක් කිව නොහැක. ඇය ඉන් වඩාත් අසන්තෝෂයට පත් වෙයි. ඇගේ අසන්තෝෂය අතුලට ඉව වැටෙයි. ඔහු වහා කතාව අරඹයි.

"ඕවා ඔය පැවිද්දන්ට දෙසුව බණ..."

"ගිහියන්ට කියල වෙනම සාසනයක් නෑනෙ. ඔය බණම තමා."

මයුරිගේ හඬ සැර වෙන්නේ ඇයටත් නොදැනීමය. මොනවා කරත්, සුසන්ත මේ මිනිහාට වඩානම් හොඳය. ඔහුව හෙළා දැකීමට මෙවැනි මිනිහෙකුට ඉඩ දිය නොහැක.
අතුල ක්ෂණයකින් කතාව හරවයි.

"ඔව්, ඒක තමා මමත් කියන්නෙ. පැවිදි කෙනෙකුට ලේසියෙන් අනුගමනය කරන්ඩ පුළුවන්. ගිහියෙකුට අමාරුයි. මොකද, යැපීම විතරක් නෙවෙයිනෙ අපිට අනික්වත් වැදගත්, සමහරවිට යැපීමට වඩා..."

"හරී!"

මයුරි එකවරම තමන් සමග එකඟ වීම අදහා ගත නොහැකි නිසා අතුල මඳකට කතාව නවතයි.

මයුරි ලැජ්ජාවෙන් ඔහු දෙස බලයි.

"මං මේ කොමඩු ඇටේ ගලව ගන්ඩ බැරුව හිටියෙ මෙච්චෙල්ල. දැන් ගැලවුණා."


*****************************************

සවස තුනට ආසන්නය.
තේ පානය සඳහා හැම දෙනාම භෝජනාගාරයට නොඑනමුත් බොහෝ දෙනෙක් යමක් හපමින් විනාඩි පහළොවක් විස්සක් ගෙවීම පිණිස එහි එති. කල් යල් බලා, පත්‍රිකා මිටියක්ද රැගෙන අතුල එහි ඇදේ.

භෝජනාගාරයෙහි දොරකඩ සිට ඔහු ඇතුළත සිටින පිරිස පිරික්සයි. මැද හරියේ පුටුවක හිඳ චාමර අත වනයි. මඳ සිනහවකින් මුව සරසාගෙන අතුල ඔහු වෙත පිය නගයි. කෙළවර ආසනයක හිඳ සිටින ප්‍රතිවාදී පිලෙහි ආධාරකරුවකු වන ප්‍රනාන්දුව ඔහු දකින්නේ අහම්බෙනි. දැන් ඉතින් මගහැර යාම තත්වයට මදිකමකි. කාණු කටක් ඇති ප්‍රනාන්දු සමග හැප්පෙන්නට අතුල අකමැතිය.

"පත්‍රිකා ටික බෙදලා යනවා." ඔහු සිතා ගනී. "බය වෙන්නෙ මොකටද එක අතකට? මුකුත් කියාගෙන ආවොත් තව හොඳයි; මට ඒකම අවස්ථාවක් කරගන්ඩත් පුළුවන්." ඒ සමගම යළිත් සිතේ.

"උඹෙන් මං අහන්ඩ හිටියෙ." සුමිත් කතාව පටන් ගන්නේ අතුල වාඩිවීමටත් ප්‍රථමය. "අතිකාල ප්‍රශ්නෙට මොකද වෙන්නෙ?"

"මෙහෙමයි." අතුල කිහිපවරක් එකිනෙකාට පැහැදිලි කිරීමෙන්ම හිතේ පිළිවෙලකට සැකසුණු පිළිතුර අරඹයි.
"මුළින්ම, ඕකට හදිසි විසඳුමක් නෑ. එහෙම තියෙනවයි කියලා මම උඹලව රවට්ටන්නෙ නෑ."

ඈත කෙළවරෙහි ඇති සෙවණැල්ලක් නැගිට තමන් වෙත එනු අතුලට ඇස් කොණෙන් පෙනේ. ඔහු ඒ පිළිබඳව අවබෝධයෙන්ම කතාව ඉදිරියට ගෙන යයි.

"අපිට ඉලක්කයක් තියෙනවා. ඒක දැනට හම්බෙන ගාන වගේ පස් ගුණයක්. කිව්ව ගමන් ඕන කෙනෙක් හිතන්නෙ ඒ ගානනම් කවදාවත් ගන්ඩ වෙන්නෙ නෑ කියල. ඒකයි තත්වෙ. නමුත්..."

සෙවණැල්ල දැන් ළඟටම පැමිණ ඇත.

"උඹලට මොකක්ද තියෙනවය කිව්වෙ?"

ප්‍රනාන්දුගේ හඬ සැරපරුෂය. අතුල මේ දැන් දැක්කාක් මෙන් ඔහු දෙස බලයි.

"අපිට තියෙනව ඉලක්කයක්, උඹලට නැති." අතුල ප්‍රනාන්දුගේ ඇස් දෙස කෙළින් බලා හඬ උස් කර කියයි.

අවට රැස් වන්නන් තමන්ට හෝ ප්‍රනාන්දුට සහය නොදක්වන බවත්, සිද්ධිය පසුව වාර්තා කිරීම පිණිස පමණක් උනන්දුවෙන් බලා සිටින බවත් අතුල වටහා ගන්නේ අත්දැකීමෙනි.

"ඔව් තොපිට තියෙනව ඉලක්කයක්- මිනිස්සුන්ගෙ ප්‍රශ්න වවාගෙන කන්ඩ!" ප්‍රනාන්දු එකවරම ගුගුරයි.

"ප්‍රශ්න වවාගෙන කෑවෙ කවුද?" අතුල මේසයට මිටින් පහර දී විමසයි.

"කවුද?" ප්‍රනාන්දුද මේසයට මිටින් පහර දෙයි.

හදිසියේම අතුලට මෙතැනට කොහෙත්ම නොගැලපෙන සංජයගේ කීම සිහි වෙයි:
මේ ආහාරය හු!

සුළු මොහොතකට ඔහුගේ මුවග සිනහවක් ඇඳෙයි.

Sunday, July 22, 2012

හීනය

අපට හීන පෙනෙන්නෙ කොහොමදැයි කල්පනා කරලා තියෙනවද?

දෙවියෝ තමන්ගෙ දරුවට දී තියෙන සෙල්ලම් බඩු තමයි, මේ හීන.

බොහොමයක් පොඩි දරුවන්ගෙ සෙල්ලම් බඩු අඩුක් කරලා තියෙන්නෙ පෙට්ටියක. ඉතින් දෙවියන්ගෙ දරුවටත් ඒ විදිහෙ විශාල පෙට්ටියක් තියෙනවා. හීන අඩුක් කරලා තියෙන්නෙ මේ පෙට්ටියෙ.

සෙල්ලම් කරන්ට ඕන වුණහම, හැම පොඩි ළමයෙක්ම වගේ දේව දරුවත් ගිහින් සෙල්ලම් බඩු පෙට්ටිය අදිනවා. අතට අහු වෙන හැම එකම එහෙට මෙහෙට විසි කරනවා. ඕනෑම විටෙක, අප හොයන්නේ මොකක්ද, ඒ දේ තියෙන්නෙ අඩියෙම බව අපි කවුරුත් දන්නවා. දෙවියන්ටත් මේ නියමය පොදුයි. ඉතින් තමන්ගෙ හිතේ තියෙන හීනය අහු වෙනතුරු දේව දරුවා අතට එන හැම හීනයක්ම අහු වෙන අතකට විසි කරලා දානවා.

"ඔය තියෙන හීනයක් අරන් සෙල්ලම් කරන්න. බලන්න, මේක කොතරම් අපූරු හීනයක්ද?" වෙලාවකට දෙවියෝ කියනවා.
දේව දරුවා එහෙම වෙලාවට බෙරිහන් දීලා අඬනවා; අඩි පොළොවෙ හප්පනවා.
"බෑ, මට අර හීනයමයි ඕන!"
ඉන් පස්සෙ ඔහු අතට අහු වෙන හීන සී සී කඩ විසි කරන්නෙ කලින්ටත් වඩා දරුණු තාලෙට.

කොටින්ම දෙය්යෙක් නෙවෙයි, යකෙක්!

හීන කියන්නෙ බොහොම මටසිළුටු දේවල්. ඉක්මණින්ම බිඳෙන සුළුයි. ඒ වගේම නෙළුම් කොළයක් උඩට වැටුණු වතුර බිඳු එකිනෙක හා ඉක්මණින්ම මුසු වෙලා ලොකු බිඳුවක් හදනවා වගේ, මේ හීනවලට අනෙක් හීන එක්ක මුසු වෙන්නටත් වෙලාවක් යන්නෙ නැහැ.

දේව දරුවා මේ විදිහට විසි කරන හීනත් පුංචි පුංචි බිඳුවලට බිඳෙනවා; සමහරවිට කිට්ටුව තියෙන අනෙක් හීන එක්ක මුසු වෙලා අලුත් හීන හැදෙනවා.

දිව්‍යලෝකය තියෙන්නෙ මහ පොළොවට ඉහළින්. අර විදිහට හැම තැනම විසි වෙන හීන ඔන්න මහ පොළොවටත් විසි වෙනවා. නින්ද ගිහින් ඉන්න සතුන්ගෙ මෘදු වූ හිත් ඇතුළට මේ හීන ඇතුළු වෙනවා.

අපි දකින්නෙ ඒ හීන.

දේව දරුවා තමන් කැමති හීනය තෝරගෙන සෙල්ලම් කරන්නට යනවා. දෙවියන්ගෙ සේවකයින් හැම තැනම දුවලා, එහෙ මෙහෙ විසිරුණු හීන එකතු කරනවා. ඒවා ආපහු සෙල්ලම් බඩු පෙට්ටියට දානවා.
සෙල්ලම් බඩු පෙට්ටිය ඇතුළෙදි සමහරවිට මේ හීන එක එක විදිහට අනෙක් හීන එක්ක මුසු වෙනවා.
එකම හීනය දෙවරක් දකින්නට අපහසු ඔය හින්දා.



බොහොම ඉස්සර කාලෙ මහ පොළොවෙ දරුවෙක් වාසය කළා. මේ දරුවා දවසක් නිදාගෙන ඉද්දි, හීනයක් දැක්කා. ඒ හීනය ඇතුළෙ ඔහු කැමති හැම දෙයක්ම තිබුණා: සතුට, වාසනාව, සැනසීම, ආදරය....

නින්දෙන් අවදි වන විටත් ඔහුගෙ හිතේ ඉන් ඇති වුණු ප්‍රමෝදය රැඳිලා තිබුණා. ඔහු තමන් දුටුව හීනය ආයෙ ආයෙත් සිහි කරමින් සතුටු වුණා.

"මගේ හීනය..." ඔහු හිතුවා.

මනුස්ස ලෝකයේ වාසය පහසු නැහැ. ජිවිතය කරදරයි. දරුවාට නිතරම අර ප්‍රබෝධජනක හීනය මතක් වුණා. හීනය හින්දා දුක් කම්කටොළු තාවකාලිකව අමතක කරන්නට ඔහුට හැකි වුණා. ඒත් ඔහු ඉන් පසු කවදාවත් ඒ හීනය දැක්කෙ නැහැ. එහෙම වුණේ ඇයි කියලා, අපි දැන් දන්නවා.



කාලයක් ගත වුණා. දරුවා දැන් වැඩිහිටියෙක්.

පොඩි කාලෙදි වගේ නොවෙයි. වැඩිහිටියකුට පුළුවන් තනියෙන් තීරණ ගන්නට. ඉතින් දැන් වැඩිහිටි මිනිසකුව සිටින දරුවා තීරණය කළා තමන්ගෙ හීනය හොයා යන්නට.
එකම එක වරක් ඒ හීනය තුළ ඉන්නට...
එකම එක මොහොතක්...

ඒ වෙනුවෙන් තමන්ගෙ ජීවිතයම වුණත් කැප කිරීමට ඔහු හිත හදා ගත්තා.

ඔන්න එදා පටන් මේ මිනිහා මහ පොළොව මත හැම තැනම ඇවිදින්නට පටන් ගත්තා. හැම කෙනකුගෙන්ම ඔහු හීන ගැන විමසුවා. තමන් දුටුව හීනය විස්තර කරලා, එහෙම හීනයක් දැකලා තියනවද කියලා විමසුවා.

ඔහුගෙ ඇඳුම් පැලඳුම් වියැකුණා. පාවහන් ගෙවුණා. හරිහැටි කෑමක් බීමක් නොලැබුණු, ඇවිදීමෙන් වෙහෙසට පත් සිරුර ඉක්මණින් දිරාපත් වුණා; රෝගී වුණා.
ඒත් ඔහු උත්සාහය අත හැරියෙ නැහැ.

මහ පොළොව මත කොතෙකුත් ඇවිදලාවත් තමන්ගෙ හීනය හොයා ගන්නට ඔහුට නොහැකි වුණා. ඔහුගෙ ඇස් කෙමෙන් කෙමෙන් ඇඳිරි වුණා. කොන්ද වකුටු වෙන්නට වුණා. අතපය හන්දි වේදනා දෙන්නට වුණා.
ඒත් හීනය හොයා ගන්නට බැරි වුණා.

බලාපොරොත්තු ටික ටික කඩ වෙනවිට මිනිහාගේ හිත දුර්වල වුණා. දවසක්දා පය වාරු නැතිව මිනිහා ලිස්සා වැටුණා. හිත දුර්වල වෙලා හිටිය හින්දා ඔහු හඬන්නට වුණා.

ඔහුගෙ වාසනාවට, ඒ හැඬුම හීන එකතු කරන්නට මහ පොළොවට ඇවිත් හිටිය දේව සේවකයකුට ඇහුණා. ඔහුට මිනිහා ගැන දුක හිතුණා. දෙවරක් නොහිතා, දේව සේවකයා මිනිහාව දිව්‍ය ලෝකයට එක්කගෙන ගියා. දෙවියන්ගෙ සෙල්ලම් බඩු කාමරයටම එක්කගෙන ගියා.

"දිව්‍ය ලෝකයට මිනිහෙක් ඇවිත්!" කතාව හැම තැනකම ආරංචි වුණා. දේව සභාව මිනිහා බලන්නට ආවා.

වයස්ගත මිනිහා දණින් වැටුණා. ඔහුගෙ හිසකෙස් හොඳටම සුදු වෙලා. අතපය වෙව්ලනවා. හම රැළි වැටිලා. ජීවිත කාලයක් පුරා හීනය සොයමින් ඇවිද්ද ඔහුට හොඳටම වෙහෙසයි.

"මට මගෙ හීනය හොයා දෙන්න." ඔහු හඬමින් ඉල්ලා සිටියා.

"නුඹේ හීනය?" දෙවියො ඇහුවා. අහලා මහා හය්යෙන් හිනා වෙන්නට පටන් ගත්තා. "හොහ් හොහ් හොහ්, හක හක හක, හා හා හා!"

"ඔව්, මගේ හීනය. මා ළමයකුව සිටියදී දැක්ක මිහිරි හීනය." වයස්ගත මිනිහා දෙවියන්ගෙ පාද වඳිමින් කිව්වා.

"නුඹේ හීනය!" දෙවියො ආයෙත් හිනා වෙන්නට පටන් ගත්තා. දේව සභාවත් හිනාවට එක් වුණා.

"හොහ් හොහ් හොහ්, හක හක හක, හා හා හා! නුඹේ හීනය!!"


මුළු දිව්‍ය ලෝකයම හිනාවෙන් දෙදරුම් කෑවා.

දෙවිවරු නෙවෙයි යක්කු!

මිනිහා හීල්ලුවා. දෙවියෝ හිනාව යන්තම් නවත්තා ගත්තා. ඔහු මිනිහාව ඇමතුවා.

"ඒ හීන නුඹගෙ නොවෙයි. තේරුණාද? නුඹ දැක්කෙ අපේ හීන. ඒවා අපේ, දෙවියන්ගෙ. නුඹගෙ නොවෙයි. තේරුණාද?"

මිනිහාගේ යාන්තම් පෙනෙන නොපෙනෙන ඇස්වලින් කඳුළු ආවා. ඔහුගෙ දුබල අත් එක් කරලා ඔහු දෙවියන්ට වැන්දා. බොහොම දුක්බර හඬින් ආයාචනා කළා.

"කරුණාකරලා, කරුණාකරලා, ඒ හීනය විතරක් මට දෙන්න. මම මුළු ජීවිත කාලයක් ඒ හීනය හොයමින් ඇවිද්දා. වයසක මට අනුකම්පා කරන්න. ඒක බොහොම පරණ හීනයක්. ඔබ වහන්සේලාට ඕන තරම් අළුත් හීන තියෙනවා නොවෙද? මියැදෙන්නට පෙර, එකම එක් වරක්වත් විඳින්නට මට ඒ හීනය විතරක් දෙන්න."

දෙවියන් ඇත්ත වශයෙන්ම කරුණාවත්. ඔන්න ඔහුට අනුකම්පා හිතුණා.

"පරණ සෙල්ලම් බඩු පෙට්ටිය ගෙනෙන්න."

දෙවියො අණ කළා. සේවකයො පරණ සෙල්ලම් බඩු පෙට්ටිය ගෙනාවා.
ඒක මහා විශාල පෙට්ටියක්. නොයෙක් විදිහෙ හීනවලින් ඒ පෙට්ටිය පිරිලා.

"ඔන්න තියෙනවා." දෙවියො මිනිහාට කිව්වා.

"නුඹේ හීනය සමහරවිට ඔතුළ ඇති. සමහරවිට ඒ හීනය ඒ විදිහටම ඇති. නමුත් බොහොම වෙලාවට ඒ හීනය වෙන හීනත් එක්ක මුසු වෙලා වෙනස් වෙලා ඇති. කොහොම වුණත්, නුඹට හීනය මතකනම්, එක එක තැන්වලින් කොටස් එකතු කරගෙන, නුඹගෙ හීනය යළිත් හදාගන්නට හැකි වේවි. එහෙම හදා ගත්තොත්, මම නුඹට හීනය ගෙනයන්නට දෙන්නම්."

වයසක මිනිහා සුසුමක් හෙළුවා. ඔහුගෙ ඇඳිරි දෙනෙත් තුළ බලාපොරොත්තුව දිලිසුණා.
"මගේ හීනය." ඔහු මිමිණුවා.

දැඩි ආශාව නිසාම ඔහුගෙ අතපයට නැගිටින්නට පණ ආවා. තමන්ගෙ ඉතිරිව ඇති සියළුම ශක්තිය එකතු කරගෙන ඔහු සෙල්ලම් බඩු පෙට්ටියට බඩ ගෑවා.

සෙල්ලම් බඩු පෙට්ටිය මහා විශාලයි. එතුළ හීන පිරිලා. නොයෙක් විදිහෙ හීන. තෙරක් පෙනෙන්නෙ නැහැ. අබල දුබල මිනිහකුට තියා, තරුණ මිනිසුන් සිය දෙනකුටවත් තමන්ගෙ ජීවිත කාලය තුළ ඒ පෙට්ටිය බලලා ඉවර කරන්නට බැහැ.
 

වයසක මිනිහාට මහ හය්යෙන් ඇඬුණා. ජිවිත කාලය පුරාම සොයා ඇවිද්ද හීනය අසලටම ඔහු ඇවිත්. ඒත් ඒ හීනය ඔහුට සොයා ගත නොහැකි තරම් සැඟවිලා.

"දෙවියනි, මට අනුකම්පා කරන්න. වයසක මනුස්සයෙක් වන මට අනුකම්පා කරන්න. මගේ හීනය මට සොයා දෙන්න." ඔහු ඉල්ලා සිටියා.

දෙවියො හෙමින් හිස සැළුවා.

"නුඹේ හීනය හොයා දෙන්නට මට පුළුවන්කමක් නැහැ. එය නුඹම හොයා ගත යුතුයි. මම නුඹට අවසර දුන්නා. සෙල්ලම් බඩු පෙට්ටිය දුන්නා. හීනය හඳුනන්නෙ නුඹ. මට නුඹ ගැන කණගාටුයි."

"අනේ දෙවියනි, මේ දේව සභාවෙ සියල්ලන්ටම එකතු වෙලා හීනය සෙවිය හැකියි නේද?" වයසක මිනිහා කෙඳිරි ගෑවා.

දෙවියො හිස සැළුවා.
"හීනය දන්නේ නුඹ. නුඹම එය හොයා ගත යුතුයි. නුඹ ගැන අනුකම්පා කරලා මම නුඹට තවත් අවස්ථාවක් දෙන්නම්. නුඹේ මුල් හීනය හොයා ගන්නට නොහැකිනම්, නුඹ කැමති වෙනත් හීනයක් අරගෙන යන්නට අවසර දෙන්නම්."

වයසක මිනිහා හීන පෙට්ටියට බැස්සා. ඔහුගෙ ගොරහැඩි සිරුර වදිනවිට මටසිළුටු හීන බිඳුණා; එහෙ මෙහෙ විසිරුණා; එකිනෙක මුසු වුණා; වෙනස් වුණා. හීන අල්ලා ගන්නට අත් දිගු කරනවිට ඒවා ඔහුගෙ ඇඟිලි තුඩුවල වැදී තවත් ඈතට විසි වුණා. මැරෙන්නට පෙර තමන්ගෙ හීනය හොයා ගන්නට නොහැකි වනු ඇතැයි හිතුව හින්දා ඔහු කලබල වුණා. එතකොට ඔහුගෙ දුබල සිරුර තව තවත් වෙවුලන්නට වුණා; වේදනා දෙන්නට වුණා; කිසිම හීනයක් අතට අහු නොවී ගිලිහෙන්නට වුණා. හීන හරි හැටි නොපෙනෙන හින්දා ඔහු ඇස් තව තවත් පුංචි කරමින් ඕනකමින් වටපිට බැලුවා. එහෙම බලන්නට බලන්නට, ඔහුගෙ පෙනීම තව තවත් ඇඳිරි වුණා. හෘදය වස්තුව වේදනා දෙන්නට වුණා. හුස්ම ගැනීම පවා අපහසු වුණා.

දෙවියන් කණගාටුවෙන් මිනිහා දිහා බලා සිටියා. ජීවිත කාලයක් පුරා ළමා හීනයක් සොයමින් ඇවිද්ද මේ මිනිහාට ගෞරවය පිණිස, දෙවියනුත්, දේව සභාවත් නිශ්ශබ්දව නැගිට සිටියා.

වෙන කළ හැකි දෙයක් තිබුණෙ නැහැ.